ජිනීවා මානව හිමිකම් කොමිසමේ ප්‍රශ්නය, කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජනතාවගේ සිරුරු භූමදානය කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නය, ආර්ථික අර්බුදය, ඉන්දියාව සමඟ මෝදුවෙමින් පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය වැනි බරපතළ ප්‍රශ්න රැසකට ආණ්ඩුව මුහුණදෙමින් සිටින පසුබිමක පසුගිය සතියේ දකුණු ආසියාවේ විශාලතම මුස්ලිම් රාජ්‍යයේ නායකයා වන පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණියේය. ආණ්ඩුව පසුගිය සතියේදී ගනු ලැබූ යම් යම් තීරණ හේතුවෙන් ඉම්රාන්ගේ ලංකා ගමන වැට උඩ පැවතියද ඒ කිසිවක් පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදක්වා තමන් සැලැසුම් කළ පරිදි ලංකා සංචාරය සිදුකිරීමට ඉම්රාන් පියවර ගත්තේය. පසුගිය සතියේ අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ පෙන්වා දුන් පරිදි ඉකුත් බදාදා (24දා) දින ඉම්රාන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දේශනයක් පැවැත්වීමේ අවස්ථාව තහවුරු කොට තිබියදීත් අවසාන මොහොතේ එම කතාව අවලංගු කිරීමට ආණ්ඩුව පැත්තෙන් පියවර ගැනීමත් සමඟ ඉම්රාන්ගේ ලංකා සංචාරය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබිණ. ආණ්ඩුවේ එම හදිසි තීන්දුවත් සමග මෙරට පිහිටි පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයද මුහුණ දුන්නේ විශාල අර්බුදයකටය. එම නිසා ඉකුත් සිකුරාදා (19දා) දින වන විටත් පකිස්තාන මහකොමසාරිස් කාර්යාලය මඟින් ඉම්රාන්ගේ ලංකා සංචාරය තහවුරු කිරීමක් කර නොතිබීම විශේෂ සිදුවීමක් විය.
කෙසේ වෙතත් සතිඅන්තය වන විට ඉම්රාන්ගේ ශ්‍රී ලංකා සංචාරය තහවුරු කළ නමුත් එහි කාලසටහනේ යම් යම් වෙනස්කම් කිරීමට පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයට සිදුව තිබිණ. ඒ අතර ඉහළින්ම තිබුණේ මෙරට මුස්ලිම් නායකයන් ඉම්රාන්ව මුණගැසිය යුතු බවට එරට මහකොමසාරිස්වරයා හමුවී කළ ඉල්ලීමට අනුව ලබාදී තිබූ වේලාවන් අවසන් මොහොතේ අවලංගු කිරීමට ඔවුන්ට සිදුවීමය. ඊට හේතුව කුමක්ද යන්න පිළිබඳව කිසිදු හේතුවක් ඉදිරිපත් නොවුණත් රාජ්‍ය රහස් තීරයට නිල නොවන වශයෙන් දැනගන්නට ලැබී ඇත්තේ ඉහළින් ආ බලපෑමක් හේතුවෙන් එම හමුවීම් අවලංගු කිරීමට පාකිස්තාන මහකොමසාරිස් කර්යාලය කටයුතු කොට ඇති බවකි. මෙම හමුවේදී මෙරට මුස්ලිම් නායකයන් භූමදානය පිළිබඳ ප්‍රශ්නය ඉම්රාන් සමඟ සාකච්ඡා කොට ඉම්රාන් හරහා ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් බලපෑම් කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී තිබීම ඒ සඳහා හේතුවී ඇති බව දැනගන්නට ඇත.
ඉම්රාන් අරලිය ගහ මැදුරට කොටු කරයි
එහිදී ආණ්ඩුවට අවශ්‍යව තිබුණේ භූමදානය මුල්කරගෙන ලංකාව තුළදී ඉම්රාන්ගෙන් ප්‍රකාශයක් නිකුත් වීම කෙසේ හෝ වළක්වා ගැනීමටය. ඒ අනුව සිදුකෙරුණු දැඩි බලපෑම් හේතුවෙන් ඉම්රාන් හා මුස්ලිම් නායකයන් අතර හමුව අවලංගු කෙරුණු බව එම ආරංචිමාර්ගවලින් වැඩිදුරටත් දැනගන්නට ලැබිණ. ඒ අනුව ඉම්රාන් හා විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් අතර හමුව අරලියගහ මන්දිරයේ රාත්‍රී භෝජන සංග්‍රහයට පමණක් සීමා කිරීම ආණ්ඩුවේ සැලැසුම වී තිබිණ.
රනිල්ටත් මහින්ද එන්න කියයි
සාමාන්‍යයෙන් විදෙස් රාජ්‍ය නායකයකු පිළිගැනීම සඳහා පවත්වන උත්සවයකදී දෙරටේම රාජ්‍ය නායකයන් අදහස් දැක්වීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවද අරලිය ගහ මන්දිරයේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පිළිගැනීමේ උත්සවයේදී දෙරටේ අගමැතිවරුන් වෙනුවෙන් කිසිදු කතාවක් වෙන් නොකිරීමට බලධාරීන් පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව උත්සවය පැය එකහමාරකට සීමා කිරීමටද සංවිධායකවරු පියවර ගත්හ. එහිදී අගමැතිවරයා හිටපු ජනාධිපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේනටද, හිටපු අගමැතිවරයා වන රනිල් වික්‍රමසිංහටද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටද, විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන්ටද ආරාධනා කිරීමට පියවර ගත්තේය. එහිදී සජිත්, රනිල් ඇතුළු පිරිසට එක මේසයක ආසන පැනවීමට කටයුතු කර තිබීමද විශේෂත්වයක් විය. කෙසේ වෙතත් සජිත් පැමිණෙන විට උත්සවය ආරම්භ වී මද වේලාවක් ගතව තිබුණු අතර සජිත් හා රනිල් අතර වැඩි කතාබහක් සිදු නොවීමද විශේෂ සිදුවීමක් විය.
චමල් මෛත්‍රි ගැන හිතයි
මෙම අවස්ථාවට පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් බොහෝදෙනකු පැමිණ සිටීම නිසා තැන් තැන්වල තිබූ මේසවල අසුන්ගෙන සිටි ඔවුන් විවිධ මාතෘකා පිළිබඳ කතාබහ කරන ආකාරයක්ද පෙණින. එක් මේසයක චමල් රාජපක්ෂ, ජී.එල්. පීරිස් ඇතුළු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිපදෙනෙක් සිටි අතර, වරෙක එහි මාතෘකාව වූයේ පාස්කු වාර්තාව සම්බන්ධයෙන් ගැනීමට නියමිත ඉදිරි ක්‍රියාමාර්ගයන්ය. වාර්තාව මගින් නිකුත් කර ඇති නිර්දේශයන් පිළිබඳව සොයාබැලීමට පත්කළ සයපුද්ගල කමිටුවේ සභාපතිවරයා වශයෙන් චමල් කටයුතු කිරීම නිසා ජී.එල්. ඔහුගෙන් විමසා සිටියේ ඉදිරියේදී මෛත්‍රිපාලට සිදුවිය හැකි දේ පිළිබඳවය. එහිදී චමල් ඊට දුන්නේ අපූරු පිළිතුරකි.
