කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවැති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් ලිපි දෙකක් ඉදිරිපත්ව ඇත.
ඒ අනුව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් විපක්ෂනායක ධූරය සදහා රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට පක්ෂය තීන්දු කර ඇති බවට එක් ලිපියකුත්, අජිත් පී. පෙරේරා මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධූරය ලබා දිය යුතු බවට කියමින් තවත් ලිපියකුත් කතානායකවරයාට ලබා දී තිබේ. එම ලිපියට එජාප මන්ත්‍රීවරුන් 45 දෙනකු අත්සන් තබා තිබී ඇත.
කෙසේවෙතත් මෙහිදී කතානායකවරයා පිළිගෙන ඇත්තේ පක්ෂ මහලේකම්වරයා ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා නිල වශයෙන් එවා තිබූ ලිපිය බව දැනගන්නට ඇත.
එහිදී දින 52 කුමන්ත්‍රණකාරී ආණ්ඩු සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු වූ අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා වශයෙන් මහින්ද අමරවීර මහතා රාජපක්ෂ මහතා ඇතුලු කණ්ඩායම තවමත් සන්ධානයේ සාමාජිකයන් බවට පිළිගනිමින් එවා තිබූ ලිපිය තමන් පිළිගත් ආකාරයද මෙහිදී කතානායකවරයා අජිත් පී. පෙරේරා මහතාට සිහිපත් කොට ඇත.
ඒ අනුව එජාප මහලේකම්වරයාගේ ලිපිය පිළිගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයා ලෙස පිළිගැනීමට කටයුතු කොට ඇති කතානායකවරයා අජිත් පෙරේරා මහතාගේ ලිපිය ඉවත දැමීමටද කටයුතු කොට ඇත.










