වෙඩි වරුසාවක් තිබ්බත් එක වෙඩිල්ලක් වැදුණේ නෑ…
අන්තිමට මැරුවේ කෙටේරියෙන් ගහලා…
හාමුදුරුවො එනවා කියලා කොටින්ට සිග්නල් එක දුන් සංජීවට දැන් අවුරුදු 27යි…(The murder of Dimbulagala Thero)
ඉන්ජෙක්ෂන් එකක් වැරැදිලා හාමුදුරුවන්ව මැරෙන්න ගිය වෙලාවක ප්‍රේමදාස මහත්තයට කෝල් කළා. පැය භාගයක් ගියේ නෑ හෙලිකොප්ටරයක් ඇවිත් කොළඹ අරන් ආවා. රෝහල් වියදම දැරුවෙත් ප්‍රේමදාස මහත්තයා…
දිඹුලාගල හාමුදුරුවො ප්‍රේමදාස මහත්තයට පුදුම විදියට ආදරය කළා… එතුමා මියගිය දවසේ උන්වහන්සේ පොඩි ළමයෙක් වගේ ඉකිගගහා ඇඬුවා…
‘හාමුදුරුවන්ට වෙඩි වැදුණෙ නෑ. ඔළුවට කෙටේරියකින් කෙටුවා…’ පාසල් ගුරු නාලකරත්න කියයි…
දිඹුලාගල හාමුදුරුවන් (The murder of Dimbulagala Thero) කී පමණින් මුළු සිරිලක්වාසීන්ම හොඳින්ම දන්නා මාතර කිතලගම සීලාලංකාර නාහිමියන් යෝගාවචර හිමිනමකි. 60 දශකයේ මහා කැලෑ මණ්ඩියක්ව තිබූ දිඹුලාගල බිම් පෙදෙස නැවත අපේ බෞද්ධ උරුමයක් ලෙස පාදා දෙන්නට උන්වහන්සේ අප්‍රමාණ මෙහෙයක් කළහ. වැදිපත්තුවේ වැදි ජනයාද, මුස්ලිම් පෙදෙස්වල ජනයාද, අහිංසක දුප්පත් සිංහල ජනයාද නඟාසිටුවීමට උන්වහන්සේ තම ජීවිත කාලයම ගත කළේ නිස්සරණාධ්‍යාසයෙනි.
‘පොට්ටනි හාමුදුරුවෝ’ යැයි මුලින් ඒ පෙදෙස්වල වැදි ජනතාව හැඳින්වූ මේ හිමියෝ ඔවුන්ට ඉගෙනුමට පාසල් විවෘත කළහ. දඩයමින් දිවි ගෙවූ හැමට බත් හාල්, එළවුළු කෑමට පුරුදු කළහ. එමතුදු නොව ඔවුහු බුද්ධ ශාසනයට ද ඇතුළු කරගත්හ. ගොවි බිම් ඇති කළහ.
හාමුදුරුවන්ගේ මේ ජනපද පිහිටුවීම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට මහත් හිසරදයක් වූයේ මේ අතරය. 1995 මැයි 26 වැනිදා උදෑසන හතට පමණ දිඹුලාගල ආරණ්‍යයට කිට්ටු මැණික් ඇළ ප්‍රදේශයේ උන්වහන්සේ විසින් බලාහදා ගත් කුඹුරු යායකදී මේ හිමියන් ත්‍රස්ත ප්‍රහාරයකින් අපවත් කෙරිණි.
ඇත්තටම මේ හිමියන් අපවත් කළේ ත්‍රස්තවාදීන්ද? නොඑසේ නම් වෙනත් අදිසි බලවේගයක්ද? උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය සොයා උන්වහන්සේ පාද යාත්‍රාවෙන් වැඩි ගමන් අපේ මතකයේ තවමත් නින්නාද නඟයි. මහා කැලෑ මණ්ඩි පීරා සෝමාවතිය නැවත සොයාගැනීමේ ගමනටත්, නීලගිරි චෛත්‍යය සොයා යාමටත් කිතලගම නායක හාමුදුරුවෝ මහත් දායකත්වයක් දුන්හ. මේ ගවේෂණයේදී අපට හමුවන හැම මූලාශ්‍රයක්ම පිරික්සා බලමින් ඒ හිමියන්ගේ අපවත්වීම හා ඉන්පසු කතාව ඔබට ලියන්නට වෙර දරමු.

