සාමාන්‍යයෙන් ජාතික වනෝද්‍යානයක් හෝ එවැනි ආකාරයේ සුවිශේෂී පරිසර පද්ධතියක් ගැන කතා කරද්දී එක පාරට අපේ මතකයට එන්නේ කොළඹින් බොහෝ ඈත ප්‍රදේශයක්. නමුත් කොළඹ නගරය ආසන්නයේම පිහිටි එවැනි සුවිශේෂී පරිසර කලාප කිහිපයක්ම තියෙනවා. වැඩි දෙනාගේ අවධානයට ලක් නොවුණු මෙන්ම බොහෝ දෙනකු නොදන්නා අන්න එවැනි සුවිශේෂී පාරිසරික කලාපයක් ගැන තමයි අද අපි කැලෑ කොලමෙන් කතා කරන්නේ. ඒ තමයි තලංගම තෙත් බිම් කලාපය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගරයට ආසන්නයෙන් පිහිටි මේ වටිනා ප්‍රදේශය ගැන තොරතුරු දන්නේ පරිසරයට ආදරය කරන කණ්ඩායම් පමණයි. ඒ හින්දයි කැලෑ කොලම පාඨකයන් වෙනුවෙන් ඒ පිළිබඳ සියලු තොරතුරු ගෙන එන්න අපි තීරණය කළේ. අකුරුගොඩ වැවට සම්බන්ධව තමයි මේ තෙත්බිම් කලාපය පිහිටා තියෙන්නේ. ජනාකීර්ණ කොළඹ නගරයට ආසන්නයේ පිහිටි මාලඹේ, පැලවත්ත සහ තලවතුගොඩ නගර මධ්‍යයේ පිහිටි අකුරුගොඩ වැවේ ඉතිහාසය ක්‍රි. ව. පස්වැනි සියවස තරම් ඈත අතීතයකට දිව යනවා. ක්‍රි. ව. 1412 සිට ක්‍රි. ව. 1467 දක්වා කාලයේදී කෝට්ටේ රාජධානිය පාලනය කළ හයවැනි පරාක්‍රමබාහු රජු මේ වැව ඉදිකළ බව තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මේ වැව ඉදිකර ඇති ආකාරයත් ඉතාම විශේෂයි. කිසිම ගංගාවක, ඇළ පහරක හෝ වෙනත් දිය දහරාවකට සම්බන්ධ නොවන පරිදි වැහි ජලයෙන් පමණක් පිරී යන ආකාරයට තමයි මේ වැව ඉදි කරලා තියෙන්නේ. ඇවරිහේන වැව නැමැති කුඩා වැවත් මේ වාරිමාර්ග පද්ධතියට සම්බන්ධ වෙලා තියෙනවා.
පහත රට තෙත් කලාපයට අයත්ව රැම්සා තෙත් බිම් වර්ගීකරණයට අවශ්‍ය සියලු ලක්ෂණවලින් පරිපූර්ණව පිහිටි තලංගම තෙත් බිම් කලාපයේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 11ක්. නිරිත දිග මෝසම් කලාපයේ පිහිටි මිලි මීටර් 2000ක, 2500ක පමණ වාර්ෂික වර්ෂාපතනයකින් යුතු තලංගම තෙත් බිම් කලාපයට පාරිසරික අතින් නීතිමය ආරක්ෂාව ලැබිලා තියෙන්නේ 2007 වසරේදී පාරිසරික ආඥා පනතට මේ ප්‍රදේශය එකතු කිරීම හරහා පමණයි. වැව ආශ්‍රිත වාරිමාර්ග කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තුව හරහා සිදු කළත්, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතන තුනෙන් එකක්වත් තවමත් තලංගම තෙත් බිම් කලාපය පිළිබඳ අවධානය යොමු කර නොතිබීම කනගාටුවට කාරණයක්. කුඩා ප්‍රදේශයක් වුවත්, එහි කෙතරම් පාරිසරික වැදගත්කමක් තිබෙනවාද යන්න මේ තොරතුරු කියවන ඔබට හැඟෙනු ඇති.

තලංගම තෙත් බිම් කලාපයෙන් වාර්තා වී ඇති කුරුලු විශේෂ ගණන 90කට අධිකයි. සෑම දිනකම උදෑසන 6ත්, 9ත් අතර සහ සවස 4ත් 6.30ත් අතර කාලයේදී මේ ප්‍රදේශයේදී එක් දිනකදී අවම වශයෙන් කුරුලු විශේෂ 50ක්වත් දැක ගැනීමේ අවස්ථාව උදා වෙනවා. ඊට අමතරව ක්ෂීරපායීන් 10ක්, මිරිදිය මත්ස්‍ය වර්ග 12ක් සහ උරග විශේෂ 12ක් මේ කලාපයෙන් වාර්තා වෙලා තියෙනවා. මෙහිදී දැක ගත හැකි දුර්ලභ පක්ෂි විශේෂ අතර දම් මැදි කිතලා, පොදු ගැලීනුවා, කර වැල් කොකා, අළු කොකා, මල් සේරුවා, හිස් කළු දෑකැත්තා, කුඩා ගෙබි තුරුවා, ආසියානු විවර තුඩුවා, බට ගොයා, රත් මුහුණැති කොට්ටෝරුවා, ඉන්දු දියකාවා, අබිකාවා, ගව කොකා, මහ සුදු කොකා, කහ බොර මැටි කොකා, කළු පිළි කොකා, රෑ කොකා, රත් කෑරලා, ලේ පිට මහා කෑරලා, පොලොස් කොට්ටෝරුවා, නිල් පෙඳ බිඟුහරයා වැනි පක්ෂීන්ට විශේෂ තැනක් හිමි වෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී ඇති පිළිහුඩු වර්ග 5 අතරින් 4ක්ම මෙහිදී දැක ගත හැකි වීමත් විශේෂත්වයක්.
