• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජිනීවා රස්නය එන්න එන්නම වැඩි වෙයි: ආණ්ඩුව දරුස්මාන් වාර්තාවත් එළියට ගනී (රාජ්‍ය රහස්)

January 24, 2021
in Exclusive, Rajya Rahas, Uncategorized
Reading Time: 13 mins read
A A
ජිනීවා රස්නය එන්න එන්නම වැඩි වෙයි: ආණ්ඩුව දරුස්මාන් වාර්තාවත් එළියට ගනී (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

රට වටෙන්ම මතුවූ කොරෝනා රෝගය පසුගිය සතිය වන විට පාර්ලිමේන්තුවටද රිංගමින් ආණ්ඩුවේ අමාත්‍යවරුන් තිදෙනකුද, විපක්ෂයේ මන්ත්‍රිවරයකුද, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් නවදෙනකුද තම අණසකට ගැනීමට සමත් විය. දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, පියල් නිශාන්ත යන ඇමැතිවරුන් මෙන්ම විපක්ෂයේ රවුෆ් හකීම්ද මෙසේ ආසාදිතව නිරෝධායනයට ලක්වූ අතර, ඔවුන්ගේ පළමුපෙළ ආශ්‍රිතයන් වූ ජී.එල්. පීරිස්, තාරක බාලසූරිය ආදීන්ද ස්වයං නිරෝධායනයට ලක්ව සිටි ආකාරය පසුගිය සතියේදී දැකගන්නට ලැබිණ. මේ හේතුව නිසාම ආණ්ඩුවේ පමණක් නොව විපක්ෂයේ මන්ත්‍රිවරුන් පවා පසුගිය සතියේදී පොදුවේ මෙන්ම පෞද්ගලිකව පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ගනිමින් වැඩිපුර ජනතාවට මුහු නොවූ හුදෙකලා ජීවිතයක් ගතකරන ආකාරයක්ද දැකගත හැකි විය.
මේ ආකාරයට බලන විට ආණ්ඩුවට මේ වන විට කොරෝනා ප්‍රශ්නය මහත් හිසරදයක් වී ඇති බවක් අමුතුවෙන් කිවයුතු නැත. එසේ වුවත් ආණ්ඩුව ඊට මොනයම් ආකාරයකින් හෝ මුහුණදෙන ආකාරයක් දැකගන්නට තිබුණත් කොරෝනාවට වඩා බරපතළ තර්ජනයකට ආණ්ඩුව මේ වන විට මුහුණදී සිටින ආකාරයක් දැකගන්නට තිබේ. ඒ අන් කිසිවක් නොව ජිනීවාවලින් මේ දිනවල ආණ්ඩුවට එරෙහිව නැගෙමින් තිබෙන ප්‍රශ්නයය.

ජනපති සාකච්ජාවකට මහින්දට බැසිල්ට එන්න කියයි

තත්ත්වය මෙසේ තිබියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සඳුදා (18දා) විශේෂ සාකච්ඡාවක් සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත්, බැසිල් රාජපක්ෂ මහතාටත් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙසට දැනුම්දීමක් කළේය. පසුගිය සතියේ මෙම තීරුවෙන් අපි මේ ආකාරයෙන්ම ජනාධිපතිවරයා, අගමැතිවරයා හා බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡා දෙකක් පිළිබඳව පළමුවරට අනාවරණය කළෙමු. එහිදී අප කියා සිටියේ එහි මුල්ම සාකච්ඡාව ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පමණක් පැය එකහමාරක පමණ කාලයක් පැවැති බවකි. එම සාකච්ඡාවට වෙනත් කිසිදු පුද්ගලයකු හෝ පාර්ශ්වයක් සහභාගි නොවුණු බවද අපි එහිදී අනාවරණය කර සිටියෙමු.
එම සාකච්ඡාවෙන් අනතුරුව එහි තවත් දිගුවක් එදිනම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා හා බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැත්වුණු බවද අපි මෙම තීරුවෙන් වාර්තා කළෙමු. කෙසේ වෙතත් එම සාකච්ඡාවලදී කතාබහ කෙරුණු මාතෘකා පිළිබඳව නිල තොරතුරු පිළිබඳව වාර්තා නොවූ අතර නිල නොවන වශයෙන් වාර්තා වූ තොරතුරු කිහිපයක් අපි එහිදී සටහන් කර තැබුවෙමු.

හදිසියේම දිනේෂ්වත් කැදවයි

කෙසේ වෙතත් පසුගිය සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට ජනාධිපතිවරයා සැලැසුම් කොට තිබුණේ එහි ඊළඟ සාකච්ඡාවය. මෙහිදී ආණ්ඩුව ඇතුළේ දැනට සාකච්ඡා වෙමින් පවතින ඇමැති මණ්ඩල සංශෝධනය මෙන්ම ජිනීවා ගැටලුවද සාකච්ඡා කිරීමට නියමිතව තිබිණ. පෙරවරු 10.30ට රැස්වීම කැඳවා තිබුණු අතර, ඊට පැයකට පමණ පෙර ජනාධිපති කාර්යාලයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට හදිසි පණිවුඩයක් ලැබිණ. එම පණිවුඩයෙන් කියැවුණේ මෙම සාකච්ඡාවට සම්බන්ධ වන ලෙසට ජනාධිපතිවරයා දිනේෂ්ටද ආරාධනා කර ඇති බවකි.
එම ආරාධනාව ලැබෙන විට දිනේෂ් සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පක්ෂ නායක රැස්වීමට සහභාගි වෙමිනි. එම පක්ෂ නායක රැස්වීමට ආණ්ඩුව නියෝජනය කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු, දිනේෂ් ගුණවර්ධන, මහින්ද සමරසිංහ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩග්ලස් දේවානන්දා වැනි පක්ෂ නායකයන්ද, විපක්ෂය නියෝජනය කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුමබණ්ඩාර, අනුර කුමාර දිසානායක, එම්.ඒ. සුමන්තිරන් යන මන්ත්‍රිවරුද සහභාගි වී සිටියහ.