දිඹුලාගල තැපැල්හල ඉදිරිපිට 1F නිවෙසේ පදිංචි වී.ඒ.පී. නාලකරත්න (ආනන්ද) මහතා පාසල් ගුරුවරයෙකි. දැනට වැලිකන්දේ මෛත්‍රීගම පාසලක ඉගැන්වීම් කටයුතු කරන හෙතෙම දිඹුලාගල නාහිමියන්ගේ 36 වැනි ගෝලයාය. උන්වහන්සේ ඇතිකළ වෙහෙර විහාර අසූ ගණනකි. ගෝලයන් වහන්සේලාගේ ප්‍රමාණය 1,440ක් ඉක්මවයි. නාලකරත්න මහතා ද ගෝලයෙක් බව මා කීවේ එතුමා මුල් කාලයේ දිඹුලාගල හිමියන් ළඟ පැවිදිව සිට දැන් උපැවිදිව සිටින්නකු බැවිනි. පැවිදි කල නාහිමියන්ගේ ආරක්ෂකයා ලෙස හිටියේ ද එතුමාය.
අපේ නායක හාමුදුරුවෝ මෙහි වඩින්ට පෙර ඉඳලා තියෙන්නෙ පලුගස්දමනෙ කැරකෝප්පුවක. එතැන ඉඳන් උදේට මේ දිඹුලාගල කන්ද අගේට පේනවා. මුල් කාලෙ ඉඳලම උන්වහන්සේ හරිම ජවසම්පන්නයි. ගිහි කාලේ විශේෂයෙන් තරුණ කාලේ කළ කී වැඩ නිසා පොළොන්නරුවෙ මනම්පිටියෙත් ජනප්‍රියයි.
යකාටවත් බය නැති කෙනෙක්. මහණ වෙන්න ආසා වෙලා මහණකම ඉල්ලුවාම ඒ කාලෙ පොළොන්නරුවෙ හිටි හාමුදුරුවන් හා හොඳයි කිය කියා හිටිය මිසක් මහණකම දීලා නෑ. ඒ නිසා අපේ නායක හාමුදුරුවෝ තමන්ගේ ගම් පළාත මාතරට ගිහින් විල්පිට ආරණ්‍යයේ වැඩසිටි උඩුපීල්ලෙගොඩ පුඤ්ඤාලංකාර හිමියන් වෙතින් පැවිද්ද ලබාගෙන නැවත මෙහි වැඩලා තියෙනවා.
ඒ කාලෙ මේ දිඹුලාගල ඉඳලා තියෙන්නෙ ආණ්ඩුවෙන් වැරැදිවලට අල්ලන්ඩ බලාඉන්න වරෙන්තුකාරයො විතරයි. හාමුදුරුවො වඩින විට ගඟෙන් මෙගොඩ දෙමළ ගමක් තිබුණා සොරිවිල කියලා. අදත් ඒ ගම තියෙනවා. මනම්පිටිය පාලම ළඟ තමයි ඒ කාලෙ මඩකළපු මායිම සටහන් කරලා තියෙන්නෙ. හාමුදුරුවො මේ බෝඩ් එක ගලවාගෙන ගිහින් පුනානිවල ගැහුවා. එතැනින් මෙහාට පොළොන්නරු මායිම. එහාට මඩකළපු මායිම කියලා.
ඒ පැත්තෙ දෙමළ කට්ටිය හාමුදුරුවන්ට හොරෙන් මේ බෝඩ් එක ගලවාගෙන ඇවිත් යළිත් මනම්පිටිය පාලම ළඟ ගහනවා. මේ මායිම් ප්‍රශ්නය හේතුවෙන් අන්තිමට සේවාගම නමින් තිබුණු හමුදා ගම්මානයත් සටනට ඇවිත්. ඒ අය හාමුදුරුවන්ට පක්ෂයි. ඒ ගමේ හිටියෙ ලෝක යුද්ධ කාලෙත් බි්‍රතාන්‍ය රාජකීය හමුදාවෙ හිටපු සිංහල මිනිස්සු. මේ අය කොහොම හරි තමන්ගෙ නියම මායිම තියෙන පුනානිවලටම සීමාව නැවත ගෙනගියා.
