අනෝරා මහ වැස්ස එක දිගටම ඇදහැලෙමින් පවතියි. විනාඩියකට හෝ දෙකකට වැස්ස යාන්තමින් තුරන් වුවත්, නැවත කඩා හැලෙන්නට පටන් ගනියි. කොළොම්පුරයෙන් යාපනයේ තල් රුප්පාවට පැමිණි මේ විශේෂිත මිනිසා ඒ කිසිවක් බාධක නොතකා මහ මඟ දෙපයින් ඉදිරියට ඇදී යයි. ඔහු දෙපස තවත් සහායකයන් කිහිප දෙනෙකි. මේ පිරිසම වටකරගෙන සිටින්නේ ආයුධ සන්නද්ධ වූ හමුදා නිලධාරීන්ය. තල් රුප්පාවේ යම් තැනකට රථවාහනවලින් පැමිණි ඔවුහු එතැන් සිට මීටර 300ක පමණ දුරක් දෙපයින් ඇවිදිති. ඔවුන් මෙසේ පා තබන්නේ ‘මිනිසුන් නැති බිම්කඩක්’ හෝ ‘මිනිසුන්ට තහනම් බිම්කඩක්’ මතිනි. එම බිම්කඩ ඇවිද ගිය පසු, එක්තරා සමීප දුරකින් පෙනෙන්නේ හමුදා කඳවුරක මුර කපොල්ලකි. එතැනට මීටර් 50ක පමණ දුරකින් නැවතුණු පිරිස, ඈත මුර කපොල්ල දෙසින් තමන් වෙතට පැමිණෙන පිරිසක් දෙස නෙත් යොමු කරගෙන සිටිති. වැසිපොද යාන්තමට මෙල්ල වූ හැඩක් පෙනේ.
කොළොම්පුරයෙන් පැමිණි විශේෂිත අමුත්තා දෙසට එක එල්ලේම පැමිණෙන තරුණයා බොහෝ කඩිසර, මධ්‍ය ප්‍රමාණයේ ශරීරයකින් යුත් අයෙකි. තවත් ආයුධ සන්නද්ධ තරුණ පිරිසක් සමග සිටින ඔහු, හොඳ සවිශක්තිමත් පෙනුමකින්ද යුක්තය. සුදු කමිසයකින් සහ කළු කලිසමකින් සැරැසී සිටින ඔහුගේ දකුණු පස ඉනෙහි බඳ පටියක බැඳි මිලිමීටර් 09 වර්ගයේ නවීනතම පිස්තෝලයකි. ඔහු ඉදිරියට දෙපා නඟන්නේ බොහෝ සෞම්‍ය වූ සිනහමුසු මුහුණකින් යුක්තවය. කොළඹින් පැමිණි සුදු ජාතික ඇඳුම ඇඳි මිනිසාගේ අසලටම පැමිණි ඔහු අතට අතදී අමුත්තා සාදරයෙන් පිළිගනියි.
‘මම මේජර් රහීම්, ඔබ සහ පිරිස මම බොහෝ ගෞරවයෙන් පිළිගන්නවා’ යැයි පිස්තෝලය පැලඳි තරුණ මිනිසා කියන්නට ගත්තේය.
‘මම විජය, මේ ඉන්නේ ඔසී සහ ෆීලික්ස්. ඔබව හඳුනාගන්න ලැබීම ඉතා සතුටක්’ කොළඹින් පැමිණි මිනිසා පැවැසීය.
‘එන්න අපේ කඳවුරට යමු. කැප්ටන් කොතලාවල ඔබලාත් සමග මෙහි ආවාද?’
‘ඔව්… කැප්ටන් කොතලාවල ආවා, අර අතන ඉන්නවා.’ විජය කියන්නට විය.
‘කැප්ටන්, කරුණාකරලා මෙහාට එන්න, ඔබවත් අප පිළිගන්නවා.’ පිස්තෝලය පැලඳි තරුණ නායකයා කියන්නට විය.
