එජාප අර්බුදය නිමවෙයි
සති තුනක් පුරා දිගින් දිගටම ඇදී ගිය එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂක අර්බුදය නිමාකරමින් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා බවට ස්ථිර කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේය. පොහොට්ටුවේ මෙන්ම ශ්‍රීලනිපයේ බොහෝ දෙනා එජාපයේ බෙදීමක්, කැඩීමක්, විශාල අර්බුදයක් මේ හරහා සිදුවනු ඇති බව මුලින් සිතා සිටියද එජාපය 1982දී සිටම පක්ෂයේ ජනපති අපේක්ෂකයන් තේරූ සම්ප්‍රදායට යමින් කිසිදු කලබැගෑනියකින් තොරව, අර්බුදයකින් තොරව, බෙදීමකින් තොරව ඒකමතිකව අපේක්ෂකයා තෝරාගැනීමට සමත්වීම විශේෂ සිදුවීමක් විය.
නමුත් සජිත් එජාප අපේක්ෂකයා ලෙස තෝරාගන්නා තෙක් ආ මේ ගමන සරලව සිදුවූවක් නම් නොවේ. ඒ පිටුපස විශාල අර්බුද ගණනාවක්ම තිබිණ. පසුගිය සති කිහිපය පුරාම අප එම සිදුවීම් එකින් එක ‘රාජ්‍ය රහස්‘ තීරය ඔස්සේ අනාවරණය කළ ආකාරයටම මෙවරද අප පසුගිය සතිය පුරා මෙම සිදුවීම පෙළගැසුණු ආකාරය එකින් එක රටට අනාවරණය කිරීමට සූදානම්ය.
සජිත්ගේ නියෝජිතයා රනිල් හරවා යවයි
ඒ අනුව ජනපති අපේක්ෂකත්වය මුල්කරගෙන පසුගිය සතිඅන්තය වන විට එජාපය විශාල ගැටුමකට මුහුණදී සිටිද්දී සජිත් පාර්ශ්වයේ නියෝජිතයකු ලෙස කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් විජේමාන්න මහතා පසුගිය සිකුරාදා (20දා) අගමැතිවරයා මුණගැසීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණියේය. ඒ, සජිත්ගේ විශේෂ පණිවුඩයක්ද රැගෙනය. එහිදී ලක්ෂ්මන් රනිල්ට දැනුම්දී සිටියේ අවසාන වතාවට පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මුණගැසී වහාම ජනපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට තීන්දු කළ බවත්, ඒ අනුව ඒ සඳහා සජිත්ගේ පාර්ශ්වයට වේලාවක් ලබාදෙන ලෙසත්ය. නමුත් එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ඒ සඳහා වේලාවක් ලබානොදී රනිල් ලක්ෂ්මන්ව හිස්අතින් ආපහු හරවා යැවීමය. එහිදී රනිල් වැඩිදුරටත් ලක්ෂ්මන්ට කියා සිටියේ තවදුරටත් සාකච්ඡා පැවැත්වීම අනවශ්‍ය බවත්, ලබන බ්‍රහස්පතින්දා (26දා) දිනයේදී පක්ෂයේ අපේක්ෂකයා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීන්දු කර අවසන් කරන බවත්ය.
හකීම් දාගත්ත ලෙඩේ
එමෙන්ම පසුගිය සතිඅන්තය ආරම්භ වන විට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සම්බන්ධයෙන් එජාපය ඇතුළේ පැවැතියේ බරපතළ අර්බුදයකි. ඊට හේතුවී තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් අවසන් වරට පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී හකීම් රනිල්ට එල්ල කළ දැඩි ප්‍රහාරයත්, ඉන් අනතුරුව රනිල්ව දැඩිව විවේචනය කරමින් මාධ්‍යයට නිකුත් කළ ප්‍රකාශයත්ය. එහිදී හකීම් කියා සිටියේ රනිල්ට කොන්ද පණ නැති බවත්, සජිත්ගේ ජයග්‍රහණය වළකාලීම සඳහා රනිල් පක්ෂය ඇතුළේ කුමන්ත්‍රණය කරමින් සිටින බවත්ය.
හකීම්ගේ මෙම ප්‍රකාශයන් මුල්කරගෙන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ම එදිනම රාත්‍රියේදී රනිල්ට කියා සිටියේ වහාම එක්සත් ජාතික පෙරමුණෙන් හකීම්ව ඉවත් කිරීමට කටයුතු කරන්න යැයි කියාය. එසේත් නොමැති නම් හකීම් ප්‍රසිද්ධියේම රනිල්ගෙන් සමාව ගන්නා තෙක් පක්ෂයේ කිසිදු නිල කටයුත්තකට හකීම්ව සම්බන්ධ කර නොගන්නා ලෙසය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් එල්ලවූ මේ බලපෑම මත රනිල් වහාම හකීම්ට දුරකතන ඇමැතුමක් ගැනීමට කටයුතු කළේය. ඒ අනුව පෞද්ගලිකවම හකීම්ට කතා කළ රනිල් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් තමාට ඉදිරිපත් වී ඇති යෝජනා හකීම්ට දැනුම්දීමට කටයුතු කළේය.
“රවුෆ්… මට පක්ෂයේ අය කතා කරල කියනවා ඔයා අද මීඩියාවලට මට බැනල කැත විදිහට කතා කළා කියලා. ඒ වගේම ඒ අය මට පැමිණිලි කළා ඔයාගෙ හැසිරීම ඇමැතිවරයකුට සුදුසු නෑ කියල. ඒ අය කියන්නෙ මට ඔයාව පෙරමුණෙන් අයින් කරන්න කියලයි. ඒ හින්දා එක්කෝ ඔයා ඔය කියල තියෙන දේවල් නිවැරැදි කරල ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න. එහෙම නැත්නම් මට සිද්ධවෙනව දැඩි තීන්දුවකට යන්න…” යනුවෙන් කියමින් රනිල් හකීම්ට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය දැනුම්දීමට කටයුතු කළේය.
හකීම්ට රැස්වීමට ආරාධනා නොකරයි
කෙසේ වෙතත් කිව්වා වාගේම රනිල් සිකුරාදා (20දා) රාත්‍රියේ එක්සත් ජාතික පෙරමුණේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවූ අතර ඊට හකීම්ට ආරාධනා නොකිරීමට පියවර ගත්තේය. රිෂාඞ්ට ආරාධනා කරද්දී ඔහු කොළඹින් පිටව සිටින බව දැනුම්දුන් අතර ඒ වෙනුවට ඔහුගේ පක්ෂයේ නියෝජිතයකු වන මන්නාරමේ හුසේන් බහිලා ඊට සහභාගි කරවීමට රිෂාඞ් පියවර ගත්තේය. මීට අමතරව මනෝ ගනේෂන්, චම්පික රණවක, දිගම්බරම්, කබීර් හෂීම්, අකිල විරාජ්, රවි කරුණානායක, මලික් සමරවික්‍රම, නවීන් දිසානායක යන මහත්වරුද ඊට එක්ව සිටියහ. මෙහිදී නව පෙරමුණ බිහිකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ඉදිරියට යද්දී කබීර් සාකච්ඡාවට මැදිහත් වෙමින් සජිත්ට මේ මොහොතේ පක්ෂ අපේක්ෂකත්වය ලබාදිය යුතු බව සඳහන් කර සිටියේය. ඊට හේතු වශයෙන් කබීර් පෙන්වා දුන්නේ මේ මොහොතේ සිටින ජනප්‍රියම පුද්ගලයා සජිත් බවත්, සන්ධානයේ සියලුම පක්ෂ නායකයන්ගේ සහාය සජිත්ට හිමිවන බවත්ය. නමුත්, ඊට රනිල්ගෙන්වත් අනෙක් කිසිවකුගෙන්වත් ප්‍රචාරයක් හිමිනොවුණු අතර, රනිල් ඊට ‘ඔව්‘ කියන්නවත්, ‘නෑ‘ කියන්නවත් ගියේ නැත.
ඉන් අනතුරුව අපේක්ෂකයා තේරීමේදී අලුත් යෝජනාවක් චම්පික පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. ඒ, සන්ධානය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 106 දෙනාටම අපේක්ෂකයා තේරීමේදී ඡන්දය භාවිතා කිරීමට ඉඩ සැලැසිය යුතු යැයි කියාය.
චම්පිකගෙන් පක්ෂ නායකයන්ට යෝජනාවක්
“දැන් අපේක්ෂකයා ගැන ලොකු ප්‍රශ්නයක් ඇවිල්ල තියෙන්නෙ. මේක අපි වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට තෝරගන්න ඕනෙ. මම නම් යෝජනා කරන්නෙ එක්සත් ජාතික පෙරමුණට ආණ්ඩුවේ මන්ත්‍රිවරු 106ක් ඉන්නවා. අපේක්ෂකයා තෝරද්දි කෘත්‍යාධිකාරි මණ්ඩලයට විතරක් නෙමෙයි මේ 106 දෙනාටම ඡන්දය භාවිතා කරන්න අවස්ථාව දෙන්න කියලයි මම යෝජනා කරන්නෙ…” යනුවෙන් චම්පික කියද්දී රනිල් ඊට එකඟතාවය පළකළේ නැත. ඒ වෙනුවට රනිල් පක්ෂයේ ව්‍යවස්ථාවත්, පක්ෂ සම්ප්‍රදායත් චම්පිකට පැහැදිලි කරදෙමින් ඉතිහාසයේ කෙදිනකවත් අපේක්ෂකයා තේරීමේදී මන්ත්‍රි කණ්ඩායම ඊට සම්බන්ධ කර නොගත් බව පෙන්වා දුන්නේය.
