• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

UN එකෙන් එළියට දාපු සෝල්හයිම් ලංකාවට ආවේ ඇයි?

October 18, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
UN එකෙන් එළියට දාපු සෝල්හයිම් ලංකාවට ආවේ ඇයි?
Share on WhatsAppShare on Facebook

මාධ්‍යවේදියා:- ඔබ ජාත්‍යන්තර සාම නියෝජිතයකු ලෙස ශ්‍රී ලංකාව තුළ ඉතා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළා. විශේෂයෙන්ම සාම සාකච්ඡාකරු ලෙස ඔබගේ භූමිකාවේ අවසාන භාගයේදී ඔබ මුහුණ දුන් විවේචන සහ චෝදනා සැලකිල්ලට ගනිමින් එම භූමිකාව භාරගැනීම ගැන ඔබ කනගාටු වෙනවද?

සාම මැදිහත්කරු:- මේක හොඳට බලන්න. මෙය තමයි දස දහස් ගණනක් මිනිසුන් මරාදැමුණු නූතන යුගයේ වඩාත්ම ලේ වැගිරුණු ගැටුම. මේ නිසා ශ්‍රී ලංකාවේ බොහෝ මිනිසුන්ට තමන්ගේ ආදරණීයයන් මඟහැරුණා. දකුණේ ගමේ සොල්දාදුවන් හෝ වේවා උතුරේ දෙමළ සිවිල් වැසියන් හෝ වේවා මිනිස්සු අතුරුදන් වුණා. ඉතින් මගේ කනගාටුව තමයි අපට සාර්ථක වන්නට බැරි වීම. නමුත් අපි බොහෝ උත්සාහ කළා. අපට දෙපැත්තෙන්ම අන්තවාදීන්ගෙන් ප්‍රහාර එල්ල වෙනවා කියන එක මට අදාළ නැහැ.

මාධ්‍යවේදියා:- කෙසේ හෝ ඔබ පාර්ශ්ව ගණනාවකින්ම දැඩි විවේචනයට ලක්වුණා නේද? එසේ වුවත් ඔබ එකල බොහෝ නායකයන් හමුවී සාකච්ඡා කිරීමටත් කටයුතු කළා. කොටි නායක ප්‍රභාකරන් අවස්ථා ගණනාවකදීම හමුවුණා…?

සාම මැදිහත්කරු:- සමස්තයක් ලෙස ගත්කල මම සිතන්නේ ඔබ දොස් පැවරිය යුත්තේ යුද ලෝලීන්ට මිස සාමය ඇතිකිරීමට උත්සාහ කරන අයට නොවේ. සිංහල අන්තවාදීන් කියා සිටියේ මම LTTE කොටි සංවිධානයට හිතවත් බවයි. දෙමළ අන්තවාදීන් කියා සිටියේ පරාජයට මම පෞද්ගලිකව වගකිව යුතුයි කියායි. එනම් යුද්ධයේ අවසාන අදියරේදී දෙමළ වැසියන් ඝාතනය කිරීමට නෝර්වේජියානුවන් වගකිව යුතු යැයි කියායි. අපට වැදගත් වුණේ මිනිස්සු අපිව විවේචනය කරන එක නෙවෙයි. අපට ඕනෙ වුණේ දෙපාර්ශ්වයේම විශ්වාසය. ප්‍රභාකරන්, බාලසිංහම් සහ තවත් කොටි නායකයන්ගේ විශ්වාසය අපට තිබුණා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ වගේ නායකයන්ගේ විශ්වාසයත් අපට තිබුණා. ප්‍රභාකරන් මම 10 වතාවක් විතර හමුවී තිබුණා. අපි ප්‍රභාකරන්ට කිව්වා යුද්ධය පරදිනවා, මේක දිනන්න විදියක් නැහැ කියලා. එහෙත් ඒ කිසිවක් ඔහු පිළිගත්තේ නැහැ.

මාධ්‍යවේදියා:- නෝර්වේ රාජ්‍යය LTTE සංවිධානයට ආයුධ ලබාදුන්නා කියන එක සත්‍යයක්ද?

