ජාත්‍යන්තර තරග දිවියට සමු දී වසර පහකට ආසන්න කාලයක් ගත වී තිබුණද, මහේල ජයවර්ධන යනු තවමත් ලෝකය පුරා නිරන්තරයෙන් කතාබහට ලක්වන චරිතයකි. කොරෝනා වසංගතය හේතුවෙන් ක්‍රීඩාව පිළිබඳ සියල්ල අමතකව තිබූ සමයක නැවත මහේල පිළිබඳ උණුසුම් කතාබහක් ඇති වන්නේ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් ඔහු විරෝධය පළ කිරීමත් සමඟිනි. ට්විටර් පණිවිඩයක් හරහා හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳ ඔහු සිදු කළ ප්‍රකාශය රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ අතර අවසානයේ එහි ඉදිකිරීම් අත්හිටුවීමට අගමැතිවරයා කටයුතු කරන තැනට පත් කිරීමට තරම් එම ආන්දෝලනය ප්‍රබල විය. ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් අරලියගහ මන්දිරයට කැඳවා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරිය පිළිබඳව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළේ ඉන් අනතුරුවය. මේ සියල්ල සම්බන්ධව පසුගිය දිනෙක මහේල, ජනප්‍රිය මාධ්‍යවේදී අසාම් අමීන් සමඟ අදහස් දක්වා තිබුණි. ෆේස්බුක් ජාලය ඔස්සේ සජීවී ලෙසින් පැවැති එම සාකච්ඡාවේදී යොමු වූ ඇතැම් ප්‍රශ්න ඒ අවස්ථාවේදී ප්‍රේක්ෂකයන් විසින් යොමු කළ ඒවා වීම විශේෂත්වයකි. මේ එම සංවාදයේදී මතුවූ වැදගත් කරුණු කිහිපයකි.
හෝමාගම ක්‍රීඩාංගණය පිළිබඳ ප්‍රශ්නය ඇති වුණු වෙලාවේ මහේල ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම ප්‍රශ්න ගැන කතා කළා. හැබැයි මහේල මේ ගැන කතා කරන්නේ වසර කිහිපයක ඉඳලා. කොච්චර කතා කළත් ඇයි ඒවට විසඳුම් නැත්තේ?
ඔව්. මේ පවතින තත්ත්වය වෙනස් කරන්න ඕනෑ කියන එක අපි ක්‍රිකට් ගහන කාලේ ඉඳලා අපි කියපු දෙයක්. මං ඒක කිසිම දේශපාලනික අරමුණකින් කියපු දෙයක් නෙවෙයි. මට ලංකාවේ ක්‍රිකට් ගැන දැක්මක් තියෙනවා. ලංකාවේ ක්‍රිකට් ඉදිරියට යන්න ඕනෑ විදිය ගැන මට අදහසක් තියෙනවා. ඒ අනුව තමයි මම හැම තිස්සෙම කතා කරන්නේ. ඒ අනුව තමයි මම හැම තිස්සෙම අදහස් ප්‍රකාශ කරන්නේ. ඉතින් අවුරුදු ගානක් තිස්සෙම කියපු දේ තමයි මම එදත් කිව්වේ. මම කළේ විශ්ලේෂණයක්. ඒක පිටුපස්සේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ සාකච්ඡාවෙදිත් ක්‍රිකට් සභාපතිවරයා කිව්වා ලංකාවේ ක්‍රීඩා සමාජ 08කට 09කට ක්‍රීඩා කරන්න පිටියක් නැහැ කියලා. මම අහන්නේ මේකයි. ක්‍රීඩා සමාජ තමයි ඡන්දය ලබා දීල ක්‍රිකට් ආයතනයට නියෝජිතයන් පත් කරන්නේ. පසුගිය අවුරුදු දහයේදී අඩුම ගානේ අවුරුද්දට එක ගානේ අඩු පහසුකම් යටතේ ක්‍රීඩාංගණ හැදුවත් අපිට ඒ තත්ත්වය නැති කරන්න තිබුණා. පළමු පෙළ ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ හරහා තමයි ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් එන්නේ. එතකොට ඒ ක්‍රීඩකයන්ට පුහුණු වෙන්නවත් පහසුකම් නැත්නම් ජාත්‍යන්තර තලයේදී ඒ ක්‍රීඩකයන් දක්ෂතා දක්වන්නේ කොහොමද කියන එක අපි බලන්න ඕනෑ. අපිට ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. එක ව්‍යාපෘතියකට ඒ තරම් මුදලක් යොදනවට වඩා ඒ මුදල ඉදිරි අවුරුදු පහ, දහය සඳහා මේ වගේ ව්‍යාපෘති සඳහා යොදවන්න පුළුවන් නම් ඒක ලොකු ආයෝජනයක් වේවි අනාගතයට.

