විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගත වීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා යාමට නොහැකි වූ ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය නායකයා බවට පත් කොට සිටින දසුන් ශානක හට විස්සයි විස්ස තරග 3ම ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නොලැබෙන ලකුණු මේ වනවිට පහළ කොට තිබේ.
මේ දක්වා දසුන්ගේ විදෙස් ගමන් බලපත්‍රයේ ගැටලුව විසදා ගැනීමට නොහැකි වීම ඒ සදහා හේතු වී ඇති බව පැවසේ.
වසර 5ක අමෙරිකානු වීසා සහිතව නිකුත් කර තිබූ මෙම විදෙස් ගමන් බලපත්‍රය 2018 නිකුත් කොට තිබූ එකකි.
ඒ අනුව අමෙරිකානු තානාපති කාර්යාලය මේ වනවිට දසුන්ගේ විදෙස් ගමන් බලපත්‍රය උපයෝගී කොටගෙන වෙනත් කවුරුන් හෝ අමෙරිකාවට ව්‍යාජ ආකාරයෙන් ඇතුල් වී ඇතිද යන්න පිළිබද සොයා බලමින් සිටින බව දැනගන්නට ඇත.
ඊයේ පස්වරුව වනවිටත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ලැබී තිබුණේද නැත.
කෙසේවෙතත් මාර්තු 3 වැනිදා පළමු විස්සයි විස්ස තරගය පැවැත්වීමට නියමිත අතර එසේ වුවහොත් ටෙස්ට් හා එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න හට විස්සයි විස්ස කණ්ඩායමේ නායත්වයද පැවරීමට තීරණය වී ඇති බව දැනගන්නට ඇත.










