‘කුණු කතා’ කුණු මෙන් ලෙහෙසියෙන් අල්ලා ඉවත දැමිය හැකි එකක් නොවේ. දැනට සති 2ක පමණ සිට නැවැතත් ‘කුණු කතා’ එළිපෙහෙළියට එන්නට පටන්ගෙන ඇත්තේ වත්මන් නව රජය බලයට පත්වීමෙන් පසුවය. එනම් වත්මන් නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයට පත්වීමෙන් පසුවය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා යනු රට තුළ යුද මෙහෙවර විශිෂ්ට ලෙස ඉටු කළ පුද්ගලයකු මෙන්ම, ඔහු නගර අලංකරණය ගැන දක්වන්නේද අතිශය මහත් උනන්දුවකි. ඔහු එය ක්‍රියාවෙන් ප්‍රායෝගිකව ඔප්පු කර ඇති පුද්ගලයෙකි. ඒ මහින්ද රාජපක්‍ෂ රජය බලයෙහි සිටි සමයේදීය. දැන් උදාවී ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂ රජයයි. ඒ හෙයින් මේ සමයද ඔහුට විශිෂ්ට මෙහෙවරක් කළ හැකි සමයකි. පසුගිය රජය ‘කසළ කළමනාකරණයේදී’ බොහෝ දැඩි පසුබෑම්වලට ලක්විය. එම වසර 4 1/2ක කාලය තුළදී කසළ කළමනාකරණය ගැන නිසි අධීක්‍ෂණයක් කිරීමට ශක්තිමත් පාලකයකු නොවීය. කොළඹ නගරයේ තැන තැන කුණු කඳු නිරන්තරයෙන් පාහේ දක්නට හැකි විය. එසේම විවිධ ප්‍රදේශවලට කසළ බැහැර කිරීමේදීද ප්‍රශ්න රාශියක් මතුවිය.
වත්මන් නව ජනාධිපතිවරයා බලයට පත්වී දින දෙක තුනක් ගතවන්නට මත්තෙන්ම මෙම කසළ ප්‍රශ්නයට නිසි විසඳුම් සොයන්නට ඔහු ප්‍රයත්න ගත්තේය. ශ්‍රී ලංකාවේ කසළ ප්‍රශ්නය ඉතාමත් ප්‍රබලව ඇත්තේ කොළඹ නගරයේය. මේ හෙයින් ජනාධිපතිවරයා ඒ පිළිබඳව විවිධ තීන්දු, තීරණ ගෙන විවිධ නියෝගයන්ද පැනවීය. අද අගනුවර කසළ කළමනාකරණය බොහෝ ප්‍රායෝගික අයුරින් ඉතාමත් කාර්යක්‍ෂමව සිදුකිරීමට පටන්ගෙන ඇත. නින්දෙන් අවදිව නැඟිටින තරමට එය ක්‍රියාශීලීව ඇත. එම අපූරු වගතුග සොයා බැලිය යුතුම එකකි.
කොළඹ නගරයෙන් දිනපතා බැහැර වන කසල ප්‍රමාණය සිතා ගැනීමට තරම් ඉතා අපහසු මහා කුණු කන්දරාවකි. එනම් එය දිනකට ටොන් 700කි. මෙය දිනපතාම කළමනාකරණය කිරීම සත්‍ය ලෙසම මහා යුද්ධයකි. මෙය විදෙස් රටවල් පවා හඳුන්වන්නේ ‘කසළ යුද්ධය’ ලෙසය. එනම් ලෝකයේ සෑම රටකටම මෙය මහා යුද්ධයක්ය. දියුණු රටවලටත් එය එසේ නම් අප වැනි කුඩා රටකට මෙය කෙතරම් ප්‍රශ්නයක්ද? අප රටේ මෙම ‘කසළ යුද්ධය’ ද දිනාගන්නට දැන් දියත් වී ඇති නව වැඩ පිළිවෙළ කුමක්ද?