හාමුදුරුවො දිඹුලාගලට වඩිනවාට මඩකළපුවෙන් මෙහි පැනලා හිටපු සිංහල වරෙන්තුකාරයො විරුද්ධ වුණා. ඒ අය මෙහෙට ඇවිත් තිබුණෙ දිඹුලාගල නිධන් වදුලු ටික හාරන්න. ඒකට උන්වන්සේ ඉඩ දුන්නෙ නෑ. එහෙත් සොරිවිල කියන ගමේ දෙමළ වැසියෝ හාමුදුරුවන්ව ආරක්ෂා කළා. හාමුදුරුවො අපවත් වෙනකම්ම ඒ ගමටත් ආදරය කළා. ඒ ගම්වැසියො ආරක්ෂා කළා. ඒ වන විට දිඹුලාගල කන්දෙ ගල්ගුහාවක් තිබුණා. ඒ ගල්ගුහාවෙ තමයි අද දිඹුලාගල බුදුමැඳුර පිහිටා තිබෙන්නෙ. මේ ගල්ගුහාවෙ තමන්ගෙ රැහේත් එක්ක ජීවත් වුණේ මිල්ලානා කියන වැදි නායකයා. පසු කාලයක එතුමාව යාපා රජ්ජුරුවො නමින් හැඳින්වෙනවා.
අපේ නායක හාමුදුරුවො උදේ රැයින් නැඟිටලා මනම්පිටියෙ පොළොන්නරුවෙ කඩසාප්පු නිවාස අතරට ගිහින් ලොකු පොට්ටනි දෙකකට හාල්, පොල්, තුනපහ, එළවළු ආදිය රැගෙන කඳු වළල්ල උඩින් දිඹුලාගලට වඩිනවා. එහෙම වැඩලා අර මිල්ලානා හා එයාගෙ වැදි රැහැට කියනවා මේකෙ දඩයම් කරන්ට එපා.
මේ හාල් පොල් උයාගෙන කන්න කියලා. උයන්නත් පුරුදු කරවනවා. ඒ අය මස් පුලුස්සලා හාමුදුරුවන්ට දෙනකොට ‘අපි බුද්ධ පුත්‍රයො. මේවා කන්නෙ නෑ’ කියා අර හාල් පොල් එළවළුවලින් රසවත් ආහාර හදලා පෙන්නලා ඒ අය ශිෂ්ට මිනිස්සු බවට පත්කළා.
මේ දිඹුලාගල ගල වටේට හාමුදුරුවො කරවිල වගා කළා. කූරතම්පලා හා වෙනත් පලා වර්ග තිබුණා. කරවිල තම්බාගෙන කන්න අපේ ලොකු හාමුදුරුවෝ පුදුමාකාර කැමැත්තක් දැක්වූවෙ. පස්සෙ මේ වැදි රැහැට ගෙවල් පවා හදලා දුන්නා. ඉස්කෝල දැම්මා. අකුරු කියවන්න ගුරුවරු ගෙනාවා.
පුදුමයි කියන්නෙ මිල්ලානා වැදි රජ්ජුරුවො මස්මාංශ අත්හැරියා. දඩයම් අත්හැරියා. බත් කන්න පුරුදු වුණා. පංච ශීලය රැක්කා. එයාගෙ මායියාත් රැහේ අනෙක් කට්ටියත් එහෙම වුණා. පස්සෙ අර ගෙවල්වලට ගිහින් දිඹුලාගල තිබුණු ගල්ගුහා පවා හාමුදුරුවන්ට දුන්නා. ගොවිබිම්, ජනපද පිහිටුවලා දායකයො ඇතිකරලා සුවිශාල සංවර්ධනයක් මේ පළාතට කරගෙන යනකොට එල්.ටී.ටී.ඊ.ය කලබල වුණා.
ආර්. ප්‍රේමදාස මහත්මයා හාමුදුරුවන්ට බොහොම ආදරය කළා. උන්වහන්සේත් එහෙමයි. දිඹුලාගල පූජා භූමියක් ලෙස ප්‍රකාශ කළේ ප්‍රේමදාස යුගයේදී. දෙමළ ජනතාවගේ මළගෙයක් වුණත් හාමුදුරුවො හාල් මිටියක් පොල් ටිකක් ඒ ගෙදරට යවනවාමයි. ඒ නිසා ඒ මිනිස්සුත් ලොකු හාමුදුරුවන්ට ආදරෙයි.
