• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීතිපති පත්තු කරපු ‘බෝම්බයේ’ වීඩියෝවට මොකද වුණේ? ගේම් ගහපු හර්ෂට සජබෙන් දැඩි ප්‍රහාරයක් (රාජ්‍ය රහස්)

May 23, 2021
in Exclusive, Rajya Rahas, Uncategorized
Reading Time: 16 mins read
A A
නීතිපති පත්තු කරපු ‘බෝම්බයේ’ වීඩියෝවට මොකද වුණේ? ගේම් ගහපු හර්ෂට සජබෙන් දැඩි ප්‍රහාරයක් (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන මේ වන විට රූපවාහිනී නාළිකාවල විකාශය වන මෙගා ටෙලිනාට්‍ය මෙන් අවසානයක් නොමැතිව දිගින් දිගටම ඉදිරියට ගලා යන ආකාරයක් දැකගන්නට තිබේ. රූපවාහිනී නාලිකාවල විකාශය වන මෙගා ටෙලිනාට්‍යවල දිනපතාම පාහේ අලුත් නළුවන් නිළියන් එකතු වෙයි. අලුත් ජවනිකා එකතු වෙයි. ඇතැම් විට කිසිදු සම්බන්ධයක් නොමැති ජවනිකා සහ දෙබස් එම ටෙලිනාට්‍යවල දැකගන්නට තිබේ. ඒ හරහා තවත් මාස ගණනාවකට එම ටෙලිනාට්‍ය ඇදගෙන යෑමට අධ්‍යක්ෂවරුන් කටයුතු කරනු ලබයි. ඒ ආකාරයටම අද වන විට පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලටද විවිධ ජවනිකා එක්වෙයි. විවිධ නළු නිළියන් එක්වෙයි. ඒ හරහා පාස්කු විමර්ශනයන්ද අවසානයක් නොමැති මෙගා ටෙලිනාට්‍ය මෙන් දිගින් දිගටම ඇදී යන ආකාරයක් දැකගන්නට තිබේ. අද ඉවරයි, හෙට ඉවරයි යනුවෙන් ඉවර වෙන්නට ඔන්න මෙන්න කියා තිබුණද, අලුත් සිදුවීමක් නිසා එය තවදුරටත් ඇදී යන ආකාරයක් පෙනෙන්නට තිබේ.

පාස්කු ‘නාටකයට’ එක්වූ අලුත්ම චරිතය….

මෙවර පාස්කු විමර්ශනයන් සම්බන්ධයෙන් සිදුවූ අලුත්ම සිදුවීම වූයේ නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඍජුවම ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමය. පාස්කු ප්‍රහාරයේ විමර්ශන ආරම්භ වූ මොහොතේ පටන්ම දප්පුල ද ලිවේරා මහතා නීතිපතිවරයා වශයෙන් ඒ සියලු පරීක්ෂණ දෙස විමසිල්ලෙන් බලා සිටියේය. අවස්ථා කිහිපයකදීම එහි විමර්ශන අසම්පූර්ණ බව පොලිස්පතිවරයාට ලිඛිතවම දන්වා යැව්වේය. ඒ හරහා මෙම විමර්ශනවල යම් යම් අඩුලුහුඬුකම් ඇති බවට නීතිපතිවරයා වතාවන් කිහිපයකදීම රටට යම් යම් ඉඟි ලබාදුන්නේය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් නිවේදනයන්ද නිකුත් කළේය. නීතිපතිවරයාගේ මෙම ඉඟිවල තිබූ බරපතළකම නිසාදෝ පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවීමටද පියවර ගත්තේය.

ජනපතිගේ කැනඩා පත්වීම ප්‍රතික්ෂේප කළේ ඇයි

කෙසේ වෙතත් නීතිපතිවරයා මෙම සියලු ප්‍රකාශයන් සිදුකළේ තමන්ගේ විශ්‍රාම යෑමට දින කිහිපයක් ඉතිරිව තිබියදී වීම විශේෂත්වයකි. එසේ තිබියදී නීතිපතිවරයා සිදුකරන ප්‍රකාශවල බරපතළකම නිසාදැයි කියන්නට දන්නේ නැතත් ජනාධිපතිවරයා නීතිපතිවරයාට විශ්‍රාම යෑමෙන් පසු කැනඩාවේ මහ කොමසාරිස්වරයා ලෙස පත්කර යැවීමට තීන්දු කළේය. එනමුත් ඉතා කරුණිකව ජනාධිපතිවරයාගේ මෙම තනතුර ප්‍රතික්ෂේප කළ නීතිපතිවරයා කියා සිටියේ තමන්ට විදෙස්ගත වීමට කැමැත්තක් නැති බවත්, ලංකාවේ සිටම රටට සේවය කිරීමට තමන් කැමැති බවත්ය.

දප්පුල කියපු කුමන්ත්‍රණ කතාව

මෙසේ තිබියදී පසුගිය සතියේ නීතිපතිවරයා හදිසියේම සිදුකළ එක්තරා ආන්දෝලනාත්මක ප්‍රකාශයකින් දේශපාලන ක්ෂේත්‍රය දෙබරෙට ගැසූ ගලක් පරිද්දෙන් කැළඹී ගියේය. සිරස නිවුස් ෆස්ට් නාලිකාව වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් නීතිපතිවරයා කළ මෙම ප්‍රකාශය අප බෙව් අඩවිය වූ www.mawratanews.lk ඔස්සේ එසැණින් අප පළ කළේ මෙසේය.

‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා නිව්ස්ෆස්ට් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

මාධ්‍ය සමග සාකච්ඡාවකට එක්වෙමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේ රාජ්‍ය බුද්ධි සේවය හෙවත් SIS ආයතනයට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකරන ආකාරය, වේලාව, දිනය සහ අනෙකුත් තොරතුරු ලැබීම හරහා දැවැත්න කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබූ බව පෙනී යන බවය.

මෙම දැවැන්ත කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනා සාක්ෂි හරහා අනාවරණය කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රජය විසින් මහමොළකරු යැයි පවසන නවුෆර් මවුලවී ඇතුළු සැකකරුවන් රැසක් පිළිබඳ අවධානය යොමුකර ඇති බව පැවසූ නීතිපතිවරයා කියා සිටියේ නවුෆර් මව්ලවි මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන චරිතයක් මෙන්ම කණ්ඩායමේ නායකයා වුවත් මහමොළකරු මොහු බවට නිශ්චිතවම තවමත් කිව නොහැකි බවය.

කුමන්ත්‍රණය සිදුකළ පුද්ගලයන් වෙනම තලයක් සිටින බවත්, සහරාන් හෂීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තීරණය කළද ඔහුත් මෙම කුමන්ත්‍රණකාරී පුද්ගලයන්ගෙන් එක් අයෙකු පමණක් බවත් නීතිපතිවරයා “නිව්ස් ෆස්ට්” සමග කළ සාකච්ඡාවේදී කියා සිටියේය.

මේ දක්වා විදේශීය පුද්ගලයන් මේ ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කර නොමැති අතර නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා ඔවුන් හඳුනා නොගත් පුද්ගලයින් ලෙස දැනට සලකන බවද නීතිපතිවරයා පැවැසුවේය.

දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේ ඇතැම් විට කිසිදු අවස්ථාවක විදේශීය පුද්ගලයන් හෙළි නොවනු ඇති බවය….’

දප්පුලගේ 19 කණ්ඩායම රෑ ‌වන තෙක් වැඩ…

මෙවැනි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නීතිපතිවරයා සිදුකළේ නිකම්ම ආවාට ගියාට යැයි කිව නොහැකිය. ඒ පිළිබඳ ඉතා සියුම් විමර්ශනයකින් අනතුරුව විය යුතුය. මන්ද යත් ජනාධිපති කොමිසමේ පිටු දහස් ගණනක අවසන් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට භාරදීමෙන් පසු නීතිපතිවරයා පළමුවෙන්ම කළේ ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් 19 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පත්කිරීමය. ඒ, ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් හරිප්‍රිය මහතාගේ නායකත්වයෙන් යුතුවය. ඒ අනුව මෙම 19 දෙනාගේ කණ්ඩායම දිනපතාම උදේ සිට රාත්‍රී 10.30 පමණ වන තෙක් මෙම වාර්තාවේ පිටුවක් පාසා විමර්ශන කිරීමට පියවර ගත්හ. එසේ විමර්ශන කොට එහි පවතින යම් යම් අඩුපාඩු, තවදුරටත් විමර්ශන කළ යුතු ස්ථාන, වැදගත් කරුණු, වැදගත් සාක්ෂි ආදී සියල්ල හඳුනාගැනීමට කටයුතු කළහ.

ප්‍රශ්න තැන් ඔක්කොම සොයගනී

එමෙන්ම මෙම 19 දෙනාගේ කණ්ඩායම යම් යම් පරීක්ෂණ පැවැත්වූ රහස් පොලිස් නිලධාරීන් තමන් හමුවට කැඳවා ඔවුන්ගෙන් දීර්ඝව ප්‍රශ්න කළ අවස්ථාද දැකගත හැකි විය. මේ සියලු විමර්ශන සඳහා නීතිපතිවරයා ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදුන්නා පමණක් නොව, ඊට අවශ්‍ය ශක්තියද ලබාදීමට පියවර ගත්තේය.

මේ ආකාරයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළේ සියුම් විමර්ශනයක් සිදුවෙද්දී එළියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ කතා, ප්‍රකාශ පළවන ආකාරයක් දැකගත හැකි විය. අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේම කියා සිටියේ මෙම ප්‍රහාරයේ මහ මොළකරු වශයෙන් නවුෆර් මව්ලවි හඳුනාගෙන ඇතැයි කියාය. ඒ නවුෆර් මව්ලවි මේ වන විට අත්අඩංගුවේ පසුවන බවද වීරසේකර වැඩිදුරටත් කියා සිටියේය. ඊට පිළිතුරු ලබාදෙමින් විපක්ෂය ඒ සම්බන්ධයෙන් දැඩිව ප්‍රශ්න කළ ආකාරයක්ද එළියේ දැකගත හැකි විය.

වීරසේකර කියන නවිෆර් මව්ලවි මහමොළකරුද?

නමුත් මේ කිසිදු කරුණක් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් වූයේ නැත. ඒ, ප්‍රහාරය සම්බන්ධයෙන් සියුම් විමර්ශනයක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැවැත්වෙමින් තිබුණු නිසාය. ඒ අනුව එම 19 දෙනාගේ කණ්ඩායම සිය විමර්ශන අවසන් කොට සවිස්තරාත්මක වාර්තාවක් පසුගිය සතියේදී නීතිපතිවරයා වෙත ලබාදීමට පියවර ගත්තේය. එහි විමර්ශනවල ඇති අඩුලුහුඬුකම්, තවත් විමර්ශනයට ලක්විය යුතු තැන්, විමර්ශනවලදී සිදුව ඇති අත්වැරැදීම්, මඟහැරීම් ආදී සියල්ල සවිස්තරාත්මකව ගොනුකිරීමටද මෙම 19 දෙනාගේ කණ්ඩායම පියවර ගෙන තිබිණි. ඒ අනුව නීතිපතිවරයා එම වාර්තාව ඉකුත් සතියේම පොලිස්පතිවරයා වෙත යැවීමට පියවර ගත්තේය. ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවටත්, නවුෆර් මව්ලවි මහමොළකරු වශයෙන් හදුනාගත නොහැකි බවටත් නීතිපතිවරයා දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේ එම වාර්තාව පොලිස්පතිවරයා වෙත යැවීමෙන් අනතුරුවය.

