දේශපාලන පළිගැනීමේ කොමිසම හරහා විපක්ෂයේ දේශපාලන නායකයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට කර ඇති සදහන ක්‍රියාත්මක නොකිරීමට ආණ්ඩුව තීන්දු කර ඇත.
ඒ අනුව පසුගියදා පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකරන ලෙසට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට දැනුම් දී සිටියේය.
නමුත් වාර්තාව මගින් යෝජනා කර ඇති නඩු රැසක් ඉවත්කරගැනීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇති බව වාර්තා වේ.
මේ එම තීන්දු ගනු ලැබූ ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ‘මව්රට පුවත්පතේ ‘රාජ්‍ය රහස්’ තීරය වාර්තා කළ ආකාරයය.
‘මෙහිදී ආරම්භයේදීම මතුවූ මාතෘකාවක් වූයේ දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමය. ඒ සම්බන්ධයෙන් සියල්ලන්ටම කලින් සිය අදහස් ඉදිරිපත් කළ විමල් කියා සිටියේ මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කොට ක්‍රියාත්මක කළහොත් එය වැරැදි පූර්වාදර්ශයක් වනු ඇතැයි කියාය. මන්ද යත් එම වාර්තාව හරහා විපක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුගේම ප්‍රජා අයිතිය අහෝසි කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කොට ඇති නිසා පසු කලෙකදී එය ආණ්ඩු පක්ෂයටම පාරා වළල්ලක් විය හැකි බව විමල්ගේ මතය විය.
කියපු ගමන් නැගිට යයි
“මේකෙ තියෙනවා විපක්ෂයේ කිහිපදෙනකුගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනෙ කියලා. විපක්ෂයත් දැන් ඒක සමාජගත කරලා ඉවරයි. හැබැයි අපි මේක පාර්ලිමේන්තුවට ගේනව නම් එකක් හිතේ තියාගන්න ඕනෙ. අපි මේව විපක්ෂයට කළා වගේම පසු කාලෙකදි අපේ අයටත් මේවා වෙනවා කියල මතක තියාගන්න. ඒ හින්ද මේක ගැන කතා නොකර ඉන්න ඕනෙ කියන එක තමයි මගේ මතය…” යනුවෙන් කී විමල් ඒ පිළිබඳව අනෙකුත් මන්ත්‍රිවරුන්ගේ අදහස් අසා දැන ගැනීමට ප්‍රථම හදිසි කාර්යයක් යෙදී ඇති බව පවසමින් මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමෙන් පිටව යෑමට කටයුතු කළේය. විමල් එසේ සාකච්ඡාවෙන් නැඟිට ගියද උදය තවදුරටත් සාකච්ඡාවේ සිටින ආකාරයක්ද එහිදි දැකගත හැකි විය.
කෙසේ වෙතත් විමල්ගේ අදහස් දැක්වීමෙන් පසු කතා කළේ ගෙවිඳු කුමාරතුංගය. ගෙවිඳුද අදහස් දැක්වූයේ විමල්ගේ මතය තහවුරු කරමිනි. ඒ සඳහා උදාහරණද ගෙනහැර පාමින් අදහස් දැක්වූ ගෙවිඳු, මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එජාප රජය පියවර ගැනීම හරහා එජාප ආණ්ඩුව රට ඇතුළේ අප්‍රසාදයට පත්වූ ආකාරයත්, එම ආණ්ඩුව කඩාවැටුණු ආකාරයත් පෙන්වා දුන්නේය.
ගෙවිදුත් විමල්ගෙ මතයේ…
“මමත් ඉන්නෙ විමල් ඇමැතිතුමා කියපු ස්ථාවරයේමයි. දේශපාලනය කිරීම එකක්. නමුත් මේ වගේ වැඩ කිරීම තවත් එකක්. මොකද මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරපු එක යූ.ඇන්.පී. එකට පාරාවළල්ලක් වුණා. මේ පළිගැනීමේ දේශපාලන සංස්කෘතිය දැන්වත් අපි නවත්වන්න ඕනෙ…” යනුවෙන් කියමින් ගෙවිඳු අදහස් දක්වද්දී ඊළඟට අදහස් දැක්වීමට නැගිට්ටේ නාමල්ය. නාමල් කතා කළේ යහපාලන ආණ්ඩුවේ පළිගැනීමේ දේශපාලනයට ලක්වූ පවුලක සාමාජිකයකු ලෙසටය.