“මම මේ වාහනේ එන ගමනුත් හිත හිත ආවේ මේ ප්‍රශ්නයෙන් මෛත්‍රිව බේරගන්නෙ කොහොමද කියලා…” යන්න එහිදී චමල් කී කතාව විය. ව්‍යවස්ථා නීතිය පිළිබඳව විශාරදයකු වූ ජී.එල්. එහිදී කියා සිටියේ මෛත්‍රිට එල්ලවී ඇත්තේ වගකීම් පැහැර හැරීම යටතේ චෝදනාවක් බවත්, ඍජුව මෛත්‍රි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ල වී නැති බවත්ය. එම නිසා නීතිමය පැත්තෙන් මෛත්‍රිට අවස්ථාවක් පවතින බවද ජී.එල්. පෙන්වා දුන්නේය.
මෛත්‍රී බේරගන්න ගියොත් මිනිස්සු පාරට බහීවි
නමුත් එම මේසයේ සිටි තවත් ඇමැතිවරයකු එහිදී කියා සිටියේ ඊට තරමක් වෙනස් කතාවකි.
“හැබැයි මහජනතාවගේ මතය ඒක නෙමෙයි. මහජනතාව අතරට ගිහින් තියෙන මතය තමයි මෛත්‍රිපාලලා තොරතුරු ඇවිත් තිබියදීත් ගණන් ගත්තෙ නැති නිසා මේ ප්‍රහාරය එල්ලවුණා කියන එක. අපි ඒ අය බේරගන්න ගියොත් මිනිස්සු ආණ්ඩුවට විරුද්ධව පාරට බහීවි…” යන්න එම ඇමැතිවරයාගේ තර්කය විය.
තානාපතිවරු සද්ද නෑ
මේ ආකාරයට මැති, ඇමැතිවරුන් විවිධ මාතෘකා කතා කරද්දී එක් මේසයක් සම්පූර්ණයෙන්ම පාහේ ආසියානු කලාපයේ තානාපතිවරුන්ට වෙන්කර තිබූ ආකාරයක් දැකගත හැකි විය. එම මේසයේ මාලදිවයින්, බංග්ලාදේශ, නේපාල, ඉන්දීය රාජ්‍යතාන්ත්‍රිකයෝ අසුන්ගෙන සිටියහ. ඔවුන් අතර සාකච්ඡා වූයේ මේ වන විට ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසමේ මතුව ඇති තත්ත්වයය. එහිදී මාලදිවයින් තානාපතිවරයා ඍජුවම ලංකාවට පක්ෂ ස්ථාවරයක සිටිමින් අදහස් දැක්වූ අතර, ඉදිරි දින කිහිපය ඇතුළත ඒ බව නිවේදනයක් මඟින් නිකුත් කිරීමටද පියවර ගන්නා බව කියා සිටියේය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මාලදිවයින් තානාපතිවරයා මේ ආකාරයෙන් අදහස් දැක්වූවත් බංග්ලාදේශ, නේපාල තානාපතිවරුන් ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ නොකියා මුනිවත රැකි ආකාරයක් දැකගන්නට ලැබීමය. ඒ අනුව බොහෝදෙනාගේ අදහස වූයේ නේපාලය හා බංග්ලාදේශය බොහෝ විට මානව හිමිකම් කොමිසමේ රැස්වීමේදී ලංකාව වෙනුවෙන් පෙනී නොසිටිනු ඇති බවය.
හකීම් කනගාටුවෙන්
එමෙන්ම මෙම රැස්වීමට රවුෆ් හකීම්ටද ආරාධනා කර තිබූ අතර, ඔහු දුටු බොහෝ දෙනා හකීම්ගෙන් විමසා සිටින්නට වූයේ ඉම්රාන් ඛාන් හා ඔවුන් අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු වීම පිළිබඳවය. හකීම්ද ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ එම කතාව සත්‍යයක් බවත්, යම් පාර්ශ්වයකින් ආ දැඩි බලපෑම් හේතුවෙන් තමන්ට ලබාදී තිබූ වේලාවන් අවලංගු කොට ඇති බවත්ය. නමුත් තමන් ඒ පිළිබඳව කනගාටු නොවන බවද හකීම් එහිදී පිරිසට දැනුම්දී සිටියේය.
ඉම්රාන් අන්තිම මොහොතේ වෙනසක් කරයි
මේ ආකාරයට ඉම්රාන්ගේ සංචාරයේ කාලසටහන සකස් වී තිබුණත් බදාදා උදෑසන වන විට පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය එම කාලසටහන දැඩි වෙනසකට ලක්කිරීමට පියවර ගත්තේය. ඒ අනුව මුලින් මුස්ලිම් නායකයන්ට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ විශේෂ හමු සූදානම් කර නොතිබුණත් බදාදා උදේ වරුවේ ඉම්රාන්ගේ පාර්ශ්වයෙන් ගනු ලැබූ හදිසි තීන්දුවකට අනුව එම දෙපාර්ශ්වයම හමුවීමට සැලැසුම් කෙරිණ. ඒ අනුව පාකිස්තානු මහකොමසාරිස්වරයා සජිත් ප්‍රේමදාස මහතටත්, රවුෆ් හකීම් මහතාටත් දුරකතන ඇමැතුම් ගෙන පාකිස්තාන අගමැතිවරයා ඔවුන් වෙන වෙනම හමුවීමට සූදානමින් සිටින බව දැනුම්දී සිටියේය. මෙම හමු ඉම්රාන් නැවතී සිටින ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වීමට සැලැසුම් කොට ඇති බවද පාකිස්තාන මහකොමසාරිස්වරයා දැනුම්දී සිටියේය. ඒ අනුව සජිත් සිය පක්ෂයේ මුස්ලිම් නියෝජිතයන් වූ කබීර් හෂීම් සහ ඉමිතියාස් බාකීර් මාකාර් කැටුව ඉම්රාන් හමුවීමට ගිය අතර, හකීම්ද ගියේ සිය පක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනකු සමඟය.
