කොරෝනා වෛරසය ලෝකයේ සෑම අංශයකටම බලපෑම් කරමින් ලෝකවාසීන්ට මරණ බිය දනවන්නට පටන්ගෙන ඇත. ඒ 1981 වසරේ එළිදැක්වුණු අන්ධකාරයේ දෙනෙත් හෙවත් The Eyes Of Darkness නම් ග්‍රන්ථයේ සඳහන් උපකල්පනයන්ට බොහෝ සමානකම් දක්වමිනි. එම ග්‍රන්ථයේ සඳහන් පරිදි 2020 වර්ෂයේ මුල් භාගයේදී වෛරසය නිසා ලෝකයේ විශාල මිනිස් සංහාරයක් සිදුවෙයි. වසර 40කට පෙර ඩීන් කුන්ට්ස් කළ උපකල්පනය අද වන විට බොහෝදුරට යථාර්ථයක් බවට පත්ව තිබේ. තවමත් මේ වෛරසයට එරෙහි නිශ්චිත ඖෂධයක් සොයාගෙන නොමැති අතර වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා සිදුකරන ප්‍රමුඛතම කාර්යය වන්නේ නිරෝධායනය කිරීමයි.
චීනය, දකුණු කොරියාව, ඉතාලිය, වැනි රටවල කොරෝනා වෛරසය දැඩි ලෙස ව්‍යාප්ත වීමත් සමඟ ඒ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් නැවත ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් නිරෝධායනය සඳහා යොමුකරනු ලැබුණි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන හතළිස් අටක් ක්‍රියාත්මක කර පවත්වාගෙන ගිය අතර නියමිත දින දාහතර නිරෝධායනය වීමෙන් පසුදා අදාළ පිරිස් සමාජගත වීමෙන් පසු මේවන විට නිරෝධායන මධ්‍යස්ථාන තිස්තුනක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතී.

ඇතැමුන් නිරෝධායනය සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකරගෙන තිබුණද නිරෝධායන ක්‍රියාවලියේදී වන්නේ යම්කිසි රෝගකාරකයක් හෝ පළිබෝධකයක් පැතිරයෑම වැළැක්වීම සඳහා පුද්ගලයන් අනෙකුත් පුද්ගලයන්ගෙන් ඈත්කර තිබීමයි. රෝග පැතිරීම වැළැක්වීම සඳහා නිරෝධායන කටයුතු අතීතයේ සිටම සිදුකර තිබේ.
විඩිත්තයිපලයි නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 233ක්, මයිලඞ්ඩිහි 20 දෙනෙකු, පොම්පෙමඩු හි පුද්ගලයින් 213ක්, පෙරියකාඩුහි 123ක්, බෝගොඩ නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 103ක්, තන්තිරිමලේ නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 10ක්, පුනානිහි පුද්ගලයින් 758ක්, කන්දකාඩු මධ්‍යස්ථානයේ 405ක්, ගල්කන්ද මධ්‍යස්ථානයේ පුද්ගලයින් 108ක්, දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 86ක්, කටුකැලියාවේ 108ක්, කහගොල්ල නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 198ක්, දියතලාව යුද හමුදා රෝහල් නිරෝධායන මධ්‍යස්ථානයේ 67 දෙනෙක්, දියතලාව ගැමුණු හේවා බළකා නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 124ක්, දියතලාව යුද හමුදා නිවාඩු නිකේතනවල පුද්ගලයින් 157ක්, රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 217ක්, කුණ්ඩසාලේ නිවාඩු නිකේතනයේ 97 දෙනෙක්, නාවික හමුදාවේ නිපුණ – බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 80ක්, අටලුගම නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 20ක්, පුත්තලම සහිරා විද්‍යාල නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 103ක් ,මීගමුව ඩොල්ෆින් හෝටලයේ නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 62 දෙනෙකු සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 172ක් ,මුලතිව්හි පුද්ගලයින් 203ක් සහ පූරවාසකුලම් නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 206ක් වශයෙන් පුද්ලගයින් 4683 දෙනෙක් නිරෝධායන කටයුතු සඳහා මේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති අතර ඉන් පුද්ගලයින් 78 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත. එසේම මේවන විට නිරෝධායන කටයුතු නිම කිරීමෙන් අනතුරුව පුද්ගලයින් 3415 දෙනෙකු (පුවත්පත මුද්‍රණයට යන විට) නිවෙස් බලා පිටත්ව ගොස් ඇත. ඔවුන් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත තවත් දින 14ක කාලයක් නිවාසවල නිරෝධායනය කිරීමට සිදුවේ. නිරෝධායනයට යොමු කළ පිරිස අතර විදේශිකයින් 31 දෙනෙකුද සිටි අතර ඔවුන් ජර්මනිය, එක්සත් රාජධානිය, බෙල්ජියම, ඉතාලිය, දකුණු කොරියාව, නෙදර්ලන්තය, ඉරානය, පිලිපීනය, චීනය, ඉන්දියාව, කැනඩාව, ප්‍රංශය, ජපානය සහ ස්වීඩනය ආදී රටවල පදිංචිකරුවන්ය. ඔවුහු දියතලාව, පෙරියකාඩු, පූනානි, පුරවරසන්කුලම්, රන්ටැඹේ, නිපුන-බූස්ස ප්‍රදේශවල ඉදිකර ඇති නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටියහ.