“අපේ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව අපේක්ෂකයා තෝරන පිළිවෙළක් තියෙනවා. පක්ෂයේ සම්ප්‍රදායක් තියෙනවා. ඒක තෝරන්නෙ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන්. කවදාවත් ඒකට පාර්ලිමේන්තු කණ්ඩායම සම්බන්ධ කරගත්තෙ නෑ. 1982 ජේ.ආර්. ජයවර්ධනත්, 1988 රණසිංහ ප්‍රේමදාසත්, 1994 ගාමිණී දිසානායකත්, 1999දීයි 2005දීයි මාවත්, 2010 දි සරත් ෆොන්සේකාවත්, 2015දී මෛත්‍රිපාල සිරිසේනවත් තෝරගත්තේ ඒ සම්ප්‍රදායට අනුව යමින් කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින්. ඒ අනුව මමත් ලබන බදාදා හරි බ්‍රහස්පතින්දා හරි කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවලා පක්ෂයේ අපේක්ෂකයා කවුද කියල තෝරනවා. ඊට පස්සෙ අපි ඒක පාර්ලිමේන්තු කණ්ඩායම කැඳවලා එදාම දැනුම් දෙනවා. පක්ෂ සම්මේලනය තියන්නෙ ඊට පස්සෙ” යනුවෙන් කියමින් රනිල් පක්ෂයේ ව්‍යවස්ථාව සහ සම්ප්‍රදාය චම්පිකට පැහැදිලි කරද්දී චම්පික ඊට වැඩි කැමැත්තක් නොදැක්වුවද විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමට ගියේ නැත. ඒ අනුව එම රැස්වීමද අවසන් වූයේ අපේක්ෂකයා පිළිබඳ අවසන් එකඟතාවයකින් තොරවය.
මලික් රනිල් එක්ක ඩීල් එකක් දැම්මාද?
කෙසේ වෙතත් මෙම පක්ෂ නායක රැස්වීම නිමාකොට පිරිස විසිර යද්දී මෙතෙක් කල් සජිත්ට හිතවත්ව කටයුතු කළ මලික්, රනිල් සමඟ පෞද්ගලික කතාවකට එක්වනු දැකගත හැකි විය. එහිදී මලික් රනිල්ගෙන් විමසා සිටියේ “ඔයා හෙට නුවර යනව නේද? මමත් එන්නද ඔයත් එක්ක නුවර උත්සවවලට” යන්නය. ඊට රනිල්ගේ පිළිතුර වූයේ “ඕකේ” කියාය. ඒ අනුව සෙනසුරාදා දිනයේදී වත්තේගම, පූජාපිටිය ආදී ප්‍රදේශ කිහිපයකම පැවැති රැස්වීම්වලට රනිල් හෙලිකොප්ටරයේ නැගී ගියේ මලික් එක්කමය. මහනුවරට එන විට ලක්ෂ්මන් කිරිඇල්ල රනිල්ව පිළිගැනීමට පැමිණ සිටි අතර, එහිදී මලික්ද රනිල් සමඟ එකට වාහනයෙන් බසිනු දුටු කිරිඇල්ලද සිටියේ මහත් පුදුමයට පත්වය. ඒ අනුව සෙනසුරාදා දහවල් වන විට රනිල් සහ මලික් එකට නුවර රැස්වීම්වලට ගොස් ඇති බවත්, දහවල් ආහාරය මලික්ගේ වටපුලුවේ නිවෙසේදී රැගෙන ඇති බවත් වශයෙන් විශාල ගින්නක් එජාපය ඇතුළේ පැතිර යන්නට පටන්ගෙන තිබිණ. ඒ සමගම “අන්න මලික් ආයි රනිල් එක්ක සෙට්වෙලා”, “මලික් කියන්නෙ ඩබල් ඒජන්ට් කෙනක්” යනුවෙන් කටකතා වැලක් පැතිරයෑමත් සමඟ බොහෝ මැති ඇමැතිවරු කිරිඇල්ලට කතාකොට මේ කතාවේ ඇත්ත නැත්ත විමසා බලන්නට කටයුතු කළහ. කිරිඇල්ලද ඔවුන්ට කියා සිටියේ “ඒක තමයි මමත් දැක්ක දෙන්න එක්ක එකටම එහෙ මෙහෙ යනවා.” යැයි කියාය. නමුත් එසේ කටකතා ගියද සජිත් පාර්ශ්වයේ බොහෝදෙනකු මලික් ගැන තවදුරටත් විශ්වාසය තබමින් කියා සිටියේ මලික් එසේ රනිල් සමග ගියද, එය වැඩිදුර ගණන් ගත යුතු නැති බවත්, එසේ යන ගමන්වලදී පවා සජිත් සම්බන්ධයෙන් කතා කිරීමට මලික් කටයුතු කරනු ඇති බවත්ය.
ඇතුළෙන්ම ආපු බලපෑමට හකීම් යටවෙයි
එමෙන්ම සෙනසුරාදා වන විට රවුෆ් හකීම්ටද පක්ෂය ඇතුළෙන් මෙන්ම පක්ෂයෙන් එළියේ සිටින බොහෝ දෙනකු කතා කර විශාල බලපෑමක් එල්ලකරමින් කියා සිටියේ වහාම රනිල් සමඟ ඇති ප්‍රශ්නය අවසන් කරගන්නා ලෙසටය. එමෙන්ම තමන් කළ ප්‍රකාශයන් අනුව රනිල්ද උත්තර දී තිබීම නිසා තමා සහ රනිල් අතර ප්‍රශ්නය දුරදිග යන බවක් ඒ වනවිට හකීම්ටද වැටහීගොස් තිබිණ. එමෙන්ම මුස්ලිම් කොංග්‍රසයේ ඉහළ තනතුරු දරන නිසාම් කාරියප්පර් මෙන්ම හාරිස් වැන්නවුන් පවා හකීම්ට කතා කර දැනුම්දී සිටියේ වහාම රනිල් සමඟ ඇතිකර ගත් ප්‍රශ්නය විසඳාගන්නා ලෙසය. ඒ අනුව මහනුවර ප්‍රදේශයේ පැවැති රැස්වීම්වලට රනිල් සමඟ එක්වූ හකීම්ද ප්‍රසිද්ධියේම රනිල්ගෙන් සමාව ඉල්ලා සිටින ආකාරයට අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව වත්තේගම පැවැති රැස්වීමේදී හකීම් කියා සිටියේ තමන් ඇතැම් අවස්ථාවලදී කැබිනට් මණ්ඩලයේදී ආවේගශීලීව හැසිරෙන බවත්, ඒ අවස්ථාවලදී පවා අගමැතිවරයා වැඩිහිටියකු මෙන් මැදිහත්ව තමන්ව සන්සුන් කිරීමට පියවර ගන්නා බවත්ය. එම නිසා තමා හා අගමැතිවරයා අතර කිසිදු ගැටලුවක් නොමැති බවද එහිදී හකීම් කියා සිටියේය. ඒ හරහා හකීම් නිල නොවන ආකාරයට තමන් වෙතින් සිදුවූ වැරැද්ද පිළිගත් බවක් දැකගන්නට තිබිණ.
හකීම් කරන්න ගිය තවත් වැඩක් අලවෙයි
මේ අතර එජාප අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට පැමිණෙමින් සිටියදී පසුගිය බදාදා දිනයේ හකීම් තවත් එක්තරා ආන්දෝලනයට තුඩුදෙන මාතෘකාවකට අරඅඳිමින් සිටියේය. ඒ, එක්සත් ජාතික පෙරමුණේ සියලුම සුළු පක්ෂ නායකයන් එකතු කරගෙන බදාදා උදයේ සජිත්ට සහාය පළ කෙරෙන ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමටය. හකීම් එම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමට උත්සාහ කළේ තනිවම නොව, මංගල සහ මලික්ගෙන් එල්ලවූ බලපෑම නිසාය. ඒ අනුව අඟහරුවාදා උදයේ සිටම හකීම්ට කතා කළ මංගල සහ මලික් තවදුරටත් නිහඬව නොසිට සියලුම සුළු පක්ෂ නායකයන් හා එක්ව සජිත් අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවට රනිල්ට බලකරමින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවිය යුතු බවට කළ දැනුම්දීමට අනුව හකීම් කළේ සවස සිටම පෙරමුණේ සියලු සුළු පක්ෂ නායකයන්ට කතා කරමින් මේ බව දැනුම්දීමය. මුලින්ම හකීම් කතා කළේ රිෂාඞ් බදුර්දීන්ටය. නමුත් පළමු ඇමතුමේදීම හකීම්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ රිෂාඞ් කියා සිටියේ තමන්ට වෙනත් පක්ෂයේ ගැටලුවකට මැදිහත්වීමට නොහැකි යැයි කියාය.
ඉන් අනතුරුව හකීම් කතා කළේ මනෝ ගනේෂන්ට සහ පලනි දිගම්බරන්ටය. රිෂාඞ් මෙන් මුල් වටයේදී මෙය ප්‍රතික්ෂේප නොකළ මනෝ සහ දිගම්බරන් පසුව ඊට උත්තරයක් ලබාදෙන බව හකීම්ට දැනුම්දීමට කටයුතු කළහ. ඒ අනුව අඟහරුවාදා රාත්‍රියේදී හකීම්ට කතා කළ දිගම්බරන් මේ මොහොතේ එවැන්නක් පැවැත්වීම සුදුසු නොවන බව කියමින් එය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළේය. බදාද උදයේම හකීම්ට කතා කළ මනෝද කියා සිටියේ එජාපය මේ වන විට අවසන් තීන්දුවක් ගැනීමේ එළිපත්තටම පැමිණ ඇති නිසා ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවා අලුත් අර්බුදයක් ඇතිකිරීමට කටයුතු නොකළ යුතු යැයි කියාය. ඒ අනුව අවසානයේදී එම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවීම අත්හැර දැමීමට හකීම්ට සිදුවිය.
