• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ඇතුළේ තවත් පිපිරුමක් සඳුදා! කැරලිකාර කණ්ඩායමට වෙන්න යන වින්නැහිය මෙන්න! (රාජ්‍ය රහස්)

June 20, 2021
in Exclusive, Rajya Rahas, Uncategorized
Reading Time: 22 mins read
A A
චීන ඇමැතිගේ ලංකා ගමනේ රහස් එළියට: ඉන්දියාව-අමෙරිකාව ඇවිස්සෙයි (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති වත්මන් ආණ්ඩුවට මේ වන විට වසර එකහමාරක් ගත වී තිබේ. සාමාන්‍යයෙන් අලුත් ජනාධිපතිවරයකු යටතේ පිහිටුවන අලුත් ආණ්ඩුවක මුල් වසර ‘ආණ්ඩුවේ මධුසමය’ ලෙස හැඳින්වෙන අතර එම කාලසීමාව ඇතුළත එතරම් ප්‍රශ්නවලට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවන්නේ නැත. ප්‍රශ්න ආරම්භ වන්නේ සාමාන්‍යයෙන් වසරක්, හමාරක් ගෙවුණු තැන පටන්ය. නමුත් ගෝඨාභයටත්, ගෝඨාභයගේ ආණ්ඩුවටත් ආණ්ඩුව පිහිටවූ තැන සිටම මධුසමය කියා වෙනසක් නොමැතිව ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවිය. ඇතැම් ප්‍රශ්න ආරම්භයේදීම ආණ්ඩුව දෙදරවන සුළු මට්ටමේ ඒවා විය.

ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න පටන් ගත්තේ විස්සෙන්

ආණ්ඩුවේ පළමු අර්බුදය පටන් ගත්තේ 20 වැනි සංශෝධනය ඉදිරිපත් කළ අවස්ථාවේ සිටය. එහිදී 20ට ඇතුළත් කොට තිබූ ඇතැම් වගන්ති මුල්කරගෙන ආණ්ඩුව ඇතුළේ පළමු බෙදීම සනිටුහන් කරමින් විමල් වීරවංශ ඇතුලු පක්‍ෂ 11ක කැරැලිකාර කණ්ඩායමක් නිර්මාණය වන ආකාරයක් දැකගත හැකි විය. මේ කැරැලිකාර කණ්ඩායම ප්‍රසිද්ධියේම 20 වැනි සංශෝධනය විවේචනය කරන ආකාරයක් දැකගත හැකි විය. කෙසේ වෙතත් 20 වැනි සංශෝධනය සම්මත වීමත් සමග මේ කැරැලිකාර පිලද ආණ්ඩුව සමග එකට කටයුතු කරන ආකාරයක් දැකගත හැකි විය.

දෙවන බෙදීම වරාය

ආණ්ඩුවේ දෙවැනි බෙදීම දැකගන්නට ලැබුණේ කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය ඉන්දියාවට පවරා දීමට ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමත් සමගය. ඒ අනුව නැවැත වතාවක් ආණ්ඩුව ඇතුළේ සටන ආරම්භ කළ විමල්ගේ කැරැලිකාර කණ්ඩායම නැඟෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීමට එරෙහිව ආණ්ඩුව ඇතුළේත්, ආණ්ඩුවෙන් පිටතත් විශාල සටනක් දියත් කළහ. ආණ්ඩුවට එරෙහිව පිරිස් සංවිධාන කළහ. මෙහි ප්‍රතිඵලය වූයේ නැඟෙනහිර වරාය වෙනුවට බටහිර වරාය ඉන්දියාවට ලබා දීමට සිදුවීමය. ඉන් අනතුරුව නැවැතත් කැරැලිකාර පිල ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන ආකාරයක් දැකගත හැකි විය.

ඊළග එක පෝට්සිටියෙන්

ඊළඟ අර්බුදය පැනනැඟුණේ වරාය නගර සංවර්ධන කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමත් සමගය. මෙහිදීද විමල්ලාගේ කැරැලිකාර පාර්ශ්වය ආණ්ඩුවට එරෙහිව එළිපිට ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරන්නට පටන් ගත්හ. ඇතැමුන් අධිකරණයට පවා ගියහ. ඒ අනුව එම කෙටුම්පත සම්මත වූයේ අධිකරණය විසින් ලබා දුන් සංශෝධන සිදුකිරීමෙන් අනතුරුවය. ඉන්පසු විමල්ලා ඇතුලු කැරැලිකාර කණ්ඩායම සුපුරුදු පරිදි ආණ්ඩුවත් සමග එකට කටයුතු කරන ආකාරයක් දැකගත හැකි විය.

ගම්මන්පිල පන්නන සටන ඇරඹේ!

නමුත් පසුගිය සති අන්තයේ ආණ්ඩුවට සිදුවූයේ මීට තරමක් වෙනස් අර්බුදයකට මුහුණ දෙන්නටය. මෙතෙක් සිදුවූයේ ආණ්ඩුව විසින් ගෙනා පනත්වලට විරුද්ධව විමල් ප්‍රමුඛ කැරැලිකාර පාර්ශ්වයෙන් විරෝධය මතු වීම වුවත් මෙවර සිදුවූයේ එහි අනෙක් පැත්තය. එනම් විමල් ප්‍රමුඛ කැරැලිකාර පිලේ ප්‍රබලයකු වන බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ අමාත්‍යාංශය විසින් සිදු කරනු ලැබූ ක්‍රියාවකට එරෙහිව ආණ්ඩුව පැත්තෙන් විරෝධය පළ වීමය. ඊට හේතු වූයේ ඉකුත් සති අන්තයේ තෙල් මිල ගණන් විශාල වශයෙන් ඉහළ දැමීමය.

සාගර බෝම්බය පත්තු කරයි

මෙසේ තෙල් මිල ගණන් ඉහළ දැමීමත් සමග දැඩි ජනතා විරෝධයක් පැනනඟින ආකාරයක් දැකගත හැකි වුවත් හිටිහැටියේම එය ආණ්ඩුව ඇතුළේ මහා අර්බුදයක් බවට පෙරළෙන ආකාරයක් දැකගන්නට ලැබුණේ පාලක පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ මහලේකම්වරයා වූ නීතිඥ සාගර කාරියවසම් මහතා පක්‍ෂයේ ලිපි ශිර්ෂය යොදා ගනිමින් අසාධාරණ ලෙස තෙල් මිල ඉහළ නැංවීමේ වගකීම බාර ගෙන ගම්මන්පිලට ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බරපතළ නිවේදනයක් නිකුත් කිරීමත් සමගය. ගම්මන්පිලගේ මෙම ක්‍රියාව හරහා ආණ්ඩුවේ නායකයන් අප්‍රසාදයට පත්කිරීමේ සැලැස්මක් තිබුණේදැයි සැකසහිත බවද කාරියවසම් සිය නිවේදනය මගින් සැක මතු කොට තිබිණ.