නාමල් පළිගත්ත හැටි මතක් කරයි
“ගිය ආණ්ඩුව කාලෙ වඩාත්ම දේශපාලන පළිගැනීමට ලක්වුණේ අපේ පවුල. අපේ පවුලෙ හැමෝම වගේ හිරේ දැම්ම. අපිට මානසිකව වද දුන්නා. හැබැයි එහෙම කළා කියලා ඒ අයගෙන් පළිගන්න ඕනෙ කියන ස්ථාවරයේ මම නෑ. හැබැයි මමත් මේ කොමිෂන් වාර්තාව ගැන හොයලා බැලුවා. ඒකෙ ඔය කියන තරම් ප්‍රශ්නයක් නෑ. ප්‍රජා අයිතිය අහෝසි කරන කතාව විපක්ෂය රට ඇතුළෙ කරන කැම්පේන් එකක් විතරයි. ඒකෙ කොහෙවත් කියල නෑ පාර්ලිමේන්තුවෙ මේ වාර්තා සම්මත කරලා ඒ අයගෙ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනෙ කියලා. ආණ්ඩුව වුණත් එහෙම තීන්දුවක් අරන් නෑ…” යන්න නාමල්ගේ අදහස විය.
සියල්ලන්ම හොල්මන් කරමින් සබ්‍රි කරපු කතාව
නාමල්ගෙන් අනතුරුව කතා කරන්නට පටන් ගත්තේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රිය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සියල්ලන්ම පුදුමයට පත්කරමින් අලි සබ්‍රිද මෙම වාර්තාව විවේචනයට ලක්කිරීමට කටයුතු කිරීමය. එහිදී අලි සබ්‍රි පෙන්වා දුන්නේ මෙම කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා තියා ඒ පිළිබඳව කතා කිරීමට හෝ අවශ්‍ය නැති බවය.
මේ සියල්ලන්ගේම අදහස් දැක්වීමෙන් අනතුරුව අගමැතිවරයාද සිය ස්ථාවරය ඒ සම්බන්ධයෙන් මන්ත්‍රි කණ්ඩායමට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. අගමැතිවරයාද පෙන්වා දුන්නේ මේ පිළිබඳව පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේදී ප්‍රජා අයිතිය අහෝසි කිරීමක් පිළිබඳව කිසිවකු වචනයක් හෝ කතා කළ යුතු නැතැයි කියාය.
ඒක ගැන කතා කරන්න එපා-මහින්ද
“පසුගිය ආණ්ඩුව අපේ පවුලෙන් පුදුම විදිහට දේශපාලනිකව පළිගත්තා. මගේ සහෝදරයෝ හිරේ දැම්මා. මගේ ළමයි හිරේ දැම්මා. අපේ පවුලටම දේශපාලන වශයෙන් විඳවන්න සිද්ධ කළා. හැබැයි මේවා අපි කරන්න යන්න ඕනෙ නෑ. මේ විවාදයේදී ප්‍රජා අයිතිය අහෝසි කිරීමක් ගැන කවුරුවක්වත් වචනයක්වත් කතා කරන්න ඕනෙ නෑ…” යනුවෙන් කියමින් මහින්ද එම මාතෘකාව අවසන් කිරීමට කටයුතු කළේය.
ඉන් අනතුරුව මන්ත්‍රිවරයෙක් මෙම පළිගැනීමේ වාර්තාවේම සඳහන් වන හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා සම්බන්ධ මාතෘකාව පිරිසේ අවධානයට ලක්කළේය. මන්ත්‍රිවරයා විමසා සිටියේ හිටපු අගවිනිසුරුවරයා ඉවත් කිරීමේ ක්‍රමවේදය නීත්‍යානුකූල නොවන බවට මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දැක්විය යුත්තේ කවරාකාරයෙන්ද යන්නත්ය.
මොහාන් ගැන කතාකළොත් ගහන්න වෙන්නෙ අපේ අයට…
එහිදී අගමැතිවරයා උපහාසයෙන් සිනාසෙමින් දුන්නේ අපූරු පිළිතුරකි.
“ඒ ගැන කතා නොකර ඉන්න එක වඩා හොඳයි. මොකද ඒ ගැන කතා කරන්න ගියොත් අපේ අයටම තමයි ගහන්න වෙන්නෙ. ඒ නිසා ඒකත් මඟහැරියොත් හොඳයි…” යන්න අගමැතිවරයාගේ පිළිතුර විය.