එම වදන ඇසුණු එතැනින් අඩි 50ක් පමණ දුරින් සිටි කැප්ටන් කොතලාවල ඉදිරියට පැමිණියේය. මුහුණ පුරා රැවුල වවාගෙන සිටි කපිතාන් කොතලාවල අඩි හයක් පමණ උසැති දේහධාරී මිනිසෙකි. ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙකි. එසේ නම් මෙලෙස සිදුවෙමින් තිබෙන මේ අපූරු කතාන්දරය කුමක්ද? මෙය 1986 වසරේ ඔක්තෝබර් මාසයේ දිනයකි. ශ්‍රී ලංකා ඉතිහාසයට එක්වූ මෙම විශේෂිත වගතුග නම්, ශ්‍රී ලාංකික ප්‍රවීණතම සහ ජනප්‍රියතම රංගන ශිල්පී විජය කුමාරතුංග මහතා විසින්, දමිළ එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානයේ බලය යටතේ තිබුණු යාපනයේ ප්‍රදේශයක සිදුකළ සංචාරයයි. රංගන ශිල්පියකු මෙන්ම, ප්‍රකට වාමාංශික දේශපාලකයකු වශයෙන්ද ඔහු එකල මෙම සංචාරය සිදුකළේ යම් මෙහෙවරක් ඉටුකිරීම උදෙසාය. එනම් එකල කොටි සංවිධානය ජීවග්‍රහණයට ගත් සිංහල හමුදා නිලධාරීන් දෙදෙනකු, නිදහස් කරගැනීමේ පරමාර්ථය උදෙසා එය සිදුකළේය. එහෙත් මෙම ගමන සිදුවූයේ බාධක රාශියක් මධ්‍යයේය. එනම් එකල මෙම සංචාරය සිදුකිරීමට කටයුතු සංවිධානය කෙරී එම පිරිස යාපනයට යෑමට රත්මලාන ගුවන් තොටුපොළ වෙතට පැමිණි විටදී, එම ගමන සඳහා ලැහැස්තිවී සිටි මාධ්‍යවේදීන් 15කට පමණ එම සංචාරයද තහනම් කරන ලදී. එය එකල රජය ගත් තීරණයකි.
කෙසේ හෝ ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ නායකයා ලෙස විජය කුමාරතුංග එම ගමන සිදුකළේය. ඔහුත් සමග අනෙකුත් වාමාංශික දේශපාලකයන් දෙදෙනෙකු වන ඔසී අබේගුණසේකර සහ ෆීලික්ස් පෙරේරාද සහභාගි වූහ. මෙම පිරිස යාපනයේදී මුලින්ම පිළිගනු ලැබුවේ ප්‍රකට එල්.ටී.ටී.ඊ. කොටි නායකයකු වන ශ්‍රී කුමාර් කනගරත්නම් නොහොත් ‘මේජර් රහීම්’ විසිනි. ඉන්පසුව මේජර් රහීම් විසින් මෙම පිරිස කොටි සංවිධානයේ නියෝජ්‍ය නායකයා වන සතාසිවම් ක්‍රිෂ්ණකුමාර් නොහොත් ‘කර්නල් කිට්ටු’ වෙත හඳුන්වා දී සාකච්ඡා පැවැත්වූයේය. කෙසේ හෝ අද ඔබට ලියා තබන්නට යන්නේ මෙම විජය කුමාරතුංගගේ සංචාරය හරහා හෙළිවී තිබෙන තවත් අපූරු, නවතම වගතුගක තොරතුරුයි. එය මෙයට දින කිහිපයකට ඉහතදී සිදුවූවකි. එනම් මෙම සංචාරයේදී මේජර් රහීම් විසින් සඳහන් කරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු නිලධාරියකු වන කපිතාන් කොතලාවල කවුද? ඔහුගේ සම්පූර්ණ නම ජයන්ත කොතලාවලය.
