1994න් පසු මේ වන විට එක්සත් ජාතික පක්ෂයට නව විපක්ෂ නායකවරයකු ලැබී තිබේ. ඒ සජිත් ප්‍රේමදාස මහතාය. 1994 සිට 2001 දක්වා රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරයේ කටයුතු කළ අතර, පසුව නැවැත වතාවක් 2004 සිට 2015 දක්වා එකදිගට විපක්ෂ නායක ධුරයේ සිටීමට පියවර ගෙන තිබිණ. 2015න් පසු 2018 දී දින 52 කුමන්ත්‍රණ ආණ්ඩු සමයේදී නැවැත විපක්ෂ නායක ධුරයට පත්වූ රනිල් පසුව 2019 ජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් පසු විපක්ෂ නායක ධුරයට පත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබිණ. වෙනතක් තබා පක්ෂ මහලේකම්වරයා වූ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් රනිල්ව විපක්ෂ නායක ධුරයට නම් කරමින් නිල ලිපිය පවා කතානායකවරයා වෙත යොමුකිරීමට පියවර ගෙන තිබිණ.
මල්වතු-අස්ගිරි නාහිමිවරු වෙනසට පදනම දැමූ හැටි
පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ සිරිකොතේ පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සජිත් විපක්ෂ නායකවරයා ලෙස තෝරා පත්කර ගත්තේ මෙවැනි පසුබිමක් යටතේදීය. සජිත් එසේ විපක්ෂ නායක ධුරය ලබාගත්තේ ඉතා පහසුවෙන් නොව ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගත්තා හා සමාන සටනක් පක්ෂය ඇතුළේ දියත් කිරීමෙන් අනතුරුව වීම විශේෂ සිදුවීමකි. ඒ නිසා පසුගිය සතිය ආරම්භයේ සිටම එජාපය ඇතුළේ රහස් සාකච්ඡා සහ එළිපිට සාකච්ඡා විශාල ප්‍රමාණයක් පැවැති ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ සෑම සාකච්ඡාවකම මාතෘකාව වී තිබුණේද විපක්ෂ නායක ධුරයය. රනිල්ගේ පාර්ශ්වය රනිල්ව තවදුරටත් විපක්ෂ නායකවරයා ලෙස තබාගැනීමට සාකච්ඡා කරද්දී සජිත්ගේ පාර්ශ්වය සාකච්ඡා කළේ රනිල්ගෙන් විපක්ෂ නායක ධුරය සජිත්ට ලබාගන්නා ආකාරය පිළිබඳවය. මෙවර රාජ්‍ය රහස් තීරයෙන් අනාවරණය කරන්නේ තිරය පිටුපස තැන් තැන්වල එසේ පැවැති රහස් සාකච්ඡාවන් පිළිබඳවය.
මහනාහිමිවරු රනිල්ට මහනුවරට එන්න කියති
මෙහිදී තීරණාත්මක සාකච්ඡා කිහිපය පැවත්වුණේ ඉකුත් අඟහරුවාදා සහ බදාදා දිනයන්හිදීය. ඒ සඳහා මූලික අඩිතාලම වැටුණේ මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් විසින් රනිල්ට කර තිබූ දැනුම්දීමක් අනුවය. එහිදී මල්වතු, අස්ගිරි මහ නාහිමිවරුන් රනිල්ට දැනුම්දී සිටියේ වහාම පැමිණ තමන්වහන්සේලා මුණගැසෙන ලෙසය. ඒ අනුව අඟහරුවාදා දින සියලු කටයුතු පසෙක තබා රනිල් මහනුවර බලා පිටත්ව ගියේ මහනාහිමිවරුන් කර තිබූ දැනුම්දීමට අනුව උන්වහන්සේලා මුණගැසීමටය. ඒ අනුව රනිල් මුලින්ම ගියේ මල්වතු මහ නාහිමියන් හමුවීමටය.
කිසිම මන්ත්‍රීවරයෙක් නැතිව රනිල් තනිවම යයි
එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ තමන් සමඟ කිසිදු මන්ත්‍රිවරයකු රැගෙන යෑමට රනිල් කටයුතු නොකිරීමය. වෙනදා නම් මහනුවර එජාප ප්‍රබලයා වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කැටුව යෑමට රනිල් කටයුතු කළද එදින තමන් මහනුවර පැමිණෙන බවක් හෝ රනිල් කිරිඇල්ලට කියා සිටියේ නැත. එමෙන්ම මාධ්‍යයටද මෙම හමුව ආවරණය කිරීම සඳහා අවස්ථාව ලබා නොදීමට රනිල්ගේ ආරක්ෂකයන් විසින් පියවර ගෙන තිබිණ. රනිල් එසේ කර තිබුණේ මහ නාහිමිවරුන්ගේ මේ කැඳවීම තමන්ට එතරම් සුබදායක නොවන බව කල් තියාම ඒත්තුගොස් තිබීම නිසාය.
ඒ අනුව මුල්ම සාකච්ඡාව පැවැතියේ මල්වතු මහනාහිමියන් හා රනිල් අතර පමණක් වූ අතර මෙහිදී මල්වතු මහනාහිමියන් තමන්ට හුරු පුරුදු කාරුණික භාෂාවෙන් රනිල්ට කියා සිටියේ පක්ෂය ඇතුළේ ඇති ප්‍රශ්නය වහාම නිමාකරගන්න යැයි කියාය.
මල්වතු නාහිමියන් දුන් උපදේශය
එහිදී මල්වතු මහ නාහිමියන් නොකියා කීවේ තනතුරුවලට ගහමරා නොගෙන දැන්වත් සුදුස්සන්ට පක්ෂයේ සුදුසු තනතුරු භාරදීමට කටයුතු කරන ලෙසටය. නමුත් තමන්ගේ පැත්තෙන් වන කතාවද මෙහිදී රනිල් මල්වතු මහ නාහිමියන්ට දැනුම්දී සිටියේය. ඒ අනුව මල්වතු හිමියන් සහ රනිල් අතර සාකච්ඡාව අවසන් වූ පසු රනිල් ඊළඟට ගියේ කර තිබූ දැනුම්දීමට අනුව අස්ගිරි මහ නාහිමියන් මුණගැසීමටය.
අස්ගිරි නාහිමියන් තදින්ම කියයි
මෙම සාකච්ඡාවේදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීම වූයේ මල්වතු මහනාහිමියන් මෙන් කාරුණිකව නොව අස්ගිරි මහනාහිමියන් තමන්ට හුරු පුරුදු භාෂාවෙන් යුතුව රනිල්ට නායකත්වයෙන් ඉවත් වන ලෙසට දැනුම්දී සිටීමය. මෙහිදී අස්ගිරි මහනාහිමියන් එජාපය තුළ තිබූ සිංහල බෞද්ධ ඡන්ද පදනම පසුගිය කාලසමයේදී විශාල ලෙස පිරිහී ගිය ආකාරය පැහැදිලි කළ අතර එජාප ඇමැතිවරුන් වූ මංගල, රන්ජන් වැන්නන් කළ කී කතා ඊට මුල්වූ බවත්, පක්ෂ නායකයා වශයෙන් රනිල් එහිදී නිහඬව සිටි බවත් රනිල්ගේ මුහුණමට කියා සිටියේය. පක්ෂය වැටී ඇති මෙම තත්ත්වයෙන් ගොඩගත හැකි එකම නායකයා කරු ජයසූරිය මහතා බව මෙහිදී කියා සිටි අස්ගිරි නාහිමියෝ වහාම පක්ෂ නායකත්වය සිංහල බෞද්ධ නායකයකු වන කරුට පවරන ලෙසට රනිල්ගෙන් ඉල්ලා සිටීමට කටයුතු කළහ.
මෙහිදී අස්ගිරි නාහිමියන් කී කරුණු නිහඬව අසා සිටි රනිල් අවසානයේදී කියා සිටියේ එකවරම එසේ කළ නොහැකි බවත්, කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කොට පක්ෂ සම්මේලනයක් කැඳවා එම කටයුතු කළයුතු බවත්, පක්ෂ සම්ප්‍රදාය එය බවත්ය.
