එජාපයේ ජනපති අපේක්ෂකයා තෝරන තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන බ්‍රහස්පතින්දා (26) පැවැත්වීමට තීන්දු කොට ඇත.
මෙහිදී බොහෝදුරට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර ජනපති අපේක්ෂකත්වය උදෙසා ජන්ද විමසුමක් පැවැත්වෙනු ඇති බව දැනගන්නට තිබේ.
මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මීට පෙර බදාදා (25) දිනයේ පැවැත්වීමට වික්‍රමසිංහ මහතා සැලසුම් කර තිබුණද පසුව සජිත් ප්‍රේමදාස මහතා දැනුම් දී ඇත්තේ තමන්ට බදාදා දිනයේදී පැමිණිය නොහැකි බවත්, බ්‍රහස්පතින්දා දිනයේදී තමන්ට ඊට සහභාගි විය හැකි බවත්ය. අපට දැනගන්නට ඇති ආකාරයට ප්‍රේමදාස මහතා මෙසේ බදාදා දිනය මගහැරීමට කටයුතු කොට ඇත්තේ ජ්‍යොතිෂවේදීන්ගෙන් ලද උපදෙස් අනුවය.
ඒ අනුව බ්‍රහස්පතින්දා දිනයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට වික්‍රමසිංහ මහතා එකගතාව පළ කර තිබේ.
කෙසේවෙතත් ඊයේ (22) රාත්‍රියේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් හා අගමැතිවරයා අතර පැවැත්වී ඇති විශේෂ සාකච්ජාවකදී මෙම ජන්ද විමසුම පිළිබදව සාකච්ජා වී ඇති අතර එහිදී බොහෝ දෙනා පෙන්වා දී ඇත්තේ රහස් ජන්දයක් පැවැත්වීම සුදුසු යැයි කියාය.
නමුත් ඊට විරෝධය පළ කර ඇති අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ 1982 සිටම පක්ෂ සම්ප්‍රදාය වී ඇත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ සිදු කරන විවෘත ජන්දයකින් අපේක්ෂකයා තෝරා ගැනීම බවත්, එම සම්ප්‍රදාය අනුව යමින් මෙවරත් විවෘත ජන්දයකින් අපේක්ෂකයා තෝරා ගන්නා බවත්ය. 1982දී ජේ.ආර්. ජයවර්ධන මහතාත්, 1988දී ආර්. ප්‍රේමදාස මහතාත්, 1999දී හා 2005දී තමනුත්, 2010දී සරත් ෆොන්සේකා මහතාත්, 2015දී මෛත්‍රිපාල සිරිසේන මහතාත් තොරා ගත්තේ එම ක්‍රමවේදය අනුව බවද වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දී ඇත.
ඒ අනුව යමින් මෙවරත් විවෘත ජන්දයක් හරහා අපේක්ෂකයා තෝරාගතයුතු බවට දැඩි තීන්දුවක් ගැනීමටද වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේදී පියවර ගෙන ඇත.