පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කළ තොරතුරකින් කියා සිටියේ පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන උතුරු නැගෙනහිර සහ වතුකරයේ දෙමළ මුස්ලිම් සියලු පක්ෂ වෙනම සන්ධානයක් ගොඩනැගූ බවත්, ඉදිරියේදී ඔවුන් පළාත් සභා මැතිවරණය සහ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලා දැවැන්ත සටනක් දියත් කිරීමට සැලසුම් කරමින් සිටින බවත්ය. මෙහි පළමු සාකච්ඡාව මීට සති දෙකකට ඉහතදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති අතර, දෙවැනි සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කොට තිබුණේ සිකුරාදා (24) පස්වරුවේ පාර්ලිමේන්තුවේදීමය. ඒ සඳහා පසුගිය බදාදා දිනයේදී පාර්ලිමේන්තු කමිටු කාමරයක් ලබාගැනීම සඳහා එම සන්ධානයේ කැඳවුම්කරු වන ශානක්‍යන් රාසමානික්කම් මහතා සභා රැස්වීම අතරවාරයේදී කතානායකවරයා හමුවීමට ගොස් සිය අවශ්‍යතාව කතානායකවරයාට දැනුම් දීමට පියවර ගත්තේය. නමුත් කතානායකවරයා එහිදී රාසමානික්කම්ට දැනුම් දී සිටියේ එවැනි සාකච්ඡාවක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු කමිටු කාමරයක් ලබාදිය නොහැකි බවත්, එවැන්නක් අවශ්‍ය නම් ඊට සහභාගි වන සියලු පක්ෂවල නායකයන්ගේ අස්සන් සහිත ලිපියක් තමන් වෙත ඉදිරිපත් කළ යුතු බවත්ය. ඊට ඒ මොහොතේදීම විරෝධය පළකළ රාසමානික්කම් කියා සිටියේ මීට පෙර එවැනි සාකච්ඡා පාර්ලිමේන්තු කමිටු කාමරවල පවත්වා ඇති බවත්, ඒ අවස්ථාවලදී මේ ආකාරයේ අවසර ගැනීමක් සිදුව නැති බවත්ය. නමුත් කතානායකවරයා තමන් සිටි ස්ථාවරයේම දැඩිව සිටිමින් රාසමානික්කම්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
ඉන් අනතුරුව පසුගිය බදාදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරකසභාව රැස්වූ අවස්ථාවේදී මෙම ප්රශ්නය නැවත වතාවක් කතානායකවරයාගේ අවධානයට යොමුකිරීමට රාසමානික්කම් පියවර ගත්තේය. එහිදීද කතානායකවරයා රාසමානික්කම්ට දැඩිව කියා සිටියේ තමන් මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ප්‍රකාශ කොට ඇති බවත්, එවැනි සාකච්ඡාවක් පැවැත්වීමට පාර්ලිමේන්තු කමිටු කාමරයක් ලබාදිය නොහැකි බවත්ය. අවශ්‍ය නම් විපක්ෂ නායක කාර්යාලයේ හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට ලබාදී ඇති කාර්යාල කාමරයක එවැනි සාකච්ඡාවක් පැවැත්විය හැකි බවත් කතානායකවරයා රාසමානික්කම්ට දැනුම් දී සිටියේය. කතානායකවරයා දුන් එම පිළිතුරෙන් රාසමානික්කම්ට තරමක් කේන්ති ගිය ආකාරයක් දැකගත හැකි විය.
රාසමාණික්කම්ට ආ ඇමතුම
‘මේක අපිට ඕනේ නම් විපක්ෂ නායක කාර්යාලයේ තියන්න තිබ්බා. හැබැයි අපිට මේක විපක්ෂ නායක කාර්යාලයට අරන් යන්න වුවමනාවක් නෑ. මොකද මේ සන්ධානය ආණ්ඩුවටවත්, විපක්ෂයටවත් සම්බන්ධ සන්ධානයක් නෙවෙයි. මේක අපේ ප්‍රශ්න ගැන කතා කරන්න හදාගත්ත පොදු සන්ධානයක්. ඒකට අපිට පොදු තැනක් ඕනේ. අනෙක පක්ෂවලට දීලා තියෙන කාමර කාලෙකින් සුද්ද කරලත් නෑ. ඒවායේ මීටින් තියනවා තියා වාඩිවෙලා ඉන්නවත් බෑ…’ යනුවෙන් රාසමානික්කම් කියද්දී කතානායකවරයා නැවත කියා සිටියේ එසේ නම් තමන් මැදිහත් වී එම කාර්යාල පිරිසිදු කර දෙන්නම් යැයි කියාය. කතානායකවරයාගේ ඒ පිළිතුරට රාසමානික්කම්ගේ රතු කට්ට පැන්නේය.
‘ඔබතුමා කතානායක. ඔබතුමා ඔබතුමාගේ රාජකාරිය කරන්න. පී.එච්.අයි. කරන වැඩේ ඔබතුමා කරන්න ලෑස්ති වෙන්න එපා….’ යනුවෙන් කී රාසමානික්කම් වහාම සාකච්ඡාවෙන් නැගිට කෝපයෙන් යුතුව ඉන් පිටව යෑමට පියවර ගත්තේය.
මේ ආකාරයට රාසමානික්කම් සාකච්ඡාවෙන් නැගිට පිටව ගොස් පැයකට පමණ පසු ඔහුගේ දුරකතනයට ආණ්ඩුවේ ඉහළම ඇමැතිවරයකුගෙන් ඇමතුමක් ලැබිණි. එම ඇමැතිවරයා රාසමානික්කම්ට දැනුම් දී සිටියේ කතානායකවරයා කී යම් යම් කරුණු සම්බන්ධයෙන් වැඩිය ගණන් නොගන්නා ලෙසත්, අදාළ සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු කමිටු කාමර අංක 08 ලබාදීමට හැකි බවත්ය. දෙමළ මුස්ලිම් පක්ෂවල දෙවැනි රැස්වීම සිකුරාදා පස්වරුවේ කමිටු කාමර අංක 08 පැවැත්වුණේ ඒ අනුවය.