සිංහල ජනතාව මෙහි පදිංචි කරවලා ජනපද ඇති කරනකොට විතරක් නොවේ ත්‍රස්ත ප්‍රහාරවලින් අවට ගම්වල ජනතාව සමූහ වශයෙන් මැරෙන කොටත් දිඹුලාගල හාමුදුරුවො තමයි එතැනට මුලින්ම වඩින්නෙ. උන්වහන්සෙ ඒ වගේ වෙලාවට සමහර තැන්වලට මිනීපෙට්ටි පවා ගෙනගියා.
ජේ.ආර්. ජයවර්ධනට නම් හොඳටම බැණපු අවස්ථා තියෙනවා. සමහර ප්‍රාදේශීය සභාපතිලට කුඩ කැඩෙනකම් ගහපු අවස්ථාත් තියෙනවා. හාමුදුරුවන්ට අසනීප වුණාම බෙහෙත් ගත්තෙ මනම්පිටියෙ හිටපු දෙමළ දොස්තර මහත්මයකුගෙන්. එතුමා හාමුදුරුවන්ට විශ්වාසයි.
එක දවසක් දියවැඩියාවට ඉන්ජෙක්ෂන් එකක් ගහලා හාමුදුරුවන්ට බරපතළ ලෙස අසනීප වුණා. සමහර විට හාමුදුරුවො අපවත් වෙන්නෙ එදා. මෙහෙ හිටපු (නායක හාමුදුරුවන්ගේ තවත් ගෝල හිමිනමක්) සීමාලංකාර හිමියන් හා රත්ගම සුනන්දාලංකාර හිමියන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා උන්වහන්සේලා ඒ වෙලාවෙම ප්‍රේමදාස මහත්මයාට කෙසේ හෝ කතා කළා. පැය භාගයක් ගියේ නෑ මනම්පිටිය රෝහල් පරිශ්‍රයට හෙලිකොප්ටරයක් ආවා. ඒකෙ නංවාගෙන ලොකු හාමුදුරුවො කොළඹ ඩර්ඩන්ස් රෝහලට ගෙනැවිත් තිබුණා.
දින දෙකකට පස්සෙ උන්වහන්සේට හොඳටම සුව වුණා. ප්‍රතිකාර බිල රුපියල් හතළිස්දාහයි. වනවාසී මේ හාමුදුරුවරුන් කොහොම ඒ මුදල හොයාගන්ඩද? ප්‍රේමදාස මහත්මයා තමන්ගෙ සල්ලිවලින් ඒක ගෙවලා තිබුණා.
ලොකු හාමුදුරුවො ගහක් ගලක් වාගෙ මහ තද පපුවක් තිබුණු කෙනෙක්. ඒත් උන්වහන්සේ ප්‍රේමදාස ජනපති මියගිය දවසෙ පොඩි ළමයෙක් වගේ ඉකිගගහා ඇඬුවා මං දැක්කා. දිඹුලාගල විශ්‍රාම ශාලාවක් හැදුවෙත් ප්‍රේමදාස මහත්තයා.
1994 දී චන්ද්‍රිකා ජනපතිනිය එතෙක් හාමුදුරුවන්ට දීලා තිබුණු හමුදා ආරක්ෂාව හිටි හැටියේ ඉවත් කරලා පොලිස් භටයන් හතර පස්දෙනෙක් පමණක් ඉතිරි කළා. පොලිසියේ වගේ නොවේ හමුදාවේ විනය ඉහළයි. හාමුදුරුවො උදේට ගොවිපළට කැබ් එකෙන් යනකොට ඒ අය කෑම ගනිමින් හිටියත් ඒවා පැත්තක වීසිකරලා හරි දුවලා ගිහින් වාහනයට නගිනවා. ඒත් පොලිසිය කාලා බීලා එනකම් හාමුදුරුවො ගමන එන්නෙ නැතිව නොවැඩ ඉන්න ඕනෑ. හාමුදුරුවො දරුවන්ට වගේ සැලකුවත් ඒ අය එහෙමයි කටයුතු කළේ.