ඒ කතාව මෙසේය,
කපිතාන් (කැප්ටන්) ජයන්ත කොතලාවල යනු ශ්‍රී ලංකා වාර්ගික යුද්ධයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ සිටි අතිදක්‍ෂ හමුදා නිලධාරියෙකි. යුද්ධ සමයේදී ඔහු බොහෝ විට රැකියා කටයුතු කළේ උතුරේ රණබිමේදීය. විශේෂයෙන්ම එම යුද සමයේදී ප්‍රබල ප්‍රහාරයන්ට ලක්වූ යාපනය කොටුව සහ එහි පිහිටා තිබුණු හමුදා කඳවුරද සතුරු ග්‍රහණයට අත් නොවීමට මහා මෙහෙවරක් ඉටුකර ඇත්තේ මෙම අභීත, දක්‍ෂ හමුදා නිලධාරියාය. කෙසේ හෝ රාජකාරී සමයේදී ඔහුගේ විශේෂත්වයක් වී ඇත්තේ, ඔහුට දමිළ කොටි ත්‍රස්ත සංවිධානය තුළද හිතවත් දමිළ කොටි නායකයන් සිටීමය. මෙවැනි එක් ප්‍රධානතම දමිළ කොටි නායකයකු වන්නේ මේජර් රහීම්ය. අප ඉහත මෙම ලිපියේ සඳහන් කළ එම මේජර් රහීම් සහ කපිතාන් ජයන්ත කොතලාවල ඉතාමත්ම සමීප මිත්‍රයන් දෙදෙනෙකි. ඒ මිත්‍රත්වය කෙතරම් ප්‍රබලද යත් සමහර අවස්ථාවලදී දෙපාර්ශ්වයන්ටම සිදුවීමට ගිය මහා විනාශයන් පවා වැළකී ගොස් ඇත. එය දුර්ලභ අවස්ථාවකි.
කෙසේ හෝ කාලය ගතවත්ම කපිතාන් ජයන්ත කොතලාවල විශේෂිත යුද පුහුණුවක් සඳහා ඇමෙරිකාවට ගොස් ඇත. එසේම 1990 වසරේදී මේජර් රහීම්ද ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ. යුද්ධ ක්‍රියාකාරකම්වලින් ඉවත්ව කැනඩාවට ගොස් ඇත. එනම් දැනට වසර 30කට වැඩි කාලයක් ගතවී ඇත. ඒ අනුව දැනට දින කිහිපයකට ඉහතදී මේජර් රහීම් නොහොත් ශ්‍රී කුමාර් කනගරත්නම් තම හිතවත් සිංහල යුද මිතුරා ගැන අපූරු වගතුගක් ප්‍රකාශ කර ඇත. කෙසේ හෝ කපිතාන් ජයන්ත කොතලාවල පසුකාලයකදී රිය අනතුරක් හේතුවෙන් මියගොස් ඇත. එහෙත් මේජර් රහීම් මේ වන විට වැඩිහිටි වියට පත්ව සිවිල් ජීවිතයක් ගතකරමින් සිටින බැව් පැවසෙයි. කැනඩාවේ ස්ථිර පදිංචියක සිටින ඔහු පසුගියදා එහි සිටින වෛiවරයකු වන, වෛi රුවන් එම්. ජයතුංග මහතා සමග මෙම සාකච්ඡාව සිදුකර ඇත. අන්තර්ජාලයේ පළකෙරුණු එම වගතුග මෙසේ ගෙනහැර දැක්විය හැකිය. අතීත යුද සමයේදී මෙම සිංහල සහ දමිළ යුද නායකයන් දෙදෙනාගේ වගතුග ඉතිහාසයට එක්වන ඉතා අමරණීය විශේෂිත වගතුගකි.
කැප්ටන් කොතලාවල ගැන හිටපු එල්.ටී.ටී.ඊ. නායක රහීම් කතා කරයි. ඉංග්‍රීසි බසින් සිදුකර ඇති මෙම සංවාදය ‘ධබකසබැ ෘැබසහ්හ්’ නම් අන්තර්ජාල වෙබ් අඩවියක මෙයට දින කිහිපයකට ඉහතදී පළකෙරී තිබිණි.
