‘තුන් පිම්ම’ නොහොත් ‘ට්‍රිපල් ජම්ප්’ (Triple Jump) යනු ක්‍රීඩා ලෝකයේ ඇති ජනප්‍රිය ක්‍රීඩාවකි. එනම් එහිදී ක්‍රීඩකයා වේගයෙන් දිවවිත් තම දෙපාවලින් ක්‍ෂණිකව පිමි තුනක් පනිමින් අවසානයේදී තවත් දිගු පිම්මක්ද පනිමින් ක්‍රීඩාව නිම කරයි. මෙම ක්‍රීඩාව සැබැවින්ම නැරැඹීමද ඉතාමත් දර්ශනීය දසුනක් ඇති එමෙන්ම ඉතාමත් ක්‍රියාශීලී, වේගවත් ක්‍රීඩාවකි. මෙම ක්‍රීඩාවේ කතාව මාගේ මතකයට ආවේ වෙනත් ආකාරයක අපූරු තුන් පිම්මක වගතුගක් හෙළිවන්නට වූ නිසාය. එනම් මේ කතාව එක්තරා අපූරු මිනිසකුගේ ජීවිතයක තුන් පිම්මක කතාවකි.
අද මුළු මහත් ලෝකයම ගිලගනිමින් තිබෙන කොරෝනා මාරයාගේ වගතුග අතරින් මෙම ‘ටි්‍රපල් ජම්ප්’ කතාන්දරයද හෙළිවෙයි. එනම් ඉතාලියේ සිටින වයස අවුරුදු 101ක් වන වයෝවෘද්ධ මිනිසකු පසුගියදා කොරෝනා රෝගය වැලඳී රෝහල්ගත කළේය. ඉතාලියේ සිටින වයස අවුරුදු 70කට අධික මිනිසුන් දහස් ගණනින් කොරෝනා මාරයා බිලි ගනිමින් තිබෙන විටදී මෙම ‘මහලු සීයා’ටද වෙනත් කුමන පිළිසරණක්ද? රෝහලට ඇතුළත් කරන විටදී ඔහු දැඩිසේ ගිලන්ව සිටියේය. ඔහුගේ ඥාතීන් එක සිතින්ම සිතා සිටියේ තම දයාබරයා නැවැත නොඑනු ඇතැයි කියාය. පැය ගණන් ගෙවී, දින ගණන්ද ගෙවුණේය. මහත් ආශ්චර්යයක් සිදුවන්නට ගත්තේය. මේ මහලු මිනිසාගේ කොරෝනා රෝගී තත්ත්වය සෙමෙන්, සෙමෙන් යහපත් අතට පත්වන්නට ගත්තේය. රෝහල් කාර්යය මණ්ඩලයද දුක්ගැහැට රැසක් මැද මහලු රෝගියාට සත්කාර කළේය. දින හත, අටක් යන විට මේ මහලු මිනිසා සම්පූර්ණයෙන්ම සුවය ලැබුවේය. අවුරුදු 101ක් වයසැති සීයාගේ මුවින් සිනාරැලි මතුවන්නට ගත්තේය. කනත්තට රැගෙන යන දහස් ගණනක රෝගීන්ගේ මළ සිරුරු අතරින් මෙම අපූරු මිනිසා නැඟිට ගෙදර ගියේය. මෙම ‘ඉතාලි සීයා’ මුළුමනින්ම යහපත් ලෙස සුවය ලබා තිබුණේය. කොරෝනා මාරයා, සීයාට පැරදී පරක්, තෙරක් නැතිව පලා යන්නට විය. මෙය දැනට දින කිහිපයකට ඉහතදී ඉතාලියේ සිදුවූ සත්‍ය සිදුවීමකි.

දැන් මේ කතාන්දරයත් සමඟ මා මෙහි මුලින් පැවසූ තුන් පිම්මේ වගතුග කුමක්ද? ඉතාලියේ රිමිනි (Rimini) නමැති නගරයේ පිහිටි රජයේ රෝහලේදී මෙම සිදුවීම සිදුවී ඇත. මෙම සිද්ධිය සැබෑ ලෙසම විශ්මයජනක සිදුවීමක් හෙයින් මේ ගැන වාර්තා කිරීමට මාධ්‍යවේදීන් මහත් උත්සුක වූයේය. එම අවස්ථාවේදී රිමිනි නගරයේ උප නගරාධිපතිනිය වන ග්ලෝරියා ලිසී මෙම අපූරු සිදුවීම ගැන මාධ්‍යයට කරුණු වාර්තා කර සිටියාය. ඇයගේ වදනින් මෙසේය.