අපේ ලොකු හාමුදුරුවො වෙලාවට වැඩකරන කෙනෙක්. 1996 මැයි 26 වැනිදා උදේ වෙනදා වෙලාවට හාමුදුරුවො ගොවිපළට වඩින්ඩ සූදානම් වුණා. පොලිසියෙ අය කියලා තියෙනවා ටිකක් ඉන්ඩ හාමුදුරුවනේ කියලා. හාමුදුරුවො ඇහුවෙ නෑ. රියැදුරත් වෙනදා ඉන්න කෙනා නොවේ හිටියෙ. තාවකාලිකව හිටපු කෙනෙක් ඇන්ටන් කියලා. එයා තමයි එදා ආවෙ. ගොවිපළට ගිහින් පැය භාගයක් ගියේ නෑ හාමුදුරුවන්ට වෙඩි තැබුවා කියා ආරංචිය ලැව්ගින්නක් වගේ පැතිරිලා ගියා.
හාමුදුරුවන්ට ඇත්තටම වෙඩි තැබුවේ කවුද?
ත්‍රස්තවාදීන් හාමුදුරුන්ගෙ වාහනය එන විදිය පිළිබඳ දෙමළ ළමයකුට කියලා සොයා බලලා ඔහුට කියලා තියෙනවා සිග්නල් එකක් දෙන්න කියලා. හාමුදුරුවො එදා යන ගමන් බෞද්ධසාර කියලා දන්නා කෙනෙකුත් දාගෙන ගිහින්. ආරංචි වෙච්ච හැටියටිඛ’ හැඩයට ඇම්බුෂ් දාලා කොටි කුඹුරෙ හිටියෙ.
වාහනය මැණික් ඇළ කුඹුරට ළං වූ ගමන් දෙවැනි ගේට්ටුවේදිදී වෙඩි වරුසාවක් එල්ලවෙලා. පිටුපස්සෙ හිටපු බෞද්ධසාරගෙ ඇහැක් දොට්ට පැනලා වෙඩි වැදිලා. ඇන්ටන්, හාමුදුරුවන් ඇදගෙන ඇළට පැනලා යන්න හදද්දී කොටි එයාට වෙඩි තිබ්බා.
මෙච්චර වෙඩි වැදිලා වාහනය හිල්වෙලා තිබියදීත් හාමුදුරුවන්ට එක වෙඩිල්ලක් වැදිලා නෑ. බෞද්ධසාර මැරුණෙ ටික වේලාවකට පස්සෙ නිසා මිනිහා සිද්ධිය එතැනට ආපු කෙනකුට දෙන්නකුට කියලා. මිනිහා මුහුණෙ ලේ ගාගෙන මැරිලා වගේ කොටි යනකම් එතැනම හිටියලු.
හාමුදුරුවන්ට වෙඩි තබන්න බැරි තැන උන් කෙටේරියකින් උන්වහන්සේගේ ඔළුවට කොටලා. ‘මං මැරෙන්ඩ බය නෑ යකුනේ’ කියලා හාමුදුරුවො දෙමළ බසින් උන්ට කිව්වලු අපවත් වෙන්න මොහොතකට කලිනුත්.

හාමුදුරුවන්ට වෙඩි නොවැදුණු සිද්ධිය කොටි හොයා බැලුවා. හාමුදුරුවන්ගේ ඉණේ බලගතු සුර කීපයක් තිබුණා. කොටි ඒ සුර සියල්ලමත් අරන් ගිහින්. හාමුදුරුවො අපවත් වෙච්ච ආරංචියට මුළු රටම කලබල වුණා. මාතරින්, කිතලගමින් ලොරි පිටින් මිනිස්සු ආවා මේ පැත්තෙ දෙමළ ගම් වනසන්ට හිතාගෙන. ඒත් හමුදාව මැදිහත් වෙලා ඒවා වැළැක්වූවා.
ඇත්තටම සොරිවිල දෙමළ ගමේ මිනිස්සුත් එදා ඇඬුවා. අදත් අඬන අය ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ ගම මැදින් ත්‍රස්තයො ආවෙ. මිල්ලානා වැදි නායකයා හාමුදුරුවො අපවත් වෙලා ඉතාම ටික කලක් දුකින් ජීවත් වුණා. එයත් මියගියේ අපේ හාමුදුරුවො අපවත් කළ අයට හොඳක් වෙන්ට එපා කියලා.
