රත්ගම පොල්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ වාසය කළ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ අභිරහස් මරණයේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් තවත් ආන්දෝලනාත්මක භික්ෂු ඝාතනයක් සිදුවන්නේ හංවැල්ලෙනි. ඒ කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ වාසය කළ උඩුවිල සිරිධම්ම හිමියන්ගේ ඝාතනයයි. එම ඝාතනය සිදුවන්නේ උන්වහන්සේව පැහැර ගැනීමෙන් අනතුරුව පහරදී දසවද දෙමිනි. අනතුරුව මළ සිරුර කනත්තක දමා පුළුස්සාද තිබුණේ එම ඝාතනය අභිරහසක් බවට පත්කරන්නටය. පොලිස් විමර්ශන ඔස්සේ එකී ඝාතනයේ අභිරහස නොවිසඳන්නට උඩුවිල සිරිධම්ම හිමියන්ගේ ඝාතනයද මේ වන විට පවතින්නට ඉඩ තිබුණේ සුදු හාමුදුරුවන්ගේ ඝාතනය මෙන් අභිරහසක් ලෙසිනි.
සුදු හාමුදුරුවන්ගේ මරණය ඇත්තේ තවමත් අභිරහසක්ව බැවින් උන්වහන්සේගේ මරණයට පසුබිම් වූ කරුණු කාරණා තවමත් ඇත්තේ සැඟවීය. එහෙත් උඩුවිල සිරිධම්ම හිමියන්ගේ මරණය හා බැදුණු සියලු කාරණා පොලිස් විමර්ශන ඔස්සේ මේ වන විට හෙළිදරව් වී හමාරය. එකී ඇතැම් කාරණා ජුගුප්සාජනකය. ඒ ළමා අපචාරයක් හා බැඳී ඇති බැවිනි. ඒ ළමා සාමනේර හිමි නමකට සිදුවු ලිංගික අතවරයකි. ආගමික මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදුවන බාලවයස්කාර අපයෝජන සමාජයට විනිවිද නොපෙනෙන බරපතළ සමාජ කරුණකි. මේ ගැන ප්‍රසිද්ධියේ කථා බහ කරන්නට කිසිවෙකුත් ඉදිරිපත් වන්නේද නැත.
බරපතළ සමාජ කරුණක්
බී.බී.සී. සිංහල සේවය විසින් 2012 වසරේ ජුනි 08 වෙනිදා කළ වාර්තා කිරීමකට අනුව එම වසරේ සිට ගෙවුණු දස වසර තුළ පමණක් ලංකාවේ ළමා අපයෝජන චෝදනා සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන ඇති භික්ෂූන් ගණන 110කි. එසේම කතෝලික සහ ප්‍රොතස්තන්ත පූජකවරුන්ද 20 දෙනෙක් ඒ කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සංඛ්‍යා දත්ත මෙතෙක් කිසිදු ආගමික සංවිධානයකින් අභියෝගයට පවා ලක්කර නැත. ඒ අනුව පැහැදිලි වන්නේ මෙම සංඛ්‍යා දත්ත නිවැරදි ඒවා බවය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට රිංගා එහි තොරතුරු පරිශීලනයේදී පෙනී යන්නේ ළමා අපයෝජන සම්බන්ධයෙන් ආගමික පූජකවරුන් අත්අඩංගුවට ගැනීම් සිදුව ඇත්තේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා එහි සභාපතිවරයා ලෙස සේවයේ නිරතව සිටියදී බවය. එකල දකුණේ නම ගිය නායක භික්ෂුවක්ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අත්අඩංගුවට