පක්ෂය කරුට භාරදෙන්න
“ඒවා ඔබතුමාට අයිති කාර්යයන්. මම කියන්නෙ දැන් පක්ෂය ඇතුළෙ වෙන්න ඕනෙ දේ ගැන. ඒක එකපාර කරන්න බැරිනම් අඩුගානෙ තාවකාලිකව හරි පක්ෂ නායකත්වය කරු ජයසූරිය මහත්තයට භාරදෙන්න. ඒක තමයි සුදුසුම දේ” යනුවෙන් කියමින් අස්ගිරි මහනාහිමියන් කරු සම්බන්ධයෙන් ප්‍රශංසා මුඛයෙන් යුතුව රනිල්ට අදහස් දක්වනු දැකගන්නට ලැබිණ. එමෙන්ම එක්තරා අනතුරු ඇඟවීමක්ද එහිදී මහනාහිමියෝ රනිල්ට ලබාදුන්හ.
“ඔබතුමා මේකත් මතක තියාගන්න. අපි කියන්නෙ මේ පක්ෂයේ ඇතුළෙ වෙන්න ඕන දේවල් ගැන. හැබැයි ඒ තත්ත්වය නොවුණොත් අපිට සිද්ධවෙනවා ඉදිරියේදී මේක කතාව ප්‍රසිද්ධියේම එළියට ගිහිල්ල කියන්න. ඒ තත්ත්වයට අපිව පත්නොකොට මේක ඇතුළෙන් විසඳගන්න කියල තමයි අපි ඔබතුමාගෙන් ඉල්ලන්නෙ…” යනුවෙන් රනිල්ට දැනුම්දෙමින් සාකච්ඡාව අවසන් කිරීමට අස්ගිරි නාහිමියෝ කටයුතු කළහ.
ඒ අනුව මෙම සාකච්ඡාව නිමාකොට රනිල් එළියට පැමිණෙද්දී රැස්ව සිටි මාධ්‍යවේදීහු සාකච්ඡා කළ කරුණු පිළිබඳව ඔහුගෙන් විමසා සිටීමට කටයුතු කළහ. එහිදී රනිල් ඉදිරියට යන ගමන්ම ඊට දුන්නේ වචන තුනක පිළිතුරකි. “ස්තුතිකරල යන්න ආවා” යන්න එම පිළිතුර විය.
මහනාහිමිවරු කරුටත් එන්න කියති
මෙම සාකච්ඡා නිමාකිරීමෙන් පසුව අස්ගිරි, මල්වතු නාහිමිවරුන්ගෙන් තවත් එක්තරා විශේෂ පුද්ගලයකුටද ආරාධනාවක් ලැබිණ. ඒ වෙන කවුරුවත් නොව වත්මන් කතානායක කරු ජයසූරිය මහතාටය. මහ නාහිමිවරුන් කරුට දැනුම්දී සිටියේ බදාදා දිනයේදී පැමිණ තමන්ව මුණගැසෙන ලෙසය. ඒ කළ දැනුම්දීමට අනුව බදාදා දිනයේ මහනුවරට පැමිණ වෙන් වෙන්ව මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට කරු කටයුතු කළ අතර මහනාහිමිවරුන් දෙනමම කරුට කියා සිටියේ වහාම පක්ෂ නායකත්වය භාරගෙන බෙදී වෙන්ව ඇති පක්ෂය එකමුතු කරන්න යැයි කියාය. කෙසේ වෙතත් මෙහිදී කරු තමන්ට ඇති සීමාවන් පිළිබඳව මහනාහිමිවරුන්ට පෙන්වා දුන්නේ කතානායකවරයා වශයෙන් සිටිමින් දේශපාලන කටයුතු කිරීමට ඇති නොහැකියාවය. එම නිසා මේ අවස්ථාවේදී ඍජුව දේශපාලන කටයුතු නොකළත් ඉදිරියේදී මහා සංඝරත්නයේ ආර්ශිර්වාදය ඇතිව පක්ෂය වෙනුවෙන් කළ යුතු ඕනෑම කාර්යයක් සිදුකිරීමට තමන් නොපැකිළෙන බවද කරු මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන්ට දැනුම්දීමට පියවර ගත්තේය.
සිරිකොතේ වෙනම රැස්වීමක්
මේ අතර බදාදා දිනයේදී රනිල්ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත මන්දිරයේදීත්, සජිත්ගේ ප්‍රධානත්වයෙන් රංජිත් මද්දුමබණ්ඩාරගේ නිවෙසේත් දහවල් වරුවේ රැස්වීම් දෙකක් පැවැත්විණ. රනිල් සමඟ පැවැති සාකච්ඡාවට අකිල, නවීන්, රවි, ආශු මාරසිංහ, මුජිබර් රහුමාන්, වජිර යන මන්ත්‍රිවරු එක්ව සිටියහ. ඒ වන විටත් බ්‍රහස්පතින්දා දිනයේ තීරණාත්මක කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට යොදාගෙන තිබූ බැවින් මෙහිදී සාකච්ඡා කෙරුණේ එම රැස්වීම මෙහෙයවන ආකාරය පිළිබඳවය. ඒ වන විටත් පක්ෂ නායක ධුරය සජිත්ට ලබාදෙන ලෙසට ප්‍රබල බලපෑමක් සියලුම පාර්ශ්වවලින් එල්ලවෙමින් පැවැතීම නිසා ඊට මුහුණදෙන ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන්විය.
අකිල-වජිර යන්නම එපා කියති
කෙසේ වෙතත් මෙහිදී දැඩිව අදහස් දැක්වූ වජිරත්, අකිලත් දැඩි ස්ථාවරයක සිටිමින් කියා සිටියේ පක්ෂ නායකත්වයත්, විපක්ෂ නායක ධුරයත් යන දෙකම රනිල් යටතේ තබාගෙන තවදුරටත් ඉදිරියට යායුතු යැයි කියාය. නමුත් පවතින තත්ත්වය පිළිබඳව කිසියම් හැඟීමක් තිබූ නිසාදෝ රනිල්ගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබෙන ආකාරයක් දැකගන්නට නොලැබිණ. විශේෂයෙන්ම රනිල් පෙන්වා දුන්නේ මන්ත්‍රි කණ්ඩායමේ බහුතරය තමන්ට නොමැති නම් විපක්ෂ නායක ධුරයේ කටයුතු කිරීම ඉතා අසීරු බවත්, විපක්ෂ නායක ධුරය බහුතරය ඇති සජිත්ට ලබාදීමට කටයුතු කළයුතු බවත්ය. එහිදී උපායක් ලෙස සජිත්ට පක්ෂ නායකත්වය නොදී විපක්ෂ නායකකම පමණක් ලබාදුනහොත් එය එම කණ්ඩායම විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බවත්, එවිට තවදුරටත් විපක්ෂ නායකකම රනිල් යටතේ තබාගත හැකි බවක්ද මෙහිදී ඇතැමෙක් රනිල්ට පෙන්වා දෙනු දැකගන්නට ලැබිණි. ඒ අනුව අවසානයේදී සජිත්ට විපක්ෂ නායක ධුරය පමණක් ලබාදීමට රනිල් හිත හදාගත් ආකාරයක් දැකගන්නට ලැබිණ.
නවීන් ගෙනාපු යෝජනාව
ඉන් අනතුරුව නවීන් මෙහිදී තවත් යෝජනාවක් ගෙන එමින් කියා සිටියේ එළැඹෙන මහ මැතිවරණයේදී දෙමළ, මුස්ලිම් පක්ෂ එජාපයෙන් ඉවත් කොට තනිව තරග කිරීමට කටයුතු කළයුතු යැයි කියාය. නමුත් ඊට රනිල්ගෙන් හෝ එහි සිටි අනෙක් පිරිසගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඒ අනුව අවසානයේදී විපක්ෂ නායක ධුරය සජිත්ට ලබාදීමට තීන්දු කළ බව සජිත් පිලට විශේෂ පණිවුඩයක් යවමින් දැනුම්දීමට රනිල් පියවර ගත්තේය.
