පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අපි අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් අරලියගහ මන්දිරයේ කිහිපදෙනකුට කොරෝනා රෝගය වැළඳී ඇති බවටත්, ඒ හේතුවෙන් අරලියගහ මන්දිරය වසා දමා ඇති බවටත් අනාවරණය කළෙමු. එය තහවුරු කිරීම සඳහා උදාහරණ කිහිපයක්ද පෙන්වා දුන් අප අරලියගහ මැදුර තුළ කිසිදු ආකාරයේ දේශපාලන කටයුත්තක් සිදු නොවන බවද කියා සිටියේය. විශේෂයෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල කාර්යාලය අරලියගහ මන්දිරය වුවද අගමැතිවරයා එහි නොපැමිණෙන බවත්, එපමණක් නොව පාර්ලිමේන්තුවට හෝ නොපැමිණෙන බවත් අපි එහිදී පෙන්වා දුන්නෙමු. අවම වශයෙන් අගමැතිවරයා තම අමාත්‍යාංශය පිළිබඳව පැවැත්වුණු අය වැය විවාදයේදී පාර්ලිමේන්තුවට හෝ පැමිණ නොසිටි බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු.
අරලියගහ මැදුර ලොක්ඩවුන් කතාව අර්බුදයක් වෙයි
කෙසේ වෙතත් අරලියගහ මන්දිරය වසා දමා ඇති බවට වෙබ්අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා මෙන්ම මාධ්‍යයද තොරතුරු වාර්තා කිරීමෙන් පසු අගමැති මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. නොඑසේ නම් රොහාන් කියා සිටියේ අදාළ මාධ්‍ය වාර්තා සියල්ල වැරැදි බවත්, අරලියගහ මන්දිරය වසා දමා නොමැති බවත්ය. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ කුඩා කාර්ය මණ්ඩලයකින් එහි කටයුතු සිදුකරගෙන යන බව සිය නිවේදනය මඟින් වැඩිදුරටත් කියා සිටි රොහාන් ඊටත් අමතරව බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කාර්ය සාධක බළකායේ කටයුතුද කිසිදු බාධාවකින් තොරව අරලියගහ මන්දිර පරිශ්‍රයේ සිට පවත්වාගෙන යන බව දැනුම්දී සිටියේය.
රොහාන් නිකුත් කළ එම සම්පූර්ණ නිවේදනය මෙසේය.
“අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ අරලියගහ මන්දිරයේ සේවය කරනු ලබන කිසිඳු නිලධාරියෙකුට කොවිඞ්-19 රෝගය වැළඳී නොමැති බවට සහතික කරමි.
කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් අරලියගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇති බවට ජාතික පුවත්පතක පළ වී ඇති පුවත සාවද්‍ය මෙන්ම පදනම් විරහිත පුවතක් වන අතර එහි කිසිඳු සත්‍යතාවයක් නොමැත.
කොවිඞ්-19 තත්ත්වය හමුවේ රජය හා සෞඛ්‍ය අංශවලින් නිකුත් කර ඇති උපදෙස්වලට අනුකූලව අග්‍රාමාත්‍ය කාර්යාලය මෙන්ම, අරලියගහ මන්දිරයේ දෛනික රාජකාරී කටයුතු කිසිඳු බාධාවකින් තොරව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පවත්වාගෙන යනු ලබයි.
අග්‍රාමාත්‍ය කාර්යාලය හා අරලියගහ මන්දිරයේ රාජකාරී කටයුතු සඳහා කැඳවා ඇත්තේ අන් රාජ්‍ය ආයතන, අමාත්‍යංශවල මෙන් සේවයට අත්‍යවශ්‍ය නිලධාරීන් පිරිසක් පමණි.
එසේම, ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යනු ලබන කාර්ය සාධක බළකායේ කටයුතු ද කිසිඳු බාධාවකින් තොරව අරලියගහ මන්දිර පරිශ්‍රයේ සිට පවත්වාගෙන යනු ලබයි.
කොවිඞ් ආසාදිත පුද්ගලයින් හමුවී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයකිනි.
අග්‍රාමාත්‍ය කාර්යාලය හා අරලියගහ මන්දිරය තුළ රාජකාරියේ නියුතු ආරක්ෂක අංශ නිලධාරීන් පෙර පරිදි රාජකාරී කටයුතුවල නියැළී සිටින බවද අවාධාරණය කරමි.
රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්”
බැසිල් කතාව ප්‍රතික්ෂේප කරයි
රොහාන්ගේ මෙම මාධ්‍ය නිවේදනය මඟින් අරලියගහ මන්දිරයේ කිසිදු ගැටලුවක් නොමැති බව අනාවරණය කෙරුණද තත්ත්වය තරමක් බරපතළ අතට පෙරළුණේ බැසිල් රාජපක්ෂ මහතා සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතකට ලබාදී තිබුණු විශේෂ ප්‍රකාශයත් සමඟය. බැසිල් එම සාකච්ඡාව ලබාදීමට බලපෑ එක්තරා හේතුවක්ද තිබිණ. ඒ රොහාන්ගේ නිවේදනයේ බැසිල් ගැනද සඳහන් කොට තිබීමය. ඒ අනුව රොහාන්ගේ නිවේදනය සම්පූර්ණයෙන්ම කනපිට පෙරළමින් බැසිල් කියා සිටියේ රොහාන් නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් අසත්‍යයක් යැයි කියාය.
“ඒ නිකුත් කරල තියෙන නිවේදනය සම්පූර්ණයෙන්ම බොරුවක්. අරලියගහ මන්දිරය දැන් තියෙන්නෙ ලොක්ඩවුන් කරලා. ඒ වගේම මට අරලියගහ මන්දිරේ කාර්යාලය පාවිච්චි කරන්නත් බෑ. ඔබලාට ඒ ගැන බලාගන්න අවශ්‍ය නම් දැන් කවුරුහරි අරලියගහ මන්දිරයට යවන්න. ඒ ස්ථානය සම්පූර්ණයෙන්ම වහලයි තියෙන්නෙ. ඒකෙ කාර්ය මණ්ඩලයට කියල තියෙන්නෙ පිටත ඉඳන් වැඩ කරන්න කියලයි. ගෙවල්වල ඉඳල වැඩ කරන්න කියලයි…” යනුවෙන් ප්‍රකාශ කොට තිබූ බැසිල් අගමැති මාධ්‍ය ලේකම් රොහාන්ටද දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කර තිබිණ. ඒ ඔහු රාජකාරිය කිරීමට නොදන්නා බව කියමිනි.