කිරිඇල්ල-සුමන්තිරන් රන්ජන් වෙනුවෙන් සටනට

මෙහිදී ප්‍රධාන මාතෘකාව වුණේ අඟහරුවාදා (19දා) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිර දඬුවම් විඳින රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා කැඳවීම පිළිබඳවය. ඒ වන විටත් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් රන්ජන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහෝසි වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දැනුම්දී තිබුණත් කිරිඇල්ලත්, සුමන්තිරනුත් දැඩිව පෙන්වා දුන්නේ රන්ජන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහෝසි වී නොමැති බවත්, මැතිවරණ කොමිසම විසින්ද එය පැහැදිලිව පෙන්වා දී ඇති බවත්ය. එමෙන්ම රන්ජන් පාර්ලිමේන්තුවට කැඳවීමේ සම්පූර්ණ අයිතිය ඇත්තේ කතානායකවරයාගේ අතේ බවද කිරිඇල්ලත්, සුමන්තිරනුත් පෙන්වා දුන්හ. එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් කිරිඇල්ල කතානායකගෙන් ඉල්ලා සිටියේ රන්ජන්ගේ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසටය. ඊට අවස්ථාව ලබාදීමට කතානායකවරයා එකඟ විය. නමුත් රන්ජන්ගේ මන්ත්‍රි ධුරය සම්බන්ධයෙන් තීන්දුව ගැනීමට තවත් දින කිහිපයක් තමන්ට ලබාදෙන ලෙසද කතානායකවරයා පිරිසට දැනුම්දී සිටියේය.

මහින්ද ඇවිත් නෑ

කෙසේ වෙතත් මෙම පක්ෂ නායක රැස්වීම නිමවූ වහා දිනේෂ් කෙළින්ම ගියේ ජනාධිපති ලේකම් කාර්යාලයටය. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත රැස්වීමට සහභාගි වීම සඳහාය. ඒ යන විට බැසිල් පැමිණ සිටියත්, මහින්ද පැමිණ සිටි ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. එම නිසා මහින්ද පැමිණෙන තෙක් ජනාධිපතිවරයා සහ දිනේෂ් අතර ජිනීවා මානව හිමිකම් සමුළුවේ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් හුවමාරු වෙද්දී මහින්දගෙන් ලැබුණු පණිවුඩයකින් කියැවුණේ තමන්ට රැස්වීමට සහභාගි වීමට නොහැකි බවකි. ඒ අනුව සැලැසුම් කළ පරිදි සාකච්ඡාව පැවැත්වීමට නොහැකි බැවින් ජනාධිපතිවරයා කියා සිටියේ එසේ නම් ගබන සතියේදී යළිත් වතාවක් මුණගැසී මේ සම්බන්ධයෙන් සියලු දෙනාම එක්ව සාකච්ඡා කරමු යැයි කියාය.

කොරෝනා හැදුණු ලේකම් මහින්දව හමුවන්න ඇවිත්

කෙසේවෙතත් මොහොතක් යෑමට මත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවට මහින්ද සහභාගි නොවුණ බවට වූ ප්‍රවෘත්තිය ලැව්ගින්නක් මෙන් ආණ්ඩුව ඇතුළේ පැතිර යන්නට විය. ඒ සැණින් සියලු දෙනාම සොයා බලන්නට වූයේ මහින්ද එම රැස්වීමට සහභාගි නොවීමට හේතුව කුමක්ද යන්න කියාය. ‘මහින්දටත් කොරෝනා හැදිලද’, ‘මහින්දත් නිරෝධානයට ගිහිල්ලාද’ යනාදී වශයෙන් තැන් තැන්වල කසුකුසු පැතිරෙන ආකාරයක්ද මෙහිදී දැකගන්නට ලැබිණ. එම නිසා බොහෝ දෙනා මහින්දට වෙලා තියෙන දේ සොයා බලද්දී සිදුව ඇති කරුණ එළියට පැමිණියේය. ඊට හේතුව වී තිබුණේ මහින්දටත්, මහින්දගේ පවුලේ ඥාතීන්ටත් අතිශය සමීප එක්තරා අමාත්‍යාංශ ලේකම්වරයකුට කොරෝනා ආසාදනය වී ඇති බවත්, එම අමාත්‍යාංශ ලේකම්වරයා නිතර දෙවේලේ පැමිණ මහින්දව මුණගැසී ඇති බව වාර්තා වීමත් සමඟය.

