පසුගිය සතියේ නතර කළ තැන ඉඳන් සිංහරාජ වනාන්තරය පිළිබඳ තවත් බොහෝ දේ කතා කරන්නයි මේ හදන්නේ. ක්ෂීරපායීන්, පක්ෂීන්, උභය ජීවීන්, උරගයන්, කෘමීන් ඇතුළු සෑම කොට්ඨාසයකටම අයත් සත්ව විශේෂ සිංහරාජයේ ජීවත් වෙනවා. කුල 55ක් සහ ගන 84කට අයත් සත්ව විශේෂ 107ක් දැනට සිංහරාජයෙන් වාර්තා වෙලා තියෙනවා. එම විශේෂ 107 අතරින් සත්ව විශේෂ 50ක්ම ශ්‍රී ලංකාවට ආවේණික ඒක දේශික විශේෂ වීමත් සුවිශේෂී කාරණයක්.
ඒ වගේම ඒ අතරින් එක් පක්ෂි විශේෂයක් සහ එක් සමනල් විශේෂයක් සිංහරාජයෙන් පමණක් වාර්තා වීමත් විශේෂත්වයක්. දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති ඒක දේශික පක්ෂි විශේෂ 34න් 30ක්ම සිංහරාජයෙන් වාර්තා වී තියෙනවා. එය ආසන්න වශයෙන් 90%කට වැඩි ප්‍රතිශතයක් ලෙස සලකන්න පුළුවන්. ගිරා මලිත්තා, ලංකා හබන් කුකුළා, ලංකා අළු ගිරවා, බට ඇටි කුකුළා, පිට තඹ වන බස්සා, රතු දෙමලිච්චා, ලංකා කැහි බෙල්ලා, පඬුවන් බස්සා, මැදි මුහුණු බස්සා, පිට රතු මහ කෑරලා, වත රතු මල් කොහා, ශ්‍රී ලංකා කහ මුහුණැති කොට්ටෝරුවා, ශ්‍රී ලංකා අළු කෑදැත්තා සහ කහ කන් කොණ්ඩයා වැනි ඒක දේශික පක්ෂි විශේෂ රැසක් සිංහරාජයේ ජීවත් වෙනවා. ඊට අමතරව සිංහරාජයෙන් වාර්තා වී ඇති මූකලන් බස්සා නැමැති පක්ෂියා ඒක දේශික පක්ෂි විශේෂ අතරට එකතු කිරීම සඳහා වනජීවී සහ පක්ෂි විශේෂඥයන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා.
උණහපුළුවා, බෝදිලිමා, පලා පොළඟා සහ පිනුම් කටුස්සා වැනි දුර්ලභ සත්ව විශේෂ රැසකුත් සිංහරාජයේදී දැක ගන්න පුළුවන්. ඊට අමතර ගණනය කර ගත නොහැකි තරම් කෘමි විශේෂ විශාල ප්‍රමාණයක් එහිදී සොයා ගත හැකියි. විවිධ ප්‍රමාණයේ කෘමීන් මෙන්ම, කුරුමිණි වර්ග සහ කඩි වර්ග විශාල ප්‍රමාණයකුත් සිංහරාජයේදී දැක ගත හැකියි. ලොව පුරා ප්‍රචලිත ඇමේසන් වනාන්තරයේ ජීවත් වන විශාල කඩියන් හා සමාන වන විශාල කඩි වර්ගත් මෙහිදී හමුවීම විශේෂ කාරණයක්.
සිංහරාජයේදී හමු වන ගෙඹි වර්ගත් ඉතා විශාලයි. ඒ අතරින් විශේෂ කිහිපයක් ඉතා විශේෂිත වර්ග ලෙස සැලකෙනවා. ඒ වගේම අඳුන් දිවියා, කැලෑ දිවියා මෙන්න ඉතාම දුර්ලභ කළු කොටියාත් සිංහරාජයේ සැරිසරන බව විශ්වාස කරනවා. කළු කොටියන් සිංහරාජයේ සැරිසරන බව ස්ථිර දත්ත අනුව නිල වශයෙන් තහවුරු කර නැතත්, අවට ගැමියන්ගේ ඇසින් දුටු සාක්ෂි සහ ඔවුන්ගේ ප්‍රකාශ අනුව ඒ බව සනාථ වෙලා තියෙනවා.
අපි පසුගිය සතියේදී කතා කළ ආකාරයෙන්ම අලි ඇතුන් ජීවත් වන එකම තෙත් කලාපීය වනාන්තරය වන්නේ සිංහරාජය පමණයි. ඒ හේතුවෙන් අලි ඇතුන්ගේ සිට කුඩා ප්‍රමාණයේ කෘමීන් දක්වා සියලුම ආකාරයේ සත්ව විශේෂ ජීවත් වන සුවිශේෂී පාරිසරික පද්ධතියක් ලෙස සිංහරාජය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ලංකාවට ආවේණික ලයිකන වර්ග විශාල ප්‍රමාණයකුත් සිංහරාජයේදී දැක ගන්න පුළුවන්. එම ලයිකන විවිධ හැඩයෙන් සහ විවිධ ප්‍රමාණයන්ගෙන් දැක ගන්න පුළුවන්. ජෛව විවිධත්වය උපරිමයෙන් ආරක්ෂා වී තිබෙන මේ මර්මස්ථානය ඉදිරි පරපුර වෙනුවෙන් රැක ගැනීම අපේ වගකීමක් වෙලා තියෙන්නේ අන්න ඒ හින්දයි.