මේ ආකාරයට තෙල් මිල පිළිබඳ පැවැති සමාජ කතිකාව සාගර කාරියවසම් පත්තු කළ මෙම බෝම්බයත් සමග එක්වරම උඩු යටිකුරු වන ආකාරයක් දැක ගන්නට ලැබිණ. මුළු ආණ්ඩුවම දෙබරෙට ගැසූ ගලක් මෙන් ඇවිස්සී ගිය ආකාරයක්ද දැකගන්නට තිබිණ.

කැරලිකාර පිල විමල්ගේ ගෙදර රැස්වෙයි

විශේෂයෙන්ම ආණ්ඩුව විසින් තෙල් මිල ඉහළ දැමීම පක්‍ෂයක මහලේකම්වරයකු විසින් අභියෝගයට ලක්කර තමන්ට ඉල්ලා අස්වන ලෙසට කර තිබූ නිල දැනුම් දීමත් සමග ගම්මන්පිල ඇතුලු කැරැලිකාර කණ්ඩායමත් සිටියේ මහත් පුදුමයටත්, කලබලයටත්, කෝපයටත් පත්වය. ඒ අනුව ගම්මන්පිලට කතා කළ කැරැලිකාර කණ්ඩායම නියෝජනය කරන පක්‍ෂ නායකයන් 8 දෙනෙකු කියා සිටියේ මෙවැනි නිවේදනයක් නිකුත් කිරීමට පක්‍ෂ මහලේකම්වරයකුට අයිතියක් නොමැති බවත්, ඕනෑම අවස්ථාවකදී ගම්මන්පිල වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බවත්ය. ඒ අනුව කැරැලිකාර කණ්ඩායම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වහාම විමල්ගේ නිල නිවෙසේ හමුවක් සංවිධානය කළහ. ඊට කැරැලිකාර කණ්ඩායම නියෝජනය කරන පක්‍ෂ 11ටම ආරාධනා කිරීමටද පියවර ගත්තේය.

ශ්‍රීලනිපය මගහරී-තීන්දු රැසක් ගනී!

කෙසේ වෙතත් මෙහිදී දැනගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙම සාකච්ඡාවට සහභාගි නොවීමය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ගෙන් දයාසිරිට ලැබුණු පණිවුඩවලින් කියැවුණේ එම සාකච්ඡාවන්ට සහභාගී වීමට අවශය නැතැයි කියාය. ඒ අනුව විමල්ගේ නිවෙසේ සාකච්ඡාව ආරම්භ වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නොමැතිවය. මෙම සාකච්ඡාවේදී වැඩි වශයෙන්ම කතා වූයේ සාගරගේ ලිපියට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳය. මෙම ප්‍රහාරය සාගරගේ එකක් නොවන බවත්, එය පිටුපස අදිසි හස්තයක් පවතින බවත් මෙහිදී අනාවරණය කෙරුණු අතර, වහාම මාධ්‍ය හමුවක් පවත්වා ඊට ප්‍රතිචාර දැක්විය යුතු බවත්, තෙල් මිල ඉහළ දැමීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවම අනුමැතිය ලබා දුන් බව රටට හෙළිදරව් කළ යුතු බවත් එහිදී කියවිණි. එමෙන්ම වහාම මීට පිළිතුරු සපයමින් නිවේදනයක් නිකුත් කළ යුතු බවත්, එය සඳුදා පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර රටට ඉදිරිපත් කළ යුතු බවත් විමල් ප්‍රමුඛ කැරැලිකාර කණ්ඩායම තීන්දු කළහ.

ගම්මන්පිල ප්‍රතිප්‍රහාර දීම අරඹයි

ඒ අනුව ඉරිදා දිනයේදීම මාධ්‍ය හමුවක් පැවැත්වූ ගම්මන්පිල පොහොට්ටු ලේකම්ට පෙරළා පහර දීමට පියවර ගත්තේය. මෙම ලියුම නිකුත් කිරීමට අදෘෂ්‍යමාන හස්තයක් සම්බන්ධ බවට සැක මතුවන බවටත්, ලිපිය හරහා පහර දී ඇත්තේ ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට බවටත් එහිදී ගම්මන්පිල කියා සිටියේය.

ජනපති ගම්මන්පිලගේ පැත්තේ!

ඒ සමගම ජනාධිපති මාධ්‍ය අංශයෙන්ද නිවේදනයක් නිකුත් වූ අතර එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ගම්මන්පිල ආරක්‍ෂා කරමින් ජනාධිපතිවරයා අදහස් දක්වා තිබීමය. මේ හරහා පළමු වටයේදීම ආණ්ඩුව හා පාලක පක්‍ෂය වන පොහොට්ටුව අතර යම් සන්නිවේදන ගැටලුවක් මතුව ඇති ආකාරයක් පැහැදිලිව දැකගන්නට ලැබිණ.

බැසිල් සූම් එකෙන් එයි

මේ ආකාරයට ගම්මන්පිල විසින් පොහොට්ටු ලේකම් සාගරට ප්‍රතිප්‍රහාර එල්ල කරනවාත් සමග බත්තරමුල්ලේ පිහිටි පොහොට්ටු කාර්යාලයේ සූම් සාකච්ඡාවක් පැවැත්විණි. ඊට පක්ෂයේ ජාතික සංවිධායකවරයා වන බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිට සම්බන්ධ වී සිටීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ බැසිල් හා පොහොට්ටු නියෝජිතයන් අතර විශේෂ කරුණු රැසක් සාකච්ඡා වූ අතර, බැසිල් විසින් උපදෙස් රැසක් ලබාදෙන ආකාරයක්ද දැකගන්නට ලැබිණි.

සාගර මාධ්‍ය හමුවක් කැදවයි

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් පසු පොහොට්ටු කාර්යාලයෙන් සියලු මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කෙරුණු අතර, ඉන් කියැවුණේ සාගර කාරියවසම් මහතා හා ගාමිණී ලොකුගේ මහතා සහභාගි වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සඳුදා දින පෙරවරු 10ට පොහොට්ටු කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවකි. ඒ වන විටත් ගම්මන්පිල, සාගරට පෙරළා පහරදී අභියෝගයක්ද කර තිබූ බැවින් බොහෝ දෙනා සිතා සිටියේ සාගර සඳුදා දින පැවැත්වීමට නියමිත ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ගම්මන්පිලට උඩබිම නැතිවන්නට පිළිතුරු ලබාදෙනු ඇතැයි කියාය. නමුත් මෙම මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළට වාර්තා වීමත් සමග ඉහළින් දැනුම්දීමක් කෙරුණේ එම සාකච්ඡාව අවලංගු කරන ලෙසටය. සඳුදා සවස පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී ප්‍රශ්නය විසඳා ගැනීමට කටයුතු කිරීමට නියමිත බැවින් කලබල ඇතිකර නොගන්නා ලෙසද උපදෙස් ලැබිණි. ඒ අනුව ඉරිදා රාත්‍රියේදී සාගරයේ මාධ්‍ය හමුව අවලංගු කළ බවට නැවත වතාවක් මාධ්‍යයට දැනුම්දීමක් කිරීමට පොහොට්ටුව පියවර ගත්තේය.