චම්පිකලා ගිහින් කරු හමුවෙයි
මේ අතරවාරයේ සජිත්ව ජනාධිපති අපේක්ෂකයා බවට පත්කරලීම සඳහා තිරය පිටුපස තවත් විශේෂ මෙහෙයුමක් දියත්වෙමින් තිබිණ. ඒ ජාතික හෙළ උරුමයේ නායක චම්පික රණවකගේත්, මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් නිර්මාණය වූ ‘සාධාරණ සමාජයක් වෙනුවෙන් වූ ජනතා ව්‍යාපාරයේ’ ආරම්භක සාමාජිකයකු වූ රවි ජයවර්ධනගේත් ප්‍රධානත්වයෙනි. ඒ අනුව චම්පිකත්, රවිත් එජාප අපේක්ෂකත්වය සඳහා ඉහළින්ම නම් කියැවෙන කතානායක කරු ජයසූරිය මහතා මුණගැසීමට පසුගිය සතියේ ගොස් ඔහු සමඟ බොහෝවේලා සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එහිදී චම්පික ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කරු හමුවේ දීර්ඝ විග්‍රහයක් සිදුකළ අතර, වැඩිදුරටත් කරුගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ මේ මොහොතේ ජනාධිපතිවරණ සටනට මැදිහත්වීමට කටයුතු නොකරන ලෙසටය. මේ මොහොතේ පක්ෂයේත්, රටේත් ඉල්ලුම ඇත්තේ සජිත්ට බව කරුට පැහැදිලි කරදුන් චම්පික යම්හෙයකින් ඊට කරුගේ නමද ප්‍රතිවාදියකු ලෙස පැමිණියහොත් මෙතෙක් කල් ගොඩනඟාගත් කීර්තිනාමයට හානියක් වනු ඇති බවද චම්පික එහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව මේ මොහොතේ කිරීමට ඇති හොඳම දේ බිම් මට්ටමේ ජනතාව ඉල්ලන සජිත්ට අවස්ථාව ලබාදීම බවද කරුට පෙන්වා දුන් චම්පික, හර්ෂ ද සිල්වා විසින් සකස් කර තිබූ මත විමසුමද කරුට පෙන්වා දුන්නේය. ඒ අනුව චම්පිකලාට අවශ්‍යව තිබුණේ ජනපති අපේක්ෂකත්වය මුල්කරගෙන එජාපය ඇතුළේ බරපතළ තුන්කොන් සටනක් නිර්මාණය වී එජාපය දෙකට, තුනට කැඩී ගොස් දුර්වල නොකොට ඒකමතිකව එක් අපේක්ෂකයකු ඉදිරිපත් කරන තැනට පසුබිම සකස් කිරීමය. එය සාර්ථක වූ බවක් පෙනෙන්නට තිබුණේ සාකච්ඡාව අවසානයේදී කරු චම්පිකටත්, රවිටත් දුන් පිළිතුරත් සමඟය. ඒ අනුව කරු කියා සිටියේ තමන් පක්ෂය දෙකඩ කිරීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත්, අවශ්‍ය නම් සජිත්ට අවස්ථාව සලසාදීම සඳහා ජනපති අපේක්ෂක සටනින් ඉවත් වීමට තමන් සූදානම් බවත්ය. එපමණක් නොව එය සෙනසුරාදා දිනයේදීම රනිල්ට දැනුම්දීමට කටයුතු කරන බවත් කරු එහිදී සඳහන් කර සිටියේය.
ප්‍රශ්නය විසදන්න කරු මැදිහත් වෙයි
පසුගිය සතිය වන තෙක්ම රනිල්, සජිත්, කරු අතර තුන්කොන් සටනක් බවට පත්වීමට තිබූ එජාප ජනපති අපේක්ෂකත්වය අවසන් කිරීම සඳහා කරු මැදිහත්කරුවකු ලෙස ඉදිරිපත් වීමට කටයුතු යෙදුණේ ඒ සමඟය. ඒ අනුව සෙනසුරාදා දිනයේදී කතානායකවරයා රනිල්ව මුණගැසීමට අරලියගහ මන්දිරයට ගොස් මේ බව දැනුම්දීමට පියවර ගත්තේය. පක්ෂය ඇතුළේ අර්බුදය විසඳීමට තමන් සූදානම් බවත්, ඒ නිසාම ජනපති අපේක්ෂකත්වය ලබාගැනීමේ සටනින් ඉවත් වීමට තමන් තීන්දු කළ බවත් රනිල්ට එහිදී දැනුම්දී සිටි කරු සජිත් හා රනිල් අතර ඇති මතභේද දුරුකොට පක්ෂය එක්සත් කිරීම සඳහා කටයුතු කිරීමට සූදානම් බවද කියා සිටියේය. මෙහිදී රනිල් කරුට කියා සිටියේ පක්ෂ නායකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමාටද විශාල ඉල්ලීම් ලැබෙන නිසා තමාද ඒ පිළිබඳව සලකා බලමින් සිටින බවකි. යම් හෙයකින් එම තීන්දුව ගන්නා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සජිත්ද අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වුවහොත් විවෘත ඡන්ද විමසීමකට යෑමට තමන් සූදානම් බවද එහිදී රනිල් කරුට දැනුම්දී සිටියේය. සජිත්ට මෙම පණිවුඩය ලබාදෙන ලෙසද මෙහිදී රනිල් කරුට දැනුම්දී සිටි අතර මෙය තවදුරටත් සාකච්ඡාවට විවෘත බව සජිත්ට සඳහන් කරන ලෙසද රනිල් එහිදී කරුට කියා සිටියේය.
කරුගෙන් සජිත්ට ඇමතුමක්: රනිල්ගේ පණිවුඩය සජිත්ට
ඒ අනුව සාකච්ඡාව නිමාකළ වහා කරු සජිත්ට ඇමැතුමක් ලබාදෙමින් කියා සිටියේ හැකි ඉක්මණින් තමාව මුණගැසෙන ලෙසටය. ඒ අනුව සජිත්ද එදිනම කරුව මුණගැසීම සඳහා කතානායක නිල නිවෙස වෙත පැමිණියේ අර්බුදය නිමා වන විසඳුමක් කරු සන්තකයේ ඇතැයි යන සිතුවිල්ල ඇතිවය. නමුත් එය එසේ නොවන බව සජිත්ට වැටහී ගියේ රනිල්, කරු සාකච්ඡාවේ තොරතුරු කරු විසින් සජිත්ට දැනුම්දුන් විටදීය. ඒ අනුව කරු සජිත්ට කියා සිටියේ පක්ෂයේ බෙදීමකින් තොරව එක්සත්ව ශක්තිමත්ව ඉදිරියට ගියහොත් පමණක් ජය ලබාගත හැකි බවත්, තමන් ජනපති අපේක්ෂකත්ව අර්බුදයට මැදිවුවහොත් ප්‍රශ්නය තවදුරටත් උග්‍ර වන නිසා ජනපති අපේක්ෂකත්ව සටනින් ඉවත් වීමට තමන් තීන්දු කළ බවත්ය. එමෙන්ම රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවත් සජිත්ට කියා සිටි කරු සජිත්ද ඊට ඉදිරිපත් වන්නේ නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්ද විමසීමකට යෑමට රනිල් සූදානමින් සිටින බවද දැනුම්දී සිටියේය.
නයි මුගටියන් වූ රවි-සජිත්ව කරු යාළු කරයි
එමෙන්ම මෙහිදී රවි කරුණානායක ගැනද කතානායකවරයා සජිත් සමඟ අදහස් හුවමාරු කරගත්තේය.
“නායකතුමත් කැමැත්තෙන් සිටිනවා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න. අපේක්ෂකයො කිහිපදෙනෙක් ඉන්නවා නම් ඡන්දෙකට යන්න එතුමත් සූදානම්. හැබැයි මේක සාකච්ඡාවට විවෘතයි කියලත් එතුමා කිව්ව. ඒ හින්ද මම කියන්නෙ ඔක්කොමත් එක්ක සාකච්ඡා කරලා මේ ගැන එකඟතාවකට එන්න කියලයි. අනෙක සජිත් ඔයා රවි එක්කත් මේ ගැන අනිවාර්යයෙන් කතා කරන්න ඕනෙ. මොකද රවි කියන්නෙ පක්ෂයෙ තුන්වැනියා. එයා පක්ෂය වෙනුවෙන් ලොකු කැපවීමක් කළා. ඒ හින්ද ඔයා එයත් එක්ක ගැටුම් හදාගන්න යන්න එපා. එයත් එක්ක කතා කරල ඔය දෙන්න අතර තියෙන ප්‍රශ්න විසඳගෙන එකට ගමනක් යන්න වැඩ කරන්න…’ යනුවෙන් කරු කියද්දී සජිත්ද ඊට එකඟතාවය පලකරමින් අදහස් දැක්වීම විශේෂත්වයක් විය.
රවි කබීර්ට බෑ කියයි
“ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියල මට හැම පැත්තකින්ම ඉල්ලීම් ඉදිරිපත් වෙනවා. මමත් කැමතියි සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්නය විසඳගන්න. අනෙක රවි පක්ෂය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා කියල මමත් පිළිගන්නවා. අපි දෙන්නා අතරේ කිසිම පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. තියෙන්නෙ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. මමත් සූදානම් රවිව හම්බුවෙන්න” යනුවෙන් සජිත් කියද්දී කරු වහාම රවිට දුරකතන ඇමැතුමක් ගෙන එම හමුව සූදානම් කිරීමට කටයුතු යෙදුවේය. ඒ අනුව රවිද සජිත් මුණගැසී සාකච්ඡා කිරීමට එකඟතාවය පළ කළේය. එහිදී එක් ඉල්ලීමක් කරමින් සජිත් කියා සිටියේ සාකච්ඡා සඳහා කබීර් කැටුව ඒමට තමන් කටයුතු කරනවා කියාය. නමුත් ඊට රවි එකඟතාවය පළකළේ නැත. අනතුරුව සජිත් අතරමැදියකු ලෙස යෝජනා කළේ ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගේ නමය. ඊට රවි එකඟතාවය පළකිරීම නිසා එදිනම රාත්‍රි මෙම රවි – සජිත් හමුව සිය නිවෙසේ පැවැත්වීමට කරු පියවර ගත්තේය.