දිඹුලාගල වත්මන් ආරණ්‍ය සේනාසනාධිපති යෝගාවචර මල්දෙණියේ ජිනාලංකාර නායක හාමුදුරුවන් සොයාගෙන වත්මන් කතාව විමසීමි. උන්වහන්සේ විස්මකර්ම කැටයම්කරුවෙකි. සියඹලා, බුරුත ආදී ලීවලින් තනිවම කෙටූ විශාල ප්‍රමාණයේ බුදුපිළිම, දොර කැටයම් විහාරය පුරා ඉහිර තිබේ.
උන්වහන්සේගේ විස්කම් වැඩ නිසාම දිඹුලාගල ලොකු හාමුදුරුවන්, උන්වහන්සේ අමතා ඇත්තේ ඉංජිනේරු හාමුදුරුවෝ කියාය. දිඹුලාගල ආකාස චෛත්‍යයද ඒ හිමියන්ගේ කුසලතාවට දෙස් දෙයි. ඉඩහසර බලා මම ඒ කුටියට පිවිස උන්වහන්සේ විමසීමි.
‘අපේ නායක හාමුදුරුවො නැති වුණාම අපි මෙහෙන් යාවි කියලා කොටි හිතන්න ඇති. එහෙම ගියානම් අපට දිඹුලාගලත් නෑ. මං ඉංජිනේරු විද්‍යාව ඉගෙනගෙන නෑ. හිතට ආපු අදහස් පුළුවන් විදියට ක්‍රියාත්මක කළා. මේ දවස්වල ලොකු හාමුදුරුවන් හීනෙන් කියාපු ඒ අපූරු චෛත්‍යය නිර්මාණය කරමින් ඉන්නෙ. හාමුදුරුවො අපවත් වුණාට පස්සෙ දවස් 13ක් මේ පැත්තෙ කිසිම දායකයෙක් ආවෙ නෑ. අපට දානෙ නැති වුණා. අපි ජීවත් වුණේ ලුණු කැඳ බීලා.’
‘ලොකු හාමුදුරුවො අපට කියලා දුන්නා අල වලඳන්න. අල නැතිවෙනකොට කොළ වලඳන්න. එහෙම බැරි වුණොත් ලුණු කැඳ වලඳලා හරි ජීවත් වෙන්න. බැරිම වුණොත් බඩගින්නට පොල් කටුවක් බඩට තද කරන් පොළොවේ වැතිරිලා ඉන්ට. අපි ඒ අනුව ඒ දවස් ගතකළා. පස්සෙ ආයිත් දිඹුලාගලට වන්දනා නඩ ආවා. හාමුදුරුවො නැති වුණේ ආරක්ෂාව නැති නිසයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ළඟදී දිඹුලාගල ආවා. ඇවිත් මා ඉන්නා කුටියට ඉහළින් තියෙන මේ වැසිකිළි කැසිකිළි ගලවලා අලුතින් හදන්න අදාළ අංශවලට නියම කළා. දිඹුලාගල නවෝදයට අතහිත දෙන්න චෛත්‍යයට උදව් කරන්ඩ එතුමා මෙහෙට එව්වෙත් ලොකු හාමුදුරුවන්ගෙ වටිනා සේවය හා ආශීර්වාදයමයි කියලා හිතෙනවා.’
ලොකු හාමුදුරුවන්ගේ තවත් පන්සලක් වූ නාමල් පොකුණ රජමහා වෙහෙරේ දැන් වැඩසිටින්නේ එදා මිල්ලානේ වැදි රජුගේ පුත් කුමරා ලෙස සිට පසුව පැවිදි වූ කෙනෙක්දැයි අපි ඇසීමු. අප ඒ විහාරය සොයා ගියේ එපවත් තවත් හොඳින් විපරම් කරනු පිණිසය. මිල්ලානේ සිරියාලංකාර හිමියන් දැන් මා අබිමුවය.
‘මගේ ගිහි කල පියා තමයි මිල්ලානේ වැදි රජු. පසුව යාපා නමින් හැඳින්වුණේ. මස් කකා ජීවත්වූ අපට පංචශීලය කියා දුන්නෙ ලොකු හාමුදුරුවන්. උන්වහන්සේගේ අපවත් වීම මට නම් අදටත් ප්‍රශ්නයක්. උන්වහන්සේට තරහාකාරයො හිටියා නම් ඒ කොටි.