පත්වන්නේ උන්වහන්සේව අත්අඩංගුවට නොගන්නා ලෙසට දැඩි දේශපාලන බලපෑම් පවා එල්ලවෙමින් තිබියදීය. ආගමික ස්ථානවලදී සිදුවන ලිංගික හිරිහැර කිරීම් සම්බන්ධයෙන් වූ පැමිණිලි අදටත් පොලිස් ස්ථානවල බොහොමයක් විමර්ශනයේ පවතී. කුඩා සාමනේර හිමිවරුන් 17 දෙනෙක් අපයෝජනයට ලක්කළ භික්ෂුවක් සම්බන්ධයෙන් ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෑත කාලයේදී යම් විමර්ශනයක් පවත්වා එම භික්ෂුව අත්අඩංගුවටද ගත්තේය. නමගිය භික්ෂුවක් වන හෙතෙම රූපවාහිනී මාධ්‍ය නාලිකාවක උදෑසන ධර්ම දේශනා වැඩ සටහනක්ද මෙහෙයැවූවෙකි. එම භික්ෂුවද අත්අඩංගුවට පත්වීම වළක්වාලන්නටද වලිකෑ දේශපාලනඥයන් ඕනෑ තරම්ය. රංජන් රාමනායක මන්ත්‍රීවරයා යහපාලන ආණ්ඩුව පැවැති සමයේදී පංසල්වල සිදුවන ලිංගික හිරිහැර ගැන හඬක් නගන්නට වූයේද මෙවැනි ක්‍රියාවන් නිසාය. උපතින් කතෝලිකයෙක් වූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට භික්ෂුන්ට එරෙහිව එසේ ප්‍රසිද්ධියේ ඇඟිල්ල දිගුකරන්නට හැකියාව ලැබෙන්නේ යම් වරදක් පන්සල් ආශිතව සිදුවන නිසාය. එය රටේ සමස්ත පන්සල් පද්ධතිය තුළම සිදුවන්නේ නැත. ඇස්, කන්, නාසය, දිව, ශරීරය පාලනය කර ධර්මානුකූල පිළිවෙත් රැක සසර කෙටිකර ගන්නට මහණදම් පුරන්නට ගොස් තම ඉන්ද්‍රියන් පාලනය කර ගැනීමට නොහැකිවූවන් පන්සල්වල නැත්තේම යැයි කියන්නටද බැරිය. හැටපස් වියේ පසුවූ කොඩිකන්ද ආරණ්‍යසේනාධිපති උඩුවිල සිරිධම්ම හිමියන්ට පවා එවන් චෝදනාවක් එල්ලවන්නේ ඒ නිසාමය.
එම අතවර කථාව එළියට එන්නේ උන්වහන්සේ පැහැර ගැනීමකට ලක්ව ඝාතනය වීමත් සමගිනි. එතෙක් එවැනි ක්‍රියාවක් සම්බන්ධයෙන් උන්වහන්සේට එරෙහිව චෝදනාවක් එල්ලවී නොතිබීමද විශේෂිතය. ඒ යැයි කියා උන්වහන්සේ අතින් එවැන්නක් සිදුවී නැතැයි කියන්නට බැරිය. ඒ ඊට සාක්ෂි කිහිපයක්ම පොලිස් විමර්ශකයන් සතුව පවතින බැවිනි.
පැහැර ගත්තේ 02 රෑ
උඩුවිල සිරිධම්ම හිමියන්ව පැහැර ගැනීමකට ලක්වන්නේ පසුගිය 02 වෙනිදා රාත්‍රී කාලයේදීය. ඒ වෑන් රථයකින් විහාරස්ථානයට පැමිණි කණ්ඩායමක් විසිනි. එම කණ්ඩායමේ විහාරස්ථානයේ වැඩ වසන 12 හැවිරිදි සාමණේර හිමි නමකගේ මවක්ද සිටියාය. ඒ අය ආවාස ගෙට කඩාවැදී විහාරාධිපති සිරිධම්ම හිමියන් සමග උස් හඬින් යම් කථාබහක නිරතව පසුව උන්වහන්සේව වෑන් රථයේ නංවාගෙන යන්නේ විහාරස්ථානයේ ඒ වන විට රැඳී මහණදම් පිරීමට සූදානමින් සිටි 33 හැවිරිදි තරුණයෙකුට සහ ඔහුගේ පියාටද ඒ ගැන පොලීසියට කීවොත් මරා දමන බවට තර්ජනය කරමිනි.