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නව සංකල්පයන්ට අනුව ඉකුත් නොවැම්බර් 22 වැනි දින සිට මෙම පරිසර ආරක්‍ෂාව හා නගර අලංකරණය වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි. මේ අනුව කොළඹ නගරයේ කසළ එක්රැස් කිරීම අලුයම 5.30ට සිදු කළ යුතු බවට පාරිසරික පොලිස් කොට්ඨාසවලට උපදෙස් ලැබිණි. එහෙත් පසුව ජනතාව විසින් කසළ භාරදීමේ කටයුත්ත උදේ 5.30ට සිදුකිරීමට ඇති අපහසුතාව ගැන සලකා බලා එම වේලාව උදේ 6.30 දක්වා සංශෝධනය කරන ලදී. ඒ අනුව කොළඹ නගරයේ නිවෙස්වලින් වෙන් කරන ලද කසළ භාර ගැනීම පෙරවරු 6.30ට ආරම්භ කිරීම පසුගිය නොවැම්බර් 26 වැනි දින සිට සිදු කෙරෙන බැව් කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසා සිටියේය. එසේම සෑම දිනකම උදේ 5.30 වන විට මාර්ග පවිත්‍රතා කටයුතු ආරම්භ කෙරෙන බවද ඒ මහතා අවධාරණය කළේය. කොළඹ නගර සභාව සහ පෞද්ගලික සමාගම් දෙකක් එක්ව මෙම කසළ බැහැර කිරීමේ කටයුතු සිදුකරනු ලබයි. දිනපතා බැහැර කරනු ලබන කසළ ටොන් 600-700ක පමණ ප්‍රමාණය, පෞද්ගලික ලොරි රථ 40ක් මඟින් දිනපතාම පුත්තලම අරුවක්කාලු කසළ අංගණයට බැහැර කරනු ලැබෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි හා ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ අධීක්‍ෂණය යටතේ පරිසරය සුරැකීමේ මෙහෙයුම ආරම්භ කර ඇති බැව් පොලිස් මූලස්ථානය කියයි. මේ වැඩපිළිවෙළ වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ පාරිසරික දිසාව නැවැත ප්‍රතිසංවිධානය කර ඇති අතර, පාරිසරික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ හා අධ්‍යක්‍ෂවරයකු යටතේ කටයුතු ක්‍රියාත්මක කර ඇත.
පරිසර ආරක්‍ෂණ ක්‍රියාවලිය මූලිකව ආරම්භ කරමින් කොළඹ නගරයේ පවිත්‍රතා කොන්ත්‍රාත් භාරව සිටින පෞද්ගලික ආයතන දෙකෙහි සියලු කළමනාකරුවන් පසුගිය 22 වැනිදා පොලිස් පාරිසරික කොට්ඨාසය වෙත කැඳවා අවශ්‍ය උපදෙස් ලබාදී ඇත. ඒ අනුව මින් ඉදිරියට දිනපතාම අලුයම 5.30 සිට පවිත්‍රතා කටයුතු ආරම්භ කළ යුතු බවට සහ දවසේ පැය 24 පුරාම සේවකයන් යොදවා එම ක්‍රියාවලිය සිදුකළයුතු බවටද උපදෙස් ලබාදී ඇත.
බස්නාහිර පළාත් සෑම පොලිස් ස්ථානයකම පාරිසරික ඒකකවල ස්ථානාධිපතිවරුන් පසුගිය 24දා කොළඹට කැඳවා ඉදිරි කාලය තුළදී පාරිසරික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද දැනුවත් කළ බවත්, නිලධාරීන්ගේ පාරිසරික නිල ඇඳුමට පලඳින ජැකට් ඔවුන් වෙත බෙදා දුන් බවත් පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයකු කියා සිටියේය.
මේ අනුව මුලින්ම කොළඹ නිදහස් චතුරශ්‍රය, ගාලු මුවදොර පිටිය සහ පිටකොටුව බෝගස අසල පවිත්‍රතා සේවාවන් සිදුකරන ආකාරය සම්බන්ධයෙන් පාරිසරික පොලිස් නිලධාරීන් නිරීක්‍ෂණය කළ අතර, පරිසරය සුරැකීම් සම්බන්ධයෙන් ජනතාවද දැනුවත් කරන ලදී. ඉන් පසුව මේතාක් දක්වා සහ ඉදිරියටත් එම කටයුතු ඒ ආකාරයෙන් සිදුකරනු ලබයි. මෙම කටයුතුවලට අමතරව පසුගියදා පාරිසරික කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් හා පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 400කට අධික පිරිසක් නගරයේ වෙරළ තීර පිරිසුදු කිරීමේ මහා මෙහෙවරකද නිරත වූහ. එසේම සියලු පොලිස් ස්ථානවල පාරිසරික ඒකකයන්ට අනුයුක්ත පොලිස් නිලධාරීන් යොදවා තම ප්‍රදේශයන්හි මාර්ග නිරීක්‍ෂණය කිරීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කර ඇත. මේ මඟින් පරිසරයට හානිවන ස්ථාන හා හානිකරන ක්‍රියා නිරීක්‍ෂණය කර අදාළ පියවර ගනු ඇත.