රොහාන්ටත් දැඩි ප්‍රහාරයක්
“අගමැතිතුමාගෙ මාධ්‍ය ලේකම්වරයා දන්නෙ නෑ ඔහු කරන්නෙ මොකක්ද කියලා. මේ විදිහට බොරු කියන එකෙන් ඒ අය මහින්ද රාජපක්ෂ අගමැතිතුමාවත් හෑල්ලුවට ලක්කරනවා. එතුමාව ජනතාව අතර අප්‍රසාදයට ලක්කරනවා. ඒ නිවේදනයෙ මම ගැන කියල තියෙන එකත් සම්පූර්ණ අසත්‍යයක්. මේවා සිදුනොවිය යුතු දේවල්. ඒ අයට මෙහෙම කරන්න කිසිම ලයිසන් එකක් දීලා නෑ. අගමැතිතුමාට මේව හංගන්න වුවමනාවක් නෑ. එතුමා එළිපිට වැඩ කරන කෙනෙක්. ඒ වගේම අපි හැමදෙයක්ම ජනතාවට කියන්න ඕනෙ. ඒව ජනතාවගෙන් හංගන්න හොඳ නැහැ. අරලියගහ මන්දිරයේ ඇත්ත තත්ත්වය ජනතාවට කිව්ව කියල මොකක්ද වෙන වැරැද්ද. අඩුම තරමෙ අගමැතිතුමාවත් අරලියගහ මන්දිරය ලොක්ඩවුන් කරපු දවසෙ ඉඳන් එතැනට යන්නෙ නැහැ….’ යනුවෙන්ද බැසිල් එහිදී සඳහන් කර තිබිණ.
බැසිල් එම ඉංග්‍රීසි පුවත්පතට අනාවරණය කර ඇති ආකාරයට අරලියගහ මන්දිරය ලොක්ඩවුන් කර ඇත්තේ නොවැම්බර් 18 වැනි දින සිටය.
එදින සිට ඔහුට අරලියගහ මන්දිරය තුළ කිසිදු කාර්යයකට සහභාගි වීමට හෝ අරලියගහ මන්දිරයේ කිසිදු සාකච්ඡාවක් පැවැත්වීමට ඉඩප්‍රස්ථා ලැබී නොමැත. ඒ අනුව කොවිඞ් කාර්ය සාධක බළකායේ ප්‍රධානියා ලෙස මෙන්ම ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානියා ලෙසද බැසිල් ඊට අදාළ සාකච්ඡා පවත්වා ඇත්තේ විවිධ ස්ථානවලය.
බැසිල් සාකච්ජා තියපු තැන්
“මං අවස්ථා කිහිපයකදීම බස්නාහිර ආණ්ඩුකාරතුමා වන එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාටත් අමාත්‍යවරුන් කිහිපදෙනකුටත් කතා කළා. ඒ තාවකාලිකව මේ සාකච්ඡා පැවැත්වීම සඳහා සුදුසු තැනක් හොයාගන්න. මට එහෙම හරි තැනක් නැහැ.
මේ සමහර සාකච්ඡා තියන්න බත්තරමුල්ලේ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලය පාවිච්චි කරන්නත් බැහැ. මොකද ඒක ආණ්ඩුවේ තැනක් නෙමෙයි. පහුගිය සිකුරාදා මම තියපු සාකච්ඡා හතරෙන් තුනක්ම තිබ්බේ බත්තරමුල්ලේ තියෙන මහාමාර්ග අමාත්‍යාංශයේ දේශන ශාලාවලයි. ඉතාම වැදගත් කටයුතු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්න මට මගේ නිලධාරීන් සියල්ලන්ම එතැනට කැඳවන්න සිදුවුණා.
මොකද ඒ සාකච්ඡා නවත්වන්න බැහැ. මට කාටවත් කියන්න බැහැ අරලියගහ මන්දිරය වහල තියෙන්නෙ. ඒක හින්ද ගෙදර ඉන්න කියල. මට ඒක සමාවට කාරණයක් කරගන්න බැහැ. සාකච්ඡා තියන්න තැනක් නැහැ කියලා මට ඒවා නොතිය ඉන්නත් බැහැ…” යනුවෙන් එහිදී බැසිල් සඳහන් කර තිබිණ.
මහින්ද පත්තරේ දැක්කේ පෝය දවසේ උදේ
මේ තත්ත්වය යටතේ මහින්ද ඒ සතියම සිටියේ විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවසට වීය. දැඩි සෞඛ්‍ය ආරක්ෂක උපක්‍රම අනුගමනය කරන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලැබී තිබූ උපදෙස් හේතුකොටගෙන මහින්ද දින පහකට ආසන්න කාලයක් කිසිදු කාර්යයක් සඳහා එළියට බැස්සේවත් නැත. මහින්ද මෙන්ම මහින්දගේ බිරිය වූ ශිරන්තිද පී.සී.ආර්. පරීක්ෂණවලට සහභාගි වූ අතර ඒ සියල්ලෙහිම ප්‍රතිඵල වූයේද ‘නෙගටිව්’ යන්නය. මෙසේ දින පහකට අධික කාලයක් ඇතුළටම වී සිටි මහින්ද පළමු වතාවට එළියට පැමිණියේ ඒ වන විට ලංකාවට පැමිණ සිටි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා මුණගැසීම සඳහාය. ඒ පසුගිය බ්‍රහස්පතින්දා (26දා) දිනයේදීය. ඉන් අනතුරුව සිකුරාදා දිනයේදී (27දා) ශ්‍රී ලංකාවට පැමිණ සිටි මාලදිවයින් ආරක්ෂක අමාත්‍යවරිය වූ මරියා ඩිඩී මහත්මිය මුණගැසීම සඳහාද මහින්ද පියවර ගෙන තිබිණ. ඒ සතියටම මහින්ද ප්‍රසිද්ධියේ පෙනී සිටි අවස්ථා දෙක වූයේ ඒ දෙකය.
ඉන් අනතුරුව පසුගිය ඉරිදා (29දා) මහින්ද නැවැත වතාවක් ප්‍රසිද්ධියේ පෙනී සිටීමට පියවර ගත්තේ වප් පුන් පොහෝ දිනය නිමිත්තෙන් විජේරාම නිල නිවසේ පැවැති පෝදා දහම් වැඩසටහන සඳහාය. එම අවස්ථාවට ශිරන්තිද සහභාගිව සිටියාය. එම ඉරිදා දිනය වන විට බැසිල් අරලියගහ මන්දිරයට සම්බන්ධ පුවත ප්‍රතික්ෂේප කරමින් ඉංග්‍රීසි පුවත්පතට ලබාදී තිබූ සම්මුඛ සාකච්ඡාවත් ප්‍රසිද්ධ වී තිබීම හේතුවෙන් දේශපාලන ක්ෂේත්‍රය තරමක් උණුසුම් වී තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. මහින්ද එම පුවත දුටුවේ පෝදා දහම් වැඩසටහනට සහභාගි වී සිටි අතරවාරයේදීය. එහිදී මහින්දගේ ලේකම්වරයෙක් අදාළ පුවත මහින්දට පෙන්වීමෙන් පසු මහින්ද කළේ එක හුස්මට එය කියවා දැමීමය. ඉන් අනතුරුව මහින්ද කළේ තමාට තරමක් එපිටින් සිටි සිය මාධ්‍ය ලේකම්වරයා වූ රොහාන් වැලිවිටටද තමා ආසන්නයට එන ලෙස සංඥා කිරීමය. ඒ අනුව රොහාන්ටද එම පුවත පෙන්වීමට මහින්ද පියවර ගත්තේය. ඒ අනුව අවසානයේදී අගමැති කාර්යාලය සූදානම් වූයේ එම පුවත සම්බන්ධයෙන් වහාම නිවැරැදි කිරීමක් අදාළ පුවත්පතට යොමුකිරීමටය. නමුත් එහි සිටි බොහෝ දෙනා එය අනවශ්‍ය සංවාදයක් සමාජය තුළ මතුකිරීමක් වන බැවින් නිවැරැදි කිරීමක් අවශ්‍ය නොවන බවට සඳහන් කිරීම නිසා එම සිදුවීම එතැනින් අවසන් විය.
