කොළඹ හොල්ලාගෙන සිටි තවත් පාතාලයේ අපරාධකරුවෙක් අභිරහස් ලෙස ඉකුත් සතියේදී මරුමුවට පත්විය. ඔහු කෙසෙල්වත්තේ දිනුක ලෙස පාතාලයේ කුප්‍රකට කල්ලි නායකයාය. කොළඹ මත්කුඩු බෙදා හැරීමේ ජාලයේ ඉහළම පුරුකක් වන ඔහුගේ නම ඉදිරියේ ලියැවී ඇති පළමු මිනිස් ඝාතනය වන්නේ කිත්සිරි රාජපක්ෂ ඝාතනයයි. එම ඝාතනය සිදුවන්නේ 2011 වසරේ ජනවාරි 15 වෙනිදාය. එම ඝාතනය ඔහු විසින් සිදුකරන්නේ මෝල් අසංක නැමැති පාතාල කල්ලි සාමාජිකයා මගින් කළුතර එතනමඩලේදී බන්ධනාගාර බස් රථයක් තුළදී ඝාතනය වූ රණාලේ සමයංට රුපියල් ලක්ෂ 05 කොන්ත්‍රාත්තුවක් ලබාදෙමිනි. ඒ සිය පියාවූ නීල්ගේ ඝාතනයට පළිගන්නටය.
මුලින්ම මැරුවේ මහින්දට හිතවත්ව සිටි කිත්සිරි
කිත්සිරි රාජපක්ෂ කාලයක්ම රැදී සිටියේ ඉතාලියේය. ඒ සිය පවුලේ සාමාජිකයන් සමගිනි. ඒ දිනුකගේ පියා වන නීල්ගේ ඝාතනයට කිත්සිරි රාජපක්ෂ සැකකරමින් ඔහුව ඝාතනය කිරීමට නීල්ගේ ගෝලබාලයින් එදා උත්සහ ගැනීමත් සමග ජීවිතාරක්ෂාව පතාය. වසර ගණනාවක්ම ඉතාලියේ ජීවත්වූ කිත්සිරි රාජපක්ෂ මෙරටට එන්නේ 2010 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහය දක්වන්නටය. ඒ ඔවුන් දෙදෙනා අතර පැවැති හිතවත්කමක් මුල්කරගෙනය. 1972 වසරේ සිට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට සම්බන්ධව සිට කොළඹ මහා නගර සභාවට පවා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර මනාප 53කින් පරාජයට පත්ව සිටි කිත්සිරි රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අතර හිතවත්කම ගොඩනැගෙන්නේ මහින්ද ජනාධිපතිවරයා ඉතාලියේ කළ සංචාරයකදීය. එම දැනහදුනා ගැනීම මහින්ද ජනාධිපතිවරයාව ඝෘජුවම දුරකතනයෙන් ඇමතීමට තරම් දුරට ගිය එකකි.
බය නැතිව කෙසෙල්වත්තේ සැරිසරයි
ඒ වන විටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඔහුට 2011 වසරේ පැවැත්වෙන කොළඹ මහා නගර සභා මැතිවරණයට තරග කරන ලෙසට ආරාධනාවක්ද ලැබී තිබුණේය. ජීවිත තර්ජන අමතක කර වසර 10කට පසු කිත්සිරි රාජපක්ෂ මව්බිමට පය තබා දේශපාලනයේ නිරතවන්නේ ඒ අනුවය. ඒ වන විට පාතාලයට එරෙහිව මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පැවැති බැවින් ඔහු තදින්ම විශ්වාස කරන්නට වූයේ තම ජීවිතයට කිසිදු හානියක් නොවනු ඇති බවටය. කිසිදු බියක් සැකක් නොමැතිව ඔහු කෙසෙල්වත්තේ නිදහසේ සැරිසැරුවේ එබැවිනි. එහෙත් කුඩා කල සිට සිය පියාගේ ඝාතනයේ වෛරයෙන් කැකෑරෙමින් සිටි දිනුකට කිත්සිරිව දකින විට ඉවසුම් නැති විය. ඒ වන විටත් පාතාලයට බැස මත්කුඩු ජාවාරමේ ඔහු නිරතව සිටියේද සිය පියාගේ ඝාතකයින් සොයා යමින් ඔවුන්ගෙන් පළිගන්නටය. කිත්සිරි රාජපක්ෂගේ ඝාතනය ඉක්මන් වන්නේ ඒ අනුවය.
