• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මහින්දගේ 50න් මගේ 20- තුෂාර ගුණරත්න

June 15, 2020
in News, Politics, Uncategorized
Reading Time: 9 mins read
A A
මහින්දගේ 50න් මගේ 20- තුෂාර ගුණරත්න
Share on WhatsAppShare on Facebook

මහින්දව මුලින්ම මට හමුවූ දවස පිළිබඳව මගේ එතරම් පැහැදිලි මතකයක් නැත. නමුත් මගේ යම් මතක මාත්‍රයක රැඳී ඇති ලෙස මහින්ද සහ මා අතර මුල්ම හමුවීම සිදුවූයේ අනුර බණ්ඩාරනායකගේ රොස්මිඞ් පෙදෙසේ පිහිටි නිවෙසේදීය. එකල මම ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සේවය කළ අතර, නිතර දෙවේලේ අනුරගේ රොස්මිඞ් පෙදෙසේ නිවෙසට යෑම පුරුද්දක් කරගෙන සිටියෙමි. ඒ අනුරගේ සම්මුඛ සාකච්ඡා සිදුකිරීමටත්, සතිඅන්ත ලංකාදීපයේ මා ලියූ දේශපාලන තීරයට දේශපාලන තොරතුරු සෙවීමටත්ය. දිනක් මා එසේ අනුරගේ රොස්මිඞ් පෙදෙසේ නිවෙසට යද්දී අනුරගේ පෞද්ගලික ලේකම් වූ රත්නසේකරගේ මේසය ඉදිරිපිට මහින්දද සිටිනු මම දුටුවෙමි. ඒ වන විටත් මහින්ද හා අනුර අතර කිට්ටු සබඳතාවක් පැවැති අතර, මහින්ද අනුරගේ මිනිසකු ලෙස හංවඩුවක්ද ගැසී තිබිණි. නමුත් මා හා මහින්ද අතර ඒ වන විටත් කිසිදු හැඳුනුම්කමක් නොතිබූ නිසා එම හමුවේදී මාත් මහින්දත් අතර කිසිදු කතාබහක් සිදුවූයේ නැත. ඒ වන විට මහින්ද දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වූ ආන්දෝලනාත්මක චරිතයක් ලෙස එතරම් ප්‍රසිද්ධියට පත්ව සිටියේද නැත.

මහින්ද ශ්‍රීලනිපයේ මතුවූ හැටි

කෙසේ වෙතත් මහින්ද ශ්‍රීලනිපයේ එකවරම චරිතයක් ලෙස ඉස්මතු වීම ආරම්භ වූයේ චන්ද්‍රිකා ලන්ඩනයේ සිට නැවැත ලංකාවට පැමිණ ශ්‍රීලනිප දේශපාලනය ආරම්භ කිරීමට තීන්දු කිරීමෙන් අනතුරුවය. ඒ සමඟම ශ්‍රීලනිපය අනුර පිල සහ චන්ද්‍රිකා පිල වශයෙන් පිල් දෙකකට බෙදිණි. ඒ බෙදීම පක්ෂය ඇතුළේ බරපතළ බෙදීමක් දක්වා පැතිරී ගියා පමණක් නොව එම බෙදීම පත්තර කන්තෝරුවලට පවා පැමිණි ආකාරයක් එකල දැකගත හැකි විය. විශේෂයෙන්ම ලංකාදීප, දිවයින වැනි පුවත්පත් ආයතනවල පවා කිසි දිනෙක නොතිබූ අයුරින් චන්ද්‍රිකා පිල සහ අනුර පිල වශයෙන් දේශපාලනමය බෙදීමක් එකල දැකගන්නට ලැබිණි. එම බෙදීම සිදුවූයේ අනුරගේ පැත්තෙන් නොව චන්ද්‍රිකාව දේශපාලනයට ගෙනා එස්.බී. දිසානායක, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ වැන්නවුන්ගෙනි. එකල අනුර මාධ්‍ය සහ මාධ්‍යවේදීන් සමඟ විශාල සබඳතාවයක් ගොඩනඟාගෙන තිබුණු නිසා ශ්‍රීලනිපය ආවරණය කළ මා ඇතුළු මාධ්‍යවේදීන් විශාල පිරිසක් හොඳට හෝ නරකට වැටුණේ අනුර පිලටය. මා සමඟ ආරියනන්ද දොඹගහවත්තද විය. චන්ද්‍රිකාගේ පිල නියෝජනය කළ මාධ්‍යවේදීන් අතර චූලවංශ සිරිලාල්, ලක්ෂ්මන් ජයවර්ධන ආදීහු වූහ. මේ ආකාරයටම දිවයින පත්තරය ඇතුළේත් බෙදීමක් ඇති විය. ඒ සමඟම අපට චන්ද්‍රිකා පිලේ ප්‍රවෘත්ති ලිවීම, දේශපාලන තොරතුරු ගැනීම ආදී සියල්ල තහනම් විය.