සාම මැදිහත්කරු:- එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. අපට කිසිම පාර්ශ්වයකට තෑගි දෙන්නත්, කිසිම පාර්ශ්වයකින් තෑගි ගන්නත් අවශ්‍යතාවක් තිබුණෙ නැහැ. අපට කොටින්ට ආයුධ ලබාදෙන්න කිසිම අවශ්‍යතාවක් තිබුණේ නැහැ. මේ චෝදනා අන්තවාදීන්ගේ කතා විතරයි.

කුමක්ද මේ සාම මැදිහත්කරුවාගේත්, මාධ්‍යවේදියාගේත් සුවිශේෂ කතාන්දරය? මාධ්‍යවේදියා ඉංග්‍රීසි පුවත්පතක් නියෝජනය කරන්නෙකි. එසේ නම් අනෙක් විශේෂිත පුද්ගලයා වූ සාම මැදිහත්කරුවා කවුද? ඔහුගේ නාමය බොහෝ ප්‍රකට එකකි. වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවෙන්ද, එසේම ලෝකයේ බොහෝ රටවලින්ද අසන්නට ලැබුණු එම නාමය නැවත වරක් මේ දිනවල ශ්‍රී ලංකාව තුළින්ද අසන්නට ලැබෙයි. එම විශේෂිත පුද්ගලයා නම් එරික් සෝල්හයිම් (Erik Solheim)ය. නෝර්වේජියානු ජාතිකයකු වූ එරික් සෝල්හයිම් යනු විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ආගන්තුක නාමයක් නොවේ. එසේ වන්නේ ඔහු ශ්‍රී ලාංකික වාර්ගික යුද්ධයේදී ජාත්‍යන්තර සාම මැදිහත්කරුවා ලෙස වසර ගණනාවක් පුරා කටයුතු කළ හෙයිනි. ඒ අනුව ඔහු වාර්ගික යුද්ධය බිහිසුණුව පැවැති සමයේ 2000 වසරේ සිට 2009 වසර දක්වාම ශ්‍රී ලංකාවේ සාම මැදිහත් වීමකට කටයුතු කළේය. එහිදී ඔහු ප්‍රධාන වශයෙන් 2002 වසරේ සිට 2009 වසරේ ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය නිමවන තෙක්ම ඉතා ප්‍රබල ලෙස එම මෙහෙවරෙහි යෙදී සිටියේය. එය අතිශය දීර්ඝ කතාන්දරයක් වූ අතර එහි බොහෝ වගතුග මෙහි ලියන්නට යන්නේ නැත. කෙසේ හෝ ඔහු ගැන යම් කෙටි ආවර්ජනයක් ඔබට ලියා තබන්නේ මේ දිනවල ඔහු නැවත වරක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති හෙයිනි.