කිත්සිරිව මැරෙව්වේ සමයංව දම්මලා
සමයංගේ වෙඩි පහරින් කිත්සිරි රාජපක්ෂගේ ඉරණම එදා විසදෙන්නේ ඔහුගේ නිවස ඉදිරිපිටදීය. ඒත් එක්කම දිනුක රටින් පැන්නේය. ඔහු මතුවන්නේ ඩුබායි රාජ්‍යෙයනි. ඒ වන විටත් කිත්සිරි රාජපක්ෂගේ ඝාතනය ගැන සමාජයේ ඇති වන්නේ විවිධ කථාබහය. බොහෝ අය උත්සහ දරන්නේ කිත්සිරි රාජපක්ෂ ඝාතනය දේශපාලන ඝාතනයක් බව කියන්නටය. එහෙත් එය එසේ නොවන බව හෙළිකරගන්නේ මිරිහානේ එකල පිහිටි විශේෂ අපරාධ විමර්ශන අංශය විසිනි. ඒ සමයංගේ ඝාතනයට සමයං තවත් අයෙක් අත්අඩංගුවට ගනිමිනි. ඔහු චමියාය. දැන් මේ දෙන්නාම ජීවතුන් අතර නැත. චමියා මෑතකදී ගම්පහ කළු පාලම අසලදී මරුමුවට පත්වන්නේ පොලීසියට ආයුධ පෙන්වීමට ගොසිනි. මේ දෙදෙනාව අත්අඩංගුවට ගෙන කිත්සිරි රාජපක්ෂ ඝාතනයේ සැබෑව හෙළිකරගන්නා පොලිස් කණ්ඩායමට නායකත්වය දුන් නිලධාරියා අද සේවයේ නිරතව සිටින්නේ බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ලෙසිනි. ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරාය.
අරුණජිත් කරලියට ආ හැටි
කිත්සිරි රාජපක්ෂගේ ඝාතනයට මාස කිහිපයකට පෙර ඔහුගේම සහෝදරයෙක් වූ අරුණජිත් රාජපක්ෂව ඝාතනය වූයේ ද කෙසෙල්වත්තේ ඔහු පදිංචිව සිටි නිවසේදීය. කිත්සිරිට වඩා මහින්ද ජනාධිපතිවරයාට සමීපව සිටියේ අරුණජිත්ය. එකල රණවිරුන් වෙනුවෙන් ආරම්භ කර තිබුණු “අපි වෙනුවෙන් අපි“ අරමුදලට ඉතාලියේ ජීවත්වූ ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය ලබාදීමට නායකත්වය දී තිබුණේ ද අරුණජිත්ය. සිය සහෝදරයා වූ කිත්සිරි සමග 2010 වසරේ ඔහු මෙරටට එන්නේ අරමුදලට එකතු වූ රුපියල් ලක්ෂ 75ක්ද රැගෙනය. එම මුදල ජනාධිපති මහින්ද රාජපක්ෂ අතට පත්කරන්නේ අරලිය ගහ මන්දිරයේදීය.
අරුණජිත් නාවික හමුදාවේ කලක් සේවය කළ අයෙකි. 2010 මහා මැතිවරණයට ඔහු දැන හදුනාගෙන සිටි නාවික හමුදාවේ හිටපු ඉහළ නිලධාරියෙක්ද මැතිවරණයට ඉදිරිපත්ව සිටියේය. ඒ කොළඹින් දුර බැහැර ප්‍රදේශයකිනි. අද ඔහු ප්‍රබල ඇමතිවරයෙකි. එදා එම නාවික නිලධාරියා එම මැතිවරණයෙන් පරාජයට පත්වූවත් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් අරුණජිත් රාජපක්ෂ වැඩ කර තිබුණේ කෙසෙල්වත්තෙන් පිරිසක්ද රැගෙන ගොසිනි.