විමල්ලාගෙන් ආණ්ඩුවට ලිඛිත ප්‍රහාරයක්

කෙසේ වෙතත් සඳුදා කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ වීමට ප්‍රථම විමල්ලාගේ කැරලිකාර පාර්ශ්වයෙන් සාගර ඉලක්ක කර තවත් බරපතළ නිවේදනයක් නිකුත් විය. පක්ෂ නායකයන් අට දෙනකුගේ අස්සනින් නිකුත් වූ එම නිවේදනය මගින් පෙන්වා දී තිබුණේ ඉන්ධන මිල ඉහළ නැවීමේ සාමූහික තීරණය ගම්මන්පිල පිට පැටවීම හෙළාදකින බවත්, සාගර කාරියවසම් නිකුත් කළ නිවේදනය හරහා ආණ්ඩුව ඇතුළේ කල්ලිවාදය ඇති බවට වූ සැකය ජනතාව තුළ ඇතිවීම වැළැක්විය නොහැකි බවත්ය. එබැවින් එම කල්ලිවාදය පරාජය කිරීම ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ වගකීම බවත් විමල්ගේ කණ්ඩායම එම ලිපිය මගින් අවධාරණය කොට තිබිණි.

විමල් කැබිනට්ටුවට නෑ: ගම්මන්පිල සද්දයක්වත් නෑ

කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර නිකුත් වූ මෙම නිවේදනයත් සමග බොහෝ දෙනා සිතා සිටියේ පස්වරුවේ පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම ගිනිකෙළි සංදර්ශනවලින් සමන්විත වනු ඇතැයි කියාය. නමුත් කැබිනට් මණ්ඩල රැස්වීම එදින නිමා වූයේ කිසිදු විශේෂ සිදුවීමකින් තොරවය. ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමට සහභාගි නොවීම හේතුවෙන් අගමැතිවරයා මුලසුන දරනු දැකගත හැකි විය. විමල්ද කැබිනට් රැස්වීමට පැමිණ සිටියේ නැත. ගම්මන්පිල ඊට සහභාගි වුවත් ඔහු තෙල් මිල සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකර නිහඬ ප්‍රතිපත්තියක සිටියේය.

චමල් තෙල්-පොහොර ගැන කතා කරයි

රැස්වීම ආරම්භයේදීම චමල් කතා කරමින් පෙන්වා දුන්නේ තෙල් මිල ඉහළ නැංවීමෙන් දැඩි ජනතා විරෝධයක් මතුව ඇති බවත්, පොහොර ප්‍රශ්නය හේතුවෙන් විශාල ගොවි විරෝධයක් ගොඩනැගෙමින් පවතින බවත්ය. තවත් ඇමැතිවරුන් කිහිප දෙනකුද තෙල් මිල පිළිබඳ අදහස් දැක්වුවත් තෙල් මිල අඩුකිරීමක් පිළිබඳ එහිදී වචනයක් හෝ කතා නොකිරීම විශේෂ සිදුවීමක් විය.

ඉන් අනතුරුව ආණ්ඩුව පැත්තෙන් මැති ඇමැතිවරුන් විවිධ කතා තෙල් මිල සම්බන්ධයෙන් ප්‍රකාශ කරනු දැකගත හැකි විය. නමුත් විමල්ගේ කණ්ඩායම බලා සිටියේ සාගරගේ නිවේදනය මුල් කරගෙන බරපතළ ප්‍රශ්නයක් පැනනැගී තිබියදී ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සාගර සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳවය.

සාගර අයින් කරන්න මහින්දට කියපු 4 දෙනා කව්ද?

මන්ද යත් ආණ්ඩුවේ විමල්ට හිතවත් මැති ඇමැතිවරුන් හතර දෙනකු ඒ වන විටත් අගමැතිවරයා මුණගැසී සාගරව පොහොට්ටු ලේකම් ධුරයෙන් ඉවත් කරන ලෙසට ඉල්ලා තිබිණි. සාගර අනවශ්‍ය ප්‍රශ්නයක් ආණ්ඩුව ඇතුළේ නිර්මාණය කොට ඇති බවත්, සාගර මහලේකම් ධුරයෙන් ඉවත් කිරීම හරහා මෙම ප්‍රශ්නය විසඳාගත හැකි බවත් ඔවුන් අගමැතිවරයාට පෙන්වාදී තිබිණි. ඒ අවස්ථාවේදී අගමැතිවරයා ඔවුන්ට කෙළින් පිළිතුරක් නොදුන්නත්, එදිනම දහවල් පැවැති උත්සවයකදී සිය පිළිතුර ප්‍රසිද්ධියේම ලබාදීමට පියවර ගත්තේය. ඒ, චීන රජයේ සංවත්සර උත්සවයට සහභාගි වෙමින් සාගර සිය ආසනයට පසුපසින් තබාගැනීම හරහාය. ඒ හරහා අගමැතිවරයා විමල් ඇතුළු කැරලිකාර කණ්ඩායමට පෙන්වා දුන්නේ මොන තත්ත්වය මතුවුවත් ආණ්ඩුව සාගරව ආරක්ෂා කරනවා කියන එකය.

සාගර ගිහින් ගෝඨාව හමුවෙයි

එමෙන්ම අඟහරුවාදා දිනයේ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමද පොහොට්ටු කාර්යාලයේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට පියවර ගත්හ. පැය දෙකහමාරකට අධික කාලයක් තිස්සේ පැවැති මෙම සාකච්ඡාවට පසුපෙළ මන්ත්‍රීවරුන් 23 දෙනකු සහභාගිව සිටියහ. පක්ෂ මහලේකම් සාගර මේ රැස්වීමට සහභාගි වූයේ ජනාධිපතිවරයා මුණගැසීමට ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමෙන් අනතුරුවය. එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා හා සාගර අතර සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු නැතත්, සාගර බත්තරමුල්ලේ පොහොට්ටු කාර්යාලයට පැමිණ මාධ්‍යවේදීන් හමුවේ කළ ප්‍රකාශය හරහා එහි සාකච්ඡා වූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් යම් අදහසක් ලබාගත හැකි විය. එහිදී සාගර කියා සිටියේ තමා හා පක්ෂය කලින් සිටි ස්ථාවරයේම සිටින බවත්, තෙල් මිල ඉහළ නැංවීමේ වගකීම භාරගෙන ගම්මන්පිල අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්ය.

සඳුදා ගෲප් මීටිම උණුසුම් වන ලකුණු!

ඒ අනුව පසුව පැවැති පොහොට්ටු පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් විමල්, ගම්මන්පිල ඇතුළු කැරලිකාර කණ්ඩායමේ කටයුතු දැඩි ලෙස විවේචනය කිරීමට කටයුතු කළහ. එමෙන්ම ඊළඟ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විමල්ලාගේ මෙම ක්‍රියාකලාපය දැඩිව ප්‍රශ්න කිරීමටද මන්ත්‍රීවරු තීරණය කළහ.