ක්‍රිෂාන්ත අවුලක් නැතිලු
ඒ අනුව එදින රාත්‍රි කරුගේ නිවෙසට සජිත්, රවි පැමිණීමෙන් පසු මොහොතක් යද්දී ක්‍රිෂාන්ත කුරේද කරුගේ නිවෙසට පැමිණියේය. විනාඩි කිහිපයක් තිදෙනා සමඟම සුහද කතාබහක යෙදී සිටි ක්‍රිෂාන්ත පසුව සාකච්ඡාවට සම්බන්ධ නොවී පිටව යෑමට පියවර ගත්තේය. ඒ අනුව මෙතෙක් කල් දේශපාලන කරලියේ නයි, මුගටියන් සේ පෙනී සිටි සජිත් සහ රවි අතර සාම සාකච්ඡා ආරම්භ කිරීමට මැදිහත් වූ කරු දෙදෙනාටම සිය අදහස් දැක්වීමට අවස්ථාව ලබාදුන්නේය. එහිදී රවි ජනාධිපතිවරණ සටන ඉතා අසීරු එකක් බවත්, එය ජය ගැනීමට සියලු පාර්ශ්වයන් එකතු කරගත යුතු බවත් සජිත්ට පෙන්වා දුන්නේය.
රවිගෙන් සජිත්ට දේශපාලන පාඩමක්
“මේ සටන දිනන එක ලේසි නෑ සජිත්. මොකද මේක දිනන්න හැම පාර්ශ්වයක්ම අපි එක්කහු කරගන්න ඕනෙ. ඉහළ පන්තිය වගේම මැද පන්තියත්, ගම් මට්ටමත්, සුළු ජාතිකයනුත්, ජාත්‍යන්තර ප්‍රජාවත් කියන සියලුම පාර්ශ්ව මේ ඡන්දයෙදි ඉතාම තීරණාත්මකයි. හැබැයි මේ හැම එකක්ම ඔයාට තනියෙන් එකතු කරගන්න බෑ. විශේෂයෙන්ම ඉහළ පන්තියත් එක්කයි සුළු ජාතික පක්ෂත් එක්කයි ජාත්‍යන්තරයත් එක්කයි අගමැතිතුමාට විශාල සම්බන්ධතා තියෙනවා. ඒ හින්ද ඔයා මේ සටනට එනව නම් අගමැතිතුමාවත්, මේ ඉන්න හැමෝමවත් එකතු කරගන්න ඕනෙ. දැනට ඔයාට මේ පාර්ශ්ව එකතුකරගන්න අමාරුයි.” යනුවෙන් රවි කියද්දී සජිත් කියා සිටියේ ඒ සඳහා රනිල්ගේත්, කරුගේත් සහාය ලබාගැනීමට තමන් සූදානම් බවත්ය. රනිල්ට ඉහළ පන්තිය, සුළු ජාතිකයන් සහ ජාත්‍යන්තරය සමඟ විශාල සම්බන්ධකම් ඇති බව පිළිගත් සජිත් සිංහල බෞද්ධ බලවේග එක්තැන් කිරීමේ හැකියාව කරුට පවතින බවද පිළිගත්තේය. ඒ අනුව තමාට අපේක්ෂකත්වය ලබාදෙන්නේ නම් රනිල්, කරු යන දෙදෙනාගේම සහාය තමන් බලාපොරොත්තු වන බවද සජිත් එහිදී රවිට සඳහන් කර සිටියේය. ඒ අනුව එළියේ නයි, මුගටි සටනක නිරතව සිටි රවිවත්, සජිත්වත් ඉතා සුහද තැනකට ගෙන ඒමට කරු එහිදී සමත්විය. ඒ අනුව සාකච්ඡාව අවසන් වූයේ නැවැත වතාවක් රවි, සජිත් හමුවක් සඳහා දින වකවානු වෙන්කරගනිමිනි.
කරුගේ ගෙදර රනිල්-සජිත් සාකච්ජාවක්
මේ තත්ත්වය මත පසුගිය ඉරිදා (22දා) එජාපයේ ප්‍රධානීන් තිදෙනා වූ රනිල්, සජිත්, කරු අතර සාකච්ඡාවකට මඟපෑදිණ. එයද කතානායක නිවෙසේදීය. තිදෙනා අතර පමණක් පැවැති මෙම හමුවේදී බොහෝ වේලා සාකච්ඡා වූයේ පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳවය. විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම, බලය බෙදාහැරීම, ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීම පිළිබඳව එහිදී පක්ෂයේ ප්‍රතිපත්තිය පැහැදිලි කළ රනිල් එම කරුණු සම්බන්ධයෙන් සජිත්ගේ ප්‍රතිපත්තිය කුමක්ද යන්න විමසා සිටියේය. එහිදී සජිත් කියා සිටියේ තමන්ට ඒ පිළිබඳව මෙතෙක් නිශ්චිත අදහසක් නොමැති නමුත්, සියලු පාර්ශ්වයන් සමඟ එක්ව සාකච්ඡා කොට ඒ පිළිබදව අවසන් එකඟතාවකට එළැඹිය හැකි යැයි කියාය.
ඒ අනුව රනිල් කියා සිටියේ තමන් ලබන අඟහරුවාදා ජනපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැඳවන බවත්, එදිනට අදාළ ගැටලු සම්බන්ධයෙන් සජිත්ගේ මතය ලිඛිතව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙසත්ය. එවිට සජිත් කියා සිටියේ තමන්ට අත්‍යවශ්‍ය රාජකාරි කිහිපයක් යෙදී තිබීම හේතුවෙන් අඟහරුවාදා දින පැමිණීමට නොහැකි යැයි කියාය.
එවිට රනිල් බදාදා දිනය යෝජනා කරදිදී සජිත් කියා සිටියේ බදාදා තමන්ට ජනාධිපති කොමිසම හමුවේ පෙනීසිටීමට කැඳවීමක් කර ඇති හෙයින් බ්‍රහස්පතින්දා දිනයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැඳවන්නේ නම් ගැටලුවක් නොමැති බවකි. ඒ අනුව බ්‍රහස්පතින්දා දිනයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කැඳවීමට තීන්දු වුණු අතර එදිනට සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ යුතු බවද රනිල් දැනුම්දී සිටියේය.
කොන්දේසි කියා රටම ගිනිතියයි
එහිදී සජිත් ඉල්ලා සිටියේ ජනපති අපේක්ෂකයා තේරීමේදී පාර්ලිමේන්තු කණ්ඩායමද සහභාගි කරගන්නා ලෙසට විශාල ඉල්ලීමක් මතුවී ඇතැයි කියාය. නමුත් එය ප්‍රතික්ෂේප කළ රනිල් කියා සිටියේ ව්‍යවස්ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පමණක් ජනපති අපේක්ෂකයා තෝරන නිසා මෙවරද එය එසේම වියයුතු යැයි කියාය. එමෙන්ම සජිත්ගේ ප්‍රතිපත්ති ලිඛිතව ලබාදෙන ලෙස එහිදී නැවැතත් කියා සිටි රනිල්, යම් හෙයකින් එම ප්‍රතිපත්තිවලින් ඔබ්බට යන්නේ නම් එසේ යන ආකාරය පිළිබඳ ලිඛිතව සඳහන් කරන ලෙසද සජිත්ගෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් බදාදා දිනය වන විට මේ ඉල්ලීම් මුල්කරගෙන පක්ෂය ඇතුළේ මෙන්ම රට ඇතුළේ විශාල ආන්දෝලනයක් ආරම්භ වී තිබිණ. එහිදී මාධ්‍ය බොහොමයක්ම මෙම හමුව වාර්තා කර තිබුණේ ජනපති අපේක්ෂකත්වය ලබාගැනීමට අවශ්‍ය නම් රනිල් විසින් කොන්දේසි විශාල ප්‍රමාණයක් සජිත්ට පනවා ඇතැයි කියාය. ඇතැම් මාධ්‍ය මෙය රනිල් හා සජිත් අතර ගැටුමක් ලෙසද වාර්තා කර තිබිණි.
මතුගම රැලිය නවත්තන්නැයි රනිල් කියයි
කෙසේ වෙතත් ‘සජිත් එනවා’ මතුගම රැලිය බදාදා දිනයේ සංවිධාන කර තිබුණේ මෙවැනි වාතාවරණයක් මැද්දේය. පක්ෂය තුළ මතුව තිබූ අර්බුදය මුල් කරගෙන මෙම රැලිය නොපවත්වන ලෙසට අගමැතිවරයා සජිත්ට විශේෂ පණිවුඩයක් යොමුකර තිබුණු අතර ඉන් කියැවුණේ මෙවැනි තීරණාත්මක අවස්ථාවක සජිත් වෙනම ගොස් රැලියක් පැවැත්වීම හරහා පක්ෂය දෙකඩව ඇති ආකාරයක් රටට පෙනීම වැළැක්විය නොහැකි යැයි කියාය. මේ අනුව සජිත්ද රැස්වීම පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් දෙගිඩියාවක සිටිද්දී රැස්වීම මොනයම් තත්ත්වයක් යටතේ වුවද පැවැත්විය යුතු බවට බලපෑම් කරමින් සජිත්ට අදහස් ඉදිරිපත් කරන ලද්දේ අජිත් පී. පෙරේරාය. එම බලපෑම ඉතා දැඩි එකක් වූයෙන් සජිත්ටද අන්තිමේදී රැස්වීම නොපවත්වා සිටීමට නොහැකි විය. ඒ අනුව සජිත් අන්තිමේදී මතුගම රැලියට එක්වූයේ මේ ආකාරයේ අර්බුද රැසක් මධ්‍යයේය.
