බත් කවන අතර වාරයේදී සිඟිත්තියකට වරින්වර අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු එම්.කේ. චමින්ද නොහොත් ‘කුකුල් චමින්ද’ යන සැකකරුට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටියදී, රැඳවියන් පිරිසක් පහර දීම හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට අද (07) ඇතුළත් කළ බව අනුරාධපුර පොලිසිය පැවසීය. (Sri Lanka Latest News)
මෙම සිද්ධියට සැකපිට දැරියගේ පියා වැලිඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පදවිය සංචාරක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 19දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
වැලිඔය හංසවිල ගම්මානයේ පදිංචි සැකකරු අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටියදී, රැඳවියන් පිරිස මෙම පහර දීම සිදුකර තිබිණි.
නිවසේ බෝතලයක තිබූ සීනි කෑවයි කියා අවුරුදු හතරහමාරැති දැරියට පහර දුන් මෙම පුද්ගලයා නිවසින් පැනගොස් පුල්මුඩේ කුඩා අරිසිමලේ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී වැලිඔය පොලිසිය මගින් පසුගිය 5 වැනිදා අලුයම අත්අඩංගුවට ගෙන තිබිණි.
දැරියට පහරදෙන අයුරු සැකකරුගේ පුතා තම ජංගම දුරකතනයෙන් පටිගත කොට සමාජ මාධ්‍යයට මුදාහැරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.









