යාපනේ පුස්තකාලයේ පැරණි පුස්තකාලයාධිපතිනිය මා හමුවන්නට ආවාය. සිහින ඇත්තේ සැබෑ වනු පිණිසය. සොයන්නේ නම් හමු වීමද නියතයකි. විශ්වයේ විශ්වසනීයත්වය මුසු ආදරය අප වෙත හැරෙන්නට ගතවන කාලය අනුමාන කළ හැකි කිසිවෙකු මෙලොව නැත. විශ්වයේ අරුම පුදුම නියමයන් අප උදෙසා විවිධ මට්ටමින් , විවිධ ක්‍රමෝපායන්, පුද්ගලයන් හරහා සිදුවන අතර අපි ඒ සියල්ල සතුට, දුක මිශ්‍රිතව භාරගනිමු. මේ ඒ විශ්වයේ චල්‍ය විචල්‍ය ජීවිත වන්දනා මගේ සතුට, පුදුමය මුසු වූ එක කතාවකි. මගේ යාපනයට සම්බන්ධ ඒ කතාව යාපනය මහජන පුස්තකාලයේ මතකයට තබා අලවා ඇති කතා වස්තුවකි.
මීට අවුරුදු දෙකහමාරකට පෙර දිනක මම යාපනයට ගියේ යාපනය මහජන පුස්තකාලයේ ගිනි තැබීම පිළිබඳ තව තවත් තොරතුරු සොයා ගැනීමේ අදහසිනි. එදා මා සමග සුබ්‍රමනියම් කබිලන් අයියාද එහි ගිය අතර , එවකට එහි ප්‍රධාන පුස්තකාලයාධිපතිනිය වූ සුගන්ධිනී සදාශිවමූර්ති මහත්මිය හමු වීමු. ඒ අවස්ථාවේදී ඇයගෙන් අපි විමසු කරුණු අතර ප්‍රධානම කාරණයක් වූයේ 1981 වසරේදී පුස්තකාලය ගිනි තබන අවස්ථාව වනවිට එහි පුස්තකාලයාධිපතිනිය පිළිබඳ විමසීමය.
ඒ අනුව රූපවතී නඩරාජා නම් වූ පුස්තකාලයාධිපතිනිය විසින් රචිත යාපනය මහජන පුස්තකාලය එදා සහ අද යන අදහසින් දෙමළ බසින් රචිත කෘතිය පෙන් වූ අතර, ඇය සම්බන්ධ කරගත හැකි මූණු පොතේ සඳහන් නමද ලබා දුන්නාය. කබිලන් අයියා එම ග්‍රන්ථය මුදල් ගෙවා රැගෙන දුන් අතර එය මම මගේ මිතුරු සුන්දර රාජ් ලෝශිනි හා චානුක ප්‍රේමතිලක ලවා කියවා ගත්තෙමි. ඒ තොරතුරු දැනගැනීමෙන් පසු මම ඇයට කතාකරන්නට ඉඩක් ලබාගනු පිණිස මූණු පොත හරහා පණිවිඩ කීපයක් තැබීමි. එහෙත් දවස් ගානක් ගියද මට ඇය සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ අතර ඇය මගේ රික්වෙස්ට් කිරීමද මකා දමා තිබිණි.
එවිට මට තේරුම් ගිය ප්‍රධාන කරුණ නම් ඇය නාඳුනන පිරිස් සමග සම්බන්ධතා ඇති කර ගැනීමට සාධාරණ බියකින් පෙළෙන බවයි.
හොඳින් දෙමළ බස කතාකරන්නට ලියන්නට හැකි මගේ මිත්‍රයා චානුකද ඇය මූණු පොත හරහා සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවද අපි දෙදෙනාටම සිදු වූයේ එකම දුක්බර ප්‍රතික්ෂේප වීමකි.