මෙහිදී සජිත් සමඟ පැවැති සාකච්ඡාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කොට ඇති ක්‍රමවේදයන්ට අනුකූලව කොරෝනා සිරුරු භූමදානය සම්බන්ධයෙන් තම පක්ෂයට ගැටලුවක් නැති බව සජිත් ඉම්රාන්ට දැනුම්දී සිටියේය. එමෙන්ම හකීම් ඇතුළු මුස්ලිම් නායකයන්ද ඉම්රාන්ට කියා සිටියේ මුස්ලිම් සිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලබාදෙන ලෙසට ආණ්ඩුවට බලපෑම් එල්ල කරන ලෙසටය.
‘ඕ.අයි.සී.’ ජිනීවාවලදී ලංකාවට එරෙහි වෙයි
මේ ආකාරයට ඉම්රාන් ලංකාවේ සිටියදී ජිනීවා මානව හිමිකම් කොමිසම තුළද විශේෂ කටයුත්තක් සිදුවෙමින් පැවතිණ. ඒ මුස්ලිම් රටවල් 57ක් නියෝජනය කරන දැවැන්තම සංවිධානය වූ ඉස්ලාම් සහයෝගිතා සංවිධානය හෙවත් ‘ඕ.අයි.සී.’ සංවිධානය ලංකාවේ මුස්ලිම් සිරුරු භූමදානය සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුකරමින් අදහස් දැක්වීමය. එහිදී ඔවුන් දැඩිව පෙන්වා දී තිබුණේ ලංකා ආණ්ඩුව මුස්ලිම් ජනතාවගේ සිරුර භූමදානය කිරීමට ඉඩ නොදීමෙන් බරපතළ ලෙස මානව අයිතීන් උල්ලංඝනය කිරීමට පියවර ගෙන ඇති බවකි. මේ නිසා ඒ පිළිබඳව ලංකා ආණ්ඩුවට බලපෑම් එල්ල කරන ලෙසද ඕ.අයි.සී. සංවිධානය ජිනීවාහිදී අවධාරණය කොට තිබිණ.
මෙහිදී දැකගන්නට ඇති විශේෂම සිදුවීම වූයේ මෙම ඕ.අයි.සී. සංවිධානය ඉකුත් කාල වකවානුවලදී සෑම අවස්ථාවකම පාහේ ලංකාව වෙනුවෙන් පෙනී සිටීමය. එමෙන්ම පසුගිය කාලයේදී පාකිස්තානය පවා ඍජුවම ලංකාව වෙනුවෙන් ජිනීවාවලදී පෙනී සිටියේය. නමුත් මෙවර ඕ.අයි.සී. සංවිධානය ලංකාවට එරෙහිව ජිනීවාවලදී අදහස් ප්‍රකාශ කළ අතර, පාකිස්තාන අගමැති ඉම්රාන්ද සිය දෙදින ලංකා සංචාරය තුළදී කිසිදු තැනක ජිනීවාවලදී ලංකාවට සහාය දක්වන බවක් ප්‍රකාශ නොකිරීම විශේෂ සිදුවීමක් විය.
ආණ්ඩුව භූමදානයට අවසර දෙයි
කෙසේ වෙතත් මේ තත්ත්වය යටතේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පැවැත්විණ. ඊට අගමැති මහින්ද මෙන්ම බැසිල් රාජපක්ෂද සහභාගිව සිටියහ. මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරුණේ කොරෝනා මළ සිරුරු භූමදානය සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන්ය. අගමැතිවරයා ඊට පක්ෂව අදහස් දැක්වූ අතර අවසානයේදී ආණ්ඩුව තීන්දු කළේ තවදුරටත් මෙය රට ඇතුළේ ප්‍රශ්නයක් කර නොගෙන මළ සිරුරු භූමදානය සඳහා අවසර ලබාදීමටය. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අස්සනින් යුතුව බ්‍රහස්පතින්දා රාත්‍රියේම ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමටද ආණ්ඩුව පියවර ගත්තේය.
මහින්දගෙයි රනිල්ගෙයි යාලූකම
වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර නොබිඳෙන මිතුදමක් ඇති බව දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසකි. දෙදෙනාගේම දේශපාලනයට වසර පනහක් ඉක්මවා ගොස් ඇති තිබීමත්, දෙදෙනාම සම කාලවකවානුවකදී දේශපාලනයට පිවිස සිටීමත් ඊට හේතු විය. එදා සිට පක්ෂ දෙකක දේශපාලනය කළත් දෙදෙනා අතර ඇති හිතවත්කමට එම පක්ෂ දේශපාලනය කිසිදු බාධාවක් නොවීය. එම තත්ත්වය කොතෙක්ද කියනවා නම් රනිල්ට දේශපාලන වශයෙන් අසීරු අවස්ථාවලදී මහින්ද උදව් කළ අතර, මහින්දට දේශපාලන වශයෙන් අසීරු අවස්ථාවලදී රනිල් උදව් කළේය. වරක් රනිල්ගේ නායකත්වයට එරෙහිව දැඩි බලපෑමක් පක්ෂය ඇතුළෙන් පැමිණ සිරිකොත වැටලීමට පාක්ෂිකයන් උත්සාහ කළ අවස්ථාවේදී වහාම පිටකෝට්ටේ පාර වසා සිරිකොත ඉදිරිපිට කාපට් අතුරා රනිල්ව බේරා ගැනීමට පවා මහින්ද පියවර ගත්තේය.
මහින්ද රනිල්ට බෙන්තොට එන්න කියයි
ඉකුත් මහ මැතිවරණයේදී රනිල් පරාජයට පත්වුවද මෙම මිත්‍රත්වයේ කිසිදු අඩුවක් නොවීය. ඒ නිසාම පසුගිය දිනෙක රනිල් මහින්දට පණිවුඩයක් තබමින් තමන්ට ඔහුව මුණගැසීමට අවශ්‍ය බව දැනුම්දී සිටියේය. නමුත් කොරෝනා ප්‍රශ්නය හේතුකොටගෙන ඒ සඳහා වේලාව ලබාදීමට මහින්දට අවස්ථාවක් නොවීය. ඒ අනුව මීට දෙසතියකට ඉහතදී, එනම් ඉකුත් 13 වැනි සෙනසුරාදා දින උදෑසනම රනිල් නැවැත වතාවක් මහින්දට කතාකොට තමන්ට මහින්ද හමුවීමට අවශ්‍ය බව දැනුම් දී සිටියේය. මහින්ද ඒ වන විට සිටියේ බෙන්තොට පිහිටි අගමැති නිල නිවසේ විවේක සුවයෙනි. ඒ අනුව මහින්ද රනිල්ට කීවේ තමන් බෙන්තොට අගමැති නිල නිවසේ නැවතී සිටින බවත්, බෙන්තොටට පැමිණීමට හැකි නම් තමන් හමුවීමට හැකි බවත්ය. එසේ එන්නේ නම් දිවා ආහාරය ගැනීමට බලාගෙනම පැමිණෙන ලෙසද මහින්ද එහිදී රනිල්ට දැනුම්දී සිටියේය. රනිල් ඊට එකඟතාවය පළකොට වහාම බෙන්තොට බලා පිටත්ව ගියේ ඒ අනුවය.
