මහත් ආන්දෝලනයකින් පසු විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පසුගිය බ්‍රහස්පතින්දා (22දා) රාත්‍රියේ සමත් විය. ආණ්ඩුව මේ ආකාරයට විස්ස සම්මත කර ගැනීමට සමත් වුවත් ඒ දක්වා අවසන් සතිය තුළ පැමිණි ගමන නම් ආණ්ඩුවට එතරම් පහසු එකක් නොවීය. විශේෂයෙන්ම විස්සට එරෙහිව ආණ්ඩුව ඇතුළෙන්ම මතුවූ දැඩි විරෝධය මුල්කරගෙන බදාදා (21දා) වනතුරුත් පැවැතියේ විස්ස සම්මත වනවාට වඩා විස්ස පරාජයට පත්වන පසුබිමකි.
විරෝධය ආවේ ඇතුළෙන්මයි
ආණ්ඩුව ඇතුළේ විස්සට එරෙහිව විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, විජේදාස රාජපක්ෂ, විදුර වික්‍රමනායක, ප්‍රේමනාත් සී. දොලේවත්ත වැන්නවුන් මතයක් නිර්මාණය කිරීමත්, ආණ්ඩුව සහ ජනාධිපතිවරයා බලයට ගෙන ඒම සඳහා ඉදිරි පෙළ ප්‍රහාරකයන් ලෙස කටයුතු කළ මහා සඝරුවන විස්සට එරෙහි දැක්වූ විරෝධයත් මේ සඳහා හේතුවී තිබිණ. විශේෂයෙන්ම ඇල්ලේ ගුණවංශ හිමි, මැදගොඩ අභයතිස්ස හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, බෙංගමුවේ නාලක හිමි පසුගිය සතියේ විස්සට එරෙහි කැරැල්ලේ ඉදිරිපෙළ කසකරුවන් බවට පත්ව සිටිනු දැකගන්නට ලැබිණ.
හිමිවරු මුලින්ම ගෝඨාට යැවූ ලියුම
මෙහිදී විස්සට එරෙහි ආණ්ඩුව ඇතුළේ විරෝධය ස්වාමීන් වහන්සේලා හරහා පළමු වතාවට එළියට පැන්නේ පසුගිය 15 වැනිදා දාතමින් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යැවූ ලිපියකිනි. හිමිවරුන් හත්දෙනකුගේ අස්සනින් යුතුව යැවූ මෙම ලිපිය මඟින් විස්සට එරෙහිව ප්‍රබල මතයක් ඉදිරිපත් කළ ආකාරයක් දැකගන්නට ලැබිණ. එය වඩාත් ප්‍රබල වූයේ ආණ්ඩුව ගෙන ඒම සඳහා සටන් කළ ප්‍රධාන පෙළේ හිමිවරුන් විසින්ම එම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබීම නිසාය. එම ලිපිය හරහා විස්සෙහි ඇතුළත්ව ඇති ප්‍රධාන කරුණු කිහිපයක් වහාම සංශෝධනය විය යුතු බව පෙන්වා දී තිබූ හිමිවරු, එය සංශෝධනය නොකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට උත්සාහ කරන්නේ නම් පාරට බැස විස්ස පරාජය කිරීමට පියවර ගන්නා බවද දැනුම් දී සිටියහ. එම ලිපිය හරහා විස්සෙහි සංශෝධනය වියයුතු කරුණු උන්වහන්සේලා මෙසේ පෙන්වා දී තිබිණ.
වෙනස් කරන්න කියපු කරුණු මෙන්න
(අ) හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒම සඳහා ප්‍රතිපාදන හඳුන්වා දීම.
(ආ) අමාත්‍ය මණ්ඩලය, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා කැබිනට් නොවන ඇමතිවරුන් හා ඔවුන්ගේ ලේකම්වරුන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන උපලේඛනයේ සඳහන් දේශය තුළ වෙනම රාජ්‍යයක් ඇති නොකරන බවට පොරොන්දු වෙමින් ලබා දිය යුතු ප්‍රතිඥාව ව්‍යවස්ථාවේ 53 වගන්තියෙන් ඉවත් කිරීම.
(ඇ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වීම සඳහා පනවා ඇති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ බාධකය ඉවත් කිරීම.
(ඈ) විගණකාධිපතිවරයාගේ විෂය පථයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය හා රජය විසින් සියයට 50ක් කොටස් දරන සමාගම් ඉවත් කිරීම.
(ඉ) ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් හා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින්ව පත් කිරිමේ අභිමතානුසාරි බලයක් ජනාධිපති වෙත ලබා දීම.
(ඊ) මැතිවරණ කොමිෂන් සභාව විසින් හා නීතිය මගින් පනවන විධිවිධාන උල්ලංඝනය කරන තැනැත්තන්ට එරෙහිව අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීමට ඇති හැකියාව ඉවත් කිරීම.
(උ) ඇමතිවරුන්ගේ ගණන 30කට සීමා කිරීමේ වගන්ති ඉවත් කිරීම ආදිය විය.
ලියුමෙන් නොනැවතී මාධ්‍ය සාකච්ජාවකුත්…
පසුගිය සති අන්තය වන විට ආණ්ඩුවේත්, මාධ්‍යයේත්, විපක්ෂයේත් ප්‍රධානතම මාතෘකාව බවට පත්වූයේ ආණ්ඩුවේම හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යවනු ලැබී මෙම ලිපියය. මෙම ලිපිය ඒ වන විටත් ලංකාවේ දේශපාලනය ගිනිගන්නා තැනට ඇදදැමීමට සමත්කම් දක්වා තිබිණ. මෙම ලිපිය යැවීමෙන් නොනැවතුණු උන්වහන්සේලා ඉරිදා දිනයේදීම මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා විස්සට එරෙහිව බරපතළ ප්‍රහාරයක් එල්ල කිරීමටද පියවර ගත්හ. මෙහිදී විස්ස සම්මත කිරීමට ආණ්ඩුවට ඇති තදියම පිළිබඳව දැඩිව ප්‍රශ්න කළ උන්වහන්සේලා විස්සේ ඇති අහිතකර වගන්ති ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ නම් ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීමට සූදානම් බවද සඳහන් කර සිටියහ.
මෙම මාධ්‍ය සාකච්ඡාව විස්සෙන් ආණ්ඩුව ඇතුළේ ඇවිලෙමින් තිබුණ ගින්නට පිදුරු දැම්මා හා සමාන එකක් විය. ඒ අනුව සතිය ආරම්භ වන විට රටේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ විස්සටත් වඩා විස්සට එරෙහිව ආණ්ඩුවේම ස්වාමීන් වහන්සේලා ආණ්ඩුවට එල්ල කළ මෙම ප්‍රහාරයය.
මහින්දට අභයාරාමෙට එන්න කියයි
එපමණක් නොව උන්වහන්සේලා ආණ්ඩුවේ ප්‍රධානීන් සමඟ විස්ස සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද තීන්දු කළහ. ඊට මූලිකත්වය ගත්තේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ය. ඒ අනුව වහාම අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දුරකතන ඇමැතුමක් ලබා දුන් ආනන්ද හිමියෝ සඳුදා (19දා) උදෑසන තම පන්සල වූ නාරාහේන්පිට අභයාරාමයට පැමිණෙන ලෙස දැනුම්දී සිටියහ. එමෙන්ම විස්සට විරෝධය පළ කරන මැති ඇමැතිවරුන් වූ වාසුදේව, විමල්, උදය, ගෙවිඳු, විදුර වැනි මැති ඇමැතිවරුන්ටත්, දිනේෂ්, බන්දුල, ලොකුගේ යන ඇමැතිවරුන්ටත් එම අවස්ථාවට සහභාගි වන ලෙස උන්වහන්සේ දැනුම්දී සිටියහ. ඒ කළ දැනුම්දීමට අනුව පෙරවරු 11.00ට මහින්ද ඇතුළු කණ්ඩායමම අභයාරාමයට පැමිණෙද්දී එහි ඇල්ලේ ගුණවංශ, මැදගොඩ අභතිස්ස සහ බෙංගමුවේ නාලක යන හිමිවරුන්ද සිටිනු දැකගන්නට ලැබිණ.