නීතිපතිගේ කතාවේ අතුරු ප්‍රතිඵල

කෙසේ වෙතත් නීතිපතිවරයාගේ මෙම බරපතළ ප්‍රකාශයෙන් පසුව එළියේ තවත් සිදුවීම් ගණනාවක්ම පෙළගැසුණු ආකාරයක් දැකගත හැකි විය. ඉන් එක් සිදුවීමක් වූයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයන්ට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 90ක් රඳවා තබාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාට පර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට වරම් ලැබීමය. මීට පෙර අවස්ථාවේදී රිෂාඩ් පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙසට කතානායකවරයා උපදෙස් ලබාදුන්නත් එම නියෝගයටත් ඉහළින් යමින් සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී කියා සිටියේ විමර්ශන පැවැත්වීම හේතුවෙන් රිෂාඩ් පාර්ලිමේන්තුවට රැගෙන ඒමට ඉඩ දිය නොහැකි යැයි කියාය. එය පරීක්ෂණවලට බාධාවක් බවද සරත් කියා සිටියේය. නමුත් නීතිපතිවරයා කළ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සමග සම්බන්ධයක් ඇති බව ඍජුවම කිව නොහැකි වුවත් පසුගිය සතියේ හිටිහැටියේම රිෂාඩ්ට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට කතානායකවරයා යළිත් වතාවක් උපදෙස් ලබාදුන්නේය. ඒ අනුව පාර්ලිමේන්තු පැමිණි රිෂාඩ්, තමන් වරදක් කර ඇත්නම් තමන්ට මරණ දඬුවම ලබාදෙන ලෙසත්, මේ ආකාරයෙන් පළිගැනීම් නොකරන ලෙසත් කියා සිටියා පමණක් නොව, මෙතෙක් පැවැත්වූ සියලු පරීක්ෂණවලින් තමන්ගේ නිදොස්භාවය අනාවරණ කොට ඇති බවත් කියා සිටියේය.

වීඩියෝවට මොකද වුණේ?

මීට අමතරව නීතිපතිවරයා පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවට සිරස නිවුස් ෆස්ට් වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දුන් බව කියැවුණද, කිසිදු අවස්ථාවක ඒ සම්බන්ධ වීඩියෝවක් සිරස ආයතනය පැත්තෙන් විකාශය වූයේ නැත. ඒ වෙනුවට ඔවුන්ද කළේ අදාළ පුවත පමණක් වාර්තා කිරීමය. සාමාන්‍යයෙන් මේ ආකාරයේ රටම කැළඹී යන පුවතක් විකාශය කරද්දී ඒ සම්බන්ධයෙන් වූ වීඩියෝව විකාශය කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවත්, මේ වන විට එම වීඩියෝව විකාශය නොකිරීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් මතුව තිබේ. නමුත් වගකිව යුතු මාධ්‍යයක් වූ සිරස ආයතනය එම වීඩියෝව නිකුත් නොකළේ නීතිපතිවරයා විශ්‍රාම යෑමත් සමග එම ආන්දෝලනාත්මක වීඩියෝව විකාශය කිරීමටදැයි කියන්නට දන්නේ නැත. මන්ද යත් නිල නොවන ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ නීතිපතිවරයා එම සාකච්ඡාවේදී තවත් ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණ කර ඇති බවකි.

කාදිනල් හිමිත් ඇල්ලේ හිමි සමග එළියට බසී

මීට අමතරව නීතිපතිවරයාගේ මෙම කතාවත් සමග පසුගිය කාලයේ තවත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව සිටි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද යළිත් වතාවක් කරළියට පිවිසෙනු දැකගත හැකි විය. කාදිනල් හිමියන්ද මීට සති කිහිපයකට පෙර ප්‍රසිද්ධියේම කියා සිටියේ පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවට මේ වන විට තමන්ටද සැක මතුවනවා යැයි කියාය. නමුත් එම ප්‍රකාශයෙන් අනතුරුව ඉකුත් සති කිහිපයේම කාදිනල් හිමියන් සිටියේ කිසියම් නිහඬ ව්‍රතයක් රකිමින්ය. නමුත් නීතිපතිවරයාගේ මෙම කුමන්ත්‍රණ කතාවත් සමග පසුගිය බදාදා දිනයේදී යළිත් වතාවක් කාදිනල් හිමියන්ද කරළියට පැමිණියේය. ඒ ද තනිවම නොව, බොරැල්ල ධර්මායතනයේ විහාරාධිපති හිමියන් වූ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සමගය. බදාදා දිනයේ ඇල්ලේ හිමියන් සහ කාදිනල් හිමියන් එක්ව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ආණ්ඩුව සිකුරාදා දිනයේ සම්මත කිරීමට සූදානමින් සිටි පෝර්ට් සිටි පනතට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීම විශේෂ සිදුවීමක් විය. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වචනයක් හෝ ප්‍රකාශ නොකළත් පෝර්ට් සිටි කෙටුම්පත හදිසියේම සම්මත කරගැනීමට ආණ්ඩුව කටයුතු කරන ආකාරයෙන් සැකයක් මතුවන බව උන්වහන්සේලා කියා සිටියහ.

