ඩිලක්සිට ජීවිතය එපා වෙන්න තරමටම ඉංග්‍රීසියෙන් බැට දුන්නු යාපනයේ ගුරුවරු කවුද?
A9 ගත්ත දරුවා මලියදේවයට ගිහින් 8 වෙනියා වුණාම ජීවිතය එපා වුණේ ඇයි?
අපේ රටේ අධ්‍යාපන ක්‍රමය යම් වෙනසකට බඳුන්විය යුතුයි කියලා කලින් කලට විවිධ අධ්‍යාපනඥයන් සඳහන් කරනවා. පොත පතේ දැනුමට අමතරව විධිමත් වෘත්තීය පුහුණුවක් ලබාදෙන ක්‍රමවේදයක් සහිත අධ්‍යාපන ප්‍රතිපත්තියක් අවශ්‍ය බවයි ඒ බොහෝ විද්වතුන් සඳහන් කරන්නේ. ඒ වගේම දැනට අප රට තුළ ක්‍රියාත්මක වන උසස් අධ්‍යාපන ආයතනවලදී දරුවන්ට ඇතිවන පීඩනය ගැනද නැවත නැවතත් සලකා බැලිය යුතු තත්ත්වයකට පත්ව තිබෙනවා.(Sri Lanka Latest News)
විභාග කේන්ද්‍රීය විශ්වවිද්‍යා පාඨමාලා හේතුවෙන් දරුවන් තුළ දැඩි මානසික පීඩනයක් ගොඩනැගී ඇති බව පසුගිය වසර කිහිපය පුරා සිදුවූ සියදිවි නසාගැනීමේ සිදුවීම් විශ්ලේෂණය කරද්දී වැටහෙන කරුණක්. ඒ පීඩනය දරාගන්න බැරි වෙනකොට ඒ වේදනාවෙන් මිදෙන්න ජීවිතයෙන් පලායෑම හැර වෙන විසඳුමක් නැහැ කියලයි ඇතැම් දරුවන් හිතන්නේ.
කාලයක් තිස්සේ හිතේ පවතින එම පීඩනය පුපුරා යද්දී ඔවුන් බරපතළ තීන්දු තීරණවලට එළඹෙන්නේ ක්ෂණිකවමයි. සමහරු, සියලු මානසික පීඩාවන් අමතක කරලා කොහේ යෝ යන්න හිතනවා. දැන් ජීවත් වුණා ඇති කියලා සමහරු හිතනවා. නමුත් ඔවුන් එවැනි තීරණ ගන්න පෙලඹුණත් ඒ සියල්ල අනුවණ බොළඳ වැඩ බව අපි බාහිරින් බලලා කිව්වට ඒකෙ බරපතළ බව වැටහෙන්නේ ප්‍රශ්නයට මුහුණ දීපු කෙනාට විතරයි. ප්‍රශ්නය තමන්ගේ නොවෙනතාක් උත්තරය දාර්ශනිකයි කියලා කියන්නේ ඒ නිසයි.
අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත් දවසේ ඉඳලා දැනෙන්නේ මහත් සතුටක්. ඒ සතුට වැඩිවෙන්නේ දරුවෙක් බිහිවෙලා ලොකුමහත් වෙලා, විවිධ කඩඉම් ජය ගන්නකොට. ඒත් ඒ සතුට විඳින්නේ මවුපියන්ගෙන් කීයෙන් කී දෙනෙක්ද? තමන්ගේ දරුවා මේ තරම් දුරකට ගේන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නොවිඳින දුකක් නැහැ. ඒ විදියට ඉගෙන ගත්ත දුවෙකුට පුතෙකුට අත්වෙච්ච කනගාටුදායක සිදුවීම් දෙකක් ගැන පසුගිය දවසක අපට අහන්න ලැබුණා.
ඉන් එක් සිදුවීමක් වාර්තා වුණේ යාපනය විශ්වවිද්‍යාලයෙන්. ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකරන ඉගැන්වීම් වටහාගැනීමට අපහසු වීම නිසා කනස්සල්ලට පත්ව සිටි එම විශ්වවිද්‍යාලයේ සිසූුවියක් ගෙල වැලලාගෙන තිබුණා. ඇය කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි වසන්ත කුමාර් ඩිලක්සි සිසුවියයි. යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලැබූ ඇය, පසුගිය 17 වැනිදා පස්වරුවේ තම නිවෙස තුළ ගෙල වැලලාගෙන සිටිනු දැක තිබුණේ ඇගේ සොහොයුරායි. මවුපියන් සහ අසල්වැසියන් ඩිලක්සිව වහාම රෝහල්ගත කිරීමට කටයුතු කළද, ඇය ඒ වන විටත් ජීවිතයෙන් සමුගෙන ගොස් තිබුණා.
