මේ වන විට ජනාධිපතිවරණ උණුසුම රටට කැන්දවමින් එක් එක් පාර්ශ්වයන් සිය ජනපතිවරණ ඡන්ද ව්‍යාපාරය විවිධ ආකාරයෙන් ආරම්භ කිරීමට පියවර ගෙන ආකාරයක් දැකගන්නට තිබේ. දැනට මෙහි ඉදිරියෙන් සිටින්නේ පොහොට්ටුවේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂය. ගෝඨාභය දැනටමත් රට වටා යමින් ජනතාව දැනුවත් කරමින් ඡන්ද සටන තමන්ගේ අතට ගැනීමට පියවර ගෙන ඇත. මේ නිසාම මුළු රටම සිතා සිටින්නේ ගෝඨාභයට දැන් කිසිදු ප්‍රශ්නයක් නැතැයි කියාය. ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නිමාවී ඇතැයි කියාය. ගෝඨාභයට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩු විභාගවලින් ඔහුට කිසිදු ගැටලුවක් නැතැයි කියාය.
එළියට නොපෙණුනත් ගෝඨාගේ ඇතුළේ ප්‍රශ්නය බරපතළයි
නමුත් එළියේ එසේ පෙනෙන්නට තිබුණද තිරය පිටුපස කතාව මීට හාස්පසින්ම වෙනස්ය. තවමත් ගෝඨාභයට බරපතළ ප්‍රශ්න ගණනාවකට මුහුණදීමට සිදුව ඇති බව ඒ තොරතුරුවලින් පෙනෙන්නට තිබේ. නමුත් එකම ප්‍රශ්නය වී ඇත්තේ ඒ කිසිදු කරුණක් රටේ ජනතාවට දැනගැනීම සඳහා මාධ්‍ය හරහා එළියට නොඒමය. එය අපේ රටේ මාධ්‍යවල ඇති බරපතළම ප්‍රශ්නයකි. ඊට හේතුවී ඇත්තේ අපේ රටේ බොහොමයක් මාධ්‍ය අද අනාගත වාසි තකා පක්ෂග්‍රාහී වී තිබීමය. දෙවැනි කරුණ වන්නේ අද මාධ්‍ය කිසිදු කරුණක් පිළිබඳව විශ්ලේෂණය නොකොට කවුරු හෝ කියන ප්‍රකාශයක් හෝ කවුරු හෝ ලියාදෙන ලිපියක් හෝ කිසිදු හොයාබැලීමකින් තොරව මාධ්‍යවල පලකරන තත්ත්වයට පල්ලම් බැස තිබීමය. ඒ නිසා සිදුවන්නේ එජාපය හෝ වේවා ශ්‍රීලනිපය හෝ වේවා, පොහොට්ටුව හෝ වේවා, ජවිපෙ හෝ වේවා ඒ පක්ෂවල අභ්‍යන්තරයේ ඇති සිදුවීම් එළියට නොඒමය. අප සැම විටම වගකීමක් ඇතිව ඒ සියලු පක්ෂවල අභ්‍යන්තරයේ ඇති සිදුවීම් ඒ ආකාරයෙන්ම ජනතාවට කියන්නේ ජනතාවට මේවා දැනගැනීමේ අයිතියක් ඇති නිසාය. අනෙක් අතට අප විශ්වසනීය ලෙස ගවේෂණාත්මකව නිවැරැදි තොරතුරු ජනතාවට ලබාදීමේ මාධ්‍ය මෙහෙවරක නිරතව සිටින නිසාය. එහිදී ඇතැමුන් අප යම් යම් පුද්ගලයන්ට විරුද්ධව ලියන බවට හෝ යම් යම් පුද්ගලයන්ට පක්ෂග්‍රාහීව ලියන බවට චෝදනා කළද අපට කරන්නට දෙයක් නැත. අප කරන්නේ කුමන පාර්ශ්වයක් හෝ වේවා ජනතාව දැනගතයුතු කරුණක් වේ නම් ඒ පිළිබඳව ගවේෂණය කොට ජනතාවට ඇත්ත තොරතුරු පමණක් ලබාදීමට කටයුතු කිරීමය. මන්ද ජනතාව සතිඅන්තයේදී තමන් සන්තකයේ ඇති මුදලින් රුපියල් 60ක්, රුපියල් 90ක් හෝ රුපියල් 100ක් හෝ ගෙවා පුවත්පතක් මිලට ගන්නේ කවුරුන් හෝ ලියා දෙන බොරු පල් හෑලි කියැවීමට නොව රටේ ඇත්තටම සිදුවන සැබෑ කරුණු නිවැරැදිව දැනගැනීමට ඇති නොතිත් ආශාව නිසාය. අප සිදුකරන්නේ ජනතාවගේ ඒ තොරතුරු දැනගැනීමට ඇති අයිතියට සහ ආශාවට අපට හැකි ආකාරයෙන් කිසියම් සාධාරණයක් ඉෂ්ට කිරීමය.
ලියකියවිලි අරන් ගෝඨා මැතිවරණ කොමිසමට යයි
ඒ අනුව මෙවර අප සූදානම් වන්නේ ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නිමා වී ඇති බවට මුළු රටම සිතා සිටියද එහි ඇත්ත කතාව රටට කියන්නටය.
ඒ අනුව මීට දින කිහිපයකට ඉහතදී හරියටම කියනවා නම් පසුගිය 26 වැනිදා සවස 2.00ට ගෝඨාභය රාජපක්ෂ මහතා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසමේ පෙනී සිටිනු දැකගත හැකි විය. ඒ වන විටත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වූ මහින්ද දේශප්‍රිය මෙන්ම අනෙකුත් සාමාජිකයන් වූ එම්.ජේ. අබේසේකර මහතාත්, මහාචාර්ය රත්නජීවන් හුල් මහතාත් ගෝඨාභය මුණගැසීම සඳහා සූදානමින් සිටිනු දැකගත හැකි විය. ඒ අනුව ආපු කාරණාවට කෙළින්ම ගොඩවූ ගෝඨාභය තමාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කරගැනීම සම්බන්ධයෙන් වූ සියලුම ලිපි ලේඛන මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. එහිදී පසුගිය කාලයේ මාධ්‍යවල පලවූ ඇතැම් ලිපි ලේඛනව මුල් පිටපත් සියල්ලම ඒ අතර තිබෙනු දැකගන්නට ලැබිණ.
මෙසේ ගෝඨාභය සිය මුල් ලිපි ලේඛනද රැගෙන මැතිවරණ කොමිසමට පැමිණියේ නිකම්ම නොව ඒ වන විටත් මැතිවරණ කොමිසමට ගෝඨාභයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් චෝදනාවක් ඉදිරිපත්ව තිබූ නිසාය. ඒ වන විට මැතිවරණ කොමිසම සිටියේ අදාළ චෝදනාව සම්බන්ධයෙන් වෙනමම පරීක්ෂණයක් පවත්වමින්ය. ඒ අනුව කිසිවකුටත් දැනුම් නොදී මාධ්‍යයටද කිසිවක් නොදන්වා ගෝඨාභය හොර රහසේම මැතිවරණ කොමිසම හමුවූයේ මේ පිළිබඳව මැතිවරණ කොමිසම දැනුවත් කිරීම සඳහාය. එහිදී ඉතා සුහදව සාකච්ඡාව ඉදිරියට ඇදෙනු දැකගන්නට ලැබුණු අතර, මුල් වටයේදී මහින්ද දේශප්‍රිය අදාළ ලිපි ලේඛනවල සත්‍යතාවය පිළිබඳව ගෝඨාභයගෙන් විමසනු දැකගන්නට ලැබිණ.
රත්නජීවන් හූල් ගෝඨාගෙන් හාර හාරා ප්‍රශ්න කරයි
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මහාචාර්ය රත්නජීවන් හූල් මේ සම්බන්ධයෙන් ඉතා දීර්ඝව අනෙක් සාමාජිකයන් දෙදෙනාට වඩා ගෝඨාභයගෙන් ප්‍රශ්න කිරීමය. මහාචාර්ය හූල් යනු පසුගිය කාලයේ ඉතාම ආන්දෝලනාත්මක චරිතයත් ලෙස ප්‍රකට වූයේ ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ අවස්ථාවේ මැතිවරණ කොමිසම වෙනුවෙන් ඉතා නිර්භය ලෙස ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට කටයුතු කිරීම නිසාය. ඒ අනුව හූල් මේ අවස්ථාවේදීද අදාළ ලිපි ලේඛන පිළිබඳව ගෝඨාගෙන් දීර්ඝව සහ දැඩිව ප්‍රශ්න කරනු දැනගන්නට ලැබිණ.