කැප්ටන් ජයන්ත කොතලාවල (පසුකාලීනව ලුතිනන් කර්නල්) සිංහ රෙජිමේන්තුවේ නිලධාරියෙකි. ඔහු යාපනය කොටුව එල්.ටී.ටී.ඊ. ග්‍රහණයට අසු නොවීමට ඉඩ නොදී සටන් කළ නිලධාරියකු විය. මුහුණ පුරා රැවුල වවාගෙන සිටි කැප්ටන් කොතලාවල හයයි දෙකේ සද්දන්ත පුරුෂයෙකු විය. ඔහු සහ එවකට යාපනයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වූ රහීම් (ශ්‍රී කුමාර් කනගරත්නම්) අතර අපූරු මිතුදමක් වූයේය. මේ මිතුදම ගැන ආචාර්ය රොහාන් ගුණරත්න මෙන්ම මහාචාර්ය රාජන් හූල් පවා ඔවුන්ගේ පොත්වල ලියා තිබේ. පසුකාලීනව එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඉවත් වන රහීම් වර්තමානයේ කැනඩාවේ ජීවත් වෙයි. පහත දැක්වෙන්නේ මා විසින් (වෛi රුවන් එම්. ජයතුංග) රහීම් සමග කපිතාන් කොතලාවල ගැන කරන ලද සංවාදයයි.
ඔබට කපිතාන් කොතලාවල මුලින්ම මුණගැසෙන්නේ කුමන අයුරකින්ද?
එය සිදුවූයේ 1986 වසරේදීය. 1986 ඔක්තෝබර් 12 වැනි දින යාපනයේ අඩම්පන්හී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර අවි ගැටුමක් ඇති වුණා. මේ ගැටුමේදී මන්නාරමේ එල්.ටී.ටී.ඊ. නායක වික්ටර් ඔස්කා ඇතුළු පිරිසක් මියගියා. එසේම හමුදාවේ සාමාජිකයන් අට දෙනෙකුද මියගියා. එක් සෙබළෙක් සහ දෙවැනි ලුතිනන්වරයෙක් අප ජීවග්‍රහණයෙන් අල්ලා ගත්තා. ඔවුන් නම් සෙබළ බණ්ඩාර සහ දෙවැනි ලුතිනන් අජිත් චන්ද්‍රසිරියි. ඔවුන් දෙදෙනා සිටියේ අප ඔවුන්ව මරා දමයි කියන බියෙන්. මම ඔවුන් වෙත ගොස් කිව්වා, අපි අත්අඩංගුවට ගත් සතුරාව මරා දමන්නේ නැති බව. ඒත් මියගිය හමුදා සෙබළුන්ගේ මෘත ශරීරවලට කරන්නේ කුමක්ද කියා අප දැන සිටියේ නැහැ. එවකට යාපනයේ සිටි එල්.ටී.ටී.ඊ. නායකයා වූයේ කිට්ටුයි. එහිදී මම යාපනය කොටුවේ හමුදා කඳවුරට කතා කොට කැප්ටන් ජයන්ත කොතලාවල අමතා, මළසිරුරු මා රැගෙන එන බව කිව්වා. ඉන්පසු මළසිරුරු අට ලොරියක දමාගෙන යාපනය කොටුව අසල සුබ්‍රමානියම් පිට්ටනියට ගියා. මම එහි ගියේ නිරායුධව. කොටුව අසලදී කැප්ටන් කොතලාවලව මට හමුවුණා. ඔහු මගෙන් ඇහුවා මේ මළ සිරුරු භාරදීමට සිතුණේ මන්ද කියා. එහිදී මම කිව්වා මේ සටනේදී මා මියගියහොත් මගේ අවසාන කටයුතු කිරීමට මගේ මවට මගේ දේහය ඕනෑ වෙනවා. ඒ වගේ මේ සෙබළුන්ගේත් අම්මලාට මේ මෘත ශරීර වටිනවා. ඒ නිසා මා මනුෂ්‍යත්වය විශ්වාස කොට, නායක කිට්ටුගේ අවවාදයවත් නොසලකා, නිරායුධව ඔබලාගේ කඳවුරට ආවා මේ මෘත ශරීර භාර දීමට. එහිදී කැප්ටන් කොතලාවල ඉතාම හැඟීම්බරව මාව වැලඳගෙන සෙබළුන්ගේ මෘත ශරීර භාර ගත්තා. ඒ අපගේ ප්‍රථම හමුවීමයි.
ඉන්පසු ඔබට ඔහුව හමුවූයේ කොතැනකදීද?