ඒ අනුව ලබන සඳුදා (23) දින පැවැත්වීමට නියමිත මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම බොහෝ උණුසුම්කාරී එකක් වනු ඇති බව බොහෝ දෙනාගේ මතයය. මුලින් එය පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන බවට දැනුම්දී තිබුණත් බ්‍රහස්පතින්දා පස්වරුවේ කළ දැනුම්දීමකින් කියැවුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති මන්දිරයේ පැවැත්වීමට තීරණය කර ඇති බවකි. එය පස්වරු 6ට පැවැත්වීමට නියමිත බවද එම පණිවුඩයෙන් දැනුම්දී තිබිණි.

මේ තත්ත්වය යටතේ ආණ්ඩුව ආරම්භයේදී මුහුණ දුන් 20 වැනි සංශෝධන අර්බුදය, නැගෙනහිර වරාය ඉන්දියාවට ලබාදීමේ අර්බුදය හා පෝර්ට් සිටි පනත අර්බුදය මෙන් නොව මෙවර තෙල් මිල සම්බන්ධ අර්බුදය මුල් කරගෙන මේ වන විට ආණ්ඩුව ඇතුළේ බෙදීමේ රේඛාව පැහැදිලිව රටටම දැකගන්නට ලැබී ඇති බව පක්ෂ විපක්ෂ බොහෝ දෙනාගේ අදහසය.

සජබෙ උපක්‍රම ‌තෝරයි

මේ ආකාරයට ආණ්ඩුව ඇතුළේ මතුවෙමින් පැවැති අර්බූදය හමුවේ සමගි ජන බලවේගයද සියුම්ව බලා සිටියේ ඒ අවස්ථාවේදී ගත යුතු දේශපාලන උපාය උපක්‍රම පිළිබඳව සාකච්ජා කරමිනි. ඒ අනුව බොහෝ දෙනාගේ අදහස වූයේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම මේ මොහොතේ ඇති හොඳම දේශපාලන උපක්‍රමය යැයි කියාය.

විමල් පිලෙනුත් සජබෙට පණිවුඩයක්

මේ ආකාරයට සමගි ජනබලවේගය ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සැලසුම් කරන බවට තොරතුරු එළියට ඒමත් සමග විමල්ලාට හිතවත් පාර්ශ්වයේ මන්ත්‍රිවරයකුගෙන් ස.ජ.බ. මන්ත්‍රිවරයකුට පණිවුඩ කිහිපයක් ලැබිණ. එම පණිවුඩවලින් කියැවුණේ විශ්වාසභංගයක් ගෙන එනවා නම් මුළු ආණ්ඩුවටම විරුද්ධව රැගෙන එන ලෙසත්, ගම්මන්පිල පමණක් ඉලක්ක කර විශ්වාසභංග රැගෙන ඒමට කටයුතු නොකරන ලෙසත්ය. මේ පණිවුඩය නිසාමදෝ මුලදි, මුලදි සජබෙ පැත්තෙන් මාධ්‍ය නිවේදන නිකුත් වූයේද ආණ්ඩුවටම විරුද්ධවය. නමුත් පසුව සජබය මේ මොහොතේ අනුගමනය කළ යුතු උපක්‍රම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨයන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ. ඒ වන විටත් සජිත් නිරෝධායනය අවසන් කර නොතිබීම නිසා සාකච්ඡාවේ මුලසුන ගත්තේ රංජිත් මද්දුමබණ්ඩාරය. සරත් ෆොන්සේකා, මරික්කාර් ඇතුලු නියෝජිතයන් කිහිප දෙනෙක්ම සාකච්ඡාවට එක්ව සිටි අතර, මෙම අර්බුදයේදී සජබය ගතයුතු උපාය උපක්‍රම පිළිබඳ විවිධ අදහස් එහිදී මතු වූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී බහුතරයකගේම අදහස වූයේ ආණ්ඩුවටම විරුද්ධ විශ්වාසභංගය ගෙන එනවාට වඩා ගම්මන්පිලට විරුද්ධව විශ්වාසභංගය රැගෙන ආවොත් ආණ්ඩුව ඇතුළේ පැහැදිලි බෙදීමක් ඇති කළ හැකි යැයි කියාය. ඊට ඔව්හු අතීත උදාහරණද ගෙනහැර පෑහ.

රිෂාඩ්ට-රවිට කළා වගේ කරමු

‘තෙල් මිල ප්‍රශ්නෙ උඩ දැන් පොහොට්ටුව පැහැදිලිවම දෙකට බෙදිලයි ඉන්නෙ. ඒ නිසා අපි කරන්න ඕනෑ ආණ්ඩුව තවත් බෙදන එක. ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවොත් ආණ්ඩුව බේරගන්න ඔක්කොම එකතු වෙනවා. ඒ නිසා මේ වෙලාවේ හොඳම දේ ගම්මන්පිලට විතරක් විරුද්ධව විශ්වාසභංගයක් ගේන එක. මොකද දැන් පොහොට්ටුවේ බොහෝ දෙනෙක් ගම්මන්පිලට එරෙහිව යුද ප්‍රකාශ කරලා ඉවරයි. මතකද අපේ ආණ්ඩු කාලෙ ඒකාබද්ධ විපක්‍ෂය රිෂාඩ්ටයි, රවිටයි විරුද්ධව විශ්වාසභංග අරන් ඇවිත් ආණ්ඩුව කැඩුවා. ඒ වෙලාවේ රටම රවිටයි, රිෂාඩ්ටයි විරුද්ධවයි හිටියේ. ඉතින් අපිට ඒ අය වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. දැනුත් රටම ගම්මන්පිලට විැද්ධවයි ඉන්නේ…’ යනුවෙන් එක් මන්ත්‍රිවරයෙක් පෙන්වා දෙද්දී තවත් මන්ත්‍රිවරයෙක් කියා සිටියේ ආණ්ඩුවටම විරුද්ධව විශ්වාසභංගය ඉදිරිපත් නොකිරීමෙන් අවාසියක් වනු ඇද්ද කියාය.

දිනුවත් දිනුම් පැරදුණත් දිනුම්

‘නෑ… එහෙම වෙන්නෙ නෑ, මේක අපි දිනුවත් දිනුම්, පැරැදුනත් දිනුම්. නිකම් හරි ගම්මන්පිලට විරුද්ධව කෑගහපු අය විශ්වාසභංගයේදී ඡන්දය දුන්නොත් අපිට පුළුවන් මේ අය රටට බොරුවක් කළා කියලා ඔප්පු කරන්න. ඒක අපිට දිගුකාලීනව වාසිදායකයි. අනෙක් පැත්තට ඡන්දය නොදුන්නොත් ඒක කොහොමත් අපේ ජයග්‍රහණයක්. බලපෑම වැඩි වෙලා රවි වගේ ගම්මන්පිලත් ඉල්ලා අස්වුණොත් ඒකත් අපේ ජයග්‍රහණයක්…’ යනුවෙන් මන්ත්‍රිවරයා කියා සිටියේය. ඒ අනුව මෙම සාකච්ඡාවේදී නිල නොවන එකඟතා කිහිපයක්ම ගැනීමට මන්ත්‍රිවරු සමත් වූහ.