මතුගමදී අජිත් පෙරේරාට ආ විරෝධය
කෙසේ වෙතත් මෙම මතුගම රැලියේදී තවත් එක් විශේෂත්වයක් දැකගත හැකි විය. ඒ, එම රැස්වීම අජිත් පී. පෙරේරාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණද, කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන කිසිදු එජාප මන්ත්‍රීවරයකු ඊට සම්බන්ධ වී නොසිටීමය. මීට පෙර බදුල්ලේ පැවැති රැස්වීමේදීත්, මාතර පැවැති රැස්වීමේදීත්, කුරුණෑගල පැවැති රැස්වීමේදීත් එජාපය නියෝජනය කරන ඒ ඒ දිස්ත්‍රික්කවල අති බහුතරයක් මන්ත්‍රීවරුන් සජිත් වෙනුවෙන් වේදිකාවට ගොඩවුණද කළුතර රැලියේදී සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. එනම් ඊට කළුතරින් අජිත් පමණක් සහභාගි වී සිටි අතර, අනෙකුත් එජාප මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, පාලිත තෙවරප්පෙරුම හා ලක්ෂ්මන් විජේමාන්න යන කිසිදු මන්ත්‍රීවරයකු එම වේදිකාවට ගොඩ නොවීම විශේෂ සිදුවීමක් විය. එහිදී බොහෝ දෙනකු කියන්නට වූයේ මෙය අජිත් පෙරේරාට දැක්වූ විරෝධයක් ලෙස එම මන්ත්‍රීවරුන් වේදිකාවට ගොඩ නොවූ බවත්, අජිත් පෙරේරා එජාපය දෙකඩ කිරීමට කටයුතු කරන්නකු බවට පක්ෂය ඇතුළේ ප්‍රසිද්ධව සිටීමත් නිසා මෙසේ අනෙකුත් මන්ත්‍රීවරුන් එම රැලිය වර්ජනය කළ බවත්ය.
කොන්දේසිවලට සජිත්ගෙන් උත්තර
කෙසේ වෙතත් ඒ වන විටත් මාධ්‍ය මගින් සජිත්ට කොන්දේසි ඉදිරිපත් කර ඇති බවට විශාල ප්‍රචාරයක් ගෙනගොස් තිබූ නිසා සජිත්ද සිය කතාවේදී ඊට පිළිතුරු දීමට කටයුතු කළේය. එහිදී සජිත් කියා සිටියේ තමන් කිසිදු කොන්දේසියකට යටත්වී නොමැති බවත්, කාගේ හෝ රූකඩයක් වීමට තමන් කිසිසේත්ම සූදානම් නොමැති බවත්ය. එයද මාධ්‍ය මහ ඉහළින් වාර්තා කරමින් කියා සිටියේ සජිත් – රනිල් අතර මේ වන විට කොන්දේසි සම්බන්ධයෙන් විශාල අර්බුදයක් මතුව ඇතැයි කියාය.
මේ ආකාරයට රනිල් එපා කියද්දී මතුගම රැලිය පැවැත්වුණද බදාදා රාත්‍රිය වන විට එජාප ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂය නොබිඳෙන ආකාරයේ අවසන් තීන්දුවක් ගැනීමට රනිල් කටයුතු කර තිබිණි. ඒ අනුව බදාදා රාත්‍රියේදීම සියලුම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයන් වෙත සිරිකොතින් ලැබුණු විශේෂ පණිවුඩයකින් කියැවුණේ බ්‍රහස්පතින්දා සවස 03.00ට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැඳවීමට තීන්දු කර ඇති බවත්, එහිදී පක්ෂයේ ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන බවත්, සවස 05.00ට පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්කර අපේක්ෂකයා මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දෙන බවත්, ඉන් අනතුරුව සවස 06.00ට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා අපේක්ෂකයා ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගන්නා බවත්ය.
සජිත්ගේ කතාවෙන් රනිල් අවුලක
කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා උදෑසන වන විට සජිත් කොන්දේසි සම්බන්ධයෙන් මතුගමදී කර තිබූ දැඩි ප්‍රකාශය මුල් කරගෙන රනිල්ද සිටියේ තරමක අවුලකට පත්වය. ඒ අනුව උදෑසනම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කැඳවූ රනිල් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එම රැස්වීමට නවීන් දිසානායක, අකිල, රාජිත, රවි ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ. ඒ අනුව සාකච්ඡාව ආරම්භයේදීම සජිත් මතුගමදී කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් රනිල් කතා කළේ තරමක කනගාටුවෙන් යුක්තවය.
“අපි දැන් අපේක්ෂකයා ගැන තීන්දුවක් ගන්න වර්කින් කමිටි එක රැස්කරලත් ඉවරයි. එහෙම තියෙද්දී සජිත් ප්‍රසිද්ධියේ කරන ප්‍රකාශ නිසා මේ සියල්ලම අවුලකට යනවා. දැන් බලන්න එයා මතුගමදී කියල තියෙනවා මම කිසිම කොන්දේසියකට යටත්වෙන්නෙ නෑ කියලා. කවුද එයාට කොන්දේසි ඉදිරිපත් කළේ. මේ අපි ඉදිරිපත් කරල තියෙන්නෙ කොන්දේසි නෙවෙයි. මේවා පක්ෂයේ ප්‍රතිපත්ති. ඒ පක්ෂයේ ප්‍රතිපත්තිවලට කවුරු ඉදිරිපත් වුණත් ඒ ඉදිරිපත් වෙන අපේක්ෂකයා එකඟ වෙන්න ඕනේ. සජිත් ඉල්ලනව නම් සජිතුත් ඒ ප්‍රතිපත්තිවලට එකඟ වෙන්න ඕනේ. මොකද අපි පිළිඅරගෙන තියෙනවා රටම ඉදිරියේ ඒවා ඉෂ්ට කරනව කියලා. එයා දිනුවට පස්සේ ඒව කරන නොකරන එක එයාගෙ වැඩක්. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි එයා ඉල්ලන්න ඕනේ මේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුකූලවයි” යනුවෙන් රනිල් කියද්දී එහි සිටි සියලු දෙනාම එය අනුමත කරන ආකාරයක්ද දැකගන්නට තිබිණි.
මේවා කොන්දේසි නෙමෙයි පක්ෂ ප්‍රතිපත්ති
ඉන් අනතුරුව බ්‍රහස්පතින්දා උදෑසනම සජිත් අරලියගහ මන්දරයට පැමිණියේ මෙවැනි වාතාවරණයක් මතුව පවතිද්දීය. ඒ අනුව අරලියගහ මන්දිරයට පැමිණි සැණින් රනිල් හා සජිත් අතර වෙනමම සාකච්ඡාවක්ද ආරම්භ විය. එහිදී පක්ෂයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වූ අතර දෙදෙනා අතර කිසියම් වචන හුවමාරුවක් සිදුවූ බවක්ද දැනගන්නට ඇත. කෙසේ වෙතත් අවසානයේදී රනිල් කියා සිටියේ පක්ෂයෙන් ඉදිරිපත් වෙනවා නම් අනිවාර්යයෙන්ම පක්ෂ ප්‍රතිපත්තිවලට එකඟව ඉදිරිපත් විය යුතු බවත්, එසේ නොමැතිව ජනාධිපතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරය සිදුකිරීම ඉතා අසීරු බවත්ය. පක්ෂයේ ප්‍රතිපත්ති එකක් වී, පක්ෂයේ අපේක්ෂකයාගේ ප්‍රතිපත්තිය තව එකක් විය නොහැකි බවද මෙහිදී රනිල් සජිත්ට පෙන්වා දුන්නේය.
ප්‍රතිපත්තිවලට සජිත් එකග වෙයි
ඒ අනුව අවසානයේදී සජිත්ද කියා සිටියේ පක්ෂයේ ප්‍රතිපත්තිය තමන්ගේ ප්‍රතිපත්තියක් ලෙස භාරගැනීමට තමන් සූදානම් යැයි කියාය. නමුත් එහි පූර්ණ විස්තර ඉදිරිපත් වන්නේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ බවද සජිත් එහිදී රනිල්ට දැනුම්දී සිටියේය.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්වීම අරලියගහ මන්දිරයේදී ආරම්භ වූයේ රනිල් – සජිත්ගේ මෙම මුහුණට මුහුණ සාකච්ඡාවෙන් පසුවය. එම රැස්වීමට රනිල්, සජිත්, රවි, අකිල, රාජිත, නවීන්, කබීර්, මලික් ඇතුළු පිරිසක් එක් සිටි අතර බොහෝ ප්‍රශ්න එහිදී සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමටද පිරසට හැකියාව ලැබිණි. අවසානයේදී සියලු දෙනාම සජිත්ගෙන් ඉල්ලා සිටියේ එකම එක ඉල්ලීමකි. එනම් මේ වන විට පක්ෂය තුළ ඇති කරගෙන තිබෙන එකමුතුභාවය සහ එක්සත්කම බිඳෙන ආකාරයේ ප්‍රකාශ කිසිසේත්ම සිදු නොකරන ලෙසටය. එය පිළිගත් සජිත් ඒ මොහොතේදීම කියා සිටියේ තමන් සිය ඡන්ද ව්‍යාපාරය තුළදී එය අකුරටම ඉෂ්ට කිරීමට සූදානමින් සිටින බවය.
අලියා ගැලවී හංසයා ආපු හැටි
ඉන් අනතුරුව පිරිස අතර සාකච්ඡාවට ලක්වූයේ සජිත් තරග කරන ලකුණ පිළිබඳවය. රනිල් එහිදී කියා සිටියේ සජිත් පාර්ශ්වය ‘අලියා ලකුණින් සජිත් එනවා’ යැයි කියමින් රට පුරා පෝස්ටර් අලවා තිබූ නිසා අවශ්‍ය නම් අලියා ලකුණින් තරග කළ හැකි යැයි කියාය. රවිද එහිදී කියා සිටියේ පසුගිය වතාවේ හංසයා ලකුණ යොදාගනිද්දී කණ්ඩායමක් විරුද්ධ වූ නිසා මෙවර අලියා ලකුණ යොදාගැනීම සුදුසු යැයි කියාය.
