ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ සුවිශේෂී චරිත නිරූපණය කරමින් අනෙක් රංගන ශිල්පිනියන්ට අභියෝගයක් වෙමින් ඉදිරියෙන් සිටින රංගන ශිල්පිනියක් තමයි අනුරාධා එදිරිසිංහ. ඇය මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකම විශිෂ්ට රංගනයක නියැළෙනවා. කාලයකට පස්සේ ඇයගේ කලා දිවියේ අලුත් තොරතුරු ගැන අපිත් එක්ක කතා කළේ මේ විදියට.
ඉතින් කොහොමද අනුරාධා?
මේ දවස්වල රටේ තිබෙන වාතාවරණයත් එක්ක ආරක්‍ෂාකාරීව වැඩකටයුතු කරගෙන යනවා. ඒ අතර ගිරිදේවි, ගරුඬ මුහුර්තය ටෙලිනාට්‍යවල වැඩකටයුතු කරගෙන යනවා.
පුංචි තිරයේ දැකපු පෙම්වතිය දැන් අම්මා කෙනෙක් වෙලා නේද?
ඒකනේ ‘ගරුඬ මුහුර්තය’ ටෙලිනාට්‍යයේ ‘පුසුබි’ වගේම ‘ගිරිදේවි’ ටෙලිනාට්‍යයේ ‘රුපිකාත්’ අම්මා කෙනෙක් වුණා.
මේ දිනවල විකාශය වන ‘ගරුඬ මුහුර්තය’ ටෙලිනාට්‍යයේ වෙනස්ම රංගනයක් තමයි අපි දකින්නේ?
‘පුසුබි’ කියන චරිතය මට ලැබුණු ලොකු අවස්ථාවක්. එවැනි චරිතයක් මම මෙයට පෙර රඟපාලා නැහැ. ප්‍රියාල් වීරසිංහ එහි අධ්‍යක්‍ෂට විශේෂයෙන් මම ස්තුතිය පුද කරනවා. ඒ චරිතයට මාව තෝරා ගැනීම පිළිබඳව.
අම්මා කෙනෙක් නොවුණු ඔබ එවැනි චරිතයක් නිරූපණය කිරීම බැරෑරුම් කර්තව්‍යයක් නොවේද?
ඒක තමයි රඟපෑම කියන්නේ. අපි එදිනෙදා ජීවිතයේදී අත්විඳපු දේවල් වගේම අත්නොවිඳපු දේවල් චරිත තුළින් නිරූපණය කරන්න සිදුවෙනවා. ඉතින් මම මෙයට පෙර ටෙලිනාට්‍ය දෙකකම ගැබිනි මවක් ලෙසට රඟපාපු නිසා. ඒ සියලුම අත්දැකීම් එකතු කරගෙන ‘පුසුබි’ චරිතයට සාධාරණයක් කරන්න තමයි මම උත්සාහ කළේ.
සරණාගේ ආදරය ‘පුසුබි’ට දැනුණේ කොහොමද?
ඔහුගේ ආදරයට ‘පුසුබි’ ගරු කරනවා මොන දේ කළත්. සරණා ගැන තිබෙන ගරුත්වය නැති වෙන්නේ නැහැ. ‘පුසුබි’ගේ පවුලේ බර කරටගෙන සරණා වැඩ කරනවා. තාත්තා කෙනෙක් නැති පවුලට සරණ හෙවණැල්ලක් වෙලා කටයුතු කරනවා.
එහි දෙබස් උච්චාරණයේදී පවා යම් විශේෂත්වයක වෙනසක් අපි දකිනවා?
ඔව්… දෙබස් උච්චාරණය පවා වෙනස්. මගෙත් මේ පළමු අත්දැකීම. මම මෙයට පෙර මෙවැනි දෙබස් උච්චාරණය නිර්මාණයකට සම්බන්ධ වෙලා නැහැ. ඒත් පිටපත සමඟ එක දිගට කටයුතු කරද්දි එයට නිකම්ම හුරුවුණා. දර්ශන තලයේදී පවා අපි විවේකීව ඉන්න විට ඒ දෙබස් උච්චාරණයත් එක්ක තමයි කතාබහ කළේ. ඒ නිසා තවත් පහසු වුණා.
පසුගිය කාලේ සමාජ ජාලා වෙබ් අඩවියක ඔබ වසන්ත කාලයක් ගැන සඳහන් කරනවා. ඒ වසන්තයද මේ ගතවෙන්නේ?
හ්ම්… ඒක දන්නේ නැහැ. අවුරුදු කිහිපයකට උඩදී තමයි මම එහෙම අදහසක් දැම්මේ. සීත කාලය පැමිණෙන විට තද හිම කුණාටු හමාවි. හිම කැට සහිත නපුරු සුළි සුළං හමාවි. ඒත් වසන්තය එනවා සත්තයි. ඒ මගේ හිතට දැනුණු සිතුවිල්ලක් තමයි ඒක.
වසන්ත විතාරණගේ













