ලංකාවේ විවිධ කාලවල සිද්ධ වෙන විවිධ දේවල් අපි අතර විශාල වශයෙන් කතාබහට ලක් වෙනවා. සමහර දේවල් අලුත් සිද්ධි. සමහර දේවල් හිතාගන්න බැරි දේවල්. මේ වගේ විවිධ දේවල්වලට වඩාත්ම ප්‍රකට වුණු පුවත්පතක් තමයි රිවිරැස කියලා කියන්නේ. රිවිරැස පුවත්පත අද වෙනකොට නැතත් මේක තිබුණු කාලයේදී විශේෂ ප්රවෘත්ති නිතරම රිවිරැස ඔස්සේ වාර්තා වුණා. අපි මේ ලියන්න යන්නේ එවක හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන පියසේන ඉහළවිතාන සහ දයා මුතුකුමාරණ විසින් වාර්තා කරපු එක්තරා සිදුවීමක් ගැන.
මේ ප්‍රවෘත්තිය පළ වෙන්නේ එක්දහස් නවසිය හැත්තෑ නවයේ අප්‍රේල් පහළොස් වෙනිදා ඉරිදා රිවිරැස පුවත්පතේ. මේ ප්‍රවෘත්තියේ සිරස්තලය වෙන්නේ, “වදුරන් සමග වනයේ හැදුණු වන දරුවෙක් හමුවෙයි ” කියන එක. මේ සිරස්තලයත් එක්ක පින්තූර කීපයකුත් පළ කරන්න රිවිරැස මාධ්‍ය කණ්ඩායම සමත් වෙනවා. මේ පින්තූර අරගෙන තිබුණේ ඩබ්ලිව්. ඒ. විජේසුන්දර කියන මාධ්‍යවේදියා. මේ ඡායාරූපවල අයිතිය අදටත් තියෙන්නේ ඩබ්ලිව්.ඒ. විජේසුන්දරයන්ට. මීට අවුරුදු හතළිස් එකකට කලින් මේ සිදුවීමේ ඇත්ත නැත්ත මොකක්ද කියන එක අපි අද හොයලා බලන්න තීරණය කළා. කොහොම නමුත් මුලින්ම ඔබට මේ කතාව කියලා ඉන්නවනම් හොඳයි කියලයි අපිට හිතුණේ. ඒ නිසා අපි ඉස්සෙල්ලම මොකක්ද මේ වනන්තරේ හැදිච්ච වන දරුවාගේ ප්‍රවෘත්තිය කියලා හොයලා බලමු.
රිවිරැස වාර්තා කරන විදිහට,
“වදුරු රංචුවක් සමග හැදී වැඩී ජීවත් වීම නිසා වානර ගති පැවතුම්වලට සමාන පැවතුම් ඇතුව කල් ගත කරන මෙම ළමයා මුලින්ම ලීකොටුවක දමා සිට දැන් අනෙක් ළමුන් හා එක්ව සිටීමට හුරු කරවීම සදහා ළමා නිවාසයේ අය දැඩි ප්රයත්නයක් දරති ”
කියලා තමයි මේ ප්‍රවෘත්තිය ඔවුන් පටන් අරගෙන තියෙන්නේ. මේ ප්‍රවෘත්තියේ ඉහළින් සදහන් වෙනවා.
“බින්තැන්නේ මහ කැලේ වදුරු රංචුවක් හා එකට ජීවත් වෙමින් සිටියදී අල්ලා ගන්නා ලද වන දරුවෙක් දැන් මිනිස් ජීවිතයට හුරු වෙමින් ගාල්ල සම්බෝධි ළමා නිවාසයේ පසු වෙයි.”

කියලා. මේ කියන විදිහට ඔහුගේ වයස අද ජීවතුන් අතර හිටියා නම් අවුරුදු පනහා හෝ ඊට ආසන්න ප්‍රමාණයක් විය හැකියි කියලයි අපි නිගමනය කරන්නේ.
