හාමුදුරුවනේ අපේ කෞතුකාගාරවල තිබ්බ බඩු ගොඩක් නැතිවුණා… මේ බඩු ටිකටවත් දෙවියන්ගේ පිහිට ලැබේවා…
ඉස්කුරුප්පු, ඔරලෝසු, කේතල, ඉස්ත්‍රික්ක, කනප්පු, පෝච්චි, අද්වකාත්, කෝකි, නොතාරිස්, මහෙස්ත්‍රාත්, කොමසාරිස්, තෝල්ක, බාස්, පොල්මඃකාර.(Sri Lanka Latest News)
කුමක්ද මේ අපූරු වචන පෙළ? අද අපගේ රටේ සමාජයේදී නිරන්තරයෙන්ම අසන්නට ලැබෙන සහ භාවිතයට ගන්නා මෙම වචන අපේ රටටම ආවේණික වූ වදන් පෙළක්ද? නැත. මේ වදන් අපගේ රට තුළ මුල් බැසගත්තේ වෙනත් පර දේශයක් හරහාය. මේ එවැනි දීර්ඝ වචන මාලාවකින් කිහිපයක් පමණි. මේ වදන් අපගේ භාෂාව තුළ මුල් බැසගත්තේ මෙරට කාලයක් පුරා පාලනය කළ ලන්දේසීන්ගෙනි. ලන්දේසීන් නොහොත් ඕලන්දකාරයන් මෙරට ආක්‍රමණය කර පාලනය කරන්නට ගත්තේ 1658 වැනි වසරකදීය. එතැන් සිට පටන්ගත් පාලනයට පෙර මෙරට බොහෝ ප්‍රදේශවල පාලනය තිබුණේ පෘතුගීසීන් යටතේය.
එනම් දිවයිනේ බොහෝ මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසීන්ට යටත්ව තිබිණි. 1658දී ලන්දේසි පාලනය යටතට පත්වූ ආදි ලංකාව එතැන් සිට තවත් වසර 150කට ආසන්න දීර්ඝ කාලයක් පුරා 1796 දක්වාම එම පාලනයට යටත්ව පැවැතිණි. බි්‍රතාන්‍ය පාලනය යටතේ තිබුණු කාලය තුළදී මෙරට තුළ සිදුවුණු සංක්‍රාන්තිමය සිදුවීම් බොහෝය. එකල සිංහලේ උඩරට රජු විසින් පෘතුගීසීන් පැරැදවීමට සහාය වන මෙන් ලන්දේසීන්ගෙන් උපකාර පතන ලදී. මේ නිසා ලංකාව පිළිබඳ ලන්දේසි අවධානය දැඩි ලෙස යොමුවිය.
පෘතුගීසීන්ට එරෙහිව යුද්ධයේදී ලන්දේසීන් විසින් පෘතුගීසි පාලනය යටතේ පැවැති කොටස් ආක්‍රමණය කරන ලදී. යුද්ධයේ වියදමට හිලව් වන පරිදි භූමියෙන් කොටසක් තම භාරයෙහි තබාගත් ඔවුහු කෙමෙන් තම භූමිය ව්‍යාප්ත කිරීමෙහි යෙදුණහ. මෙකල ලන්දේසීන් ආදි ලංකාවේ බලය පමණක් නොව, ආසියාවේ තවත් රටක් වන ඉන්දුනීසියාවේ බලයද තහවුරු කරගනිමින් සිටියහ. ඉන්දුනීසියාවේ මුහුදුබඩ පෙදෙස් සහ පිටත පෙදෙස්වලට පාලකයෝ බවට ලන්දේසීන් පත්වූහ.
1638 වර්ෂයේ ගිවිසුමෙන් පසු පෘතුගීසීන් මෙරටින් නෙරපා හැරීමට තවත් වසර 20ක් ගතවිය. එහෙත් ඒ කාලයේ පෘතුගීසීන් සතුව තිබූ ත්‍රිකුණාමලය, මීගමුව, ගාල්ල, කළුතර, කොළඹ, මන්නාරම සහ යාපනය වැනි බළකොටු තමන් සතු කරගැනීමට ලන්දේසීහු සමත් වූහ. ඒ උඩරට රජුගේද සහාය ඇතිවය. මෙවැනි අතීත වටපිටාවක් ගතවෙමින් තිබියදී එකල ආදි ලංකාවට අයත් වූ වසර දහස් ගණනක උරුමයක් විය. එනම්, අපගේ එම ශ්‍රේෂ්ඨ උරුමය පෙන්නුම් කළ පෞරාණික වස්තූන් දහස් ගණනක් මෙම භූමිය තුළ විය. ආදි වෙහෙර විහාරවල සිට නොයෙක් පුරාවස්තූන් දක්වා එම ක්ෂේත්‍රය විහිදී තිබිණි.