2015 අවුරුද්දේ ඉඳන්ම මේ පවතින ක්‍රීඩා සමාජ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ කියල ඔබ කියනවා. නමුත් තවමත් ඒක හරියට වෙලා නැහැ. කොතැනින් හරි නවතිනවා. ඒක නේද ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය?
මං හිතන්නේ ඒක මේ ප්‍රශ්නයේ එක පැත්තක් විතරයි. ඊට වඩා දේවල් මේ ප්‍රශ්නයේ තියෙනවා. ලංකාවේ ක්‍රීඩා සමාජවල ඉන්නේ ගොඩක් කාලයක් ක්‍රිකට් එක්ක රැඳුණු කට්ටිය. ඉතින් අපි ඒ අය එක්කත් සාකච්ඡා කළා. අන්තිම අවුරුදු තුන, හතර ඇතුළත ක්‍රීඩා අමාත්‍යවරු හතර දෙනකුට විතර අපි ක්‍රිකට් සැලැස්මවල් දීල තියෙනවා. නමුත් කොතැන හරි තැනකදි අපි නවතිනවා. අපි ඉදිරියට යන්න නම් මේකට විසඳුමක් තියෙන්න ඕනෑ. මොකද ක්‍රීඩාව දියුණු වෙන තත්ත්වයක් අපිට පේන්නේ නැහැ. අපි කතා කෙරුව පාසල් ක්‍රිකට් ක්‍රීඩාවත් එහෙමයි. පාසල් ක්‍රිකට් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ තියෙන්නේ. එතැනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ සැලසුම් ඉදිරිපත් කරද්දී ඒ ගොල්ලෝ තැන් දෙකක ඉඳන් තමයි ඒ දේවල් කරන්නේ. මේක ක්‍රිකට් ක්‍රීඩාවට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි. අනෙක් ක්‍රීඩාවලටත් ඒක බලපාල තියෙනවා. මේකට යම් කිසි ජාතික සැලැස්මක් හදන්නේ කොහොමද කියන එක තමයි අපි බලන්න ඕනෑ. අඩුම ගානේ ඉදිරි මාස 12 ඇතුළෙවත් එතැනට එන්න අපි උත්සාහ කරන්න ඕනෑ. එහෙම පරිසරයක් නැතිව ක්‍රිකට් හෝ අනෙකුත් ක්‍රීඩා දියුණු කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.
2031 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා ගන්න එකට මහේල විරුද්ධද කියලා ප්‍රශ්නයක් තියෙනවා?
මගෙ කිසිම විරුද්ධත්වයක් නැහැ. ඒක ලබා ගන්න නම් අපි මුලින් ඒ සඳහා අයදුම් කරන්න ඕනෑ. ඒකට මේ තියෙන ක්‍රීඩාංගණ හොඳටම ඇති. වි/20 ලෝක කුසලානයක් අපි තනියම සත්කාරකත්වය දැරුවා. ඒකෙදි ක්‍රීඩාංගණ තුනකදි විතරයි අපි සෙල්ලම් කළේ. පල්ලෙකැලේ, ඛෙත්තාරාම සහ සූරියවැව. ඒ වගේම පන්දු වාර 50 ලෝක කුසලාන තරගාවලියකට සත්කාරකත්වය ලබා දෙන්නත් අපිට ඕනෑ තරම් ක්‍රීඩාංගණ තියෙනවා. අනෙක් එක 2031 ලෝක කුසලාන තරගාවලිය සඳහා සත්කාරකත්වය පිරි නැමීම සිද්ධ වෙන්නේ 2025දී විතර. එහෙම සත්කාරකත්වය ලබා දෙද්දි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඒ සඳහා යම් මුදලක් ලබා දෙනවා ඒ අවශ්‍ය පහසුකම් සලසන්න. එතැනදි අපිට පුළුවන් තව ක්‍රීඩාංගණයක් අවශ්‍යද නැද්ද කියන එක සලකලා බලන්න. ඒකයි මම කියන්නේ අපි ගව් ගානක් තියලා අමුඩ ගහන්නේ නැතිව ඒ කාලයට ආවට පස්සේ ඒක සලකා බලමු කියලා. මොකද ක්‍රීඩාංගණයක් හදන්න මුදල් දෙනවා කියලා අපිට තවම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කියලා නැහැ. අපි ක්‍රීඩාංගණයක් හැදුවා කියලා ලෝක කුසලාන සත්කාරකත්වය ලැබෙනවා කියලා නිශ්චිතව කියන්නත් බැහැ. ඒක හම්බ වුණත් නැතත් අපි ක්‍රීඩාංගණය හදන්න ගත්තු ණය වාරික ගෙවන්න ඕනෑ.