සජිත් කණ්ඩායම රංජිත්ගේ ගෙදර රැස්වෙති
මෙම පණිවුඩය එන විට සජිත් ඇතුළු කණ්ඩායම සිටියේ රංජිත් මද්දුමබණ්ඩාරගේ නිවෙසේ සාකච්ඡාවක නිරත වෙමිනි. එහිදී ඔවුන් ගණන් බලමින් සිටියේ යම් හෙයකින් විපක්ෂ නායක ධුරයට මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ඡන්ද විමසීමක් සිදුකරනු ලැබුවහොත් ඔවුන්ගේ පිලෙහි කොපමණ මන්ත්‍රි සංඛ්‍යාවක් සිටිනවාදැයි කියාය. දැනට සුළු පක්ෂ නොමැතිව එජාප මන්ත්‍රිවරුන් 77 දෙනකු පාර්ලිමේන්තුවේ සිටින බවත්, ඉන් කෙළින්ම 55 දෙනකු සජිත් වෙනුවෙන් පෙනී සිටින බවත් එහිදී කියැවිණ. මීට අමතරව එජාපයේ නොවන රවුෆ් හකීම්, රිෂාඞ් බදුර්දීන් සහ දෙමළ ජාතික සන්ධානය දැනටමත් රනිල්ට විරෝධය පළකර ඇති බැවින් සජිත්ට නිසැකවම විපක්ෂ නායක ධුරය ලබාගත හැකි බවද එහිදී පිරිසේ මතය විය.
සටන පාරට ගේන්න තීන්දුවක්
එම නිසා කුමන තත්ත්වයක් යටතේ හෝ විපක්ෂ නායක ධුරය සජිත්ට ලබාගත යුතු බවත්, යම් හෙයකින් සජිත්ට එම තනතුර ලබා නොදීමට කටයුතු කළහොත් මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ඊට එරෙහිව දැඩිව සටන් කළයුතු බවත් මෙහිදී පිරිස දැඩි සේ කතිකා කරගත්හ. එමෙන්ම යමකු විපක්ෂ නායක ධූරයට ලබා නොදීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහි සටන පාරට රැගෙන ආ යුතු බවටද ඔව්හු කතිකා කරගත්හ.
නවීන්ට ගහන්න හදද්දී සජිත් නවත්වයි
මේ අතරවාරයේ ඊට පෙර දින නවීන් දිසානායක ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පළකළ තිබූ අදහස්ද එහිදී පිරිස අතර දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වී තිබිණ. එහිදී නවීන් රනිල්ව ආරක්ෂා කරමින් අදහස් දක්වා ඇති බවත්, සජිත්ගේ පාර්ශ්වයට දැඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් ඔවුන්ට වාර්තා වී තිබිණ. ඒ අනුව දීර්ඝ සංවාදයකින් පසුව මන්ත්‍රිවරුන් රැසක්ම කියා සිටියේ නවීන්ගේ කෙරුවාව පිළිබඳව රටටම අනාවරණය කරමින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවිය යුතු බවය. නවීන්ගේ සැලැසුම වී ඇත්තේ තවදුරටත් රනිල්ව ආරක්ෂා කර තබාගනිමින් ඔහුට පක්ෂ නායකත්වය ලබාගැනීම බවත්, සජිත්ට පහරදීමේ යටි අරමුණ එය බවත් පෙන්වා දුන් ඔවුහු 2008 දී පක්ෂය හැරගොස් මහින්දගෙන් ඇමැතිකම් ගත් ආකාරයත්, එසේම නවීන්ගේ පියා වූ ගාමිණී දිසානායක මහතා පක්ෂය කඩාගෙන ගොස් 17 වසරක් පැවැති එජාප ආණ්ඩුව පෙරළා දැමූ ආකාරයත් රටට කියා සිටීමටද ඔවුහු තීන්දු කළහ.
නමුත් මේ සාකච්ඡාවට සජිත් වහා මැදිහත් වී කියා සිටියේ දැන්ම එවැනි තීන්දුවකට නොයන ලෙසටය.
“නෑ. නෑ දැන්ම ඔය වගේ දේවල් කරන්න යන්න ඕනෙ නෑ. අපි ඉස්සෙල්ලාම නවීන් එක්ක මේ ගැන කතා කරමු. නවීන්ටත් ප්‍රශ්න ඇති. එයත් එක්ක කතා කරල අපි ඒවා විසඳගමු. එතකන් කිසි දෙයක් කියන්න යන්න ඕනෙ නෑ. මේක මගේ කාරුණික ඉල්ලීමක්” යනුවෙන් කියමින් සජිත් ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවා නවීන්ට පහරදීම ආපසු හැරවීමට සමත් වුවත් මන්ත්‍රිවරුන් කියාා සිටියේ එසේ වුවත් තම තමන්ගේ දිස්ත්‍රික්කවලට ගොස් නවීන්ගේ වැඩපිළිවෙළ පිළිබඳව පාක්ෂිකයන් දැනුවත් කිරීමට කටයුතු කරනවා යැයි කියාය. ඉන් පසුව තීන්දු වූයේ තවදුරටත් විපක්ෂ නායක අර්බුදය සම්බන්ධයෙන් එදින රාත්‍රියේදී රංජිත් මද්දුමබණ්ඩාරගේ නිවෙසේ රැස්වී සාකච්ඡා කිරීමටය.
දෙකම ගන්න සාකච්ජා කළත් සජිත් වෙනත් ස්ථාවරරයක
ඒ අනුව රාත්‍රි වන විට විපක්ෂ නායක ධුරය නියත වශයෙන්ම සජිත්ට ලබාදෙන බවට රනිල්ගේ පාර්ශ්වනේ ලැබී තිබූ පණිවුඩය නිසා රංජිත්ගේ ගෙදරදී සාකච්ඡාවට බඳුන්වූයේ පක්ෂ නායකත්වය රනිල්ගෙන් ලබාගන්නා ආකාරය පිළිබඳවය. මෙහිදී බොහෝදෙනා විපක්ෂ නායක ධුරය සමගම පක්ෂ නායකත්වයද රනිල්ගෙන් ලබාගත යුතු බවද සජිත්ට දැනුම්දී සිටියද, සජිත්ගේ ස්ථාවරය වූයේ ඊට තරමක් වෙනස් එකකි. සජිත් එහිදී කියා සිටියේ විපක්ෂ නායක ධුරය තබාගෙන පක්ෂ නායකත්වය කරු ජයසූරිය මහතා හට ලබාදීමට තමන් සූදානම් කියාය. තමන් ඒ සම්බන්ධයෙන් දැනටමත් කරු සමඟ සාකච්ඡා කර ඇති බවද මෙහිදී සජිත් පිරිසට දැනුම්දී සිටියේය. ඒ අනුව අවසානයේද තීන්දු වූයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් රනිල් සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමටය.
සිරිකොතේ තීරණාත්මක රැස්වීම
ඒ අනුව බ්‍රහස්පතින්දා දිනය ඉතා තීරණාත්මක දවසක් විය. මේ නිසා සවස 3.00ට සිරිකොතේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණත් ඊට පෙර දෙපාර්ශ්වයම රනිල්ගේත්, සජිත්ගේත් නායකත්වයෙන් යුතුව වෙන වෙනම රැස්වී කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණ. මෙහිදී රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී සියලු දෙනාම රනිල්ට කියා සිටියේ කෙසේ හෝ පක්ෂ නායකත්වය තවදුරටත් රැකගැනීමට කණ්ඩායම් රැස්වීමේදී කටයුතු කරන්න යැයි කියාය. ඒ අනුව රනිල්ගේ පාර්ශ්වයෙන් විවිධ පණිවුඩ සජිත්ගේ පාර්ශ්වයට යොමුකළ ආකාරයක්ද මෙහිදී දැකගන්නට ලැබිණ. නමුත් ඒ සෑම පණිවුඩයකටම සජිත්ගේ පාර්ශ්වයෙන් ලැබුණේ ධනාත්මක ප්‍රතිචාර නම් නොවේ. විපක්ෂ නායක ධුරය හිමිවීම තහවුරු වී තිබීම නිසා සජිත් පිල ඒ වන විටත් සිටියේ පෙරට තැබූ පය කිසිසේත්ම පසුපසට නොගන්නා දැඩි ස්ථාවරයක වීම ඊට හේතුවී තිබිණ.