විස්ස ගෙනාවොත් පාර්ලිමේන්තුව වටලනවා…
ඒ අනුව සාකච්ඡාව ආරම්භ වීමෙන් පසු මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මහින්දද බලාපොරොත්තු නොවුණු ආකාරයේ විරෝධයක් විස්ස සම්බන්ධයෙන් පළ කළ ආකාරයක් දැකගත හැකි විය.
“ඔබතුමාල වහාම විස්ස ගේන එක නවත්වන්න ඕනෙ. මොකද දැන් මේ විස්සට එරෙහිව ආණ්ඩුව ඇතුළෙම ලොකු විරෝධයක් ඇවිල්ල ඉවරයි. මම මේ ඔබතුමාලට කරන්නෙ අවසන් දැනුම් දීම. එක්කො මේ විස්ස ගේන එක කල් දාන්න ඕනෙ. නැත්නම් හරියටම සංශෝධන ඉදිරිපත් කරල මේක සම්මත කරන්න කටයුතු කරන්න ඕන. හැබැයි මේ කියන විදිහට ඔබතුමාල සම්මත කරන්න ලෑස්ති වෙනව නම් අපි පාර්ලිමේන්තුව වටලල හරි මේක නවත්වනවා. රට පුරාම අපි උද්ඝෝෂණ සූදානම් කරනවා. අපි මේ ආණ්ඩුව ගෙනාවා වගේම ජනමතයට විරුද්ධව යනව නම් ඒකට එරෙහිව පාරට බහින්නත් සූදානම්…” යනුවෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියද්දී මහින්දද කීවේ තමන් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ඊට අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන්නම් යැයි කියාය. ඒ අනුව සාකච්ඡා අවසානයේදී පිරිසට දහවල් දානය පන්සලෙන්ම පිළිගැන්වීමට ආනන්ද හිමියෝ කටයුතු කළහ. ඒ අනුව පිරිස පන්සලෙන් පිටව ගියේ දහවල් දානය ගැනීමෙන්ද අනතුරුවය.
ඇල්ලේ හිමි කෙළින්ම කාදිනල් හිමි හමුවට…
මෙම සාකච්ඡාව නිමා කොට ඇල්ලේ ගුණවංශ හිමියන් කෙළින්ම කළේ අභයාරාමයෙන් පිටත්ව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මුණගැසීම සඳහා කොළඹ අගරදගුරු නිවෙසට යෑමය. එසේ ගිය ඇල්ලේ ගුණවංශ හිමියන්ට අගරදගුරුතුමාගෙන් හිමිවූයේ විශේෂ පිළිගැනීමකි. ඒ අනුව ඇල්ලේ හිමියන් තමන් වහන්සේ පැමිණි කාරණාව අගරදගුරුතුමාට දැනුම් දෙමින් විස්සේ ඇති අහිතකර වගන්ති එකින් එක උන්වහන්සේට පැහැදිලි කිරීමට පියවර ගත්හ. ඒ වන විට කතෝලික සභාවෙන් විස්ස සම්බන්ධයෙන් තරමක තද නිවේදනයක් නිකුත් කර තිබීම හේතුකොටගෙන අගරදගුරුතුමන්ද විස්ස සම්බන්ධයෙන් සිටියේ ඇල්ලේ හිමියන් දරන ස්ථාවරයේමය. කාදිනල් හිමියන් අවසානයේදී ඇල්ලේ හිමියන්ට කියා සිටියේ ඔබ වහන්සේලා ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට තමන් වහන්සේගේ ආශීර්වාදය සහ සහාය හිමිවනවා යැයි කියාය.
ආණ්ඩුව අඩියක් පස්සට ගනී… වගන්ති 3ක් හලයි
මේ ආකාරයට ආණ්ඩුවට සම්බන්ධ ස්වාමීන් වහන්සේලා විසින් විස්සට එරෙහිව රට ඇතුළේ ප්‍රබල මතයක් ගොඩනඟද්දී ආණ්ඩුව ඇතුළේද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කීපයක්ම තැන්තැන්වල පැවැත්වෙන ආකාරයක් දැකගන්නට ලැබිණ. විශේෂයෙන්ම මෙම සාකච්ඡා ආණ්ඩුව ඇතුළේ සිටින විස්සට එරෙහි පාර්ශ්වයන් ආණ්ඩුවේ මතයට නම්මවා ගැනීම මුල්කරගෙනත්, විස්සේ ඇති වගන්තිවලට ඉදිරිපත් කළ යුතු සංශෝධන මුල්කරගෙනත් සිදුවන ආකාරයක් දැකගන්නට ලැබිණ. එම සාකච්ඡාවලට ජනාධිපතිවරයාත්, අධිකරණ අමාත්‍ය අලි සබි්‍ර මහතා ඇතුළු තවත් ඉහළ පෙළේ ප්‍රධානීන් කිහිපදෙනකුත් සහභාගිව සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ අනුව සඳුදා සවස පැවැත්වීමට නියමිතව තිබුණු කැබිනට් මණ්ඩල රැස්වීමේදීත්, පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය පැහැදිලි කිරීම මෙම සාකච්ඡාවල මූලික අරමුණ විය. ඒ අනුව පැවැති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ස්වාමීන් වහන්සේලා සහ ආණ්ඩුවේ ප්‍රධානීන් ඉදිරිපත් කළ තිබූ මූලික කරුණු තුනක් විස්සෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළේය. ඒ, කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30කට සීමා කිරීම, විගණන කටයුතු 19 වැනි සංශෝධනය පැවැති ආකාරයටම ඉදිරියටත් පවත්වාගෙන යෑම සහ හදිසි පනත් ගෙන ඒම සීමා කිරීමය. නමුත් ද්විත්ව පුරවැසිභාවයේ වගන්තිය ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ එකඟතාවය පළවූයේ නැත. ජනාධිපතිවරයා එහිදී එහි සිටි පිරිසට කියා සිටියේ එම වගන්තිය 19ට ඇතුළු කළේම රාජපක්ෂවරුන් ඉලක්ක කරගෙන බවත්, එම වගන්තිය හරහා තමන්ද ඉතා දැඩි පීඩාවකට මුහුණ පෑ බවත්ය. ඒ අනුව 18 වැනි ව්‍යවස්ථාවේ තිබූ ආකාරයටම ද්විත්ව පුරවැසිභාවය තිබිය යුතු බවද ජනාධිපතිවරයාගේ ස්ථාවරය විය.
ජනපති කැබිනට්ටුවේදී කියපු කතාව
ජනාධිපතිවරයා සඳුදා සවස පැවැති කැබිනට් රැස්වීමට සහභාගි වූයේ මෙම තීන්දු, තීරණ ගැනීමෙන් අනතුරුවය. ඒ අනුව එදිනට ඉදිරිපත්ව තිබූ කැබිනට් පත්‍රිකා සම්මත කිරීමෙන් අනතුරුව විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් වූ මාතෘකාව ඇදී ආවේය. එහිදී වහාම නැඟී සිටි අලි සබි්‍ර විස්සේ ඇති වගන්ති තුනක් සංශෝධනය කිරීමට ආණ්ඩුව සූදානම් බව කැබිනට් මණ්ඩලයට දැනුම් දී සිටියේය. එහිදී වාසුදේව ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර, ඊට පිළිතුරු දුන්නේ ජනාධිපතිවරයාය.
