ගිය සතියේ නතර කරපු තැනින් එහාට වස්ගොමුව ගැන තවත් රසවත් තොරතුරු කතා කරන්න තමයි අද කැලෑ කොලම හරහා අපි සූදානම් වෙන්නේ. අලි ඇතුන්ට අමතරව තවත් සත්ව විශේෂ ගණනාවක් වස්ගොමුවේ ජීවත් වෙනවා. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ වලසුන්. නමේ විදියට ගත්තත් වස්ගොමුව කියන්නේ වලසුන්ගේ පාරාදීසයක්. ඊට අමතරව කුළු මීමුන්, ගෝන්නු, මුවන් ඇතුළු ක්ෂීරපායී විශේෂ 25ක් පමණ වස්ගොමුවේදී දැක ගන්න පුළුවන්.
ඉතාම මෑතකදී වස්ගොමුව ජාතික වනෝද්‍යානයේදී කොටියකු දැක ගැනීමේ අවස්ථාව ඡායාරූප ශිල්පීන් කිහිප දෙනකුට උදා වෙලා තිබුණා. ඒක වස්ගොමුවට යන සංචාරකයකුට ලැබෙන ඉතාම දුර්ලභ අවස්ථාවක්. නමුත් වස්ගොමුවේ කොටි කිහිප දෙනෙක්ම සැරිසරන බව වනජීවී නිලධාරීන් අවස්ථා කිහිපයකදීම තහවුරු කරලා තියෙනවා.
මීට අමතරව වස්ගොමුව ජාතික වනෝද්‍යානයෙන් කුරුලු විශේෂ 143ක් වාර්තා වෙලා තියෙනවා. ඒ අතරින් වර්ග 8ක් ඒක දේශික පක්ෂීන් විදියටයි සැලකෙන්නේ. ඒක දේශීක පක්ෂියෙකු වන වත රතු මල් කොහා මෙන්ම ඉතාම දුර්ලභ විශේෂයක් වෙන වත නිල් මල් කොහාත් වස්ගොමුවේදී දැක ගන්න පුළුවන්. වස්ගොමුව ජාතික වනෝද්‍යානය තුළ පිහිටි දම්බරාව වැව අසලට උදෑසන කාලයේදී හෝ සවස් කාලයේදී යන සංචාරකයෙකුට ඉතාම මනරම් දර්ශනයක් දැක ගන්න පුළුවන්. දම්බරාව වැව සැලකෙන්නේ කුරුලු පාරාදීසයක් විදියටයි. කුරුලු වර්ග සෑහෙන ප්‍රමාණයක් උදෑසනට සහ සවස් කාලයට ඒ අවට සැරිසරනවා. මේ වෙද්දී දම්බරාව වැව අසල කුරුලු නිරීක්ෂණ මධ්‍යස්ථානයක් (ඩසැඅ චදසබඑ) ඉදි කරන්න වනජීවී දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කරලා තියෙනවා. මේ වන විට එවැනි ආකාරයේ තැනක් දැක ගන්න ලැබෙන්නේ කුමන ජාතික වනෝද්‍යානයේදී පමණයි.
වස්ගොමුවෙන් වාර්තා වී ඇති උරග විශේෂ ගණන 17ක්. ඒ අතරින් විශේෂ 5ක් ඒක දේශික සත්වයින් වීමත් විශේෂත්වයක්. අඩි 16, 17ක් පමණ දිග දැවැන්ත පිඹුරන් රැසක් වස්ගොමුවේදී දැක ගන්න පුළුවන්. සත්ව ප්‍රජාවට අමතරව ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂ රාශියකටත් වස්ගොමුව නිවහන වෙලා තියෙනවා.