දැනට 67 වැනි වියෙහි පසුවන එරික් සෝල්හයිම් යනු නෝර්වේ රාජ්‍යයේ සිටින ප්‍රකට දේශපාලකයෙකි. එසේම රාජ්‍යතාන්ත්‍රිකයෙකි. නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ විශ්වවිද්‍යාලයේ (University of Oslo)උපාධිධරයකු වන ඔහු වසර ගණනාවක් පුරා නෝර්වේ හමුදා සේවයෙහි නිලධාරියකු ලෙසද කටයුතු කර ඇත. නෝර්වේ රටේ සමාජවාදී වාමාංශික පක්ෂයේ නායකයා ලෙස ඔහු වසර 10ක් පුරා (1987-1997) නොකඩවා කටයුතු කර ඇත. එසේම ඔහු නෝර්වේජියානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස වසර 12ක් (1989 සිට 2001) නොකඩවා කටයුතු කර ඇත. එසේම එරික් සෝල්හයිම් ඉන් පසුව නෝර්වේජියානු රජයේ කැබිනට් ඇමැතිවරයකු ලෙස වසර 07ක් පුරා නොකඩවා කටයුතු කරයි. ඒ අනුව ඔහු 2005 වසරේ සිට 2012 වසර දක්වා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමාත්‍ය ධුරයද පරිසර කටයුතු සඳහා වන අමාත්‍ය ධුරයද දරයි. මෙහිදී අසන්නට ලැබෙන සුවිශේෂ කනාත්දරය නම් ඔහු මෙම කැබිනට් අමාත්‍ය ධුර දරද්දීම ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලිය සඳහා සම්බන්ධ වී තිබීමය. කෙසේ හෝ මුලින්ම 2000 වසරේදී නෝර්වේජියානු රජය විසින් ඔහු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතයකු ලෙස පත්කරනු ලබන්නේ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පමණක් සිටියදීය. ඉන් පසුව නෝර්වේ රජය විසින් 2002 වසරේදී ඔහු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සාම මැදිහත්කරුවා ලෙස පත් කරයි. කෙසේ හෝ නෝර්වේ රාජ්‍යයේ අමාත්‍ය ධුර සඳහා ඔහු පත්වන්නේ 2005 වසරේදීය. ඒ අනුව ඔහු 2009 වසරේදී ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය නිමවන තෙක් අමාත්‍ය ධුර දෙකක් දරමින් ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලිය සඳහා සහභාගි වෙයි. මෙසේ කාලය ගෙවීගෙන යද්දී එරික් සෝල්හයිම් දේශපාලනයෙන් සමුගෙන වෙනත් රාජ්‍යතාන්ත්‍රික තනතුරු දරන්නට පටන් ගනියි. ඒ අනුව ඔහුට 2016 වසරේදී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ධුරය හිමිවෙයි. මෙය එම සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන තනතුරක්ද වෙයි.

එරික් සෝල්හයිම් නමැති මෙම සුවිශේෂ මිනිසා ගැන ඔබට එලෙස යමක් ලියා තැබුවේ ඔහු කවුරුන්දැයි හොඳින් හඳුනාගන්නටය. එසේ නම් මෙම මිනිසා නැවත වරක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේ කිනම් මෙහෙවරක් උදෙසාද? ශ්‍රී ලංකාව සැබැවින්ම ඔහුට ආගන්තුක ස්ථානයක්ද නොවේ. කෙසේ හෝ එරික් සෝල්හයිම් යනු ඉන්දියානු රජයේද බොහෝ සමීප හිතවතෙකි. ඔහු රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස පසුගිය කාලයක් පුරා ඉන්දියානු රජය සමග ඉතා සමීපව කටයුතු කරනු ලැබුවේය. ඔහු පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේ ඉන්දියාවේ චෙන්නායි නුවර සිටය. ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේ ඉතා සමීප හිතවතකුද වෙයි. එසේ වන්නේ එරික් සෝල්හයිම් ශ්‍රී ලංකාව තුළ සාම ක්‍රියාදාමය ආරම්භ කරන්නේ 2001 දෙසැම්බර් සිට 2004 අප්‍රේල් දක්වා රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දරන සමයේදීය. එකල මෙරට ජනාධිපති ධුරය දැරුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායකය. කෙසේ හෝ පසුගියදා මෙලෙස එරික් සෝල්හයිම් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ආරාධනාවක් මතය. එසේම තම මිතුරා වන රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව එරික් සෝල්හයිම්ට තම මිතුරා හමුවීමේ විශේෂ වුවමනාවක්ද තිබෙන්නට ඇත. එසේම තම සුහදත්වයද තිබෙන්නට ඇතිය. කෙසේ හෝ එරික් සෝල්හයිම් යනු පසුගිය වසර 22ක් (2000 සිට 2022 දක්වා) පුරා සංචාර රාශියක් සිදුකරමින් ශ්‍රී ලංකාවට ආගිය පුද්ගලයෙකි.