“මම හිතන්නෙ ඒ වගන්තිය ගැන එච්චර කතා කළ යුතුයි නැහැ. ඒක 19ට ඇතුළු කරල තිබ්බෙම මාවයි, රාජපක්ෂ පවුලවයි ඉලක්ක කරලා. මේ වගන්තිය හින්ද මම කොයි තරම් ප්‍රශ්න ගොඩකට මුහුණදුන්නද? මට කොයි තරම් පීඩනයක් තිබ්බද? එදා ජනාධිපතිවරණය වෙලාවෙදි අනෙක් පැත්තෙ අය කිව්වෙ මම ජනාධිපති වුණත් මේ වගන්තිය හින්ද මාව උසාවියට ගෙනිහිල්ල තනතුරෙන් අයින් කරනව කියල. මම කැම්පේන් එක කළෙත් ලොකු දෙගෙඩියාවකින්. ඒ නිසා දැනට මේ වගන්තිය විස්සෙන් අපි සම්මත කරනවා. හැබැයි පස්සෙ අලුත් ව්‍යවස්ථාවක් හදද්දි මේ වගන්තියත් අපි ඒකට ඇතුළත් කරනවා…” යනුවෙන් ජනාධිපතිවරයා කළ පැහැදිලි කිරීමත් සමඟ කිසිවෙක් ඉන් ඉදිරියට ගොස් ප්‍රශ්න කරන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
ජනපති කණ්ඩායම් රැස්වීමට නොඑයි
කැබිනට් රැස්වීම නිමාවීමත් සමඟ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදීම පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ආරම්භ වුවද ඊට ජනාධිපතිවරයා සහභාගි නොවීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව රැස්වීම ආරම්භ වූයේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. මෙහිදීද අධිකරණ අමාත්‍ය අලි සබි්‍ර විසින් විස්සට ඉදිරිපත් කිරීමට නියමිත සංශෝධන තුන නැවැත වතාවක් මන්ත්‍රි කණ්ඩායම හමුවේ සඳහන් කර සිටියේය. එම සංශෝධන කාරක සභා අවස්ථාවේද සිදුකරන බවද එහිදී ඔහු දැනුම් දී සිටියේය. ඒ සමඟම අදහස් දැක්වීම ආරම්භ කළේ විස්සට එරෙහිව මුල් වටයේදී දැඩි විරෝධයක් පළ කළ ගෙවිඳු කුමාරතුංගය. මෙම සංශෝධන සිදුකිරීමට එකඟතාවය පළකිරීම සම්බන්ධයෙන් මෙහිදී ගෙවිඳු, ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් ස්තුති කිරීමට කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය.
දුමින්ද සිල්වාට සමාව දෙන්න ලියුමක් අස්සන් කරයි…
කෙසේ වෙතත් මෙම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී සිදුවූ වැදගත්ම සිදුවීම වූයේ මේ කිසිවක් නොව එක්තරා විශේෂ ලිපියක් සාකච්ඡාව අවසන් වීමට ඔන්න මෙන්න තියා මන්ත්‍රිවරුන් අතට පත්කිරීමය. මෙවැනි ලිපියක් අස්සන් කිරීමට එන බවට කසුකුසුවක් ඒ වන විටත් කණ්ඩායම් රැස්වීම ඇතුළේ පැතිර ගොස් තිබූ නිසා බොහෝ දෙනා සිතා සිටියේ එම ලිපිය විස්සට පක්ෂ වන බවට මන්ත්‍රිවරුන්ගේ අස්සන ලබාගන්නා ලිපියක් විය හැකි යැයි කියාය. නමුත් බොහෝ දෙනා පුදුමයට පත්වූයේ අස්සන් තැබීම සඳහා එම ලිපිය තමන්ගේ අතට පැමිණුණු විටදීය. ඒ අනුව එහි සඳහන්ව තිබුණේ විස්ස සම්බන්ධයෙන් නොව ඊට කිසිසේත්ම සම්බන්ධ නැති වෙනත් මාතෘකාවක් පිළිබඳවය. එනම් දුමින්ද සිල්වා සම්බන්ධයෙන්ය. හිටපු අමාත්‍යවරයකු වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු පිරිසක් මේ වන විට සිටින්නේ මරණීය දඬුවම ලබා බන්ධනාගාරගතවය. ඒ අනුව මෙම ලිපියේ සඳහන්ව තිබුණේ එසේ බන්ධනාගාරගතව සිටින දුමින්ද සිල්වා ජනාධිපති සමාවක් යටතේ නිදහස් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් කර තිබූ ඉල්ලීමකි. ඊට සියලුම මන්ත්‍රිවරුන්ට අස්සන් තබන ලෙසට කර තිබූ දැනුම් දීම නිසා පැමිණ සිටි මන්ත්‍රිවරුන්ද ඊට අස්සන් තබන ආකාරයක්ද දැකගත හැකි විය. ඒ අනුව එදින මන්ත්‍රිවරුන් හැත්තෑවක ප්‍රමාණයක් ඊට අස්සන් තබා තිබුණද එම ලිපිය පැමිණියේ කොහෙන්ද, ගියේ කොහාටද යන්න පිළිබඳව කිසිවකුත් ඒ මොහොත වන තුරුත් නොදැන සිටීම විශේෂ සිදුවීමක් විය.
පසුව එදිනට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ උපන් දිනය යෙදී තිබීම හේතුවෙන් මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම තුළ කේක් ගෙඩියක් කපා ලසන්තට උපන්දින සුබපැතුම් එක්කල ආකාරයක්ද දැකගත හැකි විය.
ටිරාන්ගේ ගෙදර බැසිල්-විමල් රහස් හමුවක්…
මේ ආකාරයට ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව ඇතුළේ සාකච්ඡා පැවත්වෙද්දී තිරය පිටුපසද විස්ස සම්බන්ධයෙන් තැන් තැන්වල රහසිගත සාකච්ඡා පැවැත්වෙන ආකාරයක් දැකගන්නට හැකි විය. එවැනි එක් රැස්වීමක් පසුගිය සඳුදා උදේ වරුවේ පැවැත්වුණේ මන්ත්‍රි ටිරාන් අලස්ගේ නිවසේදීය. මෙම සාකච්ඡාවට ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ ප්‍රධානතම සටන්කරුවන් දෙදෙනා වූ බැසිල් රාජපක්ෂත්, විමල් වීරවංශත් එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. ඊට අමතරව මහින්දානන්දද සාකච්ඡා මේසයේ සිටියේය.
බැසිල් පාර්ලිමේන්තු එනවා
සාකච්ඡාවේ අරමුණ වූයේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් විරුද්ධ මත දරන පාර්ශ්වයන් අතර කිසියම් එකඟතාවක් ඇතිකර ගැනීමය. නමුත් බැසිල් එහිදී පැහැදිලිවම කියා සිටියේ ජනාධිපතිවරයා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් තවත් මාස තුනකින් පමණ ඉදිරිපත් කරන බවත්, එහි මෙම ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වගන්තිය නියත වශයෙන්ම ඇතුළත් වන බවත්ය. නමුත් තමන් ඉදිරියේදී පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානමින් සිටින බවත්, ඉන් අනතුරුව ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමට තමන් කටයුතු කරන බවත් බැසිල් මෙහිදී පිරිසට දැනුම්දී සිටියේය.