ඒත් ඒ අයට මේ පළාතේ කවුරුත් උදව් කරන එකක් නෑ එහෙම දෙයක් කරන්න. කවුද හාමුදුරුවන්ගේ ආරක්ෂාව ඉවත් කරන්ඩ අණ දුන්නේ? ඒ අය තමයි කාරණාව දන්නෙ. මම ලොකු හාමුදුරුවන්ගේ මඟපෙන්වීමෙන් පියාගේ ආශීර්වාදයෙන් ශාසනයට ඇතුළු වුණා. මගේ සසර කුසල කර්ම පලදීලයි මට ස්වාමින්වහන්සේ නමක් වෙන්න ලැබුණේ. මේ වගේ මිථ්‍යා දෘෂ්ටිගත කට්ටිය බොහොමයක් ලොකු හාමුදුරුවො සුමඟට ගත්තා. බුදු මඟ ආලෝකය පෙන්වා දුන්නා.’
සොරිවිල කේශාලංකාර හිමියන් ද වැඩවසන්නේ දිඹුලාගලය. උන්වහන්සේ සොරිවිල දෙමළ ගමේ නායකයාගේ ගිහි කල පුත්‍රයාය.
‘මං දෙමළ. අපේ ගමටත් ලොකු හාමුදුරුවො වඩිනවා. අපේ පියා සමග කිට්ටුයි. දවසක් ඉල්ලූවා මාව මහණ කරන්ඩ. ඇත්තටම මට මේ වගේ පැවිදි ජීවිතයක් ලැබුණේ ඒ මඟ පෙන්වීමෙන්. අපෙ ලොකු හාමුදුරුවො මතු බුදු වේවි…’
ඒ හිමියන්ගේ පවුලේ සහෝදරයන් කිහිප දෙනකුම සිටි බවත්, ඔවුන් පසුව ත්‍රස්ත කල්ලිවලට සම්බන්ධ වී හමුදා ප්‍රහාරවලින් මියගිය බවත් ඇතැම්හු කියති. ලොකු හාමුදුරුවන්ගේ අපවත් වීමෙන් පසු ආරක්ෂක අංශ මේ ගම් පීරා පරීක්ෂණ පැවැත්වූහ. මිල්ලානේ හා සොරිවිල නම් දෙමළ ගම්වල චූදිතයන් කීප දෙනෙකු අල්ලා හිරකර වසර ගණනාවක් තබාගත් බව කියැවේ. සමහරෙක් දැන් නිදහස් වී පැමිණ සිටිති. ඔවුන් සොයාගන්නට ඒ දෙමළ ගම්වලට යන්නටද මට සිදුවෙයි.
මිල්ලානේ පියදාස ගඩොල් කපා හෝ කාගේ හෝ කුලියක් මලියක් කර දිවිගැට ගසා ගන්නෙකි. ඔහු මිල්ලානේ 28 ගෙදර පදිංචිකරුවෙකි. ෂඩේ අම්මා නොහොත් ඔහුගේ බිරිය තෙයිවානිද මේ හේතුව නිසා ආණ්ඩුවේ බෝඩිමේ බොහෝ කල් සිටියහ. පියදාස මා අල්ලා ගත්තේ කුලී වැඩ බිමකදීය.
‘මහත්තයො, අපි කාටවත් කරදරයක් නැති මිනිස්සු. කොටි කියලා අප දන්නෙ නෑ. උන් මේ ගමට ආවා ගියා. ඒ අයට කන්න බොන්න දුන්නා. පාර පෙන්නුවා කියලා චෝදනා ආවෙ. උන් කියන දේ නොකළොත් අපට උන් ගහනවා. තළනවා. පෙළනවා. ඒවා කළොත් හමුදාවෙන් අපට තළනවා. අපි දෙපැත්තටම නැතිව ජීවත් වුණත් හාමුදුරුවන්ට සමීපයි. උන්වහන්සේ අපේ ගමට උදව් කළා. මළගෙයක් වුණත් පෙට්ටිය පවා අරන් දුන්නා. දානෙට හාල් එව්වා. අපි කොහොමද උන්වහන්සේ මරන්න ඔත්තු දෙන්නෙ? අවුරුදු ගණනාවක් අපට වධ දීලා කරදර කරලා බැරිම තැන එළියට දැම්මා. මගේ නෝනගෙ මල්ලි තමයි උන්ට එකතු වෙලා හිටියේ. අන්තිමේ එයා රට පැනලා ගියා.’