සත්ව සහ ශාක විශේෂයන්ට අමතරව පාරිසරික සමතුලිත බව රැක ගැනීම සඳහාත් සිංහරාජයෙන් ලැබෙන පිටිවහල ඉතා විශාලයි. ශ්‍රී ලංකාවේ වැඩිම ජල ප්‍රමාණයක් ඇති ගංගාව ලෙස සැලකෙන කළු ගඟේ දිය අතු බොහොමයක ආරම්භය මේ සිංහරාජයයි. කළු ගඟේ අධික ජල ප්‍රවාහයට නිරන්තරයෙන් වැසි වැටෙන මේ ජල පෝෂක ප්‍රදේශය විශාල බලපෑමක් එල්ල කරනවා. ඒ වගේම දකුණු පළාතේ ප්‍රධාන ගංගාවක් වන ගිං ගඟේ ප්‍රධාන පෝෂක ප්‍රදේශය වන්නෙත් සිංහරාජයයි.
සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව වර්තමානයේදීත් ගම්මාන 22ක් පවතිනවා. ඒ අතරින් වාරුකන්දෙණිය සහ කොලොන්තොටුව යන ගම්මාන දෙකම පිහිටලා තියෙන්නේ සිංහරාජ රක්ෂිත ප්‍රදේශය තුළයි. ඒ එක ගමක පවුල් 2000ක් පමණ ජීවත් වෙනවා. කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවිකාව කරගත් එම ගම්මානවල ජීවත් වන ගැමියන් නිරන්තරයෙන් වනාන්තරය එක්ක ගැටෙමින් ජීවත් වන පිරිසක්. ඒ හේතුවෙන් කිතුල් රා කර්මාන්තය, දුම්මල කර්මාන්තය සහ වේවැල් කර්මාන්තය වැනි කටයුතු සඳහා වනාන්තරය යොදා ගැනීමට එම ගැමියන්ට අවසර ලබා දී තිබෙනවා.
ලෝක උරුමයක් සහ ජාතික උරුමයක් ලෙස නම් කර ඇති සිංහරාජය රැක ගැනීම වෙනුවෙන් රජයේ පාරිසරික ප්‍රතිපත්තිය යටතේ දැඩි නීති රීති ක්‍රියාත්මක වෙනවා. වනජීවී දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සඳහා දැඩි ලෙස කැපවෙනවා. ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහ ජාන සම්පත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ඒ යටතේ අරගෙන තියෙනවා. සිංහරාජය අවට ගම්වාසීනුත් වර්තමානයේදී මේ තත්ත්වය ඉතා හොඳින් තේරුම් ගෙන තිබීම සතුටට කරුණක්. තමන්ගේ පැවැත්ම රඳා පවතින්නේ මේ සුවිශේෂී පරිසර පද්ධිතය රැකුණොත් පමණයි කියන ආකල්පය එම ජනතාව තුළ ඇති වෙලා තියෙනවා.

හැබැයි වර්තමානයේදී මේ සුවිශේෂී පාරිසරික කලාපයට එල්ල වී ඇති ජාත්‍යන්තර තර්ජනයක් ගැනත් සඳහන් කළ යුතුයි. ඒ ජාන මංකොල්ලකරුවන්ගේ තර්ජනය. පරිසරවේදීන් ලෙස හුවා දක්වමින් සිංහරාජයට පැමිණෙන ඇතැම් විදේශීය සංචාරකයන් තමයි මේ ක්‍රියාවේ නිරත වෙන්නේ. මේ ආකාරයෙන් පැමිණි සංචාරකයන් පිරිසක් නීති විරෝධී ආකාරයෙන් රැගෙන යාමට උත්සාහ කළ සමනල් විශේෂ කිහිපයක් සොයා ගැනීමට පසුගිය දිනකත් වනජීවී නිලධාරීන්ට හැකියාව ලැබිලා තියෙනවා. නමුත් එවැනි ආකාරයෙන් හසු වූ සිද්ධීන්ට වඩා හසු නොවූ සිද්ධීන් ප්‍රමාණය වැඩි බවත් පැවසිය යුතුයි. එබැවින් මේ ජාන මංකොල්ලකරුවන්ට එරෙහිව පුළුල් ක්‍රියාමාර්ග ගත යුතු බවයි අපේ අදහස.
ඒ වගේම සිංහරාජයේ සංචාරය කරන දේශීය ඔබ සතුවත් විශාල වගකීමක් තියෙනවා. මෙහි සංචාරය කරන ඇතැම් දේශීය සංචාරකයනුත් නොදැනුවත්කම මත හෝ ඕකිඩ් වැනි විවිධ මල් වර්ග ගලවා ගෙන ඒමට උත්සාහ කරනවා. ඒක ඇත්තටම දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් බවත් මතකයේ තබා ගත යුතුයි. ඔබ යම් දිනක සිංහරාජයේ සංචාරය කරනවා නම් පා සටහන් පමණක් එහි තබා එන්න. ඡායාරූප පමණක් යළි රැගෙන එන්න. මේ සුවිශේෂී පරිසර පද්ධතිය රැක ගැනීම සඳහා ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය එයයි.
සමන් හල්ලොලුව