මෙවැනි වටපිටාවක් තුළ පසුගියදා එරික් සෝල්හයිම් ශ්‍රී ලංකාවට පැමිණෙන විටදී මෙරට මාධ්‍ය සියල්ලක්ම වාර්තා කර තිබුණේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් ශ්‍රී ලංකා සංචාරයකට පැමිණෙන බවය. මාධ්‍ය සියල්ලක්ම පාහේ මෙසේ වාර්තා කරන්නට ඇත්තේ ජනාධිපති රාජ්‍ය ප්‍රචාරක අංශ විසින් මාධ්‍යයට ලබාදී ඇති තොරතුරු අනුව වන්නට ඇත. එහෙත් නිසි තත්ත්වය සොයා බැලීමේදී පෙනී යන්නේ මෙම පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය (වැරැදි) එකක් බවය. එනම් එරික් සෝල්හයිම් දැනට දරන එම තනතුර ගැන වූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය එකකි. එසේ වන්නේ ඔහු වර්තමානයේදී එවැනි තනතුරක් නොදරන හෙයිනි. ඔහු එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයා (Executive Director of the United Nations Environment Programme (UNEP) ලෙස එම තනතුරට පත්වනු ලබන්නේ 2016 ජුනි මාසයේදීය. මෙම සුවිශේෂ තනතුරට ඔහු පත්කරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වන අන්තෝනියෝ ගුටාරේස් විසිනි. කෙසේ හෝ එරික් සෝල්හයිම් මෙම තනතුරෙහි කටයුතු කරන්නේ 2018 නොවැම්බර් මාසය දක්වා පමණි. එනම් 2016 ජුනි සිට 2018 නොවැම්බර් දක්වා වසර දෙකහමාරක පමණ කාලයක් එම තනතුර දරයි. ඔහු මෙම සුවිශේෂ තනතුරෙන් ඉවත් වන්නේ බොහෝ අනපේක්ෂිත අයුරිනි. එනම් තමන්ට එරෙහිව ඇතිවූ යම් චෝදනා මාලාවක් හරහා ඔහුට එම තනතුර අහිමි වීමෙනි. එම කතාන්දරය කුමක්ද?

එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානය යනු කෙන්යාවේ නයිරෝබි අගනුවර මූලස්ථානය පිහිටුවා තිබෙන සුවිශාල ජාත්‍යන්තර සංවිධානයකි. මෙය මීට වසර 50කට පෙර එනම් 1972දී එක්සත් ජාතීන්ගේ නිල ප්‍රඥප්තිය යටතේ ආරම්භ කරන ලද්දකි. දැනට ලෝකයේ රටවල් 193ක් මෙම සංවිධානයේ සාමාජිකත්වය දරනු ලබයි. ලෝකයේ තිබෙන ප්‍රධානතම පරිසරවේදී කටයුතු සහ අර්බුදයන් ගැන මැදිහත් වන්නේ මෙම සංවිධානයයි. එහි කාර්යභාරය ඉතා සංකීර්ණ එකක් වන අතර මෙම සංවිධානයේ ප්‍රධානියා වන්නේ ඉහත ඔබට ප්‍රකාශ කළ විධායක අධ්‍යක්ෂ තනතුරයි. දැන් එසේ නම් එම තනතුරෙහි වසර දෙකහමාරක් කටයුතු කළ එරික් සෝල්හයිම්ට එම තනතුර අහිමි වන්නේ කෙසේද? එය යම් ආකාරයක දූෂණ, වංචා චෝදනාවක් ලෙස ජාත්‍යන්තරය පිළිගෙන ඇත. එනම් මූල්‍යමය අක්‍රමිකතාවක් ලෙසට එම සංවිධානයේ ප්‍රකාශන මගින් සහ මාධ්‍ය වාර්තා මගින් පෙන්වා දී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විගණන අංශය විසින් 2018 සැප්තැම්බර් මාසයේදී සිදුකරන ලද විගණන පරීක්ෂණයකින් පෙනීගොස් ඇත්තේ එරික් සෝල්හයිම් විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරද්දී ඉතා අසීමිත අයුරින් තමන්ගේ විවිධ සංචාර සඳහා වියදම් කර තිබෙන වගතුගකි. එනම් ඔහු මාස 22ක් වැනි කාලයක් තුළදී සිදුකරන ලද විදේශ සංචාරයන් කිහිපයක් සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 05කට (පවුම් ලක්ෂ 04ක්) අධික මුදලක් සංවිධානයේ නිල මුදල්වලින් වැය කර ඇති බව විගණන අංශය හෙළිදරව් කර ඇත. මෙම මුදල් ශ්‍රී ලංකාවේ මුදලින් ගත් කල රුපියල් කෝටි 18කට අධිකය. එරික් සෝල්හයිම් මෙම විදේශ සංචාර සඳහා ගුවන් ගමන් වියදම් සහ හෝටල් ගාස්තු වශයෙන් අදාළ මුදල වියදම් කර ඇත. එසේම ඔහුට එරෙහිව එල්ල වූ අනෙකුත් චෝදනාව වූයේ ඔහු නයිරෝබි නුවර පරිසර මූලස්ථානයේ 80%ක කාලවේලාවක් නිසි ලෙස කටයුතු නොකර තිබීමය. එනම් ඔහු බහුතරයක් වේලාව ගතකර ඇත්තේ විදේශ සංචාර සඳහාය. එසේම ඔහු ප්‍රධානව සිදුකරන ලද සමහර පරිසර වැඩසටහන් නිසි ලෙස සාර්ථක නොවූ බවටද චෝදනා එල්ල විය. කෙසේ හෝ මෙම විවිධ චෝදනාවලින් ප්‍රමුඛස්ථානය ගත්තේ ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරමුදල් අවභාවිත කිරීමය. මෙම තත්ත්වය ඇතිවී දින කිහිපයක් යන විටම ඔහුට එරෙහිව පරීක්ෂණයක්ද ආරම්භ කරන ලදී. කෙසේ හෝ ටික දිනෙකින් එරික් සෝල්හයිම් ප්‍රකාශ කර සිටියේ තමන් විධායක අධ්‍යක්ෂ තනතුරෙන් ඉල්ලා අස්වන බවය. ඒ අනුව ඔහු 2018 වසරේ නොවැම්බර් මාසයේදී එම තනතුරෙන් ඉල්ලා අස්විය. කෙසේ හෝ එකල සුප්‍රකට විදෙස් මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබුණේ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් විසින් තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසට එරික් සෝල්හයිම්ට තදබල ලෙස ප්‍රකාශ කර ඇති බවය.