“නායක හාමුදුරුවෝ කෝ“
මේ සිදුවීම වන විට සිරිධම්ම හිමියන්ගේ වැඩිහිටි ගෝල බාල හිමිවරු කිසිවෙකුත් විහාරස්ථානයේ රැඳී සිටියේ නැත. ආගමික සහ පුද්ගලික කටයුතු සදහා උන්වහන්සේලා සිටියේ විහාරස්ථානයෙන් බැහැරවය. ඒ එක් ගෝල හිමිනමක් රුවන්වැල්ලේ සිට විහාරස්ථානයට පැමිණෙන්නේ මැදියම් රැයේදීය. උන්වහන්සේ වෙනුවෙන් ආවාසයේ දොරගුල විවර කරන්නේ 33 හැවිරිදි තරුණයාය. “නායක හාමුදුරුවෝ කෝ“ උන්වහන්සේ එසේ විමසන්නේ වෙනදාට දොරගුළු විවරකරන්නේ නායක හිමියන් වූ බැවිනි. “හාමුදුරුවෝ සැතපිලා“ ඊට එසේ ඔහුගෙන් පිළිතුරක් ලැබෙන්නේ මරණ බිය හදවත තුළට කිඳාබැස තිබීම නිසාය. සිරිධම්ම හිමියන් පැහැරගත් පිරිස ඔහු අත වූ ජංගම දුරකතනය පවා පොළොවේ ගසා “කාටහරි අපි ගැන කියල තිබ්බොත් මරනවා“ යැයි කළ ගෝරනාඩුව ඔහුගේ මනසේ දෝංකාර දෙන්නට විය.
බය වුණු පාර තරුණයාට මහණ වීම එපාවෙයි
ඒ නිසාම පහුවෙනිදා උදෑසනින්ම එම තරුණයා පන්සලට ආයුබෝවන් කියා සිය පියාද සමග ඉංගිරියේ පිහිටි සිය නිවසට යන්නේ මහණකමද පැත්තක තබාය. ඒ යන්නට මත්තෙන් විහාරාධිපති හිමියන්ව පිරිසක් වෑන් රථයක දමාගෙන ගිය බවත්, ඒ අය අතර සාමණේර හිමියන්ගේ මවද සිටි බවත් කියන්නට අමතක නොකළේය. සිරිධම්ම හිමියන්ගේ පැහැර ගැනීම ගැන පොලිස් විමර්ශන සිදුවන්නේ ඒත් එක්කමය. එහි වැඩිබරක් පැටවෙන්නේ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයටය. එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරාගේ මෙහෙයැවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් දින ගණනාවක් තිස්සේ ඒ ගැන පැවැත්වූ විමර්ශනයකින් අනතුරුව සිරිධම්ම හිමියන්ගේ පැහැර ගැනීමට මුල්වූ කරුණු පමණක් නොව, උන්වහන්සේව පැහැර ගැනීමෙන් පැය කිහිපයකට පසු ඝාතනය කර මළ සිරුර පුළුස්සා ඇති බවද හෙළිකර ගන්නේ ඊට සම්බන්ධ වූ සැකකරුවන්ද කොටුකර ගනිමිනි.
මහණවුණේ අවුරුදු 3කට උඩදී
පොලිස් විමර්ශනවලට අනුව ඒ කථාව දිග හැරෙන්නේ විහාරස්ථානයේ වැඩ වාසය කළ කුඩා සාමනේර හිමියන් වටාය. උන්වහන්සේගේ මව හිමාලිය. පියා දිමුතුය. මේ දෙදෙනාට දාව දරුවන් තිදෙනෙකි. පවුලේ වැඩිමලාත් දෙවැන්නාත් පිරිමි දරුවන්ය. සාමනේර හිමියන් පවුලේ දෙවැන්නාය. වැඩිමලා 15 වියැතිය. පවුලේ මද්දුමයා වූ කුඩා සාමණේර හිමියන්ව සසුනට පූජා කරන්නේ මෙයට වසර තුනකට පමණ උඩදීය. ඒ මහන දම් පුරන්නට කුඩා කල සිට පැවැති ආශාවක් මුදුන් පමණුවාලමිනි.