‘කොරෝනා වසංගතය පටන් ගත්තට පස්සේ මෙවැනි සිදුවීමක් වුණේ පළමුවැනි වතාවටයි. මේ මහලු මිනිසාගේ වයසට බොහෝ අඩු රෝගීන් දහස් ගණනක් මරණයට පත්වුණා. එහෙත් මේ සීයාගේ ජීවිතය ආශ්චර්යවත් ලෙස දෙවියන් විසින් බේරාගෙන තිබෙනවා. මේ කතාවේ තවත් අපූරුම සිදුවීමක් තිබෙනවා. එය නම් මේ මිනිසා තමන්ගේ ජීවිතයේ මරුකපොලු තුනක් දැන් පැනලා තියෙනවා. මේක හරියටම ‘තුන් පිම්මක්’ වගේ. ඔහු මෙලොව ඉපදිලා තියෙන්නේ 1918 වසරේදී. 1918 වසරේදී තමයි මේ ලෝකයේ මෙතෙක් ඇතිවුණු භයානකම මාරක වසංගතය සිදුවුණේ. ඒක තමයි ‘ස්පැනිෂ් ෆ්ලූ’ (Spanish Flu) නමැති භයානක උණ රෝග වසංගතය. අපගේ ඉතිහාසයේ කියැවෙන හැටියට මෙම වසංගතය 1918 පටන් අරන් 1919 අග වනකම් තිබිලා තිබෙනවා. මෙයින් මියගොස් ඇති මිනිසුන් ප්‍රමාණය මිලියන 40 – 50ක් වන බව පැවසෙනවා. එතකොට මෙම කාලයේදී මෙම සීයා වයස අවුරුදු 1ක කිරි දරුවෙක්. ඒත් බලන්න මිනිසුන් මිලියන ගණනින් මියයන විට මේ කිරි දරුවා බේරුණා. සමහර විට ඒ කාලයේ ඔහුගේ පවුල්වල බොහෝ දෙනකුත් මියයන්න ඇති. අපි ඒ ගැන දන්නේ නැත.
ග්ලෝරියා ලිසී උප නගරාධිපතිනිය මෙම කතාන්දරය කියාගෙන යන විටදී මාධ්‍යවේදීන් තමන්ගේ දෙනෙත් නළලේ තබාගෙන අසා සිටියේය. ඇය තවත් කතාව කියයි.
‘මේ සීයා ඉපදුණු වසරේදී 1918දීම තමයි පළමු ලෝක මහා යුද්ධය නිමවුණේ. එය ඔහුට එතරම් බලපාන්නේ නැතුව ඇති. එහෙත් දෙවැනි ලෝක මහා යුද්ධය ඇති වුණේ 1939 සිට 1945 දක්වා. ඒ කාලයේදී ඔහු අවුරුදු විසි ගණනක තරුණයෙක්. දෙවැනි ලෝක මහා යුද්ධයට ඉතාලියත් මැදිහත් වෙලා. ඒ රටේත් මිනිසුන් විශාල ලෙස මියගියා. එහෙත් කෙසේ හෝ මේ මිනිසාට එම යුද්ධ සමයේදීත් අනතුරක් වුණේ නැහැ. එතකොට ඔහු තමන්ගේ ජීවිතයේ භයානකම පිමි දෙකක් පැනලා, අද ඔහු පැනලා තියෙන්නේ තුන් වැනි පිම්ම. පළමු පිමි දෙකටත් වඩා භයානකම පිම්ම මේක තමයි. ඉතාලියේ මෙතෙක් කොරෝනා නිසා මියගිය මිනිසුන්ගෙන් 86%ක් වයස අවුරුදු 70ට වැඩි අයයි. ඒ නිසා මේ සිදුවීම සත්‍ය ලෙසම ආශ්චර්යයක්.’

රිමිනි නගරයේ උප නගරාධිපතිනිය විසින් මෙම විශ්වනීය මහලු මිනිසා හඳුන්වා ඇත්තේ ‘Mr. P’ (මිස්ටර් පී.) වශයෙනි. සමහරවිට ඉතාලි නම්ගම් ඉතා දීර්ඝ ඒවා හෙයින් මෙසේ කෙටි වදනින් හඳුන්වා ඇත. මෙම ‘මිස්ටර් පී’ රෝහලින් එළියට පැමිණි පසුව මාධ්‍ය විසින් ලබාගත් සේයාරුවක්ද ඇති අතර, ඔහු එහි ඉතාමත් සතුටු සිනහමුසු මුහුණුවරකින් සිටින අයුරු දැකිය හැකිය. ඔහු රෝහලින් රැගෙන ගොස් ඇත්තේ ඔහුගේ නෑදෑ හිතවතුන් විසිනි.