ඉන්පසු මම යාපනය මහජන පුස්තකාලයට කතාකොට එංගලන්තයේ වෙසෙන රූපවතී නඩරාජා මහත්මියගේ දුරකතන අංකයක් ඉල්ලූ අතර ඔවුන් එය සොයා දෙන බවට පොරොන්දු විය. ඒ දවස් කීපයක් ප්‍රමාද වනවිට මම යාපනය විශ්වවිද්‍යාල පුස්තකාලයේ රේජිස්ටාර්වරියක වූ සදන්ති වත්සලා මහත්මිය හරහාද රූපවතී මහත්මියගේ දුරකතන අංකය ඉල්ලා ගන්නට උත්සාහ දරන්නට වීමි. දිනයක මා පුදුම කරමින් සුගන්ධිනි මහත්මිය හා සදන්ති මහත්මිය මට රූපවතී මහත්මියගේ දුරකතන අංක ලබා දුන් අතර ඒ අංක හරහා ඇය සම්බන්ධ කරගන්නට උත්සාහ දැරීමි.
ඒ හැම විටකම පටිගතකළ පණිවිඩයක් ඇසුණා පමණකි. රූපවතී මහත්මිය සම්බන්ධ කරගන්නට නොහැකි විය. උත්සාහය ඇත හැරීම පසෙක තබා මම මේ බව මගේ මිත්‍ර බූමහංස විජේසිංහ අයියාට කීවෙමි. ඔහු ඒ අනුව ඔහුගේ එංගලන්තයේ වෙසෙන මිත්‍රයකු ලවා එම අංකයට කතා කර රූපවතී මහත්මිය සම්බන්ධ කරගන්නට උත්සාහ දැරුවේය. ඒ උත්සාහයද නිෂ්ඵල කරමින් මිත්‍රයා පවසා සිටියේ ඒ අංකය වැරදි බවකි.
අවසන මම නැවත ඇයගේ නම අන්තර්ජාලයේ සටහන්කොට ඇයගේ මිතුරු ලයිස්තුවේ සිටි මිතුරියක වූ ශ්‍රීමති අම්බල් ත්‍යාගරාජා සොයා ගතිමි. ඉන්පසු ශ්‍රීමති මහත්මියගේ සිංහල මිතුරන් සොයා ඇය සමග පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගනුම ලැබූ මිතුරෙකු සම්බන්ධ කරගතිමි. (ඔහුගේ නම මට මතකයට නගාගත නොහැක.) ඔහුගෙන් මම උදවු ඉල්ලා සිටියේ ශ්‍රීමති මහත්මිය සම්බන්ධ කර දෙන ලෙසයි. ඒ අතර මගේ අවශ්‍යතාවය සඳහන්කොට ඍජුවම ඇයට පණිවිඩ යැවීමි.
ඇය මගේ පණිවුඩ රූපවතී නඩරාජා මහත්මියට යොමුකොට තිබුණි. ඊට පිළිතුරු ලෙස රූපවතී මහත්මිය සඳහන් කොට තිබුණේ මට ඇගේ මූණු පොතේ මිතුරියක වන ලෙසය. ඒ සමගම ඇයගේ විද්‍යුත් තැපෑලේ ලිපිනයද එවා තිබුණි. ඒ වන විට මූණු පොත හරහා අපිට සම්බන්ධ වන්නට නොහැකි වූ අතර ( ඇය මුලදීම රික්වෙස්ටය ප්‍රතික්ෂේප කර තැබීම නිසා) මම මගේ කවි පොතේ දෙමළ පරිවර්තනයක් ඇයට විද්‍යුත් තැපෑල හරහා යැවීමි. ඒ අනුව මම ඉල්ලා සිටියේ ඇයට මගේ කවිපොතට ඇතුළත් කිරීමට කෙටි අදහසක් ලබා දෙන ලෙසය. ඒ ඉල්ලීම ඉල්ලා මාස ගණනාවක් ගතවිය. මම ඇගේ පිළිතුරක් බලාගෙන උන්නෙමි. ඒ අතරද කීප වරක් ඇයට ලීවෙමි. එහෙත් නිශ්ෂබ්දතාවයට වැඩි යමක් නොවීය.