කොවිඞ් 19 වසංගතයක් එක්ක ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන් කියලා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළා. ක්‍රීඩාවෙන් ලැබෙන ආදායම පවා අඩු වේවි කියලා ඔහු කිව්වා. එහෙම වේවි කියලා ඔබ හිතනවද?
ඒක අනිවාර්යයෙන්ම අපි හැමෝම දකින දෙයක්. අලුතෙන් කියන්න දෙයක් නෙවෙයි. මොකද ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉඳන් හැම දෙයක්ම දැන් වෙනස් වෙලා තියෙන්නේ. ඒක හැම ක්‍රීඩාවකටම බලපාන්න පුළුවන්. ව්‍යාපාර ක්ෂේත්‍රයේ කඩා වැටීමත් එක්ක ක්‍රිකට් ක්‍රීඩාවට ලැබෙන අනුග්‍රහය අනිවාර්යයෙන්ම ඉදිරියේදී අඩු වෙන්න පුළුවන්. අපේ වගේ රටක ඒක විශාල වශයෙන් අඩු වෙන්න පුළුවන්. මං දන්න විදියට මේ පාර අපේ රූපවාහිනී විකාශන අයිතිය ලබා ගන්න කවුරුවත් ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. ඉදිරියේදී නැවත ඒ සඳහා උත්සාහ කරන බව කියලා තියෙනවා මම දැක්කා. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය හැම වසරකම හැම රටක් සඳහාම යම් කිසි මුදල් ප්‍රමාණයක් ලබා දෙනවා. ඒකෙන් තමයි අපි අපේ ක්‍රිකට් ක්‍රීඩාව ගෙනි යන්නේ. එතකොට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයටත් ඉදිරියේදී එහෙම ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒ හරහා එක එක රටවල් සඳහා බෙදාහරින මුදල් ප්‍රමාණයත් අනිවාර්යයෙන්ම අඩු වෙනවා. ඉතින් ඒ අනුව තමයි අපි හැම තිස්සෙම සැලැස්මවල් හදන්න ඕනෑ. අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ යටිතල පහසුකම් නඟාසිටුවීම තමයි මේ වෙලාවේ අපි කරන්න ඕනෑ ප්‍රධාන දේ. යටිතල පහසුකම් කියන්නේ අලුතින් ක්‍රීඩාංගණ හදන එක නෙවෙයි. නමුත් ක්‍රීඩකයන්ගේ දක්ෂතා හදාගන්න අපිට පහසුකම් තියෙන්න ඕනෑ. ඉදිරි අවුරුදු දෙක තුළ අපිට ඒ දේ කරන්න පුළුවන් නම් ඊට පස්සේ ඊළඟට අවශ්‍ය මොකක්ද කියලා ඊට පස්සේ බලන්න පුළුවන්.
වර්තමානය වෙද්දී සමාජ මාධ්‍ය හරහා ක්‍රීඩකයන්ට එල්ල වන පීඩනය ඉතා වැඩියි. අපිට මතකයි ඔබ 2003 ලෝක කුසලාන තරගාවලියේදී තරග 09කදී ලකුණු 21ක් විතරයි රැස් කරන්නේ. ඒ කාලේ සමාජ මාධ්‍ය මේ තරම් සක්‍රීය වුණේ නැහැ. ඒ කාලෙත් මේ වගේ වුණා නම් තත්ත්වය මොන වගේ වෙයිද?
