ආණ්ඩුව බලයට පැමිණ මාස 6ක් ඉක්මවීමට මත්තෙන් ආණ්ඩුව බලයට ගෙන ආ පිරිස්ම පාරට බැස උද්ඝෝෂණය කරන ආකාරයක් මේ වන විට දැකගන්නට තිබේ. විශේෂයෙන්ම ඉකුත් යහපාලන ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ආණ්ඩු විරෝධයක් නිර්මාණය කළ මහා සඟරුවන මෙම විරෝධතාවලද ඉදිරි පෙළ විරුවන් බවට පත්ව තිබීම විශේෂ සිදුවීමකි.
හාමුදුරුවරු මහ පාරේ…
පසුගිය සතිය වන විට ප්‍රධාන මාතෘකා දෙකක් මුල්කරගෙන ආණ්ඩුව බලයට ගෙන ආ එම සංඝ සමාජය ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ. මෙහි ඇති විශේෂත්වය වූයේ අවම වශයෙන් ප්‍රධාන විපක්ෂයට හෝ එවැනි විරෝධතාවක් සංවිධානය කරගත නොහැකි පසුබිමක භික්ෂුන් වහන්සේලා විසින් එවැන්නක් සංවිධානය කොට ආණ්ඩුවට එරෙහිව පාරට බැසීමය.
මෙහිදී භික්ෂුන් වහන්සේලා බලපෑම් කර සිටියේ කොරෝනා මළ සිරුරු භූමදානය කිරීමට ඉඩ නොතබන ලෙසත්, පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙසත්ය. මේ මොහොතේ කොරෝනා වසංගතය රට පුරාම පැතිර ගොස් ඇති බැවින් එවැනි වටපිටාවක මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම නුවණට හුරු නැති බවත්, එමෙන්ම පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවත්, මේ ස්වාමීන්වහන්සේලා එහිදී අවධාරණය කර සිටියහ. ඒ අනුව පළාත් සභා සම්බන්ධයෙන් අලුත් සංවාදයක් මෙම විරෝධතා හරහා ආණ්ඩුව ඇතුළේ මතුවෙමින් පැවැති ආකාරයක් දැකගත හැකි විය.
පළාත් සභාවට යළි ආණ්ඩුව බෙදෙයි…
කෙසේ වෙතත් ආණ්ඩුව මුල සිට සිටියේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට වූ ස්ථාවරයකය. මන්දයත් ආණ්ඩුවේ සැලැසුම වී තිබුණේ ලබන මාර්තුවේදී ජිනිවාහීදී පැවැත්වෙන මානව හිමිකම් මණ්ඩල රැස්වීමට ප්‍රථම සියලුම පළාත් සභා පවත්වා ඒ ඒ පළාත්වලට දේශපාලන බලය පැවරීමටය. මීට මාසයකට පමණ ඉහතදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේද ඒ අනුවය. නමුත් ඒ මොහොතේ කැබිනට් මණ්ඩලය තුළ පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් මත දෙකක් පැවැති ආකාරයක් දැකගන්නට ලැබිණ. ඉන් එක මතයක් වූයේ මේ මොහොතේ පළාත් සභා පැවැත්විය යුතු නැති බවකි. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන එදින එම මතය නියෝජනය කළ ආකාරයක් දැකගත හැකි විය. නමුත් ආණ්ඩුව නියෝජනය කළ අනෙකුත් ඇමැතිවරුන් බොහෝ දෙනකු කියා සිටියේ හැකි ඉක්මණින් පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කළ යුතු බවකි. ඒ අනුව දෙපැත්තටම අදහස් හුවමාරු වූ හෙයින් එදින ජනාධිපතිවරයා කියා සිටියේ ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමක් පවත්වා මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගත යුතු බවකි.
ශ්‍රිලනිපයත් කැමැත්තෙන්…
ඒ අනුව එම රැස්වීම පසුගිය සඳුදා (28දා) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්විණ. ඊට ආණ්ඩුවේ මැති, ඇමැතිවරුන් මෙන්ම ආණ්ඩුව නියෝජනය කරන සෙසු පක්ෂවල නායකයන්ද සහභාගිව සිටි ආකාරයක් දැකගත හැකි විය. කෙසේ වෙතත් මෙම රැස්වීමේදීද දැකගන්නට ලැබුණේ පෙර කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැවැති තත්ත්වයමය. ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිපයත්, වාසුදේව නානායක්කාර, ගාමිණී ලොකුගේ, එස්.එම්. චන්ද්‍රසේන වැනි ඇමැතිවරුන්ද කියා සිටියේ හැකි ඉක්මණින් පළාත් සභා පවත්වා අවසන් කළ යුතු බවකි. විශේෂයෙන් ශ්‍රීලනිපය නියෝජනය කරමින් රැස්වීමට සහභාගිව සිටි දයාසිරි ජයසේකර අවධාරණය කර සිටියේ ඇතැමුන් කියන පරිදි පළාත් සභා අහෝසි කළ නොහැකි බවත්, ඊට පළාත් සභා ක්‍රමය ලංකාවට හඳුන්වා දුන් ඉන්දියාවේ අනුමැතිය අවශ්‍ය බවත්ය.