මෙම ක්‍රියාවලීන්ට අමතරව පරිසරය සුරැකීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම මෙන්ම, පරිසර ආරක්‍ෂණය සඳහා වැදගත් වන අනෙකුත් ආයතන (පළාත් පාලන ආයතන වැනි) සමඟ සම්බන්ධීකරණ කටයුතුද සිදුකෙරෙනු ඇත. මෙම කුණු කසළ කළමනාකරණය සිදුකෙරෙන අතරවාරයේම නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ විශේෂ නියෝගයක් මත ක්‍රියාත්මක කෙරෙන තවත් විශේෂ වැඩපිළිවෙළක්ද ඇත. එනම් බස්නාහිර පළාතේ මාර්ග දෙපස විදුලි සහ දුරකතන කණුවල ප්‍රදර්ශනය කර ඇති සියලුම අනවසර බැනර් හා කටවුට් වහා ඉවත් කරන ලෙසට මෙම නියෝගය ලැබී ඇත. ඒ බැව් පළාතේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දන්වා ඇති අතර, මේ වන විට එම කටයුතු සිදුකිරීම ආරම්භ කර ඇත. එසේම ඉදිරියට එසේ මාර්ග දෙපස විදුලි හා දුරකතන කණුවල බැනර් හා කටවුට් ප්‍රදර්ශනය කිරීම තහනම් කෙරෙනු ඇත. කොළඹ නගර සභාවේ සේවකයන් යොදවා ගනිමින් මෙම බැනර් සහ කටවුට් ඉවත් කිරීම කඩිනමින් සිදුකරන බැව් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ප්‍රකාශ කළාය. ඒ සමඟම නගර අලංකරණයට සහ පරිසර සංරක්‍ෂණයට බාධාවක් වන අයුරින් තැන තැන පෝස්ටර් හා දැන්වීම් ඇලවීම මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම තහනම් කෙරෙන අතර, ඒ කටයුතු සඳහා නගරයේ විශේෂ ස්ථාන වෙන්කර දීමටද රජය බලාපොරොත්තු වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් අනුව සිදුකෙරෙන මෙම නගර අලංකරණය සහ කසළ කළමනාකරණය කොළඹ නගරයට පමණක් සීමා වන එකක් නොවේ. එය දීපව්‍යාප්තව සිදුකිරීමට මේ වන විට කටයුතු යොදමින් පවතියි. මේ අනුව පසුගියදා යාපන නගරය පිරිසුදු කිරීමේ වැඩපිළිවෙළක්ද සිදුකෙරිණි. යාපනය පොලිස් පරිසර ආරක්‍ෂණ ඒකකයේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහනට යාපනය නගරාධිපති එම්මානුවල් ආනෝල්ඞ්, නාගරික කොමසාරිස් එස්. කීලස් යන මහත්වරුද, සෞඛ්‍ය පරීක්‍ෂකවරු හා ප්‍රදේශවාසීහුද සහභාගි වූහ. දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයකු වන යාපනය නගරාධිපතිවරයා මේ සමබන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ යාපනය නගරය පිරිසුදු කිරීමේ වැඩසටහන දැඩි කැපවීමෙන් යුතුව ඉදිරියටද ක්‍රියාත්මක කරන බැව්ය.
මේ ආකාරයට දිවයින පුරා නගර හා මංමාවත් පිරිසුදු කිරීමේ වැඩපිළිවෙළ සහ කසළ කළමනාකරණය මේ වන විට ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වන බවත්, මේ වැඩසටහන සඳහා පොදු ජනතාවගේද ඉහළ උනන්දුවක් මෙන්ම සහභාගිත්වයක්ද ලැබී තිබෙන බවත් ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කර සිටියි. එසේම මෙම වැඩපිළිවෙළෙහි කටයුතු නිරන්තරයෙන්ම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අධීක්‍ෂණයට ලක්වන බැව්ද එම කාර්යාලය සඳහන් කර සිටියි. ඉදිරියේදී දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් බවට මෙය පත්වනු ඇත.