තීන්දුව ලීක් වෙයි: රනිල් සටනට පිවිසෙයි

කෙසේ වෙතත් සජබය ඇතුළේ ගත් මෙම තීන්දුව කාගෙන් හෝ ලීක් වී ගම්මන්පිලගේ කණ්ඩායමටද මොහොතක් යෑමට මත්තෙන් දැනගන්නට ලැබිණ. ඒ සමගම ගම්මන්පිලලාගේ පාර්ශ්වයෙන්ද මෙම විශ්වාසභංගය ආණ්ඩුව පිටට දමා ගැනීම සඳහා විශාල මෙහෙයුමක් දියත් වන්නට විය. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ ගම්මන්පිල පාර්ශ්වයෙන් රනිල්ට පණිවුඩ කිහිපයක්ම යෑමය.

රනිල් මෙහෙයුමට එක් වූයේ එම පණිවුඩ කිහිපය ලැබීමත් සමගය. ඒ අනුව රනිල් සමගි ජනබලවේගයේ සෙසු පක්‍ෂ නායකයන් වන මනෝ ගනේෂන්, රවුෆ් හකීම්ට දුරකතන ඇමැතුම් ලබා දීමට පියවර ගත්තේය. වෙනකක් තියා රනිල් විදේශගතව සිටින දිගම්බරම්ටද කතා කළේය. එසේ කතා කළ රනිල් කියා සිටියේ විශ්වාසභංගය ගම්මන්පිල ඉලක්ක කොට රැගෙන නොඑන ලෙසත්, ආණ්ඩුවට එරෙහිව රැගෙන එන ලෙසත්ය.

ඒ අනුව මොහොතක් යෑමට මත්තෙන් රනිල්ද ආණ්ඩුවත් සමග සෙට් වී විශ්වාසභංගය වෙනතකට හරවන්නට ගේමක් ගසන බව සජබ මන්ත්‍රිවරුන්ගේ කනටද වැටිණි. ඒ බව වහාම සජිත්ටත්, රංජිත්ටත් දැනුම් දීමට ඔව්හු පියවර ගත්හ. එහි ප්‍රතිඵලය වුණේ තවත් හදිසි රැස්වීමක් සංවිධාන කිරීමය. හැකි නම් සජිත්ටද ඊට එක් වන ලෙස ආරාධනා ලැබිණ.

සජිත්ගේ ලේකම්ටත් බලපෑම් ඇවිත්

කෙසේ වෙතත් ඒ වන විට ආණ්ඩුව පැත්තෙන් විශ්වාසභංගය ගම්මන්පිලගෙන් ගලවා ආණ්ඩුව පැත්තට දමා ගැනීමේ මෙහෙයුම තීව්‍ර කොට තිබිණ. ඒ අනුව සජිත්ගේ පාර්ලිමේන්තු ලේකම්වරයා වශයෙන් කටයුතු කරන රවි ජයවර්ධනට රනිල්ට හිතවත්ව වැඩ කරන හිටපු ඇමැතිවරයකුගේ ළඟම හිතවතකු කතා කළේය. එසේ කතා කළ එම පුද්ගලයා රවිටද දැනුම් දී සිටියේ විශ්වාසභංගය ආණ්ඩුවට එරෙහිව රැගෙන ඒමට කටයුතු කරන ලෙසටය.

මීට අමතරව විශ්වාසභංගයට අදාළව වෙබ්අඩවිවල විවිධ පුවත් පළවන ආකාරයක්ද දැකගත හැකි විය. රනිල්ගේ හා ගම්මන්පිලගේ පාර්ශ්වයෙන් පළවුණු එම පුවත්වලින් කියැවුණේ විශ්වාසභංගය ගම්මන්පිලට එරෙහිව රැගෙන ඒම සඳහා බැසිල්ගේ පාර්ශ්වයෙන් කෝටි ගණන් මුදල් සජබයට ලබා දී ඇතැයි කියාය.

සජිත් එළියට ආ පළමු රැස්වීම

මේ සියලු බලපෑම් මැද සජිත් නිරෝධායනය කාල සීමාව අවසන් කිරීමෙන් පසු පළමු වතාවට එළියට පැමිණියේ විශ්වාසභංගය පිළිබඳ අවසන් තීරණය ගන්නා සාකච්ඡාවට සහභාගි වීම සඳහාය. එම තීරණාත්මක සාකච්ඡාවට සජිත්ට අමතරව රංජිත් මද්දුමබණ්ඩාර, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, කබීර් හෂීම්, හරින් ප්‍රනාන්දු, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, ඉමිතියාස් බකීර් මාකාර්, තිස්ස අත්තනායක, මනුෂ නානායක්කාර යන මන්ත්‍රිවරු සහභාගී වී සිටියහ.

කෙසේ වෙතත් රැස්වීම විශ්වාසභංගය පිළිබඳව සාකච්ඡා කිරීමට කැඳවා තිබුණත් සජිත් රැස්වීම ආරම්භ කළේම තරමක දැඩි ස්වරයකින් යුක්තව වෙනත් මාතෘකාවක් පිළිබඳව අවධානය යොමු කරමිනි. ඒ, පසුගිය දින කිහිපය තුළ පක්‍ෂය ඇතුළේ සිදුවූ සිදුවීම් කිහිපයක් මුල්කර ගනිමිනි.

මන්ත්‍රීවරු එක්ක සජිත්ට යකා නැගලා

‘මම අසනීප වෙලා කාමරේ ඇතුළෙ අමාරුවෙන් ඉන්න කොට පක්‍ෂය ඇතුළේ මට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න එක එක්කෙනා හමුවුණු තැන්, කියපු කතා, කරපු නිවේදන, දීපු ඉන්ටවීව් ඔක්කොම මම ඇතුළෙ ඉඳගෙන බලන් හිටියා. මට මේක ගැන ලොකු කනගාටුවක් තියෙන්නෙ. ඒ නිසා මමත් ඒකට ප්‍රතිචාර දක්වනවා. මොකද මම හිතන්නේ මෙච්චර පහත් තත්ත්වයකට අපේ අය පත්වෙන්න හොඳ නැහැ. දැන් අපේම සමහරු මට චෝදනාවක් එල්ල කරනවා රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රමව තියාගෙන පක්‍ෂය අරගෙන ගියා වගේ මමත් මගේ මිත්‍රයන් එක්ක පක්‍ෂය අරගෙන යනවා කියලා. හැබැයි මම එකක් කියන්නම්, මම රනිල් නෙවෙයි. මලික්ලා වගේ අයට මම මගේ ළඟ හැදෙන්න ඉඩ තියන්නෙ නෑ. එහෙම වෙනවා නම් මම වහාම ඒක නවත්වනවා. ඔය චෝදනාවලට මම බය නැහැ. ඔය චෝදනා එල්ල කරන පුද්ගලයා මගේ අතිජාත මිත්‍රයෙක්. අපේ යාළුකම අවුරුදු 25ක්, 30ක් විතර පරණයි. හැබැයි මම රනිල් වගේ මගේ මිත්‍රයාව පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කරන්නේ නෑ. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අරන් එන්නෙත් නෑ. මම එයාව පක්‍ෂයේ කිසිම රැස්වීමකට අරන් එන්නෙත් නෑ. ප්‍රශ්නය තියෙන්න මගේ මිත්‍රයා එක්ක නම් මම ඒ ටික කරනවා. හැබැයි මගේ මිත්‍රත්වය මම නැති කරගන්නේ නෑ…’ යනුවෙන් තරමක් අපහසුවෙන්, කෝපයෙන් යුතුව සජිත් කතා කරද්දී මද්දුමබණ්ඩාරත්, රාජිතත් වහාම සජිත්ට කියා සිටියේ සන්සුන් වන්න යැයි කියාය. නමුත් සජිත්ව නවතාලීමට ඔවුන්ටද හැකියාවක් ලැබුණේ නැත.

