ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පොල් ගෙඩියක මිල ගණන් විවිධ මට්ටම්වලින් ඉහළ ගොස් ඇති බවත්, ඒ තුළින් පාරිභෝගික ජනතාව දැඩි අසීරුතාවකට පත්ව ඇති බවත් විවිධ මාධ්‍ය වාර්තා හෙළිකොට තිබේ. (Sri Lanka Latest News)
එහෙත් මෙවැනි තත්ත්වයන් රටක සාමාන්‍ය වෙළෙඳපළ තුළ සිදුවිය හැකි බවත්, ඒ සඳහා රජය මැදිහත් වීම අනවශ්‍ය බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය.
සාමාන්‍යයෙන් රටක බොහොමයක් භාණ්ඩවල කාර්තුමය ලෙස හෝ මාසිකව මේ ආකාරයේ මිල උච්චාවචනයන් සිදුවිය හැකි අතර, එම උච්චාවචනයන් තුළ පාරිභෝගික සහ ව්‍යාපාරික යන කාණ්ඩ දෙක අතර වාසි හෝ අවාසි තාවකාලිකව බෙදී යෑමක් සිදුවේ.
රටක මෙවැනි භාණ්ඩවල මිල වෙනස් වීම් ස්වභාවිකව සිදුවන අවස්ථාවලදී, එනම් ඉල්ලුම සහ සැපයුම තුළ ඇතිවන වෙනස්කම් නිසා සිදුවන්නේ නම් එවැනි තත්ත්වයකට රජය මැදිහත් වීම අවශ්‍ය වන්නේ නැත.
එහෙත් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීම සඳහා කිසියම් පිරිසක් සිතාමතා ක්‍රියා කරන්නේ නම් ඒ සඳහා රජයේ මැදිහත් වීම අවශ්‍ය වන බවයි මහාචාර්යවරයා පවසන්නේ.
එනම් රටක තරගකාරී වෙළෙඳපළ සඳහා බාධා වන ආකාරයට කිසියම් පිරිසක් ක්‍රියා කරන්නේ නම් එවැනි තත්ත්වයක් තුළ නීතිමය රාමුව මගින් රජය මැදිහත් වී ක්‍රියා කිරීම අවශ්‍ය වේ.
ලංකාව තුළ තරගකාරී වෙළෙඳපළ සඳහා බාධාවන් පවතින විට ඒවා නැවැරැදි කිරීමට රජය කෙටිකාලීනව මෙන්ම දිගුකාලීන පියවර ඔස්සේ ක්‍රියා කිරීම අත්‍යාවශ්‍ය බවද මහාචාර්යවරයා පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න