දිනේෂ්-විමල්-උදය විරුද්ධ වෙයි…
කෙසේ නමුත් ඊට එරෙහිව අදහස් පළ කළේ දිනේෂ් ගුණවර්ධනත්, විමල් වීරවංශත්, උදය ගම්මන්පිලත්ය. ඔවුන් දැඩිව පක්ෂ නායක රැස්වීමේදී අවධාරණය කර සිටියේ මේ මොහොතේ කිසිසේත්ම පළාත් සභා නොපැවැත්විය යුතු බවකි. දැනටමත් මහා සංඝරත්නය පළාත් සභා පවත්වනවාට එරෙහිව පාරට බැස ඇති බව පෙන්වා දුන් ඔවුහු පවතින වසංගත තත්ත්වය හමුවේ කිසිසේත්ම ජනතාව ඒකරාශි කරමින් මැතිවරණ පැවැත්වීම නොකළ යුතු දෙයක් බවත් පෙන්වා දුන්හ. අවම වශයෙන් පවතින වසංගත තත්ත්වය පහව යන තෙක් හෝ ඒ සඳහා කල්ගත යුතු බවද ඔවුහු පක්ෂ නායකයන්ට දැඩිව පෙන්වා දුන්හ.
බැසිල් ජන්දෙට සූදානම්: මහඇමැතිවරුනුත් තෝරයි…
ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුව සැලැසුම් සකස් කරමින් තිබුණත් අවසානයේදී පක්ෂ නායක රැස්වීමේදී තීන්දු වූයේ පළාත් සභා මැතිවරණය තාවකාලිකව කල් දැමීමටය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කොට තීන්දුවක් ගැනීමටද තවදුරටත් යෝජනා විය.
පක්ෂ නායක රැස්වීමේදී මේ ආකාරයේ තීන්දුවක් ගනු ලැබුවද පොහොට්ටුවේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා නම් සිටින්නේ සම්පූර්ණයෙන් වෙනස් ස්ථාවරයකය. මන්දයත් මේ දිනවල පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයට වී බැසිල් සැලැසුම් සකස් කරමින් සිටින්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමටය. බැසිල් ඒ සම්බන්ධයෙන් කෙතරම් සැලැසුම් සකස් කර තිබෙනවාද කියනවා නම් ඒ ඒ පළාත් සභාවලට ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයන් කවුද, ආණ්ඩුවේ සෙසු පක්ෂවලට ලබාදිය යුතු නාමයෝජනා ප්‍රමාණය කොපමණද, ඒ ඒ පළාත් සභාවල මහ ඇමැතිවරු වශයෙන් කටයුතු කළ යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන්ද බැසිල් නිල නොවන ආකාරයට අවසන් තීන්දුවක් ගෙන ඇති බවක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය. ඒ අනුව නිශ්චිත වශයෙන්ම වැඩිකල් නොගොස් පළාත් සභා මැතිවරණය කැඳවීමට ආණ්ඩුව සූදානමින් පසුවන බවද දැනගන්නට ඇත.
විමල්-දයාසිරි-හරීන්-මනුෂ අලුත් සන්ධානයක්…
පසුගිය දින කිහිපය නත්තල් සමය සහ වසර අවසානය වීම නිමිත්තෙන් තැන් තැන්වල රාත්‍රී භෝජන සංග්‍රහ, සැඳෑ සාද, ප්‍රියසම්භාෂණවල කෙළවරක් නොවීය. බොහෝ ප්‍රිය සම්භාෂණ මැති ඇමැතිවරුන්ගේද සහභාගිත්වයෙන් පැවැත්වුණේ කොරෝනා සම්බන්ධයෙන් නිකුත් කර තිබූ සෞඛ්‍ය උපදෙස් හෝ නොතකාය. කෙසේ වෙතත් ඉකුත් බදාදා දිනයේදී මේ ආකාරයටම පැවැත්වුණු එක්තරා ප්‍රිය සම්භාෂණයක ඡායාරූප කිහිපයක් මව්රට පුවත්පතට ලැබිණි. එම ඡායාරූපවල දැකගන්නට ලැබුණේ ආණ්ඩුව නියෝජනය කරන ඇමැතිවරුන් දෙදෙනකු සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් දෙදෙනෙක් එකම වේදිකාවේ සිට කරට අත දාගෙන ගී ගයන ආකාරයකි. ඇමැතිවරුන් දෙදෙනා වූයේ වෙන කවුරුවත් නොව විමල් වීරවංශත්, දයාසිරි ජයසේකරත්ය. මන්ත්‍රිවරුන් දෙදෙනා වූයේ හරීන් ප්‍රනාන්දුත්, මනුෂ නානායක්කාරත්ය. පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතත් එකිනෙකා දැඩිව විවේචනය කරගන්නා මේ පිරිස හිටි හැටියේම කරට අත දාගෙන එකම වේදිකාවක සිට ගීත ගයන ආකාරය දුටු සැණින් අපි මෙම ඡායාරූපයේ ඇත්ත කතාව පිළිබඳව සෙවීමට කටයුතු කළෙමු.
