ගෝලීය කොවිඩ් -19 ව්‍යසනය හේතුවෙන් ණය ලබාදෙන රටවල් පවා බැරෑරුම් තත්ත්වයකට මුහුණදී තිබියදී රාජ්‍ය හා පෞද්ගලික අංශවල මැදිහත් වීමෙන් මෙරට අපනයන ආදායමෙහි වර්ධනයක් පෙන්නුම් කිරීමට හැකි වූ බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ “ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමග යළි ගමට” ජාතික වැඩසටහනේ ඊයේ (15) කුලියාපිටිය, වයඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවති වයඹ පළාත් කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.
මෙහි පළමු අදියර ගාල්ලෙන් ආරම්භ විය.
තාක්ෂණය පදනම් කරගනිමින් රට සංවර්ධනය කර ගෙන යාමට රජය අපේක්ෂා කරන බවත් දිවයිනම ආවරණය වන පරිදි අන්තර්ජාල සන්නිවේදන පහසුකම් ලබාදීමට ඉදිරියේදි කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාමේදි විදේශ විනිමය නිසි ලෙස කළමණාකරණය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා ගෝලීය වසංගත තත්ත්වය හමුවේ පවා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය වාරික කිසිදු හිඟයකින් තොරව ගෙවා අවසන් බවද කියා සිටියේය.
ලබන වසරේ දී ශ්‍රී ලංකාව සෑම අංශයකින්ම නඟාසිටුවීමේ දැවැන්ත පෙරළිය සඳහා “ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට” වැඩසටහන සමඟ උපරිම කැපවීමෙන් එක්වන්නැයි බැසිල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදි වයඹ පළාත් දේශපාලන නායකයින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ බැසිල් රාජපක්ෂ මහතා,
“2015 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ රජය වෙනස් වූ පසුව නව දේශපාලන සංස්කෘතියක් බිහිකරන්න විවිධ ක්ෂේත්‍රයන් සම්බන්ධ කරගනිමින් වියත් මඟ තුළින් මේ රටේ ඉදිරි ගමන ගැන සැලසුම් සකස් කරන්න වත්මන් ජනාධිපතිතුමා කටයුතු කළා. ඒ අනුව අපි “ගම සමඟ පිළිසඳරක්” වැඩසටහන ක්‍රියාත්මක කරලා එහිදී ජනතාවගේ අදහස් ලබාගත්තා. නමුත් එහිදී රජයේ නිලධාරීන්ගෙන් අදහස් ගන්න නොහැකි වුණා.
2021 අයවැය ඉදිරිපත් කරන්න පෙර ජනාධිපතිවරයා හා අගමැතිවරයා රාජ්‍ය අමාත්‍යාංශවල සියලු නිලධාරීන් සහ ඒ ඒ ක්ෂේත්‍රවලට අයත් කණ්ඩායම් සමඟ සාකච්ඡා කරමින් හැම ක්ෂේත්‍රයකම අදහස් ලබාගත්තා. මේ ඉදිරිපත් කළ අයවැය ඉදිරි වසර තුන තුළ ජනතාවගේ සහභාගිත්වයෙන් අංග සම්පූර්ණව ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරනවා.
ලොව මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ අයතන සියල්ලම අපි බංකලොත් රාජ්‍යයක් ලෙස නම් කරන්න බලාගෙන හිටිය වෙලාවකත් අපි කිසිම හිඟයක් තියාගන්නේ නැතුව ණය ගෙවා දැම්මා. විදේශ විනිමය ලැබෙන ක්‍රම රැසක් තිබෙනවා. කොවිඩ්-19 පැතිරීමත් සමඟ මාර්තු මාසයේ 15 දා සිට සංචාරකයන් පැමිණුනේ නැහැ. කොවිඩ් -19 නිසා අපනයන තුළින් ලබපු ආදායම් අඩු වුණත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් එය නැවත නඟාසිටුවන්න පුළුවන් වුණා.
2021 අයවැය යෝජනා සියලු ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි ඉදිරිපත් කර තිබෙනවා. එසේ වුවද යම් ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් ඒ ගැන සලකා බලනවා. ඉදිරියේ දී අපි ප්‍රාදේශීය සංවර්ධන කමිටු සියල්ල කැඳවන්න 21 -22 දෙදින තුළ කැඳවනවා.
මේ අයවැය තුළම ග්‍රාමීය අංශය සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවා. පෙර පාසල් සංවර්ධනය වෙනුවෙන්, අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වෙන්කර තිබෙනවා. හැම පාසලකටම බීමට ජලය, සනීපාරක්ෂක කටයුතු සම්පාදනය කරන්න මේ කමිටුවල දී තීන්දු කරන්න පුළුවන්. තාක්ෂණය පදනම් කරගෙන අපේ රට සංවර්ධනය කරන්න අපේක්ෂා කරනවා. ලංකාවම ආවරණය වන පරිදි සන්නිවේදනය සඳහා අවශ්‍ය පහසුකම් සපයන්න පියවර ගෙන තිබෙනවා. මාස 12ක් තුළ ඒ පහසුකම් සම්පූර්ණ කරනවා. ග්‍රාමීය මාර්ග ඇතුළු මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කරන්න දැනටමත් පියවර ගෙන තිබෙනවා. ජනතාවගේ පානීය ජල ගැටළුවට විසඳුමක් වශයෙන් “සැමට ජලය” ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනවා.