කෙසේ වෙතත් මුලින් මුලින් වාර්තා වූයේ ඒ සියලුම ප්‍රශ්නවලට ගෝඨාභය පිළිතුරු ලබාදුන් බවත්, අවසානයේදී මැතිවරණ කොමිසමද එම ලිපි ලේඛනවල නිරවද්‍යතාවය පිළිබඳව සෑහීමකට පත්වූ බවත්ය. ඒ අනුව අවසානයේදී මහින්ද දේශප්‍රිය එය වාචිකවම ගෝඨාභයට දැනුම්දෙමින් අදාළ ලිපි ලේඛන පිළිබඳව කොමිසම සෑහීමකට පත්වෙන බව දැනුම්දී සිටි බවක්ද කියවිණ. මහින්ද දේශප්‍රිය පමණක් නොව අනෙකුත් සාමාජිකයක් දෙදෙනා වූ හූල් සහ අබේසේකරද එය තහවරු කරමින් අදහස් දක්වනු දැකගත හැකි වූ බවත්, එම සාකච්ඡාව අවසන් වූයේ එම ලිපි ලේඛන සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ එකඟතාවය පළවෙමින් බවත් වැඩිදුරටත් කියවිණ. එම නිසා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව ගෝඨාගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් වූ අවදානම මේ වන විට බොහෝදුරට ඉවත්ව ඇති බවක් විශ්වාස කිරීමට පුළුවන් බව මුල් අවස්ථාවේදී එළියට ආ කාරණය විය.
ගෝඨාගේ ලිපි ගැන කොමිසම දෙකට බෙදෙයි
කෙසේ වෙතත් මෙම සාකච්ඡාව මෙසේ ගැටලුවකින් තොරව අවසන් වූ බවට මුලින් තොරතුරු පැමිණියද අප වෙත ලැබුණු තොරතුරුවලින් දැනගන්නට ලැබුණේ මෙම සාකච්ඡාවේදී අනෙකුත් සාමාජිකයන් කෙසේ වෙතත් රත්නජීවන් හූල් මහතා බරපතළ ලෙස ගෝඨාභයගෙන් ප්‍රශ්න කළ බවය. එමෙන්ම අදාළ ලේඛනවල සත්‍යතාවය තමන්ට පිළිගත නොහැකි බව හූල් එහිදී ගෝඨාභයද දැනුම්දී තිබූ බවද අපට ලැබුණු තොරතුරුවලින් කියැවිණ. එම නිසා එම ලිපි ලේඛනවලට විරෝධය පලකරමින් තමන් සටහනක් තබන බවද හූල් කියා තිබූ බවක්ද, කී පරිදිම එසේ සිය විරෝධය පළ කරමින් සටහනක් තැබූ බවක්ද අපට ආ තොරතුරුවලින් ආරංචි විය. එම නිසා කොමිසම දෙකට එකක් වශයෙන් ගෝඨාභයගේ ලේඛන සම්බන්ධයෙන් බෙදී ඇති බවක්ද එම තොරතුරුවලින් වැඩිදුරටත් කියැවිණ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා අප පසුගිය සතියේදී රත්නජීවන් හූල් මහතාට කතා කිරීමට පියවර ගත්තේය. එහිදී ඔහු ගෝඨාභය පැමිණ කොමිසම හමුවේ ලිපි ලේඛන ඉදිරිපත් කළ බව තහවරු කළ නමුත් තමන් හා ගෝඨාභය අතර වචන හුවමාරුවක් හෝ දීර්ඝ ප්‍රශ්න කිරීමක් හෝ සිදුනොවුණු බව කියා සිටියේය. එවැනි තොරතුරු සාවද්‍ය බව අපට කී හූල් කොමිසමේ අනෙක් සාමාජිකයන්ගේ මතය පිළිබඳව තමන්ට අදහස් ප්‍රකාශ කළ නොහැකි බවද කියා සිටියේය.
ආරක්ෂක අංශ ගෝඨා ගැන ලියුමක් අමෙරිකාවට යවයි
මේ ආකාරයට ගෝඨාභයගේ ලිපි ලේඛන පිළිබඳව ගැටලුව සම්බන්ධයෙන් පවතින ආන්දෝලනය එසේම පැවතියදී තවත් විශේෂ තොරතුරක් අප වෙත වාර්තා වී තිබේ. ඒ ගෝඨාභයට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණ කිහිපයක් සම්බන්ධයෙන්ය. මේ වන විට රහස් පොලිසිය ඇතුළුව වෙනත් කණ්ඩායම් කිහිපයක්ම ඒ සම්බන්ධයෙන් විමර්ශන ගණනාවකම නිරත වන බව රටට රහසක් නොවේ. කෙසේ වෙතත් අපට දැනගන්නට ඇති තොරතුරුවලට අනුව ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන විමර්ශකයන්ට ඒ පිළිබඳව අලුත් ගැටලුවක් පැනනැඟී ඇති බවක් පෙනෙන්නට තිබේ. ඒ, ඇතැම් පරීක්ෂණවල චෝදනා ගොනුකිරීමේදී ගෝඨාභය ඇමෙරිකානු පුරවැසියෙක්ද නැතිනම් ලංකාවේ පුරවැසියෙක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශකයන්ට ප්‍රශ්නයක් මතුව තිබීමය. නැතහොත් විමර්ශනවලදී ඇමෙරිකානු පුරවැසියන්ට පමණක් බලපාන නීති ගෝඨාභයට අදාළද නැද්ද යන්න පිළිබඳව ගැටලුවක් පැන නැගී තිබීමය. ඒ නිසා එම පරීක්ෂණ කරන නිලධාරීන් මේ වන විට ඇමෙරිකානු විමර්ශන නිලධාරීන්ගෙන් ඒ පිළිබඳව නිල වශයෙන් විමසීමක් කර ඇති බවක් දැනගන්නට ඇත. ඊට අමතරව රාජ්‍යතාන්ත්‍රික ආකාරයට නොවුණත් මෙරට පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයටද ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් ලිඛිතවම යොමුකර ඇති විමර්ශන නිලධාරීන් මේ වන විට සිටින්නේ ඔවුන් ඊට ලබාදෙන පිළිතුරු බලාපොරොත්තුවෙන්ය. එමෙන්ම මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයද අදාළ ඉල්ලීම ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවද දැනගන්නට ඇත. ඒ අනුව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඊට ලබාදෙන පිළිතුර ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වන ගැටලුවට තීරණාත්මක පිළිතුරක් වනු ඇති බවට දැඩි වගකීමෙන් යුතුව අපට සඳහන් කළ හැකිය.
උසාවියත් ගෝඨා පස්සේ පන්නයි
මේ අතර පසුගිය සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණය ගෝඨාභය සම්බන්ධයෙන් තවත් විශේෂ තීන්දුවක් ගත් බවද සඳහන් කළ යුතුමය. ඒ ගෝඨාභයට එරෙහිව ඉදිරිපත් වී ඇති රජයේ මුදල් අවභාවිත කරමින් හම්බන්තොට කෞතුකාගාරයක් ඉදිකළ බවට වූ නඩුව ලබන ඔක්තෝබර් 15 වැනි දින සිට දිනපතා ඇසීමට තීන්දු කිරීමය. මෙම නඩුව මුලින්ම විභාගයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ගෝඨාභය සිංගප්පූරුව බලා ගිය අතර එහිදී හදවත් සැත්කමකට භාජනය වූ බවද වාර්තා විය. එමෙන්ම සිංගප්පූරුවේ සිටියදීම ගෝඨාභය සිය නීතිඥවරුන් හරහා කියා සිටියේ අදාළ නඩුව දෝෂසහගත බැවින් විභායට නොගෙන ඉවත දමන ලෙසටය. ඊට අමතරව තවත් නඩු කිහිපයක්ම ඉහළ අධිකරණ හරහා විභාග වීම කල්දමාගෙන සිටි ගෝඨාභය තවත් නඩු සඳහා අපේක්ෂිත ඇප ලබාගෙන තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
නමුත් පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය ගෝඨාභය ඉදිරිපත් කර තිබූ පෙත්සමක් ඉවත දමමින් අදාළ නඩුව දිනපතා ඇසීමට තීන්දු කිරීමත් සමග රාජපක්ෂ පාර්ශ්වයේ බොහෝ දෙනා ඒත් සමඟම තරමක් කලබලයට පත්ව සිටින ආකාරයක් මේ වන විට දැකගන්නට ඇත. විශේෂයෙන්ම බොහෝ දෙනා දැනටමත් රාජපක්ෂ කඳවුරට දැනුම්දී ඇත්තේ එම නඩුව තරමක් අවාසිසහගත තත්ත්වයක පවතිනවා යැයි කියාය. එම නිසා ජනාධිපතිවරණය අවසන් වන තෙක් එම නඩුව කල්දමා ගැනීමට බොහෝ පාර්ශ්ව උත්සාහ කළද මේ වන විට එම උත්සාහද ව්‍යර්ථ වී ඇති ආකාරයක්ද පැහැදිලිවම දැකගන්නට ඇත.
පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභයමද?
ඒ අනුව ගෝඨාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ මතය කුමක් වුවද ඒ පිළිබඳව එළියේ සිදුවන සටන තවමත් නිමාවී නැති බවක් පැහැදිලිවම පෙනෙන්නට තිබේ. එනම් තවමත් ගෝඨාභයගේ නාමයෝජනාව සම්බන්ධයෙන් අවදානමක් ඇති බව සඳහන් කළයුතුව ඇත. ඒ හරහා පොහොට්ටුවේ අවසන් ජනපති අපේක්ෂකයා ගෝඨාභයද යන්න සම්බන්ධයෙන් පැහැදිලි දෙගඩියාවක් සහ උභතෝකෝටිකයක් මේ වන විට මතු වී ඇති බවද සඳහන් කළයුතුව ඇත.
රනිල්- සජිත් ඉරිදා හමුව කල් ගිය හැටි
පොහොට්ටුව ඇතුළේ අර්බුදය මේ ආකාරයට තවදුරටත් ඇදි ඇදී යන ආකාරයක් පෙනෙන්නට ඇති පසුබිමක එජාපය ඇතුළේ අර්බුදයද තවමත් පවතින්නේ පොහොට්ටුවට නොදෙවෙනි ආකාරයටය. ඒ අනුව බොහෝදෙනා බලාපොරොත්තු දල්වාගෙන සිටියේ ඉකුත් ඉරිදා (08දා) දිනයේදී රනිල් – සජිත් මුහුණට මුහුණ හමුව දෙසටය. මන්දයත් මෙම හමුවේදී පවතින ගැටලුව දෙදෙනා සාකච්ඡා මාර්ගයෙන් එහිදී විසඳාගනු ඇති බවට ඒ වන වටත් මත පලවී තිබුණු නිසාය. නමුත් එම හමුව පිටුපස කතාව චිත්‍රපටයක් වැනි විශාල සිදුවීම් මාලාවකින් අවසන් වූ එකක් බව මෙහිදී සඳහන් කළ යුතුව ඇත. රනිල් – සජිත් මෙම හමුව ඉරිදා දිනයේදී පැවැත්වෙන බවට කලින් දැනුම්දී තිබුණත් පෙර යොදාගෙන තිබුණු විවෘතකිරීම් කිහිපයක් නිසා ඉරිදා දිනයේදී තමන්ට පැමිණිය නොහැකි බවට සජිත් රනිල්ට දැනුම්දී තිබිණ. ඒ අනුව අඟහරුවාදා දිනයට රැස්වීම් කල් දැමීමට දෙදෙනාම එකඟ විය.
රෑ 9ට රනිල් වෙලාව දෙයි
මේ ආකාරයට සජිත් – රනිල් මුහුණට මුහුණ හමුවක් පැවැත්වීමට නියමිත බව යෝජනා කළේ වෙන කවුරුවත් නොව ඊට කළින් පැවැති රැස්වීමකදී මලික් සමරවික්‍රමය. ඒ අනුව අඟහරුවාදා උදේ රනිල්ට පණිවුඩයක් යැවූ සජිත් කියා සිටියේ එදින කැබිනට් මණ්ඩල රැස්වීම නිමාවීමෙන් පසුව රනිල් මුණගැසී සාකච්ඡා පැවැත්විය හැකි යැයි කියාය. නමුත් ඊට පිළිතුරු දෙමින් රනිල් සජිත්ට දැනුම්දී සිටියේ තමන්ට කලින් යොදාගත් රාජකාරි කිහිපයක් හේතුවෙන් කැබිනට් රැස්වීමෙන් පසුව හමුවිය නොහැකි බවත්, රාත්‍රි 9.00ට රැස්වීම් පැවැත්විය හැකි බවත්ය. එමෙන්ම මෙහිදී තවත් කරුණක් සජිත්ට දැනුම්දුන් රනිල් අදාළ සාකච්ඡාවට එජාප සාමාජිකයකුද නොවන මධ්‍යස්ථ පුද්ගලයකු වන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සම්බන්ධ වන බවද කියා සිටියේය. ඊට සජිත් එකඟතාවය පළකිරීමෙන් අනතුරුව තිදෙනා අතර පමණක් මෙම රැස්වීම අරලියග මන්දිරයේදී රාත්‍රි 9.00ට පැවැත්වීමට තීරණය විය.
සජිත් මෛත්‍රිගේ ගෙදර කාමරයක රහස් කතා
කෙසේ වෙතත් මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කාරණයක් වන්නේ සජිත් මෙම සාකච්ඡාවට සහභාගි වීමට ප්‍රථම රහස් සාකච්ඡා ගණනාවකටම සහභාගි වී සූදානම් වනු දැකගන්නට ලැබීමය. එහි පළමු සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදීය. ඒ අනුව උදෑසන 9.00 වන විට කොළඹ පැජට් පාරේ ජනාධිපතිවරයාගේ නිවෙසට ගිය සජිත් පැයකට අධික කාලයක් මෛත්‍රි සමඟ ඉතාම රහසිගත සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්තේය. එහිදී සාකච්ඡාවට ලක්වූ කරුණු මොනවාද යන්න දැනගන්නට නැතත් එම සාකච්ඡාවෙන් අනතුරුව සජිත් මෛත්‍රිගේ නිල රථයේම නැඟී පිටත්ව ගියේ ජනාධිපති මන්දිරයටය. ඒ අගමැතිවරයාටද නොදන්වා ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ජනාධිපති මන්දිරයේ සංවිධානය කර තිබූ දිවයින පුරා විහාරස්ථාන 75ක් සඳහා පූජා ඔප්පු පිළිගැන්වීමේ උත්සවයකටය. ඒ අනුව සජිතුත්, මෛත්‍රිත් එක්ව මෙම පූජා ඔප්පු පිළිගැන්වීමෙන් පසුව නැවත දෙදෙනාම ජනාධිපති ලේකම් කාර්යාලය බලා පිටත්ව ගියේ කැබිනට් රැස්වීමට සහභාගි වීම සඳහාය. ඒ අනුව නිශ්චිත වශයෙන්ම සජිත්, මෛත්‍රි අතර මේ කාලසීමාව තුළ පැවැති සාකච්ඡාවලදී එදින රාත්‍රියේ පැවැත්වීමට නියමිත රනිල් – සජිත් හමුවේදී කතාබහ කළ යුතු කරුණු සහ යෙදිය යුතු උපාය උපක්‍රම පිළිබඳව සාකච්ඡා වූ බවට සැකයක් මතුවනු වැළැක්විය නොහැකිය. මන්දයත් රනිල්ව එජාප නායකත්වයෙන් සහ අගමැති ධුරයෙන් ඉවත් කොට එම පුටුවට සජිත් පත්කිරීම සඳහා එළිපිටම මෛත්‍රි විශාල වෑයමක් දරමින් සිටිනු දැකගන්නට ඇති නිසාය. එම තත්ත්වය තහවුරු කරමින් සජිත්ද ප්‍රසිද්ධියේම කියා සිටියේ ජනාධිපතිවරයා තමන්ට අවස්ථා 71කදී අගමැතිකම ගන්නා ලෙසට ආරාධනා කළා යැයි කියාය. එමෙන්ම මීට සති දෙක තුනකට ඉහතදී සජිත්ව අගමැතිවරයා බවට පත්කරලීමේ කුමන්ත්‍රණයක් දියත් කිරීමටද මෛත්‍රි පියවර ගෙන තිබුණත් එය අන්තිම මොහොතේදී අසාර්ථක වූයේ ඊට අවශ්‍ය පිරිස සොයාගත නොහැකි වූ නිසාය. මේ ඇත්ත කතාව ඇතැම් අයට අසන්නට නීරස වුවද, ඇතැමුන් අප පක්ෂග්‍රාහීව කටයුතු කරනවා යැයි චෝදනා කළද අප මේවා වාර්තා කරන්නේ සත්‍ය තොරතුරු මත පදනම්වය. එසේත් නැතිනම් තිරය පිටුපස තැන් තැන්වල සිදුවන රහස් සාකච්ඡා හා හමුවීම් පිළිබඳව නිවැරැදි තොරතුරු පදනම් කරගෙනය.
