ගෝඨාභය රාජපක්ෂ යනු අපේ රටේ සිටි බලසම්පන්න අමාත්‍යාංශ ලේකම්වරයෙකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ ගෝඨාභයගේ හිසට උඩින් කපුටෙක්වත් පියාසර කළේ නැති තරම්ය. ඒ තරමට ඔහු බලසම්පන්න චරිතයක්ව සිටියේය. අපේ රටේ 07 වැනි විධායක ජනාධිපති ධුරය පවා දැරීමට අවස්ථාවක් ඔහුට උදාවන්නේද ඒ ගොඩනැගී තිබුණු පෞරුෂත්වය හේතුවෙනි.
මහින්ද රාජපක්ෂ පාලන කාලයේ ලේකම්වරයකුගේ භූමිකාව රඟදැක්වූ කාලයේදී තරම් ජනාධිපති ධුරයට පත්වූ’පසු ගෝඨාභය රාජපක්ෂ චරිතයක් බවට පත්වූයේ දැයි යන්න පිළිබඳ ඇත්තේ සැබැවින්ම ගැටලුවකි. කුඩුකාරයේ අපරාධකාරයේ රටින් තුරන් වෙතැයි බොහෝ දෙනා සිතූහ. විනයවත් රටක් ගොඩනැගේවි යැයිද සිතූහ. එහෙත් සිදුවූයේ සියල්ල කණපිට පෙරළීමකි. අඩු නැතිව පාතාල ක්‍රියාකාරකම් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෝද හිස එසවූවෝය. අඩුම තරමින් මතට තිත තබන්න බලවත් නීති පද්ධතියක්වත් පැනවීමට ඔහු අපොහොසත් වූයේ ගෝඨාභය රාජපක්ෂ යනු හුදු චරිතයක් බවට පත්වෙමිනි.
ගෝඨාභයට ජනාධිපති වී සිය ධුර කාලය අවසන් වන්නටත් මත්තෙන් රටින්ද පලායන්නට සිදුවන්නේ මේ නිසාය. එසේ රටින් පලා ගොස් ටික කාලයකට පසු මළලසේකර මාවතේ පිහිටි නිල නිවෙසකට නැවත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය බිරිය අයෝමා රාජපක්ෂ සමග ජීවත්වන්නේ එම නිවෙසේය. තවමත් ඔහු වෙනුවෙන් ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයක් ස්ථාපිත නොවුණත් හමුදාවෙන් සහ පොලීසියෙන් ආරක්ෂාවක් නොඅඩුව ලැබෙමින් ඇත්තේ ඔහු අපේ රටේ හිටපු ජනාධිපතිවරයා බැවින් ආරක්ෂා කරගැනීම කොයි කාගේත් වගකීමක් වීම හේතුවෙනි.
ගෝඨාභය රාජපක්ෂ කෙසේ වෙතත් ඔහුගේ බිරිය අයෝමා රාජපක්ෂ නම් එදාත් අදත් නිහඬ චරිතයකි. ඇයට සමාජය තුළ පවා ඇත්තේ ලොකු පිළිගැනීමකි. චාම් ගති පැවතුම් ඇති ඇයට බොරු ආටෝප නැත. බොහෝ ගමන් බිමන් පසුගිය කාලයේත් ඇය ගියේ තනිවමය. නිහඬ අහිංසක චරිතයක් වූ අයෝමා රාජපක්ෂගේ ජංගම දුරකතනයට පසුගිය 22 වැනිදා ලැබෙන්නේ අපූරු දුරකතන ඇමතුමකි. ඒ, රුපියල් ලක්ෂ 10ක් ඉල්ලා කෙරෙන තර්ජනයකි.
‘අපේ සල්ලි අපිට දීපන්. දුන්නෙ නැතිනම් කරන්න ඕනේ දේ මම දන්නවා’ යැයි කියා එම ඇමතුම ලබාදුන් පුද්ගලයා තර්ජනය කරන්නට ගත්තේය.
‘ඔයාට වැරදීමක් වෙන්න ඇති’ අයෝමා එසේ පවසා දුරකතනය විසන්ධි කළත් ඇයට නැවත නැවත ඇමතුම් ගලා එන්නට ගත්තාය.