අරුණජිත්ගේ කකුලට කාරා කෙළ ගසයි
ඒ වන විට දිනුක සිටින්නේ පාතාලයේ අතපොත් තබමිනි. දිනුක වටා පිරිස් බලයක්ද ගොඩ නැගෙන්නට විය. ඒ අතර දිනුක එජාපයේ දේශපාලනඥයෙකුගේ මැතිවරණ ව්‍යාපාරයට ඔහු එක්ව සිටියේය. ගුණසිංහපුරේ පාතාලයේ අලුත්ම කල්ලි නායකයා බිහිවන්නට මුල පිරෙන්නේ ඒත් සමගිනි. දේශපාලන හයියෙන් සහ පිරිස් බලයෙන් ශක්තිමත්වන දිනුක දිනක් මාර්ගයේ ගමන් කරමින් සිටියදී කෙසෙල්වත්තේ අරුණජිත්ගේ නිවස ඉදිරිපිට නතර වෙමින් කාරා කෙළ පිඩත් ගැසුවේය. එම කෙළ පහර වදින්නේ අරුණජිත්ගේ පාදයකටය.
“පුතා කාටද කෙළ ගැහුවේ කියල දන්නවද“ ඒත් එක්කම අරුණජිත් තරහෙන් මිරිකෙමින් දිනුකගෙන් ඇසුවේය.
“ මගේ කටේ කෙළ මම ගහනවා. උඹට මොකද මම කාටත් කෙළ ගැහුවට“ ඊට දිනුක ප්‍රතිචාර දැක්වූයේ එසේය.
අතේ ඇගිලි පහම දිනුකගේ මූණේ
ඊට අරුණගෙන් ප්‍රතිචාර ලැබෙන්නේ දෑතේ ඇහිලි පහම දිනුකගේ මුහුණේ සටහන් වන තරමේ වේගවත් කම්මුල් පහරක්ය. එම කම්මුල් පහරින් පසු වැඩි කාලයක් අරුණජිත් ජීවත්වූයේ නැත. ඔහුගේ නිවසට කඩා වදින මැර කල්ලියක් රූපවාහිනිය නරඹමින් සිටි ඔහුට වෙඩි තබා මරා දැමුවේය. ඒ පිටුපස දිනුක සිටියේ යැයි හෙළිවන්නේ කිත්සිරි රාජපක්ෂගේ ඝාතනයත් සමගිනි.
කිත්සිරි මරා ඩුබායි පනී
කිත්සිරිගේ ඝාතනයත් සමග පාතාලයට එරෙහිව එකල ක්‍රියාත්මක වූ කල්ලි දිනුක පසු පස හඹාඑන්නට ගත්තේය. එම කල්ලිවලට හසුවුවහොත් සිදුවන්නේ කුමක්දැයි දැන සිටි දිනුක මර බියෙන් කෙසෙල්වත්තෙන් පැන වනාතේ සිය මිතුරන් කිහිප දෙනෙකුගේ නිවෙස්වල සැගවී සිටියේය. අනතුරුව ඔහු ඩුබායි රටට පනින්නේ වෙනත් සංචාරක වීසාවක් මගිනි. ඔහුව එසේ ඩුබායි රටට ගෙන්වා ගන්නේ වනාතේ ජූඩ්ය.
