එක්සත් ජාතික පක්‍ෂයේ අලුත්ම නායකත්ව අර්බුදය ආරම්භ වී දැනට මාසයක් ඉක්ම ගොස් ඇත. පසුගිය අගෝස්තු මස 5 වැනිදා පැවැති මහමැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීම ආරම්භ වූයේ අගෝස්තු මස 06 වැනි දින සවස් කාලයේ සිටය. රාත්‍රි වන විට නිකුත් වුණු අවසන් ප්‍රතිඵලවලින් කියැවුණේ එක්සත් ජාතික පක්‍ෂය ඉතිහාසයේ දරුණුතම පරාජයට මුහුණ දී ඇතැයි කියාය. එසේත් නැතිනම් එකදු ආසනයක් හෝ ජයගැනීමට එක්සත් ජාතික පක්‍ෂයට නොහැකි වී ඇතැයි කියාය. ඒ අනුව අගෝස්තු 6 වැනිදා සිට ආරම්භ වූ පක්‍ෂයේ නායකත්ව අර්බුදය මේ වන විට ඇත්තේ කොයි අතට පෙරළේදැයි කිව නොහැකි තත්ත්වයකය. පක්‍ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයට පවා තවමත් කිසිවකුත් නම් කරගත නොහැකි තරමට අර්බුදය උඩු දුවා තිබේ.
කෙසේ වෙතත් ලද දැවැන්ත පරාජයත් සමඟ පළමු අවස්ථාවේදීම පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ තමන් නායකත්වයෙන් ඉවත් වන බවත්, ඊට ඕනෑම පුද්ගලයකුට ඉදිරිපත් විය හැකි බවත්ය. ඒ අනුව පළමු අදියරේදි පක්‍ෂයේ උප නායක රවි කරුණානායක, භාණ්ඩාගාරික දයා ගමගේ, මහලේකම් රුවන් විජේවර්ධන, ජාතික සංවිධායක නවීන් දිසානායක සහ වජිර අබේවර්ධන යන අය පක්‍ෂ නායකත්ව සටනට ඉදිරිපත් වන බවට ඒ ඒ පාර්ශ්වයන්ගෙන් අදහස් ප්‍රකාශ විය.
වජිර රනිල්ගෙන් ආශිර්වාද ගනී
මෙහිදී රනිල් නායකත්වයෙන් ඉවත් වන බව නිල වශයෙන් ප්‍රකාශ වීමත් සමඟ පළමුවෙන්ම නායකත්ව සටනට තමන් ඉදිරිපත් වන බව රනිල් මුණගැසී කියා සිටි පළමු පුද්ගලයා වූයේ වජිර අබේවර්ධනය. වජිර යනු පසුගිය කාලය පුරාම රනිල්ට එරෙහිව පක්‍ෂය ඇතුළේ කැරැලි මතු වූ අවස්ථාවේදී රනිල් බේරා ගැනීම වෙනුවෙන් එළිපිට සටන් කර බෙල්ල දුන් අයෙකි. වජිර ඒ කාලය පුරා කිසිම අවස්ථාවක රනිල් අතහැර යෑමට කටයුතු කර නොතිබිණි. රනිල්ගේ කුමන වැරැදි තිබුණත් පක්‍ෂ නායකයා වශයෙන් රනිල් ආරක්‍ෂා කරගැනීමට වජිර කටයුතු කර තිබිණි. මේ හේතු නිසාම රනිල් විරෝධී පිල වජිර සමඟ සිටියේ බද්ධ වෛරයකිනි.
ඒ අනුව රනිල්ගේ පස්වැනි පටුමගේ පිහිටි නිවෙසේදී රනිල් මුණගැසුණු වජිර තමන්ද නායකත්ව සටනට ඉදිරිපත් වන බව රනිල්ට දැනුම් දී සිටියේය.
