මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමේ අපේක්ෂාවෙන් ඉකුත් සිකුරාදා වන විට අපේක්ෂකයින් 07 දෙනෙක්ම මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කර තිබුණි. මුලින්ම ඇප මුදල් තැන්පත් කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. අමරසිංහත් ජයන්ත කැටගොඩත්, පරිසර ප්‍රශ්න පිළිබඳ කතාකොට ජනතාව අතර ප්‍රචලිත අජන්තා වීරසිංහ යන මහත්ම මහත්මීන්ය. අමරසිංහත් කැටගොඩත් මැතිවරණයට ඉල්ලන්නේ ස්වාධිනවය. එහෙත් අජන්තා වීරසිංහ අපේකෂකත්වය ඉල්ලන්නේ ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයෙනි.
මේ තිදෙනාගෙන් අමරසිංහත් කැටගොඩත් ඉල්ලන්නේ සැබෑ ලෙසම ජනාධිපතිවන්නට නොව. ගෝඨාභයගේ සහයටය. අජන්තා වීරසිංහ ඉල්ලන්නේ කා වෙනුවෙන්දැයි මෙතෙක් පැහැදිලි නැතත් බොහෝ විට ඇය මෙවර මැතිවරණයට ඉල්ලන්නේ යැයි අනුමාන කළ හැකිවන්නේ කසල ප්‍රශ්නය ජනතාව අතරට ගෙන යන්නටය. ඒ ඇය රටේ කසල ගැටලුව ගැන හඬ නගන්නේ විසි වසරක් තිස්සේ වන බැවිනි.
මේ තිදෙනා ඇප මුදල් තැන්පත් කරන්නේ මැතිවරණයට දින නියම වී එය ගැසට් කර පැය 24ක් ගත වන්නට මත්තෙනි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරෙන්නේ ඊට පසු දිනය. එදිනම ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අපරැක්කේ පුඤ්ඤානන්ද හිමියන් මෙන්ම “අපේ ජන බල පක්ෂයේ” සභාපති සමන් පෙරේරාද ඇප මුදල් තැන්පත් කරන්නේ ජනාධිපතිධුරය අපේක්ෂාවෙනි.
හත්වැන්නා ඇප මුදල් තැන්පත් කරන්නේ පසුගිය බ්‍රහස්පතින්දාය. ඔහු සිරිතුංග ජයසූරියයි. 2005 ජනාධිපතිවරණයටත් තරග කර ඇති සිරිතුංග ජයසූරිය එම වසරේ මනාප පෙළගැස්මට අනුව සිටියේ තුන් වැනි තැනේය. සිරිතුංග ජයසූරිය ගැන ගැටලුවක් නැතත් ගෝඨාභයට මෙවර ජනාධිපතිවරණයට ඉල්ලන්නට හැකියාව තිබේදැයි ඇත්තේ ගැටලුවකි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගෝඨාභයට එරෙහිව දැවැන්ත විමර්ශනයක් මේ වන විට පවත්වන බැවිනි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට 2005 වසරේදී අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේදී ඇමරිකානු පුරවැසියෙක් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණ නීති විරෝධිව මැතිවරණ කටයුතුවල නිරතවීම ගැන පැවැත්වෙන එම පරීක්ෂණයට අදාළව මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බොහෝ තොරතුරු රැස්කරගෙන හමාරය. ඇමරිකානු පුරවැසියෙක් වූ ගෝඨාභය රාජපක්ෂ 2005 ඡන්ද හිමි ලේඛනයේද ලියාපදංචි වී සිටිමින් ඡන්දය පවා භාවිතා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගත් තොරතුරුවල සඳහන්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තවදුරටත් තොරතුරු සොයමින් පසුගිය සතියේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේද ලිපි ගොනු ඇවුස්සා තිබුණේය.