ඩුබායි සිට කොළඹ පාතාලය මෙහෙයවයි
මෙරට මත්කුඩු ජාලයේ අංක එකේ ජාවාරම්කරුවෙක් වන අන්නාසි මොරිල්ව දැනහදුනා ගැනීමට දිනුකට හැකිවන්නේ ඩුබායිහීදීය. එතැන් පටන් ඔහු ඩුබායි සිට කොළඹ මත්කුඩු ජාලය හසුරුවන්නට පටන් ගත්තේය. කෙසෙල්වත්තේ මත්කුඩු ආධිපත්‍ය දිනුක අතට පත්වන්නට වැඩි කලක් ගතවූයේ නැත. ඒ මොරිල්ගේ ආශිර්වාදය ඇතිවය. මොරිල්ගේ මත්කුඩු ජාලයේ සිටි සුපිරි වැඩකරුවන් කිහිප දෙනා අතර ඒ වන විටත් දිනුක රැදී සිටියේය. ඒත් සමග ඔහුට බාධාවක් වූ කිහිප දෙනෙක්ම වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මරුමුවට පත්වන්නට වූයේ දිනුකගේ නම ඉදිරියේ එකී ඝාතනවල වගකීම් පැවරෙමිනි. දිනුකගේ නම සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සටහන් වෙමින් මර්දනය කළ යුතු පාතාල අපරාධකරුවෙක් බවට පත්වන්නේ ඒත් සමගිනි. මත්කුඩු ජාවාරම මිනිස් ඝාතනවලට අමතරව ඔහු ඩුබායි සිට කෙසෙල්වත්තේ සහ ගුණසිංහපුර වෙළදුන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගත්තේය. ඒ සිය පියා වූ නීල්ගේ අඩි පාරේ යමිනි. ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙක් තමන්ට හිතවත් පොලිස් නිලධාරීන්ට මේ දේවල් කීවත් දිනුකට එරෙහිව පැමිණිලි කරන්නට ගියේ නැත. ඒ දිනුකට එරෙහිව පැමිණිලි කිරීම යනු සියතින් ගෙල සිද ගැනීමක් බව ඒ අය දැන සිටි බැවිනි.
පුංචි සන්ධියේ අහිංසකයා: ෆුට්බෝල් පිස්සෙක්
මෙසේ ඉතා කෙටි කලක් තුළ කොළඹ හොල්ලන පාතාලයේ අපරාධකරුවෙක් වූ රාජපක්ෂ ආරච්චිලාගේ දිනුක මධුෂාන් හෙවත් කෙසෙල්වත්තේ දිනුකගේ ඉතිහාසය පිරිස්සීමේදී නම් ඔහුගේ ළමා අවධිය ගෙවී යන්නේ අහිංසක චරිතයෙක් ලෙසිනි. ඔහු පවුලේ වැඩිමලාය. ඔහුට බාල සහෝදරයෙක්ද සිටී. එම සහෝදරයා ද සිටින්නේද ඩුබායි හීය.
දිනුක අධ්‍යාපනය ලැබුවේ යැයි සදහන් වන්නේ දෙමටගොඩ පැත්තේ පිරිමි පාසලකය. පාසල් මිතුරන් පවසන ආකාරයට අනුව ඔහු ගැටුම්වලට යන්නේ නැත. අසභ්‍ය වචනයක් කටින් එළියට පනින්නේද නැත. අධ්‍යාපනයට ඔහු එතරම් දස්කම් නොදැක්වූවත් පාසලේ පාපන්දු කණ්ඩායමේ කැපී පෙනෙන චරිතයකි. සෝන්ඩර්ස් පිලට පවා ඔහු ක්‍රීඩා කළේය. ජාතික පාපන්දු කණ්ඩායම පවා නියෝජනය කිරීමට තරම් ඔහු දක්ෂතා පෙන්වා තිබුණේය. සියල්ල උඩු යටිකුරු වන්නේ සිය පියා වූ නීල්ගේ ඝාතනයත් සමගය. අහිසංක, අංගුලිමාල වන්නේ ඒත් සමගිනි. පාසල් මිතුරන් පවසන ආකාරයට අනුව දිනුක සිය පියා වූ නිල්ට දැක්වූයේ බය පක්ෂපාතීත්වයකි. නීල්ට අවශ්‍ය වී තිබුණේ සිය දරුවන් තමා මෙන් වැරදි මාර්ගයේ නොයවා සමාජයට වැඩදායී පුරවැසියන් කරන්නටය. දරුවන්ට තදින් ඔහු සිටියේ ඒ නිසා වන්නට ඇත.
තාත්තා නීල්ගේ පැටිකිරිය
කෙසෙල්වත්තේ නීල් , ප්‍රේමදාස ආණ්ඩුව සමයේදී කරළියට එන චරිතයකි. පිටකොටුවේ පළතුරු තට්ටුවලින් දෛනිකව ඔහුට ආදායමක් ලැබුණේය. ඒ කප්පම් වශයෙනි. ඊට අමතරව ගුණසිංහපුර බස් නැවතුම්පොළෙන් ආරම්භ වන බස් රථ ධාවනය වෙනුවෙන් නීල්ට අනිවාර්යෙන්ම කප්පම් ගෙවීය යුතු විය. කප්පම් එකතු කිරීමට කෙසෙල්වත්තේ තරුණයින් පිරිසක්ද ඔහු යොදවා සිටියහ. ඒ සියලක්ම සිදුවූයේ දේශපාලන ආශිර්වාදය ඇතිවය.