රොහාන් යාළුවන්ට කියපු කතාව
කෙසේ වෙතත් බැසිල් ඉංග්‍රීසි පුවත්පතට අදාළ ප්‍රකාශය ලබාදෙමින් රොහාන්ව දැඩි ලෙස විවේචනය කිරීම නිසා ඉරිදා උදේ වරුවේ සිට රොහාන්ගේ ජංගම දුරකතනයට ලැබුණු ඇමැතුම් ප්‍රමාණය ඉතා විශාල විය. ඒ කතා කළ සියලු දෙනාම රොහාන්ගෙන් අසා සිටියේ මේ කතාවල ඇත්ත නැත්ත කුමක්දැයි කියාය. එහිදී ඒ සියල්ලන්ටම රොහාන් කියා සිටියේ එකම උත්තරයකි. ඒ, තමන් එම නිවේදනය නිකුත් කළේ සිය තනි කැමැත්තට නොවේ යැයි කියාය. අගමැතිවරයාගෙන්, අගමැති ලේකම්වරයාගෙන් සහ අග්‍රමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානියා වන රෝහිත රාජපක්ෂ මහතාගෙන් ලැබුණු උපදෙස් මත තමන් මෙම නිවේදනය නිකුත් කළ බව රොහාන් ඒ සියල්ලන්ටම සඳහන් කර සිටියේය.
නාමලුත් අසනීප වෙලා
මේ ආකාරයට සතියක පමණ කාලයක් ඇතුළට වී සිටි මහින්ද පසුගිය සතියේ පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි වීමට පියවර ගත්තේය. නමුත් එහිදී දැකගන්නට ලැබුණු විශේෂිතම සිදුවීම වූයේ මහින්ද මෙසේ එළියට පැමිණෙන විට මහින්දගේ පුතුන් තිදෙනා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල විවිධ පුවත් පළවීමය.
‘නාමල්ටත් කොරෝනා හැදිලා…’
‘රෝහිතටයි, පවුලේ අයටයි කොරෝනා හැදිලා…. දැන් ඒ අය ඉන්නේ නුවර ජනාධිපති මන්දිරයේ. හැමදාම කොළඹ ඉඳන් ගුවන් හමුදාවේ හෙළිකොප්ටරයකින් ඒ අයට කෑම අරගෙන යනවා…’
මේ එසේ පළවී තිබුණු පුවත්වලින් කිහිපයකි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීම්වලදී තහවුරු වූයේ මේ කිසිදු පුවතක සත්‍යතාවක් නොමැති බවය. රෝහිත හා පවුලේ අයට කොරෝනා වැළඳී මහනුවර ජනාධිපති මන්දිරයේ රඳවා සිටින බවටත්, ඔවුන්ට දිනපතා ගුවන් හමුදා හෙළිකොප්ටරයකින් ආහාර රැගෙන යන බවටත් වූ කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වූ අතර, ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ දුලාන් විජේසිංහ මහතා එය ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශයක්ද නිකුත් කොට තිබිණි.
රෝහිත ගැන සමාජ ජාලාවල ගිය බොරුව
මීට අමතරව රාජපක්ෂ පවුලට හිතවත් අයකු ලෙස සැලකෙන ධනසිරි අමරතුංග වහාම ගුවන් හමුදාපතිවරයාටත්, යුද හමුදාපතිවරයාටත් කතා කොට මේ පුවතේ ඇත්ත නැත්ත විමසා සිටීමට පියවර ගත්තේය. එහිදී ගුවන් හමුදාපතිවරයාත්, යුද හමුදාපතිවරයාත් යන දෙදෙනාම මේ කතාව දැඩිව ප්‍රතික්ෂේප කළහ. ඒ සම්බන්ධයෙන් ධනසිරි සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක්ද තැබීමට පියවර ගෙන තිබිණි.
රෝහිත සම්බන්ධයෙන් තත්ත්වය එසේ වුවත් නාමල් සම්බන්ධයෙන් ගිය කටකතාවලට තටු ලැබී තිබුණේ මහින්ද මෙන්ම නාමල්ද දැන් සතියකටත් වඩා කාලයක් තිස්සේ සිය නිවෙසින් එළියට නොබැස දැඩි සෞඛ්‍යාරාක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිටීම නිසාය. එපමණක් නොව පසුගිය සතියේ පැවැති සිය ක්‍රීඩා අමාත්‍යාංශයේ අය-වැය විවාදය සඳහාද නාමල් සහභාගි වූයේ නැත. ඒ සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කරද්දී ආණ්ඩු පක්ෂයෙන් කිසිදු පිළිතුරක් නොලැබුණු අතර, කතානායක මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ නාමල් අසනීපයෙන් සිටින බව පමණක් තමන්ට දැනුම් දී ඇතැයි කියාය.
කෙසේ වෙතත් නාමල් නිවෙසට වී සෞඛ්‍ය උපදෙස්වලට අනුව කටයුතු කළද අවස්ථා කිහිපයකදීම දේශපාලන කටයුතුවලට සහභාගි වීමට පියවර ගත්තේය. ඉන් එකක් වූයේ ඉකුත් අඟහරුවාදා දින කටාර් රාජ්‍යයේ ක්‍රීඩා හා සංස්කෘතික අධ්‍යක්ෂවරයා වූ සලා බින් ගහනිම් අල් අලී මහතා සමඟ සජීවී වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වීමය. දෙවැන්න වූයේ මෙවර ඉතිහාසයේ පළමු වතාවට ඔන්ලයින් ‘සුම්’ තාක්ෂණය ඔස්සේ පැවැති කැබිනට් රැස්වීමට නිවෙසේ සිටම සහභාගි වීමය. නාමල් පෙනෙන්නට සිටි තුන් වැනි අවස්ථාව වූයේ පවුලේ සිදුවීමකි. එනම් මෑතක උපන් සිය පළමු දරුවා සමඟ පළමු වතාවට පවුලේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලාවලට යොමු කිරීමට නාමල් පියවර ගෙන තිබිණ. කෙසේ වෙතත් නාමල් බ්‍රහස්පතින්දා වනතෙක් නිවෙසේ එළියෙන් කෙරෙන කිසිදු කටයුත්තකට සහභාගි නොවීම විශේෂ සිදුවීමක් විය.