මංගලගේ අමාත්‍යංශයේත් මලික්ලා ගේමක් ගහයි
සජිත් – මෛත්‍රි සාකච්ඡාවට අමතරව අඟහරුවාදා උදෑසන සිටම සජිත්ට සහාය දක්වන එජාප කණ්ඩායම ඇතුළේ විශාල සාකච්ඡාවක් පැවැත්වුණේ රනිල් හමුවට සජිත්ව තනිවම යැවීම සුදුසු නොමැති බවට වූ කාරණය පදනම්වය. විශේෂයෙන්ම මෛත්‍රි, මංගල, මලික් අතරද මෙම තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු වනු දැකගන්නට ලැබිණ. මීට අමතරව සවස් වන විට රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනකුද මංගලට සහ මලික්ට කතා කොට දැඩිව කියන්නට වූයේ සවස සාකච්ඡාවට සජිත්ව තනිවම නොයවන ලෙසත්, එසේ වුවහොත් රනිල් නියත වශයෙන්ම සජිත්ව ඔහුගේ පැත්තට නම්මාගනු ඇති බවත්ය. රනිල් සමඟ තනිවම සාකච්ඡාවක් මෙහෙයවීමේ පැසුණු මට්ටමක සජිත් නොමැති බවද එහිදී වැඩිදුරටත් කියැවිණ.
අඟහරුවාදා සවස බකීර් මාකර් මහතාගේ ගුණානුස්මරණ උළෙලක් කොළඹ පදනම් ආයතනයේ පැවැති අතර එහි ප්‍රධාන ආරාධිතයා වී සිටියේද සජිත්ය. එම රැස්වීම අතරතුරදීම සජිත්ට ලැබුණු ඇමැතුමකින් කියැවුණේ රැස්වීම නිමාවූ වහා මුදල් අමාත්‍යාංශයට පැමිණෙන ලෙසටය. ඒ අනුව රැස්වීම අවසන් කොට සජිත් මුදල් අමාත්‍යාංශයට පැමිණෙන විට එහි මංගල, මලික්, හර්ෂ, එරාන්, රංජිත් මද්දුමබණ්ඩාර රැස්ව සිටිනු සජිත්ට දැකගත හැකි විය. එහිදී පිරිස අතර සාකච්ඡාවට ලක්වූයේ රනිල් සමග පැවැත්වෙන සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ කෙසේද කියාත්, එහිදී යොදාගත යුතු උපක්‍රම මොනවාද යන්න කියාත්ය. එමෙන්ම සජිත් පැමිණෙන විටත් එහි පැවැති සාකච්ඡාවලදී අදාළ සාකච්ඡාවට සජිත්ව තනිවම නොයැවිය යුතු බවට තීන්දුවක්ද පිරිස ගෙන තිබිණ.
සජිව තනිවම යවන්න බය වෙයි
ඒ අනුව සාකච්ඡාව ආරම්භ වූ වහා මෙම තීන්දුව සජිත්ට දැනුම්දී සිටියේ කලක් රනිල්ගේ අතිසමීපතමයා ලෙස කටයුතු කළ මෙන්ම ඔහුගේ පාසල් සගයාද වූ මලික් සමරවික්‍රමය. මලික් කියා සිටියේ කෙසේවත් රනිල්ව මුණගැසීමට සජිත්ට තනිවම යෑමට ඉඩදිය නොහැකි යැයි කියාය. නමුත් මීට සජිත් එකඟ වූයේ නැත. තමා තනිවම පැමිණෙන බවට රනිල්ට මීට පෙර පොරොන්දු වූ බව කියා සිටි සජිත් එසේ තනි තනි සාකච්ඡාවකට පිරිසක් රැගෙන යෑම සදාචාරාත්මක නොවන බවද පිරිසට පෙන්වා දුන්නේය. නමුත් පිරිස දැඩිව ඒ සම්බන්ධයෙන් සජිත්ට කරුණු පෙන්වා දෙද්දී අවසානයේදී අකැමැත්තෙන් හෝ ඊට සජිත් එකඟ වීම විශේෂ සිදුවීමක් විය.
ඒ අනුව අවසානයේදී සජිත් කියා සිටියේ එසේ නම් තමා නොදැනුවත්ව මෙම පිරිස සාකච්ඡාවට පැමිණි බව පෙන්වමින් කටයුතු කරන්න යැයි කියාය. ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ බලෙන්ම කණ්ඩායමක් අදාළ සාකච්ඡාව සඳහා සම්බන්ධ කරවීමටය.
ඒ වන විට කබීර් සිටියේ කුරුණෑගල රැස්වීමකට සහභාගි වෙමින්ය. වහාම කබීර්ට කතා කළ පිරිස දැනුම්දී සිටියේ රෑ 9.00ට ප්‍රථම කොළඹට පැමිණෙන ලෙසටය. ඒ අනුව කබීර්ද ඉතා ඉක්මණින් රැස්වීම අවසාන කොට කොළඹ බලා පැමිණීමට පියවර ගත්තේය.
කබීර්-මලික්-රංජිත් රැස්වීමට බලෙන්ම වාඩිවෙයි
කලින් කතාකරගත් ආකාරයට සජිත් හරියටම රාත්‍රි 9.00 වන විට අරලියගහ මන්දිරයට පැමිණෙද්දී රනිල්ට අමතරව එහි රාජිතද සිටිනු දැකගන්නට ලැබිණ. ඒ කලින් ඇතිකරගත් එකඟතාවයට අනුවය. නමුත් රනිලුත්, රාජිතත් පුදුමයට පත්කරමින් සාකච්ඡාව ආරම්භ වීමට ඔන්න මෙන්න තියා හිටිහැටියේම එතැනට කබීර්, මලික් සහ රංජිත් මද්දුමබණ්ඩාර කඩාපාත්වනු දැකගන්නට ලැබිණ. සජිත්ද කිසිවක් නොදන්නාක් මෙන් ‘ආනේ කොහොමද‘ යැයි කියමින් ඔවුන් සමඟ ආගිය තොරතුරු කතාබහ කිරීමට පටන්ගත්තත් මොහොතක් යෑමට මත්තෙන් මේ පිරිස එතැනට කඩාවැදුණේ කලින් ඇතිකරගත් එකඟතාවකට අනුව බව සජිත්ගේ හැසිරීම්වලින් රනිල්ටත්, රාජිතටත් පැහැදිලිවම පෙනී ගියේය. නමුත් ඒ කිසිවක් නොපෙන්වූ රනිල් සාකච්ඡා මේසයේ වාඩිවෙමින් කෙළින්ම සජිත්ගෙන් විමසා සිටියේ “සජිත් මම මේ අයට එන්න කිව්වෙ නෑනෙ. ඔයාට විතරනෙ ආරාධනා කළේ. අනෙක මම රාජිතට වුණත් මෙතැනට එන්න කිව්වෙ එයා අපේ පක්ෂයේ නෙමෙයි හින්දා. අනෙක එයා වර්කින් කමිටි එකේ නෑ. එයා මධ්‍යස්ථ කෙනෙක්. ඒකයි එයාට විතරක් එන්න කිව්වෙ” යැයි කියාය. නමුත් සජිත් ඊට පිළිතුරු දෙමින් “මමත් මේ අය එනව කියල දන්නෙ නෑ සර්” යැයි කියද්දී රනිල් නැවතත් “මට නම් ප්‍රශ්නයක් නෑ. මම තනිවම ප්‍රශ්නවලට මුහුණදෙන්න ලෑස්තියි. අපි එහෙනම් රැස්වීම පටන්ගමු” යැයි කියමින් සජිත්ට පොඩි දේශපාලන ටොක්කක්ද අනිමින් කියා සිටියේය.