බැසිල් ගිය හේතුව

රටේ දේශපාලනය මෙන්ම කොරෝනා වසංගතය ඉතා උණුසුම් මාතෘකාවන් බවට පත්ව තිබියදී හදිසියේම පොහොට්ටුවේ මහමොළකරු වශයෙන් සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව යෑම තවමත් නොවිසඳුණු ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවක් දැකගන්නට තිබේ. ඊට හේතු වී ඇත්තේ බැසිල්ගේ ගමන සම්බන්ධයෙන් විපක්ෂයේ උදවිය පමණක් නොව ආණ්ඩු පක්ෂයේ උදවිය පවා විවිධ අවස්ථාවලදී විවිධ ප්‍රකාශයන් සිදුකිරීමය. රටම අර්බුදයක සිටින මොහොතේ බැසිල් රට පැන්න බවක් විපක්ෂය පැත්තෙන් කියද්දී බැසිල්ගේ වැඩිමහල් සහෝදරයා වූ චමල් කියා සිටියේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා බැසිල් විදේශගත වුණා යැයි කියාය. නමුත් නාමල් කියා සිටියේ ප්‍රතිකාර ගැනීමට තරම් කිසිදු අසනීපයක් බැසිල්ට නොතිබුණා යැයි කියාය. ඒ අනුව මාධ්‍ය බැසිල් යළි පැමිණෙන දිනයක් පිළිබඳ විමසද්දී ආණ්ඩුව පැත්තෙන් කියැවුණේ නුදුරු දිනෙකදීම බැසිල් යළි පැමිණෙතැයි කියාය.

එහේ සිට බැසිල් මෙහේ වැඩ

කෙසේ වෙතත් බැසිල් ඇමෙරිකාව බලා පිටත්ව ගියායින් පසු ඔහු සම්බන්ධයෙන් කිසිදු පුවතක් වාර්තා නොවීමද විශේෂ සිදුවීමකි. ඇමෙරිකාවේ සිටි බැසිල් නිශ්ශබ්දව සිටියත් තමන් ලංකාවේ සිදුවන කටයුතු ගැන සමීපව නිරීක්ෂණය කරන බවට වූ ඉඟියක් පසුගිය සතියේ ලබාදීමට පියවර ගත්තේය. ඒ, අගමැති කාර්යාලයෙන් නිකුත් වූ නිවේදනයක් හරහාය. මෙහිදී කොරෝනා තත්ත්වය පිළිබඳ ජනතාවට දැනුම්දීම සඳහා පැය 24ම ක්‍රියාත්මක දුරකතන අංකයක් හඳුන්වා දීමට ආණ්ඩුව පියවර ගත් අතර, ඒ සම්බන්ධයෙන් අගමැති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්ද නිකුත් විය. නමුත් මෙම නිවේදනය නිකුත්වී පැයකට පමණ පසු ඒ පිළිබඳවම තවත් නිවේදනයක් නිකුත් වූ අතර ඉන් කියැවුණේ විදෙස්ගතව සිටින බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පිහිටුවූවා යැයි කියාය. ඒ හරහා බැසිල් ඇමෙරිකාවට සිටියත් ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් නිරන්තරව අවධානයෙන් සිටින බවට පළමු ඉඟිය ආණ්ඩුව පැත්තෙන් නිකුත් වූ බවක් දැකගත හැකි විය.

පෝට් සිටියට බැහැලම වැඩ

කෙසේ වෙතත් ‘රාජ්‍ය රහස්’ තීරයද පසුගිය සතියේ බැසිල් නැවත ලංකාවට පැමිණෙන දිනය සම්බන්ධයෙන් කිසියම් සොයාබැලීමක නිරත විය. එහිදී එක් පාර්ශ්වයක් ‘රාජ්‍ය රහස්’ තීරයට තහවුරු කර සිටියේ බැසිල් සති හයත් අටත් අතර කාලයක් ඇමෙරිකාවේ රැඳී සිටින බවත්, ඉන් අනතුරුව යළි ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇති බවත්ය. අනෙක් පැත්තෙන් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ලැබුණේ පෝර්ට් සිටිය සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක රාජකාරීන් ගණනාවක් තිරය පිටුපස සිට අවසන් කොට බැසිල් ඇමෙරිකාව බලා ගිය බවකි. එසේ ගොස් ඇත්තේද පෝර්ට් සිටිය සම්බන්ධයෙන් තවත් තීරණාත්මක රාජකාරි කිහිපයක් ඇමෙරිකාවේ සිට සිදුකිරීමට බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

පෝට්සිටියේ මුල් පුටුව බැසිල්ට?