විමල්ලා-හාමුදුරුවරු පසු නොබසී
මේ ආකාරයට විස්සට සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පසු ඊට එරෙහිව ආණ්ඩුව ඇතුළෙන් පැනනැඟුණු විරෝධය සමනය වනු ඇති බවට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් සිතා සිටියත් එය එසේ වූයේ නැත. ඉන් පසුව විස්සට එරෙහි ආණ්ඩුව ඇතුළේ සිටින කණ්ඩායමේ ප්‍රධාන මාතෘකාව බවට පත්වූයේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වගන්තියය. ඒ අනුව විමල්, වාසු, උදය යන අමාත්‍යවරුන් තිදෙනාත්, මුරුත්තෙට්ටුවේ හිමි, ඇල්ලේ හිමි, මැදගොඩ අභයතිස්ස හිමි ප්‍රධාන කොටගත් ආණ්ඩුවට සම්බන්ධ භික්ෂුන් වහන්සේලාත් ඉන් පසුවත් දිගින් දිගටම බලපෑම් කරමින් කියා සිටින්නට වූයේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ වගන්තියද විස්සෙන් ඉවත් කරගත යුතු යැයි කියාය.
ගෝඨා-මහින්ද විමල්ට සාකච්ජාවක් නොදෙයි
සඳුදා වන විට මෙම පිරිස ප්‍රසිද්ධියේම ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව අදහස් පලකිරීමට ආරම්භ කර තිබූ අතර, විමල් ඇතුළු ඔහුගේ කණ්ඩායම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ වෙනම සාකච්ඡාවක් අවශ්‍ය බවට ආණ්ඩුව වෙත දැනුම්දීමක්ද කර තිබිණ. එහිදී විමල් කියා තිබුණේ අනෙකුත් මන්ත්‍රිවරුන් සිටියදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට පලක් නැති බවත්, තමන් ඇතුළු කණ්ඩායම මේ පිළිබඳව ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය බවත්ය. එම රැස්වීම කැබිනට් රැස්වීමට පෙර හෝ පසුව හෝ ලබාදෙන ලෙස විමල්ගේ පාර්ශ්වයෙන් ඉල්ලීමක් කර තිබුණද අඟහරුවාදා වන තෙක්ම ඊට ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම විශේෂ සිදුවීමක් විය.
බැසිල් සුපුරුදු ඉලක්කම් මෙහෙයුම අරඹයි
මේ තත්ත්වයත් සමඟ විස්ස සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ බහුතරය හෙවත් මන්ත්‍රිවරුන් 150කගේ සංඛ්‍යාව ලබාගැනීම තරමක දුෂ්කර කාර්යයක් වන බව ආණ්ඩුවේ ප්‍රධානීන්ටද වැටහිණ. මන්දයත් කතානායකවරයාද සමඟ ආණ්ඩුවට සිටින්නේ මන්ත්‍රිවරුන් 150ක ප්‍රමාණයක් වීම ඊට හේතුවය. නමුත් විමල් වීරවංශගේ පක්ෂයේ මන්ත්‍රිවරුන් හයදෙනාත්, උදයත්, විජයදාස රාජපක්ෂත්, විදුරත් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේම විරෝධී අදහස් දැක්වීම නිසා ජන්ද විමසීමේදී මන්ත්‍රිවරුන් දහයකගේ පමණ අඩුවක් ඇතිවිය හැකි බව ආණ්ඩුවේ ප්‍රධානීන්ටද වැටහී ගොස් තිබිණ. ඒ අනුව ආණ්ඩුවේ කොටසක් ඊට පක්ෂව ඡන්දය නුදුන්නොත් විස්ස සම්මත කර ගැනීම සඳහා ගත යුතු ඊළඟ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන්ද ආණ්ඩුවේ අවධානය යොමුවිය. සුපුරුදු පරිදි එම මෙහෙයුම භාර කෙරුණු බැසිල් රාජපක්ෂටය. ඒ අනුව බැසිල් කළේ කාටත් නොදැනෙන්නට විස්ස සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය මන්ත්‍රිවරුන් සංඛ්‍යාව විපක්ෂයෙන් ලබා ගැනීමේ මෙහෙයුම ආරම්භ කිරීමය.
විපක්ෂයෙන් මන්ත්‍රීවරු කඩපු හැටි
ඒ අනුව ප්‍රධාන විපක්ෂය වූ සමඟි ජන බලවේගයේ ඉලක්ක කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුත්, සමඟි ජන බලවේගය නියෝජනය කරන හකීම්ගේ සහ රිෂාඞ්ගේ පක්ෂවල සෙසු මන්ත්‍රිවරුනුත් බැසිල්ගේ ඉලක්කය වී තිබිණ. ඒ අනුව ඉතාම රහසිගතව මේ පිරිස් සමඟ සාකච්ඡා වට කිහිපයක්ම බැසිල් පසුගිය සතියේ පැවැත්වීමට කටයුතු කළේය. මෙම සාකච්ඡා කෙතරම් සාර්ථක වූවාද කියනවා නම් මන්ත්‍රිවරුන් 10කගේ පමණ ප්‍රමාණයක් විස්ස සම්මත කර ගැනීම සඳහා සොයා ගැනීමට ඉතා කෙටි කාලසීමාවක් ඇතුළත බැසිල්ට හැකියාව ලැබිණ. ඒ අනුව යම් හෙයකින් විමල් ඇතුළු විස්ස විරෝධී කණ්ඩායමක් ඡන්දය භාවිතා නොකර සිටියද ඉතා පහසුවෙන් විස්ස සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කළ බැසිල් ඒ බව බදාදා වන විට ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් දැනුම්දීමට පියවර ගෙන තිබිණ.
දොලේවත්ත-ගම්මන්පිල ලියුම් ලියයි
මේ ආකාරයට බැසිල් විපක්ෂයෙන් මන්ත්‍රිවරුන් කණ්ඩායමක් විස්ස සම්මත කරවා ගැනීමට එකඟ කරගෙන ඇති බව මොහොතක් යෑමට මත්තෙන් විමල් ඇතුළු කණ්ඩාමටද දැනගන්නට ලැබිණ. ඒ අනුව ඔවුන්ද විස්සට එරෙහි කණ්ඩායමක් නිර්මාණය කර ගැනීම සඳහා ආණ්ඩුව ඇතුළේ තවත් මෙහෙයුමක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණ. එහි එක් පියවරක් වූයේ විස්සට එරෙහි සටනේ සිටි තවත් එක් නියමුවකු වූ ප්‍රේමනාත් සී. දොලේවත්ත අගමැතිවරයා වෙත ලිපියක් යොමු කිරීමය. එහිදී දොලේවත්ත කියා සිටියේ විස්ස සම්මත කර ගැනීම සඳහා මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේ සහාය ලබා නොගන්නා ලෙසය. මීට අමතරව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලද ජනාධිපතිවරයා වෙත ලිපියක් ලියමින් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කිරීම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසට දැනුම් දී සිටීමටද පියවර ගත්තේය.
මහින්ද පොහොට්ටුවට විතරක් එන්න කියයි
මේ තත්ත්වය යටතේ පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් සියලුදෙනාම විස්සට එක මතයක තබා ගැනීමේ අවශ්‍යතාවය ආණ්ඩුව පැත්තෙන් මතුවන්නට විය. ඒ අනුව මහින්ද කළේ ආණ්ඩුව පත්වීමෙන් පසු පළමු වතාවට පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ට පමණක් වූ සාකච්ඡාවක් අඟහරුවාදා දිනයේ පැවැත්වීමට කටයුතු කිරීමය. ඒ අනුව එම සාකච්ඡාව ආණ්ඩුව නියෝජනය කරන විමල්ගේ, උදයගේ, වාසුගේ පක්ෂවලට විවෘත නොකෙරිණ. කෙසේ වෙතත් මෙහිදී මහින්ද සියලුම මන්ත්‍රිවරුන්ට සාමූහික වගකීම ආරක්ෂා කිරීමේ පෙන්වා දුන්නේය. ආණ්ඩුව මේ වන විට විස්ස සම්මත කිරීමට තීන්දුවක් ගෙන ඇති බැවින් සියලුම මන්ත්‍රිවරුන් එම ස්ථාවරයේ සිටිය යුතු බවද මහින්ද එහිදී පෙන්වා දුන්නේය. එමෙන්ම අධිකරණ අමාත්‍ය අලි සබි්‍ර විස්සට සිදුකිරීමට නියමිත සංශෝධන පිළිබඳව මෙහිදී පැහැදිලි කිරීමක් සිදුකළේය.