සජිත්ට උවමනා දේ කෙලින්ම කියයි
කෙසේ වෙතත් සජිත් රැස්වීම ආරම්භ කළේම පළමු වෙඩිමුරය පත්තු කරමිනි. එහිදී කිසිදු පැකිළීමකින් තොරව සජිත් කියා සිටියේ “මම සාකච්ඡාව පටන්ගනිද්දිම කියන්නම්. මම ආවෙ ඔබතුමාට කියන්න මේ ජනාධිපතිවරණයට තරග කරන්න මට අවශ්‍යයි. ඒ තීන්දුව මම අරගෙනයි තියෙන්නෙ” යැයි කියාය. ඊට රුකුල් දෙමින් කබීර්ද කියා සිටියේ රටේ පාක්ෂිකයන් පමණක් නොව ජනතාවද ඉල්ලන්නේ සජිත් බවත්, සජිත්ට අපේක්ෂකත්වය ලබාදුන්නද රනිල්ව ඉවත් කිරීමට කිසිවකුට අවශ්‍යතාවක් නැති බවත්ය. පක්ෂයට අසීරු කාලසීමාවන්වලදී රනිල් පක්ෂය ආරක්ෂා කළ බවත්, පක්ෂයට ව්‍යවස්ථා සංශෝධනයක් රැගෙන විත් සජිත් ජනාධිපතිවරයා වුවද, අගමැති ධුරය සහ පක්ෂ නායකත්වය රනිල්ට ලබාදීමට කටයුතු කරන බවද කබීර් එහිදී කියා සිටියේය. නමුත් කබීර්ගේ මේ කතාවට රනිල් කිසිවක් නොකියා කට කොණකින් සිනාසෙනු දැකගන්නට ලැබිණි. නමුත් එහිදී රනිල් පැමිණ සිටි පිරිසට ලබාදුන්නේ කිසිවකුත් නොසිතූ ආකාරයේ උත්තරයකි.
රනිල් කන පැලෙන උත්තරයක් දෙයි
“නෑ ඔයගොල්ලො මම ගැන වද වෙන්න එපා. මම මේ තනතුරුවල ඕනෑ තරම් ඉඳල තියෙනවා. අනෙක මම මේ තනතුරුවල සදාකාලිකවම ඉන්න ආපු කෙනෙක් නෙමෙයි. එහෙම ඉන්න මට උවමනාත් නෑ. අනික ඕගොල්ලන්ගෙ න්‍යායපත්‍රවලට මාව ගාවගන්නත් එපා. මම අරලියගහ මන්දිරයේ වුණත් මෙහෙම ඉන්නෙ මේ දවස්වල මගේ ගෙදර අලුත්වැඩියා කරන හින්දයි. ඒක හදල ඉවර වෙච්ච ගමන් මම මෙතැනින් යනවා. ඒ හින්ද මට සති දෙකක් මෙතැන ඉන්න කල් දෙන්න. අරලියගහ මන්දිරේ විතරක් නෙමෙයි මම මේ අගමැතිකම දාල යන්නත් ලෑස්තියි” යනුවෙන් රනිල් කියද්දී පුදුමයට පත්ව සිටි සජිතුත්, කබීරුත් යළිත් කියා සිටියේ එසේ කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි කියාය. සජිත් ඉංග්‍රීසි භාෂාවෙන් විශේෂයෙන් කියා සිටියේ “අපි සර්ට එහෙම කරන්නෙ නෑ” කියාය.
ගහන්නෙ රනිල් පන්නන ගේමක්ලු
නමුත් කබීර්ගේත්, සජිත්ගේත් මේ පිළිතුරට නැවැත වතාවක් රනිල් පිළිතුරු දුන්නේ සිනාසෙන ගමන්ය.
“මාව මේ අගමැතිකමෙනුයි, පක්ෂ නායකත්වයෙනුයි එළවන්න ඕනෙ නැත්නම් මොකටද ඕගොල්ලො ඔය හන්දියක්, හන්දියක් ගානෙ රැස්වීම් තිය තිය යන්නෙ. පක්ෂෙ මන්ත්‍රිවරුන්ගෙන් ලියුම්වලට අස්සන් ගන්නෙ. ප්‍රාදේශීය, පළාත් සභා මන්ත්‍රිවරුන් කොළඹට ගෙන්නන්නෙ. ඒව කරන්නෙ මාව පන්නන්න තමයි. එහෙම කරල දැන් කියන්න එපා එහෙම නෙමෙයි කියල. එකක් මතක තියාගන්න. මම යන්න සූදානම්. මම අමාරු කාලෙ මේ පක්ෂය ආරක්ෂා කරගත්තා. මම එහෙම නොකළ නම් අද මේ පක්ෂෙත් නෑ. ඔය කට්ටිය මේ තැන්වලත් නෑ. හැබැයි දැන් ඒව ඔක්කොම ඉවරයි.” යනුවෙන් කියමින් රනිල් සාකච්ඡාව මෙහෙයවීම ආරම්භ කළේම තමන් අගමැති ධුරයෙන් සහ පක්ෂ නායකත්වයෙන් ඉවත් වී ගෙදර යෑමට සූදානම් බවට වූ ස්ථාවරයේ සිටය.
රනිල්ගෙන් මලික්ට කන කිස් කන උත්තරයක්
ඒ කෙසේ වුවත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීම වූයේ කලක් රනිල් සමීපයේම සිට කිසිදු සුදුසුකමක් නොමැතිව රනිල්ගෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රිකම සහ ප්‍රබල ඇමැති තනතුරු කිහිපයක්ම ලබාගත් මලික් සමරවික්‍රම කිසිවකුත් බලාපොරොත්තු නොවුණු ආකාරයට රනිල් සමග එකට එක කතා කරන්නට යෑමය.
“නෑ…. කවුරුවත් ඔබතුමාට විරුද්ධව කුමන්ත්‍රණය කළේ නෑ. මේ රවි තමයි තැන් තැන්වල කිය කිය යන්නෙ අපි ඔබතුමා පන්නන්න කුමන්ත්‍රණ කරනවා කියලා” යනුවෙන් මලික් කියද්දී රනිල්ට කේන්ති ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.
“මලික් මේ… රවි කියන්නෙ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ආපු ජනතා නියෝජිතයෙක්. එයාට එහෙම කතා කරන්න අයිතියක් තියෙනවා. මොකද එයා ඡන්දෙන් එතැනට ආපු කෙනෙක්” යනුවෙන් කියමින් රනිල් දෙවරක්ම මලික්ට නොකියා කීවේ මලික් යනු කිසිදු ජනවරමකින් තොරව තමන්ගේ පිහිටෙන් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තු ආපු ‘පින්’ මන්ත්‍රිවරයකු බවය. එසේ පැමිණ අද තමන්වම අගමැතිකමෙන් පැන්නීමට කටයුතු කරන බවය.
සජිත් පිලට කිසිම සැලැස්මක් නෑ
කෙසේ වෙතත් රනිල් මෙහිදී සජිත්ගෙන් ඇසුවේ අපේක්ෂකත්වය ගැනීම සඳහා සජිත් සකස් කර ඇති සැලැසුම් පිළිබඳවය. එවිට සජිත් කියා සිටියේ තවම එවැනි සැලැසුමක් සකස් කර නොමැති බවත්, රනිල්ගේ ප්‍රධානත්වයෙන් එම සැලැසුම සකස් කිරීමට සූදානමින් සිටින බවත්ය. එවිට රනිල් කබීර්ගෙන්ද ඇසුවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කිසියම් සැලැසුමක් සකස් කර තිබෙනවාද යන්න කියාය. එවිට කබීර්ද කියා සිටියේ එවැනි සැලැස්මක් තවමත් සකස් කොට නොමැති යැයි කියාය. ඒ අනුව රනිල් සකස් කළ යුතු ඒ සැලැස්ම පිළිබඳව සියල්ලන්ගේම අවධානය යොමුකරවූයේය.