මේ අතරතුර දිනක් මම මගේ මිත්‍ර සංජීවනී විද්‍යාරත්න සොයුරියට කවි පොත ගැන සඳහන් කළෙමි. ඇය මගෙන් ඇසුවේ. නංගි ඔයා දැකල තියේද පුස්තකාලේ පිච්චුණ වෙලාවේ ඒ පුස්තකාලයාධිපතිනි ඇවිත් අඬන පින්තූරයක් තියනවා. මම ඒ පින්තූරය දැක නැති බව කී විට එය සොයා දෙන්නට ඇය පොරොන්දු වූ අතර දිනක් රෑ නවය හමාරට පමණ ඇය මට ඒ දුර්ලභ පින්තූරය ඒවා තිබුණි. එහි වූයේ ගිනි ගත් පුස්තකාලය දෙස සංවේගයෙන් බලා සිටින පුතකාලයාධිපතිනිය හා ඇය දෙස බලා සිටින තවත් පිරිසකගෙන්ද යුත් පින්තූරයකි. ඒ පින්තූරය මට හැඬුම් ගෙනෙන්නක් විය. මම පැයක් පමණ අඬා වැටුණෙමි.
මගේ බෝඩිමේ මිතුරිය සුන්දරරාජ් ලෝසිනි බිය වී මා ළඟට පැමිණ අඬන්නට හේතු විමසා මා සනසන්නට විය. මට මේ පින්තූරය මේ තරම් දුකක් දනවන්නේ නම් එදා ඒ සිද්ධියට මූණ දුන් ඔවුන්ගේ හදවත් ගැන කවරකතාද? එදා මම රූපවතී නඩරාජා වෙනුවෙන් කවි තුනක් ලීවෙමි. ඒ පින්තූරය සිංහල සමාජය දැක තිබුණේ නැතුවා වන්නට ඇත. සංජීවනී අක්කාට ස්තුති වන්ත වන්නට එය මගේ ගිනි වැදුණු පියාපත් පොතට ඇතුල් කරන්නට හැකි විය. ( දකුණේ බොහෝ දෙනකුට එය දුලබ දසුනක් විය)
තවත් මාස ගණනකට පසු මම නැවත රූපවතී නඩරාජා ගැන අන්තර්ජාලය හරහා හොයන්නට වීමි. එදා හදිසියේම මා දුටුවේ කන්දයියා තිලාවින්යාගලිංගම් නැමැත්තෙකු සමග ඇය ගත් ඡායාරූපයකි. මම ඔහුව මුහුණු පොත හරහා සම්බන්ධ කරගත්තෙමි. පුදුමය නම් ඔහුද පේරාදෙණිය සරසවියේ කෙනෙකු වීමය. ඔහුට මම අවශ්‍යතාවය පවසා ඇය සම්බන්ධ කරදෙන ලෙස පැවසීමි. දින දෙකතුනක් ඇතුළත ඔහු රූපවතී නඩරාජාගෙන් පණිවිඩයක් ගෙනාවේය. එය අශුභ ආරංචියක් විය.එනම් ඇය මේ පොතට ලියන්නට අකමැති බව දන්වා තිබුණි. එසේම ඇය පවසා තිබුණේ ඒ මම එකිනෙකා ලවා ඇයට කතාකරන්නට උත්සාහ දරන බවත් , ඇගේ තොරතුරු හොයන බවත්ය. එසේම පොතට අදහසක් සපයන්නට අකමැති බව පවසා ඇය සඳහන් කළ හේතුව මගේ හිත දුකින් මෙන්ම මහා වරදකාරී හැඟීමකින්ද පුරවන්නට විය.
ඒ වනවිට මම ඉන් රිදුණු සිත මඳක් සුවපත් කරන්නට හිතා මම මිතුරු ශාලික විමලසේනට කතාකොට විස්තරය කීවෙමි. මම ඇයට මේ පිළිබඳ විස්තරාත්මකව ලියන්නට අදහස් කරන බවද කීවෙමි. ඔව් ලියන්න ඒක හොඳයි. අපිට පොතට එයාගේ අදහස නැති වුණත් හිතවත්කම ඇති වෙන එක හරි ලොකු දෙයක් නේ ඒ ශාලිකාගේ උත්තරයයි.