කුමන්ත්‍රණවලට ලෑස්ති වෙන්න එපා

‘නෑ… විශ්වාසභංගය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මට මේ ටික පක්‍ෂයේ අයට කියන්න ඕනෑ. මම මෙතැනට ආවෙ සටන් කරලා. එහෙම එද්දි ඕන තරම් කුමන්ත්‍රණවලට මුහුණ දුන්නා. හැබැයි මෙතන කුමන්ත්‍රණ කරන්න ලෑස්ති වෙන්න එපා. මම ඒවට බය නෑ…’ යනුවෙන් සජිත් දැඩි ස්වරයෙන් යුතුව කියද්දී සියල්ලටම පුදුමයට පත්ව එදෙස බලා සිටිනු දැකගත හැකි විය.
මීට අමතරව චම්පික රණවක සම්බන්ධයෙන් පක්‍ෂය ඇතුළේ මතුව ඇති තත්ත්වය පිළිබඳවද සජිත් මෙහිදී පිරිස හමුවේ අදහස් පළ කළේය.

‘නෑ… විශ්වාසභංගය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මට මේ ටික පක්‍ෂයේ අයට කියන්න ඕනෑ. මම මෙතැනට ආවෙ සටන් කරලා. එහෙම එද්දි ඕන තරම් කුමන්ත්‍රණවලට මුහුණ දුන්නා. හැබැයි මෙතන කුමන්ත්‍රණ කරන්න ලෑස්ති වෙන්න එපා. මම ඒවට බය නෑ…’ යනුවෙන් සජිත් දැඩි ස්වරයෙන් යුතුව කියද්දී සියල්ලටම පුදුමයට පත්ව එදෙස බලා සිටිනු දැකගත හැකි විය.මීට අමතරව චම්පික රණවක සම්බන්ධයෙන් පක්‍ෂය ඇතුළේ මතුව ඇති තත්ත්වය පිළිබඳවද සජිත් මෙහිදී පිරිස හමුවේ අදහස් පළ කළේය.

චම්පිකගේ ප්‍රශ්නය

‘දැන් චම්පිකයි, ටිරාන් අලසුයි අතර ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඒ දෙන්නගේ පෞද්ගලික ප්‍රශ්නයක්. මම ටිරාන් අඳුනන්නේ ගෝඨා ටිරාන්ව අඳුනන්නත් කලින් ඉඳන්. හැබැයි ටිරාන් මගේ කොච්චර පරණ යාළුවෙක් වුණත් පහුගිය ජනාධිපතිවරණයේදී එයාගෙ පත්තරවලින් මට ගැහුවා. එදායින් පස්සේ එයත් එක්ක මගේ කිසිම දේශපාලන ගනුදෙනුවක් නෑ. ඒ නිසා චම්පිකයි – ටිරාන්ගෙයි ප්‍රශ්නය ඒ දෙන්නා විසඳගන්න ඕනෑ. ඒකට මම මැදිහත් වෙන්නෙ නෑ…’ යනුවෙන් සජිත් කියා සිටියේය.

සජිත් වැඩේ බාරගනී

විශ්වාසභංගය පිළිබඳ සාකච්ඡා වීම ආරම්භ වූයේ ඉන් අනතුරුවය. ඒ අනුව විශ්වාසභංගය රැගෙන ආ යුත්තේ ආණ්ඩුවට එරෙහිවද, එසේත් නැතිනම් ගම්මන්පිලට එරෙහිවද යන්න සම්බන්ධයෙන් එහිදී දීර්ඝව අදහස් හුවමාරු වන ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ වන විටත් සජිත් තෙල් මිල ප්‍රශ්නය මුල්කරගෙන ආණ්ඩුවටම ඉල්ලා අස්විය යුතු බවට නිවේදනයක් නිකුත් කර තිබීම නිසා ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය ඉදිරිපත් කළ යුතු බවටද තර්කයක් ඉදිරිපත් විය. නමුත් රනිල් පිලද එම ස්ථාවරයම ගනිමින් සජබ මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුටම බලපෑම් එල්ල කර ඇති බවද එහිදී කියැවිණි. ආණ්ඩුව පැත්තෙනුත් එම පණිවුඩයම එන බවද අනාවරණය විය. ඒ අනුව තර්ක, විතර්ක මැද අවසානයේදී සජිත් කියා සිටියේ බහුතරයකගේ තීන්දුව අනුව ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගය රැගෙන ඒම සුදුසු යැයි කියාය. ඒ අනුව විශ්වාසභංගය සකස් කිරීමේ කාර්යය, ඊට අස්සන් කිරීම සඳහා නැකැතක් බැලීම සහ පොහොට්ටුවේ සෙසු පක්‍ෂවලට ඊට සහාය දක්වන ලෙස ආරාධනා කිරීම මද්දුමබණ්ඩාරට පැවරිණ.

සජිත් සමගි ජනබලවේගයේ සෙසු පක්‍ෂ නායකයන් ඒ පිළිබඳව දැනුවත් කිරීමටත්, විපක්‍ෂයේ සෙසු පක්‍ෂ හා සාකච්ඡා කිරීමටත් බාර ගත්තේය. ඒ අනුව සජිත් පසුගිය සතියේ ජවිපෙ නායක අනුර කුමාරට, දෙමළ සන්ධානයේ නායක සම්බන්ධන්ට සහ දෙමළ සන්ධානයේ සෙසු පක්‍ෂ නායකයන්ට ඒ පිළිබඳ නිල වශයෙන් කතා කිරීමට පියවර ගත්තේය.

දයාසිරිට එක පිට එක කෝල්

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් කළෙමු. එහිදී අප කියා සිටියේ අනෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමැතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ දැවැන්ත සන්ධානයක් ගොඩනැඟීමට සැලසුම් කරද්දී දයාසිරි ඊට එරෙහිව පක්‍ෂය ඇතුළේ අදහස් දක්වා ඇති බවකි.

මේ නිසාම දයාසිරි හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් අතර මතගැටුම් ඇති වී ඇති බවත්, ඒ හරහා දයාසිරි පක්‍ෂය ඇතුළේ හුදකලා වී ඇති බවත් අපි එහිදී පෙන්වා දුන්නෙමු. එමෙන්ම මෙම තත්ත්වය උඩ දයාසිරිගේ පක්‍ෂ මහලේකම් ධුරය පවා වැට උඩ පවතින බවක්ද අපි එහිදී අනාවරණය කළෙමු.