“මට අපේක්ෂකත්වය ගන්න ඕනෙ කියල එකක් නෑ. හැබැයි එහෙම අපේක්ෂකත්වය ගන්නව නම් ඒකට පිළිවෙළක් තියෙනවා. අපි මෙතැනට ඇවිත් තියෙන්නෙ තනිවම නෙමෙයි. අපිට උදව් කරන විවිධ පක්ෂ තියෙවා, පාර්ශ්ව ඉන්නවා, සංවිධාන තියෙනවා. අපි ඒ අයගෙ කැමැත්ත ඉස්සෙල්ලාම අරගෙන තමයි අපේක්ෂකත්වය ගැන කතා කරන්නෙ. සජිත්ට පුළුවන් නම් ඒ ඔක්කොම පක්ෂවල, පාර්ශ්වවල, සංවිධානවල කැමැත්ත ගන්න මට කිසි ප්‍රශ්නයක් නෑ. අපි කොච්චර එළියෙ දැඟලුවත් එක දෙයක් හිතාගන්න. අපිට යූ.ඇන්.පී. ඡන්දවලින් විතරක් ජනාධිපතිවරණයක් දිනන්න බෑ. ඒකට උතුරෙ දෙමළ ජනතාවගේ ඡන්ද ඕනෙ. නැඟෙනහිර මුස්ලිම් ජනතාවගේ ඡන්ද ඕනෙ, පාවෙන ඡන්දවල කැමැත්ත ඕනෙ, වෘත්තිකයන්ගේ කැමැත්ත ඕනෙ. ඒ හින්ද අපිට ලොකු වගකීමක් තියෙනවා මුලින්ම මේ ඔක්කොම පාර්ශ්වයන් එකතු කරගන්න…” යනුවෙන් රනිල් පැහැදිලි කරද්දී මලික් මැදට පැන හර්ෂ ද සිල්වා විසින් සකස් කර තිබූ මත විමසුම පිළිබඳව කියවන්නට විය. එහිදී ඔහු කියා සිටියේ ග්‍රාමීය මට්ටමින්, නාගරික පදනමින් පමණක් නොව ජන පදනමින්ද 38%ක ප්‍රතිශතයක් සජිත්ට කියෙනවා යැයි කියාය. නමුත් රනිල් ඊටද පිළිතුරු දුන්නේ සිනාසෙමින්ය.
හර්ෂගෙ මතවිමසුම කුණු කූඩෙට
“අපිත් ඔය හර්ෂගෙ සමීක්ෂණය ගැන හොඳට හොයල බැලුව. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. කිසිම පදනමක් නෑ. ඒක මේ සජිත්ව අපේක්ෂකයා කරන්න හිතාගෙනම හදපු එකක්. ඒකට ගොඩක් ප්‍රදේශ අරගෙනත් නෑ. ගත්ත සාම්පල් ගැන හරියට පෙන්නලත් නෑ. මම ඔය සමීක්ෂණය සමීක්ෂණ කරන ආයතන කිහිපයකටම දුන්නා. ඒ අයත් මට කිව්වෙ මේ සමීක්ෂණය හරියට කරල නැහැ කියලයි…” යනුවෙන් රනිල් කියද්දී මලික් නැවතත් එක එක කාරණා කියනු දැකගත හැකි විය. නමුත් රනිල් සත පහකටවත් මලික්ගේ ඒ කතා මායිම් නොකිරීම එහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් විය.
කෙසේ වෙතත් සාකච්ඡාව යම්කිසි ධනාත්මක අවසානයකට එන බවක් පෙනෙන්නට නොතිබුණු නිසා අවසානයේදී රනිල් සාකච්ඡාව අවසන් කළේ රාජිත මුණගැසී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන ලෙසට පිරිසට උපදෙස් දෙමින්ය. එමෙන්ම තමන්ද පක්ෂයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨයන් මුණගැසී මෙම ප්‍රශ්නය ව්‍යවස්ථාවට අනුකූලව සහ පක්ෂ සම්ප්‍රදාය අනුව විසඳාගතයුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කරන බවද රනිල් පිරිසට දැනුම්දී සිටියේය.
සජිත් හිරකාරයකු බව ඔප්පු වෙයි
ඒ අනුව සජිත් හා රනිල් අතර පමණක් මුහුණට මුහුණ සාකච්ඡා කිරීමෙන් අනතුරුව විසඳීයෑමට තිබූ මෙම ප්‍රශ්නය කබීර්, මලික් හා රංජිත් මැද්දට පැනීමත් සමඟ විනාශ වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. මෙම පිරිස නොපැමිණියේ නම් යම් හෙයකින් රනිල් සජිත් සමඟ එකඟතාවකට පැමිණීමට ඉඩකඩ තිබූ බවත්, එසේ නම් සජිත්ට තරග කිරීමට අවස්ථාව ලැබීමට පවා ඉඩ තිබූ බවත් බොහෝදෙනාගේ මතය වී තිබිණ. නමුත් අවසානයේදී එය වැළකී ගියේ සජිත් කිසියම් පිරිසකගේ සිරකරුවකු බවට පත්ව තනිව තීන්දුවක් ගැනීමට ඇති නොහැකියාව නිසා බවද ඔවුන්ගේ මතය විය.
කෙසේ වෙතත් සාකච්ඡාව අවසානයේදී නැඟී සිටි සජිත් රනිල්ගෙන් විමසා සිටියේ “සර් එළියෙ මීඩියා ඉන්නවා. අපි මොකක්ද ඒකට කියන්නේ” යැයි කියාය. එහිදී රනිල් ඇහුවේ “මීඩියාවලට මොනවා කියන්නද” යැයි කියාය. “නෑ අපි මීඩියාවලට මොනාහරි කියන්න ඕනනෙ” යනුවෙන් සජිත් නැවැත අසද්දී රනිල් කිව්වේ “කැමැති දෙයක් කියන්න” යැයි කියාය. ඒ අනුව සජිත් ඇතුළු පිරිස අරලියගහ මන්දිරයෙන් පිටව ගිය පසු රනිල් හා රාජිත අතර තවත් විනාඩි 45ක සාකච්ඡාවක් සිදුවිය. එහිදී රනිල් සජිත් පිළිබඳව ඉතා කනගාටුවෙන් අදහස් දක්වමින් කියා සිටියේ සජිත් යනු ඉතාම අවංක, ජනප්‍රිය දේශපාලකයකු වුවත් ඔහු කිසියම් පිරිසකගේ සිරකාරයකු බවට පත්ව ඇති බවක් තමන්ට අද පෙනීගියා යැයි කියාය. වෙනත් බලවේගයන් විසින් සජිත් මෙහෙයවන බව කී රනිල් එය භයානක ප්‍රවණතාවයක් බවද රාජිතට පෙන්වා දුන්නේය.
සජිත්ගේ අම්මා මහ රෑ රනිල්ට කෝල් කරලා
“මේ විදියට ගිහින් සජිත් මේ රටේ ජනාධිපති වුණොත් මේ රට පාලනය කරන්නෙ වෙනත් පුද්ගලයෝ. ඒ විතරක් නෙමෙයි මේ පක්ෂෙත් පාලනය කරන්නෙ වෙනත් කට්ටිය. එහෙම වුණොත් මේ පක්ෂය බලන් ඉද්දි විනාශ වෙලා යයි. ඔයාට මම තවත් රහසක් කියන්නම් රාජිත. මට ඊයෙ රෑ සජිත්ගෙ අම්මා කතා කළා. එතුමිය කිව්වෙ මගේ කොල්ලව බේරල දෙන්න කියලයි. ප්‍රේමදාස ජනාධිපතිතුමා අමාරුවෙ වැටිච්ච වෙලාවෙ ඔක්කොම අහක බලද්දි මම විතරයි ජනාධිපතිතුමාව ආරක්ෂා කළේ කියල එතුමිය කිව්ව. ඒකට මට ණයගැතියි කියලත් එතුමිය කිව්ව. මේ අය හදන්නෙ මගේ පුතාව විනාශ කරන්න කියල කියපු එතුමිය පක්ෂය කඩාගෙන එළියට යන්න කියල පුතාට බලපෑම් කරනව කියලත් කිව්ව. එහෙම වුණොත් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉන්න තැනක ඉඳන් මොනව කරයිද කියල දන්නෙ නෑ කියලත් මට කිව්ව. මට විතරයි දැන් සජිත්ව බේරගන්න පුළුවන් කියලා කිව්ව. කොහොම හරි පුතාව බේරගෙන මට එයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කියලත් එතුමිය කිව්වා…” යනුවෙන් රනිල් විශේෂ රහසක් හෙලි කරද්දී රාජිතද පෙරළා කියා සිටියේ හේමා ප්‍රේමදාස මැතිනිය තමාටද ඊයේ දුරකතන ඇමැතුමක් ලබාදුන්නා යැයි කියාය. තමා සමගද කඳුලු සලමින් හේමා මැතිනිය අදහස් දැක්වූ බව කියා සිටි බව රාජිත කියද්දී රනිල්ද නැවැත වතාවක් කීවේ අනිවාර්යෙන්ම සජිත්ව මේ කණ්ඩායමෙන් බේරාගැනීමට කටයුතු කළ යුතු යැයි කියාය.