ඒ කාලෙත් මේ වගේ තිබුණු නම් දැන් තියෙන තත්ත්වයම උදා වෙන්න තිබුණා. මම කියන්නේ මේකයි. ක්‍රීඩකයෙක් වුණාම පීඩනය දරා ගන්න පුළුවන් වෙන්න ඕනෑ. කාලයෙන් කාලයට ඒ දේවල් වෙනස් වෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ එන පීඩනය දරා ගන්න බැරි නම් ඒ ක්‍රීඩකයෝ සමාජ මාධ්‍ය භාවිතයෙන් ඈත් වෙන්න ඕනෑ. මොකද ඒක කාටවත් පාලනය කරන්න බැරි දෙයක්. ඒ පීඩනයට හැඩගැහෙන්න තමන් මානසිකව පුරුදු වෙන්න ඕනෑ.
ඇන්ඩෘ ස්ටේ්‍රා්ව්ස්, ග්‍රැහාම් ස්මිත් සහ සව්රව් ගංගුලි වගේ හිටපු ප්‍රබල ක්‍රීඩකයන් මේ වෙද්දී තමන්ගේ රටවල ක්‍රිකට් පරිපාලනයට එකතු වෙලා තියෙනවා. ඒත් ඇයි ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩකයෝ ඒ විදියට පරිපාලනයට යොමු වෙන්නේ නැත්තේ?
ලංකාවේ තියෙන ක්‍රමයත් එක්ක ඒක එච්චර ලේසි දෙයක් නෙවෙයි. නමුත් ක්‍රීඩකයන් පරිපාලනයට පැමිණිය යුතුමයි කියලා මම හිතන්නේ නැහැ. ඒ වුණත් අපේ තියෙන ක්‍රිකට් පිළිබඳ දැනුම ලබාදීල ක්‍රීඩකයන් වෙනුවෙන් හොඳ දෙයක් කරන්න තමයි අපි හදන්නේ. පරිපාලනය පිළිබඳ කටයුතු එයට සම්බන්ධ අය බලාගනීවි. හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණා කියලා හොඳ පරිපාලකයෙක් වෙන්න බැහැ. නමුත් ක්‍රිකට් සම්බන්ධව ක්‍රීඩකයන්ගේ තිබෙන දැනුම ක්‍රිකට් දියුණුව සඳහා යොදා ගන්නේ නැති නම් ඒකත් අපරාධයක්.
ලංකාවේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම පරිපාලනයේද දක්ෂයෙක් වන රොෂාන් මහානාම මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට සම්බන්ධ වීම පිළිබඳ කතාබහක් පසුගිය වසරේදීත් ඇති වුණා. නමුත් ඒක එහෙම වුණේ නැහැ. මේ තියෙන ඡන්ද ක්‍රමය හින්දා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වෙන්න ක්‍රීඩකයෝ බයද?
ක්‍රීඩා සමාජ හරහා තමයි නිලවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෝ තෝරන්නේ. ඔවුන්ගේ ඡන්දයෙන් තමයි නිලවරණයේ ජයග්‍රාහකයා තෝරන්නේ. ක්‍රීඩා සමාජ එක්ක වැඩ කරපු අය තමයි නිලවරණයට ඉදිරිපත් වෙන්නේ. ඒ වගේ තත්ත්වයක පිටින් කෙනකුට ඇවිත් එක පාරටම ජයග්‍රහණය කරන එක අමාරු වැඩක්.
ප්‍රමිතියෙන් යුතු දේශීය වි/20 ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරන්න අපිට බැරි වෙලා තියෙන්නේ ඇයි?
2012 වසරේදී අපි එවැනි තරගාවලියක් සංවිධානය කළා. නමුත් ඒකට මූලිකත්වය අරන් තිබුණේ හරි පුද්ගලයෝ නෙවෙයි. ඒ හින්දා ඒක එතැනම නැවතුණා. ඒ වගේ තරගාවලියක් සංවිධානය කිරීමේදී එහි සැබෑ අරමුණක් තිබිය යුතුයි. දේශීය ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග අත්දැකීමක් ලබා දී ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය වැඩි කිරීම තමයි එහි අරමුණ විය යුත්තේ. නමුත් එයින් වෙළෙඳ ලාභය පමණක් අරමුණු කළොත් එහි අරමුණ වෙනස් වෙනවා. ඒ වගේ තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් යෙදවිය යුත්තේ මුදල් ඉපයීම සඳහා නෙවෙයි. ක්‍රීඩකයන්ගේ දියුණුව සඳහා කෙරෙන ආයෝජනයක් විදියට තමයි ඒක කරන්න ඕනෑ. එහෙම තරගාවලියක් නැති එක අපේ ක්‍රීඩකයන්ට විශාල පාඩුවක් වෙලා තියෙනවා. නමුත් තවමත් අපිට ඒකට අවස්ථාව තියෙනවා. ඒත් ඒ වගේ තරගාවලියක් සංවිධානය කරන්න කලින් දේශීය ක්‍රිකට් තවත් ශක්තිමත් කරන්න ඕනෑ. නිසි තරගාවලි ක්‍රමයක් සකස් කරන්න ඕනෑ.

