යහපාලන රජයේ ක්‍රීඩා ඇමැති ධුරය ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බව හරීන් ප්‍රනාන්දු මහතා මුල් වරට ප්‍රකාශ කළේ මීට වසර දෙකකට පමණ පෙර බදුල්ලේ පැවැති ක්‍රීඩා උත්සවයකදීය. නමුත් ක්‍රීඩා ඇමැති ධුරය හරීන් ප්‍රනාන්දු මහතාට හිමිවන්නේ යහපාලන රජය ආරම්භ වී වසර 03කුත් ඉක්ම යෑමෙන් පසුවය. හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා ඇමැති ධුරය භාරගත්තේ මෙරට ක්‍රීඩා ඉතිහාසයේ අභාග්‍යසම්පන්නම කාල වකවානුවේදී යැයි කිවහොත් එහි වරදක් නැත. නමුත් වසර ගණනක් බලාසිටි ක්‍රීඩා ඇමැති ධුරය භාරගැනීමෙන් පසු හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩාවට දැනෙන යමක් කරනු ඇතැයි යන්න සෑම දෙනාගේම බලාපොරොත්තුව විය. සුවහසක් ජනතාව තුළ එවැනි අහිංසක බලාපොරොත්තුවක් ඇතිවීමට ප්‍රධාන හේතුව වූයේ හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩකයකු වීමය.
ක්‍රීඩා 64ක් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි වී තිබුණද, මෙරට ජනතාව ආදරය කරන ආගමක් බඳු ක්‍රීඩාව වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවය. අනෙක් ක්‍රීඩා කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙද්දී එය කෙළින්ම දැනෙන්නේ ජනතාවගේ හදවතටය. එබැවින් ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටීමට ඉඩ නොදෙමින් එය ආරක්ෂා කරගැනීමට ක්‍රීඩා ඇමැතිවරයා වෙත විශාල වගකීමක් ඇත. හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා ඇමැති ධුරය භාරගනු ලැබූ අවස්ථාවේ සෑම දෙනාගේම විශ්වාසය වූයේ ඔහු වැටී ඇති ආගාධයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගනු ඇති බවය. කොටින්ම හරීන් ප්‍රනාන්දු මහතා හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ චරිතයට පණ පොවනු ඇති බව සෑම දෙනාගේම බලාපොරොත්තුව විය. ක්‍රීඩා ඇමැති ධුරය භාරගත් දිනයේ සිටම හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටීමට “දැන් ඉරිදා මව්රට” පුවත්පත හරහා අප කටයුතු කළේද ඒ විශ්වාසය නිසාය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව බිලිගත් සූදු මාෆියාවට කිසි විටෙකත් හරීන් ප්‍රනාන්දු නමැති ජව සම්පන්න ක්‍රීඩකයා නම්මවාගත හැකි නොවෙතැයි යන දැඩි විශ්වාසය අප සතුව විය.
නමුත් ඒ බලාපොරොත්තු සුන් කරමින් මෙරට ජනතාවගේ හදවත බඳු ක්‍රිකට් ක්‍රීඩාව තව දුරටත් විනාශ කිරීමට ඉඩදී ක්‍රීඩා ඇමැතිවරයා බලා සිටීම තව දුරටත් අනුමත කළ නොහැකි තත්ත්වයට පත්වී ඇත. ඒ පිළිබඳ විමසූ සෑම අවස්ථාවකම ඇමැතිවරයා ප්‍රකාශ කළේ වෝහාරික විගණන වාර්තාව ලැබෙන තෙක් තමන්ට කිසිවක් කළ නොහැකි බවය. එම වාර්තාව ලැබුණු සැණින් තමන් ඊට අවශ්‍ය නිසි පියවර ගන්නා බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය. දැන් වාර්තාව ලැබී ඇත. නමුත් දූෂිත පරිපාලනයට එරෙහි කිසිදු පියවරක් ගැනීමට ඇමැතිවරයා කටයුතු කර නැත. පියවර ගන්නා බවක්ද පෙනෙන්නට නැත. වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බව ඇමැතිවරයා මුලින් ප්‍රකාශ කළත්, බොහෝ දෙනාගේ විරෝධය හමුවේ එය හකුළා ගැනීමට ඇමැතිවරයා තීරණය කර ඇත.