චන්ද්‍රිකාත් එක්ක මහපාරේ කුණුහරුප කියා ගත් හැටි

මේ ආකාරයට දෙපිල අතර ගැටුම උත්සන්න වෙද්දී අප කළේ වැඩි වැඩියෙන් අනුර පිලේ තොරතුරු වාර්තා කිරීමය. එහි එක් ප්‍රතිඵලයක් වූයේ අනුරගේ භූමිකාව යටතේ රැඩිකල්, පෙරළිකාර සහ කැරලිකාර චරිතයක් ලෙස ක්‍රම ක්‍රමයෙන් මහින්ද ඉස්මතු වීමට පටන් ගැනීමය. එහි ආරම්භක සිදුවීම වූයේ වසර 17ක් පැවැති එජාපය පෙරළා දැමීම සඳහා 1992 පැවැත්වූ ජනඝෝෂා පාද යාත්‍රාවය. ආරම්භයේ සිටම පාදයාත්‍රාව අප විසින් වාර්තා කිරීම නිසා අනුර සමඟ පමණක් නොව මහින්ද සමඟද තිබූ සම්බන්ධය දලුලා වැඩෙන ආකාරයක් දැකගත හැකි විය. පාදයාත්‍රාව ආරම්භයේ සිටම එහි කැපී පෙනෙන සාමාජිකයකු වූ මහින්ද පාදයාත්‍රාව අතරමගදී රටේම අවධානය දිනාගත් චරිතයක් බවට එක රැයින් පත්වූයේ චන්ද්‍රිකා සමඟ දෙනෝදාහක් සෙනඟ මැද මහපාරේදී ඇතිකරගත් කලබලයත් සමඟය.
මහින්ද ඇත්තටම පාදයාත්‍රාව ආරම්භ කළේ අනුරව පක්ෂයේ උඩට ගෙන ඒම සඳහාය. නමුත් එස්.බී., මංගල, ජෙයාරාජ් වැන්නවුන්ගේ අවශ්‍යතාව වී තිබුණේ පාදයාත්‍රාව හරහා චන්ද්‍රිකාව පක්ෂය ඇතුළේ ඉහළට ගැනීමය. ඒ අනුව වරෙක ලංකාදීප මුල් පිටුවේ චන්ද්‍රිකා සෙනඟ පිරිවරාගෙන පාදයාත්‍රාවේ ඉදිරියෙන්ම ගමන් කරන ඡායාරූපයක් පළවිය. ඡායාරූපය ගෙන තිබුණේ චන්ද්‍රිකා පිලේ ප්‍රබලයකු ලෙස කටයුතු කළ ඡායාරූප ශිල්පී ලලිත් වැලිවිටය. එම ඡායාරූපයේ අනුර හෝ මහින්ද නොසිටි අතර දකින ඕනෑම කෙනකුට හැඟී යන්නේ චන්ද්‍රිකා පාද යාත්‍රාවේ ප්‍රධානතම චරිතය යැයි කියාය.
එකල ලංකාදීප පුවත්පත ඉතාම ජනප්‍රිය තලයේ තිබූ නිසා මෙම ඡායාරූපය දුටු සැණින්ම අනුරත්, මහින්දත් දැඩි ලෙස කෝපයට පත්වූ බවක් දැකගත හැකි විය. ඒ අනුව වහාම අනුරගේ කාර්යාලයෙන් අපට දැනුම්දීමක් කෙරුණේ එතැන් සිට ඉදිරියට පාදයාත්‍රාවේ සියලු තොරතුරු වෙනමම වාර්තා කරන ලෙසටය. ඒ අනුව චන්ද්‍රිකා පිල නියෝජනය කළ මාධ්‍යවේදීන් පාදයාත්‍රාව චන්ද්‍රිකාගේ වැඩක් ලෙස හුවාදැක්වීමට උත්සාහ කළ අතර, අප කළේ මෙය මහින්දගේ සහ අනුරගේ වැඩක් නිසා ඔවුන් ඉස්මතු වන ලෙස වාර්තා කිරීමය. ඒ අනුව පාදයාත්‍රාවේ ඡායාරූප සහ තොරතුරු වාර්තා කිරීම සඳහා අනුරගේ පිල හා චන්ද්‍රිකාගේ පිල අතර විශාල තරගයක් ඇතිවිණි. එහිදී දුරකතන මඟින් පාදයාත්‍රාවේ තොරතුරු ගැනීම සඳහා විශාල තරගයක්ද මාධ්‍යවේදීන් අතර මතුව තිබිණි.

රාජිතට කතාවක් නෑ

වරක් පාදයාත්‍රාව මාතරට පැමිණීමෙන් අනතුරුව එහි විශාල රැස්වීමක් සංවිධානය කිරීමට මහින්ද පියවර ගෙන තිබිණි. පාදයාත්‍රාව සංවිධානය කිරීමේදී රාජිත සේනාරත්නද විශාල වැඩ කොටසක් සිදුකර තිබීම නිසා මාතර වේදිකාවේදී රාජිතට විශේෂ කතාවක් දිය යුතු බවට මහින්ද තීරණය කර තිබිණි. නමුත් දෙපිල අතර විශාල ගැටුමක් මතුවූයේ රාජිතට කතාවක් නොදිය යුතු බවට චන්ද්‍රිකා දැඩිව කියා සිටීමත් සමඟය. ඒ අනුව රාජිතට විශාල විරෝධයක් චන්ද්‍රිකාගෙන් පැමිණියද මහින්ද දැඩි ස්ථාවරයක සිටිමින් කියා සිටියේ රාජිතට කතාවක් දිය යුතුම යැයි කියාය. අන්තිමේදී චන්ද්‍රිකාගේ මේ විරෝධය මහින්ද කොතරම් කෝපයට පත්කළාද කියනවා නම් මහින්දගේ ඒ හිත යට පැවැති කේන්තිය මහින්ද එළියට දැම්මේ දෙනෝදාහක් සෙනඟ රැඳී සිටි පාදයාත්‍රාවේ පාර මැද්දේදීමය. එහිදී කුණුහරපයෙන්ම චන්ද්‍රිකාට බැනවැදුණු මහින්ද අවසානයේදී කියා සිටියේ “තමුසෙ යනවා නම් යනවා. මම රාජිතට කතාවක් දෙනවා” යැයි කියාය.
මාධ්‍යවේදීන් මැද මහපාරේ සිදුවූ චන්ද්‍රිකා මහින්ද ගැටුම වාර්තා කිරීමට ඒ වන විට මාධ්‍ය අතරද විශාල තරගයක් ඇතිවිය. චන්ද්‍රිකා පිල නියෝජනය කළ මාධ්‍යවේදීන් ඒ වන විටත් තීන්දු කර තිබුණේ මෙම සිදුවීම චන්ද්‍රිකාට අනුකම්පාව ලැබෙන ලෙසටත්, අනුරටත්, මහින්දටත් විශාල අගතියක් වන ලෙසටත් වාර්තා කිරීමටය. ඒ අනුව මහින්දට කතාකොට මෙම සිදුවීමේ ඇත්ත තත්ත්වය වාර්තා කිරීමට අපට සිදුවිය. ඒ අනුව මම මහින්දට කතාකොට මුල සිට අවසානය දක්වාම සිදුවූ සිද්ධිය දැනගෙන ලංකාදීප දේශපාලන ලිපියේ වාර්තා කිරීමට කටයුතු කළෙමි. එම හෙළිදරව්වට එකල මහත් ප්‍රසිද්ධියක් හිමිවූවා පමණක් නොව ඒ හරහා මහින්ද තරගයේ වීරයා බවටද පත්ව තිබිණි.
අනුරගේත්, මහින්දගේත් මෙම පාදයාත්‍රාව වසර 15ක් බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හෙළවීමට සමත්කම් දක්වා තිබිණි.