එකට කෑමත් කාලා

පසුගිය කාල සීමාවේදී මැති ඇමැතිවරුන්ට කොරෝනා රෝගය වැළඳීමත් සමඟ අගමැතිවරයාගේ ආරක්ෂක අංශය අගමැතිවරයා මුණගැසීමට පැමිණෙන අමුත්තන් මෙන්ම හිතවතුන් පවා දැඩි සීමා කිරීමකට ලක්කිරීමට පියවර ගෙන තිබිණ. සෞඛ්‍ය අංශ මඟින් ලැබුණු උපදෙස් මත මෙම තත්ත්වය ක්‍රියාත්මක කෙරුණු අතර අගමැතිවරයා හමුවීමට අවස්ථාව සලසා දී තිබුණේ ඉතාමත්ම සීමිත පිරිසකට පමණි. ඒ අනුව මෙම ලේකම්වරයා අගමැති නිල නිවසට පැමිණි අවස්ථාවේදී ආරක්ෂක නිලධාරීන් දැනුම්දී සිටියේ අගමැතිවරයා මුණගැසීමට අවස්ථාවක් ලබාදිය නොහැකි බවය. නමුත් මෙම ලේකම්වරයා ආරක්ෂක නිලධාරීන්ට කියා සිටියේ තමන් පසුගිය දිනවල ආසාදනයට ලක්වූ ඇමැතිවරුන් හමු නොවුණු බවත්, එපමණක් නොව තමන් ධම්මික කපු මහතාගේ කොරෝනා පැණිය පවා පානය කර සිටින බවත්ය. එම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඒ ආකාරයේ කයිවාරුවක් ගැසීම නිසා ආරක්ෂක නිලධාරීන්ද අගමැතිවරයා හමුවට යෑමට ඔහුට අවස්ථාව ලබාදුන්නේය. ඒ අනුව එම ලේකම්වරයා එදින අගමැතිවරයා සමඟ එකම මේසයේ දිවා ආහාරය පවා ගැනීමට පියවර ගෙන තිබිණි.
නමුත් ප්‍රශ්නය පැනනැඟුණේ වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟය. ඒ අනුව ආරක්ෂක නිලධාරීන් වහාම වාසුදේවගේ පළමු ආශ්‍රිතයන් සොයා මෙහෙයුමක් ආරම්භ කළ අතර, එහිදී ඔවුන්ට දැකගන්නට ලැබුණේ පෙර කී අමාත්‍යාංශ ලේකම්වරයාද ඊට දින දෙකකට කලින් වාසුදේවගේ උපන් දින සාදයට සහභාගිව සිට ඇති බවකි. පසුව කළ සොයාබැලීම්වලදී මෙම අමාත්‍යාංශ ලේකම්වරයාද කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ අතර හෙතෙම එදින අගමැතිවරයා සමඟ පමණක් නොව ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමඟද කතාබස් කොට ඇති ආකාරයක්ද දැනගන්නට ලැබිණ.

මහින්ද පී.සී.ආර්. කරයි

ඒ අනුව ඉරිදා දින (17දා) අගමැතිවරයා පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොමුවූ අතර, එහි ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබුණේ සඳුදා හෝ අඟහරුවාදා දිනය. අගමැතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවට සහභාගි නොවූයේ මේ හේතුව මතය. ඒ අනුව එදින අගමැතිවරයා කිසිදු අමුත්තකු හමුනොවී නිවෙසට වී නිදහසේ රූපවාහිනිය නරඹමින් සිටි ආකාරයක් දැකගත හැකි විය.
කෙසේ වෙතත් එම තත්ත්වය වාර්තා වීමත් සමඟ බොහෝ දෙනා අගමැතිවරයාගේ ලේකම්වරුන්ට කතාකොට අගමැතිවරයාගේ තත්ත්වය විමසද්දී ඔවුන් ඒ සියල්ලන්ටම කියා සිටියේ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබුණු බවත්, එය නෙගටිව් බවත්, සෞඛ්‍ය උපදෙස් මත අගමැතිවරයා තවත් දින කිහිපයක් නිවසට වී කාලය ගත කරනු ඇති බවත්ය. එසේ වුවත් අගමැතිවරයා පසුගිය දින කිහිපයේම ඔන්ලයින් තාක්ෂණය මඟින් රැස්වීම් කිහිපයකටම සම්බන්ධ වී අදහස් දැක්වීමටද පියවර ගෙන තිබිණ.

ජිනීවා රස්නය දැඩි වෙයි

මීට මාස කිහිපයකට පෙර සිට සතියක් පාසා අපි මෙම රාජ්‍ය රහස් තීරයෙන් ජිනීවා නුවරින් ලංකාවට එරෙහිව නැඟී එන මානව හිමිකම් ගින්නේ රස්නය පිළිබඳව තොරතුරු වාර්තා කිරීමට පියවර ගත්තෙමු. එහිදී අප පැහැදිලිව පෙන්වා දුන්නේ මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසමේ රැස්වීම හරහා ආණ්ඩුවට ජාත්‍යන්තර වශයෙන් බරපතළ සිදුවීම් කිහිපයකට මුහුණදීමට සිදුවනු ඇති බවකි. අප මෙම තොරතුරු සතිපතා වාර්තා කළේ හේතු කිහිපයක් මුල්කරගෙනය. ඉන් පළමු හේතුව වූයේ අන් කිසිදු සිංහල මාධ්‍ය පුවත්පතක් ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ මෙවර ලංකාවට මුහුණදීමට ඇති තත්ත්වය පිළිබඳව කිසිදු පුවතක් වාර්තා නොකිරීමය. අනෙක් හේතුව වූයේ ජිනීවාහි සිදුවන දෑ පිළිබඳව අපේ රටේ ජනතාව මෙන්ම මේ රටේ දේශපාලනඥයන්ද දැනගත යුතු වීමය.
එමෙන්ම මෙවර ජිනීවා සමුළුව ලංකාවට පැති කිහිපයකින්ම අතිශයින්ම තීරණාත්මකය. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ යුද්ධය නිමාවීමෙන් පසුව 2015 වන තෙක් ජිනීවා මානව හිමිකම් කොමිසම එවක පැවැති රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව යෝජනා සම්මත කරමින් දැඩි බලපෑමක් එල්ල කළ අතර, එදා නැවතුණු තැනින් යළිත් මානව හිමිකම් සටන ආරම්භ කිරීමට ඔවුන් තීන්දු කර තිබීමය. ඒ අනුව මෙවර මානව හිමිකම් රැස්වීමේදී ලංකා රජයට එරෙහිව අලුත් යෝජනාවක් සම්මත කිරීමටද මෙවර මානව හිමිකම් රැස්වීමේදී ඔවුන් කටයුතු කිරීමට නියමිතය.