ඒ අනුව වයඹ පළාතේ සියලු නිවෙස් වලට පානීය ජල පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඉතිහාසයේ වැඩිම මුදලක් තරුණ හා ක්‍රීඩා කටයුතු වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන්කර තිබෙනවා. මහජන ක්‍රීඩා පිටි, පාසල් ක්‍රීඩා පිටි වෙනුවෙන් රුපියල් මිලියන 8000 ට වැඩි මුදලක් වෙන්කර තිබෙනවා. ග්‍රාමීය රෝහල්, සුළු වාරිමාර්ග කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වෙන්කර තිබෙනවා. මේ සියල්ල තුළ පරිසරය ආරක්ෂා කරන්න අපි පියවර ගතයුතු වෙනවා. සෑම පළාත් පාලන ආයතනයක්ම මේ වෙනුවෙන් මැදිහත්වෙලා කටයුතු කළ යුතුයි. ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් අමාත්‍යාංශ රැසක් කටයුතු කරනවා. රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න මෙය ඉතාම වැදගත් සංදිස්ථානයක් වෙනවා.
පසුගිය කාලයේ ආරම්භ කර මේ වනවිට අතහැර දමා තිබෙන ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වෙලා තිබෙනවා.රට වෙනස් කිරීම සදහා වෙනස්ව සිතීමට බිය නොවන්නැයි අපි රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. පසුගිය කාලයේ ඇතැම්විට සිරදඩුවම් වින්දා විය හැකියි. නමුත් අපේ රජය යටතේ බිය නොවී කටයුතු කරන්න කියා ඉල්ලනවා. අලුත් යෝජනාවලට මුල්තැන දෙන්න ජනාධිපතිතුමා හා අගමැතිවරයා ඇතුළුව ආණ්ඩුව සූදානම්.
මෙවර අයවැයෙන් ගමෙන් කාන්තා ව්‍යවසායකයින් දෙදෙනෙකු නිර්මාණය කර දිවා රෑ දෙකේ දී විවෘතව තබන්න පුළුවන් වෙළඳසැල් පවත්වාගෙන යන්න අවශ්‍ය පහසුකම් ලබාදෙනවා. ගොවියාට නොමිලේ පොහොර ලබාදෙනවා. අනෙකුත් පහසුකම් ලබාදුන්නත් පාරිභෝගිකයාට අවහ්‍ය පහසුකම් දෙන්න ලැබුණේ නැහැ. නිසි පරිදි සහන දෙන්න නොහැකි වුණා. ඒ නිසා නිෂ්පාදනය කරන වී වලින් සියයට 8ත් 10ත් අතර ප්‍රමාණයක් රජය විසින් මිලට ගන්න කටයුතු කරනවා.
ලංකාව පුරා පිහිටි ට්‍රාන්ස් ෆෝමර් 10000ක් සඳහා සූර්ය බලය ලබාදෙන්නත් ඉදිරියේ දී ඒ වෙනුවෙන් මිල ගණන් කැඳවන්නත් පියවර ගෙන තිබෙනවා. ඒ ව්‍යාපෘතිය සමෘද්ධි සහ සමූපකාර ආයතනවලට ලබාදෙන්න පියවර ගෙන තිබෙනවා. මේ සඳහා සහතිකයක් ලබාදෙන්න පුළුවන් ද කියා ඔවුන් ඉල්ලීමක් කළා. ගමේ තිබෙන හැම ට්‍රාන්ස්ෆෝමරයකටම පර්චස් 40ක පමණ සූර්ය බලාගාරයක් ඉදිකරන්න පුළුවන් වෙනවා. මෙය මෙරට ඉංජිනේරුවන්ගේ තාක්ෂණයෙන් සිදුකරන්නත් යම්කිසි වට්ටමක් ලබාදෙන්නත් අපි කටයුතු කරනවා.
පරිසරය ආරක්ෂා කරගැනීම තුළින් ආර්ථික සෞභාග්‍ය උදාකරගත යුතුයි. ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ජල මූලාශ්‍ර සොයා ගැනීම පිළිබඳව ගැටලු තිබෙනවා. කෙසේ වුවද ඒ වෙනුවෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. උතුරේ සංවර්ධනය සඳහා ඉරණමඩු ජලාශ ව්‍යාපෘතිය වෙනුවෙන් අවසර ලබාදුන්නා. නමුත් පසුව පත්වූ ආණ්ඩුව විසින් අතරමඟ නවතා දැම්මා. මේ සඳහා විශාල මුදලක් වැය කරනවා වගේම නඩත්තුව වෙනුවෙන් විශාල මුදලක් වැය වෙනවා. මේ අනුව රජය තීන්දු කර තිබෙනවා යම් වාරිමාර්ග යෝජනා ක්‍රමයක් ආරම්භ කරන්නේ නම් එයින් බීමට යම්කිසි කොටසක් නිකුත් කළයුතු බව. ඇතැම් ස්ථානවල පාලමක් හෝ ඉදිකරන්න අවස්ථාව දෙන්නේ නැහැ.
හැමෝම සේවය කරන්නේ රට වෙනුවෙන්. මේ අවස්ථාවේ කොවිඩ් පළමු වටයේ දී සියලු බර අරගෙන ජනාධිපති කාර්ය සාධන බලකායට රජයේ නිලධාරීන් සහාය දුන්නා.”
මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ,මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ,රාජ්‍ය ඇමැතිවරුන් ඇතුළු කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වූහ.