නීල්ට හයිය දුන්නේ ප්‍රබල භික්ෂුවක්
නීල්ට දේශපාලන හයියක් එන්නේ එකල කෙසෙල්වත්ත පැත්ත හොල්ලාගෙන සිටි භික්ෂූන් වහන්සේ නමක් හරහාය. අදටත් එම භික්ෂූව පෙරළිකාර චරිතයකි. පිටකොටුව හොල්ලාගෙන සිටි ආරියපාලද එම භික්ෂුවගේ හයි හත්තියෙන් කොළඹ මැනිං වෙළදපොළ හොල්ලාගෙන සිටියෙකි. එහෙත් ආරියපාල මැනිං වෙළද පොළේ වෙළෙදුන්ගෙන් කප්පම් ගන්නට ගියේ නැත. එදා කෙසෙල්වත්ත කේන්ද්‍රකර ගනිමින් පිටකොටුවේ බලය රැදී තිබුණේ සිංහලයන් අතය. ඒ සියල්ලක්ම උඩුයටිකුරු වන්නේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයත් සමගිනි.
මුස්ලිම් පාතාලය කොළඹට රිංගන්න ගහපු ගේම
ඒ වන විටත් මාළිගාවත්ත කේන්ද්‍රකර ගනිමින් මුස්ලිම් පාතාලය තිබෙන්නේ ශක්තිමත් වෙමිනි. ඒ දේශපාලන හයිහත්තියද ඇතිවය. ඇතැම් මුස්ලිම් තරුණයින් නැගෙනහිරට ගොස් මුස්ලිම් දේශපාලනඥයන්ගේ ආශිර්වාදයෙන් අවි පුහුණුවද ලබා ගත්තේය. ඔවුන් සිය බලය කෙසෙල්වත්තටද ව්‍යාප්ත කරන්නේ මාදම්පිටිය සුසාන භුමියට නීල්ව උපක්‍රමශීලීව රැගෙන ගොස් මරා දමමිනි. අනතුරුව ඔහුගේ සිරුර රැගෙන විත් දමන්නේ කෙසෙල්වත්ත පැත්තේ කුණු බක්කියකටය. එහි සැකයද මුස්ලිම් පාතාලය විසින් ආරියපාල දෙසට යොමු කිරීට තරම් සූක්ෂම විය. ඊට මුල්වන්නේ ප්‍රේමදාස ජනාධිපතිවයාගේ මරණයත් සමග රටේ ඇතිවන දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ ආරියපාල සහ නීල් දේශපාලනික වශයෙන් කණ්ඩායම් දෙකකට වෙන්වන බැවිනි. මුස්ලිම් පාතාලය ඒ තුළින් කෙසෙල්වත්තේ බලය අල්ලන්නට නීල්ව ඝාතනය කර වගකීම ආරියපාලගේ පිට පැටවූ බව නොදත් නීල්ගේ ගෝලබාලයින් ආරියපාලව මරා දැම්මේය. ආරියපාලගේ පැත්තේ සිටි කිත්සිරි රාජපක්ෂලාටද ජීවිත තර්ජන එල්ලවන්නට වූ බැවින් ඔවුන්ද රටින් පැනගත්තේය. ඒත් එක්කම කෙසෙල්වත්තේ බලය සිංහලයන්ගෙන් ගැලවෙන්නට ගත්තේය. එම බලය මුස්ලිම් පාතාලය අල්ලා ගත්තේය.