‘සර්, මම පසුගිය අවුරුදු විස්සේදීම ඔබතුමාව ආරක්‍ෂා කළා. ඔබතුමාට එරෙහිව පක්‍ෂයේ ඇතුළෙන් ආපු හැම කැරැල්ලකදීම මම ඔබතුමාව බේරාගන්න කටයුතු කළා. දැන් ඔබතුමා කියල තියෙනවා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වෙන්න සූදානම් කියලා. ඉතින් මමත් තීන්දු කළා නායකත්ව සටනට ඉදිරිපත් වෙන්න. ඒකට ඔබතුමාගේ ආශීර්වාදය මට හිමිවෙනවද?’ යනුවෙන් වජිර රනිල්ගෙන් විමසා සිටිද්දී රනිල්ද කියා සිටියේ තමන්ගේ ඊට කිසිදු විරෝධයක් නොමැති බවකි. වජිර පක්‍ෂ නායකත්ව සටනට බැස්සේ රනිල්ගෙන් ලැබුණු ඒ අවසරයත් සමඟය. සිය දිස්ත්‍රික්කය ඇතුළේ පමණක් නොව මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන් පවා මුණගැසෙමින් වජිර නායකත්ව සටන දියත් කළේ ඒ අනුවය.
රනිල්ගේ ඩබල් ගේම මාට්ටු
කෙසේ වෙතත් සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කර දින කිහිපයක් ගතවන විටදී රනිල් විසින් පක්‍ෂ නායකත්වයට සිය පවුලේ ඥාතියකු වූ රුවන් විජයවර්ධන රැගෙන ඒමට සැලසුම් කරමින් සිටින බවට වූ කටකතා වජිරගේ කනටද වැටිණි. නමුත් වජිර ඒ කිසිවක් ඒ අවස්ථාවේදී විශ්වාස නොකළේ එජාප අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් විවිධ කටකතා නිර්මාණය කර තිබීම නිසාත්, මෙයත් එවැනිම කටකතාවක් ලෙස සිතා වජිර විසින් එය බැහැර කිරීම නිසාත්ය. නමුත් රනිල්ටත්, වජිරටත් අතිශය හිතවත් එක්තරා කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයකුගෙන් පසුගිය සතියේදී ලැබුණු එක්තරා පණිවුඩයක් හේතුකොට ගෙන වජිර දැඩි කලබලයට පත්විය. පණිවුඩයෙන් කියැවුණේ ඊළඟ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී රුවන්ව පක්‍ෂ නායකයා ලෙස නම් කිරීමට රනිල් සියලු සැලසුම් සකස් කොට ඇති බවත්, එම නම සම්මත කරගැනීමට දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇති බවත්ය.
වජිරගෙන් යළි රනිල්ට ඇමතුමක්
සිය හිතවතාගෙන් මෙම පණිවුඩය එන විට වජිර සිටියේ අනුරාධපුරයේය. වහාම අනෙක් අතට කොළඹ සිටි රනිල්ට දුරකතන ඇමැතුමක් ගත් වජිර මේ කතාවේ ඇත්ත නැත්ත විමසා සිටීමට පියවර ගත්තේය.
‘ඔබතුමා පක්‍ෂ නායකත්වයෙන් අයින් වෙනවා කිව්වම මම ඔබතුමා ළඟට ඇවිත් ඇහුවා මම නායකත්වයට ඉදිරිපත් වෙන්නද කියලා. ඔබතුමා මට ‘හා’ කියලා කැමැත්ත දුන්නා. ඒ නිසා මම කැම්පේන් එකත් පටන්ගත්තා. දැන් මට ආරංචියි ඔබතුමා හැම කෙනාටම කෝල් කරලා රුවන් නායකයා කරන්න සපෝට් එක ඉල්ලනවා කියලා. මොකද්ද සර් මේකෙ තේරුම…’ යනුවෙන් වජිර රනිල්ගෙන් විමසා සිටිද්දී කලබල වූ රනිල් කියා සිටියේ ‘නෑ… නෑ… ඒක බොරු කතාවක්, මම එහෙම කතාවක් කියලා නැහැ…’ යැයි කියාය. එවිට යළිත් වජිර රනිල්ගෙන් විමසා සිටියේ එසේ නම් තමන් පක්‍ෂ නායකත්වයට තරග කළාට කමක් නැද්ද කියාය. රනිල්ද ඊට කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් අනතුරුව වජිර සුපුරුදු පරිදි තමන්ගේ ඡන්ද සටන දිගටම ගෙන යෑමට පියවර ගත්තේය.