මේ බෙන්තොට අගමැති නිල නිවස සම්බන්ධව රනිල්ටද යම් ඉතිහාසයක් තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබූ නිල නිවසක් වන මෙම බෙන්තොට නිවස අගමැති නිල නිවසක් බවට පරිවර්තනය කරන ලද්දේ 2001 වසරේදී රනිල් විසින්මය. ඒ එවක අගමැතිවරයා වශයෙන් කටයුතු කරද්දීය. ඒ අවස්ථාවේදී විවේකයක් ලද වහා රනිල් එම විවේක කාලය බොහෝවිට ගතකළේද මේ බෙන්තොට පිහිටි අගමැති නිල නිවසේදීය. ඒ අනුව එම නිල නිවස රනිල්ට නුහුරු නුපුරුදු තැනක් නොවීය.
මේ පාර කළු කෝපි වෙනුවට බුරියානි
කෙසේ වෙතත් මහින්ද හමුවීමට පැමිණි රනිල් එදින වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් බොහෝ කරුණු කාරණා මහින්ද සමඟ හුවමාරු කර ගත්තේය. එහිදී එක් අවස්ථාවකදී මහින්ද රනිල්ට දැනුම් දී සිටියේ එජාපයට හිමිව ඇති එකම ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය භාරගෙන වහාම පාර්ලිමේන්තුවට පැමිණීමට කටයුතු කරන ලෙසය. මේ ඒ සඳහා සුදුසුම වේලාව බවත් මහින්ද එහිදී රනිල්ට කියා සිටියේය. නමුත් ඊට රනිල් හයියෙන් සිනාසුනා මිස වචනයෙන් උත්තරයක් දෙන්නට ගියේ නැත.
සාමාන්‍යයෙන් රනිල් හා මහින්ද අතර පැවැත්වෙන මෙම සාකච්ඡාවලදී බොහෝ දුරට කියැවෙන වචනයක් තිබේ. ඒ කළු කෝපිය. දෙදෙනා අතර සිදුවන සාකච්ඡාවලදී රනිල් බොහෝ වෙලාවට මහින්දට පිරිනමන්නේ කළු කෝපිය. මහින්දගේ පැත්තෙන් සාකච්ජාව සිදුවනවා නම් මහින්දද රනිල්ට පිළිගන්වන්නේ කළු කෝපිය. එම නිසා මාධ්‍යයද නිතරම වාර්තා කළේ මහින්ද සහ රනිල් කළු කෝපි බොමින් සාකච්ඡා කළා යැයි කියාය. නමුත් එදින බෙන්තොට පැවැති හමුවේදී මහින්ද එය තරමක් වෙනස් කරමින් කළුකෝපි වෙනුවට රනිල්ට දුන්නේ බුරියානිය. එදින මහින්දට එම බුරියානි ආහාර වේල ලබාදී තිබුණේද බේරුවල ප්‍රදේශයේ එක්තරා ප්‍රකට ව්‍යාපාරිකයෙකි. ඒ අනුව රනිල් මහින්දගෙන් ලැබුණු මෙම බුරියානි වේලෙහි රස බලමින් බොහෝ වේලා බෙන්තොට අගමැති නිල නිවසේ කතාබහ කරමින් සිටිනු දැකගත හැකි විය.
පාස්කු කොමිසමෙන් රනිල්- රුවන් දෙන්නාම නිදහස්
මෙම හමුවීමෙන් පසු එම බුරියානි වේලෙහි බලයෙන්දැයි කියන්නට තොරතුරු නැතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් වූ ජනාධිපති කොමිෂන් වාර්තාවෙන් රනිල්ව නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු යෙදී තිබිණ. රනිල් පමණක් නොව රනිල්ගේ මස්සිනා වූ එවක රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරය දැරූ රුවන් විජේවර්ධනද පාස්කු කොමිසමෙන් නිදහස් වී තිබිණ. ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රීතියට පත්ව සිටි රනිල් ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේ ඉන්දීය මාධ්‍යයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් තමන්ට පමණක් නොව තම පක්ෂයට පවා පාස්කු ප්‍රහාරයෙන් කිසිදු චෝදනාවක් නොමැති බව තහවුරු කොට ඇතැයි කියා සිටියේය.
ඥානසාර හිමි කෝපයෙන්
මේ ආකාරයට රනිල්වත්, එජාපයත් පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් නිදහස් කිරීමට ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කළ ජනාධිපති කොමිසම පියවර ගෙන තිබුණද සංවිධාන කිහිපයක්ම තහනම් කරන ලෙස නිර්දේශ කොට තිබුණේ ඍජුව සහ වක්‍රව එම සංවිධාන අන්තවාදය වපුරාලීමට උදව් කර ඇති බවට සාක්ෂි ලැබී තිබීම නිසාය. එම සංවිධාන අතර තවුහිත් ජමාද් සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක්ද, බොදුබල සේනා සංවිධානයද තිබීම විශේෂ සිදුවීමක් විය.
මේ ආකාරයට බොදුබල සේනා සංවිධානය තහනම් කළ යුතු බවට නිර්දේශ කර තිබීමත් සමඟ එහි මහලේකම්වරයා වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එහි ප්‍රධානීන් සිටියේ දැඩි කෝපයට පත්වය. ඒ අනුව වහාම මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ඊට පිළිතුරු දැක්වීමටද ඥාණසාර හිමියෝ පියවර ගත්හ.
ජනපති වෙනුවෙන් අලුත් බලවේගයක්
එපමණක් නොව පාස්කු වාර්තාව නිකුත් වීමට පෙර අවස්ථා කිහිපයකදීම ඥාණසාර හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමටද පියවර ගත්හ. මෙම හමුවීම්වලදී පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව කතාබහට ලක්ව ඇති බවත්, ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයට සීමා නොවී දේශපාලන කටයුතුවලට සම්බන්ධ වෙමින් දේශපාලන බලය ගැනීමට කටයුතු කළ යුතු බවත් ඥානසාර හිමියන් විසින් ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇති බව ආරංචිය. එවැනි පසුබිමකදී බොදුබල සේනා සංවිධානය ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින් රට පුරා දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කිරීමට සූදානම් බවද එහිදී ඥානසාර හිමියන් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.