“ඔව්. අපි සජිත්ව මේ ටීම් එකෙන් බේරගන්න ඕනෙ. ඔයා දන්නවද අද හදිසියේම ජනාධිපතිතුමා සජිත්ට කතා කරල තියෙනවා. මට ආරංචි විදිහට එයා තමයි මේ සමහර දේවල් පිටිපස්සෙ ඉන්නෙ. ඒ වගේම තව කණ්ඩායමකුත් සජිත්ව හසුවරුවන වැඬේ පිටිපස්සෙ ඉන්නවා. ඔයා දිගටම මංගලල එක්ක සාකච්ඡා කරගෙන යන්න. මම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් එක්ක කතා කරලා මේක විසඳගන්න හැටි බලන්නම්.” යනුවෙන් කියමින් රනිල් රාජිත සමඟ පැවැති එම සාකච්ඡාව අවසන් කිරීමට කටයුතු කළේය.
රාජිතගේ ගෙදර කෑම මේසයේ සාකච්ජාව
ඒ අනුව බදාදා උදෑසන රාජිතට මංගලගෙන් දුරකතන ඇමැතුමක් ලැබුණු අතර ඉන් කියැවුණේ දහවල් කෑමට කබීර් සහ මලික් සමඟ තමන් රාජිතගේ නිවෙසට පැමිණෙනවා යැයි කියාය. ඒ අනුව දිවා ආහාර මේසයේදී ගැටලුව පිළිබඳව රාජිත, කබීර්, මංගල හා මලික් අතර දීර්ඝ සාකච්ඡාවක් ඇතිවිය. මලික් එහිදී හර්ෂගේ මත විමසුම පිළිබඳව යළිත් කරුණු දක්වද්දී රාජිත කියා සිටියේ එහි කිසිදු පදනමක් නොමැති බවත්, එහි අඩුපාඩු රැසක් පවතින බවත්ය. එමෙන්ම අගමැතිවරයා පවා එම මත විමසුම පිළිගන්නේ නැති බවද රාජිත කියා සිටියේය. එසේ නම් දෙපාර්ශ්වයට පිළිගත හැකි ස්වාධීන ආයතනයක් මඟින් අලුත් මත විමසුමක් සිදුකළ යුතු බවද රාජිත එහිදී පිරිසට කියා සිටියේය.
පසුව මංගල කියා සිටියේ පෙරදින සාකච්ඡාවේදී රනිල් දැනුම්දී ඇති ආකාරයට සම්බන්ධන්, රිෂාඞ්, හකීම් වැනි සියලු පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කොට සජිත්ට සහාය ගැනීම සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි කියාය. එවිට රාජිත එදින උදෑසන රනිල් කතා කර තමාට කළ දැනුම්දීමක් පිළිබඳව පිරිස දැනුවත් කිරීමට කටයුතු කළේය.
“මට අද උදේ අගමැතිතුමා කතා කරල කිව්ව මේ ප්‍රශ්නය පක්ෂ ව්‍යවස්ථාවට අනුව ‘වර්කින් කමිටි’ එකෙන් විසඳගන්න එතුම තීන්දු කරල තියෙනව කියල…” යනුවෙන් රාජිත කියද්දී එම සාකච්ඡාවද තීරණයක් නොමැතිව අවසන් වන ලකුණු පහළවිය.
පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ එක්ක රනිල් අන්තිම තීන්දුව ගනී
ඊට අමතරව සවස 5.30ට රනිල් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ද කැඳවා සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එම රැස්වීමට දසදෙනකු සහභාගිව සිටි අතර සාකච්ඡාව රාත්‍රිය දක්වාම ඇදී ගිය ආකාරයක් පෙනෙන්නට තිබිණ. මෙහිදී පසුගිය කාලසීමාව පුරා ජනාධිපතිවරයා එජාපය දෙකඩ කිරීම සඳහා එළිපිට කටයුතු කළ ආකාරය පිළිබඳව දීර්ඝව සාකච්ඡා විය. එමෙන්ම පක්ෂ විනයට අවනත නොවී පක්ෂය කඩන එවැනි වැඩපිළිවෙළට සහාය දක්වන මැති, ඇමැතිවරුන් පිළිබඳව ඉතා දැඩිව විනය පියවර ගත යුතු බවද මෙහිදී කියැවිණ. ඊට මූලිකත්වය ගත්තේ රවිය. රවි දැඩිව ප්‍රශ්න කළේ බැඳුම්කර සිද්ධියේදී තමන්ට කිසිදු චෝදනාවක් නොමැතිව ඇමැතිකමෙන් ඉවත් වන ලෙසට ඇතැම් ජ්‍යෙෂ්ඨයන් බලපෑම් කළ බවත්, ඒ නිසාම තමන්ට විශාල අසාධාරණයකට පක්ෂය ඇතුළේ මුහුණදීමට සිදුවූ බවත්ය.
ප්‍රබලයකුට මේ සතිය අන්තිමයි
නමුත් මේ අවස්ථාවේදී පක්ෂ සභාපතිවරයා පවා පක්ෂයේ විනය බරපතළ ලෙස කඩ කරමින් හැසිරෙද්දී විනය ක්‍රියාමාර්ග බලපාන්නේ තමන්ට විතරක්ද යනුවෙන් රවි එහිදී දැඩිව විමසා සිටිද්දී රනිල් කියා සිටියේ රවි කී කතාව ඇත්තක් යැයි කියාය. තවදුරටත් බලා සිටිය නොහැකි බව කියා සිටි රනිල් ඇමැතිවරුන් කිහිපදෙනකුට එරෙහිව විනය ලියුම් සකස් කරන ලෙසට පක්ෂ මහලේකම්වරයාට දැනුම්දීමට පියවර ගත්තේය. මීට අමතරව පක්ෂයේ තවත් ප්‍රබලයකුට එරෙහිව දැඩි තීන්දුවක් ගැනීමටද මෙහිදී තීන්දු විය. ඒ අනුව අප දැඩි වගකීමකින් යුතුව කියා සිටින්නේ පක්ෂයේ ප්‍රබලයකුට එරෙහිව මෙම සතිය ඇතුළතදී බරපතළ තීන්දුවක් ගැනීමට නියමිත යැයි කියාය.
20 තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්
මීට අමතරව පක්ෂයේ ව්‍යවස්ථාව පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර අවසානයේදී තීන්දු වූයේ ව්‍යවස්ථාවට අනුකූලව සම්ප්‍රදායට අනුව යමින් ජනපති අපේක්ෂකයා නම් කිරීමටය. එමෙන්ම පාර්ලිමේන්තු කණ්ඩායමේ පක්ෂපාතීත්වය පිළිබඳවද මෙහිදී දීර්ඝව සාකච්ඡා විය. එහිදී මන්ත්‍රිවරුන්ගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් වූ අතර එහි සජිත්ට පක්ෂ මන්ත්‍රි කණ්ඩායමද, රනිල්ට පක්ෂ මන්ත්‍රි කණ්ඩායමද වෙන් වෙන් වශයෙන් දක්වා තිබිණ. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ වැට උඩ සිටින මන්ත්‍රිවරුන් පවා සජිත්ගේ පිලට දමා ගණන් හැදුවද 60%ක කණ්ඩායමක් රනිල් සමඟ සිටීමය. ඒ අනුව අවසානයේදී රනිල් කියා සිටියේ ලබන 20 වැනිදා තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පවත්වා පක්ෂ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමට තමන් සූදානම් යැයි කියාය.
මීට අමතරව පසුගිය දින කිහිපය ඇතුළත සජිත් අපේක්ෂකයා බවට පත්කළ යුතු බවට කියමින් මැති ඇමැතිවරුන් අස්සන් තැබූ ලිපියක් පිළිබඳවද මාතෘකාවක් ඇදී ආවේය. එම ලිපිය පක්ෂ නායකත්වය වෙත ඉදිරිපත් නොවුණත් මාතෘකාව ඇදී ඒමත් සමඟ රනිල් ඒ පිළිබඳව අපූරු රහසක් පිරිසට හෙළි කිරීමට කටයුතු කළේය.