ඊට පසු දින මම පිටු කීපයක ලිපියක් ලීවෙමි. එහි බොහෝ දේ සඳහන්විය. මගේ හිතට දැනුණු කම්පනය සඳහන් කළ අතරම මම ඉපදෙන්නත් පෙර සිදු වූ මෙම අපරාධයට ඒ මිනිසුන් වෙනුවෙන් සමාව දෙන ලෙසද ඉල්ලීමි. ඒ ලිපිය දෙමළ බසට පරිවර්තනය කර දුන්නේ මා මිත්‍ර චානුක ප්‍රේමතිලකය. ලිපිය යවා මාස ගානකට පසු මම යාපනයට ගොස් සිටි අවස්ථාවක රූපවතී නඩරාජා පළමුවරට විද්‍යුත් තැපෑල හරහා මා අමතා තිබිණි. ඒ ‘දුවේ’ යන ආමන්ත්‍රණයද සමගිනි. ඒ ලිපිය මගේ හිත සුවපත් කරන්නක් විය. ඒ සමග ඇගේ ආදරය කරුණාව මා වෙත එවා තිබිණි. කාලය ගතවිය මගේ කවි පොතද ප්‍රකාශයට පත්විය .
පහුගිය නොවැම්බර් 26 දින මට කැනඩාවේ සිටින කන්දයියා තිලාවින්යාගලිංගම් මූණුපොත හරහා පණිවුඩයක් තබා තිබුණි. මට එය අදහාගත නොහැකි ආරංචියක් විය. ඔහු විටින් විට මට කතා කළද මේ රූපවතී මහත්මිය ලංකාවට පැමිණීම මට විශේෂකොට කියන්නට මතක් වීම ගැන මම ඔහුට ණයගැති වෙමි.
‘රූප දැන් ඉන්නේ යාපනේ. ඇය යාපනේ මහජන පුස්තකාලේ බලන්න ගිහින්’ මම එතැන් පටන් ඔහුට කරදර කළේ ඇයගේ දුරකතන අංකයක් සොයා දෙන ලෙසය. මම සූදානම් වූවේ යාපනේට ගොස් ඇය හමු වීමටය. 27,28 දෙදින තුළ මට විභාගයක් තිබූ අතර ඒ දවස් දෙක අවසන මොන විදියකින් හෝ එහි යන්නට ඇය විනාඩි දෙකකට හෝ හමු වීමේ සිහිනයක් මට විය.
මම ශ්‍රීමතිඅම්බල් මහත්මියට කතාකොට රූපවතී නඩරාජා මහත්මිය ගැන විමසීමි.
‘එයා යාපනේ ඉඳල කොළඹ ආවා. දෙසැම්බර් දෙවැනිදා ආයේ ලංකාවෙන් යනවා. තාමත් අපිට මුණගැහෙන්න බැරි වුණා. එයා දවස් කීපෙකට ඇවිත් තියෙන්නේ. හදිසි වැඩකට’
මම ඇයගෙන්ද රූපවතී නඩරාජාගේ ලිපිනයක් හෝ දුරකතනයක් ඉල්ලා සිටියෙමි. ‘මම ළඟ දුරකතන අංකයක් නෑ. එයා වැල්ලවත්තේ අහවල් පාරේ ඉන්නවා කියල දන්නේ. ඒත් ඔයාට ගිහින් හොයා ගන්න බෑ. මට කතාකරොත් මම ඔයා ගැන කියන්නම්.’ ශ්‍රීමතිඅම්බල් මහත්මිය එසේ කීවාය.
