“ඇවන්ගාඞ් සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩුදාන්න රජය බලපෑම් කළ හැටි” යන මැයෙන් හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා පසුගිය සතියේ එක්තරා මුද්‍රිත මාධ්‍යයකට හෙළිදරව්වක් කර තිබිණි. එම පුවතේ එක්තරා ඡේදයක මෙසේ සඳහන්වේ.
“ඔව්. මේ ගැන දිගටම අරලියගහ මන්දිරයේ මීටින් තියෙනවා. ඔය මීටින්වලට එනවා එවකට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් වුණු දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය. ඇය මේ නඩුවට සම්බන්ධ වෙන්නේ ඒ විදියට. මගේ අදහසේ හැටියට ඇය ඒ රැස්වීම්වලට පැමිණීම සම්පූර්ණයෙන්ම වැරැදියි. මොකද අල්ලස් හෝ දූෂණ කොමිසම ඉතාම ස්වාධීනව කටයුතු කළයුතු ආයතනයක්. ඒ නිසා තමයි 1994 දි අල්ලස් දූෂණ කටයුතු ගැන කටයුතු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනම ආයතනයක් ලෙස ආරම්භ කළේ. පාර්ලිමේන්තුවේදී සියලු දෙනා ඒකමතිකව මේ පනත සම්මත කළා.
නමුත් මේ රැස්වීම්වලට අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරිය වගේම නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපිව ගෙන්වල දේශපාලකයන් අපෙන් ප්‍රශ්න කරන තත්ත්වයක් ඇතිවුණා. මේක කිසි දිනෙක මේ රටේ සිදුවෙලා තිබුණෙ නැහැ. මේක පැහැදිලිවම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය වීමක්. එහිදී ඔහුට ප්‍රශ්නයක් යොමුවෙනවා” මේ ආණ්ඩුව මේ තරම් ඇවන්ගාඩ නඩුව ගැන උනන්දු වුණේ කුමක් නිසා කියලද ඔබ හිතන්නේ.
“ආණ්ඩුව කිව්වට මේකට තදබල අවශ්‍යතාව තිබුණේ රාජිත සේනාරත්න හා චම්පික රණවක ඇමැතිවරුන්ට. අගමැතිතුමා එහෙම බලපෑමක් කළේ නැහැ. එක සැරයක් එෆ්.සී.අයි.ඩී. රැස්වීම තිබුණා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මම එතුමාට කිව්වා අපට තියෙන බලපෑම ගැන. කොතරම් බලපෑම් කළත් සාක්ෂි නැතිව නඩු දාන්න බැහැ කියල. එතුමා ඒක පිළිගත්තා. රාජිත සේනාරත්න හා අනුර කුමාර දිසානායක පැත්තකට හැරිල කිව්වා නයාට ගහල පොල්ල වරද්දගත්ත වගේ වැඩ කරන්න එපා” කියලා.
මම හිතන්නෙ මේ තරම් බලපෑම් කරන්න හේතුව දේශපාලන හේතුවකටත් වඩා වාණිජ හේතුවක් කියලයි. කාටහරි අවශ්‍යතාවක් තිබුණා මේ ව්‍යාපාරය කඩල අරන් වෙන කාටහරි අරන් දෙන්න. මොකද මේක කෝටි ගණන් ලාභ ලැබෙන ව්‍යාපාරයක්.”
හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා අදාළ පුවත්පතේ පිටුවක් පුරා නඟාතිබූ චෝදනා සම්බන්ධයෙන් අතරින් පතර නම කියැවුණ රජයේ ඇමැතිවරුන් දෙදෙනකු වන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න, බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන්ද අප මෙම ප්රකාශයන්හි සත්‍ය අසත්‍යතාව ගැන කරුණු විමසා සිටියෙමු.

මේ එහිදී අපට රාජිත සේනාරත්න මහතා ලබාදුන් උත්තරය.