විමල් ඩිව්ගේ පක්ෂයත් සටනට එක්කර ගනී
මේ අතරවාරයේ විමල්ලාද ද්විත්ව පුරවැසිභාවය වගන්තිය ඉවත් කර ගැනීමේ සටන අතහැර තිබුණේ නැත. ඒ අනුව විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අඟහරුවාදා (20දා) දිනම විමල් එහි තවත් පියවරක් ඉදිරියට තබමින් විස්සට එරෙහිව පාර්ලිමේන්තුව ඇතුළේ බලමුළු තර කර ගැනීමේ අරමුණින් කොමියුනිස්ට් පක්ෂය සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්තේය. ඒ රාජගිරියේ පිහිටි කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදීය. එම සාකච්ඡාවට කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඩිව් ගුණසේකර මෙන්ම එහි මන්ත්‍රිවරයකු වන වීරසුමන වීරසිංහද, විමල් ඇතුළු මන්ත්‍රිවරු පිරිසක්ද එක්ව සිටියහ. එහිදී විමල් මෙම පිරිසට පෙන්වා දුන්නේ ද්විත්ව පුරවැසිභාවයේ වගන්තිය විස්සෙන් ඉවත් කර ගැනීම සඳහා ඒකාබද්ධ සටනක් පාර්ලිමේන්තුව ඇතුළේ දියත් කළ යුතු බවය. ඊට කොමියුනිස්ට් පක්ෂයේ සහාය ලබාදෙන බවට ඩියුද එහිදී විමල්ට සඳහන් කර සිටියේය.
ආණ්ඩුවත් උපක්‍රම තෝරයි
මේ අතරවාරයේ ආණ්ඩුව පැත්තෙන් විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය සම්මත කර ගැනීමේ මෙහෙයුම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. ඊට මූලිකවම හේතුවී තිබුණේ විසිවැනි සංශෝධනයේ වගන්තියෙන් වගන්තියට ඡන්දය ඉල්ලා සිටිය යුතු බවට විපක්ෂය පැත්තෙන් පමණක් නොව ආණ්ඩුව පැත්තෙන්ද යම් යම් පාර්ශ්වයන් යෝජනා කිරීමේ සූදානමක් ඇති බවට ඒ වන විටත් ආණ්ඩුවට තොරතුරු ලැබී තිබීමය. ඒ අනුව අඟහරුවාදා උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩු පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් ආරම්භ වූ අතර, ඊට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් වූ දිනේෂ් ගුණවර්ධන, චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, අලි සබි්‍ර, ජී.එල්. පීරිස් සහ මහින්ද සමරසිංහ එක්ව සිටියහ. මෙහිදී සාකච්ඡාවට ලක්වූයේ 15ත්, 17ත් අතර ප්‍රමාණයක් ඇතැම් විට ඡන්දය භාවිතා නොකරනු ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවරයන් පිළිබඳවත්ය.
රනිල් 2001 ගහපු ගේමක් එළියට ගනී
එහිදී දීර්ඝව අදහස් පළකෙරුණු අතර, අදාළ සංශෝධන කමිටු අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට පියවර ගත යුතු බවත්, එහිදී තුනෙන් දෙකක ඡන්ද විමසීමක් අනවශ්‍ය බවටත් යෝජනාවක් ඉදිරිපත් විය. එය තහවුරු කර ගැනීම සඳහා 2001 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පිහිටුවීමට පෙර විපක්ෂ නායකවරයා වශයෙන් සිටියදී ඒ මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාවක්ද සාකච්ඡාවට බඳුන්විය. ඒ අනුව වහාම එම හැන්සාඞ් වාර්තා පාර්ලිමේන්තුවෙන් ගෙන්වා ගැනීමට පිරිස කටයුතු කළහ. සම්මත වී තිබූ එම යෝජනාවට අනුව කාරක සභා අවස්ථාවේදී යෝජනා සම්මත කර ගැනීම සඳහා තුනෙන් දෙකක බහුතරය අනවශ්‍ය බවත්, තුනෙන් දෙකක බහුතරය අවශ්‍ය වන්නේ දෙවැනිවර කියවීමේදී සහ තුන්වෙනිවර කියවීමේදී පමණක් බවත් සඳහන්ව තිබිණ. ඒ අනුව තුන්වෙනි වර කියැවීමේදී යෝජනාව සම්මත කළ විට සමස්ත වගන්ති සියල්ලම එකවර සම්මත වන බවද එම යෝජනාවේ සඳහන්ව තිබිණ. ඒ අනුව කාරක සභා අවස්ථාවේදී ඡන්දය නොවිමසා එය මඟහැර යෑමට කටයුතු කළ යුතු බව එහිදී කියැවිණ.
ස්ථාවර නියෝග අත්හිටුවන්නත් යෝජනාවක්
මීට අමතරව තවත් එක් යෝජනාවක්ද එම සාකච්ඡාවේදී සංවාදයට බඳුන් විය. ඒ ස්ථාවර නියෝග අත්හිටුවා ඡන්දය විමසීමටය. එසේ ස්ථාවර නියෝගය අත්හිටුවා ඡන්දය විමසන අවස්ථාවකදී එක් එක් වගන්තිය වශයෙන් ගෙන ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලැබෙන අතර, සමස්තයටම එකවර ඡන්දය විමසීමට සිදුවේ. නමුත් එම යෝජනාවට වඩා පළමු යෝජනාව කෙරෙහි ආණ්ඩුවේ අවධානය වැඩි වශයෙන් යොමුව තිබූ බවක්ද එහිදී දැකගන්නට ලැබිණ.
කෙසේ වෙතත් ආණ්ඩුවේ මේ සැලැසුම පැය කිහිපයක් යෑමට මත්තෙන් විමල්ලාගේ කණ්ඩායමටද දැනගන්නට ලැබී තිබිණ. ඒ අනුව විමල්ලාගේ පැත්තෙන්ද ද්විත්ව පුරවැසිභාවය පැරැදවීම සඳහා අවශ්‍ය මන්ත්‍රිවරුන් ගණන සොයාගැනීමේ මෙහෙයුමක් ආරම්භ විය. ඉන් එකක් වූයේ මන්ත්‍රිවරුන්ගෙන් ලිපියකට අස්සන් ගැනීමය. එම ලිපියට මන්ත්‍රිවරුන් 15ක් පමණ අස්සන් කර තිබීම විශේෂ සිදුවීමක් විය.
කැන්ටිමේදී විමල් ශ්‍රීලනිපයට විරුද්ධ වෙන්න කියයි
මීට අමතරව පනතක් ඉදිරිපත් කරද්දී සෑම මන්ත්‍රිවරයකුටම ඒ සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කරන බවට කෙටි සටහනක් යෙදීමේ සම්ප්‍රදායක් පවතී. ඒ අනුව විමල්ගේ පිල පාර්ලිමේන්තුව ඇතුළේ මෙහෙයුමක් දියත් කළේ තමන් විස්සට සංශෝධන ඉදිරිපත් කරන බවට කෙටි සටහන් යොදන ලෙසටය. එමෙන්ම පාර්ලිමේන්තුව ඇතුළේ ද්විත්ව පුරවැසිභාවය වගන්තියට විරුද්ධව ඡන්දය භාවිතා කරන ලෙස ඉල්ලමින් වෙනම මෙහෙයුමක් දියත් කිරීමටද මෙම පිරිස කටයුතු කළේය. විමල්ද ඊට පෞද්ගලිකවම මැදිහත් වෙමින් පාර්ලිමේන්තු භෝජනාගාරයේ රැඳී සිටි ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් වෙත ගොස් ද්විත්ව පුරවැසිභාවයට එරෙහි වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමට කටයුතු කළේය. මෙහිදී දැඩි උණුසුම්කාරී වාතාවරණයක් මතුවූයේ පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ජයන්ත කැටගොඩ මහතා එම ස්ථානයට පැමිණ විස්සට පක්ෂව ඡන්දය දෙන ලෙසට ශ්‍රීලනිප මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටීමත් සමඟය.