පාටිය දැම්මෙ තලවතුගොඩ මොනාක් එකේ…
ඒ අනුව අපට දැනගන්නට ලැබුණේ ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ තලවතුගොඩ පිහිටි මොනාක් හෝටලයේ පැවැති ප්‍රියසම්භාෂණයකදී මෙසේ විමල්, දයාසිරි, හරීන් සහ මනුෂ එක්ව ගීත ගායනා කර ඇති බවකි. තවදුරටත් කරුණු සොයද්දී අපට දැනගන්නට ලැබුණේ රාජ්‍ය සේවයේ අත්දැකීම් බහුලම නිලධාරියකු වූ චූලානන්ද පෙරේරා මහතාගේ විශ්‍රාම යෑම නිමිත්තෙන් සංවිධාන කොට තිබූ ප්‍රියසම්භාෂණයකදී මෙය සිදුව ඇති බවකි.
චූලානන්ද පෙරේරා යනු කලක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙසත්, රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙසත්, විදුලි සංදේශ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත්, කර්මාන්ත කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් කටයුතු කර විශාල අත්දැකීම් ප්‍රමාණයක් ඇති රාජ්‍ය නිලධාරියෙකි. නමුත් විශ්‍රාම යෑමට තවත් වසර දෙකක් ඉතිරිව තිබියදී හදිසියේම රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ චූලානන්ද තමන් එතෙක් කල් කටයුතු කළ අමාත්‍යවරුන්ටද එම සාදය සඳහා ආරාධනා කිරීමට පියවර ගෙන තිබිණ. විමල්, හරීන්, දයාසිරි, මනුෂ මෙන්ම බන්දුල ගුණවර්ධන සාදයට පැමිණ තිබුණේ ඒ අනුවය.
බන්දුල කලකිරීමෙන් කතා කරයි…
කෙසේ වෙතත් මෙම සාදයේදී සිදුවූ මෙතෙක් කිසිදු මාධ්‍යයකින් එළියට නොපැමිණි විශේෂ සිදුවීම් කිහිපයක්ද රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ලැබිණ. සාදය ආරම්භ කිරීමෙන් පසු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මෙන්ම විපක්ෂයේ මන්ත්‍රිවරුන්ද එකම මේසයක හිඳිමින් කතාබහ කිරීම නිසා එය එක්තරා ආකාරයකට දේශපාලන වට මේසයක් බවට පත්ව තිබූ ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම ඒ වන විටත් බන්දුල ගුණවර්ධන මහතා ප්‍රසිද්ධියේම ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විවේචනය කරමින් අදහස් ප්‍රකාශ කර තිබීම නිසා ඒ පිළිබඳ සාකච්ඡාවක්ද එහිදී ඇතිවිය. එහිදී බන්දුල තරමක් කළකිරීමකින් යුතුව අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය. කොටින්ම කියනවා නම් එක් අවස්ථාවකදී බන්දුල කියා සිටියේ ආණ්ඩුව යන ආකාරය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බවත්, විපක්ෂයේ ප්‍රගතිශීලී අදහස් ඇති දේශපාලනඥයන් සමඟ එකට එකතු වී කටයුතු කළ හැකි අවස්ථාවක් නොබෝ දිනකින්ම උදාවිය හැකි බවත්ය.
පවුල් පාලනය ගැන සියල්ලන්ගේම අකැමැත්තක්…
එමෙන්ම පවුල් පාලනය සම්බන්ධයෙන්ද මෙහිදී කිසියම් සංවාදයක් ඇතිවිය. විපක්ෂය නියෝජනය කළ හරීන් මෙන්ම මනුෂත් පවුල් පාලනයට එරෙහිව අදහස් දක්වද්දී ආණ්ඩුවේ ඇමැතිවරුන්ද එය අනුමත කරමින් අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය. සියල්ලන්ගේම පොදු අදහස වී තිබුණේ පවුල් පාලනයට නතු නොවුණු පිරිසිදු රාජ්‍ය පාලනයක් ලංකාවට මේ මොහොතේ අවශ්‍යව ඇතැයි කියාය.
මෙහිදී සාදය අතරමැදදී වේදිකාවට ගොඩවී අදහස් දැක්වූ බොහෝ දෙනා චූලානන්දගේ අමතක නොවන මතකයන් සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කළහ. වරක් චූලානන්දගේ පුතා අදහස් දක්වමින් කියා සිටියේ සිය පියාණන් සිනහමුසුව රාජකාරි කළේ හරීන්ගේ යටතේ අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ කාලයේ පමණක් යැයි කියාය. එහිදී හරීන් නිරන්තරයෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයා හරහා පමණක් ගනුදෙනු සිදුකිරීම ඊට හේතුව බවද එහිදී කියැවිණ.
සහකාර ලේකම්වරයකුගෙන් සැර කතාවක්…
මීට අමතරව සහකාර ලේකම්වරයකු මෙහිදී තරමක් සැර කතාවක් කරන ආකාරයද දැකගත හැකි විය. ඔහු කියා සිටියේ වත්මන් තත්ත්වය තුළ කිසිදු අමාත්‍යාංශයක හරියට වැඩක් කළ නොහැකි යැයි කියාය. ආණ්ඩුවෙන් පත්කොට ඇති ඇතැම් නිලධාරීන් හේතුකොටගෙන අමාත්‍යාංශවල පරිපාලන කටයුතු සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බවද හෙතෙම සඳහන් කර සිටියේය.