දැන් ඔබට මේ තත්ත්වය පැහැදිලි වනු ඇත. එකල එරික් සෝල්හයිම්ගේ එම සුවිශේෂ තනතුර අහිමි වීමෙන් පසුව ජොයිස් ම්සුයා (Joyce Msuya) නමැති ටැන්සානියානු ජාතික කාන්තාවක එම තනතුරෙහි තාවකාලිකව කටයුතු කළ අතර පසුව 2019 ජූලි 19දා එම විධායක අධ්‍යක්ෂ තනතුරට ඉන්ගර් ඇන්ඩර්සන් (Inger Andersen) නමැති ඩෙන්මාර්ක් ජාතික කාන්තාවක් පත්කරන ලදී. එම පත්වීමද සිදුකරන ලද්දේ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටාරේස් විසිනි. ඒ අනුව මෙම මොහොතේ එම තනතුර දරන්නේ ඉහත ඩෙන්මාර්ක් ජාතික ඉන්ගර් ඇන්ඩර්සන් නමැති පරිසර විශේෂඥවරිය විසිනි. දැන් මෙවැනි වටපිටාවක් යටතේ පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි එරික් සෝල්හයිම් වෙත කිසිදු තනතුරක් නොවීය. ඔහු කිසිදු දේශපාලකයකු හෝ රාජ්‍යතාන්ත්‍රිකයකුද හෝ නොවීය. ඔහු මෙවර ශ්‍රී ලංකාවට පැමිණියේ සාමාන්‍ය පුරවැසියකු ලෙසින් පමණි. එහෙත් අරුම පුදුම කතාන්දරය වන්නේ ඔහු ශ්‍රී ලංකාවට පැමිණි පසුව ශ්‍රී ලංකාවෙන් ඔහුට තනතුරක් ලැබීමය. එනම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුට තමන්ගේ පරිසර උපදේශකයා ලෙස අපූරු තනතුරක් පිරිනැමුවේය. එරික් සෝල්හයිම් මෙම තනතුර භාරගෙන ඇත්තේද ඉතා සතුටින් සහ භක්තියකිනි. ජනාධිපතිවරයා විසින් පරිනමන ලද මෙම තනතුර මුදල් හෝ වැටුප් නොගෙවන එකක් බවට රාජ්‍ය පාර්ශ්ව වාර්තා කර තිබිණි. කෙසේ හෝ තමන්ට ලැබුණු තනතුර ගැන එරික් සෝල්හයිම් තමන්ගේ ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත්තේ ඡායාරූපයක්ද සමගය. එය මෙසේය.