පළමු අසුබ ලකුණ

මෙහිදී ඉකුත් දින කිහිපය දෙස බැලූ විට ජිනීවා මානව හිමිකම් කොමිසම තුළ ලංකාවට අවාසිසහගත සිදුවීම් කිහිපයක්ම සිදුව ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. ඉන් පළමුවැන්න වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරය සඳහා පසුගිය සතියේ ෆිජි ජාතික කාන්තාවක පත්වීමය. මෙම ෆීජි ජාතික කාන්තාවක වූ නෂ්හාත් ශමීම් හට සහාය දක්වමින් යුරෝපා රටවල් අදහස් දක්වද්දී චීනය ඊට තවත් අයකුගේ නමක් යෝජනා කිරීම නිසා ඉතිහාසයේ පළමු වතාවට සභාපති ධුරය සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට මානව හිමිකම් කොමිසම තුළ පියවර ගැනිණ. ඒ අනුව ඉන් ජය ගත්තේ යුරෝපා රටවල් සහ ඇමෙරිකානු නව රජය සහාය දැක්වූ ෆීජි රටේ නෂ්හාත් ෂමීම්ය. මෙවර ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට පිඹුරුපත් සකස් කොට ඇත්තේද මෙම යුරෝපා රටවල් සහ ජෝ බයිඩන්ගේ නව නායකත්වයෙන් යුත් ඇමෙරිකාවය. එය මෙවර මානව හිමිකම් කොමිසමේදී ලංකාව සම්බන්ධයෙන් අසන්නට ලැබුණු පළමු අසුබ ආරංචියය.

පිටු 30ක රහස් වාර්තාවක් ආණ්ඩුවට

දෙවැනි අසුබ ලකුණ වූයේ ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් මීට මාස කිහිපයකට ඉහතදී ආණ්ඩුවට ලැබුණු වාර්තාවකි. මෙය ඉතාමත් රහසිගත වාර්තාවක් වන අතර, එය සකස් කරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරයා විසිනි. එය එවනු ලැබ තිබුණේද විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙතටය. ඒ අනුව පසුගිය සතියේ දිනේෂ්ට මානව හිමිකම් කොමිසමෙන් ලැබුණු මෙම අතිශය රහසිගත වාර්තාව පිටු 30කින් සමන්විත වූ අතර, රාජ්‍ය රහස් තීරයට දැනගැනීමට ඇති නිල නොවන ආරංචිවලින් කියැවෙන්නේ එම වාර්තාව ලංකාව සම්බන්ධයෙන් ඉතා අහිතකර ආකාරයට සකස් කොට ඇති බවකි. මෙම වාර්තාව මෙතෙක් ප්‍රසිද්ධ වී නැතත් මෙම වාර්තාවේ ඇති විශේෂත්වය වන්නේ එහි ඇති කරුණු උපුටා දක්වමින් මානව හිමිකම් කොමිසමේදී ලංකාවට එරෙහිව යෝජනාව ඉදිරිපත් කිරීමට ඔවුන් සැලැසුම් කර තිබීමය. ඒ නිසා කෙටියෙන් කියතොත් ලංකාවට එරෙහි සම්පූර්ණ යෝජනාව පදනම් වී ඇත්තේ මෙම වාර්තාව මතය. එයද ලංකාව සම්බන්ධයෙන් වූ අසුබ සංඥාවක් ලෙස පෙන්වා දීමට පුළුවන.

පවර්ට බයිඩන් පවර්ස් දෙයි

එමෙන්ම මීට පෙර අප මෙම තීරයෙන් පෙන්වා දුන්නේ ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණු ඩිමොක්‍රොටික් පක්ෂයේ ජෝ බයිඩන් මහතා 2015ට පෙර තිබූ ආකාරයටම ලංකාව සම්බන්ධයෙන් සිය විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවීමට සූදානමින් සිටින බවකි. ඒ අනුව 2015ට පෙර ඔබාමා රජය යටතේ ලංකාව සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගත් ප්‍රධාන චරිතයක් වූයේ සමන්තා පවර්ය. එදා සමන්තා ලංකාවට එරෙහිව කොපමණ දරුණු සටනක් ගෙනගියාද කියනවා නම් මානව හිමිකම් මුල්කරගෙන ඇය ලංකාවට එරෙහිව ඇමෙරිකානු සම්බාධක පනවන තැනට පවා සටන ගෙනගොස් තිබිණ. ඒ අනුව බොහෝ දෙනකු පළමු වටයේදීම බයිඩන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ධුරය වැනි බලගතු තනතුරක් සමන්තා වෙනුවෙන් ලබාදෙනු ඇතැයි සිතා සිටියද එය එසේ වූයේ නැත. මේ හේතුව නිසා ඇතැමුන් කියා සිටියේ සමන්තා දැන් බයිඩන්ගේ රජයෙන් කැපීගොස් ඇතැයි කියාය. නමුත් ඒ සියලු කටකතා බොරු කරමින් පසුගිය සතියේ බයිඩන් විසින් සමන්තා යූඑස්ඒඩ් ආයතනයේ ප්‍රධාන තනතුරට පත්කිරීමට කටයුතු කළේය. එපමණක් නොව ඇමෙරිකානු කැබිනට් අමාත්‍යවරයකු සතු බලතල සහිතව එරට ආරක්ෂක මණ්ඩලයට සමන්තා පත්කිරීමටද බයිඩන් පසුගිය සතියේ පියවර ගත්තේය. මුල් වටයේදී බයිඩන් රජයේ සමන්තා නොමැති වීමෙන් සැනසුම් සුසුම් හෙලූ ඇතැමුන්ට එම සැනසුම සතියක් හෝ පවත්වා ගැනීමට බයිඩන් රජය ඉඩ නොදුන්නේ ඒ ආකාරයටය.