කෙසේවෙතත් චූලානන්දගේ කතාවේදීද ඔහුගේ කටින් කියැවුණේ ඒ හා සමානම අදහස්ය. තමන්ට තවත් වසර දෙකක් සේවය කිරීමට හැකියාව තිබුණත් කල්තියාම විශ්‍රාම යන්නේ වැඩක් කළ නොහැකි බව දැනුණු නිසා බව හෙතෙම කියා සිටියේය. ගෙවුණු වසර පුරාම සිය අමාත්‍යාංශය ඔස්සේ කිසිදු වැඩක් සිදු නොවුණු බවද හෙතෙම පෙන්වා දුන්නේය. එමෙන්ම සිය කතාවේදී එක් ඉල්ලීමක් කළ චූලානන්ද මෙම සාදයට පැමිණ සිටින පක්ෂ, විපක්ෂ සියලුම මැති ඇමැතිවරුන් කටින් දක්ෂතා දක්වන අය බවත්, ඔවුන් සියලුදෙනාටම එකට ගමන් කිරීමට හැකි නම් එය රටට හොඳ බවත් කියා සිටියේය.
විමල්න්ගෙන්-දයාසිරිගෙන් විරහ ගී….
කෙසේ වෙතත් සාදය සියලු රසමසුවලින් පිරී තිබුණු අතර, සංගීතය සැපයීම සඳහා වාදක කණ්ඩායමකටද ආරාධනා කර තිබිණ. ඒ අනුව සාදය අවසන් භාගයේදී වාදක කණ්ඩායම සංගීතයෙන් පැමිණ සිටියවුන් රසවත් කරද්දී ඇමැතිවරුන්ටද ගීත ගායනා කරන ලෙසට ඉල්ලීමක් ආවේය. ඒ අනුව මුලින්ම ගීත ගායනයට පිවිසියේ විමල්ය. සුපුරුදු පරිදි කපුගේගේ විරහ ගීතයක් විමල් ගායනා කිරීමෙන් අනතුරුව දයාසිරිද වේදිකාවට පැමිණ ඒ හා සමානව විරහ ගීතයක් ගායනා කිරීමට පියවර ගත්තේය.
හරීන්ගෙන් ජීවිතේ තරුණ කාලේ…
ඉන් අනතුරුව එළැඹියේ හරීන්ගේ වාරයය. වේදිකාවට පැමිණි හරීන් තමන් හොඳ කන බොන මිනිහෙක් බවත්, තමන්ට විරහ ගී ගායනා කිරීමට නොහැකි බවත්, තමන් හොඳ බයිලාකාරයෙක් නිසා බයිලා ගීතයක් ගායනා කරන බවත් කියා සිටියේය. ඒ අනුව හරීන් කීවේ ජෝතිපාලගේ ‘ජීවිතේ තරුණ කාලේ’ ගීතයය. ඉන් අනතුරුව හරීන් වේග රිද්ම ගීත කිහිපයක්ම ගායනා කරමින් සියලුම මැති ඇමැතිවරුන්ට වේදිකාවට එන ලෙසට ආරාධනා කළේය. ඒ ආරාධනාවට අනුව විමල්, දයාසිරි සහ මනුෂ යන සියල්ලන්ම වේදිකාවට පැමිණ එකිනෙකාගේ කරට අත දාගනිමින් ගීත ගායනා කළ ආකාරයක් දැකගත හැකි විය. කෙසේ වෙතත් බන්දුලටද වේදිකාවට පැමිණෙන ලෙස ආරාධනා කළත්, ‘අනේ මට ඕව හරියන්නෙ නෑ…’ කියමින් බන්දුල සිනාසෙමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ආකාරයක්ද දැකගත හැකි විය.
කෙසේ වෙතත් මෙම සාදයේදී පක්ෂ, විපක්ෂ මැති ඇමැතිවරුන් හැසිරුණු ආකාරය දෙස බලා සිටි බොහෝ දෙනකු කියා සිටියේ අලුත් වසර ආරම්භ වන විට ආණ්ඩුව ඇතුළේ අලුත් දේශපාලන සන්ධානයක් බිහිවන ලකුණු මේ හරහා පහළ කොට ඇතැයි කියාය.
කතානායක- නියෝජ්‍ය කතානායක නැති පක්ෂ නායක රැස්වීම
නව වසරේ පළමු පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ ලබන අඟහරුවාදා (05දා) දිනය. ඒ අනුව නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේ න්‍යායපත්‍රය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (30දා) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබිණ. ඊට ආණ්ඩුව නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම වැනි ඇමැතිවරුන්ද, ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, අනුර කුමාර දිසානායක, මනෝ ගනේෂන්, රවුෆ් හකීම් යන මන්ත්‍රිවරුද එක්ව සිටියහ. කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුලසුනේ නොසිටීමය. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවද මෙදින මහින්ද යාපා ඊට සහභාගි නොවූයේ ඔහු මේ දිනවල ස්වයං නිරෝධායනයේ සිටීම හේතුකොටගෙනය. ඊට හේතුවී තිබුණේ ඔහුගේ රියැදුරකුට කොරෝනා රෝගය අසාදනය වීම තිබීමය.
අංගජන් මුල් පුටුවේ….