බැරිම තැන මේ ගැන ඇය සිය සැමියා වූ ගෝඨාභය රාජපක්ෂට කීවාය. වෙනත් වකවානුවකදී නම් මෙම ඇමතුම දුන් පුද්ගලයාට සිදුවන්නේ කුමක්දැයි සිතාගන්නට බැරිය. එහෙත් දැන් ගෝඨාභය රාජපක්ෂ සිටින්නේ නිවුණු චරිතයක් ලෙසිනි. ඔහු දැන් බොහෝ පාඩම් උගෙන සිටින්නේ වැඩි වැඩ කරන්නට ගියහොත් ඉන්න ටිකත් ඉන්නට බැරිවන බව දැනගෙනය. ඒ නිසා ඔහු සිය පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර අමතමින් පවසන්නේ එම දුරකතන ඇමතුම ලබාදෙන පුද්ගලයාව මේ ගැන දැනුවත් කරන ලෙසය.
ඒ අනුව සුගීෂ්වර මෙම ඇමතුම දුන් පුද්ගලයාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තේය.
‘ඔයා සල්ලි ඉල්ලලා කරදර කරන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වයිෆ්ට. එයා කාටවත් සල්ලි දෙන්න නැහැ’ යනුවෙන් ඔහු ඒ ඇමතුම දුන් පුද්ගලයාව දැනුවත් කරන්නට ගත්තේය.
‘මම ඉල්ලුවේ අපෙන් ගත්තු සල්ලි’ යැයි එහිදීත් ඔහු කියන්නට ගත්තේය.
සුගීෂ්වර සිය සීමාවේ දුරකතන ඇමතුම දුන් පුද්ගලයාට පැහැදිලි කර දුන්නද ඔහු ඒ ගැන තැකීමක් නොකර සිය සීමාව ඉක්මවා යමින් අයෝමා රාජපක්ෂට ඇමතුම් ගෙන ඉතා නරක විදිහට කතා කරමින් මුදල් ඉල්ලා කරදර කරන්නට ගත්තේය.
‘පහුගිය දවස්වල වෙච්ච දේවල් දන්නවනේ. මිරිහානට එවන්නේ සුනාමියක්’ යැයිද ඔහු කියන්නට ගත්තේය.
‘අපේ සල්ලි දුන්නේ නැතිනම් වෙන දේ හිතා ගන්නවත් බැරිවේවි’ මෙවැනි තර්ජන ගර්ජනද ඇයට එල්ලවන්නට විය.
22 වැනිදා පමණක් මෙසේ ඇයට ලද ඇමතුම් ගණන 19කි. පසු දිනත් නැවත ඇමතුම් 08ක්ම ආවේ තර්ජනය කරමින් මුදල් ඉල්ලමිනි.
තවදුරටත් මෙම ඇමතුම දරාගෙන සිටීමට අයෝමාට හැකියාවක් නොවීය. මේ ගැන සුගීෂ්වර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්නේ විමර්ශනයක් ඉල්ලමිනි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික පරිගණක අපරාධ විද්‍යාගාරයේ නිලධාරීන් අයෝමා රාජපක්ෂව 24 වැනිදා මුණගැසුණේය. එදිනද ඇයට ඇමතුම් 03ක්ම ලැබී තිබුණේය. අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ නිලධාරීන් එම පීඩාකාර ඇමතුම ලබාදෙන අංකය ඔස්සේ ඇමතුම ලබාදෙන පුද්ගලයාව හඳුනා ගත්තේය. අනතුරුව එම පුද්ගලයාව අත්අඩංගුවට ගන්නේ කොලොන්නාව සාලමුල්ලේ පිහිටි ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ 01, බී/එෆ්04/යූ27 අංකය දරන නිවසේ රැඳී සිටියදීය. ගනේෂන් යෝගන් නමැති ඔහු 38 හැවිරිදි තරුණයෙකි. වෘත්තියෙන් ඔහු කරණවෑමියෙකි.