පෝර්ට් සිටි කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී විපක්ෂයේ ප්‍රධාන චෝදනාව වූයේ මේ හරහා වෙනම රටක් බිහිකරන බවකි. වෙනම නීතියක් පෝර්ට් සිටියට ක්‍රියාත්මක වන බවද විපක්ෂය චෝදනා කළේය. මේ හරහා ඉන්දියාව සහ ඇමෙරිකාව කලබලයට පත්ව ඇති බවද විපක්ෂය චෝදනා කර සිටියේය. කෙසේ වෙතත් අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ පෝර්ට් සිටිය පරිපාලනය කිරීම සඳහා පිහිටුවීමට නියමිත කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස බැසිල්ව නම් කරන ලෙසට ආණ්ඩුවේ ප්‍රධානීන්ට මේ වනවිට ප්‍රබල ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවකි. එහි පළමු වාරය බැසිල්ගේ සභාපතිත්වයෙන් යුතුව ක්‍රියාත්මක කරන ලෙසද මෙහිදී ආණ්ඩුවට යෝජනා වී ඇති බව පැවැසේ.
මෙය තහවුරු කෙරෙන එක්තරා ඉඟියක්ද පසුගිය සතියේ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අනාවරණය කර සිටියේය. ඔහු කියා සිටියේ බැසිල් ඇමෙරිකාවට වී සිටින්නේ එතුමාට කළ හැකි බලපෑම් හරහා රටට සෙතක් කිරීමට බවය. එහි යහපත් ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට දැකගත හැකි බවත්, එය දැන්ම අනාවරණය කළහොත් එය කඩාකප්පල් විය හැකි බවත් දිලුම් කියා සිටියේය. මේ සියලු කටයුතු ඇමෙරිකාව බලා පිටත්ව යෑමට ප්‍රථම බැසිල් සැලසුම් කළ බවත්, එම නිසා කිසිදු ගැටලුවක් ආණ්ඩුව ඇතුළේ නැති බවත් දිලුම් වැඩිදුරටත් කියා සිටියේය.

ඇමැතිකම නොගත්තේ ඒකද?

කෙසේ වෙතත් පෝර්ට් සිටි කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවද මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට නම් නියත වශයෙන්ම ඉන්දීය, ඇමෙරිකානු සහ යුරෝපා රටවල දැවැන්ත ආයෝජන ඊට අත්‍යාවශ්‍යය. එසේ නොමැතිව චීන මුල්‍යාධාරවලින් පමණක් පෝර්ට් සිටිය සාර්ථක කරගැනීම කළ නොහැක්කකි. සාමාන්‍යයෙන් බැසිල් ප්‍රකටව සිටින්නේ ඇමෙරිකාව, ඉන්දියාව සහ යුරෝපය සමග සුහද ගනුදෙනුවක් පවත්වන්නකු ලෙසටය. එම නිසා බැසිල්ට පෝර්ට් සිටි නියාමන කොමිසමේ සභාපති ධුරය හිමිවුවහොත් ඒ හරහා ඇමැති ධුරයක් ගෙන රටට සේවය කරනවාට වඩා දැවැන්ත කාර්යභාරයක් කළ හැකි බව නොඅනුමානය. 20 වැනි සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියන්ට පාරලිමේන්තුවට පැමිණීමට හැකිවන ලෙස ව්‍යවස්ථාව සංශෝධනය කර තිබියදීත් බැසිල් පාර්ලිමේන්තු පැමිණ ඇමැති ධුරයක් නොගත්තේ මේ හේතුවෙන්දැයි කියන්නට දන්නේ නැත. කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයකදී හෝ වේවා, ජනාධිපතිවරණයකදී හෝ වේවා එහි ජයග්‍රහණය තීන්දු කරන ප්‍රධාන සාධකයක් වන්නේ පෝර්ට් සිටිය හරහා රටට ගලා එන වස්තු සම්භාරයය. ඒ අනුව යම් හෙයකින් බැසිල් පෝර්ට් සිටි කොමිසමේ සභාපති වුවහොත් ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කරවීමේ මැජික් යෂ්ටිය ඇත්තේද බැසිල් අතේ වනු ඇත.

ඉන්දීය යානයේ කසුකුසුව

මේ ආකාරයට පෝර්ට් සිටි කෙටුම්පත සිකුරාදා දිනයේ පාර්ලිමේන්තුවේ සම්මත කළද එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බදාදා දිනයේදී සිදුවූයේ කිසිවකුත් නොසිතූ සිදුවීමකි. එම සිදුවීම වූයේ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානා සහ ඉන්දියානුවන් පැමිණීම තහනම් කොට තිබියදී එම තහනම මැද ඉන්දීය ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමය. ඉන්දියාව පාර්ශ්වයෙන් කියැවුණේ මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කිරීම සඳහා පත් කළ නව නිලධාරීන් 16 දෙනකු සහ තවත් ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකු රැගෙන මෙම විශේෂ ගුවන් යානය ලංකාවට පැමිණි බවකි. නමුත් මෙම ඉන්දීය ගුවන් යානය පැමිණීමත් සමඟ දේශපාලන ක්ෂේත්‍රයේ කසුකුසු රැසක් පැතිර ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඉන් එක් කසුකුසුවකින් කියැවුණේ එසේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් 16 දෙනකු එකවර ලංකාවට පැමිණීමට නම් මෙතෙක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කළ 16 දෙනකු ඉන්දියාව බලා පිටත්ව යායුතු බවකි. නමුත් කිසිවකුත් එසේ ගිය බවක් මෙතෙක් වාර්තා වී නැති බව එම කසුකුසුවලින් කියැවිණි. තවත් කසුකුසුවකින් කියැවුණේ පෝර්ට් සිටි පනතට විරෝධය පළකිරීමක් වශයෙන් තහනම මැද මෙම ඉන්දීය ගුවන් යානය ලංකාවට ගොඩබැස්වූ බවකි. මීට පෙරද ඉන්දියාව ආණ්ඩුවට විරෝධය පළකිරීම සඳහා ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ ලංකාවේ ගුවන් සීමාව ආක්‍රමණය කරමින් උතුරට පරිප්පු දැමූ බවද මෙහිදී සිහිපත් කෙරිණි. ඒ අනුව මෙවරත් ඉන්දියාව සිය විරෝධය පළකිරීමට ගුවන් මාර්ගයම තෝරාගත් බවක්ද එම කසුකුසුවලින් වැඩිදුරටත් කියවිණි.

