ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පැවති ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ නඩු කටයුත්ත අවසන් කිරීමට නියම කළ කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඒ මහතා එම චෝදනාවලින් නිදහස් කිරීමටද නියම කළේය.
හම්බන්තොට ,මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයට අයත් රුපියල් මිලියන 33.9 ක මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටියේ ගෝඨාභය රාපක්ෂ මහතාය.
ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමකට අනුව අදාළ නඩුව අද (21) සම්පත් අබයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35( 1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණයක් හමුවේ සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය. ඒ අනුව මෙම නඩු කටයුත්තෙ විත්තිකරු ලෙස නම් කර සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩු කටයුතු අවසන් කර ඒ මහතා මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ඉල්ලා තිබුණි.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩු කටයුත්ත අවසන් කිරීමට තීන්දු කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කළ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හැරීමටද නියම කළේය.