ටෙප්ලිට්ස් හිටිහැටියේම එළියට

මේ අතර ජෝ බයිඩන් ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව මෙරට ඇමෙරිකානු තානාපතිවරිය වූ ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය පවා ගත කළේ තරමක නිහඬ ජීවිතයකි. වෙනදා නම් ටෙප්ලිට්ස් රට වටේ ඇවිදිමින්, සීගිරි නගිමින්, ලංකාවේ දේශපාලනඥයන් මුණගැසෙමින් ඊට අදාළ ඡායාරූප නිරතරුවම සිය ට්විටර් ගිණුමේ යාවත්කාලීන කිරීමට පියවර ගත්තද බයිඩන් ජයග්‍රහණය කිරීමත් සමඟ ඒ සියල්ලම නැවතුණු ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ අනුව සියලු දෙනාම බලා සිටියේ බයිඩන් ජය ගැනීමෙන් පසු ටෙප්ලිට්ස් කුමක් කරනු ඇතැයිද කියාය. මෙසේ බයිඩන් ජයග්‍රහණය කිරීමෙන් පසු නිහඬව සිටි ටෙප්ලිට්ස් පසුගිය බදාදා දිනයේ බයිඩන් දිවුරුම් දී පැය කිහිපයක් යෑමට මත්තෙන් යළි කරළියට ආ ආකාරයක් දැකගත හැකි විය. ඒ කොරෝනා සිරුරු භූමදානය කිරීමට ඉඩ ලබා නොදීම හරහා ලංකාවේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය වන බව සඳහන් කරමින් සැර ට්විටර් පණිවුඩයක් නිකුත් කිරීම හරහාය. ඒ අනුව එයින්ද එකක් පැහැදිලිය. ඒ, ටෙප්ලිස්ට්ද බලා සිට ඇත්තේ තම කටයුතු නැවැත ආරම්භ කරන්නට බයිඩන් දිවුරුම් දෙන තෙක් බවය.
ඒ අනුව මේ සියලු කරුණු කාරණා හරහා මෙවර මාර්තුවේ ආරම්භ වීමට නියමිත මානව හිමිකම් කොමිසමේ සැසිවාරය ලංකාවට ඉතා තීරණාත්මක බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ අනුව දැන් සියලු දෙනාම බලා සිටින්නේ ආණ්ඩුව මීට කවර ආකාරයකින් මුහුණදීමට සූදානම් වනවාදැයි කියාය.

ආණ්ඩුවත් මුහුණ දෙන්න සූදානමින්: ජනපතිගෙන් කමිටුවක්

කෙසේවෙතත් ජිනීවාවලින් නැඟෙන මේ රස්නය ආණ්ඩුවටද නොදැනුණා නොවේ. ඒ අනුව ආණ්ඩුවද මේ දිනවල සිටින්නේ ඊට මුහුණදීම සඳහා අවශ්‍ය සැලැසුම් සකස් කරමිනි. ඉන් එක් සැලැසුමක් පසුගිය සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතකට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ලබාදුන් ප්‍රකාශයකින් එළියට ආ ආකාරයක් දැකගත හැකි විය. එහිදී කොළඹගේ කියා සිටියේ ආණ්ඩුවට එල්ල වී ඇති මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් නව කොමිසමක් පත්කිරීමට සූදානමින් සිටින බවකි. මෙම කොමිසම මඟින් නැවත වතාවක් මානව හිමිකම් චෝදනා විමර්ශනයක් සිදුනොකරන බවත්, ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් මෙතෙක් අධ්‍යයනය කොට නිකුත් කර ඇති වාර්තා සහ එහි නිර්දේශයන් සම්බන්ධයෙන් එම කොමිසමෙන් සොයා බැලීමක් සිදුකරන බවත් හෙතෙම එහිදී සඳහන් කර තිබේ. ඒ අනුව මේ වන විට අවසන් කොට ඇති උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාවද, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් වගවීම සම්බන්ධයෙන් අධ්‍යයනය කොට නිකුත් කළ දරුස්මාන් වාර්තාවද, අතුරුදන් පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලා නිකුත් කළ පරණගම කොමිසම් වාර්තාවද මෙම නව කමිටුව මඟින් අධ්‍යයනය කිරීමට නියමිතය. ඒ සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරනු ඇති බව සඳහන් කළ කොළඹගේ මහතා ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව නුදුරු දිනකදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමට නියමිත බවද සඳහන් කර සිටියේය.

මව්රට කලින්ම කිව්වා

ඒ අනුව පසුගිය සතියේ පළමු වතාවට මෙම කරුණ සතිඅන්ත ඉංග්‍රීසි මාධ්‍යයක් මඟින් කොළඹගේ මහතාගේ ප්‍රකාශයක් හරහා අනාවරණය කර තිබුණද ‘රාජ්‍ය රහස්‘ තීරය මෙම කරුණ අනාවරණය කළේ මීට හරියටම මාස එකහමාරකට ප්‍රථමය. එනම් ඉකුත් දෙසැම්බර් 13 වැනි දින ‘රාජ්‍ය රහස්’ තීරය මඟින් මේ සම්බන්ධයෙන් අප පළමුවරට රටට අනාවරණය කිරීමක් කළේය. එහි අප සඳහන් කළේ මෙවැන්නකි.