දෙවැනි වර ඔහුව හමුවන්නේ 1986 දී විජය කුමාරතුංග යාපනයට ආ අවස්ථාවේදී. එහිදීද ඔහු සමග සමීපව කටයුතු කළා. ඉන්පසුව 1987 ඉන්දු-ලංකා සාම ගිවිසුම කාලයේ යාපනයේ එල්.ටී.ටී.ඊ. කාර්යාලයේදී අප හමුවුණා. එහිදී කපිතාන් කොතලාවලට නායක ප්‍රභාකරන්ව හමුවුණා. අප ඔහුට දිවා ආහාරයෙන් සංග්‍රහ කළා.
ඒ වගේම පසුකාලයේදී අපි සමහර විට දුරකතන මගින් ඇමැතුවා. අප දෙදෙනා අතර ඉතා සුහද බවක් ගොඩනැඟුණා.
සමහරු කියනවා ඔබ සහ කැප්ටන් කොතලාවල ක්ලාස්මේට්ලා (පන්ති මිතුරන්) කියලා. ඒක ඇත්තද?
නැහැ… ඒක බොරුවක්. ඔහු ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විiාලයේ.මම ඉගෙන ගත්තේ මහනුවර ත්‍රිත්ව විiාලයේ. අප එකිනෙකා මුණගැසුණේ යුද භූමියේදීයි. මිතුරන් වුණේ එහෙමයි.
තවත් ජනප්‍රිය කතාවක් තමයි කැප්ටන් කොතලාවල තම සොල්දාදුවන්ට නියෝගයක් දී තිබුණාලු, ඔබව යම් ලෙසකින් අත්අඩංගුවට ගතහොත් ඔහු වෙතට ගෙන ආ යුතු බවට. එසේම ඔබ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ටම එවැනි නියෝගයක්මදී තිබුණාලු. එසේම මහාචාර්ය රාජන් හූල්ගේ Sri Lanka : The Arrongance of Power: Myths, Dedcadence and Murder පොතේ සඳහන් වෙනවා. වරක් එල්.ටී.ටී.ඊ. ස්නයිපර් කෙනෙක් කපිතාන් කොතලාවලට වෙඩි තැබීමට ගියවිට ඔබ එය වැළැක්වූ බව සහ නායක කිට්ටුට ඒ ගැන තරහා ගිය බැව්. මේ කතා සත්‍යයද?
මේවා ඔක්කොම විහිළු කතා. අප අතර එහෙම ගිවිසුමක් තිබුණේ නැහැ. තවත් කතාවක් තමයි යාපනය කොටුව යුද හමුදා කඳවුරට දර අවශ්‍ය වූ විට මම දර ලොරියක් යැවූ බැව්. මේවා එකක්වත් ඇත්ත නෙවෙයි. අපි ප්‍රතිවිරුද්ධ සංවිධාන දෙකක සාමාජිකයෝ.
මට ඔහුව යුද භූමියේදී මුහුණට, මුහුණ හමුවුණා නම් මම ඔහුට වෙඩි තියනවා. එසේම එම තත්ත්වය යටතේ ඔහුද මට දෙවරක් නොසිතා වෙඩි තියනවා. අප අතරේ තිබුණේ මනුෂ්‍යත්වය හරහා ගිය බැඳීමක් පමණයි. තමන් සොල්දාදුවකු බව ඔහු අමතක කළේ නැහැ.
ඒ වගේම මම ගරිල්ලා කණ්ඩායමක සාමාජිකයකු බව මම අමතක කළේත් නැහැ. නමුත් අපි එකිනෙකාට ඉතාමත් ගරු කළා.
මේ අමුතු මිත්‍රත්වය නිසා ඔබලාට ගැටලු මතුවුණේ නැද්ද?
අප දෙදෙනාගේ මිත්‍රත්වය ගැන නායක කිට්ටුට යම් අවබෝධයක් තිබුණා. ඒ නිසා මට ඉන් පීඩනයක් ආවේ නැහැ. නමුත් යම් යම් අවස්ථාවලදී කපිතාන් කොතලාවට උසස් නිලධාරීන් පීඩනය එල්ල කළා. තවත් එකක් ඔහු ‘ඇරොගන්ට්’ (හිතුවක්කාර) චරිතයක්. උසස් නිලධාරීන්ව සමහර විට ‘කෙයාර්’ කළේ නැහැ. ඒ නිසා ඔහුට උසස්වීම් පවා ලැබුණේ ප්‍රමාදවී.