ඒ අනුව තීරණාත්මක මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම ආරම්භ වන විට සවස 3.30 පමණ වී තිබිණ. මෙහිදී සාකච්ඡාව ආරම්භයේදීම ප්‍රකාශයක් කරමින් රනිල් කියා සිටියේ විපක්ෂ නායක ධුරය සජිත්ට ලබාදීමට පක්ෂය තීන්දු කර ඇතැයි කියාය. රනිල්ගේ පොරොන්දු සහ අතීත වැඩපිළිවෙළ පිළිබඳව හොඳහැටි දන්නා සජිත් කණ්ඩායම එහිදී කියා සිටියේ කට වචනයෙන් කීවද එය පිළිගැනීමට නොහැකි බවත්, පක්ෂ මහලේකම්වරයා විසින් එය නිල වශයෙන් පිළිගත් ලිපිය කතානායකවරයාට යොමුකළ යුතු බවත්ය. එසේ කළ හැකි බව රනිල්ගේ පාර්ශ්වයෙන් කියද්දී යළිත් සජිත් කතා කරමින් කියා සිටියේ ඉතාමත් ඉක්මණින් එය සිදුවිය යුතු යැයි කියාය.
විපක්ෂනායකකම සජිත් ලිඛිතවම ඉල්ලයි
“දැන් පාර්ලිමේන්තුව වාර අවසන් කරලයි තියෙන්නෙ. ආයෙ රැස්වෙන්නෙ ලබන 3 වැනිදා. හැබැයි 12 වැනිදා ව්‍යවස්ථාදායක සභාව රැස්වෙනවා. ජනාධිපතිවරයා අභියාචනාධිකරණයට කරන්න තියෙන පත්වීමක් ගැන එතෙන්දි සාකච්ඡා වෙනවා. ඉතින් ඒ වෙද්දි විපක්ෂ නායක නිල වශයෙන් පත්කරල තියෙන්න ඕනෙ. නැත්නම් ව්‍යවස්ථාදායක සභාවෙ විපක්ෂ නායක තනතුරට කාටවත් ඉන්න ලැබෙන්නෙ නෑ. මට නාමිකව විපක්ෂ නායක විදිහට ඉන්න බෑ. ඒ හින්ද ඉතාම ඉක්මණින් ඒ පත්වීම නිල වශයෙන් කෙරෙන්න ඕනෙ…” යනුවෙන් සජිත් කියද්දී රනිල් කියා සිටියේ එදිනම එම කටයුත්ත සිදුකිරීමට පියවර ගන්නවා යැයි කියාය.
නත්තලට පෙර අලුත් නායකයෙක්: සාකච්ජා සදුදා සිට
ඉන් අනතුරුව ප්‍රශ්නය පැනනැඟුනේ පක්ෂ නායකත්වය සම්බන්ධයෙනි. සජිත් කණ්ඩායම එහිදීද කියා සිටියේ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තීන්දුවක් වහාම ගතයුතු යැයි කියාය. පක්ෂ නායකත්වය වෙනස් කිරීමට තරමක් දීර්ඝ කාලයක් ගතවන බව මෙහිදී රනිල්ගේ පාර්ශ්වයෙන් කියැවෙද්දී සජිත්ගේ පිළ දැඩිව කියා සිටියේ තවදුරටත් කල් ඇද ඇද සිටීමෙන් පලක් නොවන බවත්, ඉතාම ඉක්මණින් පක්ෂ නායකත්වය වෙනත් අයකට භාරදීමට සාකච්ඡා ආරම්භ කළ යුතු බවත්ය. ඒ අනුව එල්ලවූ දැඩි බලපෑම් හමුමේ අවසානයේදී රනිල් ඇතුළු කන්ඩායමට පක්ෂ නායකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා ආරම්භ කිරීමට කාලවකවානු වෙන්කර ගැනීමට සිදුවිය. අවසානයේදී ලබන නත්තලට පෙර නව නායකයකුට පක්ෂය භාරදීමට දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇතිවූ අතර ලබන සඳුදා සිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වීමටත් තීන්දු විය.
අකිල ලියුම යවයි: කතානායක පිළිගනී
ඒ අනුව කණ්ඩායම් රැස්වීම නිමාවීමත් සමඟ පොරොන්දු වූ පරිදිම අකිලගේ අස්සනින් යුතුව කතානායකවරයා වෙත යැවුණු ලිපියකින් කියැවුණේ විපක්ෂ නායකවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට තමන් ඉල්ලා සිටිනවා යැයි කියාය. ඒ අනුව එදිනම රාත්‍රියේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයා කියා සිටියේ තමන් එම ඉල්ලීම පිළිගත් බවත්, ජනවාරි 03 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු විපක්ෂ නායක ධුරය පිළිබඳ නිල නිවේදනය ප්‍රකාශයට පත්කරනු ඇති බවත්ය.
රනිල් මහින්දගෙන් වරප්‍රසාද ඉල්ලයි
මේ අතර රනිල් පසුගිය සතියේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කිරීමට කටයුතු කළේය. එක්තරා ආකාරයකට මෙම ලිපිය රනිල් සිය දේශපාලන ජීවිතයෙන් විශ්‍රාම යෑම පිළිබදව කළ ඉඟියක් හා සමාන විය. මන්ද යත් රනිල් එම ලිපියෙන් ඉල්ලා තිබුණේ විශ්‍රාම යන අග්‍රාමාත්‍යවරයකුට ව්‍යවස්ථාවෙන් හිමිවිය යුතු සියලු වරප්‍රසාද තමාට ලබාදෙන ලෙසටය. ඒ අනුව වෙඩි නොවදින රථයක්, පොලිසියේ 200ක්, හමුදාවේ 17ක් සමඟ තවත් වරප්‍රසාද රැසක්ද රනිල් මෙම ලිපිය මඟින් තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා තිබිණ. ඊට අමතරව නිල නිවෙසක්, කාර්යාල පරිශ්‍රයක්, ලේකම්වරයකු ඇතුළු අනෙක් වරප්‍රසාදද තමන්ට ලබාදෙන ලෙසටද මෙහිදී රනිල් මහින්දගෙන් ඉල්ලීමක් කර තිබිණ. ඊට මහින්දගෙන් ලැබෙන ප්‍රතිචාරය කුමක්ද කියා බලා ගැනීමට තවත් දින කිහිපයක් බලා සිටීමට අපට සිදුවනු ඇත.
පුටු- පොහොට්ටු හබය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පොදුජන පෙරමුණත් අතර අස්සන් තැබුණු ගිවිසුමට අනුව කියැවුණේ ජනාධිපතිවරණය පොහොට්ටුව ලකුණින් ඉල්ලා මහ මැතිවරණය පුටුව ලකුණින් තරග වැදිය යුතු යැයි කියාය. නමුත්, ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මේ වන විට පොහොට්ටුව පැත්තෙන් වෙනත් අදහසක් ඉදිරිපත් වෙමින් පවතින අතර, බොහෝදෙනකු පොහොට්ටුව ලකුණින්ම මහ මැතිවරණයටද ඉදිරිපත් විය යුතු බවට අදහස් ඉදිරිපත් කරන ආකාරයක් දැකගන්නට තිබේ. ඉකුත් සතියේ ශ්‍රීලනිප සභාපති මෙන්ම හිටපු ජනාධිපතිවරයාද වූ මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපතිවරණයෙන් පසුව පළමුවරට කැඳවනු ලැබූ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබූ අතර, මෛත්‍රි එහිදී මහා දුක්ගැනවිල්ලක් කරමින් කියා තිබුණේ තමන් කියන දේ දැන් ආණ්ඩුවේ කිසිවකුත් ගණන් නොගන්නා බවකි.
