පැවැති යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයන් තිදෙනකු වූ අර්ජුන රණතුංග, නවීන් දිසානායක හා හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් එක්ව ක්‍රිකට් ක්‍රීඩාව දූෂිත බවින් මුදාලීම අරමුණු කරගෙන ඒකාබද්ධ සටනක් දියත් කිරීමට තීන්දු කොට තිබේ.
ඒ අනුව පෙරේදා (30) රාත්‍රියේ මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති හිටපු අමාත්‍යවරුන් තිදෙනා ක්‍රිකට් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සිදු කළ වෝහාරික විගණන වාර්තාව පදනම් කරගෙන රට පුරා දැවැන්ත සටනක් දියත් කිරීමට තීන්දු කර ඇත.
එම සාකච්ජාවේදී හෙට (02) දිනයේදී වෝහාරික විගණන වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති තොරතුරු මුල්කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටත්, හෙට දිනයේදීම ඒ සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ජාවක් කැදවා රටට කරුණු ඉදිරිපත් කිරීමටත් තීන්දු කොට තිබේ.
මීට අමතරව 03 වැනිදා පාර්ලිමේන්තු නව සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු දිගින් දිගටම පාර්ලිමේන්තුව ඇතුළේ මෙම සටන ඉදිරියට ගෙන යාමටද හිටපු අමාත්‍යවරුන් තිදෙනා තීරණය කොට තිබේ.
මේ ආකාරයට හිටපු අමාත්‍යවරුන් තිදෙනකු එක්ව ක්‍රිකට් වංචා දූෂණ සම්බන්ධයෙන් රට පුරා දැවැන්ත සටනක් දියත් කරන පළමු අවස්ථාව මෙය වන අතර එහිදී හරීන් හා නවීන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් දෙදෙනකු වන අතර අර්ජුන රණතුංග මහතා 1996දී ලෝක ක්‍රිකට් කුසලානය රටට දිනා දුන් නායකයා වීමද විශේෂත්වයකි.