අනුරගේ ගෙදර පාටිය

එම පාදයාත්‍රාව හරහා ප්‍රේමදාස ආණ්ඩුව බරපතළ අර්බුදයකට තල්ලු විය. එතෙක් හතරගාතෙන් වැටී සිටි ශ්‍රීලනිපය අළුගසා දමා නැඟිටීමට පටන් ගත්තේ අනුර පිලයි චන්ද්‍රිකා පිලයි දියත් කළ මේ පාදයාත්‍රාව හරහාය.
කෙසේ වෙතත් පාදයාත්‍රාවේ සාර්ථකත්වයත් සමඟ අනුර, මහින්ද පිල එය සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දැක්වූ සියලු දෙනාටම රාත්‍රි භෝජන සංග්‍රහයක් ලබාදීමට පියවර ගත්තේය. උත්සවය පැවැත්වුණේ නුගේගොඩ පිහිටි චමල්ගේ නිවෙසේය. ප්‍රධාන අමුත්තා වූයේ අනුරය. ආරාධනා ලැබ තිබුණේද අනුර පිලේ අයය. ප්‍රදීප් හපන්ගම වැනි අලුත් නායකයන් එම රාත්‍රි භෝජන සංග්‍රහයට එක්ව සිටියේය. මහින්ද හා මා අතර සම්බන්ධය ගොඩනැඟුණු පළමු පරිච්ඡේදය එය විය. එතැන් සිට ශ්‍රීලනිපයේ කැපී පෙනෙන චරිතය වූයේ වෙන කවුරුවත් නොව මහින්දය. අනුරට පසු ඊළඟ නායකයා ලෙස මහින්ද භෞතීස්ම ලැබුවේ මේ පාද යාත්‍රාව හරහාය. අනුර හා සමානවම මහින්ද සමඟ මගේ සම්බන්ධය වැඩිදියුණු වූයේද මේ පාද යාත්‍රාවෙන් පසුවය.
කෙසේ වෙතත් පසුකාලීනව අනුර එජාපයට එක්වීමට තීන්දු කර එම පුවත දැනුම්දීම සඳහා මටද එන්න කියා අනුරගේ කාර්යාලයෙන් පණිවුඩයක් ලැබිණි. එම පණිවුඩය මට දැනුම් දුන්නේ දැනට ජීවතුන් අතර නොමැති ලාල් පෙරේරාය. ඒ අනුව රොස්මිඞ් පෙදෙසට ගිය මම ඒ වන විටත් එජාපයට යෑමට තීන්දු කර සිටි අනුරගෙන් විමසා සිටියේ මහින්දත් අනුර සමඟ යූ.ඇන්.පී.යට යනවාදැයි කියාය. එහිදී අනුර මට දුන්නේ අපූරු උත්තරයකි.
“මම මහින්දටත් ආරාධනා කරලයි තියෙන්නෙ. හැබැයි මිනිහ කට්ටයනෙ. එයා තාම වැට උඩ ඉන්නෙ. අපි ෆස්ට් රවුන්ඞ් එකේ ගියාට පස්සෙ එයා සෙකන්ඞ් රවුන්ඞ් එකේ එන්නම් කියල තමයි කියන්නෙ” යන්න එහිදී අනුර මට දුන් පිළිතුර විය. ඒ අනුව අවසානයේදී අනුර එජාපයට එක්වුවද මහින්ද තවදුරටත් ශ්‍රීලනිපයේම රැඳිණි. අනුරගේ එජාපගත වීමත් සමඟ මා සහ අනුර අතර පැවැති සමීප හිතවත්කම කෙමෙන් කෙමෙන් අඩුවී ගිය අතර, ඒ වෙනුවට ශ්‍රීලනිපයේ ඉතුරු වුණු මහින්ද සමඟ මගේ සබඳකම් වැඩිවීමට පටන් ගත්තේය.

නියම ගනුදෙනුව පටන් ගත් හැටි

මේ ආකාරයට මහින්ද සමඟ යම් සබඳතාවක් පැවැතුණද අප දෙදෙනා අතර නියම ගනුදෙනුව පටන් ගත්තේ 1994 චන්ද්‍රිකා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළාට පසුවය. මා එවකදී ලංකාදීප සතිඅන්ත දේශපාලන තීරය රචනා කළද සතිඅන්ත දේශපාලන තීරුවලට තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් මහින්දට ඒ තරම් පළපුරුද්දක් තිබුණේ නැත. කොටින්ම කියනවා නම් මහින්ද ඒ ගැන එතරම් දැනගෙන සිටියේ නැත. කෙසේ වෙතත් එකල සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයා වූ ලසන්ත වික්‍රමතුංගටද මහින්ද සමඟ සමීප සම්බන්ධතාවක් තිබිණි. අනුරගේ ලේකම්වරයකු ලෙස ලසන්ත කලක් කටයුතු කර තිබූ අතර, ඒ නිසාම මහින්ද සමඟද ලසන්තට සමීප සම්බන්ධයක් ගොඩනැඟී තිබිණි. ඒ අනුව ලසන්ත නිතරම මහින්ද මුණගැසීම සඳහා ආගිය අතර ආණ්ඩුව ඇතුළේ සිදුවුණ දේවල් ගැන ලසන්තද මහින්ද සමඟ කතා කිරීම පුරුද්දක් කරගෙන සිටියේය. මේ ආකාරයට වටින් ගොඩින් දේශපාලන තීරු සඳහා මහින්ද යම් යම් තොරතුරු ලබාදුන්නද මහින්ද හරිහැටි සතිඅන්ත දේශපාලන තීරු සඳහා තොරතුරු ලබාදීම ආරම්භ කළේ 1993 පළාත් සභා මැතිවරණයත් සමඟය. එතෙක් මහින්ද නොදැනුවත්ව කී යම් යම් කතා පුවත්පත්වල වාර්තා වීම හේතුකොටගෙන ඒවායේ රස මහින්දට දැනී තිබුණෙන් මහින්ද තව තවත් ආණ්ඩුවේ ඇතුළේ සිදුවන දෑ පිළිබඳ රසවත් තොරතුරු අපට ලබාදෙන්නට වුණේ දකුණු පළාත් සභා මැතිවරණයේදීය.