කවුරුත් නැති තැන මෛත්‍රීම රැස්වීමක් තියා ගනී
කෙසේ වෙතත් මෙම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී තමන් ශ්‍රීලනිපය යළි ශක්තිමත් කිරීම සඳහා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට යෑමට තීරණය කර ඇති බවත්, එම රැස්වීම් සංවිධානය කිරීමට කටයුතු කරන ලෙසත් මෛත්‍රි මන්ත්‍රිවරුන්ට දැනුම්දීමක් කර තිබිණ. මෛත්‍රි මෙසේ මන්ත්‍රිවරුන්ට රැස්වීම් සංවිධානය කරන ලෙස කීවද කිසිවකුත් ඒ සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වා නොතිබූ නිසා පසුගිය සතිය වන විට මෛත්‍රි කළේ තමන්ම පොළොන්නරුවේ රැස්වීමක් සංවිධානය කර ඊට සහභාගි වීමට පියවර ගැනීමය. මෙම හමුවේදී ජනතාව හමුවේ විශේෂ ප්‍රකාශයක් කළ මෛත්‍රි තම දේශපාලනය ජීවිතය ඉවර බව කවුරුන් හෝ සිතා සිටිනවා නම් එය වැරැදි බවත්, තමන් යළි දේශපාලන වශයෙන් ඉපදෙන බවත් කියා සිටියේය. කෙසේ වෙතත් මෙම රැස්වීමට සහභාගි වී සිටි එකම ශ්‍රීලනිප මන්ත්‍රිවරයා වූ දයාසිරි ජයසේකර සිදුකළ කතාවකින් යළිත් පුටුව ලකුණ සම්බන්ධයෙන් තිබූ ආන්දෝලනය කරළියට එන ආකාරයක් දැකගන්නට තිබිණ. එහිදී දයාසිරි කියා සිටියේ ඇතිකරගත් එකඟතාවන්ට අනුව සියලු දෙනාම කටයුතු කළ යුතු යැයි කියාය. දයාසිරිගේ මේ ප්‍රකාශයත් සමඟම ඊට පක්ෂවත්, විපක්ෂවත් ආණ්ඩුව පැත්තෙන්ම අදහස් ඉදිරිපත් වීම එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම විය. එහිදී මුලින්ම ඊට විරෝධය පලකරමින් අදහස් ඉදිරිපත් වූයේ එස්.එම්. චන්ද්‍රසේන රාජ්‍ය අමාත්‍යවරයාගෙනි. එස්.එම්. කියා සිටියේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහී ලකුණ වූ පොහොට්ටුවෙන්ම මහ මැතිවරණයටද ඉදිරිපත් විය යුතු යැයි කියාය.
විමල්ගේ සටනට ගම්මන්පිලත් එක්වෙයි
කෙසේ වෙතත් සියල්ලන්ම පුදුමයට පත්කරමින් ආණ්ඩුව ඇතුළෙන්ම මේ කතාවට විරෝධය පළවූ අතර ඊට මූලිකත්වය ගෙන තිබුණේ ඇමැති විමල් වීරවංශය. විමල් කියා සිටියේ ඉකුත් කාල වකවානුවේදී ඇතිකරගත් එකඟතාවන්ට අනුකූලව කටයුතු කිරීමට පියවර ගතයුතු බවත්, මහ මැතිවරණය පොදු ලකුණක් යටතේ තරග වැදිය යුතු බවත්ය. විමල් එසේ කියද්දී විමල්ගේ සමීපම සගයා වන ගම්මන්පිල තවත් ඉදිරියට යමින් මහ මැතිවරණය පුටුව ලකුණ යටතේම තරග කළ යුතු බව කියා සිටියේය. පසුගිය සතිය පුරා ගම්මන්පිල චීන සංචාරයක නිරතව සිටි අතර ඔහු එසේ චීනයේ ගොස් පැමිණීමෙන් පසු පැවැත්වූ පළමු මාධ්‍ය සාකච්ඡාවද එය වී තිබිණ. ගෝඨාභය ජනාධිපති කරවන සටනේ ගම්මන්පිල විශාල වැඩ කොටසක් සිදුකළද ඔහුට කැබිනට් ඇමැති ධුරයක් හෝ රාජ්‍ය අමාත්‍ය ධුරයක් හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමි නොවීම පසුගිය සතියේ සියලු දෙනාගේම අවධානයට ලක්ව තිබූ කාරණයක් වී තිබිණ.
ගම්මන්පිලට ප්‍රසන්නලාගෙන් උත්තර
කෙසේ වෙතත් ගම්මන්පිල මේ ආකාරයට මාධ්‍ය සාකච්ඡා තබා පුටුව අවශ්‍ය බව කියද්දී ඊට හැරෙන තැපෑලෙන් පිළිතුරු ලබාදීමට ඉදිරිපත්ව තිබුණේ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් වූ ප්‍රසන්න රණතුංගත්, දිලුම් අමුණුගමත්ය. ඔවුන් දෙදෙනාම ගම්මන්පිලගේ කතාවට පිළිතුරු දෙමින් ප්‍රසිද්ධියේම මාධ්‍ය හමුවේ කියා තිබුණේ මහමැතිවරණය පොහොට්ටුවෙන් තරග වැදීමට කටයුතු කළයුතු බවකි. කෙසේ වෙතත් මේ වන විට මේ පොහොට්ටු, පුටු ලකුණු හබය ආණ්ඩුවේ පාර්ශ්ව අතර ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති අතර යම් හෙයකින් පොහොට්ටුව ලකුණ යටතේ තරග කිරීමට කටයුතු කරන්නේ නම් විමල්, ගම්මන්පිල වැනි පිරිස් තීන්දු කොට ඇත්තේ වෙනත් ලකුණක් යටතේ වෙනම කණ්ඩායමක් ලෙස සන්ධානයක් පිහිටුවා ඒ යටතේ මහ මැතිවරණයට තරග වැදීමටය. විමල්ලාගේ, ගම්මන්පිලලාගේ මේ ස්ථාවරයේ දයාසිරි ඇතුළු කණ්ඩායමක්ද සිටින බව වාර්තා වී ඇති අතර ඔවුන්ද කියා සිටින්නේ පොහොට්ටුවේ නායකයා මහින්ද වන බැවින් ඔහු සමඟ නොගොස් ජනාධිපතිවරයා සමඟ එක්ව සිටින කණ්ඩායමක් ලෙස පෙන්වා වෙනම කණ්ඩායමක් ලෙස මහ මැතිවරණයට තරග කළ යුතු යැයි කියාය. ඒ අනුව මේ දිනවල ආණ්ඩුව ඇතුළේ මහ මැතිවරණයේ ලකුණ සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් මත දෙකක් මතුව ඇති බවක් නම් පැහැදිලිවම දක්නට තිබේ. මීට අමතරව මේ වන විට 19 වැනි සංශෝධනය සම්බන්ධයෙන්ද ආණ්ඩුවේ පාර්ශ්වයන් අතර විවිධ මතවාද මතුවෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම ජනාධිපතිවරයා එක් අවස්ථාවකදී කියා සිටියේ නිසි ජනවරමක් ලැබේ නම් තමන් 19 වැනි සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කරනවා යැයි කියාය. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයෙන් පසු අමාත්‍ය වාසුදේව නානායක්කර මහතා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ 19 වැනි සංශෝධනය අහෝසි කිරීමට ජන වරමක් ලැබී නොමැති බවත්, ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ යුතු බවත්ය.
