කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ උන්නතිය සදහා ලක්ෂ 1000ක මුදලක් ලබා දීමට එකගතාව පළ කොට ඇති පුවත අප විසින් ‘මව්රට’ වෙබ් අඩවියේ පළ කිරීමත් සමග දෙස් විදෙස් පාඨකයන් ලක්ෂ 3කට අධික පිරිසක් එම පුවත නරඹා තිබුණු අතර දහසකට අධික පිරිසක් ඊට සිය ප්‍රතිචාර එක්කොට තිබිණ.
එම පාඨක ප්‍රතිචාරවලින් 90%ක්ම සදහන් කොට තිබුණේ පහසුකම්වලින් අනූන නාගරික පාසල්වලට උදව් උපකාර කරනවාට වඩා ගම්බද පවතින අඩුපහසුකම්වලින් යුත් පාසල්වලට උදව් උපකාර කිරීමට හැකි නම් එය වඩාත් ප්‍රයෝජනවත් බවකි.
මෙම පුවතට ලැබුණු මෙම පාඨක ප්‍රතිචාර දුටු ධම්මික පෙරේරා මහතා වහාම අප ‘මව්රට’ වෙබ් අඩවියට දැනුම් දී සිටියේ දුෂ්කර ප්‍රදේශවල පවතින මෙම පාසල්වලට උපකාර කිරීමට තමන් සූදානම් බවකි.
එම පුවතද විශේෂ හෙළිදරව්වක් ලෙස රටට ඉදිරිපත් කිරීමට අප තීන්දු කළේ ඒ අනුවය.
මෙහිදී ධම්මික පෙරේරා මහතා සැලසුම් කොට ඇත්තේ තමන් යටතේ ක්‍රියාත්මක වන dp education ආයතනය හරහා ගම්වල සිටින දරුවන් ලක්ෂයක් සදහා නොමිලේ ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් සැපයීමටය.
එය www.dpeducation.lk යන අධ්‍යාපනික වෙබ් අඩවිය ඔස්සේ සිදු කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව 3 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට ගණිතය, 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ට විද්‍යාව සහ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ට ඉංග්‍රිසි විෂය ඉගැන්වීමටද සැලසුම් කර ඇති බව dp education ආයතනයේ ප්‍රකාශකයෙක් මව්රට වෙබ් අඩවියට පැවසීය.
මීට අමතරව රට පුරා පිහිටි පාසල් 1500කට ඩිජිටල් පන්තිකාමර ඉදිකර දීමටද ධම්මික පෙරේරා මහතා තීරණය කොට ඇත. දැනටමත් ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉදිකෙරමින් පවතින බවද දැනගන්නට ඇත.
මෙම ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය හරහා ධම්මික පෙරේරා මහතාගේ සැලසුම වී ඇත්තේ වසර 3ක් ගතවන විට ගුරුවරුන් හා සිසුන් මිලියනයකට නොමිලේ අධ්‍යාපන පහසුකම් සැපයීම බව dp education ආයතනයේ එම ප්‍රකාශකයා අප වෙබ් අඩවියට පවසා සිටියේය.