දිනුකත් මුස්ලිම් පාතාලයටම වැටෙයි
ඒ කිසිවක් නොදත් දිනුක අපොස සාමාන්‍ය පෙළටවත් මුහුණ නොදී පාසල් ගමනට සමුදෙමින් මුස්ලිම් පාතාලයේ අතකොලුවක් බවට පත්වූයේය. කුඩා දිනුකගේ ඔලුවට ඔවුන් සිය පියාගේ ඝාතනයට වගකිව යුත්තේ කිත්සිරි රාජපක්ෂලා බවට මතයක් වැපුරුවේය. අහිංසක දිනුක අංගුලිමාල බවට පත්වෙමින් ගිනි අවිය අතට ගන්නේ ඒත් එක්කමය. දිනුක වටා තරුණයින් රොක්වන විට ඒ අය නඩත්තු කරන්නට ඔහුට මුදල් උවමනාය. ඒ සදහා මුදල් උපයන්නට මත්කුඩු තොග වශයෙන් දිනුකට මුල් කාලයේ ලබාදෙන්නේ මුස්ලිම් පාතාලය විසිනි. ඉන් එහාට යමින් සිය පියාගේ අඩිපාරේ යමින් දිනුක කෙසෙල්වත්තේත් ගුණසිංහපුරේත් පළතුරු තට්ටුවලින් සහ ව්‍යාපාරික ආයතනවලින් කප්පම් ගන්නට පටන් ගත්තේය. මුස්ලිම් පාතාලයේ වැඩකරුවන් එකා දෙන්නා අභිරහස් ලෙසත් පොලිස් වෙඩි ප්‍රහාර හමුවේත් මරු වැලද ගන්නා විට කෙසෙල්වත්තේ බලය ගොඩනැගෙන්නේ දිනුක වටාය. දිනුක පාතාලයේ චරිතයක් බවට පත්වන්නේ කිත්සිරි රාජපක්ෂගේ ඝාතනයත් සමගිනි. එම ඝාතනයෙන් පසු ඔහු රටින් පැන්නද දිනුකගේ නම කියූ විට කෙසෙල්වත්තත් ගුණසිංහපුරයත් හෙල්ලී ගියේය. දිනුක රටේ නැතත් ඔහුගේ එක දුරකතන ඇමතුමෙන් සියල්ලක්ම සිදුවිය. දිනුකගේ ගෝලබාලයින් සුපුරුදු ලෙස කප්පම් රැස්කළේය. එම මුදල් දිනුක අතට පත්වූයේ මව හරහාය.
අල ලූණු වෙන්දේසිය ඇල්ලුවේ දිනුකගේ මාමා රාජා
දිනුකගේ ගෝලබාලයින් මෙහෙයවන්නට වූයේ මවගේ සහෝදරයා වන රාජාය. දිනුකගේ හයියෙන් ඔහු රේගුවේ අල ලූණු වෙන්දේසියේ බලයද අත්පත්කර ගත්තේය. රාජසන්තක කරන අල ලූණු රේගුව විසින් වෙන්දේසි කිරීමේදී රාජා විසින් ඉදිරිපත් කරන මිලට ඉහළින් කිසිදු ව්‍යාපාරිකයෙක් මිල තබන්නට යන්නේ නැත. එසේ සිදුවුවහොත් පාතාල මැරයන්ගෙන් සිදුවන්නේ කුමක්දැයි ඒ අය දන්නා බැවිනි. වෙන්දේසියේදී රාජා විසින් අත්පත්කර ගන්නා ලූණු සහ අල නැවතත් එම ස්ථානයේදී දෙවැනි වෙන්දේසියකට ලක්වන්නේ රාජා විසින් නියම කළ මිලට වඩා දෙතුන් ගුණයක මිලකටය. සෙසු වෙළෙන්දන්ට අල ලූණු වෙන්දේසියේ මිල තීරණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ අනතුරුවය. එහිදී යම් වෙළෙන්දෙක් වැඩි මිලකට එම අල ලූණු අත්පත් කර ගැනීමෙන් අනතුරුව රාජාට මුදල් ගෙවා එම අල ලූණු කන්ටේනර් වරායෙන් නිදහස් කර ගැනීමට හැකියාව ලැබෙන්නේය. රජා මෙහිදී අධික ලාභයක් ලබන්නේ රේගුවේ වෙන්දේසියෙන් අඩු මිලකට අයිතිකර ගන්නා අල ලූණු ඒ මොහොතේම දෙවැනි වෙන්දේසියකින් ව්‍යාපාරිකයන්ට අලෙවි කරමිනි. මෙම ව්‍යාපාරයේ ඒකාධිකාරය කලක් තිබුණේ කුඩු ලාල් අතේය. පාතාලයේ නම ගිය මැරයින් වන තෙල්බාලා, ආරියපාල, කළු අජිත් ද කාලයක් වෙන්දේසි පොළ් බලය අල්ලාගෙන සිටියේය. කුඩු ලාල් එංගලන්තයේ පදිංචියට යාමත් සමග මුස්ලිම් පාතාලය රේගු වෙන්දේසියට රිංගුවේය. රාජා රේගුවේ අල , ලූණු වෙන්දේසියේ ආධිපත්‍ය අල්ලන්නේ මුස්ලිම් පාතාලයේ වැටීමත් සමගිනි. එතැන් සිට මෙතෙක් රේගු වෙන්දේසියේ බලය පැවැතියේ රාජා අතේය. ඒ දිනුකගේ හයියෙනි. දැන් දිනුක ජීවතුන් අතර නැති බැවින් ඊට තවත් පාතාලයෙක් රිංගනු ඇත. ඔහු කවුරුන්වනු ඇතිදැයි තවමත් සදහන් කරන්නට කල් වැඩිය. එහෙත් දෙතුන් දෙනෙක් රේගු වෙන්දේසියට කෙළ හලමින් බලා සිටින බව නම් පැහැදිලිය.