ෆෝන් එකක් හොරෙන් දෙයි
දෙමාපියන්ට පෙරැත්ත කර සසුනට ඇතුළු වූ උන්වහන්සේ මුල් කාලයේදී දැඩි ආශාවකින් පැවිදි ජීවිතය ගත කළත් මෑතක සිට යම් වෙනසක් උන්වහන්සේගෙන් පිළිබිඹු වන්නට ගත්තේය. වරක් උන් වහන්සේ සිවුරු අතහැර හොරණ පිහිටි නිවසට අවේ නැවත මහණදම් පුරන්නට නොයන බව මව්පියන්ට පවසමිනි. සිය පුතුගේ එම වෙනස ගැන සොයා බැලීමේදී මවට දැන ගන්නට ලැබෙන්නේ නායක හිමියන්ගෙන් සිදුවන බව කියන ලිංගික හිංසන ඉවසා ගැනීමට නොහැකිව එසේ සිවුරු අතහැර ඇති බවකි. මේ ගැන ඇය කෙළින්ම නායක හිමියන්ගෙන් විමසූවාය. එහිදී උන්වහන්සේ ඒ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන්නේ සාමනේර හිමියන් එවන් චෝදනාවක් තමන්වහන්සේට කරන්නේ ඇයිදැයි තමාම නොදන්නා යැයි පවසමිනි. මේ ගැන සාමනේර හිමියන්ගේ මවටද ඇති වන්නේ උභතෝකෝටික ගැටලුවකි. ඒ නිසාම ඇය සාමණේර හිමියන්ට ජංගම දුරකතනයක් මිලටගෙන උන්වහන්සේ අතට පත්කරන්නේ නායක හිමියන්ගෙන් කරදරයක් සිදුවන විට එය වීඩියෝගත කරන ලෙස දැනුම් දෙමිනි. ඒ නායක හිමියන්ට එරෙහිව සාක්ෂියක් ලෙස යොදා ගැනීමේ අපේක්ෂිවෙනි.
හඬ විතරක් පටිගත වෙලා
ඒ අනුව කුඩා සාමණේර හිමියන් තමාට හිරිහැරයක් සිදුවන අවස්ථාවේදී සිය මව කියා දුන් පරිදි ජංගම දුරකතනය ක්‍රියාත්මක කළේය. එහෙත් උන්වහන්සේට දුරකථනයේ වීඩියෝ කැමරාව අවශ්‍ය පරිදි හැසිරවීමට තරම් දැනුමක් මෙන්ම අවස්ථාවක් එහිදී නොවීය. එබැවින් එහි පටිගත වන්නේ හඬ පමණි. සාමනේර හිමියන්ට යම් හිරිහැරයක් වන බවට එම හඬ ඕනෑවටත් වඩා ප්‍රමාණවත් සාක්ෂියක් විය. ඒ බව ඇය සිය සැමියාට කීවාය. එහෙත් ඔහුගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොවීය. එබැවින් ඇය මේ ගැන කියන්නේ අනියම් සැමියාටය. අනියම් සැමියාගෙන් ඇයට උපදෙස් ලැබෙන්නේ නායක හිමියන් බිය ගන්වා කීයක් හෝ උන්වහන්සේගෙන් කඩා ගැනීමටය. කොරෝනා හේතුවෙන් ආර්ථික වශයෙන්ද අහේනියකට පත්ව සිටි ඇය සිය දරුවාට සිදුවුණු හිරිහැරයට නීතියේ පිළිසරණ යනවා වෙනුවට අනියම් සැමියාගේ උපදෙසින් සූදානම් වන්නේ නායක හිමියන් බිය ගන්වා මුදල් කඩා ගන්නටය.
ලක්ෂ 5ක් දෙන්න පොරොන්දු වෙයි
ඒ අනුව ඇය දිනක් විහාරස්ථානයට ගොස් නායක හිමියන් මුණ ගැසී උන්වහන්සේව බිය ගන්වන්නේ ජංගම දුරකතනයේ හඬ පටයද විකාශය කරමිනි. කුඩ සාමනේර හිමියන්ට තමන්ගෙන් කරදරයක් සිදුවූ බව එවරද උන්වහන්සේ පිළිගන්නේ නැත. එම හඬපටය සකස්කළ එකක් බව උන්වහන්සේ චෝදනා කරන්නට ගත්තේය. අවසානයේදී උන්වහන්සේ ඇයට යෝජනාවක් කරන්නේ මේ ගැන කිසිවෙකුටත් නොකියා සිටීමට රුපියල් ලක්ෂ 05 ක මුදලක් ලබා දෙන්නටය. ඒ කුඩා සාමණේර හිමියන්ගේ පියා යතුරුපැදි අලුත්වැඩියා කිරීමේ වැඩ පොළක් පවත්වාගෙන යන්නෙක් බැවින් කොවිඞ් වසන්ගතය හේතුවෙන් එම වැඩපළද වසා දමා ඇති බැවිනි. එම ලක්ෂ පහේ මුදල ලබාදීමට පවා උන්වහන්සේ පොරොත්තු වන්නේ මසකට රුපියල් ලක්ෂය බැගිනි. එහෙත් ඇය එක හෙළා ඉල්ලා සිටින්නේ එකවරම ලක්ෂ පහේ මුදල තමා අතට ලැබිය යුතු බවටය. සිය සැමියාගේ යතුරුපැදි අලුත්වැඩියා කිරීමේ වැඩපළේ ලක්ෂයකට වැඩි විදුලි බිල්පතක්ද එකතුවී ඇතැයිද ඇය එහිදී කියන්නට වූයේ එම මුදලට පියවා ගැනීමේ අදිටනිණි.