ඇය දිවි නසාගැනීමට නිශ්චිත හේතුව මේ වන විටත් අනාවරණ නොවුණත් ඇගේ මව පවසා සිටියේ තම දියණියට විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකරන ඉගැන්වීම් තේරුම් ගැනීමට අසීරු බව පැවැසූ බවයි. තමන්ට යළි විශ්වවිද්‍යාලයට යාමට නොහැකි බවත් ඇය පවසා තිබුණා. ඇගේ මව ඒ බව සඳහන් කර තිබුණේ මේ ආකාරයටයි.
‘දුව මේ සැරේ ගෙදර ඇවිත් කිව්වා මම ආපහු කැම්පස් එකට යන්නේ නැහැ කියලා. ඉංග්‍රීසියෙන් උගන්වන එක මට තේරෙන්නේ නැහැ, හැම වෙලාවෙම හැමොගේම ඉස්සරහ මගෙන් තමයි ප්‍රශ්න අහන්නේ කිව්වා. හැමෝම ඉස්සරහා පිළිතුරු දන්නේ නැහැ කිව්වාම මට ලැජ්ජයි කිව්වා. මම ඒ සැරේ කිව්වා ඊළඟ මාසේ කැම්පස් එකේ විභාගය ඉවර වෙලා කැම්පස් යන එක නවත්තලා ගෙදර එන්න කියලා. අපේ පවුලෙන්ම විශ්වවිද්‍යාලයට ගියේ මම විතරයි කොහොමද මම මේක නවත්වන්නේ කියලා දුව එතකොට ඇහුවා. ගෙදර ආව දවසේ කිව්වා මීට කලින් කැම්පස් එකේ ළමයෙක් එල්ලිලා මැරුණා, මම නම් එහෙම තීරණ ගන්නෙ නැහැ කියලා. ඉංග්‍රීසි නිසා මට මගේ එකම දරුවා නැතිවුණා…’
අනෙක් කනගාටුදායක සිදුවීම වාර්තා වුණේ කුරුණෑගල සිරිගල ප්‍රදේශයෙන්. දිනුර සදංජන සිසුවා දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබා A සාමාර්ථ 9ක් ලබාගත්තේ දහසක් බලාපොරොත්තුව ඇතිවයි. ඒ විශිෂ්ට ප්‍රතිඵලයත් සමග ඔහුට උසස් පෙළ හැදෑරීම සඳහා කුරුණෑගල මලියදේව විද්‍යාලයට ඇතුළත් වීමටද වරම් හිමිවුණා. ඒ අනුව ඔහු ගණිත අංශයෙන් උසස් පෙළ හදාරමින් සිට තිබෙනවා. මලියදේව විද්‍යාලයට දිනුර සදංජන සමග දඹදෙණිය විදුහලේ සිටි තවත් සිසුවකුද පැමිණෙ ඇති අතර, මිතුරන් වූ ඔවුන්ට පන්ති කාමර දෙකක ඉගෙන ගැනීමට සිදුව තිබුණේ දිනුරගේ හිතට සංකාවක් එක්කරමිනි.
එසේ තිබියදී නව පාසලේදී අලුත් මිතුරන්ද දිනුරට සමීප නොවීම හේතුවෙන් ඔහු දිනෙන් දිනම මානසික පීඩාවට පත්ව තිබුණා. කෙසේ වෙතත් දිනුරගේ මෙම පීඩනය තවත් ඉහළ යන සිදුවීමක් සිදුවුණා. ඒ, පාසලේ වාර පරීක්ෂණයේදී ඔහු පන්තියේ 8 වැනි තැනට පත්වීමයි. සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ 9ක් ලබාගත් දිනුර විෂයන් රැසකට ලබාගත් ලකුණු මට්ටම පහළ වැටීම හේතුවෙන් ගුරුවරුන් ඔහුගේ මවුපියන්ට ඒ බව දැනුවත් කිරීමටද කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ. මේ සියලු සිදුවීම් මැද දිනුරගේ මානසිකත්වය තරමක් ව්‍යාකූල වී තිබෙනවා. තමා කලින් සිටි පාසලේ මිතුරන් මෙන් මලියදේව විදුහලේ මිතුරන් තමාට උදව් නොකරන බව දිනුර සිය ලොකු අම්මා සමග පවසා තිබුණා.