දොවාල් කාලසටහනෙන් පිට පනී
පසුගිය මාස දෙක තුන ඇතුළත කොවිඞ් වසංගතය දරුණුවටම රට ඇතුළේ පැතිර තිබුණත් ලෝක නායකයන් කිහිපදෙනෙක්ම එය ගණනකට නොතකා ලංකාවට පැමිණි බවක් අපි වාර්තා කළෙමු. එහිදී අප පෙන්වා දුන්නේ සාගර කටයුතු පිළිබඳ කලාපීය සමුළුවකට සහභාගි වීම සඳහා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා වන අජිත් දෝවාල් මහතාත්, මාලදිවයින් ආරක්ෂක අමාත්‍යවරිය වන මරියා ඩිඩී මහත්මියත් ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි කියාය. අප පමණක් නොව අනෙක් මාධ්‍යයන්ද මේ බව වාර්තා කර තිබිණ. නමුත් අනෙක් කිසිදු මාධ්‍යයක් වාර්තා නොකළ හෙළිදරව්වක්ද අපි එහිදී අනාවරණය කර සිටියෙමු. ඒ, මෙම සාකච්ඡාව ඉකුත් ඔක්තෝබර් මාසයේ ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය හා ඕස්ටේ්‍රලියාව ඒකාබද්ධව පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දිගුවක් ලෙස පැවැත්වෙන්නක් යැයි කියාය. මෙම රටවල් හතරේ සන්ධානයෙන් පැවැති එම රැස්වීම QUAD (කොඞ්) ලෙස හඳුන්වාදී තිබූ බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු. එම සාකච්ඡාවේදී දකුණු ආසියානු සාගර කලාපයේ චීන ව්‍යාප්තිය සම්බන්ධයෙනුත්, එය අවම කිරීම සම්බන්ධයෙනුත් දැඩිව සාකච්ඡා වී ඇති බවත්, ඊට සම්බන්ධ ගිවිසුම් කිහිපයක් අස්සන් තබා ඇති බවත් අපි එහිදී පෙන්වා දුන්නෙමු. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මීට මාසයකට ඉහතදී ඉන්දියාව බලා පැමිණියේ ඊට ආදළ තවත් ගිවිසුම් කිහිපයක් ඉන්දියාව සමඟ අස්සන් කිරීමට බවද අපි එහිදී අනාවරණය කළෙමු.
ඉන්දියාව, මාලදිවයින සහ ලංකාව අතර පසුගිය සතියේ සාගර සමුළුව පැවැත්වුණේද එහි තවත් එක් දිගුවක් ලෙසටය.
ඉන්දියන් හවුස්හි තිබ්බ රහස් හමුව
කෙසේ වෙතත් මෙම සමුළුවට සහභාගි වීම සඳහා ලංකාවට පැමිණි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා පිළිබඳව දේශපාලන අංශවල දැඩි අවධානයක් යොමුවූයේ ලංකාවේදී දොවාල් පැවත්වූ සාකච්ඡා මුල්කරගෙනය. දොවාල්ගේ න්‍යාය පත්‍රය තුළ ප්‍රසිද්ධ කොට තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟත් පමණක් සාකච්ඡා පැවැත්වීමට නියමිත යැයි කියාය. න්‍යාය පත්‍රයට අනුවම දොවාල් ලංකාවේ රැඳී සිටි දින දෙක තුළ ජනාධිපතිවරයා හා අගමැතිවරයා මුණගැසුණු අතර ඒ සම්බන්ධ ඡායාරූපද මාධ්‍යයට නිකුත් විය. ඒ අනුව බොහෝ දෙනා සිතා සිටියේ අදාළ හමුවීමෙන් පසු දොවාල් යළි ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇතැයි කියාය.
නමුත් ලංකාවෙන් පිටත්ව යෑමට පැය කිහිපයකට පෙරාතුව දොවාල් ලංකාවේ තවත් ප්‍රධාන පෙළේ දේශපාලනඥයකු සමඟ පැවැත්වූ අතිවිශේෂ රහස් සාකච්ඡාවක තොරතුරු පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරයට වාර්තා විය. මේ වන තෙක් කිසිදු මාධ්‍යයක් මේ හමුව සම්බන්ධයෙන් වචනයක් හෝ සඳහන් කර නොමැති පසුබිමක අප මෙම හමුවේ සාකච්ඡාවට ලක්වූ තොරතුරු පවා සොයා ගැනීමට සමත් විය. මෙම ප්‍රධාන පෙළේ දේශපාලනඥයා වෙන කවුරුත් නොව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ය. ඉතාම රහසිගතව පැවැත්වුණු මෙම හමුව පැවතියේද ප්‍රසිද්ධ ස්ථානයක නොව කොළඹ තර්ස්ටන් පාරේ පිහිටි ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස්වරයා වූ ගෝපාල් බාග්ලේ මහතාගේ නිල නිවස වූ ‘ඉන්දියන් හවුස්’හිදීය.
සම්බන්ධන් සුමන්තිරන්වත් හලයි
මෙම හමුවේ දැකගන්නට ලැබුණු තවත් විශේෂ කාරණයක්ද තිබේ. ඒ, සම්බන්ධන්ද මෙම හමුවට තනිවම පැමිණ සිටීමය. සාමාන්‍යයෙන් වෙනදා නම් සම්බන්ධන් තමන් සහභාගි වන ඕනෑම ඉහළ පෙළේ සාකච්ඡාවකට දෙමළ ජාතික සන්ධානයේ දෙවැනියා ලෙස සැලකෙන සුමන්තිරන් මන්ත්‍රිවරයාද සහභාගි කරගන්නා නමුත්, මෙම හමුවට හෙතෙම සුමන්තිරන් හෝ එක්කර නොගැනීම විශේෂ සිදුවීමක් විය.
කෙසේ වෙතත් දොවාල් හා සම්බන්ධන් අතර පැවැති මෙම රහස් හමුව පිළිබඳව දෙමළ මාධ්‍ය වෙත කනින් කොණින් ආරංචි ලැබීමත් සමඟ ඔවුන්ද එම කතාවේ ඇත්ත නැත්ත සොයන්නට පටන්ගෙන තිබිණ. ඒ අනුව ඔවුන් ඒ පිළිබඳව සම්බන්ධන්ගෙන් විමසා සිටියත් කිසිදු වචනයක් ඔවුන්ට සම්බන්ධන්ගෙන් එළියට ගැනීමට නොහැකි විය. සම්බන්ධන්ගෙන් කතාව එළියට ගැනීමට බැරිවූ තැන ඔවුන් කළේ සුමන්තිරන්ට ඇමැතුම් ලබාදීමට පියවර ගැනීමය. නමුත් සුමන්තිරන්ගෙන්ද ඔවුන්ට කිසිවක් හෙළිකරගත නොහැකි විය. මෙම සාකච්ඡාවේ ඇතුළාන්තය සෙවීමට අප කටයුතු කළේ ඒ අනුවය.