විමල්-කැටගොඩ කුණුහරුපෙන් බැනගනිති
කැටගොඩ එම ස්ථානයට පැමිණියේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරයකු ලෙස ඔහුට පැවරී ඇති කාර්යය ඉටුකිරීම සඳහාය. ආණ්ඩුවේ නියෝජ්‍ය සංවිධායකවරුන් සිවුදෙනකු සිටින අතර කැටගොඩ ඉන් එක් අයෙකි. ආණ්ඩුවේ අනෙක් නියෝජ්‍ය සංවිධායකයන් තිදෙනා වන්නේ ඩිලාන් පෙරේරා, අසංක නවරත්න සහ මොහොමඞ් මුසම්මිල්ය. විස්සට අවශ්‍ය මන්ත්‍රීවරුන් 150 එක්රැස් කරගැනීමේ වගකීම පැවරී තිබුණේ මොවුන්ටය. ඒ අනුව කැටගොඩ පාර්ලිමේන්තු ආපන ශාලාවේදී මන්ත්‍රිවරුන් එකතු කරද්දී විමල් කැටගොඩ සමග වාදයක පැටලිණ. මෙහිදී විමල් මාධ්‍යයක සඳහන් කළ නොහැකි වචන භාවිතා කරමින් කැටගොඩ සමඟ පැටලෙද්දී කැටගොඩද විමල් භාවිතා කළ වචන ඒ අයුරින්ම භාවිතා කරමින් පෙරළා විමල්ට කියනු දැකගන්නට ලැබිණ. දෙදෙනා මේ අයුරින් අසභ්‍ය වචනයෙන් පටන්ගත් වාදය ගුටි ඇනගැනීමකට පෙරළීමකට ඔන්න මෙන්න කියා තිබියදී එය වැළකී ගියේ අවට සිටි මන්ත්‍රිවරුන් වහාම දෙදෙනා අල්ලා දෙපැත්තට කිරීම නිසාය.
නමුත් විමල් වහාම එය මහින්දට පැමිණිලි කිරීමට පියවර ගත්තේය. ඒ සමඟම කැටගොඩද පැමිණ මහින්දට සිදුවූ දේ ඒ ආකාරයෙන්ම හෙළිකිරීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් මේ කතාව කැටගොඩලාගේ පැත්තෙන් මාධ්‍යයට ඒමට ප්‍රථම විමල්ගේ මාධ්‍ය ඒකකයෙන්ම නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දීමට පියවර ගෙන තිබිණ.
දයාසිරි-දුමින්දත් අභයාරාමයේ
මේ අතරවාරයේ තවත් විශේෂ සිදුවීම් කිහිපයක්ද තිරය පිටුපස සිදුවෙමින් තිබිණ. ඉන් එකක් වූයේ විස්ස සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමය. දෙවැන්න වූයේ සමඟි ජන බලවේගය සජිත්ගේ ප්‍රධානත්වයෙන් රැස්ව විස්ස සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමය.
මෙහිදී ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වූයේ විස්සෙහි ඇති ඇතැම් වගන්තිවලට එරෙහිව ඡන්දය භාවිතා කළ යුතු බවටත්, විස්සට තවත් සංශෝධන එකතු විය යුතු බවටත් විශාල මතවාදයක් පක්ෂය ඇතුළේ මතුවෙමින් පැවැතියදීය. ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රීලනිප සභාපතිවරයා වශයෙන් මේ පිළිබඳව දැනුවත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකොට ඇති බවකි. කෙසේ වෙතත් මධ්‍යම කාරක සභා රැස්වීමේදීද විස්ස සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් නොගත් අතර, රැස්වීම නිමාවූ වහා දයාසිරි ජයසේකරත්, දුමින්ද දිසානායකත් අභයාරාම පන්සලට ගියේ මුරුත්තෙට්ටුව හිමියන්ගෙන් ලද කැඳවීමකට අනුවය. ඔවුන් එහි යන විට ඇල්ලේ ගුණවංශ හිමියන්ද එහි පැමිණ සිටියේය. එහිදී දෙපාර්ශ්වය අතර විස්ස සම්බන්ධයෙන් දීර්ඝව අදහස් හුවමාරු වූ අතර දයාසිරි කියා සිටියේ මේ වන විට විස්ස මුල්කරගෙන ආණ්ඩුව ඇතුළේ බරපතළ ප්‍රශ්නයක් මතුවී ඇති බවත්, ජනාධිපතිවරයා මුණගැසී හෝ මෙම ගැටලුව විසඳා ගත යුතු බවත්ය. එසේ නොවුණහොත් පාර්ලිමේන්තුවේදී පමණක් නොව රට ඇතුළේදීද විපක්ෂයට විශාල හයියක් ලැබීම නොවැළැක්විය හැකි බවද දයාසිරි මෙහිදී පෙන්වා දුන්නේය.
මුරුත්තෙට්ටුවේ හිමි තුන් පාරක් ජනපතිට කතාකළත් උත්තර දී නෑ
දයාසිරි කළ මෙම යෝජනාවට අනුව මුරුත්තෙට්ටුවේ හිමියන් ඒ මොහොතේම ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීම සඳහා දුරකතන ඇමැතුමක් ගත්තේය. නමුත් ඊට පිළිතුරු නොලැබීම නිසා අවස්ථා තුනක්ම උත්සාහ කළත් ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට උන්වහන්සේට නොහැකි විය. ඒ අනුව මුරුත්තෙට්ටුවේ හිමියන් කළේ ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ සුගීෂ්වර බණ්ඩාරට ඇමැතුමක් ගැනීමය. සුගීෂ්වර සම්බන්ධ කරගත් සැණින් තරමක් උස් හඬින් යුතුව මුරුත්තෙට්ටුවේ හිමියන් කියා සිටියේ වහාම ජනාධිපතිවරයා සම්බන්ධ කර දෙන ලෙසටය.
පණිවුඩය සුගීෂ්වරට තියයි
“මම දැන් තුන්පාරක් ජනාධිපතිතුමාට කෝල් කළා. හැබැයි එතුමා ආන්සර් කළේ නෑ. දැන් මේක ගිනි ගොඩක් වෙලා තියෙන්නෙ. අපිට වහාම ජනාධිපතිවරයා හම්බුවෙලා මේක ගැන සාකච්ඡා කරන්න ඕනෙ. ඒ නිසා කරුණාකරලා අපිට ජනාධිපතිතුමා සම්බන්ධ කරල දෙන්න’ යනුවෙන් මුරුත්තෙට්ටුවේ හිමි කියද්දී සුගීෂ්වර කියා සිටියේ තමන් ඒ පණිවුඩය ජනාධිපතිවරයාට දැනුම් දෙන්නම් යැයි කියාය. කීවා වාගේම හවස් වරුවේ මුරුත්තෙට්ටුවේ හිමියන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු පණිවුඩයකින් කියැවුණේ සවස්වරුවේ පැමිණ ජනාධිපතිවරයා මුණගැසෙන්න යැයි කියාය.