එසේම ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන ඵීක් ඵ්ටබසසෙජ් නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස පසුගිය දිනෙක ඉල්ලීමක් සිදු කර තිබූ අතර, ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය මත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සෘජු මැදිහත්වීම යටතේ එම ශ්‍රී ලංකිකයා ආරක්ෂිතව කොළඹ වරායට ගෙන ඒමට පසුගිය අප්‍රේල් 06 වැනිදා නාවික හමුදාව කටයුතු කරන ලදී. ඒ සමඟම එම නෞකාවේ සිටියදී රෝගාතුර වූ ජර්මානු ජාතික කාන්තාවක්ද නාවික හමුදාව විසින් මෙරටට රැගෙන විත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදී. එසේම නාවික මෙහෙයුම් ආශ්‍රිතව සහ ඉදිරියේ දී සිදුවන සියලුම නාවික කටයුතු ආශ්‍රිතව සොයාගන්නා ආසාදිතයින් සහ නාවිකයින් නිරෝධායන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිපුණ – බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය සූදානම් කර ඇත.
රැඳවූවන්ගේ දෛනික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය සියලුම මූලික පහසුකම්වලින් එම නිරෝධායන මධ්‍යස්ථාන සමන්විත අතර ඒවාට අවශ්‍ය උෂ්ණත්වමාපක, වයිෆයි පහසුකම්, අනෙකුත් සෞඛ්‍ය පහසුකම්ද සපයා ඇත. මේ සියලු කටයුතු සිදුකරන්නේ තමන්ගේ සහෝදර ජනතාව ආරක්ෂා කරගනිමින් රටම ආරක්ෂා කර ගැනීමේ අභිප්‍රායෙනි.
මෙහිදී විශේෂයෙන්ම සිහිකළ යුතුවන්නේ යුද හමුදා සෙබළුන් මේ වෙනුවෙන් සිදුකරනු ලබන කැපකිරීම් සම්බන්ධයෙනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට කළ දැනුම්දීමට අනුව මේ නිරෝධායන මධ්‍යස්ථාන දින දෙකක් වැනි කාලයක් තුළදී නිරෝධායන කටයුතුවලට උචිත අයුරින් සකස් කළ අතර එහිදී දිවා රාත්‍රී නොබලා ඔවුන් කළ කැපකිරීම් යළි යළිත් සිහිකළ යුතුමය. සැබැවින්ම ඔවුන් මේ කරන්නේ මානුෂීය මෙහෙයුමක් යැයි කීවද එය අසාධාරණ නැත. මන්ද ඔවුන්ගේ ඒ කැපකිරීම ඒ තරමටම අගය කළ යුතුය.
මේ ගැන අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපතිවරයා ප්‍රකාශ කළේ “අපේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් භාවිතා කරනු ලබන ඇඳන් 2000ක්, මෙට්ට 4000ක්, කොට්ට 4000ක් සහ ඇඳ ඇතිරිලි එම වැඩිදියුණු කරන ලද නිරෝධායන මධ්‍යස්ථාන වෙත ලබා දී තිබෙනවා. අපගේ කුඩා ආර්ථිකය සමඟ, මෙම කෙටි කාලය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යන අපගේ ශ්‍රී ලාංකික රැඳවියන්ට හැකි සෑම දෙයක්ම උපරිමයෙන් ලබා දීමට අපි උපරිම උත්සාහයක් දරනවා. දැන් කොට්ටයක් සමඟ නිදාගත්තත්, අපි දින ගණන්, සති ගණන් ගස් හා ගල් යට කැලෑවල නිදා සිටි හමුදාවක්” යනුවෙනි.
නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකිරීමේදී තම දහඩිය මහන්සිය හෙලූ යුද්ධ හමුදා සෙබළා නිරෝධායන කාර්යයේදී කැපකිරීම් කරනුයේ එලෙසය.
මෙවන් කැපකිරීම් රැසක් යුද්ධ හමුදා සෙබළුන් සිදුකරන්නේ කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන්ය. එබැවින් කොරෝනා පැතිරුණු රටක සිට පැමිණි අයවළුන් රජයෙන් සිදුකරන නිරෝධායනය වෙත යොමුවීම ඔවුන්ගේ වගකීමක් ලෙස සලකා කටයුතු කළ යුතුය.
එබැවින් මේ මොහොතේ නිරෝධායනට එරෙහිව සටන් කිරීම හෝ යුද්ධ හමුදාව මේ වෙනුවෙන් කටයුතු කිරීමට එරෙහිව සටන් කරනවා වෙනුවට නිරෝධායන ක්‍රියාවලියට උපරිම අයුරින් සහයෝගය දී අනිසි බියක් ඇතිකර නොගෙන සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් පිළිපැදීම ශ්‍රී ලාංකික සියලු දෙනාගේම වගකීමකි.
දිලංක ගුණතිලක