මේ ආකාරයට රනිල් කියා සිටියද වජිරට රනිල්ගේ කතාවේ කිසියම් වෙනසක් ඇති බවට සැකයක් ඇති නොවුණාද නොවේ. ඒ අනුව සිය හිතවතුන් කිහිප දෙනකුටම වජිර කියා සිටියේ ‘රනිල් මම කතා කළාම නම් කිව්වෙ රුවන්ට එයා සපෝට් කරන්නෙ නැහැ කියලා. නමුත් දැන්නම් මටත් සැකයක් තියෙනවා රනිල් රුවන්ව ගේන්න තමයි වැඩ කරන්නෙ කියලා. කමක් නැහැ අපි බලමුකෝ. රුවන් ආවත් මම ඉල්ලන එක නතර කරන්නේ නැහැ. වර්කින් කමිට් එකේ ඡන්දයක් තියන්න හරි මමත් ලෑස්තියි…’ යැයි කියාය.
කරුට මුලින්ම කතා කරයි
ඒ අනුව වජිර පසුගිය සතියේදී පක්‍ෂය ඇතුළේ නායකත්ව සටනට පැමිණිය හැකි බවට ප්‍රකාශ වී ඇති සියලු දෙනාම හමුවී සාකච්ඡා කිරීමට තීරණය කළේය. මුලින්ම වජිර මුණගැසුණේ තමන්ද එජාප නායක සටනට ඉදිරිපත් වන බවට ප්‍රසිද්ධියේම කියා සිටි හිටපු කතානායක කරු ජයසුරිය මහතා සමඟය. දැනට වජිරට ලොකුම අභියෝගය එල්ලවී ඇත්තේ කරුගෙන් වුවද රනිල් දැනටමත් ප්‍රකාශ කොට ඇත්තේ පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව කරුට නායකත්ව සටනට ඉදිරිපත් විය නොහැකි යැයි කියාය. කරු එජාප සාමාජිකයකු නොවීම, කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයකු නොවීම ඊට හේතුව බව රනිල්ගේ ස්ථාවරය විය. නමුත් කරු පසුගිය සතියේදී තමන් 2020 වසරට ගත් සාමාජික කාඞ්පත මාධ්‍යයට නිකුත් කිරීම හරහා රනිල්ගේ තර්කය කිසියම් අර්බුදකාරී තැනකට පත්ව ඇති ආකාරයක් මේ වනවිට දැකගන්නට තිබේ.
කෙසේ වෙතත් පසුගිය සතියේ කරුගේ නිවෙසට ගොස් කෙළින්ම කරුත් සමඟ මේ පිළිබඳව කතා කිරීමට වජිර පියවර ගත්තේය. පසුගිය වසර 20ක කාලය තුළ රනිල්ව ආරක්‍ෂා කිරීමට පියවර ගැනීම නිසා කරුද වජිර සමඟ කිසියම් නෝක්කාඩුවකින් පසුවුවද ඒ කිසිවක් පිටතට නොපෙන්වා වජිර සමඟ කතා කිරිමට කරු කටයුතු කළේය.