සාමාන්‍යයෙන් කතානායකවරයා නොමැති විට නියෝජ්‍ය කතානායකවරයා පක්ෂ නායක රැස්වීමේ අසුන්ගත යුතු නමුත් එදින නියෝජ්‍ය කතානායකවරයා වූ රංජිත් සියඹලාපිටිය මහතා හෝ ඊට සහභාගිව නොසිටියේය. ඒ අනුව පක්ෂ නායක රැස්වීමේ මූලාසනය ගත්තේ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා වන අංගජන් රාමනාදන්ය. නමුත් මහින්ද යාපා හෝ සියඹලාපිටිය එම රැස්වීමට සහභාගි නොවීමට හේතු කිසිවක් එහිදී ආණ්ඩුව පැත්තෙන් පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් නොවීම විශේෂ සිදුවීමක් විය.
කෙසේ වෙතත් මෙහිදී අනුර දිසානායක කියා සිටියේ පාර්ලිමේන්තුව ආරම්භ වන දින රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විය යුතු යැයි කියාය. ඊට ආණ්ඩුවේ එකඟතාවය පළවිය. එමෙන්ම අගමැතිවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාවක් ලබාදිය යුතු බවට වූ විපක්ෂයේ ඉල්ලීමටද ආණ්ඩුවේ එකඟතාවය පළවිය.
මීට අමතරව පාර්ලිමේන්තුව යළි මාධ්‍යවේදීන්ට විවෘත කරන ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ජාවක් ඇතිවිය. ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුව කියා සිටියේ වරකට එක් මාධ්‍ය ආයතනයකින් එක් මාධ්‍යවේදියකු පමණක් පාර්ලිමේන්තුව ඇතුළට ගෙන මාධ්‍ය කටයුතු කරගෙන යාමට ඉඩ ලබා දිය හැකි බවකි.
සබ්‍රිට විරෝධය දැඩිවෙයි…
මේ දිනවල ආණ්ඩුවේ වැඩියෙන්ම බැනුම් අසන ඇමැතිවරයා බවට පත්ව සිටින්නේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාය. ඊට හේතුවී ඇත්තේ කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය නොකොට භූමදානය කළයුතු බවට අලි සබ්‍රි ද හඬනැඟීමය. සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඒ හා අදාළ විවිධ අදහස් පළ කරමින් මෙසේ අලි සබ්‍රි කොරෝනා මළ සිරුරු භූමදානය කළ යුතු බවට කියද්දී ඊට එරෙහිව පෙනී සිටින ආණ්ඩුවේම අමාත්‍යවරුන්ගෙන් මෙන්ම ආණ්ඩුවට හිතවත් ස්වාමීන් වහන්සේලාගෙන්ද සබ්‍රිට එල්ලවූයේ දැවැන්ත ප්‍රහාරයකි. පසුගිය සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ දැවැන්ත විරෝධතාවයේදී ඉදිරිපත් වූ එක් සටන් පාඨයක් වූයේ අලි සබ්‍රි වහාම අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත්ව ගෙදර යා යුතු යැයි කියයා. විරෝධතාකරුවන් ඊට අදාළ පුවරුද ඔසවාගෙන සිටින ආකාරයක් එහිදී දැකගත හැකි විය.
ඉල්ලා අස්වුණු කතාව…
කෙසේ වෙතත් මෙම උද්ඝෝෂණය නිමාවී පැය 24ක් යෑමට මත්තෙන් සමාජ මාධ්‍ය ජාලාවල සහ ඇතැම් වෙබ් අඩවිවල විශේෂ පුවතක් පළවූ ආකාරයක් දැකගත හැකි විය. එම විශේෂ පුවතින් කියැවුණේ අලි සබ්‍රි සිය අධිකරණ අමාත්‍ය ධුරයෙන් පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන්ද ඉවත්වීම සඳහා වූ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකොට ඇති බවකි. කොරෝනා ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයෙන් එල්ලවූ දැඩි පීඩනය හේතුකොටගෙන මෙසේ අලි සබ්‍රි ඉල්ලා අස්වී ඇති නමුත් ජනාධිපතිවරයා එම ලිපිය භාරගෙන නොමැති බවද එම පුවතින් වැඩිදුරටත් කියැවිණ. ඒ අනුව බොහෝ දෙනා මේ පුවතේ ඇත්ත නැත්ත සොයා බැලීම සඳහා වහාම අලි සබ්‍රිට කතාකොට ඔහුගෙන් ඒ පිළිබඳව විමසන ආකාරයක්ද දැකගත හැකි විය. නමුත් ඒ සියලු දෙනාටම අලි සබ්‍රි කියා සිටියේ එම කතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, තමන් එවැනි කිසිදු ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමුකොට නැති බවත්ය.
දැන්නම් කීයටවත් යන්නේ නෑ…
එමෙන්ම මේ සම්බන්ධයෙන් දිගින් දිගටම තමන්ට දුරකතන ඇමැතුම් ලැබෙන්නට වූ බැවින් අවසානයේදී අලි සබ්‍රි කළේ ඒ පිළිබඳව තමන්ගේ නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තැබීමය. එම සටහනින් අලි සබ්‍රි කියා සිටියේ “මම නොදන්න මගේ ඉල්ලා අස්වීම… අනේ අපේ රටේ මාධ්‍ය සදාචාරය…” යැයි කියාය. කෙසේවෙතත් පසුව සිය හිතවතුන්ට අලි සබ්‍රි තවත් අපූරු කතාවක් කියා තිබිණ. ඒ තමන් මුලින් ඉල්ලා අස්වීමට සිටියත් මෙම විරෝධතාවලින් පසුව එම අදහස අත්හැර ගත් බවකි.