විමල්ට ආයෙත් ප්‍රහාරයක්
ඥානසාර හිමියන් මේ ආකාරයට ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීමට එළියට ආවේ ආණ්ඩුව ඇතුළේ කිසියම් අර්බුදයක් මතුවෙමින් පැවැති පසුබිමකය. එක් පැත්තකින් විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමද මෙම ස්ථාවරයම දරමින් ආණ්ඩුව ඇතුළේ ගැටුමක් නිර්මාණය කරගෙන ඇති අතර, අනෙක් පසින් පොහොට්ටුවේ පසුපෙළ විමල් ඇතුළු එම කණ්ඩායමට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් දියත් කරමින් සිටින ආකාරයක් දැකගන්නට ඇත. විශේෂයෙන් පසුගිය අඟහරුවාදා පැවැති මාධ්‍ය හමුවකදී පවා පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මහතා විමල් ඇතුළු කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කරමින් කියා සිටියේ විවිධ පාර්ශ්ව ආණ්ඩුව ඇතුළේ සිට චෝදනා එල්ලකරන බවත්, බල්ලන් බිරුවද තවලම දිගටම ඉදිරියට යන බවත්ය.
විමල් වෙනුවෙන් ඥානසාර හිමි
ඥානසාර හිමියන් ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින් මාධ්‍ය හමුවක් පැවැත්වූයේද මෙම පසුබිමේය. එම මාධ්‍ය හමුවේදී ඥානසාර හිමියන් තවත් විශේෂ ප්‍රකාශයන් දෙකක් කරමින් බැසිල් රාජපක්ෂ මහතාට හට ප්‍රහාරයක් එල්ල කිරීමටත්, විමල් වීරවංශ මහතා ආරක්ෂා කරන ස්ථාවරයක සිට අදහස් දැක්වීමටත් පියවර ගත්තේය.
“අනාගත දේශපාලන බල උවමනාව සඳහා තව අවුරුදු පහකින් ජනාධිපති හෝ අගමැති වෙන්න බලාගෙන ඉන්න කවුරුන් හෝ ඍජුවම මෙම ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයන් සමඟ එකතුව මහා ධනස්කන්ධයකට විකෘතියක් කළාදැයි අපිට සැකයක් මතුවෙනවා. ඒ දේශපාලකයාගේ උවමනාවට තමයි බොදුබල සේනා සංවිධානය කොමිසමේ වාර්තාවට ඇතුළත් කරල තියෙන්නෙ.”
“විමල් වීරවංශ මහත්තය කියන්නෙ මොනව වුණත් මෙරට වෙනම දේශපාලන හැඩතලයක් සහ කියවීමක් සහිත මිනිහෙක්. මාධ්‍ය හමු තියල විමල් වීරවංශට ප්‍රහාර එල්ල කරන්න සාගර කාරියවසම් කියන්නෙ මොන කබ්බෙක්ද. තිරය පිටුපස්සෙ ඉඳන් මේව කරන්න නූල්සූත්තර අදින ගෙම්බන්ට ඉදිරියෙදි ඡන්දවලට මුහුණදෙන්න සිද්ධ වෙනවා. එතකොට අපි බලාගමු…” යනුවෙන් එහිදී ඥානසාර හිමියෝ කියා සිටියහ.
අභයාරාමයෙත් සාකච්ජාවක්
ඥානසාර හිමියන් එතැනින් නතර වුණේ නැත. ඉකුත් අඟහරුවාදා දිනයේදී අභයාරාමයට ගිය ඥානසාර හිමියෝ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟ විශේෂ සාකච්ඡාවද නිරත වූහ. එහිදී උන්වහන්සේ මුරුත්තෙට්ටුවේ හිමියන්ට කියා සිටියේ ජනාධිපතිවරයා ශක්තිමත් කිරීමට වහාම පියවර ගත යුතු බවකි. එමෙන්ම සිංහල බෞද්ධ ජන පදනම වෙනුවෙන් අව්‍යාජව පෙනී සිටීම සඳහා විකල්ප බලවේගයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් මේ මොහොතේ පැනනැඟී ඇති බවද උන්වහන්සේ මුරුත්තෙට්ටුවේ හිමියන්ට පෙන්වා දී ඇත. එමෙන්ම මෙම සාකච්ඡාවේදී ඥානසාර හිමියන් බැසිල් රාජපක්ෂ මහතා දැඩිව විවේචනය කිරීමට පියවර ගෙන ඇති බවක්ද දැනගන්නට ඇත.
විමල්ලාත් අභයාරාමයේ
ඥානසාර හිමියන්ගේ මෙම අභයාරාම ගමනින් පසු බදාදා දිනයේ තවත් විශේෂ පිරිසක්ද අභයාරාමයට පැමිණියහ. ඒ වෙන කවුරුවත් නොව ආණ්ඩුව ඇතුළේ විමල් වීරවංශ මහතාගේ පිල නියෝජනය කරන පක්ෂ දහයක නායකයන්ය. විමල්, උදය, වාසුදේව, අතාවුල්ලා ඇතුළු පිරිස ඊට එක්ව සිටි නමුත් දයාසිරිට ආරාධනා කර තිබුණද ඔහු ඊට සහභාගි වී සිටින ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. මෙම සාකච්ඡාවට මුරුත්තෙට්ටුවේ හිමියන්ට අමතරව ඇල්ලේ ගුණවංශ හිමි, මැදගොඩ අභයතිස්ස හිමි, බෙංගමුවේ නාලක හිමි, ඕමාරේ කස්සප හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසක්ද සහභාගිව සිටියහ. එහිදීද සාකච්ඡා වූයේ ජනාධිපතිවරයා දේශපාලන වශයෙන් ශක්තිමත් කළ යුතු ආකාරය පිළිබඳවය. ජනාධිපතිවරයාට දේශපාලන නායකත්ව තනතුරක් හිමිවිය යුතු බවද මෙහිදී අවධාරණය කෙරිණ. ඒ අනුව එකක් පැහැදිලිය. ඒ ආණ්ඩුව ඇතුළේ විමල්ලා ඇතුළු කණ්ඩායම ඇතිකර තිබෙන කැරැල්ල තවමත් අළු යට ගිනි පුපුරු මෙන් ඇවිලෙමින් තිබෙන බවය.
නවක මන්ත්‍රීවරුන් ආණ්ඩුව වෙනුවෙන් පෙරට
මේ ආකාරයට විමල්ලා ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුව ඇතුළේ කැරැලි ගහද්දී ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන පොහොට්ටුවද පසුගිය දින කිහිපය පුරාම මේ පිළිබඳව තැන් තැන්වල විවිධ සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන තිබිණ. මේ සඳහා මූලිකත්වය ගෙන තිබුණේ ආණ්ඩුව නියෝජනය කරන පසුපෙළ නවක මන්ත්‍රිවරුන්ය. ඒ අනුව ඔවුන් ආණ්ඩුව ඇතුළේ අර්බුදය සාකච්ඡා කිරීම සඳහාත්, ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට ගෙනයෑම සඳහාත් ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ බැසිල් රාජපක්ෂ මහතාගෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබිණ. ඔවුන්ගේ ඉල්ලීමට කන්දුන් බැසිල් පසුගිය බ්‍රහස්පතින්දා සවස එම අවස්ථාව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරුන්ට ලබාදීමට පියවර ගත්තේය.