කෝටි 5ක් බැංකුවේ තියෙනවා
“මට එකපාර සල්ලි දෙන්න විදිහක් නැහැ. කෝටි පහක් බැංකුවේ තියෙනවා. ඒකෙන් ලැබෙන පොලියෙන් මම ලක්ෂය ගාණේ දෙන්නම් කීවේ. ඒක ගන්න. බැරි නම් මට කරන්න දෙයක් නැහැ.” නායක හිමියන් කථාව නිමා කරන්නේ එසේය. එදා විහාරස්ථානයෙන් පිටව ඇය කෙළින්ම යන්නේ අනියම් සැමියා මුණ ගැසෙන්නටය. අකුරක් නෑර ඇය ඔහුට සියල්ල කීවාය. කෝටි පහක මුදලක් බැංකුවේ ඇතැයි කන වැකීමත් සමග ඔහු ඊට වහ වැටුණේය. එම මුදල ඩැහැ ගැනීමට ඔහු පිඹුරුපතක් සකස් කරන්නේ ඇය සමග එක්වය. ඉකුත් 02 වෙනිදා රාත්‍රියේ වෑන් රථයකින් කණ්ඩායමක් සමග කඩා වදින්නේ ඒ අනුවය. වෑන් රථය සාමණේර හිමියන්ගේ පියාගේය. ඔහු ඒ රථය බණ්ඩාරට ලබාදෙන්නේ අකැමැත්තෙනි. බිරිඳගේ පෙරැත්තය මත ඔහුට සිදුවන්නේ නිහඬව බලා සිටීමට පමණි. මේ කටයුත්තට බණ්ඩාර හවුල්කර ගන්නේ අංගොඩ පැත්තේ සිටින සිය බ්‍රෝකර් මිතුරෙකි. ඔහු නමින් ලක්මාල්ය. ඔහු තමන්ට විශ්වාසවන්ත සිව් දෙනෙක් මේ ගේමට ලෑස්තිකර ගත්තේය. ඒ අයත් අංගොඩ සහ වැල්ලම්පිටිය පැත්තේ පදිංචිකරුවන්ය. ස්ථිර රැකියාවක් නොමැතිව ජීවත්වන ඔවුන්ගෙන් දෙදෙනෙක් වයස අවුරුදු පහළොවේත් දහසයේත් පසුවන්නන්ය. සෙසු දෙදෙනා වයස අවුරුදු හතළිස් තුනේත් තිස්දෙකේත් පසුවන්නන්ය. රුපියල් කෝටි පහට කෙළ හලමින් මේ අය විහාරාධිපති හිමියන් ආවාස ගෙයි තබාගෙන පහර දෙමින් උත්සහ දරන්නේ බැංකුවේ ඇතැයි කී කෝටි පහේ මුදල තමන් අතට ගන්නටය.
මම උඹලට සත පහක් දෙන්නෙත් නැහැ
“මම සාමණේර හිමියන්ට හිරිහැර කළේ නැහැ. මම උඹලට සත පහක් දෙන්නෙත් නැහැ.” උන්වහන්සේ දිගින් දිගටම එසේ කියන්නට වූ බැවින් බණ්ඩාර තීරණය කරන්නේ වෙනත් ස්ථානයකට උන්වහන්සේව රැගෙන ගොස් සිරකර බිය ගන්වා තම අරමුණ ඉටුකර ගැනීමටය. “ අපි එහෙම නම් පොලීසියට ගිහින් මේ ප්‍රශ්නෙ විසඳාගමු.” යැයි එහිදී බණ්ඩාර කියන්නේ උන්වහන්සේව ඉතා පහසුවෙන් රැගෙන යාමට ඇති හොදම ක්‍රමය වන්නේ එය වූ බැවිනි. “මම වරදක් කරල නැහැ. ඔය ඔක්කොම බොරු.” යැයි කියමින් උන්වහන්සේ ආවාස ගෙයින් පිටතට එන්නේ පොලීසියට යාමේ සූදානමිනි. එහිදී උන්වහන්සේව නංවා ගන්නේ බණ්ඩාර ඇතුළු පිරිස පැමිණී වෑන් රථයේය. අංගොඩින් පැමිණි කිහිප දෙනාද සමග සාමණේර හිමියන්ගේ මවද ගොඩ වන්නේ එම වෑන් රථයටය.