පෝට්සිටියෙන් සජබෙත් අවුල්

පෝර්ට් සිටිය මුල් කරගෙන මේ දිනවල සමගි ජනබලවේගය තුළද බරපතළ අර්බුදයක් මතුව ඇති බවක් දැකගන්නට ඇත. මෙම අර්බුදය මතුවූයේ පෝර්ට් සිටි කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බදාදා දිනයේදී සමගි ජනබලවේගය කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැඳවා තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය. මෙහිදී රැස්වීමට සහභාගි වී සිටි සමගි ජනබලවේග මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ පමණක් නොව ඉන් පිටතදීද පෝර්ට් සිටි පනතට එරෙහිව විරෝධතා දැක්විය යුතු බව ප්‍රකාශ කර සිටියහ. ඒ සඳහා විවිධ යෝජනාද ඔවුහු මන්ත්‍රී කණ්ඩායමට ඉදිරිපත් කළහ.

ගිනි තියන්න යෝජනාවක්

විශේෂයෙන්ම ආණ්ඩුව හැදූ කෙටුම්පතේ වගන්තිවලින් තුනෙන් එකක්ම ව්‍යවස්ථාවට අනනුකූල බව ප්‍රකාශ කර තිබීම හරහා මෙය ආණ්ඩුවේ පරාජයක් ලෙසද ඔවුහු පෙන්වා දී සිටියහ. ඒ අනුව එක් මන්ත්‍රීවරයකු කියා සිටියේ කෙටුම්පතට පාර්ලිමේන්තුව ඇතුළේදී ගිනිතැබිය යුතු යැයි කියාය. ඊට මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එකඟතාව පළ කළත්, සජිත් ඊට එකඟතාව පළ කළේ නැත. සජිත් කියා සිටියේ සභාගැබ ඇතුළේ වගකිව යුතු විපක්ෂයක් ලෙස එවැනි කටයුතුවල නිරතවිය යුතු නැති බවකි. මීට පෙර චන්ද්‍රිකා අලුත් ව්‍යවස්ථාවක් ගෙන ආ අවස්ථාවේදී එය සභාගැබේ ගිනිතැබීම හරහා සභාව හෑල්ලුවට ලක්වූ බවද එහිදී සඳහන් විය. ඒ අනුව මන්ත්‍රීවරු සජිත්ගේ කතාවට එකඟතාව පළ කළහ. ඒ අනුව අවසානයේ යෝජනා වූයේ එසේ නම් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඉරා දමා එයට විරෝධය පළ කළ යුතු බවය. ඊට සියලු දෙනාගේම එකඟතාව පළවිය.

හර්ෂ පෝට්සිටියට කඩේ ගිහින්

කෙසේ වෙතත් මෙහිදී දැකගත හැකි වුණු විශේෂම සිදුවීම වූයේ සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊට දැඩිව විරෝධය පළකිරීමය. හර්ෂ කියා සිටියේ එවැන්නක් සිදුකළ යුතු නැති බවකි. හර්ෂ එසේ කියද්දීම ඊට මන්ත්‍රීවරුන් විරෝධය පළකිරීමත් සමග කිසියම් මතගැටුමක් එහි සිදුවන බවක් දැකගත හැකි විය.
මෙහි ඊළඟ පියවර දැකගන්නට ලැබුණේ විවාදයේදී හර්ෂ කතා කළ ආකාරය හරහාය. එහිදී හර්ෂ කතා කළේ පෝර්ට් සිටියට තරමක් පක්ෂපාතී ස්ථාවරයක සිටය. එමෙන්ම තමන්ට නියමිත වේලාවට වඩා වැඩි කාලවේලාවක් ගෙන හර්ෂ කතාකරගෙන ගියද ඊට ආණ්ඩු පක්ෂයෙන් කිසිදු විරෝධයක් එල්ල නොවීමද විශේෂ සිදුවීමකි. ඒ හරහා විපක්ෂයේ අනෙක් මන්ත්‍රීවරුන්ට පනතට විරෝධය දක්වමින් අදහස් පළකිරීමට තිබූ අවස්ථාව විශාල ලෙස මඟහැරී යනු දැකගත හැකි විය. එමෙන්ම සිය කතාව අවසානයේදී හර්ෂට කියැවුණේද ඊළඟට බලයට එන්නේ රාජපක්ෂ කෙනකු යැයි කියාය. එවිට සභාවෙන් කිසියම් විරෝධයක් මතුවෙද්දී නැවත සිය කතාව නිවැරැදි කළ හර්ෂ තමන් අදහස් කළේ සජිත්ගෙන් පසුව බලයට එන්නේ රාජපක්ෂවරයකු යැයිද කියා සිටියේය.

චීන තානාපතිත් හොරෙන් හමුවන්න ගිහින්….?