එහෙත් මෙම පුරාවස්තූන්ගේ අසීමිත වටිනාකම් දැනගත් එකල පරදේශක්කාරයන් මෙම වටිනා මිල කළ නොහැකි ද්‍රව්‍ය කොල්ලකන්නට ගත්තේය. මුලින්ම මෙම කොල්ලයන් සිදුකළේ මෙරට පාලනය කළ පෘතුගීසීන් විසිනි. එකල බලගතු පෘතුගීසි කපිතාන් දියාගෝ ද මේලෝගේ උපදෙස් පරිදි මෙරට මහා පුරාවස්තු කොල්ලයක් සිදුකෙරිණි.
කැලණි විහාර ස්තූපයෙහි තිබුණු වටිනා පුරාවස්තු පවා ඔවුහු කොල්ල කෑවෝය. එසේම සමහර පුරාවස්තු විනාශ කර දැමූහ. මෙවැනි ශෝචනීය වටපිටාවක් ගලායමින් තිබියදී පෘතුගීසීන්ට පසුව පැමිණි ලන්දේසීන් මෙම සොරාගත් පුරාවස්තු විශාල ප්‍රමාණයක් තමන් භාරයට ගත්තේය. අතීත කතාවල සඳහන් වන පරිදි පෘතුගීසීන් මෙන් ලන්දේසීන් මෙරට පුරාවස්තු විනාශයන් සිදුකර නොමැති. එහෙත් ඒවා තමන්ගේ භාරයට ගැනීමට කටයුතු කළ ඔවුන් වටිනා පුරාවස්තු එක්රැස් කර තබාගත්තේය.
අවසානයේදී සිදුවූයේ වෙනත් කතන්දරයකි. ලන්දේසීන් අපගේ රටේ අතිශය මිල කළ නොහැකි පුරාවස්තු විනාශයට ලක් නොකළද එවුන් එම පුරාවස්තු තම රටට ගෙන යෑමට කටයුතු කළ බව අතීත වාර්තා පෙන්වා දෙයි. එනම් එකල ආදි ලංකාවට අයත් වූ අතිශය වටිනා පුරාවස්තු දහස් ගණනක් ඔවුන් එකල ඕලන්දයට ගෙනගොස් ඇත. ඔවුන් මෙරට පාලනය 1796දී නිමකරන විටදී මෙසේ කෞතුක භාණ්ඩ කිහිපයක්ම ඕලන්දයට ගෙනගොස් ඇත.
ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ දිගු පරිච්ඡේද ගණනාවක් පුරා කියැවෙන මෙම ලන්දේසි කතාව අද ඔබට මුලින්ම ලියා තැබුවේ ඇයි? එයට හේතුව නම් මෙයට දින කිහිපයකට පෙර අපට අසන්නට ලැබුණු එක්තරා විශේෂ වගතුගක් හේතුවෙනි. මෙම වගතුග අපට අසන්නට ලැබුණේද එදා ලන්දේසීන්ගේ නිජබිම ලෙසින් හඳුන්වනු ලැබූ ඕලන්දය තුළිනි. එහෙත් අද එම රට හඳුන්වනු ලබන්නේ ඕලන්දය ලෙසින් නොව නෙදර්ලන්තය ලෙසිනි. ඉංග්‍රීසි බසින් Holland ලෙසින් කියූ නාමය අද Netherland ලෙසට පරිවර්තනය වී ඇත. දැන් එසේ නම් මෙම නූතන නෙදර්ලන්තයෙන් අපට අසන්නට ලැබුණේ කුමක්ද?
මෙම සුවිශේෂ පුවත මුලින්ම ශ්‍රී ලංකාවට අසන්නට ලැබෙන්නේ විදේශ මාධ්‍යයන් හරහාය. එදා ඕලන්දය ලෙසින් හඳුන්වනු ලැබූ වර්තමාන නෙදර්ලන්තය විසින් ප්‍රකාශ කර තිබුණේ මෙයට වසර 400කට පමණ පෙර එදා ලන්දේසි පාලනය යටතේදී ශ්‍රී ලංකාවෙන් ඕලන්දයට රැගෙන ගිය මිල කළ නොහැකි පුරාවස්තු සිය ගණනක් නැවත ශ්‍රී ලංකාවට භාරදීමට නියමිත බවට වූ පුවතකි.