මාකොළ ගෙදරකදී බය කරවා සල්ලි ගන්න යයි
පොලීසියට යනවා යැයි කීවාට සැබෑ ලෙසම මෙහිදී සිදුවන්නේ විහාරාධිපති හිමියන්ව පැහැර ගැනීමකි. ඒ යන විට විහාරාධිපති හිමියන්ගේ බැංකු ගිණුම් පොත් ඇතුළු ලියකියවිලි රාශියක්ද සාමණේර හිමියන්ගේ මව සියතට ගෙන තිබුණාය. ඒ උන්වහන්සේව බිය ගන්වා පසුදින උදෑසන බැංකුවට රැගෙන ගොස් මුදල් ලබා ගැනීමේ අරමුණ ඇතිවය. පොලීසියට ගෙනයනවායැයි කියා උන්වහන්සේව රැගෙන යන්නට වූයේ පසුදින පහන්වන තුරු රඳවා තබා ගැනීමට කල්තියා සුදානම් කරගත් ආරක්ෂිත නිවස්නයක් වෙතය. එම නිවස පිහිටියේ මාකොළ උද්‍යාන මාවතේය. දෙමහල් නිවසක් වූ එහි හිමිකරුවා වූයේ බණ්ඩාරගේ මිතුරෙකි. එම මිතුරා සිය අඹුදරුවන් සමග කාලයක් රැඳී සිටියේ මැදපෙරදිග රටකය. ඒ රැකියාවක නිරතවෙමිනි. මැදපෙරදිගදී රිය අනතුරකට ලක්ව සිටි ඔහු මෙරටට පැමිණෙන්නේ කොවිඞ් 19 වසන්ගතය අස්සේය. ඒ අඹුදරුවන් එරට සිටියදීය. බණ්ඩාර මේ මිතුරාගෙන් ඉල්ලා සිටින්නේ එක් රැයකට නවාතැන් ගැනීමට නිවසේ කාමරයක් පමණි. නිවස පාළුවට ගොස් තිබුණු බැවින් ඔහු ඊට අවස්ථාවක් ලබාදෙන්නේ බණ්ඩාරගේ සැලසුම ගැන හරිහැටි කිසිවක් නොදැනය. එහෙත් ඔහුට බණ්ඩාරගේ ගැටෙන් ගැලවෙන්නට ඉඩක් නොවීය.
පාන්කඩ නිසා හුස්ම හිරවෙයි
පැහැරගෙන පැමිණී නායක හිමියන්ව රඳවා තැබෙන්නේ එම නිවසේ පහළ මහලේය. උන්වහන්සේව කාමරයේ ඇඳක් මත තබා ගැට ගසන්නේ කෑ ගැසීමට නොහැකිවන ලෙසට පාන්කඩ කටටද ඔබාය. ඒ අතර පහරදීම් කිහිපයක්ද සිදුවන්නේ සිය අරමුණට උන්වහන්සේගේ කැමැත්ත ලබා ගැනීම වෙනුවෙනි. එදින එම නිවසේ රැය පහන් කිරීමට තීරණය කරන්නේ බණ්ඩාරත් සාමණේර හිමින්ගේ මවත් පමණි. ඊට පෙර ලක්මාල්වත් ඔහුගේ සගයන් සිව් දෙනෙත් නිවෙස්වලට අරලවන්නට යන්නේ වෑන් රථයේ නංවාගෙනය. අනතුරුව වෑන් රථය එහි හිමිකරුවූ සාමණේර හිමියන්ගේ පියාගේ භාරයට පත්කරන්නේ අතරමගකදීය. වෑන් රථය රැගෙන යාමට ඔහු එන්නේ බිරිඳගේ යතුරුපැදියේ නැගීය. වෑන් රථය සැමියා අතට පත්කර අනියම් සැමියාවූ බණ්ඩාරද සමග ඇය මාකොළට එන්නේ යතුරු පැදියේ නැගීය. ඒ එන විට උඩුවිල සිරිධම්ම හිමියන් සිටින්නේ අවසන් හුස්ම පොද පිටකරමිනි. ඒ කටට ඔබන ලද පාන්කඩ හේතුවෙන් හුස්ම සිරවීමෙනි. ඒ බව බණ්ඩාරත් සාමනේර හිමියන්ගේ මවත් දැනගන්නේ එදින අළුයම 3.00 ට පමණය.
