අධික තදබදය හේතුවෙන් සිරගෙවල්වල රදවා සිටින සිරකරුවන් නිදාගන්නේ මාරුවෙන් මාරුවට බවත්, ඇතැමුන් නිදාගන්නේ වැසිකිළිවල බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අනාවරණය කොට ඇත.
බන්ධනාගාරවල තත්ත්වය, තදබදය, ඉඩකඩ ප්‍රශ්නය සහ යල්පැන ගිය පද්ධති යන කරුණු ඇතුළු හේතු රැසක් නිසා මෙරට බන්ධනාගාර ඛේදජනක තත්ත්වයක් පවතින බව එම කොමිසම අනාවරණය කර තිබේ.
එමෙන්ම සිරගෙවල් තුළ මීයන්, මදුරුවන්, කෘමීන් පිරී ඇති බවත්, ඇතැම්විට කන්න දෙන්නේ නරක් වූ ආහාර බවත්, නීතීඥවරුන් සමග හෝ ඥාතීන් සමග සන්නිවේදන කටයුතු සදහා පහසුකම් සපයා නැති බවත් එමගින් හෙළිදරව් කර ඇත.
මීට අමතරව රැදවියන් උග්‍ර මානසික ආතතියක පසුවන බවත්, නිසි රැකියාවක් සපයා නොදී කලකට පසු සමාජයට මුදා හැරීම මගින් ඔවුන් දැඩි පීඩාවකට මුහුණ පාන බවත් අදාළ අධ්‍යයනයෙන් හෙළිදරව් කර තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් මරණ දඩුවම් විදින සිරකරුවන් දැඩි අවදානමක සිටින බව පෙන්වා දෙන කොමිසම, ඇතැම් සිරකරුවන්ට වද දී සාක්ෂි ලබාගෙන ඇති බවද, ඒවා ඔවුන්ට එරෙහිව පාවිච්චි කොට ඇති බවද පෙන්වා දී ඇත.
බන්ධනාගාරවල තත්ත්වය සම්බන්ධයෙන් 2018 සිට 2020 දක්වා කළ අධ්‍යයනයකින් අනතුරුව මෙම වාර්තාව නිකුත් කොට තිබේ.
සිරගෙවල් සම්බන්ධයෙන් මෙවැනි අධ්‍යයනයක් කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.