සමහර විදේශ මාධ්‍ය මෙම පුවත වාර්තා කර තිබුණේ යටත්විජිත සමයේදී ලංකාවෙන් කොල්ලකන ලද වටිනා පුරාවස්තු නැවත ශ්‍රී ලංකාවට භාරදෙන බවට වාර්තාවකි. එය යම් ආකාරයකට සැබෑ වාර්තාකරණයක් විය. එනම් එකල ලන්දේසීන් වසර 150ක් පමණ පුරා මෙරට පාලනය කළ සමයේදී ලබාගත් විවිධ වටිනා පුරාවස්තු මෙරටින් ඔවුන්ගේ රටට ගෙනයනු ලබන්නේ නීතිමය අවසරයක් මත නොවේ.
එසේ නම් එම ක්‍රියාව පුරාවස්තු කොල්ලකෑමක් ලෙසින් පැහැදිලිවම අර්ථකථනය කළ හැකිය. මෙම පුවත් මගින් තවත් විශේෂ කරුණක් ලෙසින් ප්‍රකාශ වූයේ ශ්‍රී ලංකාව පමණක් නොව ලන්දේසීන් විසින් එකල ඉන්දුනීසියාවෙන්ද රැගෙන ගිය වටිනා පුරාවස්තු සිය ගණනක්ද නැවත එම රටට ලබාදීමට ගත් තීරණයකි. ඒ අනුව ඉතා නුදුරු දිනයකදී මෙම වටිනා පුරාවස්තු තොගය නෙදර්ලන්තයේ රජය විසින් ශ්‍රී ලංකා රජයට සහ ඉන්දුනීසියානු රජයට නිල වශයෙන් භාරදීමට නියමිතය.
මෙලෙස එදා ලන්දේසීන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ නැවත මෙම රටවලට ලබාදෙන ලෙසට පසුගිය වසරේදී ශ්‍රී ලංකා රජයත්, ඉන්දුනීසියානු රජයත් නෙදර්ලන්ත රජයෙන් ඉල්ලීමක් කර සිටියේය. ඉන් පසුව එරට රාජ්‍ය පාලනය ඒ ගැන අවධානය යොමුකළ අතර, පසුව තීරණය කෙරුණේ එම පුරාවස්තු අයිති වන්නේ එම අදාළ රටවලට හෙයින් ඒවා නැවත ලබාදීම සිදුකළ යුතු බවය. ඒ අනුව නෙදර්ලන්තයේ රාජ්‍ය පාලනය තීරණය කළේ හැකි ඉක්මනින් එම කෞතුක භාණ්ඩ අදාළ රටවල් දෙකට ලබාදීමටය.
කෙසේ හෝ ලන්දේසි යටත්විජිතවාදීන් විසින් එකල ආදි ලංකාවෙන් සොරකම් කරන ලද හෝ කොල්ලකන ලද හෝ එසේත් නැතිනම් බලහත්කාරයෙන් හෝ ගෙන යන ලද මෙම මිල කළ නොහැකි පුරාවස්තු ගැන ඉහත අර්ථකථනය සිදුකර ඇත්තේද වර්තමාන නෙදර්ලන්තයේ රජය විසිනි. එනම් එම රාජ්‍ය පාලනය මෙම අනවසර ක්‍රියාව ගැන අද අවබෝධ කරගෙන එම රටවලට අදාළ වන පුරාවස්තු නැවත එම රටවලටම ලබාදීමට තීරණය කර ඇත. මෙම සුවිශේෂ තීරණය ගැනීම ගැන බොහෝ පාර්ශ්ව විසින් නෙදර්ලන්තයේ වත්මන් රජයට තම ප්‍රසාදය පිරිනමා ඇත.