ජනාධිපති දිනේෂ්ට එන්න කියයි: තීන්දු 3ක් ගනී

කෙසේ වෙතත් මානව හිමිකම් සම්බන්ධයෙන් වන මෙම කතිකාව දිනෙන් දින ඉහළ යෑමත් සමඟ ජනාධිපතිවරයා විසින් පසුගිය සතියේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්තේය. එහිදී සාකච්ඡාවට ලක්වූයේ මාර්තු මාසයේ ජිනීවාවලදී ලංකාවට එරෙහිව ඉදිරිපත් වීමට නියමිත මෙම යෝජනාවට නිවැරැදි අයුරින් මුහුණදෙන්නේ කෙසේද යන්නය. ඊට අමතරව එම යෝජනාව ගෙන ඒම වළක්වා ගැනීම සඳහා ආණ්ඩුව පැත්තෙන් ක්‍රියාත්මක කළ යුතු යෝජනා සහ ගත යුතු යම් යම් ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා හා දිනේෂ් අතර දීර්ඝව සාකච්ඡා විය. එම සාකච්ඡාවලදී වහාම ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාමාර්ග සහ යෝජනා තුනක් සම්බන්ධයෙන් දෙදෙනාම අවසන් එකඟතාවයකට පැමිණියහ. ඉන් පළමුවැන්න වන්නේ ලංකාවට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම විමර්ශනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගයය.

දේශීය යාන්ත්‍රණයක් එයි

2009 වර්ෂයේදී යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජිනීවාහි මානව හිමිකම් කොමිසමේදී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනාවක් ඉදිරිපත් වූ අතර, එහිදී ඔවුන් දැඩිව කියා සිටියේ අදාළ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවිය යුතු යැයි කියාය. නමුත් මහින්ද රාජපක්ෂ රජය දිගින් දිගටම එම ජාත්‍යන්තර අධිකරණය පිහිටුවීමට විරෝධය පළ කළ අතර, ආණ්ඩුව කියා සිටියේ දේශීය යාන්ත්‍රණයක් හරහා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය හැකි යැයි කියාය. නමුත් එයද අතරමග ඇනහිටීම හේතුකොටගෙන අදාළ චෝදනා විමර්ශනය කිරීමක් සිදුවුයේ නැත.
වත්මන් ආණ්ඩුවද බලයට පත්වූයේ කිසිදු රණවිරුවකුව දංගෙඩියට නොයවන බවටත්, ඔවුන් දිවි හිමියෙන් ආරක්ෂා කරන බවටත් රටට පොරොන්දුවක් දෙමිනි. ඒ අනුව වත්මන් ආණ්ඩුවටද කිසිසේත්ම ජාත්‍යන්තර අධිකරණ යෝජනාවකට එකඟ වීමට හැකියාවක් නැත. ඒ අනුව අවසානයේදී අපට දැනගන්නට ඇති තොරතුරුවලට අනුව කියැවෙන්නේ ජනාධිපතිවරයා දේශීය යාන්ත්‍රණයක් හරහා එම චෝදනා විමර්ශනය කිරීමට එකඟතාවය පළකොට ඇති බවය. ජනාධිපතිවරයාගේ එම ස්ථාවරයට ජිනීවා කොමිසමේ ස්ථාවරය කුමක්වේදැයි යන්න කීමට තවමත් කල් වැඩි වුවත් ඉදිරි දින කිහිපය ඇතුළත ජනාධිපතිවරයා එම විමර්ශනය සම්බන්ධයෙන් රටට කිසියම් පණිවුඩයක් දීමට සූදානමින් සිටින බවක්ද දැනගන්නට ඇත.’

දරුස්මාන් වාර්තාව එළියට ගත්තේ ඇයි?

කෙසේ වෙතත් ජයනාත් කොළඹගේ මහතා ලබාදුන් ප්‍රකාශයේ ඇති බරපතළම කාරණය වන්නේ දරුස්මාන් වාර්තාවද සලකා බැලීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවට වූ කාරණාවය. සියලු දෙනාම දන්නා පරිදි ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් විමර්ශනය කර නිකුත් කරනු ලැබූ බරපතළම වාර්තාව වන්නේ දරුස්මාන් වාර්තාවය. එය කෙතරම් දරුණු වූවාද කියනවා නම් එවක පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය. එහිදී ඔවුන් දැඩිව කියා සිටියේ මෙම වාර්තාව ඒකපාර්ශ්වික බවත්, අසත්‍ය කරුණු මත පදනම්ව සකස් කොට ඇති බවත්, සමස්ත වාර්තාවම අසත්‍ය කරුණුවලින් පිරී ඇති බවත්ය. එම නිසා එම වාර්තාව විශ්වසනීයත්වයෙන් තොර බවද එවක රාජපක්ෂ ආණ්ඩුව තරයේ කියා සිටියේය. එවැනි තත්ත්වයක් යටතේ කොළඹගේ මහතා සිය ප්‍රකාශය මඟින් දරුස්මාන් වාර්තාවද සලකා බලන බව ප්‍රකාශ කිරීමෙන් එක්තරා ආකාරයකට ඊට පිළිගැනීමක් ලබාදුන්නාද යන්න පිළිබඳව මේ වන විට ආණ්ඩුව ඇතුළේම බරපතළ කසුකුසුවක් යන ආකාරයක් දැකගන්නට තිබේ. පසුගිය සතියේ පාර්ලිමේන්තු රැස්වීම අතරවාරයේදී ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කිහිපදෙනෙක්ම මේ පිළිබඳව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් විමසා තිබිණ. ඔවුන් දිනේෂ්ගෙන් අසා සිටියේ කොළඹගේ මහතා කළ ප්‍රකාශය දුටුවාද යන්නත්, ඒ හරහා බරපතළ කාරණා කිහිපයක්ම මතුවනවා නොවේද යන්නත්ය. නමුත් ඊට පිළිතුරු දෙමින් තරමක අප්‍රසාදයකින් යුතුව දිනේෂ් කියා සිටියේ එතුමා ප්‍රකාශ නිකුත් කොට ඇත්තේ තමන්ගෙන් විමසා නොවන බවකි.