රත්වත්තේගේ ඩිෆෙන්ඩර් දෙක

ඒ ආකාරයට අපට දුන් රසවත් තොරතුරක් වූයේ 1993 දකුණු පළාත් සභා මැතිවරණයේදී සිදුවූ එක්තරා සිදුවීමකි. එක්තරා රාත්‍රියක මහින්ද සමඟ ග්‍රෙගරි පාරේ නිවෙසේදී මධුවිතක් තොලගාමින් සිටින අතර මහින්ද මේ කතාව අපට කියන්නට විය. එකල චන්ද්‍රිකාගේ ආරක්ෂාව භාරව කටයුතු කළේ කොළඹ දේශපාලනයේ ප්‍රධාන චරිතයක් වූ අනුරුද්ධ රත්වත්තේය. අනුරුද්ධ හම්බන්තොටට පැමිණ ඡන්ද කටයුතු ආරම්භ කිරීමට පෙර මහින්දලාට සහ ශ්‍රීලනිප පාක්ෂිකයන්ට ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් විශේෂ දේශනයක් ලබාදුන්නේය. මෙම දකුණු පළාත් සභා සටන එජාපයට ගල උඩ සටනක් වීම නිසා එජාපයද ඒ වන විට සිටියේ හොඳින් බැරිනම් නරකින් හෝ ඡන්ද සටන දිනන තැනකය. ඒ නිසා අනුරුද්ධ ඇවිත් මුලින්ම කළේ මහින්ද ඇතුළු කණ්ඩායමේ මොරාල් එක නග්ගන වැඬේය.
“අනුරුද්ධ එදා අපිට ඇවිල්ල ලොකු ලෙක්චර් එකක් දුන්නා. එයා අපිට කිව්ව කිසි දේකට බය වෙන්න එපා. අපි මේපාර ඕගොල්ලන්ගෙ ආරක්ෂාවට හමුදාවෙ වෙනම විශ්‍රාම ගිය ටීම් එකකුත් දාල තියෙනව. ඒ වගේම දැනට හමුදාවෙ ඉන්න ටීම් එකකුත් දාල තියෙනව. දැන් යූ.ඇන්.පී.ය අපිට හොඳටම බය වෙලා ඉන්නෙ. ඒ හින්ද ඒ අය මරුවිකල්ලෙන් තමයි දැන් වැඩ කරන්නෙ. සමහර විට මැරයො දාල මේකෙදි ඕගොල්ලන්ට ගහන්නත් පුළුවන්. හැබැයි කිසි දේකට බය වෙන්න එපා. ගැහුවොත් ඕගොල්ලොත් ආපහු ගහන්න. ඕගොල්ලන් ගහද්දි ඒ අයත් ගහයි. එතකොට අපි දාල ඉන්න ටීම් එක ජීප්වල පටස් ගාල එතන්ට එයි. ඒ අය ඔය වගේ ගෝරිවලටම පුරුදු වෙච්ච අය. ලේසි පහසු අය නෙමෙයි. ඊට පස්සෙ ඒ අය බැහැල අර කට්ටියට ගහල පන්නයි. ඒ හින්ද බය නැතුව ගේමට බහින්න කියල රත්වත්තෙ ඇවිල්ල අපිට කිව්ව. ඉතින් අපිත් අවුරුදු 17ක් තිස්සෙ ගුටිකාල ගුටි කාල මෙහෙම ආමි එකේ ආරක්ෂාවක් දෙනව කිව්වහම මොරාල් නැඟලයි හිටියෙ. පළමු සිද්ධිය වාර්තා වුණේ හම්බන්තොටදිමයි. යූ.ඇන්.පී. එකේ උන් ඇවිල්ල අපේ උන්ට ගැහුව. හැබැයි අපේ උන් නිකන් හිටියෙ නෑ රත්වත්තෙ කියපු කතාව නිසා ආපහු හැරිල ගැහුව. ඒ එක්කම පිටිපස්සෙන් ආව ජීප් දෙකක්. අපිට මතක් වුණේ රත්වත්තෙ කියපු ජීප් දෙක. ඉතින් අපේ එවුනුත් ගිහිල්ල දඩබඩ ගාල ජීප් දෙකට නැග්ග. බලන් ගියාම ඒකෙ ඇවිල්ල හිටියෙත් යූ.ඇන්.පී. එකේ උන්. උන් අපේ උන්ට අම්බානෙකට ගැහුව. පස්සෙ මුන් ටික මගේ ළඟට ආවහම මම ගිහිල්ල කම්ප්ලේන් දාල උසාවිත් ගිහින් අපේ උන් ටික බේරගන්න වැඩ කළා. අන්තිමට අනුරුද්ධ රත්වත්තෙගෙ කිසි කෙනෙක් පැත්ත පළාතෙ හිටියෙ නෑ.” යන්න මහින්ද එහිදී අපිට කී කතාව විය.
මේ කතාව මා රසවත් අයුරින් ලංකාදීප දේශපාලන තීරයේ වාර්තා කළ පසු සතිඅන්ත පුවත්පත්වලට දේශපාලන තොරතුරු ලබාදෙන්නේ මහින්ද බව චන්ද්‍රිකා පිල හඳුනාගත්හ. මහින්ද චන්ද්‍රිකාගේ ඉලක්කයක් බවට පත්වූයේ ඉන් අනතුරුවය.