ගෝඨා-මෝඩි සාකච්ජාවට කවුරුත්ම නෑ
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් සංචාරය ලෙස තෝරාගත්තේ ඉන්දියාවය. ආණ්ඩුවේ කිසිදු අමාත්‍යවරයකු මෙම සංචාරයට එක්කර නොගත් ජනාධිපතිවරයා ඒ සඳහා තෝරාගත්තේ ආරක්ෂක අමාත්‍යංශයේත්, මුදල් අමාත්‍යංශයේත් ඉහළ නිලධාරීන්ය. සාමාන්‍යයෙන් පසුගිය කාල වකවානුවේ සෑම ජනාධිපතිවරයකුම අමාත්‍යවරුන් පිරිවරාගෙන විදෙස් සංචාරවලට සහභාගි වී ඒ ඒ රටවල ප්‍රධානීන් සමඟ අමාත්‍යවරුන් පිරිවරා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවද ජනාධිපතිවරයාගේ පළමු සංචාරයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සමඟ පැවැති සාකච්ඡාව සඳහා කිසිදු අමාත්‍යවරයකු හෝ නිලධාරියකු එක්කර නොගෙන තනිවම මෝඩි සමඟ ජනාධිපතිවරයා මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීම විශේෂ සිදුවීමක් විය. මෙවර ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී ජාත්‍යන්තරයේ පවා ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණේ එම සිදුවීමය. මීට අමතරව ඉන්දීය සංචාරය නිමාකරමින් ජනාධිපතිවරයා ‘ද හින්දු’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක්ද ලබාදීමටද පියවර ගත්තේය. එහිදීද නොබියව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම කළ ජනාධිපතිවරයා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ නොහැකි බවද සඳහන් කර සිටියේය. විශේෂයෙන්ම පොලිස්, ඉඩම් බලතල වැනි දෑ පළාත් සභාවන්ට පැවරිය නොහැකි බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
චීනෙන්-පාකිස්තානෙන් එයි
කෙසේ වෙතත් මෙම ඉන්දීය සංචාරය නිමවා ගෝඨාභය යළි ලංකාවට එද්දී ඉන්දියාවේ ප්‍රධානතම ප්‍රතිවාදීන් දෙදෙනා වූ පාකිස්තාන සහ චීන ඉහළ පෙළේ නියෝජිතයන් දෙදෙනකු ලංකාවේ සංචාරය කිරීම විශේෂ සිදුවීමක් විය. 2015 පැවැති මහින්ද රාජපක්ෂ රජය බිඳවැටීමට එවකදී මහින්දගේ ආණ්ඩුව චීනය සහ පාකිස්තානය සමඟ පැවැති සමීප සබඳතා හේතුවූ බවත්, ඒ නිසා ඉන්දියාව ආණ්ඩුව පෙරළා දැමීමට විශාල වැඩ කොටසක් සිදුකළ බවත් ඒ දවස්වල මහින්ද පමණක් නොව ආණ්ඩුවේ ප්‍රධානීන්ද ප්‍රසිද්ධියේ කියා තිබිණ. මේ හේතුව නිසාමදෝ මෙවර ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඉන්දියාව පිළිබඳව වෙනම පරිච්ඡේදයක් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණේ මේ සටනේදී ඉන්දියාව සමබර කොට පවත්වාගෙන යායුතු නිසාය.
වෙනසකින් තොරවම චීන ව්‍යාපෘති දිගටම
කෙසේ වෙතත් ලංකාවට පැමිණ සිටි චීන ජනාධිපතිගේ විශේෂ නියෝජිතයා ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමුකළේ හම්බන්තොට වරාය චීනයට පැවරීම පිළිබඳ ගිවිසුම යළි සලකා බලන බවට ජනාධිපතිවරයා කර තිබූ ප්‍රකාශ සම්බන්ධයෙන්ය. මෙහිදී අපට දැනගන්නට ඇති තොරතුරුවලට අනුව ඒ ආකාරයට ගිවිසුමක් වෙනස් කරන්නේ නම් විශාල වන්දි මුදලක් චීන රජයට ගෙවිය යුතු බවට යෝජනාවක් චීනය පැත්තෙන් ඉදිරිපත්ව තිබේ. විශේෂයෙන්ම අදාළ ගිවිසුමට අනුව වසර 99ක කාලයකට හම්බන්තොට වරාය බදුදී ඇති නිසා ජනාධිපතිවරයාට අවශ්‍යව තිබුණේ එම කාලසීමාව අවම කොට එහි ආර්ථික වාසිය රටට ලබාගැනීමටය. මේ නිසාමදෝ ආණ්ඩුවේ ප්‍රබලයකු වන අජින් නිවාඞ් කබ්රාල් පසු අවස්ථාවකදී කියා තිබුණේ එම වන්දි මුදල ගෙවා හෝ හම්බන්තොට වරාය චීනයෙන් නිදහස් කර ගැනීමට පියවර ගන්නවා යැයි කියාය. ඒ අනුව ලංකාවට පැමිණි චීන නියෝජිතයා මුලින්ම අගමැතිවරයා මුණගැසී සාකච්ඡා කළ අතර පසුව ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් මෙම සාකච්ඡා අවසානයේදී චීන මූල්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන ව්‍යාපෘති දෙක වූ පෝට්සිටි සහ හම්බන්තොට වරාය කිසිදු වෙනසකින් තොරව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට තීන්දු කිරීම විශේෂ සිදුවීමක් විය.
මීට අමතරව පසුගිය සතියේ පාකිස්තාන විදේශ අමාත්‍ය මහමූද් කුරේෂි මහතාද දිවයිනට පැමිණ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ. පාකිස්තානය යනු ඉකුත් යුද සමයේ සිටම ලංකාවට අතිශය සමීප මිතුරකු ලෙස කටයුතු කළ රාජ්‍යයක් වන අතර, යුද ජයග්‍රහණයට ඉතා විශාල දායකත්වයක් සැපයූ රටක් විය. ඒ අනුව කුරේෂි හා ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ විශේෂ පණිවුඩයක් ජනාධිපතිවරයා වෙත ලබාදීමටද කුරේෂි කටයුතු කර තිබිණ.
මෛත්‍රී බිලියඩ් ගහන හැටි
මේ දිනවල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිටින්නේ යළි දේශපාලන කටයුතු ආරම්භ කිරීම පිළිබඳව සැලැසුම් සකස් කරමින්ය. ජනාධිපති ධුරය අහිමි වීමෙන් පසු ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයකු ඉවත්කොට යළි පාර්ලිමේන්තුවට පැමිණීමේ විශාල උත්සාහයක නිරතවී සිටි මෛත්‍රිගේ එම උත්සාහය අසාර්ථක වූයේ මෛත්‍රිට එසේ පාර්ලිමේන්තු පැමිණීම සඳහා කිසිදු ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයකු ඉවත් වීමට ඉදිරිපත් නොවීම නිසාය. මුලින්ම ඒ සඳහා ශාන්ත බණ්ඩාර, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල, මලිත් ජයතිලක වැනි මෛත්‍රිට හිතවත් ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට මෛත්‍රිට කැමැත්ත ප්‍රකාශ කර තිබුණද පසුව කිසිදු හේතුවක් නොදක්වාම එම මන්ත්‍රිවරුන් මෛත්‍රිව මඟහැර යනු දැකගන්නට තිබිණ. කොටින්ම කියනවා නම් අවසානයේදී මෛත්‍රිගේ දුරකතන ඇමැතුම්වලට පවා පිළිතුරු ලබාදීමට ඔවුහු කටයුතු නොකළහ.
මේ ආකාරයට මෛත්‍රි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඒමේ සිහිනය බොඳව යද්දී පසුගිය කාලයේ වෙනත් කටයුත්තකට අවධානය යොමුකර ඇති බවක් දැකගන්නට තිබිණ. ඒ වෙන කිසිවක් නොව විවේකයෙන් සිටින කාලයේදී බිලියඞ් ක්‍රීඩාව පුරුදු පුහුණු වීමය. සාමාන්‍යයෙන් මෛත්‍රි ජනාධිපති ධුරයට පත්වීමට පෙරදී නම් කියා සිටියේ තමන් විශ්‍රාම ගැනීමෙන් පසුව පොළොන්නරුවට ගොස් තමන්ට අයත් කුඹුරු කරගෙන සැහැල්ලුවෙන් විශ්‍රාම දිවිය ගතකරනවා යැයි කියාය. නමුත් එසේ කී මෛත්‍රි අවසානයේදී විශ්‍රාම යෑමට ප්‍රථමයෙන්ම කොළඹ 07 තමන් එතෙක් රැඳී සිටි ජනපති නිල නිවෙස තමන්ගේ විශ්‍රාම ජීවිතය ගතකිරීමට ලියා ගත් අතර දැන් එහි සිට බිලියඞ් ක්‍රීඩා කිරීමද ආරම්භ කොට ඇති බවක් පෙනෙන්නට තිබේ. ඒ අනුව මේ දිනවල මෛත්‍රිගේ නිවෙසට යන ඕනෑම කෙනකුට එහි අමුත්තන්ගේ ශාලාවෙහි විශාල බිලියඞ් මේසයක් තබා ඇති ආකාරයක් දැකගන්නට ඇති අතර, විවේකයෙන් සිටින වේලාවන්හිදී මෛත්‍රි බිලියඞ් පුහුණු වන ආකාරයක්ද දැකගන්නට පුළුවන.