ඩයනා පනිනවා: මරික්කාර් යෝජනාවක් ගෙනෙයි
සමඟි ජන බලවේගය මේ අතරවාරයේ රැස්වූයේ කාරණා කීපයක් මුල්කරගෙනය. ඉන් පළමුවැන්න වූයේ විස්ස සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දියත් කරන විරෝධතා පිළිබඳ සාකච්ඡා කිරීමය. දෙවැන්න වූයේ ඒ වන විටත් විස්සට පක්ෂව සමඟි ජන බලවේගයේ ඩයනා ගමගේ සහ මුස්ලිම් මන්ත්‍රිවරුන් ඡන්දය දීමට සූදානමින් සිටින බවට පැතිර යමින් තිබූ කටකතාය. මෙහිදී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා පිරිසට පෙන්වා දුන්නේ මීට පෙර මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී විස්සට එරෙහිව ඡන්දය භාවිතා කරන බවට ගත් තීන්දුව කඩ කරමින් කටයුතු කරන මන්ත්‍රිවරුන් වෙතොත් ඔවුන් සම්බන්ධයෙන් කඩිනම් විනය පියවර ගෙන එම පිරිස් පක්ෂයෙන් නෙරපා හැරීමට කටයුතු කළ යුතු යැයි කියාය. මරික්කාර් ගෙනා මෙම යෝජනාව හර්ෂද සිල්වා විසින් ස්ථිර කිරීමට පියවර ගත්තේය. මෙහිදී මරික්කාර් තවදුරටත් පෙන්වා දුන්නේ පක්ෂයේ ව්‍යවස්ථාව මේ සම්බන්ධයෙන් පැහැදිලිවම අර්ථ දක්වා ඇති බැවින් පක්ෂ තීන්දුවට පිටින් යන මන්ත්‍රිවරුන් ඉවත් කිරීම ඉතා පහසු යැයි කියාය.
කින්ස් ගැන ගියපු කතාව: ඩයනා රැස්වීමට ඇවිත් නෑ
ඉන් පසුව අදහස් දැක්වීම ආරම්භ කළේ පොළොන්නරු මන්ත්‍රි කිංස් නෙල්සන්ය. කිංස් කියා සිටියේ විස්සට පක්ෂව ඡන්දය දෙන බවට තමන්ගේ නමද වෙබ් අඩවි විසින් ප්‍රචාරය කරමින් සිටින බවත්, තමන් කිස්සේත්ම ආණ්ඩුව සමඟ එක්වීමට පියවර නොගන්නා බවත්ය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමට තමන්ට වෙලාවක් ලබාදෙන ලෙස කිංස් ඉල්ලා සිටියද ඒ සඳහා කාල වේලාව මද බැවින් අවසානයේද කිංස්ගේ කතාව සභාගත කිරීම සඳහා විනාඩි දෙකක කාලයක් ලබාදීමට පිරිස පියවර ගත්හ. කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආන්දෝලනයට තුඩුදී තිබූ ඩයනා මෙම කණ්ඩායම් රැස්වීමට සහභාගි නොවී සිටීමය.
ජනපති විමල්ලාට එන්න කියයි
කෙසේ වෙතත් මේ අතරවාරයේ විස්ස මුල්කරගෙන විශාල උණුසුමක් රට ඇතුළේ මතුව තිබූ නිසා බ්‍රහස්පතින්දා ඡන්දය විමසන දිනට ප්‍රථම මේ සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සමනය කර ගැනීමට ජනාධිපතිවරයාටද අවශ්‍යව තිබිණ. ඒ අනුව ජනාධිපතිවරයා බදාදා සවස විස්සට එරෙහිව ආණ්ඩුව ඇතුළේ දැඩි සටනක් ගෙනගිය විමල්, වාසු, උදය, ඇතුළු කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවීමට පියවර ගත්තේය. එපමණක් නොව විස්සට එරෙහිව අදහස් පළ කළ ඇල්ලේ ගුණවංශ හිමියන්ටත්, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ටත් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම්දී සිටියේය. උන්වහන්සේලා ලද කැඳවීමට අනුව ජනාධිපති කාර්යාලයට පැමිණෙද්දී ඇතුළේ ජනාධිපතිවරයා විමල් ඇතුළු කණ්ඩායම සමඟ විස්ස සම්බන්ධයෙන් සාකච්ඡා කර සිටිනු දැකගන්නට ලැබිණ.
මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පැහැදිලිවම විමල් ඇතුළු කණ්ඩායමට කියා සිටියේ විස්සේ සැලකිය යුතු සංශෝධන ප්‍රමාණයක් දැනටමත් සිදුකර ඇති බවත්, ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදුකළ නොහැකි බවත්ය. ඉකුත් අවස්ථාවල පැවැති රැස්වීම්වලදී ජනාධිපතිවරයා දැඩිව අදහස් පළකිරීමට කටයුතු කර තිබුණත් මෙහිදී මුලින්ම ජනාධිපතිවරයා කළේ විමල් ඇතුළු කණ්ඩායමට විස්ස සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට අවස්ථාව ලබාදීමය. එහිදී ජනාධිපතිවරයා පිළිතුරු ලබාදීම ආරම්භ කළේම ඉතා සංවේදී ආකාරයෙන්ය. තමන්ට මේ වන විට ජනාධිපති ධුරය එපා වී ඇති බව එහිදී කියා සිටි ජනාධිපතිවරයා මේ ආකාරයට කටයුතු කළ නොහැකි බවත්, තනතුර අතහැර දේශපාලනයෙන් ඉවත් වීමට තමන්ට සිතී ඇති බවත් පිරිස හමුවේ කියා සිටියේය.
මට දැන් මේක එපා වෙලා
“මට දැන් මේක එපා වෙලා තියෙන්නෙ. මේ විදිහට මට වැඩ කරන්න බැහැ. මොකද මම මෙතන්ට ආවෙ වැඩ කරන්න. එහෙම ඇවිල්ල මට මෙතන ඉඳගෙන වැඩක් කරන්න බැරිනම් මෙතැන තවදුරටත් ඉන්න එකේ තේරුමක් නෑ. තවදුරටත් මෙහෙම්මම යන්න වෙනව නම් මටත් තීන්දුවක් ගන්න වෙනව. එහෙම වුණොත් මම මේක අතඇරල හිටපු ජනාධිපතිතුමාට බලය පවරල මගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නව. මම දැනටමත් මේකෙ සංශෝධන ගොඩක් කරලයි තියෙන්නෙ. අපි මුල ඉඳන්ම කිව්වෙ 19 අයින් කරල ඊට කලින් තිබුණ තත්ත්වයට එනව කියලයි. ඒකෙ ද්විත්ව පුරවැසිභාවයක් ගැන වචනයක්වත් සඳහන් වෙලා තිබ්බෙ නෑ. 19න් පස්සෙ ඇතිකරපු මේ ද්විත්ව පුරවැසිභාවය හින්ද මම විශාල ප්‍රශ්න ගොඩකට මුහුණදුන්න. ඒ අය මේක දැම්මෙම මම ජනාධිපතිවරණයට එන එක වළක්වන්න. ඒ හින්ද මට ද්විත්ව පුරවැසිභාවය නැතිකර ගන්න විශාල වෙහෙසක් දරන්න වුණා. මේ අය අන්තිමට මට එරෙහිව උසාවි ගියා. මම දින්නත් ද්විත්ව පුරවැසිභාවය මුල්කරගෙන මගේ තනතුර අහෝසි කරනවා කිව්වා. ඒ කාලෙ මම කැම්පේන් එක කළෙත් ලොකු දෙගෙඩියාවකින්. මම විඳපු ඒ දුක මම හිතන්නෙ තව කෙනෙක් විඳින්න ඕනෙ නෑ කියලයි. අනෙක මම පැහැදිලිවම කියල තියෙනව අලුත් ව්‍යවස්ථාවක් අරන් එනව කියල. ඒක දැන් කෙටුම්පත් කරගෙන යනවා. තව මාස කීපයකින් ඒක අපිට පාර්ලිමේන්තුවට දාන්න පුළුවන් වෙයි. අවුරුද්දක් ඇතුළත අපි අලුත් ව්‍යවස්ථාවක් ගේනව. ඒකෙදි අපි අනිවාර්යෙන්ම මේ ද්විත්ව පුරවැසිභාවය කියන වගන්තිය ඇතුළත් කරනවා. මම ඒ ගැන පාර්ලිමේන්තුවෙදි අධිකරණ ඇමැතිතුමා ලවා සහතිකයක් දෙන්න කටයුතු කරනවා. ඒ හින්ද මම ඔබතුමාලට කියන්නෙ මගේ වචනය පිළිගන්න. මම දැනටමත් ගොඩක් වෙනස්කම් කරලයි තියෙන්නෙ. ඒ හින්ද මේ ද්විත්ව පුරවැසිභාවයේ වගන්තිය අල්ලගෙන මාව මේ වෙලාවේ අපහසුතාවට පත්කරන්න එපා. මොකද මේක දැම්මෙම මාවයි, බැසිල්වයි ටාගට් කරලා. බැසිල් ඉස්සරහදි පාර්ලිමේන්තු එන්න නියමිතයි. ඊට පස්සෙ එයා ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගනීවි…” යනුවෙන් ජනාධිපතිවරයා සංවේදීව කියද්දී ඒ වචන පිළි නොගෙන ඉවත දැමීමට විමල් ඇතුළු කණ්ඩායමට නොහැකි විය. ඒ අනුව නව ව්‍යවස්ථාවක් යටතේ ද්විත්ව පුරවැසිභාවයේ වගන්තිය ඇතුළත් කරන කොන්දේසිය යටතේ විස්සට සහාය දැක්වීමට විමල් ඇතුළු පිරිස එහිදී ජනාධිපතිවරයාට එකඟතාවය පළ කළහ.