‘මේ ප්‍රශ්න හින්දා මම මුලින් හිටියෙ ඉල්ලා අස්වෙන්න තමයි. හැබැයි මේ හාමුදුරුවරුන්ගෙ විරෝධය හින්දා මම ඒ අදහස අත්හැරලා දැම්මා. අපිත් මේ ආණ්ඩුවට ආවෙ පස්සෙ දොරෙන් නෙමෙයි. අපිත් මේ ආණ්ඩුව ගේන්න කැප වුණා.’ යන්න සබ්‍රි කියා සිටි කතාව විය.
අලුත් ව්‍යවස්ථාව එයිද-නැද්ද…
නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙන බව වත්මන් ආණ්ඩුව ඉකුත් ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද රටට දුන් පොරොන්දුවකි. ඒ අනුව මේ දිනවල මෙම අලුත් ව්‍යවස්ථාව හැදීමේ කටයුතු ආණ්ඩුව ඇතුලේ ලහි ලහියේ සිදුවෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. ඒ සඳහා විවිධ පාර්ශ්වයන්ගේ යෝජනාද මේ වන විට ආණ්ඩුව කෙරෙහි ඉදිරිපත් වෙමින් තිබේ. ඇතැමුන් නම් කියන්නේ ලබන මාර්තු පැවත්වෙන ජිනීවා මානව හිමිකම් කොමිසමට පෙන්වීම සඳහා ආණ්ඩුව මෙසේ අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කටයුත්තට අතගසා ඇතැයි කියාය.
කෙසේ වෙතත් පසුගිය සතියේදී දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුව විසින් නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා පත්කොට ඇති විද්වත් කමිටුව වෙත සිය යෝජනාවලිය භාරදීමට පියවර ගත්තේය. එහිදී විශේෂ යෝජනා කිහිපයක්ම දෙමළ සන්ධානය විසින් ඉදිරිපත් කර තිබූ අතර, එහි ප්‍රධානම යෝජනාව ලෙස දැකිය හැක්කේ උතුරු සහ නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කර පූර්ණ ලෙස බලය විමධ්‍යගත කර ෆෙඩරල් ව්‍යුහයේ විසඳුමක් සහිත ප්‍රාන්ත සභා ක්‍රමයක් ස්ථාපිත කිරීමය.
දෙමළ සන්ධානය ෆෙඩරල් යළි එළියට ගනී…
එම ප්‍රාන්ත සභා වෙත නීතිය හා සාමය, ඉඩම් ඇතුළු පූර්ණ බලතල විමධ්‍යගත කළ යුතු බවත්, පළාත් ආණ්ඩුවල පූර්ණ බලය ප්‍රධාන ඇමැතිවරයාට හිමිවිය යුතු බවත්, ආණ්ඩුකාරවරයා පත්කළ යුත්තේද මහ ඇමැතිවරයාගේ උපදෙස් අනුව බවත් එම යෝජනාවලියේ සඳහන් විය. මීට අමතරව නව ව්‍යවස්ථාවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම රාජ්‍ය භාෂාවන් බවට නම් කළ යුතු යැයිද, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවද යෝජනා කර තිබේ. එමෙන්ම ඇමැති මණ්ඩලය අගමැතිවරයාගේ උපදෙස් මත පත්කළ යුතු බවත්, ඇමැති මණ්ඩලයේ ප්‍රධානියා අගමැතිවරයා විය යුතු බවටත් ඉන් යෝජනා කර තිබීම විශේෂ සිදුවීමකි.
එම යෝජනාවලියට අනුව ප්‍රධාන ඇමැතිවරයාට ප්‍රාන්ත සභාවේ අවසරය ඇතිව හදිසි නීතිය පැනවීමටත්, පොලිසියද ප්‍රාන්ත ආණ්ඩුව යටතේ පාලනය විය යුතු බවත් සඳහන් කොට තිබේ. ප්‍රාන්ත කේන්ද්‍රගත වන ආකාරයේ ශක්තිමත් අධිකරණ යාන්ත්‍රණයක් සකස් වියයුතු බවත් එම යෝජනාවලියෙන් දෙමළ ජාතික සන්ධානය වැඩිදුරටත් යෝජනා කොට තිබේ.
ඉඩම්-පොලිස්-උසාවි බලතලත් ඉල්ලයි…
ඒ අනුව දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවලිය හරහා එකක් පැහැදිලිය. ඒ ඔවුන්ද යළිත් වතාවක් ෆෙඩරල් ඉල්ලමින්, පොලිස්, ඉඩම්, අධිකරණ බලතල ඉල්ලමින් ආණ්ඩුවෙන් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් ඉල්ලන න්‍යායක පිහිටා කටයුතු කිරීම ආරම්භ කර ඇති බවය. ඒ හරහා දෙමළ සන්ධානය ආණ්ඩුව උතුරු නැඟෙනහිර ප්‍රදේශවලට බලතල ලබා නොදෙන බව කියමින් ලබන මාර්තුවේදී ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ආණ්ඩුව හිර කිරීමට සූදානම් වන ආකාරයක් මේ හරහා දැකගන්නට තිබේ. ආණ්ඩුව දෙමළ සන්ධානය මේ උගුලේ වැටෙනවාද යන්න දැකබලා ගත හැකිවනු ඇත්තේ මෙම යෝජනාවන්ට ඉදිරියේදී දක්වන ප්‍රතිචාර අනුවය.