එතැන් සිට මට නින්ද නොගිය අතර ඇය සමග සම්බන්ධතා ඇති බව සිතුණු කීපදෙනෙකුටම කීවේ මට ඇය මුණගස්වන ලෙසය. (කුමාරන් ප්‍රකාශන ආයතනයේ කුමාරන් අයියා ඊට සාක්ෂිය. එදා දවල් වරුව මට වැල්ලවත්තේදී ඇය හමු වීමට වෙන් කරන බවත් මට උදවු කරන ලෙසත් ඉල්ලීමි.) ඒ අතර මට නැවත කන්දයියා මහතා පණිවුඩයක් ඒවා කියා සිටියේ ‘රූපා ඔයාව හම්බවෙන්න කැමැත්තෙන් ඉන්නවා. ඔයාගේ දුරකතන අංකයක් දෙන ලෙසය . ඒ දුරකතන අංකය දුන් අවස්ථාවේ සිට මට නානකාමරයට යන්නටද බය හිතුණේ ඇගේ දුරකතන ඇමතුම මග හැරෙයි කියා සිතුණු බැවිනි. මම උන්නේ විභාගයක ප්‍රතිඵල බලා ඉන්නා අයෙකුමෙන් බියෙන් ගැහෙමිනි. මේ අවස්ථාව මගහැරුණොත් යන බියෙනි.
එදා උදේ මම අත්‍යවශ්‍ය කටයුත්තක් යොදාගෙන තිබුණු අතර එය වරුවකින් අවසන් වූ පසු වැල්ලවත්තේ කොහෙන් හෝ ඇය සොයා ගැනීමට යන්නට සිතා ගත්තෙමි. ඇය මුණගස්වන ලෙස දෙවියන්ට වැඳ ඉල්ලා සිටියෙමි. ඒත් මට මගේ නවාතැනින් පිටවී විනාඩි පහක් යනවිට නාඳුනන අංකයකින් ඇමතුමක් විය.
‘හෙලෝ මම රූපවතී කතාකරන්නේ’ ඒ පසින් එසේ ඇසෙද්දී මට කෑගසුණේ සතුට වැඩිකමටය.
‘ඔයා කොහෙද ඉන්නේ. මම දැන් ඔයා මුණගැහෙන්න එන්න හදන්නේ.’ ඇය කීවාය.
‘නෑ මම එන්නම් ඕනෑම තැනකට . මට දවල් 12 වෙනකන් වෙලාව දෙන්න.’ මම කීවෙමි.
“ ඔයා ඉන්න තැනට මම එන්නම්.“ ඇය කියා සිටියාය. මේ හමුව ගැන කිසිවෙකුටත් කලින් කියන්නට බයක් දැනුණි. මට සිතුණේ වැඩිය සතුටු වීමෙන් ඒ අවස්ථාව මග හැරේවිද යන බයයි. මුලදී මා සිතා හිටියේ ඇය හමුවන්නට විනාඩියකට ගුවන්තොටුපළට වුවද යන්නටය. ඒ සඳහා දවල්ද රැද යන්න මට අදාළ නොවේ. කෙසේ වුවද මේ හමුව හීනයක් වැනිය.
දවල් 12න් පසු මාව හමු වන්නට පොරොන්දු වූ පරිදි අදාළ තැනට අදාළ වෙලාවට ඇය පැමිණ සිටියාය. සතුට කියා නිමකළ නොහැකි විය. මම ඇය අසලට දුවගොස් ඇයගේ දෑත් තදින් අල්ලා ගතිමි. ඇයට එය රිදෙන්නටද ඇත. මට සඟවාගෙන ආදරය කිරීමේ පුරුද්දක් නැත. තරහද එසේමය. ඉතින් මගේ හදවත පුරා වාන් දැමූ ආදරය එළියට ආවේ එසේය.
‘ඔයා මෙතරම් මාව මුණගැහෙන්න කැමැත්තෙන් හිටියද?. අපි දැන් යාළුවො. දෙවියෝ තමයි අපිව මුණගැස්සුවේ. නැත්නම් අපි මෙහෙම මුණගැහෙන්නේ නෑ.’ ඇය කියන්නට විය.