වෝහාරික විගණන වාර්තාව ලැබුණු විගස ඇමැතිවරයා කළ යුතුව තිබුණේ වහාම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම බව බොහෝ දෙනාගේ අදහස විය. වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එහි අඩංගු තොරතුරු ජනතාවට දැනගැනීමේ අවස්ථාවද උදාවනු ඇත. නමුත් එය මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇමැතිවරයා කටයුතු කර නැත. අඩුම තරමේ එය අගමැතිවරයාට හෝ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටවත් හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා කටයුතු කර නැත. ගාමිණී දිසානායක චරිතයට පණ පොවනු ඇතැයි බලාපොරොත්තු තැබූ හරීන් ප්‍රනාන්දු මහතා මේ ආකාරයෙන් කටයුතු කරන්නේ මන්දැයි යන්න දැන් හැම දෙනාටම ගැටලුවක් වී ඇත. සැබැවින්ම හරීන් ප්‍රනාන්දු මහතා මේ ආකාරයෙන් කටයුතු කරතැයි යන්න පිළිගැනීමද බොහෝ දෙනකුට අපහසු වී ඇත.
හරීන් ප්‍රනාන්දු මහතා සමඟ කිසිදු දේශපාලනික හෝ පෞද්ගලික තරහක් අපට නැත. නමුත් මෙතරම් බලාපොරොත්තු තැබූ ඇමැතිවරයකු මේ ආකාරයෙන් ක්‍රියා කරන විට ඉන් නැඟෙන වේදනාව අපේ හිත්වලටද දැනෙමින් ඇත. වසර ගණනක් පුරා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව බිලිගත් සූදු මාෆියාවට හසු වූ සහ එයට හසු නොවූ මෙරට ක්‍රීඩා ඇමැතිවරුන් පිළිබඳ තොරතුරු අප මීට පෙර පැහැදිලිව ඉදිරිපත් කර ඇත. රටේ සමස්ථ ජනතාව සේම අපද බලාපොරොත්තු වූයේ හරීන් ප්‍රනාන්දු මහතාගේ නමද සූදු මාෆියාවට හසු නොවූ ක්‍රීඩා ඇමැතිවරුන්ගේ ලැයිස්තුවට ඇතුළත් ඇති වනු ඇතැයි කියාය. නමුත් එය එසේම වේදැයි යන්න දැන් සැක සහිතය. ක්‍රීඩා ඇමැතිවරයාගේ ඉල්ලීමක් අනුව බදුල්ලේ ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා ක්‍රිකට් ආයතනය මුදල් වෙන්කර ඇති බවද වාර්තා වූයේ මේ අතරතුරේය. ක්‍රීඩා ඇමැතිවරයකු ලෙස තමාගේ නම ඇතුළත් විය යුත්තේ ඉහත ලැයිස්තුවෙන් කුමකටද යන්න තීරණය කළ යුත්තේ හරීන් ප්‍රනාන්දු මහතාමය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව බේරාගෙන එය ජනතාවගේ ක්‍රීඩාවක් බවට පත්කිරීමේ අවස්ථාව තවමත් ඇමැතිවරයාට ඇත. ඒ හරහා ගාමිණී දිසානායක මැතිඳුන්ට පසු මෙරට බිහිවූ දක්ෂතම ක්‍රීඩා ඇමැතිවරයා බවට පත්වීමේ අවස්ථාවද ප්‍රනාන්දු මහතාට තවමත් ඇත. නමුත් ඒ සඳහා තවත් වැඩි කාලයක් නැත. හැමදාම කියන පරිදි අදත් කීමට ඇත්තේ එකම දෙයමය. “ඇමැතිතුමනි, තීරණය ඔබ අතේය.”