හර්ෂගේ මෙම කතාවෙන් පසු මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට ගොස් හර්ෂට එරෙහිව සජිත්ට පැමිණිලි කර සිටීමට පියවර ගත්තේය. ඔවුන් සජිත්ට පෙන්වා දුන්නේ හර්ෂගේ ක්‍රියාකලාපය පිළිබඳ කිසියම් සැකයක් මතුවන බවකි. පෙළක් මන්ත්‍රීවරුන් විසින් හර්ෂ අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ වෙලාව ගත් බවට පැමිණිලි කරනු ලැබ තිබිණි. තවත් පිරිසක් හර්ෂට එරෙහිව චෝදනාවක් එල්ල කරමින් කියා සිටියේ මීට දින කිහිපයකට ඉහතදී හර්ෂ තනිවම ගොස් චීන තානාපතිවරයා මුණගැසී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ පිළිබඳ ඔහුගෙන් ප්‍රශ්න කළ යුතු බවත්ය. හර්ෂ එසේ චීන තානාපතිවරයා සිය හිතුමනාපයට මුණගැසී ඇත්නම් ඒ පිළිබඳ ඔහුගෙන් ප්‍රශ්න කළ යුතු බවද එම මන්ත්‍රීවරුන් සජිත්ට පැමිණිලි කොට කියා සිටියහ. එමෙන්ම පෙළක් මන්ත්‍රීවරු එජාපය විනාශ වීමට පවා කොළඹ සිටින කළු කෝට් හැඳගත් ඉංග්‍රීසි කතා කරන, ඉංග්‍රීසියෙන් හිතන පැළැන්තියේ ක්‍රියාකලාපය බලපෑ බවත්, ඔවුන් කෙදිනකවත් පක්ෂයේ වැඩකට සෙනග රැගෙන ඒමට කටයුතු නොකළ බවත්, එම සංස්කෘතිය සමගි ජනබලවේගය ඇතුළට රැගෙන ඒමට ඉඩ නොතැබිය යුතු බවත් සජිත්ට පෙන්වා දුන්හ. ඒ අනුව ඉදිරියේදී හර්ෂගෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටීමට පක්ෂය තීන්දු කර ඇති බවක්ද ආරංචිය.

සති දෙකකට පසු විමල් එළි බසී

පෝර්ට් සිටි කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම ආණ්ඩුව ඇතුළේ ඒ පිළිබඳ තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණ ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම ආණ්ඩුවට සහාය දක්වන සුළුතර පක්ෂ ගණනාවක් එම කෙටුම්පතට යම් යම් සංශෝධන ඉදිරිපත් කළ යුතු බවටත්, එහි ඇති ඇතැම් සංශෝධනවලට විරෝධය පළ කිරීමත් මෙම සාකච්ඡාවන් සඳහා හේතුපාදක වී තිබිණි. ඒ අනුව ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමක් පසුගිය අඟහරුවාදා දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මීට පක්ෂ නායකයන් සියලු දෙනාම පාහේ සහභාගි වී සිටි අතර, විශේෂම සිදුවීම වූයේ ඉකුත් සති දෙකේ පැවැති කිසිදු රැස්වීමකට සහභාගි නොවී නිරෝධායනය වෙමින් සිටි විමල් වීරවංශ අමත්‍යවරයාද පළමු වරට එළියට එමින් එම රැස්වීම සඳහා සහභාගි වී සිටීමය.

ජී.එල්.-කබ්රාල් දේශනවල

මෙම පක්ෂ නායක රැස්වීමට ආණ්ඩුව පැත්තෙන් විශේෂ ඇමැතිවරුන් දෙදෙනකුටද ආරාධනා කර තිබිණි. ඒ එක් අයකු වූයේ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස්ය. අනෙක් අමාත්‍යවරයා වූයේ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාය. ජී.එල්. මෙහිදී පෝර්ට් සිටි කෙටුම්පතේ නීතිමය පැත්ත පිළිබඳ දීර්ඝව පක්ෂ නායකයන්ට පැහැදිලි කළ අතර, පක්ෂ නායකවරුන් විසින් ඉදිරිපත් කර තිබූ සංශෝධන රැසක් පිළිගැනීමට කටයුතු කරන බවද සඳහන් කර සිටියේය. කබ්රාල් පෙන්වා දුන්නේ මේ හරහා රටට පැමිණීමට නියමිත ආයෝජන පිළිබඳවත්, ඒ හරහා ආර්ථිකය ශක්තිමත් වන ආකාරය පිළිබඳවත්ය.

එම පැහැදිලි කිරීමෙන් පසුව බොහෝ පක්ෂ නායකයන් පෙන්වා දුන් කාරණයක් වූයේ පෝර්ට් සිටිය පාලනය කිරීමට නිර්මාණය කරන කොමිසමේ බහුතරය ලාංකිකයන් විය යුතු බවත්, එහි සභාපති ධුරයද ලාංකිකයකුට හිමි විය යුතු බවත්ය. අගමැතිවරයා ඒ අවස්ථාවේදීම එම සංශෝධනය පිළිගැනීමට පියවර ගත්තේය. මීට අමතරව තවත් කරුණු කිහිපයක්ම මෙහිදී සාකච්ඡා වූ අතර ඒවාටද ආණ්ඩුව පැත්තෙන් යහපත් ප්‍රතිචාර හිමිවන ආකාරයක් දැකගත හැකි විය.