ප්‍රමිත-සංජීව-මධුර කතා කරති
අරලියගහ මන්දිරයේ සවස පැවැති මෙම සාකච්ඡාවට පොහොට්ටුවේ පසුපෙළ නවක මන්ත්‍රිවරුන් හතළිහක් එක්ව සිටියහ. සාකච්ඡාව ආරම්භයේදීම ආණ්ඩුව ඇතුළේ කිසිදු තනතුරක් නොමැති සහ කිසිම බලයක් නොමැතිව තමන්ව මුණගැසීම සඳහා පසුපෙළ මන්ත්‍රිවරුන් අවස්ථාවක් ඉල්ලා සිටීම තමන්ට ගෞරවයක් බව බැසිල් කියා සිටියේය. එහිදී මෙම මන්ත්‍රිවරුන් හතළිස් දෙනාම එහිදී එක හඬින් කියා සිටියේ ඉතා අසීරුවෙන් පිහිටුවාගත් මෙම ආණ්ඩුව ආරක්ෂා කිරීම තමන්ගේ වගකීම බවත්, ඒ සඳහා ඕනෑම කැපකිරීමක් කිරීමට පසුපෙළ නවක මන්ත්‍රිවරුන් වශයෙන් තමන් සූදානම් බවත්ය. ආණ්ඩුව ඇතුළේ සිටිමින් ආණ්ඩුවට ප්‍රහාර එල්ලකිරීම දැඩිව හෙළා දුටු මෙම නවක මන්ත්‍රිවරුන් ඒ සඳහා වහාම ක්‍රියාමාර්ගයක් ගතයුතු බවද බැසිල්ට පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම පසුපෙළ නවක මන්ත්‍රිවරුන් අතරේ ප්‍රධාන චරිත බවට පත්ව සිටින ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සංජීව එදිරිමාන්න, මධුර විතානගේ වැනි මන්ත්‍රිවරුන් මෙහිද දැඩිව අදහස් පළකළ ආකාරයක් දැකගත හැකි විය.
ප්‍රමිත කියපු සංවේදී කතාව
“ඔබතුමා සාකච්ඡාව ආරම්භයේදීම කිව්ව ඔබතුමාට කිසිම තනතුරක් බලයක් නැහැ කියල. හැබැයි අපි දන්නව මේ ආණ්ඩුව පිහිටුවන්න ඔබතුමා කරපු කැපකිරීම. එදා ගෝල්ෆේස් පිට්ටනියෙ රැස්වීම සංවිධානය කරල මුළු ගෝල්ෆේස් පිට්ටනියම පුරවල ඔබතුමා ඉස්සරහට එන්නෙ නැතුව පිටිපස්සෙ වාඩිවෙලා හිටියා. ඒ වගේම පහුගිය අඟහරුවාදා පක්ෂ මූලස්ථානයේ වෘත්තීය සමිති ගොඩනැඟිල්ලට මුල්ගල තියන එකේදි ඔබතුමා ඊට ඉස්සෙල්ල දවසෙ රෑ දොළහ එක වෙනකම් ඒ ගැන ඔක්කොම කටයුතු හොයල බැලුවා. හැබැයි ඔබතුමා මුල්ගල තියන වෙලාවෙ එතැන හිටියෙ නෑ. ඒ කිසිම පින්තූරයක ඔබතුමා නෑ. හැබැයි අපි දන්නව මේවා කළේ ඔබතුමා කියලා. ඒ කැපවීම කරලයි ඔබතුමා මේ ආණ්ඩුව හැදුවෙ. හැබැයි අද ආණ්ඩුව ඇතුළෙම ඉන්න පිරිසක් ආණ්ඩුවට ප්‍රහාර එල්ල කරන්න පටන් අරගෙන. ඒ අය විපක්ෂයෙ කාර්යභාරය ඉෂ්ඨ කරන්නයි යන්නෙ. අපිට මේකට ඉඩදෙන්න බෑ…” යනුවෙන් ප්‍රමිත ඇතුළු කණ්ඩායම බැසිල්ට පෙන්වා දෙද්දී බැසිල් ඊට දුන්නේ ඉතා සංවේදී පිළිතුරකි.
“ඔව්. අපි මේ ආණ්ඩුව හැදුවෙ බොහොම අමාරුවෙන්. මම මේ වැඩේ පටන්ගනිද්දි මේ අය මාව හිරේ දැම්ම. අලුත් පක්ෂ පිහිටෙව්වොත් මාව පාරෙ ඇවිද්දවනව කිව්ව. මට නඩු දැම්ම. හැබැයි මම මේ වැඩේ කළා…” යනුවෙන් බැසිල් කියද්දී නවක මන්ත්‍රිවරුන් අත්පොළසන් දෙනු දැකගන්නට ලැබිණ. එම අත්පොළසන් නාදයෙන් පසු බැසිල් ආණ්ඩුව ඇතුළේ කැරැලි ගසන්නට සූදානම් වන මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් ගැනීමට නියමිත ක්‍රියාමාර්ගය පිළිබඳව පළමු වතාවට අනාවරණය කළේය.
මේ පාර ගල්ලෙන බිදින්න කලින් පන්නනවා -බැසිල් තද ස්ථාවරයක
“අපි බොහොම අමාරුවෙන් මේ ආණ්ඩුව හැදුවෙ. හැබැයි මම ඔබතුමන්ලාට එකක් කියනවා. මේ සැරේ ගල්ලෙන බිඳලා එළියට ගිහින් ආණ්ඩුව විනාශ කරන්න පිරිසක් හදනව නම් අපි ඒකට ඉඩ තියෙන්නෙ නැහැ. මේ ආණ්ඩුව කාටවත් විනාශ කරන්න දෙන්නෙත් නැහැ. මේ සැරේ අපි ඒ අය ගල්ලෙන බිඳගෙන යනකම් බලන් ඉන්නෙත් නෑ. එහෙම ආවොත් ඊට කලින් අපි ඒ අයව එළවල දානවා…” යනුවෙන් දැඩි ස්වරයෙන් යුතුව බැසිල් කියද්දී නවක මන්ත්‍රිවරුන් එක දිගට නැවත වතාවක් අත්පොලසන් දෙමින් ඊට ප්‍රතිචාර දක්වන ආකාරයක් දැකගත හැකි විය.