පහරක් ගැහුවා. ඒ පාරේ සැරටද මන්දා හාමුදුරුවෝ දැන් මැරිලා
දැන් තමන් කරන්නේ කුමක්දැයි පවා ඔවුන්ට සිතා ගන්නට නොහැකි විය. එකවරම මතකයට එන්නේ ලක්මාල්වය. ඒ සැණින් බණ්ඩාර සිය ජංගම දුරකථනය සියතට ගෙන ලක්මාල්ට ඇමතුමක් ගත්තේය. “හාමුදුරුවෝ පැනල යන්න හැදුවා. ඒ වෙලාවේ පහරක් ගැහුවා. ඒ පාරේ සැරටද මන්දා හාමුදුරුවෝ දැන් මැරිල.” ලක්මාල්ට ඔහු කීවේය. “කලබල වෙන්න එපා මම ඉක්මනින්ම ඔතනට එන්නම්” ලක්මාල් කීවේය. ඒ කියූ ලෙසම ඔහු හිමිදිරියේ යතුරු පැදියක නැගී මාකොළට ආවේය. “දැන් එළිය වැටිලයි තියෙන්නේ. කරන දෙයක් කරන්න වෙන්නේ රෑට. අපි මේ බොඩි එක පුච්චල දාමු.” ලක්මාල් යෝජනා කළේය. එතෙක් ඔවුන් තීරණය කරන්නේ මළ සිරුර ඇද ඇතිරිල්ලෙන් ඔතා කාමරයේම තබන්නටය.
සිරුර අරන් ගියේ ත්‍රිවිල් එකේ
මළ සිරුර විනාශ කිරීමේ මෙහෙයුම දියත් වන්නේ 03 වෙනිදා රාත්‍රියේදීය. ලක්මාල් මාකොළට පැමිණෙන්නේ ත්‍රී රෝද රථයක නැගීය. ඒ පෙරදින නායක හිමියන් පැහැර ගැනීමට සම්බන්ධ වූ 16 හැවිරිදි තරුණයාද කැටුවය. ත්‍රී රෝද රථය කොළඹ ජාතික රෝහලේ සේවයේ නිරතව සිටින සුළු සේවක මිතුරෙකුගේය. මළ ගෙදරකට යන්නට යැයි කියා එම ත්‍රී රෝද රථය ඉල්ලාගෙන තිබුණේය. සිවුරු උනා දමා මළ සිරුරට නිවෙස් හිමියාගේ ඇඳුමක් අන්දවන්නේ යම් සැලසුමකට අනුවය. අනතුරුව මළ සිරුරේ මුහුණට මාස් එකක් දමා ඇඳ ඇතිරිල්ල සිරුරට දමා මළ සිරුර වත්තම් කරගෙන රැගෙන යන්නේ ත්‍රී රෝද රථය වෙතය. එහි පිටුපස අසුනේ මැද මළ සිරුරු හිඳුවා බණ්ඩාරත් සාමණේර හිමියන්ගේ මවත් දෙපැත්තෙන් වාඩිවී වැටෙන්නට නොදී මළ සිරුර අල්ලාගත්තේය. බැලූ බැල්මට පෙනෙන්නට වූයේ රෝගියෙක් ත්‍රී රෝද රථයේ රැගෙන යන ආකාරයකි. ත්‍රී රෝද රථය පදවන්නට වූයේ ලක්මාල්ය. සාමණේර හිමියන්ගේ මවගේ යතුරු පැදිය චමින්ද සමග පැමිණි තරුණයා අතට ගත්තේය. ඔහු ත්‍රී රෝද රථය පිටුපසින් ගමන් කරන්නට වූයේ කිරිබත්ගොඩින් නුවර පාරට පිවිසය. කඩවතින් යතුරුපැදියට ඉන්ධනද පුරවා ගත්තේය. ඒ රුපියල් 1000ක් පොම්පකරුට ලබාදෙමිනි. එම මුදලින් රුපියල් 400ක ඉන්ධන පුරවා ගන්නේ රැගෙන ගිය බූලියකටය.