ඒ.එස්.ගේ ටයි එකෙන් අල්ලා ගැහුවද

මේ ආකාරයට දකුණු පළාත් සභා මැතිවරණයේ ඇතුළත සිද්ධි සම්බන්ධයෙන් ඉතා රසවත් තොරතුරු ලබාදීමෙන් පසු සහ ඒවා වාර්තා කිරීමෙන් පසු මහින්දත් මාත් අතර පැවැති සබඳකම තවත් වැඩි විය. අපිද ආණ්ඩුවේ තොරතුරු වැඩි වැඩියෙන් ලබාගැනීම සඳහා මහින්දගේ පස්සෙන්ම වැටී සිටියෙමු. ඒ අනුව මෙම මිත්‍රත්වය ඉතා දැඩි එකක් වීමත් සමඟ එතෙක් පැවැති සම්ප්‍රදායන් බිඳ දමා කැබිනට් මණ්ඩලයේ තොරතුරු පවා අපත් සමඟ යහළුවන් මෙන් බෙදාහදා ගැනීමට මහින්ද කටයුතු කළේය.
චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මහින්ද මුලින්ම දැරුවේ කම්කරු සබඳතා ඇමැතිකමය. එහිදී මහින්ද කම්කරුවන් වෙනුවෙන් වෙනම ප්‍රඥප්තියක් සකස් කළ අතර ඊට අපි මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් මහින්දට ලබාදුන්නෙමු. ඉන්පසු මහින්ද තම විෂය පථයට අයත්ව තිබූ සේවක භාරකාර අරමුදලේ මුදල් ආයෝජනය කළ යුතු බවට ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කළේය. නමුත් එම යෝජනාවත් සමඟ එවකට මහ බැංකු අධිපතිවරයාව සිටි ඒ.එස්. ජයවර්ධන මහින්දට එරෙහිව අවිඅමෝරනු දැකගන්නට ලැබිණි. ඒ.එස්. යනු චන්ද්‍රිකාට අතිශය හිතවත් ප්‍රබල නිලධාරියෙක් විය. මේ ඊ.ටී.එෆ්. අරමුදල් ආයෝජනය කළ යුතු බවට මහින්ද ගෙනා යෝජනාවට ඒ.එස්. කෙතරම් විරුද්ධ වූවාද කියනවා නම් අවසානයේදී එය දෙදෙනා අතර විශාල ගැටුමක් බවට පත්විය. වරක් අපට ලැබුණු පුවතකින් කියැවුණේ මෙම කතාව ඇදී ඒමෙන් පසු කැබිනට් මණ්ඩලයෙන් අනතුරුව මහින්ද ඒ.එස්.ට පඩිපෙළේදී පහරදුන්නා යැයි කියාය.
මේ පුවත එකල මුළු මාධ්‍ය ක්ෂේත්‍රයම දෙදරුම්කෑ පුවතක් විය. ඒ අනුව මාධ්‍යවේදීන් දිගින් දිගටම මෙම ගැටුමේ තොරතුරු සොයා ගැනීමට උත්සාහ කළත් කිසිවකුත් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට ඉදිරිපත් වූයේ නැත. පත්තර කන්තෝරු අතර ලැව්ගින්නක් මෙන් මෙම කටකතාව පැතිර ගිය නිසා හීන්සීරුවේ මා කළේ මහින්දට ඇමැතුමක් ලබාදීමය. දුරකතනයෙන් කිසිදු තොරතුරක් නොකී මහින්ද සුපුරුදු පරිදි සිනාසෙමින් කීවේ “හැන්දෑවට අපේ ගෙවල් පැත්තෙ එන්නකො” යැයි කියාය. මහින්දගේ ඒ ආරාධනයට අනුව එදින රාත්‍රියේ මම ග්‍රෙගරි පාරේ පිහිටි මහින්දගේ නිවෙසට ගියෙමි. ආගිය තොරතුරු කතාබහ කිරීමෙන් අනතුරුව මාතෘකාවට පිවිසි මා මහින්දගෙන් අසා සිටියේ මේ කතාවේ ඇත්ත නැත්ත කුමක්ද කියාය. එවිට සුපුරුදු සිනාවෙන් මුව සරසාගත් මහින්ද මට මුළු සිද්ධියම මුල සිට අගට කියා සිටීමට පියවර ගත්තේය.
“ඒක නෙමෙයි ඇත්තටම එතැන වුණේ. ඔය මනුස්සය මම මිනිස්ටි්‍රයට ආපු දවසෙ ඉඳල මට කචල් දානව. කිසි වැඩක් කරන්න දෙන්නෙ නෑ. අද කැබිනට් එකේදි මේක ගැන ලොකු ආගියුමන්ට් එකක් අපි අතර ගියා. මටත් යකා නැඟලයි හිටියෙ. කැබිනට් එක ඉවර වෙලා මම එද්දි මිනිහ ඉන්නව පඩිපෙළේ. මිනිහව දැක්ක විතරයි මම ළඟට ගිහින් ටයි එකෙන් අල්ලල උස්සල ගත්ත. හැබැයි මට ගහන්න හම්බුණේ නෑ. මොකද වටේ හිටපු ඇමැතිවරු ටික ඇවිල්ල මාව අල්ලගත්ත. හැබැයි ඊට පස්සෙ චන්ද්‍රිකා මට කෝල් කරල ඇහුව මොකක්ද වුණේ කියල. මම ඉතින් වෙච්ච සිද්ධියම එයාට කිව්ව” යන්න එහිදී මහින්ද මට දුන් උත්තරය විය. කැබිනට් මණ්ඩලය තුළ සිදුවූ සිදුවීමක් පිළිබඳව පළමු වරට තහවුරු කර මහින්ද මට කියා සිටි පළමු අවස්ථාව එය විය. මේ පුවතට එකල සතිඅන්ත දේශපාලන තීරු ලිපිවල විශාල ඉඩකඩක් වෙන්විය.

පත්තරවල වීරයා වෙයි

මේ ආකාරයට දිගින් දිගටම මහින්ද සම්බන්ධයෙන් සතිඅන්ත දේශපාලන තීරු ලිපිවල පුවත් වාර්තා වීමත් සමඟ මහින්දටද අමුතුම තාලයේ ප්‍රතිරූපයක් රට ඇතුළේ හැදෙන්නට විය. අනෙක එම තීරු ලිපිවල ගිය සියලුම තොරතුරු පළවූයේ මහින්දව වීරයාගේ චරිතයට අන්දවාය. මහින්ද ආණ්ඩුව ඇතුළේ සිට කැරලි ගසන අමුතු වීරයකුගේ චරිතයට මාරු වූයේ මේ පළවූ පුවත් හරහාය. කොටින්ම කියනවා නම් මහින්ද පවා නොසිතූ විරූ ආකාරයේ ප්‍රතිරූපයක් මේ සතිඅන්ත දේශපාලන ලිපිවල පළවූ පුවත් හරහා මහින්දට ආරෝපණය වන්නට විය. මේ සියලු සිදුවීම්වලින් චන්ද්‍රිකා වටහාගත් එක් දෙයක් වූයේ ආණ්ඩුව ඇතුළේ තොරතුරු සියල්ලම මාධ්‍යයට ලීක් කරන්නේ මහින්ද බවය. සහෝදර මාධ්‍යවේදීහුද මහින්ද ආණ්ඩුවේ තොරතුරු මාධ්‍යයට දෙන හොඳ තොරතුරු මූලාශ්‍රයක් බව දැන මහින්ද පස්සේ පන්නන්නට පටන්ගත්හ. මහින්ද සමඟ කිසි ලෙසකින් කටයුතු නොකළ මාධ්‍යවේදීහු පවා මේ අතර සිටියහ. එහි ප්‍රතිඵල වැඩි කල් යෑමට මත්තෙන් මහින්දට ලැබිණි. ඒ මහින්දගේ කම්කරු ඇමැතිකම චන්ද්‍රිකා විසින් ගලවා දැමීම හරහාය.