මට ගහන්නේ ඇතුළේම අය

අපගේ මෙම අනාවරණයත් සමග දයාසිරිට පසුගිය සති අන්තයේ දිගට හරහට ඇමැතුම් ලැබෙන්නට පටන් ගෙන තිබුණු අතර, එසේ කතා කළ බොහෝ දෙනා මෙම කතාවේ ඇත්ත නැත්ත විමසා සිටීමට කටයුතු කර තිබිණ. එහිදී කතා කළ සියලු දෙනාටම දයාසිරි කියා සිටියේ අදාළ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, පක්‍ෂය ඇතුළේම සිටින කවුරුන් හෝ වැරැදි පුවතක් මාධ්‍යයට ලබා දී ඇති බවත්ය.

‘අපේම පැත්තෙන් කවුරු හරි වැරැදි කතාවක් ඒ පත්තරේට දීලා තියෙනවා. දැන් වෙලා තියෙන්නේ ඒකෙ අනෙක් පැත්ත. මම තමයි මුල ඉඳන්ම පක්‍ෂයට කිව්වේ මේ ආණ්ඩුවත් එක්ක දිගටම අපිට යන්න බෑ, අපේ පක්‍ෂයේ ප්‍රධානත්වයෙන් පුළුල් සන්ධානයක් හදන්න ඕනෙ කියලා. හිටපු ජනාධිපතිතුමාගේ ගෙදරදී මේ ගැන කතා කරපු රැස්වීමට මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, නිමල් සිරිපාල, ලසන්ත අලගියවන්න වගේ අයත් සහභාගි වෙලා සිටියා. මෙතැනදී මම මේ ගැන කිව්වාම විශාල රණ්ඩුවක් වුණා. අමරවීරලා, දුමින්දලා, ලසන්තලා කිව්වේ තවදුරටත් ආණ්ඩුව එක්ක ඉන්න ඕන කියලයි. මම නම් කියන්නෙ ආණ්ඩුවෙ හිටියත්, ඇමැතිකම් දැරුවත් හැම දේටම අත උස්සන්න ඕන නැහැ කියලයි. අපි අපේ පක්‍ෂයේ මතයත් එක්ක ආණ්ඩුව එක්ක වැඩ කරන්න ඕනෑ. අපේ මතය එක්ක ඉස්සරහට යන්න ඕනෑ.

විමල්ලාත් එන්න හිටියා

ඊළඟට මැයි දිනය තියන්න ගියාමත් ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. මම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මැයි දිනය වෙනම තියන්න ඕන කියලයි. එතැනදී දුමින්දත්, මගෙත් එක්ක හිටියා. හැබැයි අමරවීර, ලසන්තලා කිව්වේ ආණ්ඩුවත් එක්ක මැයි දිනය තියමු කියලයි. මම කිව්වේ අනෙක් පක්‍ෂ නායකයොත් එකතු කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනම කරමු කියලා. ඒ වෙලාවේ විමල්ලාගේ කණ්ඩායමත් අපිත් එක්ක මැයි වේදිකාවට නඟින්නයි හිටියේ. අන්තිමට ආණ්ඩුව මැයි දිනය තියන එක තහනම් කළා. දැන් මට කට්ටිය ගහනවා මම බැසිල් එක්ක යනවලු, නාමල් එක්ක යනවලු කියලා. මම ඔය කිසිකෙනෙක් එක්ක සම්බන්ධයක් නෑ. ඒ සම්බන්ධකම් තියෙන අය තමයි මම ගැන බොරු කතා පත්තරවලට දීලා තියෙන්නේ. මම ආණ්ඩුවත් එක්ක ගිහින් මගේ සහෝදරයන්ව තානාපති කාර්යාලවල රස්සාවලට දාගෙන නෑ. බැසිල් එක්ක මගේ සම්බන්ධකම් නෑ…’ යනුවෙන් මෙහිදී දයාසිරි ඒ කතා කළ සියල්ලන්ටම කියා සිටියේය.

ජනපති-ටීඑන්ඒ රහස් හමුව

පසුගිය සතියේ ජනාධිපතිවරයා හා දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ හමුවක් පැවැත්වීමට සියලු කටයුතු සැලසුම් කර තිබිණි. ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසා තිබුණේ වෙන කවුරුවත් නොව අගමැති මහින්ද රාජපක්ෂ මහතාය. මහින්ද, දෙමළ සන්ධානයේ සුමන්තිරන්ට කතා කොට ඒ සඳහා අවශ්‍ය කටයුතු ඉතා රහසිගතව සිදුකළේය. මේ වන විට ජිනීවා මානව හිමිකම් කොමිසමේ ලංකාවට එරෙහිව යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල කොට යෝජනාවක් සම්මත කර තිබීමත්, යුරෝපා පාර්ලිමේන්තුවේ ජී.එස්.පී. ප්ලස් සහනය ඉවත් කරන බවට යෝජනාවක් සම්මත කර තිබීමත් හමුවේ දෙමළ සන්ධානය සමග සුහදතාවක් වර්ධනය කරගැනීම මෙම සාකච්ඡාවල අරමුණ වී තිබිණි. ඒ අනුව ඉතා රහසිගතව මෙම සාකච්ඡාව පැවැත්වීමට දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණ තිබිණි. ඒ සඳහා දිනයක්, වේලාවක් වෙන් කරගැනීමට පවා කටයුතු කෙරිණි.

පළමුවරට හෙළි කළේ අපි

කෙසේ වෙතත් මෙම පුවත පසුගිය සතියේ අපි www.mawratanews.lk යන අපගේ වෙබ් අඩවිය ඔස්සේ පළමු වතාවට අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. ජනාධිපතිවරයා හා දෙමළ සන්ධානය අතර පැවැත්වෙන සාකච්ඡාවලට එම සන්ධානය නියෝජනය කරන සෙසු පක්ෂ නායකයන්ද සහභාගි වීමට නියමිත බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු.

කර්තෘ හිතවතාටත් සුමන්තිරන් කොළේ වහයි

අප වෙබ් අඩවියේ මෙම පුවත පළවීමත් සමග එවැනි හමුවක් පිළිබඳ කිසිවක් නොදැන සිටි උතුරේ දමිළ මාධ්‍යයන්ද මේ පිළිබඳ තොරතුරු සෙවීම ආරම්භ කළේය. ඒ අනුව දෙමළ සන්ධානයට ඉතා හිතවත් දමිළ පුවත්පතක කර්තෘවරයකු සුමන්තිරන්ට කතා කොට ඒ පිළිබඳ විමසා සිටීමට පියවර ගත්තේය. නමුත් සුමන්තිරන් එම කර්තෘවරයාටද කියා සිටියේ එවැනි කිසිවක් නොමැති බවකි.