‘ශ්‍රී ලංකාව ගැඹුරු ආර්ථික අර්බුදයක සිටින අතර මෙම අර්බුදයෙන් රට ගොඩ ගැනීමට මහත් අභිලාෂයක් ඇති නව ජනාධිපතිවරයකු ලැබී තිබෙනවා. පුනර්ජනනීය බලශක්තිය, හරිත විසඳුම් සහ ඉලෙක්ට්‍රොනික ප්‍රවාහනය හරහා රැකියා උත්පාදනය සිදුකිරීම මගින් ආර්ථික ප්‍රගතිය සඳහා විශිෂ්ට අවස්ථා සලසාගත හැකියි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශකයා ලෙස මා පත්කිරීම ගැන මම ආඩම්බර වෙනවා. මෙම තනතුර වෙනුවෙන් මම කිසිම ගෙවීමක් ලබාගන්නේ නැහැ. මගේ අනෙක් කටයුතුවලට අමතරව මම මේ තනතුරෙහිද කටයුතු ඉටු කරන්නෙමි. මෙවැනි තනතුරක් සඳහා වන්දි ඉල්ලන්න තරම් ශ්‍රී ලංකාව හොඳ තත්ත්වයක නැහැ. මම වසර 10ක් මේ රටේ සාමය ස්ථාපිත කිරීම සඳහා වැඩ කළා. එහෙත් එය පසුව මිලිටරි විසඳුමක් වෙලා දැන් වාසනාවකට සාමය උදාවෙලා තිබෙනවා. ශ්‍රී ලංකාව අතිශයින්ම ලස්සන රටක්. මම අපගේ නෝර්වේජියානු ජාතිකයන්ට ඔවුන්ගේ නිවාඩුව මෙහිදී ගත කිරීමට දිරිමත් කරන්නම්. මෙම ප්‍රබල අර්බුදය හමුවේ මම හැකි උපකාරයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදුකරන බවට පොරොන්දු වෙනවා…’ එරික් සෝල්හයිම් පවසා තිබිණි.

තත්ත්වය කෙසේ වුවද මෙම අවස්ථාවේදී එරික් සෝල්හයිම් ශ්‍රී ලංකාවට පැමිණීම යනු කිසිදු ඵල ප්‍රයෝජනයක් ඇති ක්‍රියාවක් නොවේ යැයි විවිධ පාර්ශ්ව චෝදනා කර තිබිණි. එරික් සෝල්හයිම් බොහෝ විට සිදුකළේ රට රටවල සතුටින් සංචාරය කිරීම වන අතර ඒ නිසා ඔහුගේ එක්සත් ජාතීන්ගේ ඉහළ තනතුර පවා අහිමි වූ බව බොහෝ පිරිස් චෝදනා කරති. ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාද තනතුරට පත්වූ දා සිට තම නියෝජිතයන්ද පිරිවරාගෙන රටවල් ගණනාවක දැනට සංචාරය කර ඇතත් මේ තාක් රටට ලැබුණු සුබසිද්ධියක් නැතැයිද විවිධ පාර්ශ්ව දෝෂාරෝපණය කරති.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

රුපියල් කෝටි 180කට විදින්න හදයි! ලංකාවෙන් පැන්න කොටි නායිකා ‘මේරි ෆ්‍රැන්සිස්කා’ ඉන්දියාවේ බැංකුවක කෝටි ගණනකට ගහපු ගේම…!

Next Post

මහජන බැංකුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලට විද්‍යුත් ප්‍රවේශපත් විසඳුමක්…

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.