අඹුදරුවන් ඩුබායිවලට ගෙන්වා ගනී
දිනුක රටින් පැනයාමත් සමග ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදනයක්ද නිකුත් කරනු ලැබීය. ඒ දුටු තැන අත්අඩංගුවට ගැනීමටය. එහෙත් ඔහු මිය යන තුරුම එම රතු නිවේදනය ක්‍රියාත්මක වූයේ නැත. ඒ ඔහු අදටත් අධිකරණයකින් අපරාධයකට වරදකරු වී නොමැති බැවිනි. 2014 වසරේදී ඔහු සිය බිරිද සහ දරුවාත් ඩුබායි රටට ගෙන්වා ගත්තේය. දෙවැනි දරුවා උපත ලබන්නේ ඩුබායිහීදීය. මුලින්ම ඔහු සිය බිරිද සහ දරුවන් සමග ජීවත් වන්නේ අබුඩාබිහී තට්ටු නිවාස සංකීර්ණයකය. රතු නිවේදනය නිතුත් වීමෙන් අනතුරුව සාජි වෙත ගොස් එහි ජීවත් විය. මාකදුරේ මධුෂ් එරට පොලීසියට හසුවන විට ඔහු සිටියේ ඩුබායිහීය. ඒ වන විට ඔහු මධුෂ් සමගද මත්කුඩු ජාලයට සම්බන්ධව සිටියේය. මධුෂ්ව එරට පොලීසියට අල්ලා දෙන මොරිල්ගේ මෙහෙයුමට දිනුකගෙන්ද සම්බන්ධයක් තිබුණේය. මධුෂ් ඩුබායි පොලීසියට හසුවීමත් සමග මොරිල් මෙන්ම දිනුකද උන්හිටි තැන්වලින් අතුරුදන් වන්නේ එබැවිනි. නැවතත් දිනුක ඩුබායි රටෙන් මතුවන්නේ මධුෂ් මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඔහුගේ බලය බිද වැටීමත් සමගිනි.
ආරක්ෂාව ගැන සැලකිලිමත් වුණු හැටි
දිනුක ඩුබායි සිට සිහින මවමින් සිටියේ යැයි සදහන් වන්නේ බිරිද සහ දරුවන් සමග යුරෝපීය රටකට පැන ගන්නටය. ඊට ඔහුට හරස් වී තිබුණේ රතු නිවේදනයයි. අවස්ථා කිහිපයක්ම ඔහු යුරෝපයට පැන ගන්නට උත්සහ ගත්තද ඒ සියලක්ම අසාර්ථක වී තිබුණේය. දිනුක ඩුබායි රැදී සිටියත් තමාගේ ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත්වූවෙකි. ඔහු යන එන තැනක් බිරිදටවත් කීවේ නැත. ලංකාවට ඇමතුම් ගන්නට පවා ඔහු භාවිතා කළේ ස්මාට් නොවන අංක ඔබන කුඩා ජංගම දුරකතන පමණි. එම දුරකකනයෙන් ඇමතුම් ගන්නේද ශ්‍රී ලංකාවේ පෙරගෙවුම් පහසුකම් සහිත සිම්පත් යොදගෙනය. රෝමින් පහසුකම් යටතේ භාවිතා වන එම සිම්පත සමග ජංගම දුරකතනය මාසයකට වඩා ඔහු භාවිතා කරන්නේද නැත. ඒ තරමට ඔහු තමාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වූයේය.