‘මම මේ ගැන හැංගි හොරා නැතිව කෙළින්ම කතා කරන්නම්. මම තීන්දු කරලයි තියෙන්නෙ පක්‍ෂ නායකත්වයට ඉදිරිපත් වෙන්න. ඒ නිසා ඔබතුමා පක්‍ෂ නායකත්වයට තරග කරන්න එපා. ඔබතුමා විශ්‍රාමිකව ඉන්න. මෙතැනදි මට සහාය දෙන්න. අපි ඊට පස්සෙ එකතු වෙලා මේ පක්‍ෂය හදමු..’ යැයි වජිර කරුට කියද්දී කරුද පක්‍ෂ නායකත්වයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් තමන් දැනටමත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර ඇති බව දැනුම් දී සිටියේය. කෙසේ වෙතත් එම සාකච්ඡාව අවසන් වූයේ කිසිදු එකඟතාවකින් තොරවය.
රවීවත් හමුවෙයි
ඉන් අනතුරුව වජිර එජාප උප නායක රවිටද කතා කළේය. රවි යනු කරු පක්‍ෂ නායකත්වයට ගෙන ඒම සඳහා පසුගිය සති කිහිපය පුරාම තිරය පිටුපස විශාල මෙහෙයුමක් දියත් කර සිටින චරිතයකි. රවිට කතා කළ වජිර ඔහුටද කියා සිටියේ තමන් පක්‍ෂ නායක සටනට ඉදිරිපත් වන බවත්, කවුරු ඊට ඉදිරිපත් වුවත් කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ඡන්ද සටනකට මුහුණ දීමට තමන් සූදානම් බවත්ය.
රනිල්ගේ තේරීම වූ රුවන්ටත් කතා කරයි
ඒ අතරවාරයේ වජිර, රනිල් විසින් පක්‍ෂ නායකත්වයට ගෙන ඒම සඳහා දත කන රුවන් විජයවර්ධනද හමුවීමට පියවර ගත්තේය.
‘මම පක්‍ෂ නායකත්වයට ඉල්ලන්න ලෑස්තියි. ඔයාගෙ නමත් දැන් ඒකට කියැවෙනවා. හැබැයි මොන තත්ත්වයක් යටතේවත් මම දැන් ඒකෙන් අයින් වෙන්නෙ නැහැ. මට ඒකට රනිල්ගෙන් ආශීර්වාදය තියෙනවා. පක්‍ෂ නායකකමට වර්කින් කමිටි එකේ ඡන්දයක් ආවොත් ඒකටත් මුහුණ දෙන්න මම ලෑස්තියි…’ යනුවෙන් වජිර රුවන්ට කියද්දී රුවන් ඒ සියල්ල කිසිත් නොකියා අසා සිටිනු දැකගත හැකි විය.
චන්නගේ මුහුණුටම කියපු දේ
එපමණක් නොව වජිර තවත් පියවරක් ඉදිරියට තබමින් චන්න වික්‍රමසිංහටද කතා කිරීමට පියවර ගත්තේය. චන්න යනු රනිල්ගේ සහෝදරයා වන අතර පසුගිය අවුරුදු 20 පුරාම චන්නත් රනිල්ගේ නායකත්වය ආරක්‍ෂා කරගැනිම වෙනුවෙන් වජිර මෙන්ම කැපවුණු චරිතයක් වීම කියා චන්න හා වජිර අතර සමීප හිතවත්කමක්ද තිබිණි. එමෙන්ම පසුගිය සතියක අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණය කළ පරිදි රනිල්ගෙන් පසු රුවන් විජයවර්ධන එජාප නායකත්වයට ගෙන ඒම සඳහා තිරය පිටුපස මෙහෙයුම දියත් කර තිබුණේද චන්න විසිනි. පසුගිය සතියේ කොළඹ බේබෘක් පෙදෙසේ පිහිටි අවන්හලකදී රනිල්, රුවන්, පවුලේ ඥාතීන් සමග චන්න මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක්ද පැවැත්වීමට පියවර ගෙන තිබිණි. (ඉකුත් සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අපි මේ පිළිබඳ තොරතුරු අනාවරණය කළෙමු.)