එක් දරු පියෙක් වන මෙම කරණවෑමියාගේ බිරිද සිටින්නේ මැදපෙරදිග රටක රැකියාවකට ගොසිනි. අයෝමා රාජපක්ෂට දුරකතන ඇමතුමක් ගෙන කළ තර්ජනය ගැන ඔහු මුලින් පවසන්නේ තමා කිසිවක් ඒ ගැන නොදන්නා බවකි. සිය ජංගම දුරකතනය නැති වූ’බවත්, එයින් යම් අයෙක් ඇයට තර්ජනය කර මුදල් ඉල්ලා ඇතැයි මුලින්ම ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ සඳහන් කළේය. තාක්ෂණික කරුණු ඔස්සේ දුරකතය අස්ථානගතවී නැති බව ඔහුට පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට වූ විට අලුත් කතාවක් ඔහු කියන්නට ගත්තේය. ඒ සිය බිරිය විදෙස්ගත වන විට රැකියා ඒජන්සියෙන් රුපියල් ලක්ෂ 04ක මුදලක් ලැබීමට ඇති බැවින් ඒජන්සිකාරියට කතාකර එම මුදල ඉල්ලා සිටි බවකි. ඒජන්සිකාරියගේ දුරකතන අංකයට ඇමතුම ගත්තේ මතකයෙන් බවද ඔහු කියන්නට ගත්තේය. තමාට දුරකතන අංකය වැරදී හිටපු ජනාධිපතිගේ බිරියට ඇමතුම ගිය බව නොදැන සිටි බවත්, එය දැන සිටියේ නම් ඇමතුමක් නොගන්නා බවත් ඔහු එහිදී කියන්නට ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ බයාදුකම් පාමිනි.
‘ජනාධිපතිතුමාගේ ලේකම් ඔයාට එදාම කතාකරල ඒ ගැන කිව්වා නේද?’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහුගෙන් හරස් ප්‍රශ්න අසන විට ඔහුට කියන්නට නිසි පිළිතුරක් නොවීය.
‘එහෙම එකක් මට කිව්වේ නැහැනේ’ ගැලවිල්ලට ඔහුට කියන්නට ඉතිරිව තිබුණේ මෙච්චරමය.
මෙම කරණවෑමියා ගල් අංකුට්ටෙක් බව ඔහු කියන කරන දෑ විමර්ශනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙනී ගියේය. ඒ නිසාම ඔහු ගැන තොරතුරු ගැඹුරින් සොයා බැලීමේදී පෙනී යන්නේ ගාලූමුවදොර අරගල භූමියේද ඔහු නිතර ගැවසුණු චරිතයක් බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙනීගොස් ඇත්තේ වැරදීමකින් අයෝමාගේ ජංගම දුරකතනයට ඇමතුමක් මෙම පුද්ගලයාගෙන් ගොස් නැති බවය. මෙම ඇමතුම ඔහු ලබාදී ඇත්තේ දැන දැනම බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අදහසය. සිය බිරිඳ රට යැවූ ඒජන්සිකාරියගෙන් ලැබෙන්නට ඇත්තේ රුපියල් ලක්ෂ 04ක මුදලක් නම් රුපියල් ලක්ෂ 10ක් ඉල්ලා ඇත්තේ ඇයිදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කරන විට ඔහු කියන්නේ ඒ නිකමට යැයි කියාය.
මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙනීගොස් ඇත්තේ මෙම පුද්ගලයාව යම් අයෙක් හෝ කණ්ඩායමක් මෙහෙයවන බවකි. අධිකරණයට ඉදිරිපත් කිරීමට ඔහුව රැගෙන ගිය විට ඉදිරිපත් වූ’නීතිඥවරුන්ගෙන්ම ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට පැහැදිලි විය. අවසානයේදී අධිකරණයෙන් ඔහුට ඇපයක්ද නියම විය. ඒ යැයි කියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන කෙරෙන විමර්ශන අතහැර දමා නැත. ඔහුගේ පිටුපස සිටින බලවේගයන් ගැනද තවදුරටත් පරීක්ෂණ සිදුවෙමින් පවතී.
පුබුදු උදයංග