නමුත් දකුණේ මාධ්‍ය බොහොමයක ඒ පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමට පියවර ගැනීමත් සමග ජනාධිපතිවරයා කළේ මෙම හමුව අවලංගු කිරීමට පියවර ගැනීමය. එමෙන්ම ඒ සඳහා වෙනත් දිනයක් හා වේලාවක් ලබාදෙන බවද ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දෙමළ සන්ධානයට දැනුම්දීමට පියවර ගත්තේය.

රනිල් ටීඑන්ඒ එකත් එක්ක!

මේ ආකාරයට දෙමළ සන්ධානය හා ආණ්ඩුව අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අහෝසි වුණත් රනිල්ගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය මුල් කරගෙන යළිත් වතාවක් දෙමළ සන්ධානය සමග කිසියම් එකඟතාවක් ගොඩනඟාගැනීමේ මෙහෙයුමක්ද තිරය පිටුපස දියත් වන ආකාරයක් දැකගන්නට ලැබිණි. දැනටමත් දේශපාලන ක්ෂේත්‍රයේ මුල් බැසගෙන ඇති කාරණාවක් වන්නේ ආණ්ඩුවේ අනුදැනුම මත රනිල් එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණෙන බවකි. ආණ්ඩුව මේ වන විට අර්බුද රැසක සිරවී සිටීම හේතුකොටගෙන ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය රට ඇතුළේ ශක්තිමත් වන බව පෙනෙන්නට ඇති නිසා රනිල් පාර්ලිමේන්තු ගෙන ඒම හරහා සමගි ජන බලවේගය ඇතුළේ ප්‍රශ්න නිර්මාණය කොට විපක්ෂය දුර්වල කිරීම ආණ්ඩුවේ සැලැස්ම වී තිබේ. ඒ අනුව ආණ්ඩුව මුල් වටයේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 10ක 15ක කණ්ඩායමක් කඩාගෙන වෙනම කණ්ඩායමක් බිහිකරගන්නා ලෙස රනිල්ට උපදෙස් ලබාදී තිබිණි. ඒ නිසාම රනිල්ද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට කතා කළත් 10ක 15ක කණ්ඩායමක් තබා දෙතුන් දෙනකුවත් සොයාගන්නට රනිල්ට හැකියාවක් ලැබුණේ නැත. සමගි ජන බලවේගයේ යම් යම් මන්ත්‍රීවරුන් රනිල්ට කතා කළත් ඔවුන්ද එසේ කළේ රනිල් සමග එකතුවීමේ සැබෑ වුවමනාවකින් නොව රනිල් පෙන්නා තමන්ගේ ප්‍රශ්න විසඳාගැනීමේ උපායක් ලෙසටය.

ආණ්ඩුව බය වෙයි

මේ තත්ත්වය පසුගිය සතිය වන විට ආණ්ඩුවටද නොදැනුණා නොවේ. කණ්ඩායමක් නොමැතිකමින් රනිල් පාර්ලිමේන්තුවට නොපැමිණෙනු ඇති බවට බියක්ද පසුගිය සතිය වන විට ආණ්ඩුවට දැනී තිබිණි. ඒ නිසාම ඊට විකල්පයක් වශයෙන් ආණ්ඩුව හැරුණේ දෙමළ සන්ධානය දෙසටය. ඒ අනුව ආණ්ඩුව පැත්තෙන් දෙමළ සන්ධානයට යැවුණු පණිවුඩ කිහිපයකින්ම කියැවුණේ රනිල් සමග කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ඇති හැකියාව සොයාබලන ලෙසටය. එසේ වැඩකටයුතු කරන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අවශ්‍ය පිළිගැනීම එම කණ්ඩායමට ලබාදිය හැකි බවද එම පණිවුඩවලින් කියැවිණි.
නමුත් පසුගිය අඟහරුවාදා වන තුරුත් දෙමළ සන්ධානය පැත්තෙන් ඊට නිසි පිළිතුරක් නොලැබුණු නිසා ආණ්ඩුවද තක්කු මුක්කු වී සිටියේ රනිල් සිය පාර්ලිමේන්තු ගමන නතර කරනු ඇතැයි සිතාය.

එසේ දෙගිඩියාවෙන් සිටි ආණ්ඩුවට සැනසුම් සුසුමක් හෙළන්නට හැකි වූයේ බදාදා දිනයේදී රනිල්ගේ නම පක්ෂ මහලේකම් විසින් මැතිවරණ කොමිසමට ලබාදීම වාර්තා වීමෙන් පසුවය.

චම්පිකගේ ප්‍රශ්නය විසදෙයි

මේ අතර චම්පික සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළේ මතුව තිබූ අර්බුදය මේ වන විට අවසානයක් දක්වා පැමිණ ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ, චම්පික හා සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් වූ රංජිත් මද්දුමබණ්ඩාර හා සරත් ෆොන්සේකා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවය. මෙහිදී සාකච්ඡා වූ කරුණු සජිත්ටද දැනුම් දුන් අතර, සජිත් කියා සිටියේ පක්ෂයේ ඇතුළට පැමිණ පක්ෂ සාමාජිකත්වය ගෙන චම්පික පක්ෂය වෙනුවෙන් කැපවිය යුතු බවත්, කල්ලි කණ්ඩායම් නිර්මාණය කිරීමෙන් වැළකී සිටිය යුතු බවත්ය. එමෙන්ම චම්පිකට පක්ෂය ඇතුළේ ප්‍රබල තනතුරක් ලබාදීම කෙරෙහිද මේ වන විට සජිත් ඇතුළු කණ්ඩායමේ අවධානය යොමුව තිබේ.

සජිත්ට සපෝට් මාධ්‍ය!

මේ අතර පසුගිය දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණේ හරීන් ප්‍රනාන්දු සමගි ජන බලවේගය ඇතුළේ කැරැල්ලක් ගැසීමට සූදානමින් සිටින බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබු තොරතුර සම්බන්ධයෙන්ය. ශල්‍ය කර්මයකින් අනතුරුව මේ දිනවල විවේක සුවයෙන් පසුවුවත් හරීන්ගේ නිවෙසේ පසුගිය සතියේ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි. ඊට චම්පික, මනුෂ, හර්ෂණ රාජකරුණා සහ චම්පිකගේ ගෝලයකුද එක්ව සිටියහ. මෙහිදී හරීන් මෙන්ම චම්පිකද තම තමන්ට ඇති කලකිරීම් පිළිබඳ අදහස් දැක්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.

මෙහිදී චම්පිකගේ ගෝලයා සජිත්ට උදව් කරන යම් යම් මාධ්‍ය පිළිබඳවද අදහස් දක්වනු දැකගත හැකි විය. ඒ සියලු තොරතුරු අප වෙත මේ වන විට ලැබී ඇති අතර ඉදිරියේදී අපද ඊට පිළිතුරු ලබාදීමට සූදානම් බව සඳහන් කළ යුතුය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

ජපානය-චීනය බෑ කියයි! තෙල් සංස්ථාව ණය දෙන තැන්වලින් ඩොලර් බිලියනයක ණයක් ගන්න යයි!!

Next Post

පාදෙණිය නාට්ටාමියෙක්! බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගිහින් රටම විනාශයි!! (VIDEO)

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.