මීළඟ වි/20 ලෝක කුසලාන තරගාවලිය නවත්වා ඒ කාල සීමාවේදී අයි. පී. එල්. තරගාවලිය පැවැත්වීමේ සූදානමක් පවතින බවට කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඒ ගැන ඔබේ අදහස මොන වගේද?
එහෙම දෙයක් ගැන මම දන්නේ නැහැ. මොකද පසුගිය සතියේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමක් තිබුණා. එහිදී සාකච්ඡා කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සම්බන්ධයෙන් පමණයි. මීළඟ වි/20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ ඕස්ටේ්‍රලියාවේදී. තරගාවලිය පැවැත්වුවහොත් වෙනත් රටවලින් ක්‍රීඩකයන් ඕස්ටේ්‍රලියාවට පැමිණෙනවා. ලෝක කුසලාන තරගාවලියට පෙර ඒ සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියකුත් පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමටත් ඒ තරගාවලියට ක්‍රීඩා කරලා තමයි ලෝක කුසලාන තරගාවලියට එන්න වෙන්නේ. නමුත් මේ වෙනතුරු කිසිවෙක් ලෝක කුසලාන තරගාවලිය නොපැවැත්වීම පිළිබඳ කතා කරලා නැහැ. ඒ වගේම ඒ කාල සීමාවේදී අයි. පී. එල්. තරගාවලිය පැවැත්වීම පිළිබඳවත් කවුරුවත් හිතයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ.
මීළඟ වි/20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කළ යුතු බව ඔබ මතක් කළා. හිටපු ප්‍රවීණයෙක් විදියට ඔබට කොහොමද ඒක දැනෙන්නේ?
ලෝක කුසලානය දෙවරක් දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමටත් පසුගිය ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන්න සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කරන්න වුණා. මේ වෙද්දී ලෝකයේ හැම රටක්ම ඉතා හොඳින් ක්‍රීඩාවට අවතීර්ණ වෙලා තියෙන්නේ. එතැන ලොකු තරගයක් තියෙනවා. ලංකාව පැත්තෙන් ඒක අවාසනාවන්ත තත්ත්වයක්. කණ්ඩායමට ලොකු අභියෝගයක් තියෙනවා. නමුත් සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම හරහා ඔවුනට තරගාවලියට හොඳ පෙර සූදානමක් ලැබෙනවා. ඒක අතිරේක වාසියක්. ඒකෙන් හොඳින් ප්‍රයෝජන අරගෙන ප්‍රධාන තරගාවලියට අවතීර්ණ වී ලෝක කුසලානය දිනා ගන්න තමයි උත්සාහ කරන්න ඕනෑ.
පසුගිය කාලයේදී වි/20 තරගවලදී අපි දිගින් දිගටම අත් වින්දේ පරාජයන්. ඒ තත්ත්වය වෙනස් කරන්න මොනව කරන්න ඕනෑ කියලද ඔබ හිතන්නේ?
අපේ ක්‍රීඩකයන්ගේ කුසලතා තව දුරටත් දියුණු කරන්නේ කොහොමද කියන එක තමයි අපි බලන්න ඕනෑ. වෙනත් රටවල ගිහිල්ලා ක්‍රීඩා කරන්න අපේ රටේ ගොඩක් ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ලංකාවේ දේශීය වි/20 තරගාවලි බැලුවොත් ඒවයේ තරගකාරිත්වය ඒ තරම් උසස් මට්ටමක නැහැ. ලංකාවේ තියෙන පළාත් තරගාවලිය වැනි තරගාවලින්ගෙන් ක්‍රීඩකයන්ට අවශ්‍ය අත්දැකීම් ලැබෙනවා කියලා මම හිතන්නේ නැහැ. අත්දැකීම් තියෙන තරුණ කණ්ඩායමක් අපිට ඉන්නවා. පුළුවන් තරම් තරගකාරී අවස්ථාවලට මුහුණ දීලා ඒ පීඩනය දරා ගන්නේ කොහොමද කියන පුහුණුව ලබා ගන්න එක තමයි ඔවුනට අවශ්‍ය වෙන්නේ. ඒක අපි ලබා දෙන්නේ කොහොමද කියන එක ගැන අවධානය යොමු කරන්න ඕනෑ.