සජිත්ට අත්සන් කරපු අය රනිල්ටත් ලියුම් දීලා
“මටත් ආරංචියක් ආව ඔහොම ලියුමක් අත්සන් කරනවා කියල. හැබැයි ඒක මගේ අතට නම් ආවෙ නෑ. හැබැයි ඔබතුමාල දන්නවද ඔය ලියුමට අස්සන් අරන් තියෙන්නෙ කොහොමද කියල. සමහරුන්ට බලපෑම් කරල තමයි ඔය ලියුමට අස්සන් අරගෙන තියෙන්නෙ. එතන අස්සන් කරපු හතළිස් ගාණකින් විසි දෙනෙක් විතර මට ඇවිත් ඔය කතාව කිව්ව. මම ඒ අයට කිව්ව මට ඒක ලිඛිතව දෙන්න කියල. මට ඒ ලියුම් ටිකත් දැන් හම්බුවෙලයි තියෙන්නෙ. ඒ අය ලිඛිතවම මට දීල තියෙනවා විවිධ කට්ටිය බලපෑම් කරල ඒගොල්ලන්ගෙ අස්සන් ගත්ත කියල. කවුද දන්නවද එහෙම බලපෑම් කරල තියෙන්නෙ. දුලාංජලී ප්‍රේමදාස, ජලනි ප්‍රේමදාස, හේමා ප්‍රේමදාස. ඒ විතරක් නෙමෙයි තවත් බලපෑම් කරපු අයගෙ නම් මෙතැන තියෙනවා.” යනුවෙන් රනිල් මේසය අසල තිබූ ලියුම් මිටියක් පෙන්වමින් කියද්දී පුදුමයට පත්ව සිටි පිරිස කියා සිටියේ එසේ නම් එම ලියුම් පදනම්ව වහාම විනය පරීක්ෂණ පවත්වන්න යැයි කියාය. රනිල් ඊට එකඟතාවය පල කරද්දී කිරිඇල්ල කියා සිටියේ රංජිත් මද්දුමබණ්ඩාරද එම ලිපිය රැගෙන තමන්ගේ අස්සන ලබාගැනීමට පැමිණියා යැයි කියාය. රංජිත්ගේ ජ්‍යෙෂ්ඨත්වය මතක් කරදී තමන් හොඳට රංජිත්ට කරුණු පහදා දුන් බවද කිරිඇල්ල එහිදී පිරිසට මතක් කර දුන්නේය.
කරුගේ ගෙදරට ගිය රනිල්ගේ නියෝජිතයා
කෙසේවෙතත් මෙම සාකච්ඡාව අවසානයේදී තවත් අලුත් තත්ත්වයක්ද මතුවනු දැකගත හැකි විය. එනම් දැනට කැඩී විසිරී ඇති සියලු කණ්ඩායම් එකට එකතු කොට 2015දී දිනන බලවේගය සකස් කළ ආකාරයට පක්ෂය එකතු කළ හැකි පුද්ගලයා කවුරුන්ද යන්න කියාය. එවිට සියල්ලන්ගේම පිළිතුර වූයේ එසේ කළ හැකි එකම පුද්ගලයා වන්නේ වත්මන් කතානායක කරු ජයසූරිය මහතා යැයි කියාය. ඒත් සමඟම සාකච්ඡාව නිමාවූ වහා රනිල්ගෙන් ඒ මොහොතේම කතානායකවරයාට දුරකතන ඇමැතුමක් ලැබිණ. එසේ කරුට දුරකතනයෙන් කතා කළ රනිල් කියා සිටියේ තමන් ඉදිරි දින කිහිපය ඇතුළත විශේෂ සාකච්ඡාවක් සඳහා කරුගේ නිල නිවෙසට පැමිණෙනවා යැයි කියාය.
මීට අමතරව සාකච්ඡාව නිමාවූ වහා රාත්‍රියේ රනිල්ගේ තවත් විශේෂ නියෝජිතයකු කරුව හමුවන්නට ඔහුගේ නිල නිවෙසට ගියේය. එම විශේෂ නියෝජිතයා ආර්ථිකය සම්බන්ධ විශේෂඥයකු වන අතර දැනට පෞද්ගලික බැංකුවක සභාපතිවරයකු වශයෙන් කටයුතු කරන රනිල්ටත්, පක්ෂයටත් ඉතාම ලැදි පුද්ගලයෙකි. මෙම විශේෂ නියෝජිතයා කරුව මුණගැසී විශේෂ පණිවුඩය කිහිපයක්ම කරුට ලබාදී ඇති බවක් දැනගන්නට ඇත.
චන්ද්‍රිකාගෙන් කිලී මහරාජාට චෝදනාවක්
මේ අතර පසුගිය සතියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය යළිත් වතාවක් සක්‍රිය වශයෙන් දේශපාලනයට පිවිසි ආකාරයක් දැකගත හැකි සිදුවීමක් සිදුවිය. ඒ ඇය සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ වත්මන් ප්‍රධානියා වන මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්‍රමුඛ එම සංවිධානයේ ප්‍රධානීන් කැඳවා සාකච්ඡා පැවැත්වීමට පියවර ගැනීම හරහාය. මෑත කාලයේදී හිටපු ජනාධිපතිනිය සක්‍රියව දේශපාලන කටයුතුවලට සහභාගි වී නොසිටි පසුබිමක ඇය මෙසේ හිටි හැටියේම කළඑළි බැසීම පිළිබඳව බොහෝදෙනා තැන්තැන්වල කසුකුසු ගාන ආකාරයක්ද දැකගගන්නට ලැබිණ.
කෙසේ වෙතත් මෙම හමුවේදී පළමුවරට ඇය එක්තරා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සරත් විජේසූරිය ඇතුළු පිරිසට හෙළිකිරීමට කටයුතු කළාය. ඒ, දේශපාලන පක්ෂ මෙහෙයවන්නට සූදානමින් සිටින මාධ්‍ය හිමිකරුවන් පිළිබඳවය.
සිවිල් සංවිධාන පාරට බහින ලකුණු
“මේ වෙද්දි අපි ඉතාම බරපතළ තර්ජනයට මුහුණදීලයි තියෙන්නෙ. ඒ තර්ජනය ඇවිත් තියෙන්නෙ රාජපක්ෂවරුන්ගෙන්වත්, වෙන කාගෙන්වත් නෙවෙයි. කිලී මහරාජාගෙන්. මේ වෙද්දි කිලී මහරාජා එයාගෙ සල්ලි බලයයි, මාධ්‍යයයි යොදවලා මේ රටේ දේශපාලනය හසුරුවන්න, දේශපාලකයන් සල්ලිවලට ගන්න විශාල කුමන්ත්‍රණයක් දියත් කරල තියෙනවා. මේක බොහොම භයානක කුමන්ත්‍රණයක්. මෙච්චර කල් කිසිම බිස්නස්කාරයෙක් කෙළින්ම පක්ෂ පාලනය කරන්න ගියේ නෑ. ශ්‍රී ලංකා එක ස්වාධීනව හිටිය. පොහොට්ටුවෙත් අය ස්වාධීනව කටයුතු කරන් යනවා. හැබැයි පළමු වතාවට බිස්නස්කාරයෙක් මේක අතට ගන්නයි යන්නෙ. ඒ හින්ද අපි මේකට එරෙහිව කටයුතු කරන්න ඕනෙ. එහෙම නොවුණොත් අනාගතේදී මේ රට බරපතළ තැනකට පත්වෙන එක වළක්වන්න බෑ. ඒකට සිවිල් සංවිධානවලට විශාල වගකීමක් තියෙනවා. දැන් එජාපයට ඒ ප්‍රශ්නය ඇවිල්ලා. අපි මෙතැන්දි බලන්න ඕනෙ රනිල්ද, සජිත්ද, කරුද කියන එක නෙමෙයි. ඒක 2015 කළා වගේ අන්තිම මොහොතෙදි ඔක්කොම පක්ෂ නායකයො එක්කහු වෙලා තීන්දු කරයි. හැබැයි දැන් තියෙන තත්ත්වය වෙනස්. දැන් බිස්නස්කාරයො අපේක්ෂකයන් තෝරන මට්ටමට ඇවිල්ල” යනුවෙන් කියමින් හිටපු ජනාධිපතිනිය බරපතළ හෙළිදරව්වක් සිදුකරද්දී සිවිල් සංවිධානද ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට තීන්දු කළේය. ඒ අනුව පසුව ඔවුන් කළ සොයාබැලීමකදී මෙහි භයානකත්වය පිළිබඳව ඔවුන්ටද තහවුරු වීමත් සමඟ ඔවුන්ද තීන්දු කළේ මීට එරෙහිව සියලුම සිවිල් සංවිධාන එකමුතු කොට දැවැන්ත ව්‍යාපාරයක් ගොඩනැඟීමටය. ඒ අනුව පසුගිය සතිය වන විට දේශපාලන පක්ෂ කිහිපයක් සමඟම මේ පිළිබඳව සාකච්ඡා කළ ඔවුන් ඉදිරි දින කිහිපය ඇතුළත පාරට බැස ඊට එරෙහිව විරෝධතා දැක්වීමටද තීන්දු කර ඇත.
කපිල පුංචිමාන්නගේ