මෙහිදී පුරාවස්තු කිහිපයක් පමණක් නොව එවැනි කෞතුක භාණ්ඩ සිය දහස් ගණනක්ම නැවත ලබාදීම අතිශය ප්‍රශංසනීය කටයුත්තක් වී ඇත. වර්තමාන නෙදර්ලන්ත රජය විසින් ගෙන ඇති තීරණය ගැන එම රජයේ සංස්කෘතික සහ මාධ්‍ය රාජ්‍ය ලේකම් ගැනෙයි උස්ලු (Gunay Uslu) විසින් නිල ප්‍රකාශයක්ද සිදුකර තිබේ. මෙය නෙදර්ලන්ත රජයේ රාජ්‍ය කමිටුවක් විසින් ගත් තීරණයක් බව ඔහු ප්‍රකාශ කර ඇත. රාජ්‍ය ලේකම්වරයා මෙම තීරණය ගැන මෙසේ පවසා ඇත.
‘මෙය සැබැවින්ම ඓතිහාසික එමෙන්ම වාර්තාගත වන අවස්ථාවක්. මෙවැනි ක්‍රියාවලියක් මින් පෙර කිසි දිනෙක සිදුවෙලා නැහැ. කිසිදාක හෝ මෙවැනි වස්තූන් නෙදර්ලන්තයට ගෙන ආ යුතුව තිබුණේ නැහැ. එය සිදු නොකළ යුතුව තිබුණු කාර්යයක්. එහෙත් එය සිදුවෙලා තිබුණා. මෙම වටිනා පුරාවස්තු නැවත එම රටවලට ලබාදීම සඳහා අප කමිටුවේ නිර්දේශ අනුගමනය කරන පළමුවැනි අවස්ථාව මෙයයි.
සියල්ලටම වඩා මෙය අනාගතය දෙස බැලිය යුතු මොහොතක්. අපි මේ වටිනා වස්තු ලබාදෙනවා පමණක් නොව, ඒවාට අදාළ එක්රැස් කිරීමේ පර්යේෂණ, ගවේෂණයන් මෙන්ම රටවල් අතර කෞතුකාගාර හුවමාරුව ගැනද අධීක්ෂණය කරනවා. මෙය රටවල් අතර දැඩි සුහදත්වයේ සංකේතයක් වෙනවා….’
මෙම සුවිශේෂ වැඩපිළිවෙළ යටතේ මෙලෙස ලන්දේසීන් විසින් ආදි ලංකාවෙන් ඕලන්දයට රැගෙන ගිය වටිනා පුරාවස්තු 484ක් මෙරටට නැවත භාරදීමට නියමිතය. මෙම පුරාවස්තු අතර ඉතා ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇත්තේ 1740 යන වසරවලදී මහනුවර රජුට යම් ලාංකේය ප්‍රභූවරයකුගෙන් තෑග්ගක් ලෙස පිරිනමන ලද 18 වැනි සියවසට අයත් ලෝකඩ කාලතුවක්කුවකි.
එනම් ඉතිහාස වාර්තාවලට අනුව විවිධ මැණික් ගල් ආදිය ඔබ්බවා ඉතා දර්ශනීය ලෙස සරසන ලද එම කාලතුවක්කුව එකල කීර්ති ශ්‍රී රාජසිංහ රජු වෙත පිරිනමා ඇත්තේ ලෙව්කේ දිසාවේ විසින් යැයි පැවසෙයි. මහනුවර රජ මාලිගයට ලන්දේසීන් විසින් පහර දෙන ලද අවස්ථාවේදී මෙම වටිනා කෞතුක භාණ්ඩය ඔවුන් විසින් පැහැරගෙන ගොස් ඇත. එසේම කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ මාලිගයෙන් තවත් අතිශය වටිනා කෞතුක වස්තූන් රැසක්ද එකල ලන්දේසීන් විසින් පැහැරගෙන ගොස් ඇත. එහිදී පැහැරගත් ඉතා දර්ශනීය ලෙස සරසන ලද ඉපැරැණි කඩු, කිරිච්චි සහ පිහි වර්ග මෙන්ම මිල කළ නොහැකි ඉපැරැණි තුවක්කු දෙකක්ද අයත් වෙයි.
මෙම වටිනා තුවක්කු දෙකද මහනුවර රජුගේ මාලිගාවේ තිබී ඇත්තේ එකල රජුට ලැබුණු ත්‍යාගයන් වශයෙනි. මෙහිදී එකල රැගෙන ගොස් ඇති රන් කස්තානයක් සහ රිදී කස්තානයක් (උත්සහ අසිපත් දෙකක්) ද අයත් අතර, ඒවා කිසිදු ආකාරයකින් මිල කළ නොහැකි කෞතුක භාණ්ඩ වෙයි. එනම් දියමන්ති 136කින් සහ මැණික් 13කින් සරසා ඇති මෙම එක් රන් කස්තානයක් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ පුද්ගලික වස්තුවක් ලෙසට ඉතාමත් ආරක්ෂාකාරීව තබා ඇත.