රන්ජන්ට මදුරුවන්ගෙන් ෂොට් එකක්

වසර හතරක බරපතළ සිර දඬුවමකට නියම වී සිටින සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා මේ වන විට සිටින්නේ පල්ලන්සේන සිර කඳවුරේ නිරෝදායනයට ලක්වෙමිනි. ඒ අනුව පිටතින් කිසිදු පුද්ගලයකුට රන්ජන්ව බැලීමට හෝ ඔහු සමඟ කතා කිරීමට කිසිදු අවස්ථාවක් මේ දක්වා හිමිව නොමැත. රන්ජන් සිරගත වූ පළමු සතියේ ඔහුට කියවීම සඳහා රන්ජන්ගේ ඥාතියකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් රචිත පොත් කිහිපයක් රන්ජන්ගේම ඉල්ලීම පරිදි බන්ධනාගාරය වෙත රැගෙන යෑමට ඔහුගේ හිතවතුන් කටයුතු කළද ලැබී ඇති සෞඛ්‍ය උපදෙස් හේතුකොටගෙන බන්ධනාගාර නිලධාරීන් ඊට අවසර ලබා දී තිබුණේ නැත.
එමෙන්ම මේ වන විට රන්ජන් සිටින්නේ ඉතා කුඩා සිර කුටියක රඳවාය. රන්ජන්ට නිදාගන්නට ලැබී ඇත්තේ පැදුරක් සහ කොට්ටයක් පමණි. දහවල් කාලයේදී නම් රන්ජන් සැහැල්ලුවෙන් බන්ධනාගාර නිලධාරීන් සමඟ සහ අනෙකුත් සිරකරුවන් සමඟ වචනයක් දෙකක් හුවමාරු කරගත්තද රාත්‍රී කාලයේදී නම් රන්ජන්ට සිදුව ඇත්තේ මහත් කරදරයකට මුහුණදෙන්නටය. ඒ වෙන මොකක්වත් නොව මදුරුවන්ගේ කරදරයටය. මදුරුවන් බහුලව සිටීම හේතුවෙන් පළමු දින කිහිපයේ රන්ජන්ට සිදුව තිබුණේ නිදිවර්ජිතව රාත්‍රිය ගෙවා දැමීමටය.

මුල්ම ඇමතුම රට ඉන්න අක්කාට

කෙසේ වෙතත් පසුගිය සතියේදී රන්ජන්ට පළමු දුරකතන ඇමැතුම පිටතට ලබාගැනීමේ අවස්ථාව හිමිවිය. විනාඩි කිහිපයකට පමණක් සීමා වූ එම දුරකතන ඇමැතුම රන්ජන් ලබාගත්තේ තමන්ට අතිශය හිතවත් අයකුටය. එහිදී රන්ජන් පළමුවෙන්ම විමසා සිටියේ තම කාර්ය මණ්ඩලයේ සිටින සේවකයන්ගේ තත්ත්වය පිළිබඳවය. ඊට පිළිතුරු දුන් සැණින් රන්ජන් විමසා සිටියේ සිය ෆේස්බුක් ගිණුම සහ යූටියුබ් ගිණුම පිළිබඳවත්, සිය හිතවතුන්ගෙන් මෙන්ම රසික රසිකාවියන්ගෙන් ලැබෙන ලියුම්කියුම් පිළිබඳවත්ය. ඊටද පිළිතුරු ලැබුණු පසු රන්ජන් තමන්ට සිය සහෝදරියට මෙන්ම සිය නීතිඥවරයාටද කතා කළ යුතු බව කියා සිටියේය. ඒ අනුව එම ඇමැතුම් දෙකද සම්බන්ධ කිරීමෙන් පසු රන්ජන්ට සිය සහෝදරියට කියන්නට හැකි වූයේ වචන කිහිපයක් පමණි.
“චූටි ඔයාට කොහොමද. මම හොඳින් ඉන්නවා. ඕගොල්ලො බය වෙන්න එපා.”යනුවෙන් කී රන්ජන් ඉන් අනතුරුව නීතිඥවරයා සමඟද හැකි ඉක්මණින් වචන කිහිපයක් හුවමාරු කර ගැනීමට කටයුතු කළේය.

කෑම අතිවිශිෂ්ටයි

ඉන් අනතුරුව ඇමැතුම ලබාගත් හිතවතා රන්ජන්ගෙන් විමසා සිටියේ ඇතුළේ තත්ත්වය කෙසේද යන්න කියාය.
“අවුලක් නම් නැහැ. හැබැයි රෑට මදුරුවන්ගෙන් තමයි බේරෙන්න බැරි. මට නිදාගන්න පැදුරකුයි, කොට්ටෙකුයි දුන්නා. මම නෙට් එකක් ඉල්ලුවත් ඒක තාම මට හම්බවුණේ නෑ.” යන්න රන්ජන් ඊට දුන් පිළිතුර විය.
ඉන් අනතුරුව හිතවතා විමසා සිටියේ කෑම ගැනය. රන්ජන් ඊට පහත් ස්වරයෙන් පිළිතුරු දෙමින් කියා සිටියේ “හොඳයි” යැයි කියාය. නමුත් එසැණින්ම රන්ජන් නැවැතත් “අති විශිෂ්ටයි” කියා සිනාසීමටද කටයුතු කළේය. ඒ සමඟම දුරකතන ඇමැතුම විසන්ධි වී ගිය ආකාරයක් දැකගත හැකි විය.