මහින්දානන්දට විරෝධයක්…

මෙම පක්ෂ නායක රැස්වීමෙන් පසු පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමද රැස්විය. එම රැස්වීම සඳහාද ජී.එල්. හා කබ්රාල් සහභාගි වී සිටි අතර, පක්ෂ නායක රැස්වීමේදී මෙන්ම මේ දෙදෙනා ආණ්ඩු පක්ෂ රැස්වීමේදීත් පෝර්ට් සිටිය පිළිබඳ නීතිමය පැත්ත සහ ආර්ථිකමය පැත්ත පැහැදිලි කළහ. කෙසේ වෙතත් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රධාන මාතෘකාවක් බවට පත් වූයේ පෝර්ට් සිටියටත් වඩා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට මේ දිනවල මුහුණදීමට සිදුව ඇති පොහොර ප්‍රශ්නයය. කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව හිටිහැටියේම රසායනික පොහොර තහනම් කිරීම හරහා ගොවි ජනතාවගෙන් තමන්ට දැඩි චෝදනාවක් එල්ල වන බව ඈත පළාත් නියෝජනය කරන මන්ත්‍රීවරු සඳහන් කර සිටියහ. මෙහිදී මහින්දානන්දට දැඩි විරෝධයක් මන්ත්‍රී කණ්ඩායමෙන් එල්ල වූ අතර, බදුල්ලේ චාමර සම්පත් මන්ත්‍රීවරයා කියා සිටියේ ගොවි ජනතාව අසන ප්‍රශ්නවලට තමන්ට පිළිතුරු නැති බවත්, තමන් ගමට ගිය පසු ගොවි ජනතාව පැමිණ තමන් වටකරගෙන ප්‍රශ්න අසන බවත්ය. ඒ නිසා වහාම පොහොර ප්‍රශ්නයට පිළිතුරු සෙවිය යුතු බවට චාමර සම්පත් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. මීට අමතරව පසුපෙළ මන්ත්‍රීවරුන්ද පොහොර ප්‍රශ්නය පිළිබඳ සිය විරෝධය පළකළ ආකාරය දැකගත හැකි විය. ඒ අනුව අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරන බව මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී සිටියේය.

වියත් මග ඇමැතිවරුන්ට ගිය කලක්…

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ පැවැති මෙම පක්ෂ නායක රැස්වීමෙන් පසු ආණ්ඩු පක්ෂ ලොබියේ රැස්ව කතාකරමින් සිටි ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් බොහෝ දෙනෙක් පොහොර ප්‍රශ්නය ආණ්ඩුව නොසිතන තරමේ දරණු තැනකට ගොස් ඇති ප්‍රශ්නයක් බව කියා සිටියහ. මෙම පොහොර ප්‍රශ්නය හරහා ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන් දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බවක්ද එහිදී කියැවිණි. විශේෂයෙන්ම වියත් මග නියෝජනය කරන ඇමැතිවරුන්ට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මෙහිදී කියා සිටියේ හැකි ඉක්මනින් ජනාධිපතිවරයාගේ අවධානය මේ කෙරෙහි යොමුකරන්න යැයි කියාය. නමුත් එහිදී සියලු දෙනා පුදුමයට පත්කරමින් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනකුම තමන් පත්ව සිටින අපහසුතාව මෙහිදී මන්ත්‍රීවරුන්ට කියා සිටින්නට විය. ඇතැමෙක් කියා සිටියේ ජනාධිපතිවරයාට කතා කිරීමට මාර්ගයක් නැතැයි කියාය. තවත් සමහරුන් කියා සිටියේ ජනාධිපතිවරයා ඇතැම් විට දුරකතනයටවත් පැමිණෙන්නේ නැතැයි කියාය. ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ දුක්ගැනවිලි රාජ්‍ය අමාත්‍යවරුන්ට කියන්නට ගිය බොහෝ දෙනකුට සිදුවූයේ ඒ රාජ්‍ය ඇමැතිවරුන්ගේ දුක්ගැනවිලි අසා සිටින්නටය.

ජනපතිට උපදෙස් දෙන්නේ කව්ද?

ඒ අනුව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මේ දිනවල විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවක් ආරංචිය. ඒ, ජනාධිපතිවරයාට යම් යම් තීන්දු තීරණ ගැනීමට උපදෙස් දෙන පුද්ගලයන් සොයා යෑමේ මෙහෙයුමක්ය. එසේ උපදෙස් දෙන්නේ කවුද, එම කණ්ඩායම කවුරුන්ද යන්න සොයාබැලීමට මෙහිදී මන්ත්‍රීවරුන් බොහෝ දෙනා එකඟතාවක් ඇති කරගත් බවක්ද ආරංචිය.

වාසුගේ ගෙදර යළි රැස්වීමක්…

කෙසේ වෙතත් මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු එදිනම සවස ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ නායකවරු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ නිවෙසේ රැස්වී සාකච්ඡා කිරීමට පියවර ගත්හ. ඊට ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂ එකොළහේම නියෝජිතයන් සහභාගි වී සිටින ආකාරයක් දැකගත හැකි විය. මෙම රැස්වීමට සති දෙකකට පසු අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගි වූයේම ඊට සුළු මොහොතකට පෙර පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ සිදුවූ සිදුවීමක් පිරිසට දැනුම් දෙමිනි. ඒ අනුව විමල් පක්ෂ නායකවරුන්ට කියා සිටියේ කැබිනට් මණ්ඩලයේදී පෝර්ට් සිටිය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ බවත්, ඉදිරිපත් වූ සියලු සංශෝධනයන්ට ජනාධිපතිවරයා ඉතා සාවධානව ඇහුම්කන් දී ඒවා පිළිගැනීමට කටයුතු කළ බවත්ය. තවත් සංශෝධන ඉදිරිපත් කළේ නම් ජනාධිපතිවරයා ඒවාද පිළිගන්නා තැනක සිටි බවද විමල් මෙහිදී කියා සිටියේය. ඒ අනුව සුළු පක්ෂවල සංශෝධන පිළිගැනීමට ආණ්ඩුව කටයුතු කිරීම හේතුවෙන් ඊට විරෝධය පළ කළ යුතු නැති බව පක්ෂ නායකවරුන්ගේ ස්ථාවරය විය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

මහ පාරෙන් මඟ පෑදුණු ජාතික සමගිය

Next Post

එළියට බහින්න කලින් ICU එකක වැඩකරන වෛද්‍යවරියක් කියන පපුව පිච්චිලා යන මේ කතාව කියවලම යන්න…

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.