කොටදෙණියාවේ කනත්තට එයි
එම ඉන්ධන බූලිය ත්‍රී රෝද රථයට පැටවෙන්නේ කඩවත පසුකර මද දුරක් ගිය පසුවය. එහිදී යතුරුපැදිය සාමණේර හිමියන්ගේ මව භාරගන්නේ තරුණයා ත්‍රී රෝද රථයට ගොඩ කරමිනි. මළ සිරුර පුළුස්සා විනාශ කිරීමට සුදුසු ස්ථානයක් සොයමින් ඔවුන් ගම්පහ පැත්තේ පාළු පාරවල්වල ගමන් කරමින් අවසානයේදි පිවිසෙන්නේ කොටදෙණියාවටය. මීරිගම කොටදෙණියාව මාර්ගයේ ගමන් කිරීමේදී ඔවුන්ට ඒ සදහා සුදුසුම තැන හමුවන්නේ නාවානේදීය. එය සොහොනකි. එම සොහොනේ අලුත වලදැමූ මිනී වළක් දෑතින් හාරා පස් ඉවත්කර ඊට මළ සිරුර දමා පුළුස්සන්නේ කඩවතින් රැගෙන පැමිණි පෙට්රල් වත්කරය. සිරුර ඇවිලෙන තුරු මද වේලාවක් එහි රැඳී සිටින ඔවුන් එතැනින් පිටත්වන්නේ තමන්ට නීතියෙන් ගැලවිල්ලක් හිමිවේවිදැයි සැකයක්ද ඇතිවය. ඒ නිසාම බණ්ඩාරත් සාමණේර හිමියන්ගේ මවත් සැඟවෙන්නේ හෝකන්දර පිහිටි හිවතෙකුගේ නිවසකය.
අපරාධ කොට්ඨාසය අපරාධය හෙළිකර ගනී
වැඩි කාලයක් ඔවුන්ට සැඟවී සිටින්නට ඉඩක් නොවීය. මිරිහානේ පිහිටි බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සියල්ලක්ම හෙළිකර ගත්තේය. බණ්ඩාරගේත් සාමණේර හිමියන්ගේ මවගේත් දෑත්වලට මුලින්ම විලංගු වැටුණේය. ඒ ඉකුත් 05 වෙනිදාය. ඒ වන විටත් පිළිස්සුණු සිරිධම්ම හිමියන්ගේ මළ සිරුර ගැන කොටදෙණියාව පොලීසිය පරීක්ෂණයක් පවත්වමින් සිටියේය. ඒ සුසාන භූමියේ දැවුණු මළ සිරුර හඳුනා ගන්නටය. ඒ කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති උඩුවිල සිරිධම්ම හිමියන්ගේ බව කොටදෙණියාව පොලීසියට දැනුම් දෙන්නේ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ය. පිළීස්සීමෙන් හඳුනා ගැනීමට නොහැකිවන ලෙසට වීකෘති වී ගිය එම මළ සිරුර හදුනාගනු ලබන්නේ උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ දෙනමක් විසිනි. ඒ අනුව තවදුරටත් එම මළ සිරුර හදුනා නොගත් මළ සිරුරක් නොවීය. එසේම සිරිධම්ම හිමියන්ගේ පැහැර ගැනීම සහ අතුරුදන්වීම තවදුරටත් අභිරහසක්ද නොවීය. එකී පැහැර ගැනීමටත් මළ සිරුර පුළුස්සා විනාශ කිරීමටත් හවුල් වූ ලක්මාල් ඇතුළු සියලුදෙනා පොලීසිය අත්අඩංගුවට ගත්තේය. ඒ අනුව තවදුරටත් උඩුවිල සිරිධම්ම හිමියන්ගේ ඝාතනය අභිරහසක් නොවූවත් පොල්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුවයෝගීව වැඩ විසූ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ මරණය ඇත්තේ අභිරහසක් ලෙසිනි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් පවා අගමැති නියමයෙන් ඒ ගැන පුළුල් විමර්ශනයක් පවා පවත්වා තිබියදීය.
රුවන් වෙඩිවර්ධන