ෆයිස්-අශාන් වැඩ පටන් ගනී

කෙසේ වෙතත් පල්ලන්සේන කඳවුරේ රන්ජන්ගේ නිරෝධානය කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ සඳුදා (25දා) දිනය. ඒ අනුව මෙම සතිඅන්තයේදී හෝ සඳුදා දින රන්ජන් පල්ලන්සේන කඳවුරෙන් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ඒමට ප්‍රථම පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය. රන්ජන් වැලිකඩට ගෙන ඒමට තීන්දු වනු ඇත්තේ ඉන් ලැබෙන ප්‍රතිඵලය මතය.
රන්ජන් මේ ආකාරයට පල්ලන්සේන කඳවුරේ සිටියදී රන්ජන් නිදහස් කර ගැනීම සඳහා සහ ඔහුගේ මන්ත්‍රි ධුරය ආරක්ෂා කර ගැනීම සඳහා මේ දිනවල සජිත් ප්‍රමුඛ සමඟි ජන බලවේගය එළියේ විශාල වැඩ කොටසක් සිදුකරමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ. සජිත් එය භාරදී ඇත්තේ ප්‍රකට නීතිවේදියකු වන ෆයිස් මුස්තාපා මහතාට සහ අශාන් ප්‍රනාන්දු මහතාටය. ඒ අනුව මේ දිනවල ඔවුන් සැලැසුම් කොට ඇත්තේ අදාළ තීන්දුව සම්බන්ධයෙන් යළිත් වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට සංශෝධන අයැදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමටය.

බන්දුල ආණ්ඩුව ඇතුළේ වෙනම ගේමක: 23ක් ඉන්නවාලු

මීට සති කිහිපයකට ඉහතදී සමඟි ජන බලවේගයේ මන්ත්‍රිවරයකු වූ පාඨලී චම්පික රණවක මහතා විශේෂ ප්‍රකාශයක් කළේය. චම්පික ඒ ප්‍රකාශය මඟින් කියා සිටියේ ආණ්ඩුවත් සමඟ මේ වන විට කලකිරී සිරින විමල්ලා වැනි පුද්ගලයන් පවා සම්බන්ධ කරගෙන ආණ්ඩුවට එරෙහි දැවැන්ත බලවේගයක් නිර්මාණය කිරීමට පියවර ගන්නවා යැයි කියාය. කෙසේ වෙතත් චම්පිකගේ මේ ප්‍රකාශයට පසුගිය දිනෙක දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ විමල් කියා සිටියේ කිසිසේත්ම චම්පිකලා වැන්නවුන් සමඟ දේශපාලන සබඳකම් පැවැත්වීමට කටයුතු කරන්නේ නැතැයි කියාය.
විමල් මේ ආකාරයට ප්‍රකාශ කළත් මේ වන විට ආණ්ඩුව ඇතුළේ මෙන්ම පාර්ලිමේන්තුව ඇතුළේද, ලොබියේද, කැන්ටිමේද කතාබහට ලක්වන ප්‍රබල කසුකුසුවලින් කියැවෙන කතාවක් වන්නේ ආණ්ඩුව ඇතුළේ කලකිරීමට පත්ව සිටින ප්‍රබල මැති ඇමැතිවරුන් ගණනාවක්ම සිටින බවත්, ඔවුන් මේ වන විට කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීම සඳහා සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත්ය. එමෙන්ම බන්දුල ඇතුළු මැති ඇමැතිවරුන් 23ක කණ්ඩායමක් ගොස් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසී ඇති බවට වූ විශාල කසුකුසුවක්ද පසුගිය සතියේ පාර්ලිමේන්තු ලොබියේදී සාකච්ඡාවට ලක්ව තිබිණ.

ජනපතිටත් පණිවුඩයක් ඇරලා

මීට අමතරව එසේ කියැවුණු තවත් කටකතාවකින් අසන්නට ලැබුණේ මෙම කණ්ඩායම තවත් අතරමැදියෙක් හරහා ජනාධිපතිවරයාට පණිවුඩයක් පවා යොමු කොට ඇති බවත්, එම පණිවුඩය මඟින් මහින්ද සුළඟ ආරම්භ කිරීම සඳහා මුල්වූ සියලු දෙනාට සාධාරණය ඉෂ්ඨ කරන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවත්ය. නමුත් එහි ඇත්ත නැත්ත පිළිබඳව තවමත් තහවුරු වී නැත.
ඒ අතරවාරයේ උදය ගම්මන්පිලද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ තමන් ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුව විවේචනය කරන්නේ ආණ්ඩුව නිවැරැදි මාවතට ගැනීමට බවත්, එසේ නොමැතිව ආණ්ඩු පෙරළීමේ අරමුණින් නොවන බවත්ය.

ජනපතිගෙන් මෛත්‍රීපාලට ආරාධනාවක්

කෙසේ වෙතත් මේ සියලු කටකතා සහ ප්‍රකාශ නිකුත් වන අතරවාරයේ ජනාධිපතිවරයා පසුගිය සතියේ පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ ගම සමඟ පිළිසඳරක් වැඩසටහනට එක්වීමට පියවර ගත්තේය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආණ්ඩුවේ ඇතැමුන්ගෙන් දැඩි ප්‍රහාර එල්ල වන චරිතයක් වන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද මෙම අවස්ථාවට එක්වන ලෙස ජනාධිපතිවරයා ආරාධනා කර තිබීමය. එපමණකින් නොනැවතුණු ජනාධිපතිවරයා විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමින් එම විවෘත කිරීම තමන් විසින් සිදුනොකොට හිටපු ජනාධිපතිවරයාට සිදුකරන ලෙස කියමින් ඔහුට එයට ආරාධනා කිරීමට පියවර ගත්තේය. ඒ “මේව හදපු එක්කෙනා එපැයි විවෘත කරන්න” යනුවෙන් කියමිනි.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

පවිත්‍රා එදා පාර්ලිමේන්තුවේදී නිරෝධායනය ගැන කියපු කතාව (VIDEO)

Next Post

පැණි ධම්මිකයි දත් දොස්තරයි ගේ ඇතුළේ ගුටි කෙළියේ CID SPECIAL

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.