යම් උඩරට ධනවත් වංශාධිපතියකු විසින් රජතුමාට මෙය ප්‍රදානය කරන්නට ඇති බව සැලකෙයි. මෙයට අමතරව රන්, රිදී, මැණික් හා දියමන්ති වර්ගද පැරැණි කෞතුක භාණ්ඩ අතරට අයත් වෙයි. ආදි ලංකාවෙන් මෙලෙස ලන්දේසීන් විසින් කොල්ලකා ගෙන ගිය පුරාවස්තු ගැන ඉපැරැණි විස්තරයක්ද එකල ඕලන්දය සතුව තිබී ඇත.
දැනට මෙම වටිනා කෞතුක වස්තූන් ප්‍රදර්ශනය කර ඇත්තේ නෙදර්ලන්තයේ අගනුවර වන ඇම්ස්ටර්ඩෑම් නගරයේ පිහිටා තිබෙන එරට විශාලතම සහ පැරැණිතම කෞතුකාගාරය වන රිජ්ක්ස් කෞතුකාගාරයේ (Rijks Museum) ය. එසේම ලොව තිබෙන ඉපැරැණි කෞතුකාගාර අතර ප්‍රධාන තැනක් ගන්නා මෙය පිහිටුවා ඇත්තේ 1798 වසරේදීය. දැනට මෙම කෞතුකාගාරය තුළ නොයෙකුත් කෞතුක භාණ්ඩ මිලියනයක ප්‍රමාණයක් ප්‍රදර්ශනය කෙරෙයි.
වසරකට මිලියන 03ක පමණ සංචාරකයන් පිරිසක් මෙම කෞතුකාගාරය නැරැඹීමට පැමිණෙති. මෙම වසර 225ක් පැරැණි කෞතුකාගාරය 2013 වසරේදී යුරෝ මිලියන 375ක සුවිශාල මුදලක් වැයකරමින් සංරක්ෂණය කර ඇත. මෙම ගොඩනැගිල්ල මුලින් නෙදර්ලන්තයේ රජ පවුලට අයත් රාජ මාලිගයක් ලෙසද භාවිත කර ඇත.
මෙලෙස වර්තමාන නෙදර්ලන්තය විසින් ශ්‍රී ලංකාවට නැවත ලබාදීමට නියමිත කෞතුක වස්තු පිළිබඳ කතාන්දරයේ සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යය ඇතිවන්නේ මෙතැනදීය. එනම් නෙදර්ලන්තයේ වර්තමාන රජු වන විලියම් ඇලෙක්සෙන්ඩර් රජතුමාගේ විශේෂ නියෝගයක්ද මෙහිදී ක්‍රියාත්මක කර ඇත.
දැනට 56 වැනි වියෙහි පසුවන මෙම රජු බොහෝ ජනතා හිතවාදී පුද්ගලයකු වශයෙන් ප්‍රකටය. නෙදර්ලන්තය තුළ අගමැතිවරයකු සිටින ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබුණද, එරට සාම්ප්‍රදායික වශයෙන් බලගතු වන්නේ රජ පවුලයි. එහෙයින් ඉහත කෞතුක වස්තූන් නැවත ලබාදීමේ තීරණයේදී මෙම රජතුමාගේ නියෝගයන්ද පිළිපැදීමට සිදුව ඇත. මේ පිළිබඳ ඔහු ප්‍රකාශ කර ඇත්තේ අපූරු අහසකි.
‘අපගේ රට සහ එහි මුතුන්මිත්තන් අතීතයේදී සිදුකළ මෙවැනි ක්‍රියා ගැන මම සමාව අයැද සිටිනවා. අප මෙම කෞතුක වස්තූන් කොන්දේසි විරහිතව නැවත එම රටවලට ලබාදිය යුතුයි. මගේ හදවතේ සහ මගේ ආත්මයේ වචනවල බර මට දැනෙනවා…’ යනුවෙන් අපූරු වදන් පෙළක් ඔහු ප්‍රකාශ කර ඇත.
ප්‍රියන්ත හෙට්ටිගේ