කෙසේ වෙතත් චන්නවත් මුණගැසුණු වජිර චන්නටද කියා සිටියේ තමන්ද පක්‍ෂ නායක සටනට ඉදිරිපත් වීමට තීන්දු කර ඇති බවකි.
‘මමත් සටනට එනවා. ඒ නිසා පුළුවන් නම් රුවන්ව මේකෙන් අයින් කරගන්න. හැබැයි ඒගොල්ලො රුවන්ව දානවා නම් මමත් සටන අතහාරින්නෙ නැහැ. මම නායකත්වයට එනවට රනිලුත් කැමැතියි. මම ඊයෙත් මේ ගැන රනිල් එක්ක කතා කළා. එයත් ප්‍රශ්නයක් නැහැ මම එනවා….’ යනුවෙන් වජිර චන්නට කියා සිටියේය.
රනිල්ට-රුවන්ට එරෙහිව හවුලක්
මේ ආකාරයට වජිර රුවන්ට එරෙහිව පක්‍ෂ නායකත්වයට සටන් කරන බවට ජ්‍යෙෂ්ඨයන් සියලු දෙනාටම දැනුම් දීමත් සමඟ රුවන්ට එරෙහිව කිසියම් සන්ධානයක් එජාපය ඇතුළේ නිර්මාණය වන ආකාරයක් දැකගන්නට ලැබිණි. විශේෂයෙන් රුවන් රනිල්ගේ ළඟම ඥාතියකු වීමත්, ජ්‍යෙෂ්ඨයන් රැසක් සිටියදී ඒ සියලු දෙනාම කපා දමා රනිල් සිය ඥාතියාව පක්‍ෂ නායක පුටුවට රැගෙන ඒමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ද සිටියේ රනිල් සමඟ කිසියම් කලකිරීමකිනි. රවි – අර්ජුන – දයා ගමගේ එහි ඉදිරියෙන්ම සිටි අතර, වජිර සමඟද මේ පිරිස අවුලකින් සිටියත් රුවන්ගේ මාතෘකාව මුල්කරගෙන ඒ මතගැටුම් අවසන් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව රුවන්ට එරෙහි පොදු සන්ධානයක් පසුගිය සතිය වන විට එජාපය ඇතුළේ නිර්මාණය වන ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
අකිල රනිල්ට ඔත්තුව දෙයි: කෘත්‍යාධිකාරිය කල් යයි
මේ තත්ත්වය පසුගිය බදාදා වන විට රනිල්ටද වාර්තා විය. ඒ පක්‍ෂ මහලේකම් අකිල කළ දැනුම් දීමකට අනුවය. අකිල එහිදී රනිල්ට දැනුම් දී සිටියේ රුවන්ට එරෙහිව විශාල බලවේගයක් පක්‍ෂය ඇතුළේ ගොඩනැඟෙමින් තිබෙන බවත්, ඒ හරහා සිකුරාදා (4දා) දිනයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පවත්වා තීන්දු තීරණ ගැනීමට ගියහොත් බරපතළ අර්බුදයක් මතුවීම නොවැළැක්විය හැකි බවත්ය.
රනිල්ද මීට පෙර සැලසුම් කර තිබුණේ සිකුරාදා දිනයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවා රුවන්ගේ නම පක්‍ෂ නායකත්වයට යෝජනා කොට එය සම්මත කරගැනීමටය. නමුත් මතුවෙමින් පවතින තත්ත්වය යටතේ එය කෙසේවත් කළ නොහැකි බව රනිල්ටද අවබෝධ විය. ඒ අනුව රනිල් අවසන් මොහොතේදී තීන්දු කළේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම සිකුරාදා නොපවත්වා දින නියමයක් නැතිව කල් දැමීමටය.
කපිල පුංචිමාන්නගේ