ජර්මනියේදී ඇදෙන් බිමට වැටෙන්න දැක්ක නපුරු හීනය

මහින්ද ඒ වන විට සිටියේ ජර්මනියේ කම්කරු සමුළුවකට සහභාගි වෙමිනි. චන්ද්‍රිකා කැබිනට් සංශෝධනයක් කරන මුවාවෙන් මහින්ද ජර්මනියේ සිටින අතරතුරදීම මහින්දගේ කම්කරු ඇමැතිකම ගලවා ඔහුව ධීවර ඇමැති ලෙස පහත හෙළීමට පියවර ගත්තාය. මේ පිළිබඳව වටින් ගොඩින් ආරංචි වීමත් සමඟ ජර්මනියේ සිට මහින්ද මට කතා කළේය. එම කතාවේ ඇත්ත නැත්ත විමසීමෙන් අනතුරුව මාද කියා සිටියේ කතාව ඇත්ත යැයි කියාය. එවිට මහින්ද මට කීවේ “චන්ද්‍රිකා කරපු මේ වැඬේ හින්ද නෙමෙයි. අපේ චිචීට (රෝහිත රාජපක්ෂට) පොඩි කරදරයක් වෙලා. ඒ හින්ද මම වේලාසනින් ජර්මනියෙන් ඉඳල ලංකාවට එන්න ලෑස්ති වෙලයි ඉන්නෙ” යැයි කියාය. එසේ සිය ජර්මන් සංචාරය කෙටි කොට ලංකාවට පැමිණි මහින්ද ඉන් අනතුරුව වහාම චන්ද්‍රිකා මුණගැසීමටද කටයුතු කළේය. පසුව එදින රාත්‍රියේ මා මුණගැසුණු මහින්ද ජර්මනියේදී තමන්ට සිදුවූ අකරතැබ්බය පිළිබඳව අමුතුම විස්තරයක් මා හමුවේ තැබුවේය.
“මම ජර්මනියෙ ඉඳන් හදිසියේම ලංකාවට ආවෙ ඇමැතිකම නැතිවෙච්ච හින්ද නෙමෙයි. එහෙදි මට මාර වැඩක් වුණා. එදා මම හෝටලයේ ඇඳේ නිදාගෙන ඉද්දි කවදාවත් නැතිව හීනෙන් ගෙදර පෙනිල මාව ඇඳෙන් බිමට වැටුණ. මට හිතුණ මොකක් හරි මෙහෙ කරදරයක් වෙලා තමයි කියල. ඒ පාර මම නැඟිටලා ගෙදරට කෝල් එකක් ගත්ත. එතකොට තමයි මට ගෙදරින් කිව්වෙ චිචීයි, යෝෂිතයි සෙල්ලම් තුවක්කුවලින් වෙඩි තියාගෙන එක ප්ලාස්ටික් කෑල්ලක් ඇවිල්ල චිචීගෙ ඇහේ වැදිල කියල. චිචීගෙ ඇහැ ඇතුළෙන් දෙකට පැළිල. ඊට පස්සෙ මෙහෙ දොස්තරවරු කිව්වෙ චිචීව සිංගප්පූරු අරන් යන්න කියලයි. කොහොම හරි මම ලංකාවට ඇවිල්ල ගෙදර ගිහින් පැයක් ගියේ නෑ මෙන්න එනව පී.බී. ජයසුන්දර. එයා මට කිව්ව මැඩම් ෆිෂරීස් මිනිස්ටි්‍රය මට දුන්න කියල, ඒක යටතට ඕන ආයතන ටික අහන් එන්න කියල. මමත් ඉතින් මට ඕන ආයතන ටික ඔක්කොම කිව්ව. මේව මට දුන්නෙ නැත්නම් මම ඇමැතිකම ගන්නෙත් නෑ කියල චන්ද්‍රිකාට කියන්න කියල මම පී.බී.ට කිව්ව” යනුවෙන් එහිදී මට මහින්ද කියා සිටියේය.
අන්තිමේදී මහින්දගේ කම්කරු ඇමැතිකම ගලවා ධීවර ඇමැතිකම ලබාදී තත්ත්වයෙන් පහතට ඇද දැමීමට චන්ද්‍රිකා කටයුතු කළද එය සතිඅන්ත දේශපාලන තීරුවල පළවූයේ චන්ද්‍රිකා මහින්දගෙන් පළිගැනීමට කටයුතු කර ඇති නමුත් මහින්ද තමන්ට අවශ්‍ය සියලුම ආයතන ලබාගෙන සටන ජයග්‍රාහීව අවසන් කළ ආකාරයටය. ඒ හරහාද මහින්දගේ චරිතය කැරලිකාර නායකයකු ලෙස රට ඇතුළේ ගොඩනැඟිණි. ඒ එක්කම මහින්දට ආණ්ඩුව ඇතුළේ හතුරන්ද විශාල වශයෙන් ඇතිවන්නට විය. නමුත් මහින්දද කිසි විටෙකත් වැඬේ අත්හරින බවක් දැකගන්නට තිබුණේ නැත. එහි ප්‍රතිඵලය වූයේ අප හා මහින්ද අතර පැවැති සම්බන්ධය තව තවත් තීව්‍ර වීමය.