‘මෙයාලා යනකොට ළමයි පොත වහනවලු බලයි කියලා. මේ සැරේ වාර විභාගයේ අටවැනියා වෙලා ඒක ඔළුවට අරගෙන කල්පනා කළා. එයත් එක්ක එන අනිත් ළමයා 23 වැනියා කියලා පුතා දවසක් කිව්වා’ යනුවෙන් ඔහුගේ ලොකු අම්මා පවසා සිටියා.
කෙසේ වෙතත් මෙම මානසික පීඩනයට මුහුණ දීමට අසමත් වන දිනුර, ජීවිතයෙන් වන්දි ගෙවීමට තීරණය කරන්නේ අවුරුදු ගණනක් පුරාවට සිත තුළ තබාගෙන ආ සිහිනවලට තිත තබමිනි. පසුගිය 19 වැනිදා කිසිවකුත් නැති අවස්ථාවක නිවෙසේ කෑම කාමරයේ ගෙල වැලලාගෙන තිබුණේ එහි අවසන් ප්‍රතිඵලය ලෙසටයි.
දිනුරගේ පියා තම පුතුගේ අකල් වියෝව පිළිබඳ මෙලෙස පවසා තිබුණා.
‘විභාගයට ලකුණු මදි නිසා තමයි මෙයා මේ දේ කරගත්තේ. මෙයාට මානසිකව ඒක දරාගන්න බැරිවුණා. අලුත් යාළුවන්ට මුහුණ දෙන්න බැරිවෙලා තිබ්බේ, පන්තියෙත් අටවැනියා වෙලා ලකුණු අඩුවෙලා තිබුණු නිසා..’
මානසික පීඩාවන් දරාගැනීම නොහැකිව පාසල්වල, විශ්වවිද්‍යාලවල සිසු සිසුවියන් සියදිවි නසාගැනීමට වැඩි වශයෙන් පෙළඹෙමින් ඇති බව මේ වන විට වාර්තා වන සිදුවීම්වලින් හෙළිවනවා. මේ සියදිවි නසාගැනීම් වළක්වාගැනීම පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක චන්ද්‍රකුමාර මහතා පවසා සිටියේ මෙවැන්නකි. ‘තමන්ගේ මිතුරෙක්ට ගැටලුවක් තියෙන බව දැනුනොත් ගැටලුව හඳුනාගෙන ඔවුන්ට ඉන් මිදීමට උදව්කිරීමේ පුරුද්ද අපි දරුවන් තුළ ඇතිකළ යුතුයි.
අපේ අධ්‍යාපන ක්‍රමය හරහා පාසල්වල ඉන්න පැරණි දරුවන්ව දැනුවත් කරලා තියන්න ඕනේ කොහොමද අලුතෙන් දරුවෙක් පාසලට ආවාම ගනුදෙනු කරන්නේ කියලා. දරුවෙක්ට ගැටලුවක් ආවාම අපි හැමෝම එකතුවෙලා ඒ දරුවන්ට උදව් කරන්න ඕනේ. දරුවෙක් සියදිවි නසාගැනීමට පෙලඹෙනවා කියන්නේ ජීවිතයේ ගන්න දරුණුම තීරණයක්. මේ තීරණයට එන්න යම්කිසි කාලයක් ගතවෙනවා. කාටවත් මේ ගැන නිරීක්ෂණය වුණේ නැත්නම් තමයි දරුවෙක් මේ තත්ත්වයට පත්වෙන්නේ. එකිනෙකා පරාද කරමින් අභිභවා යන තත්ත්වය අපි ඉතා ඉක්මනින් සංශෝධනය කළ යුතුයි…’
මනෝ වෛද්‍ය විශේෂඥ රූම් රූබන් මහතාද මේ සම්බන්ධව සිය අදහස් දක්වා සිටියේ මෙලෙසයි.
‘මේ මානසික බලපෑම් නිසාම විශාදය වගේ තත්ත්ව වැඩිවෙලා ජීවිතය විනාශ කරගන්න තත්ත්වයට දරුවන් පත්වන්න පුළුවන්. මෙහෙම දරුවන්ට පීඩාකරන එක් ප්‍රශ්නයක් තමයි දරුවන් විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ එහි තිබෙන අධ්‍යාපන ක්‍රමයට හැඩගැහෙන්න බැරි ප්‍රශ්නය. සමහර වෙලාවට භාෂාවට හැඩගැහෙන්න බැරිකම. දරුවොත් දන්නවා ඉංග්‍රීසි භාෂාවේ තියෙන වැදගත්කම. නමුත් දරුවන්ට එකපාරට මේවට හැඩගැහෙන්න බැහැ. මේ තත්ත්වය විශ්වවිද්‍යාල ආචාර්යවරුනුත් අඳුනගන්න ඕනේ. එක පාරට මුහුද මැදට ගිහින් දැම්මා වගේ නුපුරුදු භාෂාවකින් ඉගෙන ගන්න කිව්වාම අහම්බයක් නෙවෙයි….’