උතුරු පළාතේ ක්‍රිකට් සංවර්ධනය ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නැහැ කියලා චෝදනාවක් ඒ ප්‍රදේශවල ජනතාවගෙන් තියෙනවා?
ඇත්තටම. අපි හැමෝම ජාත්‍යන්තර ක්‍රීඩාංගණ ගැන තමයි කතා කරන්නේ. මං දකින විදියට අපිට අවශ්‍ය ජාත්‍යන්තර ක්‍රීඩාංගණ නෙවෙයි. උතුරු නැඟෙනහිර පළාත් ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා අවශ්‍ය මූලික පහසුකම්වත් ඒ ප්‍රදේශවල නැහැ. ජාත්‍යන්තර ක්‍රීඩාංගණ හදන්න කලින් දේශීය ක්‍රීඩකයන්ට පුහුණු වීම සඳහා ක්‍රීඩාංගණ ඉදි කළ යුතුයි. ඒ හරහා තමයි පළමු පෙළට හොඳ ක්‍රීඩකයන් හදන්න පුළුවන් වෙන්නේ. ඒ දේවල්වලට තමයි ක්‍රිකට් පරිපාලකයන් මුදල් යෙදවිය යුත්තේ. ඒ සඳහා අපි දැන් ආයෝජනය කරන්නේ නැත්නම් තව අවුරුදු පහකින්, දහයකින් අපිට කිසිම දෙයක් සාර්ථක කර ගන්න බැරි වෙයි.
ඔබ, සංගක්කාර සහ අරවින්ද ද සිල්වා එකතුව සකස් කළ ක්‍රිකට් ගොඩනැගීම පිළිබඳ සැලැස්ම ක්‍රියාත්මක කරන බවට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවා ප්‍රකාශ කරලා තිබුණා. අවසන්වරට අරලියගහ මන්දිරයේ පැවැති හමුවේදී ඒ පිළිබඳ ගිවිසුමක් ඇති වුණාද?
නැහැ. එහෙම ගිවිසුමක් ගැන කතා කළේ නැහැ. අපි ඒ වාර්තාව හිටපු ඇමැතිවරුන්ට බාර දීල තියෙන්නේ. ඒක ඉදිරියේදී ක්‍රියාත්මක වේවි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. මම කලින් ආණ්ඩුවට සහ හිටපු ඇමැතිවරුන්ටත් කිව්වේ මේක ක්‍රියාත්මක කරනවා නම් අපිට කාගෙවත් බලපෑමක් නැතිව ඒක කරන්න ඕනෑ කියලා. ඒක තමයි වැදගත්ම කාරණය. මොකද ඒ සැලැස්ම අපිට ඕනෑ විදියට ක්‍රියාත්මක නොවී වෙන අයට අවශ්‍ය දේවල් කරන්න ගියොත් අපි බලාපොරොත්තුවන ප්‍රතිඵලය අපිට ලැබෙන්නේ නැහැ. ඒ හින්දා කිසිම වෙනස්කමකින් තොරව ඒ මුළු සැලැස්මම ක්‍රියාත්මක විය යුතුයි. පරිපාලනය කටයුතු කළ යුත්තේ කොහොමද, තරගාවලි සකස් විය යුත්තේ කොහොමද, වගේ හැම තොරතුරක්ම ඒ සැලැස්මේ අඩංගු වෙනවා. ඒ හින්දා එයින් ප්‍රතිඵල ලබන්න නම් ඒක ඒ විදියටම ක්‍රියාත්මක විය යුතුයි. ඒ හින්දා මේ රජය යටතේ ඒ සැලැස්ම ක්‍රියාත්ම වුණත් අපි ඒකට මැදිහත් වෙන්නේ ඒ අවස්ථාව ඒ විදියටම ලැබෙනවා නම් විතරයි.
සකස් කළේ චන්දන පොන්නම්පෙරුම