“අපි මේ රටේ ජනතාවගෙන් තුන්පාරක් ජන වරම ඉල්ලුව. ඒ තුන්පාරම මේ රටේ ජනතාව අපිට ජනවරම ලබාදුන්නා. අපි ඒකට ගරු කරන්න ඕනෙ. මේ එක එක්කෙනාට කකුලෙන් ඇදල ඒක විනාශ කරන්න දෙන්නෙ නෑ….” යනුවෙන් එහිදී බැසිල් වැඩිදුරටත් කියා සිටිනු දැකගත හැකි විය.
ඒ අනුව ආණ්ඩුව ඇතුළේ මතුවෙමින් පවතින මෙම අර්බුදය දැන් එක්තරා කූඨප්‍රාප්තියකට පත්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. එක් පැත්තකින් විමල්ලා තමන්ගේ ස්ථාවරය දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටින අතර බැසිල් පළමු වතාවට ඒ සම්බන්ධයෙන් වූ පොහොට්ටුවේ ස්ථාවරයද ප්‍රකාශයට පත්කොට ඇත. ඒ අනුව විමල්ලා ඉස්සර වේවිද, එසේත් නැතිනම් බැසිල් ඉස්සර වේවිද, මේ සටනින් කවුරුන් ජයගනීවිද යන්න පිළිබඳව අනාවැකි කීමට තවමත් කල් වැඩිය.
ආණ්ඩුව ජිනීවා සටනින් ඉවත් වෙයි
මේ වන විට ජිනීවා නුවර ආරම්භ වී ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී බි්‍රතාන්‍ය ප්‍රමුඛව රටවල් හයකින් ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට එරෙහිව ආණ්ඩුව පාර්ශ්වයෙන් අලුත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීන්දු වී ඇති බව පසුගිය සතියේ අප මෙම තීරුවෙන් අනාවරණය කළෙමු. එහිදී අප වැඩිදුරටත් පෙන්වා දුන්නේ එසේ නව යෝජනාවක් ඉදිරිපත් කිරීම හරහා ලංකාව පැත්තෙන් කිරීමට ඇති කතාව ලෝකයට ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාගැනීමට ආණ්ඩුව සැලැසුම් කර ඇති බවකි. ඉන් අනතුරුව එම යෝජනාව ඡන්ද විමසීමකට ලක්කළහොත් ලංකාවට හිතවත් රටවල් සමඟ සාකච්ඡාව කොට ඔවුන්ගේ සහාය ඊට ලබාගැනීමට සැලැසුම් කර ඇති බවත් අපි එහිදී අනාවරණය කළෙමු.
ඒ අනුව යමින් ඉකුත් සතියේදී ආණ්ඩුව එසේ යෝජනාවක් ඉදිරිපත් කළහොත් සහාය ලබාගත හැකි රටවල් සමඟ සාකච්ඡා කිරීම ආරම්භ කළේය. විදේශ අමාත්‍යාංශය දැනුම්දී තිබුණේ සහාය ලබාගත හැකි එවැනි රටවල් 16ක් පමණ පවතින බවකි. ඒ අනුව රටවල් කිහිපයකට කතා කළද ඒ සෑම රටකින්ම පාහේ ආණ්ඩුවට ලැබුණේ එතරම් යහපත් ප්‍රතිචාර නොවේ. විශේෂයෙන්ම ඔවුන් ආණ්ඩුවේ නියෝජිතයන්ට දැනුම්දී තිබුණේ මානව හිමිකම් කොමිසම තුළ ඡන්ද විමසීමකට ගියහොත් තමන්ට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිදුවනු ඇති බවකි. ඒ අනුව ආණ්ඩුව පළමු වටයේදීම ලංකාවට සහාය ගැනීම සඳහා විදෙස් රටවල නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීම අත්හැර දැමීමට පියවර ගත්තේය. එමෙන්ම බි්‍රතාන්‍ය ප්‍රමුඛ රටවල්වලින් රැගෙන එන යෝජනාවට එරෙහිව අලුත් යෝජනාවක් ඉදිරිපත් කිරීමේ අදහසද ඒ සමඟම අත්හැර දැමීමට ආණ්ඩුව පසුගිය සතියේදී තීන්දු කළේය.
ඒ අනුව ආණ්ඩුව මේ වන විට තීන්දු කොට ඇත්තේ බරපතළ යෝජනාවක් ජිනීවා පාර්ශ්වයෙන් ඉදිරිපත් වුවහොත් එහි ආණ්ඩුවට ඉටුකළ හැකි කොන්දේසි සහ ඉටුකළ නොහැකි කරුණු පිළිබඳව ජිනීවා කොමිසමේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමටය.
රන්ජන්ගේ හිරගෙදර ජීවිතේ
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව හේතුකොටගෙන සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා මේ වන විට සිටින්නේ වසර හතරකට බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේය. මුල් සති දෙකේදී නිරෝධායන කාල සීමාව ගතකිරීම හේතුවෙන් කිසිදු පිටස්තරයකුට රන්ජන්ගේ සුවදුක් විමසීම සඳහා අවස්ථාවක් නොලැබිණ. වරක් හම්බන්තොට සමඟි ජන බලවේගයේ ප්‍රධානියා වන දිලිප් වෙදආරච්චි මන්ත්‍රිවරයා තමන්ගේ පී.සී.ආර්. වාර්තාවද රැගෙන බන්ධනාගාර නිලධාරීන් හමුවී රන්ජන්ගේ සුවදුක් විමසීමට තමන්ට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියද එයද ප්‍රතික්ෂේප කිරීමට බලධාරීන් පියවර ගෙන තිබිණ. ඒ අනුව දිලිප් කළේ මෙම තත්ත්වය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවධානයට යොමුකොට පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් විමසීමය. එම වරප්‍රසාද ප්‍රශ්නයට අනුව කතානායකවරයා මැදිහත් වී ඊට පසු දිනම රන්ජන්ගේ සුවදුක් බැලීමට දිලිප්ට අවස්ථාව සලසා දුන්නේය.
එම අවසරයට අනුව දිලිප් ඉකුත් 19 වැනිදා රන්ජන්ව බැලීමට අඟුණුකොළපැලැස්සට ගියේය. එසේ රන්ජන්ව බැලීමට ගිය පළමු මන්ත්‍රිවරයා වූයේ දිලිප්ය. එහිදී රන්ජන් දිලිප්ට සිර ගෙදර තුළ තමන්ට මුහුණදීමට සිදුව ඇති තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය.