මාළුවලින් වැඩ පෙන්වයි

එකල මා හැමදාම බදාදා දිනයේදී දේශපාලන තීරු ලිපියට තොරතුරු ලබාගැනීම සඳහා මහින්දට ඇමැතුමක් ලබාදීම පුරුද්දක් විය. එවිට මහින්දද කියන්නේ “රෑට ගෙවල් පැත්තේ එන්න” යැයි කියමින් මට ආරාධනා කිරීමය. ඒ අනුව සෑම බදාදා රාත්‍රියකම මහින්දගේ ග්‍රෙගරි පාරේ පිහිටි නිවෙසේ පැය ගණන් අපි කතාබස් කළෙමු. එකට කෑවෙමු. එකට බීවෙමු. ආණ්ඩුව ඇතුළේ සිදුවන අතිශය රහසිගත දෑ පවා මේ සාකච්ඡාවලදී මහින්දගේ කටින් එළියට ආවේය. ඒ අනුව මහින්ද නිසා අපගේ දේශපාලන තීිරු ලිපිත්, දේශපාලන තීරු ලිපි නිසා මහින්දත් රට ඇතුළේ ජනප්‍රිය වීමට පටන් ගත්තේය. මෙම සාකච්ඡාවලදී ඇතැම් අවස්ථාවල චන්ද්‍රිකා තමන්ට ධීවර ඇමැතිකම ලබාදීමට බලපෑ අතිශය පෞද්ගලික හේතු පවා මහින්ද මට කියා සිටියේය. නමුත් ඒවා කිසිදු දිනෙක අප පුවත්පත්වල වාර්තා කිරීමට නොගියේ එම තොරතුරු මාධ්‍යවල පවා වාර්තා කිරීමට නොහැකි තරම් අතිශය පෞද්ගලික ඒවා නිසාය.
මේ ආකාරයට අප අතර සිදුවන සාකච්ඡාවලදී මහින්ද නිතරම කියා සිටියේ “මේ ගෑනි මට දුන්නෙ මාළු අල්ලන්නනෙ” යැයි කියාය. මේ නිසාම අපද, මහින්දගේ හිතවතුන්ද නිතරම දුන්නේ ධීවර අමාත්‍යාංශයෙන් රටට වැඩක් කොට මහින්ද ඉස්මතු වන ආකාරයේ උපදෙස්ය. මහින්දගේ යහළුවකුගෙන් ලැබුණු එවන් එක් උපදෙසක් වූයේ ධීවර නිවාස ව්‍යාපෘතියය. තවත් ලැබුණු උපදේශයකින් කියැවුණේ කරදිය ධීවර කර්මාන්තය පමණක් නොව මිරිදිය ධීවර කර්මාන්තයද මහින්ද යටතට ගන්නා ලෙසය. මන්දයත් සෑම ගමකම වැවක් පිහිටා තිබීම නිසා මිරිදිය ධීවරයන්ට උදව් උපකාර කිරීම හරහා විශාල වැඩ කොටසක් කළ හැකි බව ඊට හේතුව වී තිබිණි. ඒ අනුව වහාම මහින්ද චන්ද්‍රිකාට කතාකොට මිරිදිය කර්මාන්තයද තමන් යටතට ගැනීමට කටයුතු කළේය. එහි සභාපතිවරයා ලෙස පත්කළේ මහින්දගේ ඥාතියකු වූ වෛද්‍ය ලලිත් චන්ද්‍රදාසය. එකල මට රතුකුරුසය සමඟ සමීප සබඳතාවයක් තිබුණ බැවින් වරෙක මා මහින්දට කියා සිටියේ රතුකුරුසය සමඟ එක්ව සියලුම ධීවරයන්ට ප්‍රථමාධාර කට්ටලයක් දීමට කටයුතු කරන ලෙසටය. මගේ යෝජනාව හිස් මුදුනින් පිළිගත් මහින්ද වහාම ලලිත්ට කතාකොට මිරිදිය ධීවරයන්ට වෛද්‍ය ප්‍රථමාධාර කට්ටලයක් ලබාදීමට පියවර ගන්නා ලෙස දැනුම්දී සිටියේය. මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලට එකල මා සමඟ පසුකාලීනව මහින්දගේ පාර්ලිමේන්තු ලේකම්වරයා බවට පත්ව සිටි කුමාරසිරි හෙට්ටිගේද එක්ව සිටියේය.
මේ ආකාරයට මහින්ද මාධ්‍ය අතර වීරයෙක් වීමත් සමඟ චන්ද්‍රිකාගේත්, චන්ද්‍රිකාට හිතවත් කල්ලියේත් ප්‍රධාන ඉලක්කයක් බවට මහින්ද පත්විය. අප මාධ්‍ය හරහා මහින්ද වීරයකු ලෙස ඉස්මතු කරන්න කරන්න මහින්ද කෙරෙහි චන්ද්‍රිකාගේ වූ විරෝධයද උත්සන්න වන ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව මහින්ද පසුපස පැන්නීමට ඔත්තුකාරයන් පවා යෙදවිණි. මහින්ද යන එන තැන්, කතාබහ කරන පුද්ගලයන්, හමුවන අය කවුරුන්ද යන්න සොයාබැලීමට වෙනම කණ්ඩායම් පත්කෙරිණි. මුලදි මුලදි මහින්ද ඉතා සැහැල්ලුවෙන් යුතුව මේ තත්ත්වය භාරගත්තද පසුකාලීනව මහින්දද මේ සම්බන්ධයෙන් තරමක් කලබලයට පත්ව සිටින ආකාරයක් දැකගත හැකි විය. ඒ සම්බන්ධ එක් සිද්ධියක් වූයේ බදාදා දවසක සුහද කතාබහක නිරතව සිටිද්දී මහින්ද අපට කියා සිටි දාස මුදලාලිගේ සිද්ධියය.
“දාස මුදලාලි එදා ඉඳන්ම උදව් කළේ ශ්‍රී ලංකා එකට. උදව් කරලම ඒ මනුස්සය විනාශ වෙලා ගියා. මැතිනිට උදව් කළා. කිසි වැඩක් වුණේ නෑ. පස්සෙ දාස මුදලාලිගෙ පුතා චන්ද්‍රිකා ගාවට ගියත් චන්ද්‍රිකා එයාට උදව් කළෙත් නෑ. මං මේ බලන්නෙ දාස මුදලාලිගෙ පුතාට මොනාහරි දෙයක් ලෑස්ති කරල දෙන්න. ඩී.ආර්. විජේවර්ධන මාවතේ ෆිෂරීස් එයට අයිති රෙස්ටුරන්ට් එකක් තියෙනවා. මං බැලුවෙ ඒක දාස මුදලාලිගෙ පුතාට දෙන්න” යනුවෙන් කී මහින්ද කීවා වාගේම එම අවන්හල දාස මුදලාලිගේ පුතාට ලබාදීමට කටයුතු කළේය.