“බුන් නැහැයෙන් රවුම් ඇස්වලින් යුතු මුහුණින්, උල් දත්වලින්, අතුවල එල්ලී යා හැකි අන්දමට පිහිටි දෙ අත්ලෙන් හා දිග ඇඟිලි වලින්ද ශක්තිමත් බාහුවලින් හා පළල් පපුවෙන් යුතු මෙම ළමයාගේ කකුල් දෙකේ දෑතේ තරම් ප්‍රාණවත් ගතියක් නැති බව පෙනී ගොස් ඇත. දෑත්දෙපා බිම තබා සතෙකු සේ යාමට කාලයක් තිස්සේ පුරුදු ඇති හෙයින් කකුල් දෙකේ තරමක වක බකල ගතියක් ඇති අතර දෙපතුල් පිහිටා ඇත්තේද එසේ යාමට පහසු ලෙසිනි.”
මේ තමයි ඔවුන් ඒ ප්‍රවෘත්තිය වාර්තා කරන ආකාරය. මේ ප්‍රවෘත්තියේ සදහන් වෙන ආකාරයටමේ දරුවා හොයාගෙන තියෙන්නේ මහා වනාන්තරයේ. දරුවාගේ ගති ලක්ෂණ සියල්ලම සකස් වෙලා තියෙන්නේත් වනාන්තරයට ගැළපෙන ආකාරයට. දරුවාගේ ජීවිතය ගත වෙලා තියෙන්නේත් වනාන්තරයේ වන සතුන් සමග. ඔබට පැහැදිලි වෙනවා ඇති මේ ශරීර ලක්ෂණ ගැන පවා මාධ්‍යවේදියා පැහැදිලි කරන්නේ ඔහු වනාන්තරේ ජීවත් වීමේ සහජ ගතිලක්ෂණ සහිත අත්පාවලින් හෙබි බව. දෑත් බිම තබා සතෙකු සේ යාමට කාලයක් තිස්සේ පුරුදු වී ඇති හෙයින් කකුල් දෙකේ තරමක වක ගතියක් ඒ වගේම ළමයගේ කකුල් දෙකේ දෑතේ තරම් ප්‍රාණවත් ගතියක් නැති බව මේ සියලු ලක්ෂණ ඔවුන් පැහැදිලි කිරීමට උත්සහා කරන්නේ මේ දරුවාගේ ජීවිතය ගැන. ඒ වගේම ඔවුන් මේ දරුවා හොයාගත්ත ආකාරයත් අපූරුවට පැහැදිලි කරලා තිබුණා. මේ ප්‍රවෘත්තිය කියවන අපිට හරියටම දැනෙන්නේ ටාසන් ටෙලි කතාවක මුල කොටස නැත්නම් මවුග්ලි වගේ නිර්මාණයක මුල කොටස කියවනවා වගේ හැඟීමක්.
කැලේ දර කැඩීමට ගිය කාන්තාවක් ළමයෙකු වැන්නෙකු වදුරු රැළක් හා සිටිනු දැක බිය විය. පසුව පරීක්ෂාකාරීව සිට ළමයෙකු බව සැකහැර දැන වදුරු රැළ එළවා දමා ළමයා අල්ලාගෙන ඇති බව කියති. ඒ අවස්ථාවේ වදුරු රැළේ නායකයා මෙම කාන්තාවගේ ඇඟට පැන සපා කෑ බවද කියයි.
මේ ප්‍රවෘත්තියේ සදහන් වන මේ ඡේදයේ යම්කිසි ගැටලුකාරී බවක් තිබෙන බව ඇත්ත. ඒකට හේතුව තමයි ළමයා වන සතුන් හා සමග ජීවත් වුණා නම් වදුරු රැළ එළවා දමද්දි ළමයා ඒ අය සමග පළා නොගියේ ඇයි? ඒවගේම වදුරු රැළේ නායකයා සපා කෑමේදීත් මේ කාන්තාව සටන අත නොහැර දරුවා රැගෙන එන්න තරම් කොහොමද ශක්තිමත් වුණේ කියන එක.