දේශීය කුරුල්ලන්ගේ පමණක් නෙවෙයි යුරෝපයට ශීත කාලය එළැඹීමත් සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂීන්ගෙත් තෝතැන්නක් ලෙස තලංගම තෙත් බිම් කලාපය හඳුන්වන්න පුළුවන්. අපි පසුගිය අවස්ථා කිහිපයකීම කතා කළ වර්තමානයේදී මන්නාරම අවටදී පමණක් දැකිය හැකි දුර්ලභ සංචාරක පක්ෂියෙකු වන සිලුටු දෑ තුඩුවාත් පසුගිය වසරේදී තලංගම තෙත් බිම් කලාපයෙන් වාර්තා වී තිබීම විශේෂ කාරණයක්. පහසුවෙන් දැක ගත නොහැකි දිය බල්ලන් මෙන්ම අතීතයේදී බහුල වූ නමුත් වර්තමානේදී දැකගත නොහැකි තිත්තයා, කනයා වැනි මත්ස්‍ය විශේෂ පවා මෙහිදී දැක ගත හැකියි.
සංචාරක පක්ෂීන් බහුල සැප්තැම්බර් සහ ජනවාරි අතර කාලයේදී තලංගමට යන ඕනෑම කෙනකුට දකින්න ලැබෙන දර්ශනය ඉතාම විචිත්‍රවත් එකක්. මීදුමෙන් පිරුණු උදෑසනක එහි සංචාරය කළහොත් ඔබ මේ සිටින්නේ කොළඹ නගරයේ දැයි නොසිතෙන තරමටම ඒ දර්ශනය හරිම අපූරුයි. ඒ විචිත්‍රවත් පරිසරයට අවශ්‍ය සියලුම මල් වර්ග, ජලජ පැළෑටි සහ වෙනත් ශාක ප්‍රජාවන්ගෙන්ද මේ කලාපය පරිපූර්ණයි. කොළඹ නගර සීමාව තුළ පිහිටි දියසරු උයන සහ බැද්දගාන තෙත් බිම් උද්‍යානය දිය කඩිති හරහා තලංගම තෙත් බිම් කලාපයට සම්බන්ධව තිබීම මෙය කුරුල්ලන්ගේ පාරාදීසයක් වීමට එක් හේතුවක් වෙලා තියෙනවා.

මේ කලාපයේ පරිපාලන අයිතිය සම්පූර්ණයෙන්ම පැවරී ඇත්තේ කඩුවෙල නගර සභාවට. මේ සුවිශේෂී පරිසර පද්ධතිය රැකගැනීම සඳහා කඩුවෙල නගර සභා නිලධාරීන් හැකි සෑම උත්සාහයක්ම යෙදුවත්, මේ කලාපයට එල්ලවන තර්ජන සුලුපටු නැහැ. විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා මෙරටට ආනයන කළ අනෙක් මත්ස්‍යන්ගේ ශරීරය උරා බොන මත්ස්‍ය විශේෂයක් මේ වැවට මුදාහැරීම හේතුවෙන් පසුගිය කාලයේදී දේශීය මත්ස්‍ය විශේෂවලට දැඩි තර්ජන එල්ල වෙලා තිබුණා. මේ වෙද්දී එම මසුන් අල්ලා ඉවත් කිරීමට යම් යම් සංවිධාන කටයුතු කර තිබෙනවා. අනවසරයෙන් කැළි කසල මුදාහැරීමත්, පොලිතින් අපද්‍රව්‍ය මුදාහැරීමත් මෙන්ම ඖෂධ සඳහා මෙහි ඇති ශාක වර්ග කපාගෙන යෑමත් වර්තමානයේදීත් මේ ප්‍රදේශයට එල්ල වී ඇති තර්ජන ලෙස හඳුන්වන්න පුළුවන්. කෙසේ නමුත් මේ සුවිශේෂී පාරිසරික කලාපය රැකගැනීම වෙනුවෙන් ඒ අවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබෙන සහයෝගය ඉතාම විශිෂ්ට බවත් සඳහන් කළ යුතුයි. ඔවුන් ඒ සඳහා අදාළ අංශ වෙත ලබා දෙන සහයෝගයත් අගය කළ යුතුයි. එමෙන්ම මේ ප්‍රදේශයේ පදිංචි වී සිටින විදේශිකයෙකු පසුගිය වසර දෙකක කාලය පුරා සෑම දිනකම තමන්ගේ පෞද්ගලික මුදලින් මේ කලාපය පිරිසිදු කිරීමට කටයුතු කරන ආකාරයත් කෘතඥ පූර්වකව මෙහිදී සඳහන් කළ යුතුයි.
වනජීවී ඡායාරූපකරණයට, පක්ෂි ඡායාරූපකරණයට පමණක් නෙවෙයි ක්ෂ්ද්‍ර ඡායාරූපකරණයට කැමැති හැම දෙනාටමත් තලංගම තෙත් බිම් කලාපය තෝතැන්නක්. ජනාකීර්ණ කොළඹ නගරය තුළ පිහිටි මේ සුවිශේෂී පාරිසරික පද්ධතිය රැක ගැනීම අපි හැම දෙනාගේම යුතුකමක් බවත් මතක තබා ගත යුතුයි.
සමන් හල්ලොලුව