පසුගිය පැවැති රජයේ වසර 5කට ආසන්න කාලය තුළදී කසළ කළමනාකරණය පිළිබඳ විවිධ අර්බුද රැසක් හටගත්තේය. 2017 වසරේදී මීතොටමුල්ල කසළ කන්ද පුපුරා ගොස් ජීවිත සහ දේපොළ අහිමි කරමින් සිදුවූ මහා ඛේදවාචකය අපගේ ඉතිහාසයට එක්වී ඇත. එසේම කසල බැහැර කිරීම, කසළ අංගණ ගොඩනැඟීම කෙරෙහි ප්‍රශ්න රැසක් ඇති විය. මෙයට මාස 6කට පමණ පෙරදී කොළඹ නගරයේ කසළ සතියක් පුරාවට ඉවත් නොකර තිබී මුළු නගරයම දුර්ගන්ධයෙන් පිරී ගියේය. මේවා සොයා බලන්නට කිසිදු බලධරයකු නොවීය. එහෙත් අද තත්ත්වය වෙනස් වී ඇත.
එසේම කසළ යනු යමකු විසින් ප්‍රයෝජනයට ගැනීමට නොදන්නා ‘සම්පතක්’ ද වෙයි. එසේත් නැතිනම් එය අනවශ්‍ය වේලාවක වැරැදි ස්ථානයක ඇති අමුද්‍රව්‍යයකි. නිසි වේලාවට නිසි තැනට ස්ථානගත කිරීමෙන් එහි නිසි ප්‍රතිඵල ලබාගත හැකිය. තවද යමකුගේ කසළ වෙනත් අයකුට අමු ද්‍රව්‍යයකි. මේ ආකාරයට කසළ කළමනාකරණය අතිශය වැදගත් ක්‍රියාවලියක් වෙයි. අද කසළ වර්ග වෙන වෙනම වර්ගීකරණය වන්නේ ඒ හෙයිනි. ඒ මඟින් කසළ ප්‍රතිචක්‍රීයකරණය සිදුකළ හැකිය.
පසුගිය කාලයක් පුරා මෙරට කසළ කළමනාකරණය මුවාවෙන් කසල මාෆියාවක් සහ කසළ ත්‍රස්තවාදයක්ද ක්‍රියාත්මක විය. එහෙත් ඉදිරියට වත්මන් නව ජනාධිපතිවරයා යටතේ එවැනි දූෂිත ක්‍රියාවලින්ට ඉඩක් නොලැබෙනු ඇත. පසුගිය කාලය පුරා කසළ මුවාවෙන් රුපියල් කෝටි ගණනන් උපයාගත් විවිධ පුද්ගලයෝද වෙති. එසේම කිසිදිනෙක නොවූ ආකාරයෙන් පසුගියදා විදෙස් රටකින්ද ශ්‍රී ලංකාවට කසළ කන්ටේනර් 98ක්ද පැමිණියේය. මේවාට මැදිහත්වී තිබුණේද විවිධ පෞද්ගලික සමාගම්ය. එහෙත් ඉදිරියට ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ අධීක්‍ෂණය යටතේ එවැනි දූෂණ, වංචාවන්ට ඉඩක් නොලැබෙනු ඇත.
තමන්ගේ වත්තේ කුණු අනුන්ගේ වත්තට විසි කරන සහ මහමඟට විසිකරන ‘නිගන්ඨ’ මිනිස්සු රැසක්ද මේ සමාජයෙහි ජීවත් වෙති. ජැන්ඩියට ඇඳ පැලඳ සුපිරි මෝටර් රථවලින් ගොස් කුණු විසිකරන ඉහළ පැලැන්තියේ ‘අමනයෝ’ද වෙති. මේ සියල්ලන්ම හෙට අනිද්දාම අල්ලා ගැනීම වහාම සිදුකළ යුතුව ඇත හොඳ, හොඳ නාටක එළිවෙන ජාමෙටය.
ප්‍රියන්ත හෙට්ටිගේ