වරක් මම විහිළුවට කිව්වා, ඔබ තමයි ආසියාවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම කපිතාන්වරයා කියලා. අපි අතර මිත්‍රත්වයක් තිබුණත්, එකිනෙකා හමුදාමය තොරතුරු හුවමාරු කරගත්තේ නැහැ. අප අතරේ තිබුණේ උසස් මිත්‍රත්වයක්. වරක් අපගේ මිත්‍රත්වය ගැන ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයා ඔහුගෙන් අසා තිබුණා. ඔහු ඊට නියම පිළිතුරක් දී තිබුණා.
ඔහු කිව්වාලු දෙවැනි ලෝක යුද සමයේ නත්තල් දිනෙක, ඉංග්‍රීසි හමුදාව සහ ජර්මන් හමුදාව අතර පාපන්දු තරගයක් පැවැත්වූවා කියා.
එලෙස සමහර විටෙක සතුරා අතර යම් මිත්‍රත්වයක්ද තිබිය යුතුයි කියා ඔහු කීවාලු. ලලිත් ඇතුලත්මුදලි උසස් පුද්ගලයෙක්. ඔහු එය වටහා ගත්තා. මගේ පියා සහ රවී ජයවර්ධන එක පාසලේ, එක පන්තියේ මිතුරන්. එයද ඇතුළත්මුදලි අමාත්‍යවරයා දැනසිටියා.
පසුකාලීනව ඔබට ඔහුව හමුවන්නේ කොහොමද?
1990 වන විට මම එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඉවත්වී කැනඩාවට යනවා. 1991 වගේ කාලයක ඔහු හමුදා පුහුණුවක් සඳහා ඇමෙරිකාවට එනවා. කෙසේ හෝ ඔහු මගේ දුරකතන අංකය සොයාගෙන ඔහු මට කතා කරනවා. ඉන්පසු අපි දෙදෙනා කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී හමුවෙනවා.
ඔහුගේ මරණය ඔබට ආරංචි වන්නේ කෙසේද?
ඔහු මියයන්නේ රිය අනතුරකින්. ඔහුගේ මරණය මාව විමතියට වගේම ඉතා කනගාටුවට පත්කළා. ඔහුගේ බිරිය සහ දියණිය දැන් ජීවත් වන්නේ ඕස්ටේ්‍රලියාවේ. මම අදටත් ඔවුන්ගේ පවුලේ හිතවතෙක්.
මේ අපූරු මිත්‍රත්වය ගැන අද දිනයේදී ඔබට සිතෙන්නේ කුමක්ද?
අද ජයන්ත කොතලාවල කියන හමුදා නිලධාරියා ජීවතුන් අතර නැහැ. හිටපු සන්නද්ධ සටන්කරුවකු වූ මම දැැන් සන්නද්ධ අරගලයෙන් ඉවත්වෙලා සාමකාමී සිවිල් ජීවිතයකට ඇතුළු වෙලා. ප්‍රභාකරන්ගේ සටන පරාජයෙන් අවසන්. මේ ගතවූ කාලය ගැන බලන විට සිතට එන්නේ කොපමණ ජීවිත යුද්ධය නිසා විනාශ වුණාද, කොපමණ දේපොළ විනාශ වුණාද කියන එකයි.
අවසානයේදී අපි හැමෝම ලබාගත් දේ මොකක්ද කියා මම ප්‍රශ්න කරනවා. යුද්ධය නම් අවලස්සන තරගයෙන් ඉතිරි වුණේ අපගේ මිත්‍රත්වය පමණයි.
අපි එකිනෙකා සමග සටන් කරත්, ගහමරා ගත්තත්, අපට යම් අවස්ථාවක් එනවා සතුරා සමග මානවහිතවාදී ලෙස ගනුදෙනු කරන්න. ඒ ගැන අප වටහාගත යුතුයි.
ඒ අවබෝධය ලැබුණු පසු අපි කා, කොටාගන්නා තිරිසනුන් නොව, තවත් මිනිසෙකු දෙස මානුෂික ඇසින් බැලිය හැකි මිනිසෙකු බවට පරිවර්තනය වෙනවා.
ප්‍රියන්ත හෙට්ටිගේ