ෂඩේ අම්මා සොයා ගිය මට ඇය ද හමුවිය.
‘මාත්තයො මගෙ නම තේවානි. ෂඩේ අම්මා කියන්නෙ ගමේ අය හුරතලයට. සී.අයි.ඩී. එකේ දවස් 45ක් මං නොවිඳිනා දුක් වින්දා. අපේ මල්ලි උන් එක්ක එකතු වෙලා හිටියා කියන කතාව ගම පුරා ගියා. ඒ මදිවට හාමුදුරුවන්ගෙ වාහනය එළවපු ඇන්ටන් මගේ ලොකු දුව බඳින්ඩ හිටියෙ. අපි ඔත්තු දුන්නා කන්න දුන්නා කියලා අපිව අරන් ගියෙ. මගෙ කනේ එක පැත්තකට පෑනක් දාලා ගැහුවා අනෙත් පැත්තෙ කනෙන් එළියට එන්ඩ. ඒත් වාසනාවට ඒක මග හිරවුණා. බේත්වත් දැම්මෙ නෑ.
මල්ලි හාමුදුරුවො මරන්ඩ යනවා කියලා ළිඳ ළඟදීත් තමුන්ට කීවා නේද කියලා ඇහුවාම මම නැහැ කීවා. ඒ වතාවෙ බෝතලයක් අරන් මගේ රහස් ප්‍රදේශයට ඔබන්ඩ සූදානම් වුණා. මා ඒ වෙලාවේ බොරුවට කීවා ඔව්, මල්ලි ඒක කිව්වෙ ගේ ඇතුළෙදී කියලා. නැත්නම් ඒකත් කරනවා. මගෙ දරුවො බාල දෙන්නා විතරයි ගෙදර තියන්න පුළුවන් වුණේ. ඒ අය ජීවත් වුණේ අහල පහළ ගෙවල්වල බැල මෙහෙකම් කරලා. මාස 18කට පස්සෙ මාව එව්වත් මගෙ මිනිහා අවුරුදු ගානක් තියාගත්තා….’
ෂඩේ අම්මාගේ පුතකු වන සංජීව නම් තරුණයා අපේ කතාව මැදට පැන්නේය.
‘මහත්තයො, මට දැන් අවුරුදු 27යි. මං එදා අවුරුදු 9ක පොඩි කොල්ලෙක්. පොඩි කොල්ලෙක් මොනවා දන්නවාද? කොටි ඇවිත් මට ටොපි බෝතලයකුයි, චොක්ලට් බෝතලයකුයි දීලා කිව්වා, මල්ලි හාමුදුරුවන්ගෙ කැබ් එක එනකොට අතින් සැලියුට් එකක් දාන්න කියලා. මං ඒක කළා නොදන්නාකමට. මං හිතුවෙ නෑ මෙතැන මිනීමැරුමක් වෙනවා කියලා. අද මට ඒකෙන් සිද්ධ වෙච්ච දේ මොකක්ද? මහත්තයො මට එළියට එන්න ලැබුණේ අවුරුදු 15දී. මාව ළමා නිවාසයකට දැම්මා. හැබැයි අකුරක් ඉගැන්නුවෙ නෑ.
මට අම්මා කියලා ලියා ගන්න බෑ. රජයේ රස්සාවක් ගන්න බෑ. සමහරු අදත් හාමුදුරුවො මරන්න උදව් කළ අය කියලා අපව පිළිකුල් කරනවා. පුද්ගලික තැනකවත් මට සලකන්නෙ නෑ. අපි ජීවත් වෙන්නෙ කොහොමද…?’ ඔහු මගෙන් අසයි.
ඒත් මේ තරම් වටිනා අමිල මෙහෙයක් කළ සංඝ පීතෘනමක් මරා දැම්මේ ඇයි ද යන්න මමද තවමත් අසමි.
ප්‍රගේෂ හිරුන් බණ්ඩාර