ගෝඨාභයට පමණක් නොව, ගෝඨාභයගේ සහයට ජනාධිපතිධුර අපේක්ෂකයන් වී සිටින සෙසු දෙදෙනාටද ඇත්තේ බරපතළ චෝදනාය. ඒ එක් අයෙක් වන්නේ අපරැක්කේ පුඤ්ඤානන්ද හිමියන්ය. උන් වහන්සේට එල්ලවී ඇති චෝදනාවක් වන්නේ ළමා අපචාරයකි. 09 හැවිරිදි දරුවෙක් අපයෝජනයට ලක්කළේ යැයි චෝදනා ලැබ සිටින උන් වහන්සේ 2018 වසරේ ජුලි 17 වෙනිදා ගම්පහ පොලිසිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කරමිනි. 64 වියැති උන් වහන්සේට ජනාධිපතිවරණ අපේක්ෂකකත්වය ඉල්ලා සිටින්නේ ළමා අපචාරයක් වැනි බරපතළ චෝදනාවක් එල්ලවී තිබියදීය.
ගෝඨාභයගේ සහයට ඉල්ලන අනෙක් අපේක්ෂකයා වන්නේ සමන් පෙරේරාය. පොලිසිය මෙන්ම දකුණේ මිනිස්සු ඔහුව දන්නේ රෝයල් බීච් සමන් යැයි කීවිටය. දකුණේ පාතාල කල්ලිවල නම් කියැවෙන විට ඒත් එක්කම කියැවෙන නාමයක් වන රෝයල් බීච් සමන්ගේ නම ඉදිරියේ ඇති චෝදනා ගණනද සුළුපටු නැත. රෝයල් බීච් සමන්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන්නේ කොස්ගොඩ සුජීය. අවස්ථා කිහිපයක්ම සුජීගේ වෙඩි උණ්ඩ රෝයල් බීච් සමන් සොයාගෙනවිත් තිබුණේය. වරක් සමන්ගේ දිවි ගැලවෙන්නේ ඔහුට තැබූ වෙඩිල්ල විදේශිකයෙකුට වැදීය.
මේ කියන සමන් අපේ ජනබල පක්ෂය මිලදී ගන්නේ මෑතකදීය. ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතන තැතක් ගැන කී නාමල් කුමාර සිටින්නේද ඔහු සමගිනි. ඊට අමතරව සිංහල සංවිධාන කිහිපයකටම අරමුදල් සපයන්නේද සමන්ය. එම සිංහල සංවිධාන දැන් සිටින්නේ සමන් සමගිනි.
සංචාරක මග පෙන්වන්නෙක් ලෙස සිය ජීවිතය ඇරඹි සමන් අද ප්‍රකෝටිපතියෙකි. ඒ පළමු ප්‍රකෝටිපති වෛද්‍යවරියක් විවහාකර ගැනීමෙනි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කුළියාපිටියේ ගිනි ඇවිලෙන විට කළු පැහැති ඩිෆෙන්ඩරයකින් නාමල් කුමාර සමග කුළියාපිටිය පැත්තේ සැරි සරා තිබුණේ සමන් පෙරේරාය. එදා නාමල් කුමාර පොලිසියට පවසා තිබුණේ අලුත් දේශපාලන පක්යේ වැඩ කටයුතු සංවිධානය කිරීමට යමින් සිටියදී කුළියාපිටියේ කලබලයට තමන් මැදිවූ බවකි. නාමල් කුමාර දැන් සිටින්නේ කා සමගින්දැයි ඒ අනුව පැහැදිලිය. නාමල් කුමාර මේ වන විට සිටින්නේ රහස් පොලිස් භාරයේය. ජනපති ඝාතන කුමන්ත්‍රණ කථාව හිතළුවක් බව ඔහු මේ වන විටත් හෙළිකර හමාරය. එම ඝාතන කථාවට මාකදුරේ මධුෂ්ව පටලවන්නේ ඒ වන විට පාතාලයේ ගෝඞ්ෆාදර් ලෙස වැඡඹුණේ ඔහු බැවිනි. ජනපති ඝාතන කථාවක් ගොඩ නගන්නේද ගෝඨාභය රාජපක්ෂව පුම්බන්නටය. ඒ සඳහා ජනපති මෛත්‍රීපාලව පටලවන්නේ ඔහු ලව්වා මේ නැත්ත ඇත්ත කරවන්නටය.