නමුත් ඊට වෙනත් අදහසක් පළ කළේ රාජිතය. රාජිත කියා සිටියේ සන්ධානයක් ලෙස ඉදිරියේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා සියලු ජාතිකයන්ට ගොඩවිය හැකි වේදිකාවක් සකස් කළ යුතු බවත්, පොදු සලකුණක් ඒ සඳහා යොදාගැනීම සුදුසු බවත්ය. මලික්ද එය අනුමත කරමින් කියා සිටියේ ඉදිරියේදී ශ්‍රීලනිපයේ කණ්ඩායමක් පමණක් නොව පොහොට්ටුවේ කණ්ඩායමක්ද සජිත් සමඟ එක්වීමට නියමිත නිසා පොදු ලකුණක් යටතේ තරගකිරීම සුදුසු යැයි කියාය. ඒ අනුව පිරිස පොදු ලකුණක් වශයෙන් 2010දී සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ලියාපදිංචි කර තිබූ සේනක සිල්වා මහතාට අයත් පක්ෂයේ ලිපි ලේඛනද රැගෙනවිත් තිබිණි. එහි සලකුණ වූයේ දුරකතනයය. නමුත් සාකච්ඡාවේ සිටි සියල්ලන්ම පාහේ මෙහිදී කියා සිටියේ එවැනි අලුත් සලකුණක් ජනතාව අතරට ගෙන යෑම මේ මොහොතේ ඉතා අසීරු යැයි කියාය. ඒ අනුව අවසානයේදී සියල්ලන්ම යළිත් හැරුණේ ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රි ජයග්‍රහණය කළ හංසයා ලකුණ දෙසටය. එවිට මලික් විමසුවේ හංසයාගේ අයිතිකරු කවුරුන්දැයි කියාය. එවිට රනිල් සිනාසෙමින් රවිව පෙන්වා කීවේ “ඔය ඉන්නෙ හංසයගෙ අයිතිකාරයා… එයාගෙන් අහල ඔයාලා තීන්දුවක් ගන්න…” යැයි කියාය. එවිට සජිත් රවි දෙස බලා ඉංග්‍රීසි බසින් විමසා සිටියේ “අපි මේ වෙලාවෙ ඔක්කොම එකතුවෙලා එකට යන්න ඕනේ. මට කරන උදව්වක් විදියට ඔයාට මට හංසයා දෙන්න පුළුවන්ද?” යැයි කියාය. එහිදී දෙවරක් නොසිතූ රවි, “ඕකේ, නෝ ප්‍රොබ්ලම්” යැයි කියමින් සජිත්ගේ ඉල්ලීමට සිය එකඟතාව පළ කළේය.
රවිගේ නිහකමානිකම
ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී හංසයා දැකගන්නට ලැබෙන්නේ තුන්වැනි වතාවටය. පළමු අවස්ථාව වූ 2010දී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ෆොන්සේකාට පක්ෂයක් නොමැතිව සිටියදී ඔහුට සිය පක්ෂය සහ ලකුණ වූ හංසයා දීමට ඉදිරිපත් වූයේ රවිය. ඉන් අනතුරුව 2015දී මෛත්‍රි ඉල්ලා ජයග්‍රහණය කළේද මේ හංසයාගෙනි. නමුත් එසේ හංසයාගෙන් ජයගත් මෛත්‍රි අවසානයේදී බැඳුම්කරය මුල්කරගෙන අභූත චෝදනා නඟමින් රවිට පහර පිට පහර දුන්නා පමණක් නොව, රවිගේ මුදල් ඇමැතිකම නැතිවන තැනටද වැඩ කළේය. ඒ අවස්ථාවේදී පක්ෂයේ විශාල පිරිසක්ද සිටියේ රවිට විරුද්ධවය. එසේ තිබියදීත් රවි මෙසේ තමන්ගෙන් හංසයා ඉල්ලූ සැණින් නිහතමානීව එය ලබාදීම පිළිබඳ එහි සිටි බොහෝ දෙනකු රවිට ස්තුති කරනු දැකගත හැකි විය. එපමණක් නොව රවි හා සජිත් අතර ඇතිවී ඇති මේ අලුත් මිතුදම පක්ෂයේ අනාගතයට ඉතා හොඳ ලකුණක් බවද එහි සිටි බොහෝ දෙනකු කියනු දැකගත හැකි විය.
රනිල් දෙමළ සන්ධානයට සජිත්ගේ යෝජනාවලිය යවයි
මේ අතර පක්ෂයේ ප්‍රතිපත්ති තවදුරටත් ඉදිරියට ගෙන යෑමට සජිත් එකඟතාව පළකිරීමත් සමඟ විධායකය අහෝසි කිරීම, බලය බෙදීම, නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම යනාදී කරුණු සම්බන්ධයෙන්ද රනිල් හා සජිත් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී දෙමළ සන්ධානයේ සහාය සජිත්ට ලබාගැනීම අත්‍යවශ්‍ය බැවින් රනිල් කළේ 2015දී මෛත්‍රිට සහාය ලබාගැනීමට දෙමළ සන්ධානයට ඉදිරිපත් කළ යෝජනාවලියම සජිත්ටද ලබාදී ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර තමන්ට ඉක්මනින් නව යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස දැනුම්දීමය. ඒ අනුව සජිත් එය භාරදුන්නේ කබීර්ටය. කබීර් එම යෝජනාවලිය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අදාළ යෝජනාවලියේ වචන දෙක තුනක් පමණක් වෙනස් කොට නැවතත් සජිත්ට භාරදීමට කටයුතු කළේය. ඒ අනුව සජිත් අදාළ යෝජනාවලිය නැවතත් රනිල්ට භාරදෙමින් කියා සිටියේ එහි වචන දෙක තුනක් පමණක් වෙනස් කොට ඇති බවත්, අවශ්‍ය නම් එයද යළි වෙනස් කිරීමට කටයුතු කළ හැකි බවත්ය. ඒ අනුව සජිත් එම යේජනාවලිය රනිල්ට භාරදීමෙන් පසුව රනිල් එය වහාම සුමන්තිරන්ට භාරදීමට පියවර ගත්තේය. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සියලු පක්ෂ සාකච්ඡාවක් පවත්වා රනිල් හරහා සජිත් එවූ එම යෝජනාවලිය පිළිබඳ අවසන් තීන්දුව ලබාදීමට නියමිතය.
යෝජනාව රනිල්ගෙන්: අකිල ස්ථිර කරයි
කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා සවස 03.00ට සිරිකොතේදී තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණේ මෙවැනි වාතාවරණයක් යටතේය. ඒ වන විටත් සජිත්ට පක්ෂ අපේක්ෂකත්වය ලබාදෙන බව තහවුරු කර තිබූ බැවින් එහි ඉතිරිව තිබුණේ එම යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කොට සම්මත කරගැනීම පමණි. ඒ අනුව පක්ෂ නායකයා වශයෙන් රනිල්ම සජිත්ගේ නම යෝජනා කළ අතර එය ස්ථිර කළේ පක්ෂ මහලේකම්වරයා වශයෙන් අකිල විරාජ්ය.
හර්ෂ කිලී මහරාජාගේ කොන්ත්‍රාත්තුවක
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ කවදාවත් දැකගන්නට නොලැබුණු ආකාරයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දර්ශන ඒ වන විටත් සිරස මාධ්‍ය නාලිකාව මඟින් සජීවීව විකාශය වෙමින් තිබීමය. සදාචාරය සහ එජාප සම්ප්‍රදායද බිඳදමමින් මෙම කටයුත්ත කර තිබුණේ වෙන කවුරුවත් නොව ආචාර්ය හර්ෂ ද සිල්වාය. ආචාර්ය හර්ෂ ද සිල්වා යනු සිරස හිමිකරු කිලී මහරාජා සමඟ ඉතා සමීප හිතවත්කමක් පවත්වාගෙන යන මන්ත්‍රීවරයෙකි. ඒ අනුව කිලීගෙන් හර්ෂට උපදෙස් ලැබී තිබුණේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ සිදුවන දෑ පටිගතකොට වහාම තමන්ට එවන ලෙසත්, තමන් එය ඒ මොහොතේම සිරස නාලිකාව ඔස්සේ විකාශයට කිරීමට සූදානම් කර ඇති බවත්ය. ඒ අනුව හර්ෂද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට වාඩිවූ අවස්ථාවේ සිටම කළේ සිය ජංගම දුරකතනය රැගෙන සිදුවන දෑ පටිගත කිරීමය. එසේ පටිගත කළ හර්ෂ ඊළඟට කළේ එය තමන්ගේ ට්විටර් ගිණුමේ ඒ මොහොතේම පළකිරීමය. සිරස විකාශය කළේ හර්ෂගේ ට්විටර් ගිණුමෙන් ලබාගත් වීඩියෝවය.
මේ ආකාරයට හර්ෂ එජාපය ඇතුළේ සිදුවන රහස් කතා පටිගත කර එළියට දැමූ බවට චෝදනා එල්ලවූ පළමු වතාව මෙය නොවේ. මීට පෙරද රනිල් හා නවීන් අතර සිදුවූ සංවාදයක් ඒ ආකාරයටම පටිගත කර එළියට දැමූ බවට හර්ෂට චෝදනා එල්ලවී තිබිණි. කෙසේ වෙතත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රූපරාමු ඒ මොහොතේම සිරසේ විකාශය වන බවට මොහොතක් ගතවීමට මත්තෙන් එජාප ජ්‍යෙෂ්ඨයන්ගේද කනට වැටිණි. ඒ අනුව බොහෝ දෙනා හර්ෂට දොස් පවරමින් කියා සිටියේ මෙවැනි තුට්ටු දෙකේ වැඩ නොකරන්නැයි කියාය. එමෙන්ම කිලී මහරාජාට අවශ්‍ය පරිදි පක්ෂය නැටවීමට නොහැකි බවත්, පක්ෂයේ විනය ආරක්ෂා කිරීමට සියලු දෙනාම කටයුතු කළ යුතු බවත් එහිදී පෙන්වා දුන් පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ හර්ෂගේ මෙම පිළිකුල් සහගත ක්‍රියාව දැඩිව දෝෂදර්ශනයට ලක්කිරීමටද කටයුතු කළහ.