අපි පසුගිය සතියේ කතා කළ විදියට වස්ගොමුව ජාතික වනෝද්‍යානය ආරම්භ කිරීමේ මූලික අරමුණ වුණේ සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීම නෙවෙයි. වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් අවතැන් වූ සතුන්ට අභය භූමියක් විදියට තමයි වස්ගොමුව ආරම්භ වුණේ. නමුත් වර්තමානය වෙද්දී වස්ගොමුවේ සංචාරකයන් සඳහා පහසුකම් රැසක් ඇති කරලා තියෙනවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පවත්වා ගෙන යන කදුරුපිටිය, වවුල් ඇබේ සහ මහවැලි යන සංචාරක බංගලා තුන සහ කඳවුරු භූමි හතරකුත් ඊට අයත්. මේ කඳවුරු භූමි ඉදිවෙලා ඇත්තෙත් ඉතාම සුවිශේෂී ආකාරයකට. නවීන තාක්ෂණය යොදා ගනිමින් පොළොව මට්ටමේ සිට අඩි 10ක් පමණ ඉහළට වන්නට කොන්ක්‍රීට් කණු මත තමයි මේ කඳවුරු භූමි ඉදිවෙලා තියෙන්නේ. ඒ ප්‍රදේශ හරහා රාත්‍රියට අලි ඇතුන් ගමන් කිරීම තමයි ඊට හේතුව. ඒ හින්දා අලි ඇතුන් ගමන් කරන මාර්ගයකට ඉහළින් රාත්‍රියක් ගත කිරීමේ දුර්ලභ අවස්ථාව වස්ගොමුවේදී උදා කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි වස්ගොමුවේ බොහෝ තැන්වලට සාමාන්‍ය වාහනයකින් ගමන් කළ හැකි තරමට සංවර්ධනය වූ මාර්ග පද්ධතියක් දක්නට ලැබීමත් විශේෂත්වයක්.
වස්ගොමුවට හිමිවන පුරා විද්‍යාත්මක වැදගත්කම ගැනත් අපි පසුගිය සතියේදී කතා කළා. මහානාග රජු විසින් කරවූ බවට සැලකෙන චූලාංගනී මහා සෑයත් වස්ගොමුව ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති බවට පුරාවිද්‍යාඥයන් මත පළ කරනවා. දුම්බර මිටියාවතට මායිම්ව පිහිටා තියෙන හින්දා වස්ගොමුව වනෝද්‍යානයේදී දැක ගන්න ලැබෙන භූමි දර්ශනත් ඉතාම චමත්කාරජනකයි. අහස හොඳින් පැහැදිලි දවසක දුම්බර මිටියාවතේ නැඟෙනහිර කඳු පංතියට අයත් ලකේගල, මානිගල, වෙලන්ගොල්ල පතන සහ කෙහෙල්පත්දෝරුව කියන කඳු පංති හතරම වස්ගොමුවට දර්ශනය වෙනවා. මේ කඳු පංති හතර එකම තැනන සිට දැක ගැනීමේ අවස්ථාව ලැබෙන්නෙත් වස්ගොමුවේදී විතරයි. ඒ හින්දා වනජීවී ඡායාරූපකරණයට පමණක් නෙවෙයි භූමි රූප ඡායාරූපකරණයට කැමැති ඡායාරූප ශිල්පීනුත් නිතර වස්ගොමුවේ සංචාරය කරනවා.
ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරලා තිබුණත්, වස්ගොමුවට එල්ල වන මිනිස් බලපෑමත් සුළුපටු නැහැ. ඒ අතරින් ප්‍රධානම තර්ජනය තමයි අනවසර මැණික් පතල් කැණීම. මේක වස්ගොමුවට විශාල තර්ජනයක් වෙලා තියෙනවා. ඒ වගේම සතුන් දඩයම් කිරීමත් වස්ගොමුවේ සත්ව ප්‍රජාවට එල්ල වෙලා තියෙන තවත් තර්ජනයක්. වස්ගොමුවට අනෙක් තර්ජනය එල්ල වෙලා තියෙන්නේ ගව පාලකයන්ගෙන්. ඔවුන් තම ගම්මාන ආශ්‍රිතව ඇති අලි වැට කපා ඉවත් කරමින් ගවයන් වස්ගොමුවට මුදාහරිනවා. කපා ඉවත් කළ අලි වැට හරහා ගම් වදින වල් අලි හේතුවෙන් එය අලි මිනිස් ගැටුම් දක්වා දුර දිග යනවා. මෙවැන් තර්ජන ගණනාවකට අදටත් වස්ගොමුව ජාතික වනෝද්‍යානය මුහුණ දීලා තියෙනවා.
වස්ගොමුව ජාතික වනෝද්‍යානයේ සේවය කරන නිලධාරීන් මෙවැනි නීති විරෝධී කටයුතු නවත්වන්න විශාල පරිශ්‍රමයක් දැරුවත්, සේවක හිඟය සහ පහසුකම් නොමැති වීම ඔවුන්ට දැඩි බාධාවක් වෙලා තියෙනවා. ලැබී ඇති අවම පහසුකම් යටතේ හෝ ඔවුන් ඉටු කරන සේවය අපේ පැසසුමට ලක් විය යුතුමයි. ඉදිරි පරපුර සඳහාත් මේ සුන්දර වලස්ගොමුව රැක බලා ගැනීම අපේ ජාතික වගකීමක් බව අපි හැම දෙනාම සිතට ගත යුතුයි.
සමන් හල්ලොලුව