තරහකාරයන්ට දුන්න ඩිනර් එක

ඒ වකවානුව වන විට චන්ද්‍රිකා මහින්දට පන්න පන්නා පහර දෙන තත්ත්වයක් උද්ගතව තිබිණි. එම පහරදීම කෙතරම් දරුණුවට ගියාද කියනවා නම් මහින්දට උදව් කරන මාධ්‍යවේදීන්ගේ නම්, ගම් පවා කියමින් ප්‍රහාර එල්ල කරන තැනට චන්ද්‍රිකා පත්ව සිටියාය. ඒ අනුව තමන්ට එරෙහිව යන මාධ්‍යවේදීන්ද සමබර කරගෙන ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යන ආකාරය සම්බන්ධයෙන් බදාදා රාත්‍රියක අප අතර කතාබහක් ඇතිවිය. මහින්ද ඒ පිළිබඳව මගෙන් විමසද්දී මා එක්වරම කියා සිටියේ “අපි ඔක්කොටම එන්න කියල හොඳ ඩිනර් එකක් දෙමු. ඔබතුමා ධීවර ඇමැති හින්ද තියෙන ඔක්කොම මාළු වර්ග එක එක විදිහට හදල මේ අයට කන්න දෙමු” යැයි කියාය. මගේ යෝජනාව මහින්දට අල්ලලා ගියේය. වහාම ඒ අසල සිටි මහින්දගේ හිතවතකු වූ ‘රත්තරන් තිලක්ට’ කතා කළ මහින්ද “තුෂාර මරු අයිඩියා එකක් දුන්නා. මට ගහන එවුන්ටයි, බනින එවුන්ටයි ඔක්කොම එන්න කියල අපි හොඳ ග්‍රෑන්ඞ් ඩිනර් එකක් දෙමු. ඒකට එස්.බී.ලටයි, මංගලලටත් එන්න කියමු. එන්න කියල හොඳට කන්න දෙමු” යැයි කී මහින්ද වහාම රාත්‍රිභෝජන සංග්‍රහය සඳහා දින වෙන් කිරීමට පියවර ගත්තේය. ඊට ආණ්ඩුවේ සිටින සියල්ලන්ටත්, තමන්ට ගහන නොගහන සියලු මාධ්‍යවේදීන්ටත් ආරාධනා කිරීමට මහින්ද කටයුතු කළේය. ඒ අනුව එකල මා දුටු විශාලතම රාත්‍රි භෝජන සංග්‍රහය පැවැත්වුණේ මහින්දගේ ග්‍රෙගරි පාරේ පිහිටි නිල නිවසේදීය. නම්, ගම් කීමට නොහැකි නමුත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන් විශාල පිරිසක් ඊට සහභාගිව සිටියහ. මංගල, එස්.බී. ඊට නොපැමිණියද චන්ද්‍රිකාගේ ඔත්තුකාර නියෝජ්‍ය ඇමැතිවරුන් කිහිපදෙනකුම ඊට එක්ව සිටින ආකාරයක් දැකගන්නට ලැබිණි. එසේ පැමිණි ඔවුහු රාත්‍රි භෝජන සංග්‍රහයේ සියලු තොරතුරු එසැණින් චන්ද්‍රිකාට වාර්තා කිරීමටද කටයුතු කළහ. මහින්දද මේ බව නොදැන සිටියා නොවේ. ඒ අනුව වරින්වර අප ළඟට පැමිණි මහින්ද ඉඟිබිඟිවලින් විවිධ මැති ඇමැතිවරුන් පෙන්වමින් “අන්න චන්ද්‍රිකාගේ ඔත්තුකාරයෙක් ආවා”, “අන්න චන්ද්‍රිකාට දැන් කෝල් කරල ඔක්කොම විස්තරේ කියනවා” යනාදී වශයෙන් සිනාසෙමින් කියන්නට විය. චන්ද්‍රිකා මහින්ද සමඟ තවත් වෛර බැඳගැනීමට මේ රාත්‍රි භෝජන සංග්‍රහයද තවත් එක් හේතුවක් විය.
කෙසේ වෙතත් අද මෙන් එකල නිතරම බැසිල් රාජපක්ෂගේ මුහුණ අපට මහින්දගේ නිවෙසේදී දැකගන්නට නොලැබිණි. නමුත් බැසිල්ගේ මුහුණ දැකගත හැකි වූ කාලයක් වසර කිහිපයකට වරක් එළැඹිණි. ඒ මැතිවරණ සමයන්වලදීය. ඒ කාලවලදී ජනාධිපතිවරණයද, මහ මැතිවරණයද, පළාත් සභා මැතිවරණයද, පළාත් පාලන මැතිවරණයද යැයි වෙනසක් නොමැතිව බැසිල් ඇමෙරිකාවේ සිට ලංකාවට පැමිණ මහින්දගේ සියලු ඡන්ද කටයුතු මෙහෙයවනු දැකගත හැකි විය. බැසිල් අපි මහින්දගේ ගෙදරදී දකින්නේ ඒ කාලයටය. ඒ අනුව අද මෙන්ම එදත් මහින්දගේ ඡන්ද වැඩකටයුතු සියල්ල සිදුකළේ බැසිල් විසින්ය.

මහින්දට ඉන්දියාවේදී ජ්‍යොතිෂවේදියකු කී අනාවැකිය, කැබිනට් රිපෝටර් නම වැටුණු ආකාරය, මහින්ද පස්සේ ඇමැතිවරු පැන්නූ ආකාරය, කැබිනට් තොරතුරු දීමට දි.මු., ජෙයරාජ් අල්ලා දුන් ආකාරය, මහින්දගේ ගෙදර සිටි වඳුරාගේ කතාව, ලංකාදීපයෙන් ඉවත්ව ‘මව්බිම’ පටන්ගත් හැටි, තොප්පිගල වීරයා වූ පරාක්‍රම පන්නිපිටියගේ කතාව, ලසන්ත අත්අඩංගුවට ගැනීම ඇතුළු විශේෂ සිදුවීම් කිහිපයක් ලබන සතියේ බලාපොරොත්තු වන්න.

තුෂාර ගුණරත්න

SendShareShare
Previous Post

කාෙරෝනා දෙවැනි රැල්ලක් ගැන PHIලාගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

Next Post

ජන්ද නීති කඩපු සිරිසේනගේ රැස්වීම නවත්වයි

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.