රහස් සාකච්ජාවේ රහස් මෙන්න
ඒ අනුව අපට දැනගන්නට ලැබුණු තොරතුරුවලට අනුව දොවාල් හා සම්බන්ධන් අතර ඉන්දියන් හවුස්හිදී පැය දෙකක සාකච්ඡාවක් පැවැත්වී තිබේ. එහිදී සාකච්ඡා වූ සියලු කරුණු පිළිබඳ තොරතුරු අපිට නැතත් යම් යම් කාරණා පිළිබඳව අප හට තොරතුරු දැනගැනීමට හැකි විය. එම සාකච්ජාවලදී විශේෂයෙන්ම අවධානය යොමුව ඇත්තේ උතුරු නැඟෙනහිර ප්‍රදේශවල දැනට අඩපණව ඇති පළාත් සභා නැවැත සක්‍රිය කිරීම සම්බන්ධයෙන්ය. මෙහිදී දොවාල් තමන් හා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳවද සාකච්ඡා වූ බව සම්බන්ධන්ට දැනුම්දී ඇති අතර, ජනාධිපතිවරයා හැකි ඉක්මණින්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව තමන්ට පොරොන්දුවක් ලබාදුන් බවද දැනුම් දී ඇත. ඉකුත් යහපාලන සමය යටතේ සීමා නිර්ණය කිරීම් සම්බන්ධයෙන් මතුව ඇති බරපතළ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නොහැකියාවක් මතුව ඇති බවත්, ඉතාමත් ඉක්මණින් පැරැණි ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනැවිත් සම්මත කොට පළාත් සභා මැතිවරණය පවත්වන බවට ජනාධිපතිවරයා තමා වෙත දැනුම් දුන් බවත් එහිදී දොවාල් සම්බන්ධන්ට දැනුම් දී තිබේ.
මීට අමතරව 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ බලතල සහිතව ක්‍රියාත්මක කිරීම හරහා උතුරු නැඟෙනහිරට දේශපාලන විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන්ද දොවාල් හා සම්බන්ධන් අතර සාකච්ඡා වී තිබේ. එහිදීද දොවාල් සම්බන්ධන්ට කියා ඇත්තේ තමන් ඒ පිළිබදවද ආණ්ඩුව සමඟ සාකච්ඡා කළ බවකි. එහිදී යහපත් ප්‍රතිචාරයක් ආණ්ඩුවෙන් ලැබුණු බව සම්බන්ධන්ට පෙන්වා දුන් දොවාල්, මේ වන විට 20 වැනි සංශෝධනය සම්මත කර ඇති බැවින් තවත් සංශෝධන ව්‍යවස්ථාවට එක්කර නොහැකි බවත්, ඉදිරියේදී සකස් කිරීමට නියමිත නව ව්‍යවස්ථාවේදී ඒ පිළිබදව සලකා බැලිය හැකි බව ආණ්ඩුව තමන්ට දැනුම්දුන් බවත් සඳහන් කොට තිබේ. එම නිසා දැන්මතියා අලුත් ව්‍යවස්ථාවට ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය යෝජනා පිළියෙළ කර ගැනීමට කටයුතු කරන ලෙසත් දොවාල් සම්බන්ධන්ට දැනුම් දී තිබේ.
ඉන්දියාවේ පත්තර තියපු කතා…
මීට අමතරව මෙම සාකච්ඡාව පිළිබඳව තවත් විශේෂ කරුණු කිහිපයක් ඉන්දියාවේ හින්දි බසින් පළ වන ‘ස්වරාජ්‍ය’ නම් පුවත්පතේත්, ‘සිටිසන්’ නම් වෙබ් අඩවියේත් පළ කිරීමට පියවර ගෙන තිබිණ. එහි සඳහන් කොට තිබුණේ දොවාල් සහ ආණ්ඩුව අතර පැවැති මෙම සාකච්ඡාවලදී ප්‍රධාන කරුණු තුනක් පිළිබඳව අවධානය යොමුකර ඇති බවකි. ඉන් පළමුවැන්න වී ඇත්තේ කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සම්බන්ධයෙන්ය. අප පසුගිය කාලය පුරාම මෙම තීරුව ඔස්සේ කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සම්බන්ධ පුවත් වාර්තා කළ අතර, මෙම සාකච්ඡාවේදීද කොළඹ වරාය සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව එම පුවත්පත වාර්තා කොට ඇත.
දෙවැනි කරුණ ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ දකුණු ආසියානු සාගර කලාපය සම්බන්ධයෙන් ඉතා විශේෂ තීන්දුවක් ගැනීමට මෙම සාකච්ඡාවේදී හැකියාව ලැබී ඇති බවකි. ඒ අනුව සාගර කලාපයේ ආරක්ෂාව පිළිබඳව වූ මහලේකම් කාර්යාලය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට මෙහිදී තීන්දු වී ඇති බවද එම පුවත්පත අනාවරණය කොට ඇත. ඒ හරහා එම සාගර කලාපය තුළ සිදුවන චීන බලපෑම වළක්වා ගැනීමට හැකිවනු ඇති බව ඉස්මතු කොට පෙන්වීමටද එම පුවත්පත කටයුතු කොට ඇත.
තුන්වැනි කරුණ ලෙස එම පුවත්පත පෙන්වා දී ඇත්තේ උතුරු නැඟෙනහිර වාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් දොවාල් හා ආණ්ඩුව අතර සිදුව ඇති සාකච්ඡාවේදී ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට ආණ්ඩුව කටයුතු කොට ඇති බවකි. එමෙන්ම සම්බන්ධන් සමඟද දොවාල් මෙහිදී විශේෂ සාකච්ඡාවක් කොට ඇති බවද පුවත්පත අනාවරණය කොට ඇත.
කැබිනට් එක ඉතිහාසගත වෙයි
පසුගිය සදුදා කැබිනට් මණ්ඩලය රැස් වූයේ විඩියෝ තාක්ෂණය ඔස්සේය. ඒ මෙරට ඉතිහාසයේ පළමුවරටය. කොවිඞ් වසංගතය හේතුවෙන් කැබිනට් රැස්විම වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට රජය තීරණය කළේ සදුදා කැබිනට් රැස්වීමට ඔන්න මෙන්න කියා තිබියදීය. ජනාධිපති කාර්යාලයේ තොරතුරු තාක්ෂණ ඒකකය එය සංවිධානය කර තිබිණ.
ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිය නිල කාර්යාලයේ සිටය. අගමැති මහින්ද ඊට එක් වූයේ විජේරාම නිල නිවසේ සිට ලැප්ටොප් පරිඝණකයක් ඔස්සේය. නාමල්ද ලැප්ටොප් පරිඝණකයක් ඔස්සේ කැබිනට් රැස්වීමට එක්වූ අතර ජනමාධ්‍ය ඇමති කෙහෙළිය සිය ජංගම දුරකථනය ඔස්සේ රැස්වීමට සම්බන්ධ විය. බොහෝ ඇමතිවරුන් මේ කැබිනට් රැස්වීමට එක්වුයේ සිය කාර්යාලවල සිටය. අලුතින් කැබිනට් මණ්ඩලයට එක්වු සරත් වීරසේකර ඇමතිවරයාද මෙම රැස්වීමට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්ව සිටියේය.