හිමිවරුන්ටත් ඒකම කියයි
මෙම සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරයා ඇල්ලේ ගුණවංශ හිමියනුත්, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියනුත් සාකච්ඡා කාමරයට කැඳවූයේය. උන්වහන්සේලාට ඉතා සංවේදී ආකාරයටම විමල්ලාට කී කතාවම සඳහන් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. තමන්ට ජනාධිපති ධුරය මේ වන විට හිසරදයක් වී ඇති බව උන්වහන්සේලාට කියා සිටි ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයාට බලය දී ඉවත් වීමට පවා තමන්ට සිත්දී ඇති බව කියා සිටියේය. විස්සේ ප්‍රශ්නයට අමතරව ජාත්‍යන්තර ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න විශාල ප්‍රමාණයක් මේ මොහොතේ මතුව ඇති බවත්, ඒවා එකින් එක විසඳාගත යුතුව ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී උන්වහන්සේලාට පෙන්වා දුන්නේය.
ජනපතිගේ කතාවෙන් හිමිවරුන්ගේ හිත් උණුවෙයි
ජනාධිපතිවරයාගේ මේ සංවේදී කතාවෙන් එතෙක් දැඩිව තිබූ උන්වහන්සේලාගේ සිත් මෙලෙක්ව ගිය ආකාරයක් දැකගන්නට ලැබුණු අතර, උන්වහන්සේලා එහිදී කියා සිටියේ ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු නැති බවත්, ඉදිරියටත් ජනාධිපතිවරයාට ශක්තියක් වෙමින් මෙම ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර දෙන බවත්ය. එමෙන්ම මේ තත්ත්වය සම්බන්ධයෙන් අගමැතිවරයා සමඟද සාකච්ඡා කිරීමට පියවර ගන්නා බව කී උන්වහන්සේලා සාකච්ඡාව නිමාවී කෙළින්ම පැමිණියේ අගමැතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසටය.
ජනපති ජන්දය බලන්න පාර්ලිමේන්තුවට එයි
විස්ස සම්බන්ධයෙන් රට ඇතුළේ මෙන්ම ආණ්ඩුව ඇතුළේ පත්තු වී ගිය ගිනිදළු බ්‍රහස්පතින්දා වන විට ජනාධිපතිවරයා නිවා ගත්තේ මේ ආකාරයටය. ඒ අනුව බ්‍රහස්පතින්දා සවස ඡන්ද විමසීම ආරම්භ වීමට පැයක් තබා ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේ විස්සට ඡන්දය ලබාදෙන ආකාරය සියැසින්ම දැකබලා ගැනීම සඳහාය. මෙහිදී පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන්කොට ඇති නිල කාමරයට ජනාධිපතිවරයා පැමිණීමෙන් පසු අගමැතිවරයා, විමල්, උදය, මහින්දානන්ද, විජේදාස, ටිරාන් අලස් වැනි මැති ඇමැතිවරුන්ද පැමිණ සාකච්ඡා කරමින් සිටි ආකාරයක් දැකගත හැකි විය.
සබාගැබට යන්න ඇඳුම හරස් වෙයි
මෙහිදී ජනාධිපතිවරයා සභාගැබට යාමට තීරණය කර තිබුණත් ඊට යම් බාධකයක් වූයේ ජනාධිපතිවරයා ඒ වනවිට හැඳ සිටි ඇඳුමය. මන්දයත් සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සභාගැබට පැමිණිමේදී නියමිත ඇඳුමක් ඇති නමුත් ජනාධිපතිවරයා ඒ වන විට සිටියේ තමන්ට සුපුරුදු අත්කොට සුදු පැහැති සමිසයක් හැඳගෙනය. එහි සිටි ඇතැම් මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයාට ඒ අයුරින්ම සභාගැබට එන ලෙසත්, ගැටලුවක් ඇති නොවන බවත් කියා සිටියද ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කළේ අනවශ්‍ය ප්‍රශ්නයක් මේ මොහොත් ඇතිකර ගත යුතු නැතැයි කියාය.
බැසිල් නීතිපතිගේ වැරැද්දක් පෙන්වයි
ඒ අනුව ඡන්ද විමසීමේදී විස්ස සම්මත වූයේ 157ක මන්ත්‍රිවරුන්ගේ සහාය ඇතිවය. ඊට විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණි. කෙසේ වෙතත් මෙහිදී නීතිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානීන්ට එවා තිබූ නිවේදනයක් සම්බන්ධයෙන්ද යමක් සඳහන් කළ යුතුය. එම නිවේදනයේ සඳහන්ව තිබුණේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 225 දෙනාගෙන් තුනෙන් දෙකක බහුතරයකින් යුතුව විසිවැනි සංශෝධනය සම්මත කළ යුතු යැයි කියාය. නීතිපතිවරයාගේ මෙම නිවේදනය බැසිල් ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් අතට පත්වීමෙන් පසු බැසිල් කියා සිටියේ එය වැරැදි සහගත බවත්, දැනට පාර්ලිමේන්තුවේ ගැසට් කර ඇත්තේ මන්ත්‍රිවරුන් දෙසිය විසිතුන්දෙනකුගේ නම් පමණක් වන බැවින් 223න් තුනෙන් දෙකක් ගත යුතු බවට එය නිවැරැදි විය යුතු බවත්ය. මන්ද තවමත් එජාප ජාතික ලැයිස්තුවේ මන්ත්‍රි ධුරය හා අපේ ජනබල පක්ෂයේ ස්වාමීන් වහන්සේලාගේ මන්ත්‍රි ධුරය ගැසට් කර නැති බැවින් පාර්ලිමේන්තුවේ සිටින්නේ මන්ත්‍රිවරුන් 223ක් පමණි. මේ බව ආණ්ඩුව විසින් දැනුවත් කිරීමෙන් පසු එය නිවැරැදි කර යළි එවීමටද නීතිපතිවරයා පියවර ගෙන තිබිණ.
කපිල පුංචිමාන්නගේ