බන්දුල ආණ්ඩුවට රිදෙන්නම දෙයි…
මේ දිනවල ආණ්ඩුවේ ප්‍රධාන කසකාරයා බවට පත්ව සිටින්නේ වෙන කවුරුවත් නොව බන්දුල ගුණවර්ධනය. ඒ ආණ්ඩුවේ ක්‍රියාකලාපයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම හරහාය. පළමුව බන්දුල මෙම ප්‍රහාරය පටන් ගත්තේ පාර්ලිමේන්තුවේදී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කරමින්ය. එහිදී බන්දුල කියා සිටියේ ඇතැම් රාජ්‍ය නිලධාරීන්, ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පුලන්නන්ගේ තත්ත්වයට පත්කොට ඇති බවත්, මීට එරෙහිව කටයුතු නොකළහොත් ඉදිරියේදී සියලුම ඇමැතිවරුන්ට කිසිවක් කරගත නොහැකි වන තත්ත්වයක් උදාවනු ඇති බවත්ය.
මීට අමතරව පසුගිය සතිඅන්තයේ සිංහල පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් බන්දුල තවත් ආන්දෝලනාත්මක ප්‍රහාරයන් කිහිපයක්ම එල්ල කිරීමට පියවර ගෙන තිබිණ. පහත පළවෙන්නේ එහිදී බන්දුල කියා සිටි අදහස් කිහිපයකි.
“මේ නිලධාරීන් හිතාගෙන ඉන්නේ ඒ අයට ඕන විදිහට ඇමැතිවරුන් හැසිරෙන්න ඕනෙ කියලයි. මම වෙළෙඳ ඇමැති වුණාට ආර්ථික මධ්‍යස්ථාන මට නෑ. වෙළෙඳ ඇමැතිට අදාළ විෂයයන් ඉවත් කරලා…..’
‘නායකයන්ට ප්‍රසස්ති ගයන, වන්දිභට්ටකම් කරන, ආවතේවකම් කරන ‘අපේ ලොවට පායන හිරුද, සඳුද ඔබය’ කියල කියන වළල්ලක් තියෙනවා. හුඟක් දෙනෙක් කතා කරන්නෙ නෑ ඇමැතිකම නැතිවෙයි කියලා….’
‘අය වැය ලේඛනයෙන් අමාත්‍යාංශයට මුදල් වෙන්කිරීම ගැන ඇහුවෙ මගෙන් නෙමෙයි. අමාත්‍යාංශ ලේකම්ගෙන්. මා එක්ක කිසිම සාකච්ඡාවක් කළේ නෑ…”
නුෂාඩ් සංගීත පුටු තරගයක…
මේ ආකාරයට ආණ්ඩුව ඇතුළේ සිදුවන කටයුතු පිළිබඳව දැඩි විවේචනයක් ප්‍රසිද්ධියේම සිදුකළ බන්දුල පසුගිය සතියේ තවත් විශේෂ කටයුත්තක් කිරීමට පියවර ගත්තේය. ඒ තමන් යටතේ ඇති සතොස ආයතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන නුෂාඞ් පෙරේරා එම තනතුරින් ඉවත් කිරීමය. නුෂාඞ් යනු ආයතන ප්‍රධානීන් පත් කිරීමේදී මුල් වටයේදීම ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ පත්වීමකි. ඒ අනුව එම තනතුරට විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙක් පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.
කෙසේ වෙතත් නුෂාඞ් පෙරේරා ඉවත් කිරීමට බන්දුල පියවර ගත් බව මාධ්‍ය වාර්තා කර තිබුණද ඊට දිනකට පසු නුෂාඞ් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කිසිවකු විසින් හෝ තමන් ඉවත් නොකළ බවත්, අධික වැඩ රාජකාරි හේතුවෙන් තමන් සතොස ආයතනයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවත්ය. නමුත් එම සිදුවීමෙන් පසු ජනාධිපතිවරයා නුෂාඞ්ව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස පත්කිරීමට පියවර ගෙන තිබීමද විශේෂ සිදුවීමකි.