නාමල් පමණක් නොව, දැන් මාකදුරේ මධුෂ්ද සිටින්නේ රහස් පොලිසියේය. ආණ්ඩුවේ ඇමතිවරුන් මෙන්ම විපක්ෂයේ දේශපාලනඥයන් රැසක් ගැනම මදුෂ් බොහෝ තොරතුරු වැමෑරුවේය. ඒ අතර මත්කුඩු ජාවාරමේ නිරතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙවක් ගැනද ඔහු තොරතුරු රැසක්ම වමාරා තිබුණේය. ඒ එම මන්ත්‍රීවරයාගේ මත්කුඩු ජාලයේ සැඟවුණු තොරතුරුද ඒ අතර විය. රහස් පොලිසිය සූදානමින් සිටියේ අද හෙටම එම මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමේ සූදානමකිනි. ඒත් මාස හතරකට වැඩි කාලයක් ගෙවී ඇතත් තවමත් ඒ දවස උදාවී ඇති බවක් පෙනෙන්නට නැත. එසේම පසුගිය වසරේ දින 52 කුමන්ත්‍රණයේදීද පාර්ලිමේන්තුවේ යකා නැටූ විපක්ෂයේ දේශපාලනඥයන් පස් දෙනාගෙන් අඩුම තරමින් කට උත්තරයක්වත් රහස් පොලිසිය ගත්තේ නැත. මධුෂ් සමග ඇසුරු කළේ යැයි කී දේශපාලනඥයන් රහස් පොලිසියේ හතර වැනි තට්ටුවට කැඳවා ප්‍රශ්න කරනවා යැයි පම්පොරි ගැසූ පොලිස් ලොක්කන්ද දැන් සිටින්නේ ගොළුවන් බිහිරන් සේය.
කුඩු අල්ලන වැඩේ බන්ධනාගාර ලොක්කෙක් බකල් කරලා

මේ අතර රටේ මත්කුඩු ජාවාරමද දැන් ජයටම සිදුවන්නේ ජනාධිපතිවරයාට හේත්තුවී සිටින බන්ධනාගාරයේ හිටපු ලොක්කෙකුගේ ආශිර්වාදය ඇතිවය. පොලිස් විශේෂ කාර්ය බළකාය ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස පසුගිය කාලයේ හෙරොයින් කිලෝ සියගණන් එකවර ඇල්ලුවේ මරණිය දණ්ඩනයෙන් දඩුවම් නියම වී සිටින වෙලේ සුදාගේ ඔත්තුවලිනි. විශේෂ කාර්ය බළකාය වෙලේ සුදාව මත්කුඩු අල්ලන්නට යොදා ගත්තේ අධිකරණයට පවා කරුණු වාර්තා කරමිනි. පකිස්තානයෙන් රට ඇතුළට එන මත්කුඩු නැව් පිටින් අල්ලන විට සෙසු ජාවාරම්කරුවන්ට ගෙන දුන්නේ බඬේ පහරකි. ඒ නිසාම එම ජවාරම්කරුවන් එක්ව බන්ධනාගාරයේ හිටපු ලොක්කෙක් මුදලට ගත්තේය. කියැවෙන ආකාරයට පොඩි ගානකට නොව, කෝටි දෙක තුනකටය. ජනාධිපති මෛත්‍රීවත් අන්දවමින් ඔහු වෙලේ සුදාව බූස්සට යැව්වේය. ඒ ඔහුව විශේෂ කාර්ය බළකායෙන් ඈත් කරමිනි. එසේ වෙලේ සුදාව හුදෙකලා කරන විට රට පුරා පවතින්නේ දැඩි මත්කුඩු හිගයකි. ඒ වෙලේ සුදා රට තුළට එවමින් තිබුණු හෙරොයින් කිලෝ දහසකට වැඩි ප්‍රමාණයක් අල්ලා දී තිබුණු බැවිනි. වෙලේ සුදාව බූස්සේ හිර කිරීමත් සමග ජාවාරම්කරුවන් ගෙවී ගිය සතියේ පමණක් මෙරටට රැගෙන විත් තිබුණු හෙරොයින් ප්‍රමාණය කිලෝ 500කට අධික බව කියැවේ. හෙරොයින් පමණක් නොව, අයිස්ද කිලෝ 1000කට වැඩි ප්‍රමාණයක්ද මේ කාලය තුළ රට තුළට ඇතුළු වී හමාර බවට චෝදනා එල්ලවී ඇත. ඒත් එක්කම රුපියල් 3000 දක්වා මිල ඉහළ ගිය හෙරොයින් පැකට්ටුවක මිල ඇත්තේ රුපියල් 850 දක්වා පහළ වැටීය.