මෙම කොරෝනා රෝගියාගේ සුවපත්වීම මඟින් අපට අනාගතය ගැන යම් විශ්වාසයක්ද තැබිය හැකි බැව් ඉතාලි උප නගරාධිපතිනිය ප්‍රකාශ කර ඇත. එසේම තවද අපගේ අනාගතය ඉදිරියටත් ලියා තැබිය හැකි සුබවාදී වටාපිටාවක්ද ඒ මඟින් සැකසෙනු ඇතැයි ඇය වැඩිදුරටත් අවධාරණය කර ඇත. මෙම මහලු රෝගියා දිනෙන්, දින සුවය ලබන විටදී එම රිමිනි නගරයේ රෝහල් කාර්යය මණ්ඩලය පවා මහත් ප්‍රමෝදයකට සහ ධෛර්යයකට පත්ව ඇතැයිද වාර්තා වෙයි.
ඉතාලියේ ජාතික සෞඛ්‍ය ආයතනයද මෙම සිදුවීම කෙරෙහි දැඩි අවධානය යොමුකර ඇත. ඔවුන්ගේ ආයතනයේ වත්මන් වාර්තාවලට අනුව අවුරුදු 85 – 90 ඉක්මවූ කිසිදු කොරෝනා රෝගියකුට ජීවත් වීමේ වාසනාව හිමිව නොමැත. එකම රෝගියා මෙම ‘මිස්ටර්. පී’ පමණක් බැව්ද ප්‍රකාශ කර ඇත. ලෝක වාර්තාවලට අනුව ලෝකයේ රටවල් අතරින් දෙවැනි වැඩිහිටිම ජනතාව වාසය කරන රට වන්නේද ඉතාලියය. ඉතාලියේ ජනගහනයෙන් 23%ක්ම වයස අවුරුදු 65කට වඩා වැඩිහිටියන්ය. ශ්‍රී ලංකාවෙන් පවා බොහෝ ශ්‍රී ලාංකිකයන් එම රටට ගොස් වැඩිහිටි උපස්ථායකයන් වශයෙන් සේවය කරන්නේද ඒ හෙයිනි.
මේ වන විට ලෝකයේ රටවල් රැසකදීම කොරෝනා රෝගයෙන් මියගිය ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයකටද අයත් වන්නේ වැඩිහිටි රෝගීන්ය. එනම් වයස අවුරුදු 65 ඉක්මවූ පිරිස් වන අතර, ඉන් බහුතරයක්ම පිරිමි පුද්ගලයන්ය. ‘මිස්ටර් පී’ ගේ වගතුග කතාවන අතරේ තවත් සුවිශේෂී කතාවක්ද එළිදැක්වෙයි.
එනම් මේ වන විට කොරෝනා නොහොත් ‘කොවිඞ්-19’ මාරක වසංගත රෝගයෙන්, ලොව වටා රටවල අවුරුදු 100 ඉක්මවූ රෝගීන් රැසක් වාර්තා වී තිබුණද, ඔවුන් බහුතරයක් රෝහල්වලදී මියගොස් ඇත. කොරෝනා රෝගයෙන් මෙතෙක් දිවි බේරාගෙන ඇති වැඩිහිටිම පුද්ගලයා වාර්තා වන්නේ චීනයෙනි. මුළු ලෝකයටම කොරෝනා වසංගතය ව්‍යාප්ත කළ චීනයේ වූහාන් නගරයේ වෙසෙන අවුරුදු 103ක් වයසැති ෂැන්ග් ගුවාන්ග්ෆෙන්ග් නමැති වැඩිහිටි කාන්තාව මෙසේ කොරෝනා රෝගය වැලඳී සුවපත්වූ බැව්ද වාර්තා වෙයි. එමෙන්ම දකුණු කොරියාවේද 97 හැවිරිදි කාන්තාවක් කොරෝනා වැලඳී සුවපත්වී ඇත. තවත් අපූරු වගතුගක් ලෙස වාර්තා වන්නේ කොරෝනා රෝගය වැලඳුණු වැඩිහිටිම පුද්ගලයා වන්නේ අවුරුදු 108ක් වයසැති එංගලන්තයේ වෙසෙන වැඩිහිටි කාන්තාවක වන අතර, එහෙත් ඇය රෝහල්ගතව දින කිහිපයකින් මරණයට පත්ව ඇත. කොරෝනා සහ ශතකය නිම කළ මිනිසුන්ගේ ‘තුන් පිම්ම’ කතාන්දරය එය වෙයි.
ප්‍රියන්ත හෙට්ටිගේ