දුවයි-මල්ලියි වෙනුවෙන් මෛත්‍රී පෙරට
මේ අතර පසුගිය සතිය වන විට මෛත්‍රි සම්බන්ධයෙන් තවත් නිල නොවන ආරංචි දෙකක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචි විය. ඉන් එකක් නම් සිය සහෝදරයා වන කුමාරසිංහ සිරිසේන මහතාගේ තනතුර බේරාදීමය. මෛත්‍රි ජනාධිපතිවරයාව සිටියදී ඔහු සිය සහෝදරයා වන කුමාරසිංහව ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා ලෙස පත්කළ අතර, මේ වන විටත් අලුත් සභාපතිවරයෙක් පත්කොට නොමැති නිසා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ කුමාරසිංහය. ඒ අනුව පසුගිය සතියේදී ආණ්ඩුවේ ප්‍රධානීන් කිහිපදෙනකුටම කතාකොට තිබූ මෛත්‍රි ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරයෙන් කුමාරසිංහව ඉවත් නොකරන ලෙසට ඉල්ලීමක් කර ඇති බවටද ආරංචිය.
දෙවැන්න වන්නේ සිය දියණිය වන චතුරිකා සිරිසේනට අයත් දැන්වීම් ආයතනය බේරාදීමය. මෛත්‍රි ජනාධිපති පුටුවේ සිටියදී ආණ්ඩුවේ දැන්වීම්වලින් විශාල කොටසක් චතුරිකාගේ දැන්වීම් ආයතනයට ලබාදී තිබූ අතර තවදුරටත් එම දැන්වීම් එසේම ලබාදෙන ලෙසට මෛත්‍රි ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කොට ඇති බවද නිල නොවන ආරංචිමාර්ගවලින් දැනගන්නට ඇත. දැනට මෛත්‍රිගේ මේ ඉල්ලීම් දෙකටම ආණ්ඩුවෙන් කොළ එළියක් දැල්වී ඇති බවක්ද ආරංචිය.
මෛත්‍රී යවපු ලියුම
මීට අමතරව මෛත්‍රි පසුගිය සතියේදී තවත් එක් විශේෂ ලිපියක්ද ආණ්ඩුවේ ප්‍රධානීන්ට යොමුකිරීමට පියවර ගෙන තිබිණ. ඒ වෙන කිසිවක් නොව නම් ලැයිස්තුවක්ය. එම ලැයිස්තුවේ දැක්වෙන පුද්ගලයන්ට ආණ්ඩුවේ ආයතනවල සභාපතිකම් සහ අධ්‍යක්ෂ තනතුරු ලබාදීමේදී ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසද මෛත්‍රි සිය ලිපියෙන් ඉල්ලා ඇති බවක් දැනගන්නට ඇත. පක්ෂ මහලේකම්වරයා වන දයාසිරි ජයසේකර මහතාගේ ඉල්ලීම මත මෛත්‍රි මෙම නම් ලැයිස්තුව ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත ඉදිරිපත් කර ඇති බවක්ද දැනගන්නට තිබේ.
චම්පික උත්තර දුන් හැටි
පසුගිය ආණ්ඩු සමයේදී කිසිදු චෝදනාවක් එල්ල නොවූ ඇමැතිවරයකු ලෙස ඉහළින්ම කටයුතු කළ අයකු වූයේ පාඨලී චම්පික රණවක ඇමැතිවරයාය. තමාට භාරදෙන ඕනෑම කටයුත්තක් ඉතා ඉහළින්ම අවසන් කරන අමැතිවරයකු ලෙස ප්‍රකටව සිටි චම්පික, ආණ්ඩුවේ හොඳම අමාත්‍යාංශයට හිමි සම්මානය සිය අමාත්‍යාංශයට ලබාගැනීමටද සමත්කම් දැක්වීය. කෙසේ වෙතත් ජනාධිපතිවරණ පරාජයත් සමඟ ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුනුත්, ඇතැම් මාධ්‍යයත් චම්පිකට විවිධ චෝදනා එල්ල කරන්නට පටන්ගත් ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ එල්ල කළ චෝදනා අතර බස් මන්තීරු ඇඳීමේදී චම්පිකගේ අමාත්‍යාංශය මඟින් කිලෝමීටරයකට ලක්ෂ 60ක් වියදම් කළ බවත්, ප්‍රදීප් එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදන් කිරීමට චම්පික වගකිවයුතු බවත්, වැලි පැකට් කිරීමේ ව්‍යාපෘතිය හරහා චම්පික විශාල මූල්‍ය අවභාවිතාවක් සිදුකොට ඇති බවත්, රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකදී චම්පික නීතිය නවා ඇති බවට වූ චෝදනාද තිබිණ. ආණ්ඩුව මේ චෝදනා විවිධ ක්‍රම ඔස්සේ සමාජගත කළද චම්පිකට ඊට පිළිතුරු ලබාදිය හැකි තත්ත්වයක් නොවුණේ කිසිදු මාධ්‍යයක් චම්පිකගේ හඬට ඉඩ ලබා නොදීමට පියවර ගෙන තිබීම නිසාය.
මේ නිසාම චම්පික ඉකුත් සතියේදී තමන්ටම අනන්‍ය ක්‍රමවේදයක් ඔස්සේ මේ චෝදනාවන්ට පිළිතුරු ලබාදීමට පියවර ගෙන තිබිණ. ඒ වෙන කිසිවක් හරහා නොව තමන්ගේම නිල ෆේස්බුක් පිටුව හරහාය. ඒ අනුව තමන්ට එල්ලවන චෝදනාවල සත්‍ය තත්ත්වය චම්පික සිය ෆේස්බුක් පිටුව ඔස්සේ හෙළිදරව් කර තිබුණු අතර, සාධක සාක්ෂි සහිතව ඒවා ඔප්පුකර පෙන්වීමටද පියවර ගෙන තිබිණ. එපමණක් නොව ප්‍රධාන විපක්ෂය වන එජාපය පසුගිය දින කිහිපය පුරාම තනතුරුවලට මරාගනිද්දී චම්පික පමණක් එම අර්බුදයන්ට සම්බන්ධ නොවී ආණ්ඩුවට එරෙහිව තනි සටනක් ගෙනයන ආකාරයක්ද දැකගන්නට තිබිණ.
රන්ජන් එජාපයෙන් කැපෙයි
එජාපයේ තනතුරු අර්බුද අස්සේ පසුගිය අඟහරුවාදා දින එජාප ජ්‍යෙෂ්ඨයෝ සිරිකොතේදී මුණගැසී පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කිරීමට පියවර ගත්හ. මෙහිදී සාකච්ඡාවට ලක්වූ ප්‍රධානම මාතෘකාව වූයේ ඉකුත් ජනාධිපතිවරණ පරාජයට හේතුවූ කරුණු කාරණා මොනවාද යන්න කියාය. මෙහිදී ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකුම පෙන්වා දුන්නේ ජනාධිපතිවරණ පරාජයට බලපෑ ප්‍රධානම හේතුවක් ලෙස ඇතැම් ඇමැතිවරුන් ප්‍රසිද්ධියේම බුදු දහම ඉලක්ක කරගෙන සිදුකළ අපහාසාත්මක ප්‍රකාශ හේතුවූවා යැයි කියාය. උදාහරණයක් ලෙස රන්ජන් රාමනායකත්, මංගල සමරවීරත් කළ ඇතැම් ප්‍රකාශ මැතිවරණ ව්‍යාපාරයට ඉතා අහිතකර ලෙස බලපෑ බවද පෙන්වා දුන්හ. ඒ නිසා ඒ දෙදෙනාට එරෙහිව දැඩි තීන්දුවක් ගත යුතු බවද එහිදී ඔවුහු රනිල්ට පෙන්වා දුන්හ. ඒ අනුව අවසානයේදී රනිල් කියා සිටියේ එසේනම් එළැඹෙන මහ මැතිවරණයේදී අවම වශයෙන් රන්ජන්ට හෝ එජාපයෙන් නාමයෝජනා ලබානොදීමටය.