අන්තිම දවස්වල කොකේන්වලට ඇබ්බැහි වෙලා
කෙසේ වෙතත් ඔහු මෑතක සිට අධික ලෙස මත්පැන් පානයටත්, දුම් පානයටත්, කෙකේන් භාවිතයටත් ඇබ්බැහිවී සිටියේය. දිනකට සිගරට් පැකට් දෙක තුන පුළුස්සා දැම්මේය. මත්පැන් බෝතලයක් තනිවම බොන තැනට ඔහු මතට ඇබ්බැහි වූයේය. කොකේන් පානය කරන්නට ගන්නේ මත්පැන් පානයෙන් පසුවය. ඔහුගේ ඒ හැසිරීම දැඩි මානසික වියවුල් භාවයක පෙරනිමිති පෙන්නුවේය. ජීවිත තර්ජනයක් හේතුවෙන් ඔහු එසේ හැසිරුණේදැයි ඇත්තේ ගැටලුවකි. අවසානයේදී ඔහුගේ මරණයත් සිදුවන්නේ ඉන්දියාවේදී අංගොඩ ලොක්කාගේ මරණය සිදුවූ අයුරින්ම හෘදය රෝගයකිනි. අංගොඩ ලොක්කාගේ මරණය සැබෑ ලෙසම සිදුවූයේ හෘදය රෝගයකින්ද නැති නම් ඔහුගේ සිරුරට විෂක් ඇතුළුකර සිදුකළ ඝාතනයක්දැයි ඇත්තේ අදටත් අභිරහසකි. දිනුකගේ මරණය සම්බන්ධයෙන්ද මේ වන විට ඇත්තේ එවන් සැකයකි. ඒ දිනුක හෘදය රෝගයකින් මිය යන්නේ ඔහු හෘදය රෝගියෙක් නොවන පසුබිමක වන බැවිනි.
මරණය වුණේ අංගොඩ ලොක්කගේ විදිහටම?
මේ වන විට ඩුබායි රාජ්‍ය පැත්තෙන් කියැවෙන ආකාරයට අනුව දිනුකගේ මරණය ගැන ඇත්තේ සැකයකි. ඒ වසක් විසක් ශරීරගත කර ඔහු මරණයට පත්කළේදැයි කියාය. මරණින් පසු ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයිද කියැවෙයි. දිනුකගේ මරණය සිදුව පැය කිහිපයක් යන්නට මත්තෙන් මෙරටට ඔහුගේ මරණය දැනුම් දෙන්නේද ඩුබායි රෝහල් මෘත ශාරීරාගාරයේ බිම දමා ඇති සිරුරේ ඡායාරූපයක්ද සමගිනි. කොවිඩ් 19 වෛරසයට සැබෑ ලෙසම ඔහු ගොදුරුවී සිටීද, නැතිනම් මළ සිරුර මෙරටට ගෙන ඒම වළක්වමින් අවසන් කටයුතු ඩුබායි හීදීම සිදු කිරීමට කෙරුණු සැලසුමක්ද යන්න ගැන ඇත්තේ බරපතළ සැකයකි.
කෙසේ වෙතත් ඩුබායි හී රැදී සිටින ඔහුගේ සහෝදරයාත් බිරිදත් මෙරට සිටින ඔහුගේ පවුලේ සාමාජිකයිනුත් මළ සිරුර මෙරටට ගෙන එන්නට අවසන් මොහොතේ සමත්විය. ඒ සදහා දැනට ගණන් බලා ඇති අකාරයට රුපියල් ලක්ෂ 15 ක පමණ මුදලක් වැයවී ඇති බව කියවෙයි. කෙසේවෙතත් දිනුකගේ මරණයට සැබෑ හේතුව මෙරටදී සිදුකරන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් නම් සැගවිය නොහැකි වනු ඇත.