හැබැයි අපි මේ කතා කරන්නේ එක්දහස්නවසිය හැත්තෑ නවය වගේ ඉතාම පරණ කාලෙක කතාවක් වගේම මේ කාන්තාව ඉඳලා තියෙන්නේ අපි ජීවත් වෙන සමාජයේ නෙමෙයි බින්තැන්නේ. ඒ නිසා කැලේ දර කඩන්න යන කාන්තාවකට, කැලේ සතා සීපාවා එක්ක හැප්පෙන්න යම්කිසි පුළුවන් කමක් තිබුණාය කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් වෙනවා. ඒකට හේතුව තමයි එහෙම ශක්තියක් නැත්නම් ඈට කැලේට ගිහිල්ලා දර කඩාගෙන එන්න පුළුවන් කමක් නෑ කියන එක.
ඉතා අපහසුවෙන් ගම්මානෙට ගෙනා වන දරුවා පිළිබඳ පොලීසියට ආරංචි වීමෙන් පසු පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය ඇතිව දකුණු පළාතේ මහා දානපතියකු වන ඇස්. ඒ දිසානායක හාමු මහතාගේ ආධාර යටතේ පවත්නා සම්බෝධි ආයතනයට භාර දී තිබේ.

මේ තමයි පැහැදිලි කිරීමේඉතිරි කොටස.
කතා කළ නොහැකි මේ ළමයා වදුරන් ශබ්ද කරන ආකාරයෙන් ශබ්ද කරන විට දැඩි ආශාවක් දක්වා විමසිලිමත් වෙයි. “තිස්ස” යැයි නම් කොට ඇති වන දරුවා නිතරම දෑත් ඔසවාගෙන සිටීමට කැමැත්තක් දක්වයි. දෙපයින් එක් කරගෙන යාමට නම් දෑතින් අල්ලාගෙන යා යුතුව ඇත්තේ සිව්පාවෙකු සේ යාමට කැමැත්තක් දක්වන හෙයිනි. නිදාගන්නේ ගස් දෙබලක නිදාගන්නා වදුරෙකු සේ මුණින් අතටය.
මේ පිළිබඳව ඔවුන් තවදුරටත් පැහැදිලි කරන අතරේ මෙන්න මේකොටසත් ඔබ කියවිය යුතුයි කියලා අපි හිතුවා.
ළමයාගේ මෙම තත්වය වෙනස් කිරීම සඳහා සම්බෝධි නිවාසයේ පාලක අංශය දැඩි උත්සහයක් ගන්නා අතර එම කටයුතු භාරව ආර්. එම්. ආර් රත්නායක මහත්මිය කටයුතු කරයි. තරහ ගැන්වූ විට හපා කන, හූරන පහුරු ගාන ගති ඇතිව තිබුණත් දැන් ඒවා අඩු වී ඇතැයි කියති. ඒත් නිතරම දත් විලිස්සා සිනාසෙන මේ ළමයාගේ ඉඟෙන් උඩ කොටස ඉතා ශක්තිමත්ව හා හොදින් වැඩී ඇත. සාමාන්‍ය කෙනෙකුගේ මෙන් දත් පිහිටා ඇතත් ඒවා බොහෝමයක් තියුණු ලෙස උල්ව ඇත. ඉදිරි දත් දෙකක් කැඩී ගොස්ය. බැද්දක් අසල ගේක සඟිත්තෙකු වඳුරන් විසින් ගෙන යන ලදුව හෝ කිසිවෙකු විසින් බිළිඳු අවස්ථාවේ කැලෑවේ අතරමං කරන ලදුව හෝ මේ ළමයා කැලේ ජීවත් වෙන්න ඇතැයි විශ්වාස කරති.