කැබිනට් රැස්වීමේදි විශේෂ අවධානය යොමු වුයේ ඊට පෙර දින මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධිය ගැනය. ඒ ගැන කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කළේ අගමැති මහින්දය.
‘මහර බන්ධනාරාගයේ ඇති වූ සිද්ධිය ගැන විශේෂ විමර්ශනයක් අවශ්‍යයි. මේ සිද්ධිය සංවිධානාත්මකව සිදුවුවක් කියන එක තමයි හුඟදෙනෙක් කියන්නේ…’ යැයි මහින්ද කියද්දී ජනාධිපතිවරයා කීවේ ‘මේ ගැන අද උදේ අපි අධිකරණ ඇමතිතුමා, රාජ්‍ය ඇමතිතුමා, පොලිස්පති, බන්ධනාගාර කොමසාරිස් ඇතුළු පිරිසක් එක්ක කථා කළා. මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න දැනටමත් පොලිස් කණ්ඩායම් 04ක් යොදවා තිබෙනවා…’ යැයි කියාය.
‘මීට මාස කිහිපයකට කලින් ඔය වගේම සිද්ධියක් වාර්තා වුණා. හැම බන්ධනාගාරයකම සැලසුම් සහගතව මේක සිද්ධ වෙන බව තමයි පේන්නේ. දවස් කීපයකට කලින් වීරවිලටත් කොවිඞ් රෝගියෙක් ගේනවා කියලා පණිවිඩයක් ගිහින් මිනිසුන් නොසන්සුන් වෙලා තිබුණා. මේවා ප්ලෑන් කරලා කරන වැඩ..’ ඇමති නාමල් කීවේය.
‘බන්ධනාගාරවල තදබදය වැඩියි. රිමාන්ඞ්වල ඉන්න අය හුඟක් වැඩියි. ඒ අය තමයි ප්‍රශ්නයට මැදිහත් වෙලා තියෙන්නේ මට තියෙන තොරතුරුවල හැටියට’ ජනාධිපති ගෝඨාභය කීය.
කැබිනට් රැස්වීමට මැදදි බාධා…
මෙහිදී ඇමති නාමල් කැබිනට් මණ්ඩලයේදී විශේෂ ස්තුතියක්ද කළේය. ඒ ජනාධිපතිවරයා, අගමැතිවරයා හා සෞඛ්‍ය ඇමති පවිත්‍රාටය. ඛඡඛ තරගාවලිය සාර්ථක කර ගැනීමට දැක්වු සහාය ගැන ඔවුනට ස්තුති කළ නාමල් කීවේ කොවිඞ් අස්සේ වුවද මේ තරගාවලිය ඉතා සාර්ථකව පැවැත්වෙන බවයි.
අවස්ථා කිහිපයක දී සුළු සුළු තාක්ෂණ දෝෂ ඇති වුවද විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කැබිනට් රැස්වීම පැය දෙකකට ආසන්න කාලයක් සාර්ථකව පැවැත්විණි.
බැසිල් තවත් නෙට්වර්ක් එකක් හදයි
මේ දිනවල පොහොට්ටුවේ මහ මොළකරුවා වන බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු එන ලෙසට ලැබෙන ඉල්ලීම් බොහෝය. ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරුන් මේ වන විට ලිපි දෙකක් අස්සන් කොට බැසිල්ට ඉදිරිපත් කොට ඇති අතර, පොහොට්ටුවේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සෑම මාධ්‍ය සාකච්ඡාවකදීම බැසිල්ට පාර්ලිමේන්තුවට එන ලෙසට ඉල්ලීම් කිරීමටද මන්ත්‍රිවරු ප්‍රසිද්ධියේ කටයුතු කරති. කෙසේ වෙතත් බැසිල් නම් කියා සිටින්නේ පාර්ලිමේන්තු ඒමට තාමත් තමන් සූදානම් නැතැයි කියාය.
කෙසේ වෙතත් බැසිල් මේ දිනවල තවත් අලුත් වැඩකට අත ගසා තිබේ. ඒ තවත් ජාලයක් හෙවත් ‘නෙට්වර්ක්’ එකක් සකස් කිරීමටය. සාමාන්‍යයෙන් බැසිල් සැලකෙන්නේ ජාලගත කිරීම් සම්බන්ධව සාර්ථක ප්‍රතිඵල ලබාගත්තෙක් ලෙසටය. බැසිල් පළමුව ඒ ජාලගත කිරීම අත්හදා බැලුවේ පොහොට්ටුව නිර්මාණය කිරීමේදීය. එහිදී බැසිල් කොළඹ සිය කාර්යාලයේ සිට මුළු රටම එකවර මෙහෙයවිය හැකි සංවිධාන ජාලයක් හෙවත් ‘නෙට්වර්ක්’ එකක් නිර්මාණය කිරීමට පියවර ගත්තේය. ඒ සඳහා බැසිල් උපයෝගි කොට ගත්තේ පොහොට්ටුව යටතේ සිටි ආසන සංවිධායකවරුන්ය. ගමේ ප්‍රාදේශිය සභා, නගර සභා මන්ත්‍රිවරුන්ය. කොළඹ කාර්යාලයේ සිට ගන්නා තීන්දුව එසැණින් මුළු රටටම එකවර බෙදාහැරිය හැකි ශක්තිමත් ජාලයක් බැසිල් ඒ හරහා නිර්මාණය කළේය.
පටන් ගන්නෙ ගාල්ලෙන්
කෙසේ වෙතත් මෙවර අය වැය තුළින් රටටත්, ගමටත්, ජනතාවටත් ලබාදී ඇති සහන නිසි ආකාරයෙන් මැති ඇමැතිවරුන් හරහා ගම ඇතුළට නොයන බව මේ වන විට ආණ්ඩුවේ බොහෝදෙනාගේ මතය වී තිබේ. මැති ඇමැතිවරුන් කොළඹට වී සිටීමත්, නිතරම ගමට නොයෑමත් ඒ සඳහා හේතුවී ඇති බව ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ මතයය. ඒ අනුව මේ වන විට බැසිල් තීන්දු කොට ඇත්තේ තමන් නිර්මාණය කළ ගම් මට්ටමේ ශක්තිමත් ජාලය හරහා අය වැය සහන ගමට ගෙනයෑමටය. එහි පළමු අදියර ලබන 12 වැනිදා ගාල්ලෙන් ආරම්භ කිරීමට බැසිල් සැලැසුම්කොට ඇත. ඊට පළාතේ ආණ්ඩුකාරවරුන්, පළාත් පාලන නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සියල්ල සම්බන්ධ කර ගැනීම බැසිල්ගේ සැලැසුම වී තිබේ. ඉන් පසුව වසර අවසාන නිවාඩුව ගත කිරීම සඳහා බැසිල් ඇමෙරිකාව බලා පිටත්ව යෑමටද කටයුතු කරනු ඇත.
