මේ ව්‍යසනකාරී මොහොතේත් වත්මන් දුර්දාන්ත ආණ්ඩුව පික්පොකට් ගසමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටට කොඩිවිනයක් වී ඇති පාලනයට තිත තබා,ජනහිතකාමී ජනතාවාදී පාලනයක් මේ රට තුළ බිහි කිරීමේ අරගලය සමගි ජන බලවේගය, පොදු ජනතාව සමග එක්ව ආරම්භ කරන බවද ඒ මහතා පැවසීය.
විපක්ෂ නායකතුමා අද(10) මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ කඩුවෙල ආසන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් සංවිධානය කරනු ලැබූ ආණ්ඩුවට එරෙහි දැවැන්ත විරෝධතාවයට එක් වෙමිනි.
වත්මන් ආණ්ඩුව යටතේ මෙරට භූ දේශපාලනය තුළ බලපුළුවන්කාර රටවල සූදු පිටියක් බවට පත් වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ,එදා ජාතික ආරක්ෂාව පිළිබඳව වහසි බස් දෙඩූ ආණ්ඩුව මේ පිළිබඳව තුට්ටුවකට මායිම් නොකරන බවද පැවසීය.
ජනතාව වෙනුවෙන් කැප විය හැකිනම්,ජනතා දුක්ගැනවිලි ඉදිරියේ සංවේදී විය හැකිනම්,රට ගොඩනගන්නට අවංක උවමනාවක් ඇත්නම් එවැනි සියලු දෙනාට සමගි ජන බලවේගයේ දොරටු විවෘත බව බව ද විපක්ෂ නායකතුමා එහිදී පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයේදී තමන් රටෙන් ඉල්ලා සිටියේ මනුස්සකම,සංවේදීකම රජයන රටක් බිහි කරන්න තමන්ට ඡන්දය දෙන ලෙස බව පැවසූ විපක්ෂ නායකතුමා, නමුත් එදා බොහෝ දෙනා පුහු වීරත්වයට ඡන්දය ලබාදුන් බවත් එහි ආදීනව අද මුළුමහත් රටටම අත්විඳින්නට සිදුව ඇති බවත් පැවසීය.
අද රටම ඉල්ලා සිටින්නේ මනුෂ්‍යත්වය බවත් සංවේදී පාලනයක් බවත් පැවසූ විපක්ෂ නායකතුමා, ඒ උදෙසා ඇපකැප වන්නේ දේශපාලනය වෙනුවට දේශ සේවය ලබා දෙන සමගි ජන බලවේගය බවද පැවසීය.