මේ ප්‍රවෘත්තිත් එක්ක ඒ සම්බන්ධව අපට තව බොහෝ දේ හොයා බලන්නට තිබෙනවා. හැකි නම් මේ සම්බෝධි ළමා නිවාසය එසේත් නැත්නම් ආර්.එම්.ආර්. රත්නායක මහත්මිය එහෙමත් නැත්නම් එස්.ඒ. දිසානායක හාමු මහත්තයාගේ කවුරු හෝ සම්බන්ධ කෙනෙක් අපිත් සමග සම්බන්ධ වෙනවා නම් මේ පිළිබඳව ඉදිරියටත් හොයාගෙන යන්නට අපි සූදානම්. ඒ වගේම මේ දරුවා සම්බන්ධව එදා නම ලෙස සඳහන් වෙන්නේ “තිස්ස” කියන නම. අද වෙනකොට වැඩිහිටියෙක් බවට පත්ව ඇති මේ තිස්ස ඔබ දන්නවා නම් කරුණකර අපිට දැනුම් දෙන්න. අපි සූදානම් මේ ප්‍රවෘත්තියේ ඇත්ත නැත්ත පිළිබඳව තවදුරටත් හොයලා බලන්න. හොයලා බලලා මේ කතාවේ සහ වර්තමාන කතාවේ සම්බන්ධය ඔබට කියන්නත් අපිට අවශ්‍යව තියෙනවා. ඒ වගේම මේ ප්‍රවෘත්තිය සම්බන්ධව සමාජජාලවල පහුගිය දිනක පළ වීමත් එක්ක මෙහි පූර්ව‘පර සිද්ධි ගැළපීම සිද්ධ වෙලා තියෙන ආකාරය අපි දැක්කා. සමහරු කියන විදිහට මේ තිස්ස ජීවත් වෙලා තියෙන්නේ ගාල්ල ප්‍රදේශයේ පන්සලක. ඔහු අද වෙනකොට ජීවතුන් අතර නෑ කියලයි ඒ අය කියලා තිබුණේ. ඒත් බොහෝ දෙනෙක් ඒ ගැන නිශ්චිත තොරතුරු දැනගෙන හිටියේ නෑ. කෙසේ නමුත් අපි මේ නිශ්චිත තොරතුරු හොයාගෙන යන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා.
ඉන්ද්‍රණි ගුණසේකර නමැති අයෙක් මේ ගැන කියන්නේ,
“1994, 1993 වගේ කාලෙ මට මෙයාව මුණ ගැහිලා තියෙනවා. පදියතලාව පැත්තෙ පන්සලක හිටියා. අපි කතා කරලත් තියෙනවා” කියලා.
ඒ වගේම තවත් කෙනෙක් මේ ගැන දන්න බව කියනවා. ඔහු කියන්නෙ,
“මේ කියන පුද්ගලයා පසුව බණ්ඩාරවෙල ප්‍රදේශයේ පන්සලක ඇතිදැඩි වී තිබුණ බවත් යම් පමණකට කතා කිරීමට හැකියාව තිබුණ බවත් පුවත්පතක හෝ අන්තර්ජාලයේ මා කියවා තිබෙනවා. ඔහුගේ වැඩිහිටි වියේ (එවකට) ඡායාරූපයක්ද පලවී තිබුණා…”
මේ ගැන කියන්නෙ රුවන් කේ. පනන්වල කියලා කෙනෙක්.
මේ සඳහනට යම් සමාන කමක් නැතත් තවත් කෙනෙක් මේ පුද්ගලයා පිළිබදව යමක් දන්නා බව කියනවා. ඔහු කියන්නෙ,
“මීට අවුරුදු දෙකකට පමණ පෙර මාතර පැත්තෙ ප්‍රධාන රෝහලකදි මේ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වුණා”
කියලා. ඒත් ඒ ගැන යම් තහවුරු කර ගත හැකි සාක්ෂියක් දැනට ලැබී නෑ.
කොහොම නමුත් මේ ගැන තවමත් නොවිසඳුන අභිරහස් ඉතිරි වෙලා තියෙනවා. ඒ ගැන හොයාගෙන යන ගමනට තව සතියක දෙකක හිස්තැනක් තියලා අපි මේ සතියෙ නතර වෙනවා. ඒත් මේ,
“වානර ළමයා”
හොයාගෙන යන ගමන අවසන් නෑ. අපිට ඔබෙන් ඉල්ලන්න තියෙන්නෙ මේ ගැන ඔබ දන්නා යම් දෙයක් තියෙනවා නම් කියන්න අපිට. ඒක අපිට ලොකු පහසුවක් වේවි.
ජීවන පහන් තිළිණ