මහින්දගෙන් බැසිල්ට අමුතු ආරාධනාවක්
මෙසේ තිබියදී පසුගිය සතියේ බැසිල්ට අගමැති මහින්ද රාජපක්ෂගෙන් හදිසි ඇමැතුමක් ලැබිණ. එම ඇමැතුම මඟින් මහින්ද කියා සිටියේ වහාම පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසටය. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ පක්ෂ රැස්වීමක් පැවැත්වීමට සැලැසුම් කර ඇති බවත්, ඊට සහභාගි වීම සඳහා වහාම පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසත් එහිදී මහින්ද බැසිල්ට කියා සිටියේය. හිටි හැටියේම මහින්දගෙන් ලද මේ ඇමැතුමත් සමඟ පුදුමයට පත්වූ බැසිල් මහින්දට දැනුම්දී සිටියේ තමන් හදිසියේම පාර්ලිමේන්තු පැමිණියහොත් එහි ඡායාරූප මාධ්‍යයට නිකුත් විය හැකි බවත්, එය එතරම් හිතකර දෙයක් නොවන බවත්ය.
හොරෙන්ම ඇතුළට පන්නපු හැටි
ඒ අනුව මහින්ද කාටවත් නොපෙනී බැසිල්ව පාර්ලිමේන්තුවට රැගෙන එන ක්‍රමයක් කල්පනා කළේය. විනාඩි කිහිපයකට පසු සිය නිලධාරීන්ට ඇමැතුමක් දෙමින් මහින්ද කියා සිටියේ වහාම තම නිල රථය පාර්ලිමේන්තුවේ පෝටිකෝව අසලට රැගෙන එන ලෙසටය. රථය පැමිණි වහාම මහින්ද තනිවම ගොස් නිල රථයට නැඟී පිටතට පැමිණියේ බැසිල්ව මුණගැසීම සඳහාය. එසේ බැසිල්ව මුණගැසුණු මහින්ද යළිත් ඔහුවද එම නිල රථයේ නංවාගෙන පාර්ලිමේන්තුවේ පෝටිකෝව අසලටම රැගෙන ආවේ කිසිවකුටත් නොපෙනෙන්නටය. ඊළඟ ප්‍රශ්නය වූයේ කිසිවකුටත් නොපෙනෙන්නට බැසිල්ව පාර්ලිමේන්තුව ඇතුළට රැගෙන යන ආකාරයය. මහින්ද ළඟ ඊටද සැලැසුමක් විය. එම සැලැසුම වූයේ පාර්ලිමේන්තුවට ඇතුළු වන ප්‍රධාන දොරටුව අසලින් තරමක් එපිටට වීමට පිහිටා ඇති කුඩා දොරෙන් බැසිල්ව ඇතුළට ගැනීමය. සාමාන්‍යයෙන් එම කුඩා දොර පාවිච්චි කිරීමට හැකියාව ඇත්තේ ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් පමණි. එම ප්‍රධාන දොරෙන් ඇතුළු වූ වහාම ඇත්තේ විදුලි සෝපානයය. එය භාවිතා කිරීමට හැකියාව ඇත්තේද ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් පමණකි. ඒ අනුව බැසිල්ව එම කුඩා දොරෙන් ඇතුළට රැගෙන ගිය මහින්ද වහාම පෙර කී විදුලි සෝපානයේ නැඟී පක්ෂ නායක රැස්වීම පැවැති කාමරයට බැසිල්ව රැගෙන යෑමට පියවර ගත්තේ කාගේවත් ඇස නොගැටෙන ආකාරයටය.
පවිත්‍රාගේ කෑලි ගැලවෙයි
වත්මන් ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් පත්වීම් ලැබුවේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියය. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරි භාරගැනීමෙන් පසු මෑත ඉතිහාසයේ බරපතළම රාජකාරියට උර දෙන්නට සිදුවූයේද පවිත්‍රාටය. මන්ද යත් ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසයෙන් රෝගී වන පුද්ගලයන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වූ වගකීම ඇගේ කරමත පැටවීම ඊට හේතුවය. මේ තත්ත්වය කෙතරම් බරපතළ වීද යත් විද්‍යාත්මක ක්‍රමවේදයන්ගෙන් ඉවතට ගොස් විශ්ව ශක්තියෙන් බලගැන්වූ කළගෙඩි ගඟට අතහැරීම වැනි කටයුතුවලට පවා පවිත්‍රා සම්බන්ධ වූ අතර ඊට එරෙහිව සමාජ මාධ්‍ය ජාලවලින් එල්ල වූ දැඩි ප්‍රහාරවලට මුහුණ දීමටද පවිත්‍රාට සිදුවිය.
කෙසේ වෙතත් පවිත්‍රාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා දුන්නද පළමු අදියරේදීම මෙතෙක් එම අමාත්‍යාංශය යටතේ තිබූ ඉතා වැදගත් කොටසක් වන ඖෂධ සම්බන්ධ ආයතන සියල්ල ඇගෙන් ඉවත් කොට වියත්මඟ නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි මහාචාර්ය චන්න ජයසුමන මහතා හට පැවරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි. නමුත් පවිත්‍රා ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් ඒ අවස්ථාවේ පළ නොකොට සිය කැමැත්තෙන්ම ජනාධිපතිවරයාගේ කටයුත්තට එකඟතාව පළකොට තිබිණි.
එසේ සිටි පවිත්‍රාට පසුගිය සතියේ තමාට අයත්ව තිබූ තවත් විශාලතම කොටසක් දන් දෙන්නට සිදුවිය. ඒ වෙන කාටවත් නොව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේටය. කොරෝනා තත්ත්වය දිගින් දිගටම ඉහළ යෑම හේතුවෙන් පසුගිය සතිය ජනාධිපතිවරයා කිසිදු කළේ එම විෂය සඳහාම අමාත්‍යවරයකු පත්කිරීමටය. ඒ අනුව ඊට ජනාධිපතිවරයා තෝරාගත්තේ සුදර්ශනීවය. ඒ හේතුවෙන් පවිත්‍රාව අයත්ව තිබූ ආයතන හා විෂයයන් විශාල ප්‍රමාණයක් සුදර්ශනීට ලබා දීමට අකැමැත්තෙන් හෝ පවිත්‍රාට සිදුවිය. ඒ අනුව දැන් පවිත්‍රාට ඉතිරිව ඇත්තේ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම, මාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් පමණි.
