කොරෝනා ආසාදිතව ප්‍රතිකර ගනීමින් සිටින සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉලක්ක කර සමාජ මාධ්‍ය ජාලාවන්හි පළව ඇති අපහාසාත්මක පුවත් පිළිබදව කනගාටුව පළ කරමින් මේ වනවිට කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබන අගමැති සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
එමගින් හෙට්ටිගේ මහතා අවධාරණය කර ඇත්තේ රෝගී වීම යනු සාමාන්‍ය දෙයක් බවත්, එසේ රෝගී වූ කිසිවකුටත් අපහාස කිරීම සිදු නොකළ යුතු බවත්ය.
වගකීමෙන් යුතුව මාධ්‍ය ජාලා හැසිරවීම වසංගතයක් රටේ පවතින මේ මොහොතේ අත්‍යවශ්‍ය කාරණයක් බවද හෙතෙම පෙන්වා දෙයි.
හෙට්ටිගේ මහතා තබා තිබුණු සම්පූර්ණ සටහන මෙසේය.
සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් ආසාදනය වූ බව දැනගත් මම කනගාටුවට පත්වුණෙමි.කොවිඩ් ආසාදනයෙන් ප්‍රතිකාර ලබමින් සිටින මා ලෙඩ ඇඳේ සිටිමින්, සමාජ මාධ්‍යවලින් ඇතැමුන් ඇයට කරන අපහාස උපහාස දුටුවෙමි.
එවැනි හැසිරීමක් මිනිස්කමට නම් කිසිසේත් ම ගැලපෙන්නේ නැත. කිසිවෙකු රෝගී වූ විට, කරුණාබරිත හදවතින් ඔවුන් දෙස බැලීම අපට උරුම වූ මානව ගුණයකි. එමෙන් ම එවැනි අයට නිරෝගී සුව ප්‍රාර්ථනා කර ආශිර්වාද කිරීමද අපට අනන්‍ය සංස්කෘතික ලක්ෂණයකි.
පවිත්‍රා දේවී අමාත්‍යතුමිය පසුගිය කාලයෙහි කොවිඩ් වසංගතයෙන් පොදු ජනතාව ආරක්ෂා කිරීමට ඉමහත් වෙර වෑයමක් දැරුවේ තම සෞඛ්‍යය පිළිබඳවද නොතකමිනි. පාරම්පරික හෙළ වෙදකම සහ බටහිර වෛද්‍ය විද්‍යාව සංකලනයෙන් කොවිඩ් පාලනය කළ හැකි බව ඇතැම් බටහිර වෛද්‍යවරුන්ගේද අදහසයි. ඔවුන්ද ඒ වෙනුවෙන් පෙනී සිටියහ. දේශීය හෙළ ඔසු සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරන බැවින්, අමාත්‍යතුමිය ඒ වෙනුවෙන් කටයුතු කළේද, විද්වත් සැමගේ අදහස් උදහස් සැලකිල්ලට ගනිමින්ය. එය අප සමච්චලයට ලක්කල යුතු කරුණක් නොවේ.
රටක් ලෙස ලොව බලවත්ව නැගෙන්නට අප සැම එක්ව ක්‍රියා කිරීමේදී, රෝගී වූ අයෙකුගේ දුක වේදනාවද තේරුම්ගත හැකි විය යුතුයි. එසේ නොමැති තැනැත්තන් මිනිසුන් යන නමටද නිගරුවකි. මෙවන් අවස්ථාවක සියලු මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගෙන් මම කාරුණික පොදු ඉල්ලීමක් කරමි. එනම් රෝගී වූ කිසිම අයෙකුට අපහාස උපහාස නොවන ලෙස සමාජ ජාලා සහ මාධ්‍ය හසුරුවන ලෙසයි. සියලු ජනතාව දිරිගන්වන අදහස්වලින් මුහුණු පොතද බලගැන්විය හැකියි. ලෝකයට මහා ව්‍යසනයක් වී ඇති මෙම කොවිඩ් තත්වය හමුවේ අපේ රටේ ආර්ථිකය නැංවීම මෙන්ම, උතුම් මිනිස් ගුණාංගයන්ට පණ පෙවීමට සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකරවන්න. එය මුලු මහත් සමාජය ම වෙනස් කරන පොදු හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇත.කොවිඩ් වසංගතයෙන් රෝගී වූ සියලු ලෝක වාසී ජනතාවට සහ අපේ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.