හර්ෂගේ මතවිමසුම් අමු කෙප්පයක්ලු
ඉන් අනතුරුව පිරිස රනිල්ට පෙන්වා දුන් තවත් ප්‍රධානම කාරණාවක් වූයේ ඉකුත් ජනාධිපතිවරණය එජාපය පරාජයට පත්වීමට හර්ෂද සිල්වා විසින් පක්ෂයට ඉදිරිපත් කළ මත විමසුම් ප්‍රතිඵලද බලපෑවා යැයි කියාය. එම ප්‍රතිඵල හරහා හර්ෂ එජාපය බරපතළ රැවැට්ටීමකට ලක්කර ඇති බවටද එහිදී ඔවුහු විශාල චෝදනාවක් එල්ල කළහ. එය තහවුරු කරමින් එහි සිටි ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකුම හර්ෂ මුල සිට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂයට ලබාදුන් මත විමසුම් ප්‍රතිඵල එකින් එක ඉදිරිපත් කරන්නට කටයුතු කළහ. එහිදී හර්ෂ මුලින්ම ලබාදුන් මත විමසුමෙන් කියා තිබුණේ පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදීමට කටයුතු කළහොත් ඔහු 58%ක ප්‍රතිශතයක් ලබාගනිමින් ජයග්‍රහණය නියත වශයෙන්ම හිමිකර ගන්නා බවය. එමෙන්ම මම මත විමසුම හරහා හර්ෂ පක්ෂයට දැනුම්දී තිබූ තවත් කාරණාවක් වූයේ කරු ජයසූරිය මහතාට ජනතාව අතර ඉල්ලුමක් නොමැති බවත්, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් නියත වශයෙන්ම පරාජයට ලක්වන බවත්ය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාව ඉදිරියට ඇදී යද්දී එහි සිටි තවත් ජ්‍යෙෂ්ඨයකු රනිල්ට පෙන්වා දුන්නේ හර්ෂ මෙම සියලු මත විමසුම් තමන්ට අයත් සමාගමක් හරහාම සිදුකර ඇතැයි කියාය. එහි නම “පෙපර් කියුබ්” වන බව පෙන්වා දුන් එම ජ්‍යෙෂ්ඨයා එම සමාගම මුලින්ම හර්ෂට අයත්ව තිබී පසුව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වීමෙන් පසුව ඔහුගේ බිරියගේ නමට පවරා ඇති බවක්ද අනාවරණය කර සිටියේය. මෙම ‘පෙපර් කියුබ්’ සමාගම හරහා මීට පෙරද එජාපය සම්බන්ධයෙන් හර්ෂ මත විමසුම් කිහිපයක්ම සිදුකර ඇති අතර එම මත විමසුම්ද සම්පූර්ණ අසත්‍ය ඒවා බව මේ වන විට තහවුරු වී ඇති බව එම ජ්‍යෙෂ්ඨයා රනිල්ට පෙන්වා දුන්නේය.
මන්ත්‍රිවරු රනිල්ට හර්ෂ ගැන කියපු කතා
“ජනාධිපතිවරණය ගැන විතරක් නෙමෙයි මීට ඉස්සෙල්ලත් හර්ෂ මේ විදිහටම මත විමසුම් කියල කරපු ඔක්කොම බොරු. බැඳුම්කර සිද්ධිය වෙලාවෙදි හර්ෂ මත විමසුමක් ගෙනල්ල දුන්න මේ වෙලාවේ බැඳුම්කර චෝදනාව එල්ලවෙලා තියෙන්නෙ රවිට, ඒ නිසා රවිව ඇමැතිකමින් අයින් කළොත් පළාත් පාලන ඡන්දෙ දිනන්න පුළුවන් කියල. අන්තිමට ඒක පිළිඅරගෙන නායකතුමා රවිව ඇමැතිකමින් අයින් කළා. අන්තිමට මොකද වුණේ. පළාත් පාලන ඡන්දෙ යූ.ඇන්.පී. එක අන්තෙමට පැරදුනා. හැබැයි රවිව අයින් කරල තිබියදීත් රවිගෙ උතුරු කොළඹ රවි දිනවල දුන්න. හර්ෂ මේ මත විමසුම් කරල තියෙන්නෙ පක්ෂය ගැන හිතල නෙමෙයි. එයාගෙ පුද්ගලික ඕනෑ එපාකම් ගැන හිතල. එයාට රවිත් එක්ක කොළඹ ප්‍රශ්නයක් තිබ්බ. ඒ හින්ද එයා මොකද කළේ මත විමසුම් පිටින් දාල රවිගෙ දේශපාලනය විනාශ කරන්නයි බැලුවෙ. මොකද එයා දන්නව රවි ඉන්නකම් එයාට කොළඹින් ඉස්සරහට එන්න බෑ කියල. ඒ වගේම පහුගිය ජනාධිපතිවරණයෙදි සජිත්ව දාගන්න ඕනෙ හින්ද බොරුවට 58%ක් එයාට තියෙනව කියල පක්ෂෙට පෙන්නුව. සිංහල බෞද්ධ පදනමක් තියෙන කරු ජයසූරිය මහත්තය දැම්මොත් පරදිනව කියලත් කිව්ව. අන්තිමට මොකද වුණේ. එයාලම ඉල්ලපු සජිත් ලක්ෂ 15කින් පැරදුණා. හොඳම වැඬේ කියන්නෙ ඒක නෙමෙයි. සජිත්ට නාමයෝජනා දෙන්න ඉස්සෙල්ල 58%ක් සජිත්ට තියෙනව කියපු මනුස්සයා සජිත්ට නාමයෝජනා දුන්න විතරයි ඊළඟට දුන්න මතවිමසුමේ සජිත්ට දාල තිබේබෙ 38%යි. පස්සෙ ඒක 32%ට බැස්ස. මට ආරංචියි මෙයා කරපු ඇත්ත මත විමසුම් කිහිපයක්ම පක්ෂෙට නොදී හංගල තියෙනවා කියලා. මේ ඔක්කොම බොරු මත විමසුම් හදල තියෙන්නෙ එයාගෙ පවුලට අයත් “පෙපර් කියුබ්” කියන සමාගමෙන්. අන්තිමේදි හර්ෂ මේවා හරහා අපිව විතරක් නෙමෙයි මුළු පක්ෂයම රැවැට්ටුවා. යූ.ඇන්.පීයට තිබ්බ ආණ්ඩුවත් විනාශ කළා” යනුවෙන් එම ජ්‍යෙෂ්ඨයා දිගින් දිගටම තොරතුරු හෙළිදරව් කරද්දී රනිල් ඇතුළු සියලු දෙනාගේ ඇස් නළලට යන ආකාරයක් දැකගන්නට තිබිණ. ඒ අනුව සියලු දෙනාම රනිල්ගෙන් ඉල්ලා සිටියේ එජාපය රැවැට්ටවීම සම්බන්ධයෙන් හර්ෂට විරුද්ධව වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසත්, ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්ය. මේ සියලු කරුණු අසා සිටි රනිල්ද අවසානයේ වහාම නීතිමය උපදෙස් ගෙන හර්ෂට එරෙහිව විනයානුකූල පියවර ගන්න යැයි කියා අකිලට උපදෙස් දෙනු දැකගත හැකි විය.
කපිල පුංචිමාන්නගේ