දයාන්ට වැටුණු පරණ තොප්පිය…
ආණ්ඩුව පසුගිය සතියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ නිල කාලය තවත් මාසයකින් දීර්ඝ කිරීමට කටයුතු කළේය. ඒ අතරවාරයේ පසුගිය සතියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් විශේෂ පුවතක් වෙබ් අඩවිවල පළවිය. ඒ ප්‍රකට රාජ්‍යතාන්ත්‍රිකයකු මෙන්ම හිටපු තානාපතිවරයකුද වන දයාන් ජයතිලක මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකයක් පවතින බවට කර ඇති ප්‍රකාශයක් වෙබ් අඩවිවල පළවීමය. දයාන්ගේ මෙම කතාව වෙබ් අඩවිවල පළවීමත් සමඟ සිවිල් ක්‍රියාකාරිකයකු වූ චමීර පෙරේරා මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දයාන්ගේ මේ කතාව ප්‍රසිද්ධියේම කියා සිටීමට පියවර ගත්තේය. චමීර කියා සිටියේ දයාන් යනු කලක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයකු බවත්, 2015 මහින්දගේ පරාජයෙන් පසු යළිත් මහින්දව දේශපාලනයට ගෙන ඒම සඳහා නුගේගොඩ පැවැති රැලියට පවා ගොඩවූවකු බවත්ය. එමෙන්ම රාජපක්ෂ පාලනය යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරක් පවා දයාන් ඉසිලූ බවත්, එම නිසා දයාන් වැන්නකු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකයක් පවතින බවට කර ඇති ප්‍රකාශයන් ලෙහෙසියෙන් බැහැර කළ නොහැකි එකක් බවත් චමීර කියා සිටියේය. ඒ අනුව දයාන්ගේ කතාවට විශාල ප්‍රචාරයක් ලැබෙන ආකාරයක් දැකගන්නට ලැබිණ.
එදා නිවැරදි කිරීම යළිත්…
ඒ අනුව සියල්ලන්ම දයාන් කළ මේ කතාව සම්බන්ධයෙන් සොයා බලන්නට කටයුතු කරන ආකාරයක් දැකගන්නට ලැබිණ. එහිදී දැනගන්නට ලැබුණේ දයාන් මීට කලකට පෙර එක්තරා ඉංග්‍රීසි පුවත්පතකට කළ ප්‍රකාශයක් විකෘති කොට පළවී ඇති බවත්, දයාන් පසුව ඊට නිවැරැදි කිරීමක් පවා එම පුවත්පතට යොමුකොට ඇති බවත්ය. නමුත් කිසිවකු විසින් හෝ එම විකෘති කළ පුවත යළිත් පළ කර ඇති බවත්, චමීර සිය ප්‍රවෘත්ති සාකච්ඡාවට පාදක කරගෙන ඇත්තේ එම පුවත බවත් එහිදී දැනගන්නට ලැබිණ. ඒ අනුව මෙම තත්ත්වය වාර්තා වීමත් සමඟ දයාන් යළිත් කළේ තමන් අදාළ ඉංග්‍රීසි පුවත්පතට යැවූ නිවැරැදි කිරීමම එම පුවත යළිත් පළකොට තිබූ වෙබ් අඩවියටද යොමුකිරීමය.
සොල්හෙයිම් යළි ලංකාව ගැන කතාකරයි….
එරික් සෝල්හයිම් යන නම ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන කිසිවකුටත් අමතක කළ හැකි නමක් නොවේ. මන්දයත් අවුරුදු 30ක් පුරා පැවැති එල්.ටී.ටී.ඊ. යුද්ධයේදී එරික් සෝල්හයිම්ගේ නමත් එක්තරා පරිච්ඡේදයක් පුරාම නිරතුරුවම කියැවුණු නමකි. ඒ පරිච්ඡේදය වූයේ 2001- 2004 එජාප ආණ්ඩු සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සාම සාකච්ඡා පැවැති පරිච්ඡේදයය. එහිදී දෙපාර්ශ්වය අතර සම්බන්ධීකරණය සිදු කළේ එවකට නොර්වේ රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා වූ මේ කියන එරික් සෝල්හයිම්ය. සෝල්හයිම්ගේ ක්‍රියාකලාපය එවකට දැඩිව විවේචනයට ලක්වූයේ එල්.ටී.ටී.ඊ.යට උවමනා පරිදි නෝර්වේ රාජ්‍යයත්, සෝල්හයිම්ලාත් කටයුතු කරන බවට දකුණෙන් දැඩි චෝදනාවක් එල්ලවීම නිසාය.
කෙසේ වෙතත් යුද්ධය නිමා කිරීමෙන් පසුව සෝල්හයිම්ලා සම්බන්ධයෙන් වැඩි කතාබහක් නොතිබුණත් පසුගිය සතියේදී මේ කියන සෝල්හයිම් හිටි හැටියේම ලංකාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමට පියවර ගෙන තිබිණ. නමුත් ඒ යුද්ධය සම්බන්ධයෙන් නම් නොව ලංකාවේ සිදුවන තවත් ගැටුමක් මුල්කරගෙනය. ඒ ගැටුම අලි – මිනිස් ගැටුමය. අලි – මිනිස් ගැටුම මුල්කරගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් කණු මතින් නිර්මාණය කොට අලි කොරිඩෝවක් නිර්මාණය කිරීමට එහි කොන්ත්‍රාත් භාර චීන ඉදිකිරීම් සමාගම කටයුතු කිරීම මෙම සිද්ධියට මුලය. මේ වන විට පරිසර ක්‍රියාධරයකු වශයෙන් කටයුතු කරන සෝල්හයිම් සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් කියා සිටියේ ලංකාවේ සිදුව ඇති එම කටයුත්ත ඉතා විශිෂ්ට ක්‍රියාවක් බවය.
කපිල පුංචිමාන්නගේ