සුහද ගම්ලත් ඉන්නෙ රාජපක්ෂල සමග විත්තිය අපි දන්නවා. මම ඔය එතුමත් සමඟ කිසිම සම්බන්ධයක් නැහැ. නමුත් පසුගිය ආණ්ඩු කාලෙ සම්බන්ධයි. නමුත් මේ ආණ්ඩුව ආව වෙලාව පැහැදිලිවම එතුමාට විරුද්ධවයි හිටියෙ. එතුමා මහ ලොකුවට කීවාට මගෙ පුතා ලව්ව මා සමඟ කතා කරන්න හැදුවා. “තාත්තට කියන්න තාත්ත කියන ඕනෑම දෙයක් කරනව. ඒ නිසා මට හම්බවෙන්න අවස්ථාවක් සලසා දෙන්න” කියල. ඒ විතරක් නෙවෙයි එතුමා පොහොට්ටුවෙ රැස්වීමකත් ඉඳගෙන හිටියෙ. පත්තරේ පින්තූර තිබුණා. ඇවන්ගාඞ් එකේ මගෙ ස්ථාවරය මුළු රටම දන්නවා. ජනාධිපතිතුමා කැඳෙව්වා ඇවන්ගාඞ් එක ගැන අහන්න. ඒ වෙලාවෙ මම මගේ අදහස ප්‍රකාශ කළා. ඒක පිළිගත්තා. පිළිගත්ත විතරක් නෙවෙයි ඒ කාලෙ නාවික හමුදාවෙ හිටියෙ ඔය දැන් ත්‍රිවිධ හමුදා මෙහෙයුම් මාණ්ඩලික ප්‍රධානී රවි විජේගුණවර්ධන. එයා කිව්වා මේක අපි ගත්තොත් රජයට විශාල මුදලක් හම්බවෙනව කියල. එහෙම කියල එයා මගෙ කතාව සනාථ කළා. විජේදාස රාජපක්ෂ මගේ අල්ලපු පුටුවෙ හිටියේ. එයා ඇවන්ගාඞ් එක ගැන වචනයක් කතා කළේ නැහැ. ඔහු තමයි ඇවන්ගාඞ් එකේ ආරක්ෂකයා. ඒ නිසා ඒ ගැන මෙයාට අමුතු බලපෑමක් කරන්න ඕනෙ නැහැ. ඒ අනුව තමයි ඇවන්ගාඞ් එක ජනාධිපතිතුමා භාරදුන්නෙ නාවික හමුදාවට. මමයි මූලික වුණේ එතුමා දොට්ට දාන්න. ඉතින් දොට්ට දාන්න හදන එකාම ගිහින් කතා කරනවද බලපෑම් කරන්න. මම ගොනෙක්යැ. ඒ තරහ තමයි එයාගෙ තියෙන්නෙ. මගෙ පුතාට කියල තිබුණ එයාට මාව හම්බවෙන්න වෙලාවක් අරන් දෙන්න කියලා. පුතා මේ මිනිහ ගැන මට කීවහම මම පුතාට කිව්වා පිස්සුද කියල. ඔය අය හැමදාම කොම්පැනිකාරයිගෙ සල්ලිවලට හිටියෙ. ඔහුට නීතිපතිකම හම්බවුණේ නැත්තෙ අපි හින්ද. ඒක තමයි ඔය වෛරය. විජේදාස රාජපක්ෂ හැදුව එයාව දාන්න. එහෙම දැම්ම නම් විජේදාස එක්ක හැම දෙයක්ම කරන්න පුළුවන් කියල හිතුව. ඇවන්ගාඞ් එකත් විජේදාසගෙ යාළුවනෙ. විජේදාස තමයි මෙයා ආරක්ෂා කළේ. එයා තමයි සුහද ගම්ලත් නීතිපති කරන්න පුළුවන් තරම් දැඟලුවෙ. විජේදාස ඇමෙරිකාවෙ ගිහින් ඇවන්ගාඞ් අයිති අය එක්ක කළ දේවල් පින්තූර ආවනෙ. සුහද ගම්ලත්ට ඇවන්ගාඞ් එක ගැන අමුතුවෙන් ප්‍රෙෂර් දාන්න දෙයක් නැහැනෙ. ඒව තියෙන්නෙ අධිකරණය හමුවෙනෙ. අපි ආව දවසෙ ඉඳන් ඇවන්ගාඞ් එක ගැන අදහස් ප්‍රකාශ කරල තියෙනවා. අපි මොකටද මෙයාට ප්‍රෙෂර් එක දාන්නෙ. අපි අදහස් ප්‍රකාශ කළා මිස අමුතුවෙන් බලපෑම් කරන්න දෙයක් නැහැනෙ. සුහද ගම්ලත් සහ විජේදාස රාජපක්ෂ හිටියෙ ඇවන්ගාඞ් එක සමගයි. විජේදාස රාජපක්ෂ තමයි කීවෙ එයා ඉන්නකම් ගෝඨාභයට විරුද්ධව යන්නෙ නැහැ කියල.”
මෙම සිද්ධිය හා සමාන්තරව පසුගිය අඟහරුවාදා මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකට සහභාගි වී ඉන් පිටතට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගෙන් එහි සිටි මාධ්‍යවේදීන් පිරිසක් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධ කරමින් ප්‍රශ්නයක් යොමුකර තිබිණි. එම ප්‍රශ්නයෙන් කියැවුණේ “ඔබ පක්ෂයේ නායකයා අරලියගහ මන්දිරයට ගිහින් සාකච්ඡා පවත්වා තියෙනව” යන්නයි. එයට පිළිතුරු දෙමින් විජිත හේරත් මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
“ඔබ ඔය කියන චෝදනා ඇත්තක් නෙවෙයි. ඔය පුවත් හදන අය ලංකාවෙ ඉන්නව. ඒව හදන්නෙ වලව්වල බැලමෙහෙවරකම් කරන අයයි. රාජපක්ෂ වලව්වෙ වළං හෝදන අයට කණ්ඩායමට අවශ්‍ය වෙලා තියෙන්නෙ තමන්ට එරෙහිව නැඟෙන සැබෑ විකල්ප බලවේගවලට එරෙහිව මඩ ව්‍යාපාර ගෙනයන්න. අපි ඕවට බය නැහැ. අපේ තියෙන්නෙ අනන්‍යතාව තහවුරු වන ප්‍රතිපත්තියක් තියෙන දේශපාලන බලවේගයක්.”

බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ මෙවැන්නකි.
“යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු 2015 ජනවාරි මාසෙ දින කීපයකට පසු ආයුධ ගබඩා දෙකක් මහජනයා වැටලුවා. එකක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවෙ. අනෙක ගාල්ල වරායෙ තිබුණ ‘මහනුවර’ නැවක. ඒක ගමන් කළ හැකි නැවක් නොවේ. කසිකබල් නැවක්. ඔය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවෙ ආයුධ අයිති පෞද්ගලික සමාගමක් වන ‘රක්නා ලංකා’ එකට කියල ප්‍රකාශ වෙලා ප්රශ්නය යට ගියා. හැබැයි මේක ඇවන්ගාඞ් කියල තමයි මතුවුණේ. ඔය අතරෙ දූෂණ වංචා පිළිබඳ අගමැතිතුමාගෙ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වුණා. එයට විවිධ ප්‍රධානීන් විටින් විට පැමිණියා. එක්කෙනෙක් තමයි නීතිපති දෙපාර්තමේන්තුවෙ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත්. එතැනදි මේ ගැන ප්‍රශ්නයක් තිබුණා. නීති විරෝධී අවි ආයුධ ගබඩාව පවත්වාගෙන යෑම ගැන. ඒ ගැන විමසීමක් කළා. පැමිණිල්ලක් තියෙනවා මොකද කරන්නෙ කියන එක. සුහද ගම්ලත් එතැනදි ප්‍රකාශ කළා එයාගෙ දෙවැනියා වසන්ත නවරත්න බණ්ඩාර දක්ෂ නිලධාරියෙක් එයාව පත්කරල තියෙනවා. නීති උපදෙස් ගන්න කියල. ඊළඟ සතියෙ ඔහු කීවා පැහැදිලි උපදෙස් ඔහුගෙන් ලැබුණා. ඒ අනුව පස්දෙනෙක් අත්අඩංගුවට ගන්න නියමිතයි කියල. උපදෙස් ලැබුණ කීවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න යෝජනා කළේ සුහද ගම්ලත් අපි නෙවෙයි. ඒ සඳහා පාදක කරගන්නෙ ඔහුගේ දෙවැනියා වන වසන්ත නවරත්න බණ්ඩාර. පසුව සේවයෙන් ඉවත් වුණාට පසු එය අන්තර්ජාලයට මුදාහැරියා. ඒක දැන් ප්‍රසිද්ධ ලියැවිල්ලක්. ගිනිඅවි ආඥා පනත යටතේ, පුපුරණ ද්‍රව්‍ය ආඥාපනත යටතේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අවි ආයුධ අපනයනය කිරීම සහ උදව් කිරීම චෝදනා යටතේ ගෝඨාභය රාජපක්ෂ, නිශ්ශංක සේනාධිපති, පාලිත ප්‍රනාන්දු, යාපා ඇතුළු පස්දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු දුන් නිර්දේශ එහි දැක්වෙනවා. ඊට පසු මේ ප්රශ්නය සමාලෝචන කමිටුවට සුහද ගම්ලත් එක එක කාරණා කියල එහා මෙහා වුණා. එක දවසක් කීව දෙමළ පරිවර්තනය නැහැ කියල. ඒ සඳහා කල් ගත්තා. කල් ගැනීම අපට තේරුණා කල්මරනව කියල. ගොඩාක් කාලයකට පසු ඔහු කීව මේකෙ අපරාධ චෝදනාවක් නැහැ කියල. අල්ලස් චෝදනාවක් තමයි තියෙන්නෙ කියල. මට සරලව කියන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න ඕනෑ කියල යෝජනා කළේ අපරාධ නීතිය යටතේ. නීතිපති දෙපාර්තමේන්තුවෙ හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් එහෙම ගන්න බැහැ කියල සති ගාණකට පසු කීවෙත් සුහද ගම්ලත්. මේ රටේ මහජනයා තීරණය කරන්න ඕනෑ ඇයි එහෙම වුණේ කියලා. ඒකටයි සුහද ගම්ලත් උත්තර දෙන්න ඕනෑ. එක එක්කෙනාට චෝදනා කරල හරියන්නෙ නැහැ. ඒකෙ නිල වාර්තාව අන්තර්ජාලයෙ තියෙනවා. ඔහු අන්තර්ජාලයට උත්තර දිය යුතුයි. අපි ලියපු ලියුමක්වත් නැහැ. අපි කළ ප්‍රකාශයක්වත් නැහැ. පතරොමක් අතේ තියාගත්ත අයෙක් පුපුරණ ද්‍රව්‍ය මිලිග්‍රෑම් එකක් අත තියාගන්න අයෙක් හිරේ යන මේ රටේ පතරොම් 5000ක් ගොඩගහගෙන ඒකෙන් ව්‍යාපාර ගෙනගිය අය කොහොමද නිදහස් වෙන්නෙ කියල සුහද ගම්ලත්ල උත්තර දිය යුතුයි.”
ප්‍රේමලාල් විජේරත්න