“මම ඉන්න තැන හිරකාරයො හතළිස් හතරක් ඉන්නවා. එතැන කාමර හතරක් තියෙන්නෙ. රෑ නිදාගනිද්දි එක කාමරයක හිරකාරයො එකොළහ ගානෙ දානවා…” යනුවෙන් රන්ජන් කියද්දී දිලිප් එසේ සිටින සිරකාරයන්ගේ නාමලේඛනය සොයා බැලීමට කටයුතු කළේය. එහිදී දිලිප්ට දැකගැනීමට හැකි වූයේ රන්ජන් සමඟ නමගිය පාතාල ලෝකයේ චරිත වූ ජුලම්පිටිය අමරෙ, කළු තුෂාර වැනි පුද්ගලයන්ද සිටිනවා යැයි කියාය. යම් හෙයකින් ඔවුන්ගෙන් රන්ජන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ලවිය හැකි බවද එහිදී දිලිප්ට වැටහිණ.
ලොහාන් මහ රෑ රන්ජන්ට කෝල් කරලා
එසේම මෙම හමුවේදී රන්ජන් තවත් විශේෂ අනාවරණයක්ද දිලිප්ට කළේය. ඒ ආණ්ඩුවේ ඇමැතිවරයකුගෙන් තමන්ට ලැබුණු දුරකතන ඇමැතුමක් පිළිබඳවය. ඒ ඇමැතිවරයා වෙන කවුරුවත් නොව බන්ධනාගාර භාරව සිටින රාජ්‍ය අමාත්‍යවරයා වූ ලොහාන් රත්වත්තේ බවද රන්ජන් කියා සිටියේය.
“පහුගිය දවසක රෑ දහයට විතර මෙතැන ඉන්න නිලධාරියෙක්ට කෝල් එකක් ඇවිත්. ඒ ලොහාන් රත්වත්තේ ඇමැතිතුමාගෙන්. ලොහාන් එයාට කියලා රන්ජන්ට කතා කරන්න ඕනෙ කියලා. ඊට පස්සෙ ඒ නිලධාරියා ඇවිල්ල මාව එක්කගෙන ගියා මට ඇමැතිතුමාගෙන් කෝල් එකක් කියලා. පස්සෙ මම ඉතින් නැඟිටලා ගිහින් කෝල් එකට ආන්සර් කළා. එතැනදි එතුම මට කිව්ව ආණ්ඩුවට සපෝට් කරනව නම්, අපේ පක්ෂයට එකතු වෙනව නම් මට උදව් කරන්නම් කියලා. කෝකටත් කියලා මම ස්පීකර් ෆෝන් දාල තමයි මේ කතාව කළේ. මම ඉතින් එතුමට කිව්ව මට ඡන්දෙ දුන්න ජනතාව පාවලා දෙන්න බෑ. ඊට වඩා හොඳයි මෙහෙම හිරබත් කනව කියලා..” යනුවෙන් රන්ජන් එහිදී දිලිප්ට කියා සිටියේය. එමෙන්ම මෙහිදී රන්ජන් දිලිප්ගෙන් එක්තරා ඉල්ලීමක්ද කළේය. ඒ තමන්ව වැලිකඩ බන්ධනාගාරයට මාරු කරන ලෙසට බලධාරීන්ට දැනුම්දෙන ලෙසටය.
සජිත් රන්ජන්ව බලන්න යයි
ඒ අනුව දිලිප් වහාම මේ පිළිබඳව සිය පක්ෂ නායකයා වූ සජිත් දැනුවත් කිරීමට පියවර ගත්තේය. දිලිප් කළ එම දැනුම්දීමත් සමඟ පසුගිය අඟහරුවාදා දිනයේදී රන්ජන්ගේ සුවදුක් බැලීමට සජිත් දිලිප් සමඟම බන්ධනාගාරයට ගියේය. එහිදී රන්ජන්ගේ සුවදුක් විමසූ සජිත් රන්ජන්ව නිදහස් කර ගැනීම සඳහාත්, රන්ජන්ගේ මන්ත්‍රි ධුරය ආරක්ෂා කර ගැනීම සඳහාත් ගෙන ඇති ක්‍රියාමාර්ගයන් පිළිබඳව දීර්ඝව රන්ජන්ට පැහැදිලි කළේය. එමෙන්ම රන්ජන්ව නිදහස් කර ගැනීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවද සජිත් රන්ජන්ට දැනුම් දී සිටියේය.
එතැනින් නොනැවතුණු සජිත් එදිනම පාර්ලිමේන්තුවට පැමිණ රන්ජන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් රන්ජන්ගේ ජීවිතය අනාරක්ෂිත බවත්, වහාම ඔහුව වැලිකඩ බන්ධනාගාරයට මාරු කිරීමට පියවර ගන්නා ලෙසත් දැනුම් දී සිටියේය. කෙසේ වෙතත් එදිනම ඊට ප්‍රතිචාර දක්වමින් බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් ගාල්ලේදී සඳහන් කර සිටියේ මෙතෙක් අනෙකුත් සිරකරුවන් සමඟ සිටි රන්ජන් වහාම තනි සිර මැදිරියකට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතැයි කියාය.
ශ්‍රීලනිපයට පොහොට්ටුව එපා වෙයි
රටට ඉදිරිපත් වී ඇති පාස්කු වාර්තාව මේ වන විට දක්වා ඇති ප්‍රධානතම නිර්දේශයක් වන්නේ වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධ චෝදනා ගොනුකිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙසටය. මෙම නිර්දේශය නිකුත් වීමත් සමඟම එදිනම සවස් වරුවේ ශ්‍රීලනිප නියෝජිතයෝ සිය පක්ෂ මූලස්ථානයේ රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එහිදී දැඩි තීන්දු තීරණ කිහිපයක් ගැනීමටද ඔවුහු කටයුතු කළහ. ඉන් එක් තීන්දුවක් වන්නේ මින් ඉදිරියට පොහොට්ටුව සමඟ කිසිදු දේශපාලන ගිවිසුමකට ඇතුළත් නොවීමය. එම යෝජනාව රෝහණ ලක්ෂ්මන් පියදාස විසින් ඉදිරිපත් කළ අතර, සියලුදෙනාම එය ඒකමතිකව සම්මත කිරීමට පියවර ගත්හ. ඉදිරියේදී ශ්‍රීලනිපය තනි පක්ෂයක් ලෙස ප්‍රතිසංවිධානගත කිරීමටත්, ශ්‍රීලනිපය වටා සියලු පක්ෂ ඒකරාශි කිරීමටත් එහිදී තීන්දු විය.
එමෙන්ම පාස්කු කොමිසම මඟින් මෛත්‍රිපාලට එල්ල කර ඇති චෝදනාවන් සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට නොයා යුතු බවත්, ඊට එරෙහිව නෛතික ක්‍රියාමාර්ගවලට යොමුවිය යුතු බවත් මෙහිදී ශ්‍රීලනිපය තීන්දුකොට තිබේ. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව සමඟ කේවල් නොකිරීමටද ශ්‍රීලනිපය එහිදී දැඩි තීන්දුවකට එළැඹ තිබේ.