වහාම පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වී එය සජිත් ප්‍රේමදාස මහතා වෙත බාර දෙන ලෙසට අද (11) පළමු වතාවට රැස්වූ එක්සත් ජාතික පක්ෂ කමිටුවේදී යෝජනා වී ඇති බව දැනගන්නට ඇත.
අද පෙරවරුවේ සිරිකොතේදී පැවැති මෙම රැස්වීමට වික්‍රමසිංහ පාර්ශ්වය නියෝජනය කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල, අශූ මාරසිංහ සහ වජිර අබේවර්ධන යන මන්ත්‍රීවරුද, ප්‍රේමදාස පිල නියෝජනය කරමින් රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරල සහ මලික් සමරවික්‍රම යන මහත්වරුද සහභාගී වී සිටියහ.
මෙහිදී මුලින්ම ප්‍රේමදාස පිල නියෝජනය කළ මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධූරය පමණක් නොව පක්ෂ නායකත්වයද ලබා දිය යුතු බවට දැඩි ස්ථාවරයක සිටිමින් කරුණු දක්වද්දී අශූ මාරසිංහ සහ වජිර අබේවර්ධන යන මන්ත්‍රීවරුන් නිහඩව සිට ඇති බව දැනගන්නට ඇත.
නමුත් ඊට කිරිඇල්ල මහතා මැදිහත් වෙමින් සදහන් කොට ඇත්තේ එක්වරම පක්ෂ නායකත්වය ප්‍රේමදාස මහතා වෙත ලබා නොදී අන්තර්කාලීන නායකත්වය සදහා කරු ජයසූරිය මහතා නම් කළ යුතු බවත්, පසුව ප්‍රේමදාස මහතාට එය ලබා ගත හැකි බවත්ය.
නමුත් ඊටද විරෝධය පල කොටඇති ප්‍රේමදාස පාර්ශ්වය විපක්ෂ නායක ධූරය පමණක් නොව පක්ෂ නායකත්වය පවා සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දිය යුතු බව අවධාරණය කොට තිබේ.
කෙසේවෙතත් මෙම තත්ත්වය යටතේ අවසන් තීන්දුවක් නොගෙන දින නියමයක් නොමැතිව සාකච්ජා කල් ගොස් ඇති බවද දැනගන්නට ඇත.










