elephas maximus maximus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ අලියා ගැන තමයි අපි අද කැලෑ කොලමෙන් කතා කරන්නේ. ආසියානු උප විශේෂයක් වන ලංකාවට ආවේණික මේ අලියා වඳවී යන සතෙක් විදියට 1986 වසරේ ඉඳන්ම ICUN රතු දත්ත පොතට ඇතුළත් වෙලා තියෙනවා.
ශ්‍රී ලංකාවේ වනාන්තර තුළ වර්තමානය වෙද්දී 6000 ඉක්මවා ගිය අලි ප්‍රමාණයක් ජීවත් වෙන බව සංඛ්‍යාත්මක වාර්තා අනුව පැහැදිලි වෙනවා. ඊට අමතරව 200කට අධික ඇතුන් ප්‍රමාණයකුත් වනාන්තර ගතව ජීවත් වන බවට වාර්තා වෙලා තියෙනවා.
ජීවත් වන ප්‍රදේශය අනුවත් මේ අලි, ඇතුන් කොටස් කිහිපයකට වෙන් කරලා හඳුනගන්න පුළුවන්. ඒ අනුව යාල, උඩවලව, කුමන, ලුණුගම්වෙහෙර වැනි වියළි කලාප ආශ්‍රිතව ජීවත් වන අලි “රුහුණු ගැටව්” ලෙසින් හඳුන්වනවා. මේ රුහුණු ගැටව් ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශවල අලි තරම් ශරීරයෙන් විශාල නැති වුණත්, ශක්තිය අතින් දෙවැනි නැහැ. ඊට අමතරව වස්ගමුව කලාපය ආශ්‍රිතව ජීවත් වන අලි “විල් අලි” ලෙස හඳුන්වනවා. මේ විල් අලි ශරීර ප්‍රමාණය අතින් බොහෝ විශාලයි. ඒ වගේම ශක්ති ප්‍රමාණයෙනුත් ඉතා වැඩියි. ඒකට හේතු වෙලා තියෙන්නේ මේ අය ජීවත් වෙන ප්‍රදේශයේ තියෙන සරුසාර බව. මොකද සරුසාර මහවැලි නිම්නය ආශ්‍රිතව තමයි මේ අයගේ ජීවන රටාව හැඩ ගැහිලා තියෙන්නේ.
ආසියානු උප විශේෂයක් වුණත්, ශ්‍රී ලංකාවේ අලියා අප්‍රිකානු අලියාට වඩා ශරීර ප්‍රමාණයෙන් කුඩා වීමත් විශේෂ කාරණයක්. වන අලි දැක ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ හොඳම ජාතික වනෝද්‍යාන ලෙස උඩවලව, මින්නේරිය සහ කවුඩුල්ල දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය වෙලා තියෙනවා. ඊට අමතරව විල්පත්තු පොම්පරිප්පුව ප්‍රදේශයේ සහ යාල, ලාහුගල සහ කුමන ජාතික වනෝද්‍යාන තුළදිත් වන අලි බහුලව දැක ගන්න පුළුවන්. මේ අතරින් ලාහුගල දකින්න ලැබෙන වන අලින්ට බෝල හැඩැති ශරීරයක් හිමි වී තිබීමත් කැපී පෙනෙන කාරණයක්.
පළාත් වශයෙන් සැලකුවහොත් ලංකාවේ උතුරු මැද සහ වයඹ පළාත් දෙකේ තමයි වැඩිම වන අලි ගහනය දක්නට ලැබෙන්නේ. ඒ අතරින් කලා ඔය නිම්නය වැඩිම ඇතුන් පිරිසක් ජීවත් වන ප්‍රදේශය ලෙස සලකන්න පුළුවන්. එමෙන්ම සෝමාවතී රක්ෂිතය, ජල ගැලුම් නිම්න රක්ෂිතය සහ ත්‍රිකෝණමඩු රක්ෂිතය තුළත් සැලකිය යුතු ඇතුන් පිරිසක් ජීවත් වෙනවා. දැනට වන ගතව ජීවත් වෙන ඇතුන් අතරින් විශාලම ඇතා තමයි කාවන්තිස්ස. ගජබා සහ මහ ඇතා නමිනුත් මේ ඇතාව හඳුන්වනවා. සෝමාවතී රක්ෂිතයේ ජීවත්වන සෝමාවතී ඇතත් විශාල ප්‍රමාණයේ ඇතෙක්.
මීට අමතරව කඳුකර ප්‍රදේශවල ජීවත් වන කඳුකර අලි නැමැති විශේෂයකුත් ශ්‍රී ලංකාවෙදි දැක ගන්න පුළුවන්. රන්දෙනිගල, රන්ටැඹේ වැනි ප්‍රදේශවල තමයි මේ අය ජීවත් වෙන්නේ. හැබැයි කඳුකරයේ ජීවත් නොවුණා කියලා අනෙක් අලින්ටත් කඳු නගින එක ප්‍රශ්නයක් නෙවෙයි. විශාල ශරීරයක් තිබුණත්, ඕනෑම අලියකුට ඕනෑම කන්දක් නඟින්න පුළුවන්. තෙත් කලාපයේ පිහිටි සිංහරාජ වනාන්තරයෙනුත් අලි වාර්තා වෙලා තියෙනවා.
අලි ගැන කතා කරද්දී අපේ ගොඩක් දෙනෙක් වරදවා වටහා ගෙන ඉන්න තුන්පත්රෑන පිළිබඳවත් සඳහන් කළ යුතුමයි. මවු ඇතින්න, ඇයගේ පළමු පිරිමි හෝ ගැහැනු පැටවා සහ ඇයට අලුතින් උපන් පැටවා තමයි තුන්පත්රෑන විදියට එකට ජීවත් වෙන්නේ.
ශාක භක්ෂකයකු වෙන අලියාගේ ප්‍රියතම ආහාරය තමයි වැව් පිටිවල වැවෙන අලුත් තණකොළ. ඊට අමතරව හේන් නොකරන කාලයට හේන් පිටිවල වැවෙන අලුත් වගාවටත් මේ අය හරිම කෑදරයි. හොඳින් වැඩුණු පිරිමි අලියෙකුට දිනකට කිලෝ ග්‍රෑම් 200කට අධික ආහාර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අවශ්‍ය තරමට ආහාර නොමැති වීම තමයි මේ අය ගම් වැදීමට ප්‍රධාන හේතුව. ඒ හරහා තමයි අලි මිනිස් ගැටුම් ඇති වෙන්නේ.
වර්තමානය වෙද්දී වනජීවී දෙපාර්තමේන්තුවට විසඳා ගත නොහැකි ප්‍රධානම ගැටලුවක් බවට අලි මිනිස් ගැටුම පත් වෙලා තියෙනවා. අලියා ඉතාම බුද්ධිමත් සතෙක්. ඒ හින්දා ඌ ගමන් කරන්නේ එක්තරා නිශ්චිත මාර්ගයක විතරයි. ඒ මඟ හරස් කරමින් මිනිස් ක්‍රියා සිද්ධ වීම හින්දා ඌ ඒවා විනාශ කරගෙන ඉදිරියට ඇදෙනවා. අපේ රටේ සිදුවන අවිධිමත් සංවර්ධනය හේතුවෙන් දිනෙන් දින අලි මිනිස් ගැටුම උග්‍ර වෙනවා. අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් සහ වන අලි සම්බන්ධ තවත් රසවත් තොරතුරු බොහොමයක් අපි ලබන සතියේ කැලෑ කොලම හරහා කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
සමන් හල්ලොලුව