වර්තමානයේ දරුවන් අධ්‍යාපනය අතින් උසස් ප්‍රතිඵල ලබාගත්තද මානසික ශක්තිමත්භාවය අතින් දුර්වලයි. මනෝ විද්‍යාව විෂයක් ලෙස අපේ දරුවන්ට ඉගැන්වීමට හැකි නම් එය ඔවුන්ගේ මානසිකත්වය ගොඩනගා ගැනීමට යම් පිටිවහලක්ද වනු ඇත. මනස ශක්තිමත් නොවූ තැන ප්‍රශ්නයක් දරාගැනීමට ඔවුන්ට ඇති හැකියාව ගිලිහී යනවා.
අද බොහෝ දරුවන් ගමේ ඉගෙනගෙන නගරයේ පාසලකට ගියාම කොන් කරනවා. පාසලේ වගේම විශ්වවිද්‍යාල තුළ ඉන්න ජ්‍යෙෂ්ඨ සිසුන් නවක දරුවන්ට උදව් කිරීම වෙනුවට ඔවුන්ට නවක වධය දීමටයි පෙලඹෙන්නේ. ඒ වගේම නවකයන්ට විහිළු කරන්න ඇනුම්පද කියන්නත් හුරුවෙලා. අනෙකා වෙනුවෙන් උදව් කිරීම කරුණාව දැක්වීම වැනි ගුණාංග දරුවන් තුළින් ගිලිහිලා ගිහින්.
මේ ගුණධර්ම සැකසිය යුත්තේ ගෙදරදීමයි. මිතුරන්ට අසල්වැසියන්ට ආදරය කරුණාව දක්වන්න පුරුදු කළ යුතුයි. දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය ලබාදිය යුතුයි. මේ දේවල් ගැන හැම මවක්ම, පියෙක්ම සිතටගත යුතුයි.
බොහෝ දරුවන් තම යාළුවන්ට පවසා සිටිනවා මට මැරෙන්න හිතෙනවා, ඔළුව බරයි වගේ දැනෙනවා, එක එක දේවල් මතක් වෙනවා, කන්න පිරියක් නැහැ, හැමෝගෙන්ම ඈත්වෙන්න හිතෙනෙවා, බෙල්ලේ වැලදාගන්න හිතෙනවා, පැයකට දෙකකට කලින් කරපු වැඩේ මතක නැහැ, පපුව පිච්චෙනවා වගේ කියලා. මෙවැනි දේ කිව්වාම යාළුවන් හිනාවෙනවා. තම මිතුරාගේ මානසිකත්වය ඔවුන් තේරුම් ගන්නේ නැහැ.
ඇත්තටම ඒ දේවල් හිනාවට ලක්කළ යුතු දේ නොවෙයි. හැම කෙනකුටම ජීවිතය ඇතුළෙදී ප්‍රශ්න එනවා. එහෙමයි කියලා දිවිනසාගැනීම නෙවෙයි පිළිතුර. ඒ ප්‍රශ්නවලට මුහුණ දීලා පිළිතුරු සොයන එකයි කළ යුත්තේ. විශාදය කියන මේ මානසික තත්ත්වය විහිළුවට ගන්න එපා. ඒ මානසිකත්වයට පත්වුණු කෙනකුට ඕනෙම දෙයක් අතහරින්න හිතෙනවා. ජීවිතය ඇති කියන තැනට එනවා. ඒ නිසා මිතුරන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න. ඒ කෙනා ඉන්න තත්ත්වය තේරුම් ගන්න.
යම් කිසිවෙක් දැඩි මානසික පීඩනයකින් විඳවන බව ඔබට දැනෙනවා නම්, 1926 / 1933 / 0707 308308 දුරකතන අංක අමතා ඒ ගැටලුව විසඳාගෙන සුවපත් කරගැනීමට කටයුතු කරන්න.
ඒ වගේම ‘සුමිත්‍රයෝ’ ආයතනයද මානසික පීඩාවෙන් පෙළෙන අයට, ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින්, නොමිලේ උපදේශනය ලබාදීමට සූදානමින් සිටිනවා. 011-2692909/011-2683555/011-2696666
නිලන්ති රේණුකා