අවසාන මම මගේ එක හීනයක් හැබෑ කරගත් අතර , ඇයගේ පැරණි ඡායාරූපය ලබාදුන් සංජීවනී විද්‍යාර්තන සොයුරියට ඇය මුණගස්වන්නටද හැකිවිය. දෛවය විසින් ඇය අපිට මුණගස්වන්නට විය.
මම ඇය සොයන්න්නට ගත් මහන්සිය මොහතකින් මැකී යන්නට විය. ඇයට මම මගේ පොතේ ඇති ඇගේ පැරණි ඡායාරූපය පෙන්වීමි. මේ පින්තූරේ මම ලියපු පොතෙවත් නෑ කී ඇය සිනාවෙන්නට විය. අපි පැය ගණනාවක් සතුටින් ගත කළෙමු. ඇයගේ පවුල දූදරුවන්, සහෝදර සහෝදරියන් මෙන්ම පේරාදෙණිය සරසවියේ ගතකල සරසවි ජීවිතය, තමන්ගේ සැමියා හා ඔහු හමුවීමේ රසවත් ප්‍රේම කතාව ඒ අතරට අයිති විය. එකිනෙකාට කරදර කරමින් දවස් ගණන් නිදි වරමින් ඇය සොයා ගැනීමට වින්ද දුක් ඇයට කියන්නට නොගියෙමි. ඒත් ඇය ඒ පිළිබඳ දැන සිටියාය.
කෙසේ වුවද ඇය 2 දා යන්නට තිබූ ගමන කල් දා ගෙන තිබුණේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල අවසන් වටයට ඇය විසින් ලියන ලද යාපනයේ මහජන පුස්තකාලයේ එදා සහ අද පොත නිර්දේශ වී තිබුණු බැවිනි.. එම උත්සවයට සහභාගි වීම සඳහා මටද ඇය සමග බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට යන්නට හැකි විය. ඒ හමු වීම සම්බන්ධ තවත් කතා ගණනකි. ඒ සතුට බෙදා ගැනීම පිණිස කෙටියෙන් ලියා තබන්නට සිතීමි.
( මූණු පොතට මාව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වුවද ඒ මොහොතේ වූ තාක්ෂණ දෝෂ නිසා එය සාර්ථක නොවූ වද ඇය එක්සත් රාජධානියට ගිය පසු එය නැවත සොයා බලන බවද කීවාය. එසේම ඇය මට ඇයගේ පොතක්ද සමරු සටහනක් තබා මට දුන්නාය.) එදා රාත්‍රී අටට පමණ අපි මේ කොළඹදී සමුගත්තේ යළි හමුවීමේ බලාපොරොත්තුවක සියුම් රේඛා හදවතේ ඇඳ ගනිමිනි.
“අපිට යාපනේ පුස්තකාලේදී හමුවෙන්න තිබුණානම් හොඳයි යන්න හිතේ කොනක් මුමුණනු ඇසිණි.
කෙසේ වුවද මට මගේ එක බලාපොරොත්තුවක් එසේ සැබෑ විය. අවසාන වශයෙන් මගේ සිහිනවලට ගරු කිරීමේ න්‍යාය හා සෙවීම හා හම්බ වීමේ න්‍යායද ඇස්පනාපිට සැබෑ විය. දැන් ඉතිරිව ඇති හීන ගොන්නේ උඩම ඉන්නේ මහාචාර්ය චේරන් රුද්‍රමූර්ති හමු වීමය. අවසාන වශයෙන් මගේ ඒ මෙහෙයුම සාර්ථක වනතුරු මග බලා ඉමි. රුද්‍රමූර්ති චේරන් මහතාණෙනි මේ ඔබේ වාරයයි.
මගේ යාපනයේ මගේ මිනිසුන් දැකීමේ හමුවීමේ උමතුවෙන් මම තවත් දවසකට හුස්ම ගමි.
මම යාපනේ පෙම්වතිය,
මාතර ඉඳන්.
– සඳරැසී සුදුසිංහ