CCTV දෙවියන් සොයාා දුන් ගාලතැන්නේ කෝටි 10 රන් හොරකම

මහනුවර ගාල තැන්නේ පිහිටි සුප්‍රසිද්ධ මහා භද්‍රකාලී කෝවිලේ දේවගැතිවරයා පොරවාගෙන සිටින රන් පලදනා ඇතුළු කිලෝ 10ක් පමණ බරැති රන්භාණ්ඩ තොගයක් සොරා ගැනීමකට ලක්වන්නේ පසුගිය 25 වෙනිදා අලුයම් කාලයේදීය. එම සොරකමින් පැය 24ක් ගතවන්නට මත්තෙන් කොල්ලකරුවන් සියලු දෙනාම අල්ලා ගන්නේ කොල්ලකෑ රන් භාණ්ඩ අවුන්සයක්වත් අඩුවක් නොමැතිවය. රුපියල් කෝටි 10 ක් පමණ වටිනා එම රන් භාණ්ඩ තොගය දේවගැතිවරයා ආරක්ෂාවට තබා තිබී ඇත්තේ වැසිකිලියකය. ඒ ගැන දැන සිටියේ විශ්වාසවන්තයින් කිහිප දෙනෙක් පමණි. එම වැසිකිලියේ යතුර පවා ඇති තැන සොරුන් දැන සිටීමෙන් පැහැදිලිවූයේ එම සොරකම ඇතුළේම වැඩක් බවය. සොරුන් අල්ලා ගැනීමත් සමග එම සැකය තහවුරු වන්නේ දේවාලයේ ලියන මහත්තයාව අත්අඩංගුවට ගනිමිනි. දේවාලයේ රන් භාණ්ඩ සොරකමේ සැළසුම ඔහුගේය. දේවාලයට යාබදව ඇති ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පැමිණි කම්කරුවන් හය දෙනෙක් ඒ සදහා ඔහු විසින් යොදා ගෙන තිබුණේය. දේවාලයට රාත්‍රියට ඇතුළුවන මාර්ග ඔහු සිය ජංගම දුරකතනයෙන් පටිගතකර සොර කල්ලිය අතට පත්කරන්නේ සොරකමට පෙර පෙරහුරු කිහිපයක්ද පවත්වමිනි. ඒ සියල්ල දේවාලයේ සවිකර තිබුණු ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන්ව තිබෙන්නේ පැහැදිලිවමය. දේවගැතිවරයාගේ දිවැසෙන් සොරුන් හදුනා ගැනීමට නොහැති වූවත් ආරක්ෂක කැමරා පද්ධතියට පිංසිදු වන්නට පොලිස් දෙවියන් විසින් දේවගැතිවරයාගේ රන් ආභරණ සියල්ලක්ම පැය 24ක් තුළ සොයා දෙන්නේ ඔහුවත් පුදුමයෙන් පුදුමයට පත්කරමිනි.
ගාල තැන්නේ සොරකම මේ වන විට පොලිස් පොත්වල සටහන්ව ඇත්තේ මධ්‍යම පළාතේ සිදුවුණු ලොකුම සොරකම ලෙසිනි. ඊට පෙර මධ්‍යම පළාත් සිදුවුණු ලොකුම කොල්ලය වන්නේ කෝටි හයහමාරක මුදල් කොල්ලයයි. දහ අට වංගුවේදී පසුගිය වසරේදී එම මුදල් කොල්ලය සිදුවන්නේ බැංකුවල ඇති අතිරික්ත මුදල් රැස්කරමින් රැගෙන යමින් සිටියදීය. එම මුදල් කොල්ලයට සම්බන්ධ වූවන්ද පොලිසිය අල්ලා ගත්තේය. ඒ අනුව මධ්‍යම පළාතේ සිදුවුණු ලොකුම සොරකමත් ලොකුම කොල්ලයත් විසදන්නට පොලිසිය සමත්වීම අගේ කළ යුතුය. ඒ, අඩුම තරමින් කොල්ලකරුවන් හදුනා ගන්නටද පවා නොහැති වූ කොල්ලකෑම් කොතෙතුත් රටේ සිදුවී ඇති බැවිනි.