ලොහාන් දන්නවෙත් නෑ
මීට අමතරව ජනාධිපතිවරයා පසුගිය සතියේ තවත් විශේෂ තීන්දුවක් ගත්තේය. ඒ මහර බන්ධනාගාරය තුළ 11 දෙනකු මරණයට පත්කළ ගැටුමින් පසු සුදර්ශනී යටතේ තිබූ බන්ධනාගාර සම්බන්ධ විෂය වෙනත් අයකුට පැවරීමටය. ඒ අනුව ජනාධිපතිවරයාගේ තේරීම වූයේ අගමැති මහින්දට ඉතා සමීපව කටයුතු කරන ලොහාන් රත්වත්තය. දේශපාලනය ආරම්භ කළ දින සිටම ලොහාන් සිටියේ මහින්දගේ සෙවණැල්ල මෙන් මහින්ද පසුපසින්මය. කෙසේ වෙතත් ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ ලොහාන්ට කතා කළ ජනාධිපතිවරයා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරය බාර ගැනීමට කැමැතිදැයි ඔහුගෙන් විමසා සිටියේය. මේ වන විට මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් කටයුතු කළද ඒ ඇමැතිකම සම්බන්ධයෙන් ඔහු හිටියේ එතරම් කැමැත්තකින් නොවේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ ආරාධනාව ලැබුණු සැණින් එය පිළිගැනීමට ලොහාන් පියවර ගත්තේය. බදාදා දිනයේ ලොහාන් බන්ධනාගාර ඇමැති ධුරයේ දිවුරුම් දුන්නේ ඒ අනුවය.
විමල්-පී.බී යළි ඇවිලෙයි
2010 – 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලයේ පැවැති ආණ්ඩුවේ අවසන් අවුරුදු කිහිපය තුළ කැබිනට් ඇමැතිවරුන් හා ආණ්ඩුවේ නිලධාරීන් අතර විශාල මතගැටුම් ප්‍රසිද්ධියේම ආරම්භ වී තිබූ බවක් දැකගත හැකි විය. ඉන් ප්‍රධානතම ගැටුමක් බවට පත්ව තිබුණේ එවකට සිටි කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතා හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා අතර පැවැති ගැටුමය. මේ ගැටුම එළිපිටම සිදුවූ අතර, විමල් විවිධ නම් පටබඳිමින් පී. බී.ට දැඩි ප්‍රහාර එල්ල කළ ආකාරයක්ද එවකදී දැකගත හැකි විය.
කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති වත්මන් ආණ්ඩුවේ විමල් යනු කර්මාන්ත අමාත්‍යවරයාය. පී. බී. යනු ජනාධිපති ලේකම්වරයාය. තත්ත්වය එසේ වුවත් එදා මහින්ද ආණ්ඩුව යටතේ ආරම්භ වූ විමල් – පී. බී. ගැටුම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ඇතුළටත් මේ වන විට පැමිණ ඇති බවක් පසුගිය සතියේ සිදුවූ එක්තරා සිදුවීමකින් දැකගන්නට ලැබිණි.
මෙහි ආරම්භය සනිටුහන් වූයේ මීට සති කිහිපයකට පෙරදී පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමකදීය. කොරෝනා රෝගය මුල්කරගෙන මේ වන විට රටට ආනයනය කෙරෙන භාණ්ඩ දැඩි ලෙස සීමා කර ඇති අතර, ඒ හේතුවෙන් අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන සිදුකරන කර්මාන්ත රැසක්ම මේ වන විට තම නිෂ්පාදනයන් සීමා කොට හෝ සම්පූර්ණයෙන්ම නවත්වා දමා තිබේ. මේ හේතුවෙන් එදින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදි ඇමැතිවරුන් බොහෝ දෙනකු අපනයන සීමා ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ ජනාධිපතිවරයා අවසානයේදි දැනුම් දී සිටියේ එසේ සීමා ලිහිල් කළයුතු භාණ්ඩ ලැයිස්තුවක් සකස් කරන ලෙසටය. එය අජිත් නිවාඞ් කබ්රාල් වෙත බාර දීමටද ජනාධිපතිවරයා කටයුතු කළේය.
මෙහිදී කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් විමල්ද සාකච්ඡාවට මැදිහත් වෙමින් ඉල්ලා සිටියේ තමන් සමඟ බොහෝ කර්මාන්තකරුවන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බැවින් තමන්ටද ඊට මැදිහත් වන ලෙසට අවසර ලබා දෙන ලෙසටය. ජනාධිපතිවරයාගෙන් ඊටද අනුමැතිය හිමිවිය.
පත්‍රිකාව ඇවිල්ලත් නෑ
ඒ අනුව පසුගිය සතියේදී කර්මාන්තකරුවන් රැසකට විමල් මුණගැසී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. ඔවුන් තමන්ගේ අවශ්‍යතා විමල්ට ඉදිරිපත් කළ අතර, විමල්ද අවසානයේදි කියා සිටියේ මේ භාණ්ඩ ලැයිස්තුව කබ්රාල්ට ලබා දී ඒවා ආනයනය කිරීමට අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන්නම් යැයි කියාය. ඒ අනුව විමල් කබ්රාල් හමුවී තමන්ගේ ලැයිස්තුවද ලබා දුන් අතර, කබ්රාල්ද විමල්ගේ එම ලැයිස්තුව පී. බී. වෙත යැවීමට කටයුතු කර තිබිණි.
ඒ අනුව මෙවර කැබිනට් රැස්වීමේදී එකින් එක කැබිනට් පත්‍රිකා සාකච්ඡා කරද්දී තමන්ගේ කැබිනට් පත්‍රිකාවක් සාකච්ඡාවට ගනු ඇති බවක් විමල් සිතා සිටියද එවැනි කැබිනට් පත්‍රිකාවක් සාකච්ඡාවට ගැනුණේ නැත. අඩුම තරමේ එවැනි කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩල රැස්වීමටවත් ඉදිරිපත් කොට නොතිබීමද විශේෂ සිදුවීමකි.
ජනාධිපතිගේ දෙන්නෙක් අයින් වෙයි
පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් රාජ්‍ය ආයතන සඳහා පත් කළ සභාපතිවරුන් දෙදෙනකුම සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත බාර දීමට පියවර ගත්තේය. ඒ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වූ සුසන්ත රත්නායක මහතා සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වූ ප්‍රභාෂ් සුබසිංහ මහතාය. ඒ දෙදෙනාම ජනාධිපතිවරයාගේ තේරීම් 2ක් වූ අතර, ජනාධිපතිවරයා විසින් රට ගොඩනැඟීමේ සිය ‘සෞභාග්‍යයේ දැක්ම’ දියත් කිරීම සඳහා පළමු අදියරේදීම ලබා දුන් පත්වීම් දෙකක් විය.
කෙසේ වෙතත් සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දෙමින් දෙදෙනාම අවධාරණය කොට තිබුණේ තමන් මෙම තනතුර වසරක කාලයක් සඳහා පමණක් බාර ගන්නා බවට ආරම්භයේදීම කර තිබූ දැනුම් දීම අනුව එම වසර නිමා වන විට ඉල්ලා අස්වීමට පියවර ගත් බවකි. නමුත් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇති ආකාරයට යථා තත්ත්වය මීට තරමක් වෙනස්ය. එනම් ආණ්ඩුව ඇතුළේ කතාව යන්නේ ඉහළ නිලධාරියකුගෙන් දිගින් දිගටම ආ බලපෑම් හේතුවෙන් මෙම නිලධාරීන් දෙදෙනාම සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බවය.