කෙසේ වෙතත් සජිත්ව පක්ෂයේ අපේක්ෂකයා ලෙස නම්කරනු බලාගැනීම සඳහා අතිවිශාල පාක්ෂිකයන් පිරිසක් සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණ සිටි අතර සජිත්ගේ මව වන හේමා ප්‍රේමදාස මැතිනියද, සජිත්ගේ බිරිය වන ජලනි ප්‍රේමදාස මහත්මියද එම අවස්ථාවට එක්ව සිටියහ. ඒ සියලු දෙනාම සිරිකොතට පැමිණියේ සජිත් වෙනුවෙන්ම අලුතින් විවෘත වූ වොක්ෂෝල් වීදියේ පිහිටි නව කාර්යාලයේ සිට වීම විශේෂ සිදුවීමකි. ඉන් අනතුරුව මේ සියලු දෙනාම රාත්‍රියේදී මංගලගේ නිවෙසට පිටත්ව ගියේ සජිත්ව පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස නම්කිරීමේ ප්‍රීතිය භුක්ති විඳීම සඳහා සූදානම් කර තිබූ ප්‍රිය සම්භාෂණයට සහභාගී වීම සඳහාය.
ගෝඨා මහ රෑ මෛත්‍රිගේ ගෙදර
මේ ආකාරයට සජිත් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් තෝරාගැනීමත් සමඟ මහත් අර්බුදයකට මුහුණ දුන්නේ වෙන කවුරුවත් නොව පොහොට්ටුවේ ප්‍රධානීන්ය. මන්ද යත් පොහොට්ටුවේ ප්‍රධානීන් බොහෝ දෙනකු උපකල්පනය කර තිබුණේ සජිත්ට කිසිසේත්ම එජාපයේ ජනපති අපේක්ෂකත්වය හිමි නොවනු ඇති බවත්, මෙම ප්‍රශ්නය මුල් කරගෙන රනිල්-සජිත් ගැටුම උග්‍රවී සජිත් පක්ෂය කඩාගෙන ගොස් එජාපය දෙකඩ වනු ඇති බවත්ය. ඒ හරහා පොහොට්ටුවේ ජයග්‍රහණය නිසැක බවද එම පිලේ බොහෝ දෙනකුගේ මතය වී තිබිණි. නමුත් ඒ සියලු උපකල්පනයන් බිඳවැටී පක්ෂය ඒකමතිකව සජිත්ට ජනපති අපේක්ෂකත්වය දීමට තීන්දු කිරීමත් සමඟ බොහෝ කලබලයට පත්වූ පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කළේ බදාදා රාත්‍රියේදීම ජනාධිපතිවරයාට කතා කොට පැජට් පාරේ පිහිටි ඔහුගේ නිවෙසට ගොස් ඔහු සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කිරීමය.
එහිදී පළමුවෙන්ම අදහස් දක්වා ඇති ගෝඨාභය මෛත්‍රිට දැනුම් දී ඇත්තේ පොහොට්ටුව සහ ශ්‍රීලනිපය අතර එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා වහාම කටයුතු කළ යුතු බවකි. ඒ අනුව දෙපාර්ශ්වය අතර ඇතිකරගත හැකි එකඟතාවක් සම්බන්ධයෙන් ගෝඨා හා මෛත්‍රි අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වුණු අතර එහිදී මෛත්‍රි තමන්ගේ පාර්ශ්වයෙන් වන ඉල්ලීම් සියල්ල ගෝඨාට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.
මෛත්‍රි-ගෝඨා එකගතා මෙන්න
එහිදී මූලිකම ඉල්ලීම වූයේ ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප සහාය පොහොට්ටුවට ලබාගැනීමට අවශ්‍ය නම් සලකුණ වෙනස් කිරීම පිළිබඳ දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇතිවිය යුතු බවකි. ශ්‍රීලනිපයේ බොහෝ දෙනකු පොහොට්ටුව යටතේ තරගවැදීමට හෝ ඊට උදව් කිරීමට අකැමැත්තක් දක්වන නිසා ලකුණ සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් පවතින බවද මෙහිදී මෛත්‍රි ගෝඨාට පෙන්වා දුන්නේය. නමුත් එහිදී ගෝඨා කියා සිටියේ දැනට පොහොට්ටුව ලකුණ මුළු රටේම ජනතාව දන්නා ලකුණක් බවට පත්ව ඇති නිසා ජනාධිපතිවරණය කට මුල තියා පොහොට්ටුව ලකුණ වෙනස් කිරීමට යෑමෙන් විශාල අර්බුදයක් මතුවිය හැකි බවකි. ඒ අනුව ජනාධිපතිවරණය පොහොට්ටුව ලකුණින් තරග කර, ඉන් අනතුරුව එළඹෙන මහ මැතිවරණය බුලත් කොළය ලකුණින් හෝ පුටුව ලකුණින් තරග කළ හැකි බවද, එහිදී ගෝඨාභය පෙන්වා දුන්නේය. ඒ අනුව මෛත්‍රිද ඊට එකඟතාව පළකරන ආකාරයක් දැකගත හැකි විය.
ඉන් අනතුරුව දෙදෙනා අතර සාකච්ඡාවට ලක්වූයේ ජනාධිපතිවරණයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම, ආසන සංවිධායකවරුන් පත්කිරීම, දිස්ත්‍රික් සංවිධායකවරුන් පත්කිරීම ආදිය පිළිබඳවය. එහිදී ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ සැලකිය යුතු නියෝජනයක් ශ්‍රීලනිපයට ලබාදීමට එකඟතාව පළකළ ගෝඨා ආසන සංවිධායකවරුන් හා දිස්ත්‍රික් සංවිධායකවරුන් පත්කිරීමේදී ඒ ඒ පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රතිශතයන්ට අනුව එම පත්කිරීම් සිදුකිරීමටද එකඟතාව පළ කළේය.
වට්ස්ඇප්වලින් පණිවුඩය බැසිල්ට
මේ ආකාරයට දෙදෙනා අතර අවසන් එකඟතාවන්ට පැමිණීමෙන් පසු ඊට මහින්දගේ අනුමැතිය ලබාගත යුතු නිසා ගෝඨාභය කළේ මෛත්‍රි ඉදිරියේ සිටම අදාළ සියලු එකඟතාවන් ‘වට්ස්ඇප්’ මාර්ගයෙන් බැසිල්ගේ ජංගම දුරකතනයට යොමුකිරීමය. පසුව බැසිල්ට ඇමතුමක් ලබාගත් ගෝඨා වහාම මහින්ද සමඟ මෙම එකඟතාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කර තමන්ට දැන්ම පිළිතුරක් ලබාදෙන ලෙසට දැනුම්දී සිටියේය. ඒ අනුව බැසිල්ද වහාම කළේ අදාළ එකඟතාවන් සම්බන්ධයෙන් දුරකතන ඇමතුමක් හරහා මහින්දව දැනුවත් කිරීමය. දෙදෙනා අතර ඒ සම්බන්ධයෙන් විනාඩි කිහිපයක සාකච්ඡාවකින් පසු මහින්දගේ එකඟතාව එම කොන්දේසිවලට ලැබුණු අතර පසුව බැසිල් එය ‘වට්ස්ඇප්’ මාර්ගයෙන්ම මහපටැඟිල්ල ඔසවා එය අනුමත කරන ආකාරයේ සලකුණක් යොමුකරමින් ගෝඨාට යැවීමට පියවර ගත්තේය. ඒ බව ගෝඨා සිය ජංගම දුරකතනයෙන් මෛත්‍රිට පෙන්වූ පසු දෙපාර්ශ්වය අතර අවසන් අවබෝධතා ගිවිසුම සකස් කිරීමට එකඟතාව පළ විය. ඒ අනුව මේ වන විට මෛත්‍රිගේ පිලත්, ගෝඨාභයගේ පිලත් සිටින්නේ දෙපාර්ශ්වය අතර අස්සන් තබන අවසන් අවබෝධතා ගිවිසුම සකස් කිරීමේ රාජකාරි කටයුතුවල නිරත වෙමින්ය.
ස්වීප් එකක් එක්ක යෝෂිතට යළි නාවික හමුදා දොර ඇරෙයි
මීට අමතරව ගෝඨා හා මෛත්‍රි සාකච්ඡාවෙන් පසු දෙපාර්ශ්වයේ හොඳ හිත වර්ධනය කරගැනීම සඳහා මෛත්‍රි තවත් එක් ප්‍රබල තීන්දුවක්ද ගත්තේය. ඒ, මහින්දගේ දෙවැනි පුත්‍රයා වූ යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ය. ඉකුත් රාජපක්ෂ රජය සමයේ යෝෂිත නාවික හමුදාවට බැඳී ලුතිනන් ධුරයේ රාජකාරි කටයුතු කළ අතර 2015 ආණ්ඩු පෙරළියෙන් පසු සී.එස්.එන්. නාලිකාව මුල් කරගෙන එල්ලවූ චෝදනා මත 2016දී යෝෂිතගේ නාවික හමුදා රාජකාරිය අත්හිටුවීමට පියවර ගෙන තිබිණි. නමුත් ගෝඨා සමඟ පැවැති සාකච්ඡාවෙන් පසුව මෛත්‍රි වහාම කළේ නාවික හමුදාපතිවරයාට කතාකොට යෝෂිතව යළි නාවික හමුදාවට බඳවාගන්නා ලෙස දැනුම්දීමය. ඒ අනුව 2016 සිට හිඟ වැටුප් මෙන්ම සියලු වරප්‍රසාදද මෙහිදී යෝෂිතට හිමිවීමට නියමිතය.
