හිරු මුදුන් වෙමින් ඉදිරි මාස තුන ඇතුළත ශරීර උෂ්ණත්වයට වඩා පරිසර උෂ්ණත්වය වැඩිවන හෙයින් තම දරුවන් මෝටර් රථවල තනිකොට දොරගුළු වසා බඩු බාහිරාදිය මිලදී ගැනීමට පිටව නොයන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ. (Sri Lanka Latest News)
ඔහු එසේ සඳහන් කරන්නේ මේ දිනවල දැඩි උෂ්ණත්වය මෝටර් රථවලටත් බලපාන හෙයින් ඒ තුළ දරුවන් රඳවා යෑමෙන් දරුවන්ගේ ජීවිත අවදානමකට ලක්වූ අවස්ථා මීට පෙර සිදුව ඇති බවද සිහිගන්වමිනි.
දැනට බලපා ඇති අධික උෂ්ණත්වය නිසා දිනකට ජල බෝතල් 2ක් පානය කරන පුද්ගලයන් එම සංඛ්‍යාව වැඩිකර වැඩිපුර ජලය භාවිත කළ යුතු වන අතර, ස්වභාවික දියර භාවිතයට ගත යුතු බවයි ඔහු සඳහන් කළේ.
ශරීරයට උෂ්ණත්වය වැඩිපුර දැනෙන විට සමේ රෝගද වැඩිවීමට ඉඩ ඇති බවත්, කුඩා දරුවන් දිනපතා ජලයේ සිටීමට ඉඩහැරීමද සුදුසු බවයි වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පෙන්වා දුන්නේ.
ජලය පාවිච්චි කිරීම අඩු වීමෙන් මොළයේ ආබාධද ඇතිවිය හැකි බව ඔහු සඳහන් කළේය.
ප්‍රේමලාල් විජේරත්න