ගිවිසුම අත්සන් තැබීම 5 වැනිදා
කෙසේ වෙතත් මෙම හමුවෙන් පසුව මෛත්‍රි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කැඳවා මේ එකඟතාවන් පිළිබඳ දැනුම්දීමට පියවර ගත්තේය. එපමණක් නොව දෙපාර්ශ්වය අතර අවසන් අවබෝධතා ගිවිසුම එළඹෙන 05 වැනිදා අස්සන් කිරීමට පියවර ගන්නා බවද මෛත්‍රි සිය මන්ත්‍රී කණ්ඩායමට කියා සිටියේය. ඒ අනුව බැසිල් මේ වන විට ලබන 05 වැනිදා කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය ඊට වෙන් කරවා ගැනීමට පියවර ගත්තේය. නමුත් දෙපාර්ශ්වය ඇතිකරගත් එකඟතා රටට හෙළිදරව් නොකිරීමටද දෙපාර්ශ්වය තීන්දුවක් ගත්තේ ඒ සම්බන්ධයෙන් රටම කුතුහලයකින් තැබීමට අවශ්‍ය වීම නිසාය.
කෙසේ වෙතත් ලබන 05 වැනිදාට ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථාන ඒ සඳහා වෙන් කළද එදිනම පොහොට්ටුවේ තවත් උත්සව දෙකක් එහි යොදාගෙන තිබීම නිසා මේ වන විට බැසිල් එම උත්සවවල දින එහා මෙහා කරගැනීමට මේ දිනවල වෙහෙසෙමින් සිටින බවද දැනගන්නට ඇත.
නිමල් පොහොට්ටුවට ඇද්දාට ඇතුළේ කචල්
මේ අතර මෛත්‍රි දෙපාර්ශ්වය අතර අස්සන් තැබෙන අවබෝධතා ගිවිසුම සකස්කිරීමේ කටයුත්ත භාරදුන්නේ නිමල් සිරිපාලටය. එය රහසක් වශයෙන් තබාගැනීමට මෛත්‍රි කටයුතු කළ අතර, සිකුරාදා (27) වන තෙක්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වූ දයාසිරි, දුමින්ද, අමරවීර යන කිසිවකුත් ඒ පිළිබඳ හාංකවිසියක් හෝ දැන සිටියේ නැත. නමුත් ඔවුන්ට ඒ පිළිබඳ තොරතුරු කනවැකුණේ සිකුරාදා උදෑසනය. එම තොරතුරුවලින් කියැවුණේ නිමල් පොහොට්ටුවට වාසිසහගත වන පරිදි එම අවබෝධතා ගිවිසුම සකස් කොට ඇතැයි කියාය. ඒ අනුව කලබලයට පත් තිදෙනාම වහාම කළේ නිමල්ට කතාකොට ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීමය. එහිදී නිමල්ද පිළිතුරු දෙමින් කියා සිටියේ මේ අවස්ථාවේ දෙපාර්ශ්වය අතර අනවශ්‍ය ගැටුම් ඇතිකරගත යුතු නැති නිසා ලිහිල් කොන්දේසි යටතේ අවබෝධතා ගිවිසුම සකස් කළා යැයි කියාය. නමුත් මේ සම්බන්ධයෙන් සිකුරාදා (27) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ කණ්ඩායම් රැස්වීමේදී දැඩිව ප්‍රශ්න කිරීමට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් සූදානමින් සිටින බව රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
ගෝඨාභය තවම අවුලක
පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සිය නාමයෝජනා ලබාදී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කර තිබුණද ගෝඨාභයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් සහ ඔහුගේ හැඳුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් මේ වන විටත් පවතින්නේ දැඩි ආන්දෝලනයකි. ඒ බව තහවුරු වන සිදුවීම් දෙකක් පසුගිය සතියේ සිදුවිය.
ඉන් පළමුවැන්න වන්නේ ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවයේ ජාතික හැඳුනුම්පත සහ විදෙස් ගමන් බලපත්‍රයට අදාළ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට මෝසමක් මඟින් කළ ඉල්ලීමකි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ අදාළ සිදුවීම පිළිබඳ සොයාබැලීම සඳහා ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ සියලු ලේඛන ඔවුන්ට අවශ්‍ය බවකි. ඒ අනුව දීර්ඝ කරුණු විමසීමකින් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය, ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ සියලු ලිපි ලේඛනවල සහතික කළ පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කළාය.
අමෙරිකානු සහතිකය මේ සතියේ
මෙහි දෙවැනි සිදුවීම වන්නේ ගෝඨාභය පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය මුණගැසීමට අමෙරිකානු තානාපති කාර්යාලයට යෑමය. මෙහිදී ඇමෙරිකානු තානාපතිවරිය මුණැගසුණු ගෝඨාභය ඉල්ලා ඇත්තේ තමාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමේ අවසන් ලිපිය හැකි ඉක්මනින් නිකුත් කිරීමට කටයුතු කරන ලෙසටය. ඒ අනුව තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරි සති දෙක ඇතුළත ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් වූ නිල නිවේදනය නිකුත් වීමට නියමිතව ඇති බවකි. ඒ අනුව මේ වන විට ගෝඨාභයගේ පාර්ශ්වය බලා සිටින්නේ කාර්තුවකට වරක් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කරන එරට පුරවැසිභාවය අත්හල පුද්ගලයන්ගේ නාම ලේඛනය එළියට එන තෙක්ය. මෙවර එම ලැයිස්තුව එළියට පැමිණීමට නියමිතව ඇත්තේ මේ මස අවසානයේදීය.
මහේෂ් සේනානයක එළියට එයි
ජනාධිපතිවරණයේ දින තීන්දු කිරීමත් සමඟ මේ වන විට අපේක්ෂකයන් 07 දෙනකු දැනට ඊට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබේ. ඉන් ප්‍රධාන අපේක්ෂකයන් ලෙස දැනට ඉදිරියෙන් සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණි. එජාපයෙන් මේ වන වට සජිත් ප්‍රේමදාස මහතා නම්කර ඇති අතර ජවිපෙන් එහි නායක අනුර කුමාර දිසානායක මහතා දැනටමත් තරගයට ඉදිරිපත්වී ඇත.
කෙසේ වෙතත් අද (29) දිනයේදී මෙම තරගයට තවත් සුවිශේෂී රටම දන්නා හඳුනන පුද්ගලයකු ඉදිරිපත් වීමට නියමිතය. ඒ වෙන කවුරුවත් නොව හිටපු හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාය. මහේෂ් සේනානායක යනු ඉකුත් යුද සමයේ යුද හමුදාපති ෆොන්සේකා සමඟ ළඟින්ම හිඳිමින් යුද්ධයට සක්‍රීය ලෙස දායක වූ රණවිරුවෙකි. නමුත් ෆොන්සේකා ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට සහාය දැක්වීමේ චෝදනාව මත මහේෂ්ව යුද හමුදාවෙන් නෙරපා හැරිණි. එමෙන්ම ඔහුගේ ජීවිතයට තර්ජනයක්ද මතුව තිබීම නිසා ඒ කාලයේ මහේෂ් සිටියේ විදෙස්ගතවය. නමුත් යහපාලන රජය පිහිටුවීමත් සමඟ නැවත මහේෂ් ලංකාවට පැමිණියා පමණක් නොව, ඔහුව යළි හමුදා සේවයේ පිහිටුවීමටද ආණ්ඩුව පියවර ගෙන තිබිණි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ මහේෂ්ට යුද හමුදාපති ධුරය හිමිවීමය.
ආරියරත්න පුතා පාර කපයි
මේ අතර මහේෂ් රටම දන්නා හඳුනන චරිතයක් බවට පත්වූයේ පාස්කු ප්‍රහාරයත් සමඟය. මන්ද යත් පාස්කු ප්‍රහාරයෙන් පසු මුලින්ම ත්‍රස්තවාදීන් අල්ලන කාර්යයට පාරට බැස තිබුණේ මහේෂ්ය. දැන් නැවතත් මහේෂ්ගේ නම දේශපාලන ක්ෂේත්‍රයේ කියැවෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස මහේෂ්ද තරගවැදීමට සූදානමින් සිටින බවට වාර්තා වීමත් සමඟය. ඒ අනුව මහේෂ් එළියට එන්නේ අද (29) දිනය.
මෙසේ මහේෂ්ව දේශපාලනයට ගෙන එන්නේ වෙන කවුරුවත් නොව වෛද්‍ය වින්‍යා ආරියරත්නය. වින්‍යා ආරියරත්න යනු සර්වෝදය ව්‍යාපාරයේ සභාපතිවරයා වන ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ පුත්‍රයාය. මේ වන විට සර්වෝදය ව්‍යාපාරය මෙන්ම දේශෝදය ව්‍යාපාරයේද සභාපති වන වින්‍යා, පසුගිය කාලය පුරාම රටේ අනෙකුත් සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා කරමින් දේශපාලනමය නොවන ප්‍රබල අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා විශාල කතිකාවක් සිදුකරමින් සිටියේය. ඒ අනුව එහි අපේක්ෂකයා ලෙස ප්‍රධාන නම් දෙකක් ඉදිරිපත්ව තිබූ අතර ඉන් එක් නමක් වූයේ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහය. අනෙක් නම වූයේ හිටපු බුද්ධි අංශ නිලධාරියකු වූ ආචාර්ය අජිත් කොලොන්නේය. නමුත් පවතින තත්ත්වය යටතේ අවසානයට ඉදිරිපත් වූ නම වූයේ හිටපු හමුදාපති මහේෂ් සේනානායකය. ඒ අනුව අද දිනයේදී වින්‍යා ආරියරත්න ප්‍රමුඛ සිවිල් සංවිධාන නියෝජිතයෝ මහේෂ්ගේ නම ඔවුන්ගේ සංවිධානය වූ ‘ජාතික ජනතා ව්‍යාපාරය’ හරහා රටට ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
කපිල පුංචිමාන්නගේ